කතරගම පුදබිමේ අනුහස් රටම අත්දුටු හැටි මෙන්න

පෘතුගීසීහු මෙරට යටත් කරගෙන සිටි සමයේ මුහුදුබඩ ප්‍රදේශවල තිබූ බොහෝ වෙහෙර විහාර සහ කෝවිල් කඩා බිඳ විනාශ කර දැමූහ. එමෙන්ම එම පූජනීය ස්‌ථානවල තිබූ රන් රිදී මුතු මැණික්‌ වස්‌තුව ද ඔවුහු පැහැර ගත්හ. අනතුරුව කඩා බිඳ දැමූ එම ඓතිහාසික සිද්ධස්‌ථානවල කතෝලික පල්ලි ඉදි කර ඇති බවට අදටත් සාක්‍ෂි ඇත. කතරගම ප්‍රදේශය ද පෘතුගීසීන්ගේ යටත් ප්‍රදේශයක්‌ ලෙස පැවති සමයේ කතරගම දේවාලයත් විනාශ කර දැමීමට පෘතුගීසීහු මහත් සේ වෙහෙස වූහ.

මෙරට ආණ්‌ඩුකාරවරයා ලෙස සිටි පෘතුගීසී පාලකයා දූතයන් යවා කතරගම දේවාලයෙහි ඇති වටිනා භාණ්‌ඩ ගැන ද විපරම් කර බැලුවේය.

කතරගම දේවාලය තුළ වටිනා රන් පිළිම, වෙනත් රන් ආභරණ සහ මුතු මැණික්‌ ඇති බව දැනගත් ආණ්‌ඩුකාරවරයා එම වස්‌තුව කොල්ල කා ගැනීමට නොතිත් ආසාවෙන් පසු විය. ආණ්‌ඩුකාරවරයා කතරගම දේවාලය විනාශ කිරීමේ මෙහෙයුම සැලසුම් කළේය. එමෙන්ම දේවාලය තුළ ඇති විශාල වස්‌තු සම්භාරය තමන් පමණක්‌ සතු කරගැනීමට ද ඔහු සිතුවේය. එහෙයින් ආණ්‌ඩුකාරවරයා කතරගම දේවාලය විනාශ කිරීමේ මෙහෙයුමට තම විශ්වාසවන්තම හමුදා භටයන් කිහිප දෙනකු පමණක්‌ සම්බන්ධ කර ගත්තේය.

‘කිසිම කෙනෙකු කිසිම දේකට බය වෙන්න එපා. මේක අපට අයිති පළාතක්‌. අපට අවශ්‍ය දෙයක්‌ කරන්න නිදහස තියෙනවා. කවුරුහරි විරුද්ධ වුණොත් වෙඩි තියන්න. අපිට විරුද්ධව නඩු අහන්න කවුරුවත් නැහැෆී’

භට කණ්‌ඩායම කතරගම දේවාලයට පිටත් කර හැරීමට පෙර ආණ්‌ඩුකාරවරයා තම සෙබලුන්ව එසේ දිරිමත් කළේය. තම නිලධාරියාගේ අණ පරිදි භට කණ්‌ඩායම මහ කැලය පීරාගෙන කතරගම දේවාලය සොයා යන ගමන ආරම්භ කළහ. කිහිප වරක්‌ම මග වැරැදිණි. එවිට ඔවුන් සිතුවේ අධික බීමත්කම නිසා මග වැරදුනා යෑයි කියාය.

කෑම බීමද අහවර විය. එහෙත් කෙසේ හෝ ඔවුහු දවස කළුවර වෙන්නට පෙර මැණික්‌ ගඟ තරණය කළහ. ඒ වන විට දේවාලයේ කපු මහත්වරුන් පූජාව අවසන් කර මාලිගාව වසා නිවෙස්‌ බලා යමින් සිටියහ. දේවාලයේ ආරක්‍ෂක මුර සේවකයන් කිහිප දෙනකු පමණක්‌ දේවාල භූමියේ රැඳී සිටියහ. ඒ හැරෙන්නට වෙනත් කිසිවකු පූජා භූමියේ නොසිටියේය.

