මාසෙ පඩියට ලක්‍ෂ බාගයක්‌ ගත් මස්‌කෙළියේ තේ දලු නෙළන්නියෝගේ කතාව

උඩරට තේ කර්මාන්තයට වසර 200 කට වඩා ඉතිහාසය ඇත. වතු කම්කරුවා යනු වැස්‌සට තෙමෙමින් අව්වට වේළෙමින් තම රැකියාවේ නිරත වන ශ්‍රමිකයෙකි. වැඩ වසම් යුගයේදී කම්කරුවාගේ ශ්‍රමය සූරා කමින් සුදු ජාතික පාලකයන් ඉතා සොච්චම් වැටුපක්‌ ගෙවා වහල් සේවයක්‌ ලබා ගත් බව සඳහන් වේ.

අද ද උඩරට තේ කර්මාන්තයේ නිරතව සිටින කම්කරු ප්‍රජාවට ප්‍රමාණවත් පොදු පහසුකම් නොලැබීමෙන් ඔවුහු අනේකවිධ අපහසුතාවන්ට පත්ව සිටිති. විශේෂයෙන් සෞඛ්‍ය හා නිවාස පහසුකම් නිසි ලෙස නොමැති වීම නිසා ලයින් කාමර ජීවිතය වතුකරයෙන් තවමත් බැහැර වී නොමැති අයුරු දැක ගත හැකිය.

ඉකුත් කාලයේ මධ්‍යම කඳුකරය පුරා පැවැති අධික වැසි හා සුළං තත්ත්වයත් සමග තේ දලු ඵලදායිතාව ඉතා පහළ මට්‌ටමක පැවතීම හේතුවෙන් තේ ආර්ථිකය බරපතල කඩා වැටීමකට ලක්‌ වූ බවත් වතු සමාගම් තේ කර්මාන්තයෙන් ඉවත් වීමට තීරණය කර තිබුණු බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

තත්ත්වය එසේ වුවද, ගෙවුණු මස දෙක තුනක කාලයේ උඩරට තේ කර්මාන්තයට ඔබින යහපත් කාලගුණික තත්ත්වයක්‌ පැවතීමත් සමග තේ දලු ඵලදායිතාව ඉතා ඉහළ මට්‌ටමකට පැමිණියේය. තේ දලු නෙළන සමහර කාන්තාවන්ගේ අතමිට සරුවී ඔවුන්ගේ ආර්ථික තත්ත්වයද ඉහළ ගියේය. සමස්‌තයක්‌ ලෙස මධ්‍යම කඳුකරයේ අමු තේ දලු ඵලදායිතාව ඉහළ යැමෙන් සෑම තේ වතුයායකම නිමි තේ කුඩු කිලෝ ගණනද වැඩි විය. ඒ අතර හැටන්, පතන කොටගල වැවිලි සමාගමට අයත් “මවුන්ට්‌ වර්නන්” තේ වත්තට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි.

මවුන්ට්‌ වර්නන් තේ වත්තේ තේ දලු නෙළන වතු කම්කරු කාන්තාවන් රැසක්‌ ඔවුන්ගේ මැයි මස වැටුප රුපියල් 50,000/- ඉක්‌මවීමට සමත් වූහ. ඒ තේ කර්මාන්තයේ කම්කරුවෙක්‌ ලබාගත් ඉහළම වැටුපට හිමිකම් කියමිනි. මෙය ශ්‍රී ලංකාවේ වාර්තාගත සිද්ධියක්‌ වන්නේය.

ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ වාර්තාග. වැටුපක්‌ ලබාගත් තේ දලු නෙළන කාන්තාවන් හමුවීමට අපි පසුගියදා පතන ‘මවුන්ට්‌ වර්නන්’ තේ වතුයාය බලා ගියෙමු. එහිදි අපට මුලින්ම හමුවූයේ රුපියල් 57395.25 ක වැටුපකට හිමිකම් කියූ වී. තණලෙච්චුමීය. ලක්‍ෂ භාගයකට වැඩි වැටුපක්‌ ලබාගැනීම සම්බන්ධව අප ඇයගෙන් කළ විමසුමකදී ඇය මෙසේ පැවසුවාය.

‘මට අවුරුදු තිස්‌ හතයි. මම විවාහකයි. ළමයි තුන්දෙනෙක්‌ ඉන්නවා. වැඩිමහල් දුවට අවුරුදු 19 යි. රැකියාවක්‌ නෑ. දෙවැනි පුතාට අවුරුදු 17 යි. ඔහුත් ගෙදරට වෙලා ඉන්නවා. බාල දුව අවුරුදු 14 යි. ඇය පාසල් යනවා. මගේ ස්‌වාමියාට රැකියාවක්‌ නෑ. ඔහු වසර ගණනක්‌ බරවා රෝගයෙන් පීඩා විඳිනවා. වැඩිමහල් දරුවන් දෙදෙනා ස්‌වාමියාගේ දෛනික වැඩට උදව් කරනවා. ‘මම දැනට වසර 20 ක්‌ පමණ වත්තේ වැඩ කරනවා.

අපි වත්තේ රැකියාව කරද්දී ගොඩක්‌ දුක්‌ විඳිනවා. වැසි කාලයේදී තමයි, අපි ගොඩක්‌ දුක්‌ විඳින්නේ. උදේ 8.00 ට වැඩට යනවා. සවස 5.00 වනතෙක්‌ දලු කඩනවා. අපි දවසේ පඩිය වන රුපියල් 687.50 කට අමු තේ දලු කිලෝ 18 ක්‌ කඩන්න ඕන. දලු හිඟ කාලෙට ඒ ගාන කඩන්න අමාරුයි. වැස්‌ස, සුළඟ වැඩි වුණොතින් දලු හැදෙන්නේ නෑ.

අව්ව වැඩි වුණොත් තේ ගස්‌ මැරෙනවා. ඒ කාලෙට අපේ පඩි අඩු වෙනවා. එතකොට අපි ජීවත් වෙන්නේ ගොඩක්‌ අමාරුවෙන්. මමත් වත්තේ නිවාඩු දාල කාලයක්‌ මැදපෙරදිග ගෘහ සේවයට ගියා. දැනට මාස දෙක තුනක කාලයක සිට කඳුකරයට හොඳ දේශගුණයක්‌ තිබෙන නිසා තේ දලු ඵලදාව වැඩි වුණා. දලු වැඩි වෙනකොට අපිට හරිම සතුටක්‌ දැනෙනවා. දවසට නමට කඩන කිලෝ 18 ට අමතරව අපිට වැඩිපුර කඩන කිලෝ ගණන වැඩි කරගන්න පුළුවන්.

වැඩියෙන් කඩන හැම කිලෝ එකකටම අපිට රුපියල් 23/- ගණනේ ගෙවනවා. මම ගිය මාසෙට අමතර දලු කිලෝ 1899 ක්‌ කැඩුවා ඒ නිසා මට රුපියල් 57,395.25 ක පඩියක්‌ ගන්න ලැබුණා. ඒක මට දරාගන්න බැරි සතුටක්‌. මගේ ජීවිතයේ පළමු පාරට තමයි මේ වගේ මුදලක්‌ අතට ගත්තේ. දුප්පත් අපිට මේ තරම් මුදලක්‌ එක මාසෙට ලැබීම රටක්‌ රාජ්‍යයක්‌ ලැබුණා වගේ.

දලු වැඩි කාලෙට අපි පාන්දර 05.00 විතර දලු කඩන්න පටන් ගන්නවා. එක දවසට දලු කිලෝ 500- 600 ක්‌ කඩනවා. මට ගෙදර දරුවොත් දලු කඩන්න උදව් කරනවා. තේ ගහට ආදරය කරන අවංකව වැඩ කරන අයට කවදාවත් වරදින්නේ නෑ. අපේ පරම්පරා ගණනක්‌ ජීවත් වුණේ තේ ගහෙන්. අපි ඒක අමතක කරන්නේ නෑ. මම ගත්ත පඩි සල්ලි ළමයින්ගේ අනාගතය හා ගෙදරට අත්‍යවශ්‍ය බඩු ගන්න වියදම් කරනවා. මගේ සැමියා රෝගීව ඉන්න නිසා ඔහුගේ රෝගී තත්ත්වයෙන් මුදවා ගන්න මෙම මුදල් වැය කරනවා. අපි නිරපරාදේ සල්ලි නාස්‌ති කරන්නේ නෑ. ඇය අවසන් වරට පැවසුවාය.