එහෙත් අවට කළුවර වන විට දුඹුරු වන් සිවුරු පිළියෙන් සැරසුණු තාපසයෙක්‌ පැන් කෙන්ඩියක්‌ ද රැගෙන දේවාල භූමියට සක්‌මන් කරමින් සිටින අයුරු මුර සේවකයන් දුටුහ. මොහොතකින් දේවාලය ඉදිරිපිට එරමිණියා ගොතාගෙන හිඳ ගත් තාපසතුමා අසල සිටි මුර භටයකුට තම අතේ රැඳී පැන් කෙන්ඩිය දී මෙසේ කීවේය.

‘දරුව… කරුණාකර මැණික්‌ ගඟට ගොස්‌ පැන් මුට්‌ටියක්‌ ගෙන එන්න…’

ඒ කටහඬ සිත් නිවාලන සුළු විය. තාපසයකු වුවද මේ තාපසතුමාගේ පෙනුම ඉතාම ප්‍රසන්නය. ගත සුවඳවත්ය. සිදුවීම අදහාගත නොහැකිව කුතුහලයට පත්ව සිටි මුර භටයා විගසින් මැණික්‌ ගඟෙන් පැන් මුට්‌ටියක්‌ ගෙනැවිත් තාපසතුමාට පිළිගැන්නුවේය.

ඒ වන විටත් තාපසතුමා භාවනා යෝගීව සිටියේය. භාවනාවට බාධාවක්‌ නොවන අයුරින් පැන් කෙණ්‌ඩිය තාසපතුමාගේ දෙපතුළ අසලින් තැබූ මුර භටයා එතැනින් නික්‌ම ගියේය. එසැණින් ක්‍රියාත්මක වූ මුර භටයා අවේලාවේ දේවාල භූමියට පැමිණි තාපසතුමා ගැන දේවාලයේ අනෙකුත් සේවකයන්ද දැනුවත් කළේය.

විනාඩි කිහිපයක්‌ යන තැන බොහෝ පිරිසක්‌ දේවාල භූමියට එක්‌රොක්‌ වූහ. එම දේවාල භූමියට පැමිණි බොහෝ දෙනා භාවනා යෝගීව සිටින තාපසතුමා ගැන විවිධ කතා කියන්නට ද වූහ.

කාලය ගෙවී ගියේය. මැණික්‌ ගඟ තරණය කළ පෘතුගීසී භට කණ්‌ඩායම ද දේවාල භූමියට පැමිණෙමින් සිටියහ. පෙර කිසිදු දිනක පූජා භූමියේදී දැක නොතිබූ අවි ගත් මේ පිරිස පැමිණ සිටින්නේ දෙවියන් වඳින්න නොවන බව නම් එහි සිටි පිරිස අවබෝධ කර ගත්හ. එමෙන්ම ගිනි අවි අමෝරාගෙන සිටි කලිසම් කෝට්‌කාරයන්ට බිය වූ දේවාලයේ සිටි පිරිස හිස ලූ ලූ අත දුව යන්නට ද වූහ. එහෙත් දේවාලය ඉදිරිපිට භාවනා යෝගීව සිටින තාපසතුමා කිසිවක්‌ නොවෙන අයුරින් භාවනා යෝගීවම සිටියේය.

‘දේවාලය ඇරපල්ලා… මේක ඇතුළේ තියෙන වටිනා බඩු අපිට ගන්න ඕනා. මේවා අයිති අපිටයි…’

එක්‌ පෘතුගීසී භටයෙක්‌ කැඩුණු සිංහලෙන් එසේ කෑමොර දුන්නේය. එහෙත් භාවනා යෝගීව සිටින තාපසතුමා ඉරියව් වෙනස්‌ නොකළේය.