රුපියල් 51,988.50 ක්‌ ලබාගනිමින් එම වත්තේ දෙවැනි ස්‌ථානය හිමිකරගත්තේ එස්‌. මහේෂ්වරී (37) ය. ඇය ඇගේ කතාව මෙසේ කීවාය.

“අපිට හරිම සන්තෝෂයි. මෙච්චර පඩියක්‌ ගන්න ලැබීම ගැන. අපි වතු කම්කරුවන් විදිහට ගොඩක්‌ දුක්‌ විඳිනවා. අපේ අත්දෙක මැෂින් වගේ වැඩ කරනවා. අපේ ජීවිතය තේ ගහ. මම දැනට වසර 18 ක්‌ විතර වත්තේ වැඩ කරනවා. වත්තේ බොහෝ කාන්තාවන් වැඩි පඩි හොයාගෙන මැදපෙරදිග රැකියාවලට යනවා.

ඒවා බොරු වැඩ. ඒ අයගේ පවුල් ජීවිත අවුල්වෙලා. දරුවන් පවා අනාථ වෙලා. ස්‌වාමිපුරුෂයන් මත්පැන් පානයට ඇබ්බැහිවෙලා. රට ගිහින් එවන මුදල් නාස්‌ති කරනවා. හරියට වැඩ කරනවා නම්, හොඳට, දලු ඇදෙනවා. නම් රට යන්න ඕන නෑ. වත්තේ පඩිය රට පඩිවලට වඩා දැන් වැඩියි. දරුවන්. ස්‌වාමියා එක්‌ක නෑදැයන් එක්‌ක එකට ඉඳලා මෙහේ හම්බ කරන හරිය ඇති. මට හම්බ වුණු පඩිය පවුලේ යහපතට වැය කරනවා.”පී. ත්‍යාගවල්ලි (33) අදහස්‌ දක්‌වමින් මෙසේ කීවාය.

“මම රුපියල් 51228.25 ක වැටුපක්‌ ගත්තා. මට හරි සතුටුයි. මම විවාහකයි. මට දරුවන් දෙදෙනෙක්‌ ඉන්නවා. ඒ අය පාසල් යනවා. ස්‌වාමියත් වත්තේ වැඩ. දලු වැඩි කාලෙට අපිට පඩි වැඩියෙන් ලැබෙනවා. දළු අඩු වෙනකොට තමයි ප්‍රශ්න. හොඳ දේශගුණයක්‌ සමග තේ ගහට හොඳට සාත්තු කරනවා නම් තේ දලු හොඳට ඇදෙනවා. තේ ගහට ආදරය කරන කාටවත් වරදින්නේ නෑ.

ආර්. මල්ලිකා තවත් එවැනි දලු කඩන්නියකි.

මට අවුරුදු හතළිස්‌ දෙකයි. මමත් දැන් අවුරුදු 25 කට වැඩි කාලයක්‌ වත්තේ වැඩ. මට මේ පාර රුපියල් 51,000/- ක වැටුපක්‌ ලැබුණා. අපිට හරි සතුටුයි. මම මේ මුදල් ළමයින්ගේ අනාගතය හා නිවසේ අලුත්වැඩියා කටයුතුවලට වැය කරනවා. මට ළමයි දෙන්නෙක්‌ ඉන්නවා. සැමියත් වත්තේ වැඩ කරනවා.

දිවා රෑ රහිතව යන්ත්‍ර සේ වැඩ කර රුපියල් පනස්‌ දහසක වැටුපක්‌ ලබා රටක්‌ රාජ්‍යයක්‌ දිනාගත්තාක්‌ සේ තෘප්තිමත් වන මේ මිනිසුන් දකින විට විටෙක සතුටක්‌ උපදී. ඒ රටක්‌ දියුණුවට මෙවැනි මිනිසුන් ඇවැසි බැවිනි. එහෙත් දුක හිතෙන්නේ ශ්‍රමයට හිමි වැටුප ගැන අවබෝධයක්‌ නැති මේ අසරණයින් සිටිනා තැනින් එක්‌ අඟලක්‌ හෝ උඩට නේaන බව සිතෙන බැවිනි.

මස්‌කෙළිය –
ගාමිණී බණ්‌ඩාර
ඉලංගන්තිලක
divaina 2014.06.15