‘තොපිව මරනවා… මේක ඇරපියයව්…’

පෘතුගීසී හමුදා භටයා නැවත කෑමොර දුන්නේය. එහෙත් දේවාලය විවෘත කිරීමට කිසිවකු ඉදිරිපත් නොවිණි. ගත වූයේ මොහොතකි සියලු හමුදා භටයෝ අධික පිපාසයෙන් පෙළුණාහ.

‘අපිට වතුර තිබහයි. ඔය වතුර මුට්‌ටිය මෙහෙට දෙනවාෆී’ කියා එක්‌ භටයෙක්‌ තාපසතුමාගේ පැන් කෙණ්‌ඩිය අතට ගන්න සූදානම් වූයේය.

‘දරුවනේ කලබල වෙන්න එපා. ඔය පැන් මුට්‌ටියෙන් සේරමගේ පිපාසය නිවාගන්න පුළුවන්’

කාරුණික කටහඬින් තාපසතුමා එසේ කීවේය. ඒ සමගම අධික පිපාසයෙන් පෙළුණු සෙබළු එකිනෙකා පොරකමින් වතුර පානය කළහ. ගත වූයේ මොහොතකි. සෙබළු සියලු දෙනා උමතු බවට පත් වී හඬ නගමින් දෙවියන්ගෙන් සමාව යදින්න පටන් ගත්හ. අවි ගෙන පැමිණි පිට දේසක්‌කාරයෝ දෙවියන් යදින ශබ්දය ඇසී පලා ගිය දේවාලයේ සේවකයෝ පමණක්‌ නොව ගම්වැසියෝ ද නැවත දේවාල භූමියට දුව එන්නට වූහ. දෙවාල භූමිය මහ සෙනඟකින් පිරී ගියහ.

පෘතුගීසී හමුදා භටයෝ නොනැවතීම දෙවියන් යදින්නාහ. ඒ වන විට දේවාලය ඉදිරිපිට භාවනා යෝගීව සිටි තාපසතුමා අතුරුදන් වී සිටියේය. අනතුරුව දේවාලයේ කපු මහත්වරු දේවාලය විවෘත කර කහ දියර ගෙන ඉසීමත් සමග සෙබළු නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වූහ.

එසැණින් දේවාලය තුළට ගිය හමුදා භටයෝ දොහොත් මුදුන් තබා දෙවියන් වැඳ නමස්‌කාර කර කපු මහතAවරුන්ට ද ස්‌තුති කර පූජා භූමියෙන් පිට මං වූහ. එදැයි එදා පෘතුගිසී ජාතිකයන් කතරගම දේවාලයට හානියක්‌ කිරීමට කිසිදු ලෙසකින් නොසිතූහ. එහෙත් මෙරට පහත රට මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසීන්ට යටත් වීමත් සමග එම ප්‍රදේශවල තිබූ වැව් අමුණු විනාශ කර කෘෂිකාර්මික කටයුතු අඩාල කළේය.

කතරගම දේවාලයෙහි වතුපිටි කුඹුරුවලින් දේවාලයට වාර්ෂිකව ලැබිය යුතු ආදායම් නොලැබී ගියේය. එහෙයින් කතරගම දෙවියන් වෙනුවෙන් කරන වාර්ෂික ඇසළ මංගල්‍ය සිදු කිරීමට කපු මහත්වරුන්ට ගැටලුවක්‌ විය. උද්ගතව ඇති ගැටලුව ගැන එවකට කතරගම දේවාලයේ ප්‍රධාන කපු පරපුරේ ඇත්තන් සහ මහා බෙත්මේ (අද බස්‌නායක නිළමේ) හමු වී සාකච්ඡා කළහ.

මෙම කතිකාවත සිදු කරන අතර ඔවුන් සිටි ස්‌ථානයේ ඉදිරියේ තිබූ ගල් පර්වතයක්‌ තුළින් එළියක්‌ විහිදුවා අදෘශ්‍යමාන පද්ගලයකු පෙනී සිටියේය. මොහොතකට සාකච්ඡාව නතර කර ඔවුහු එම අදෘශ්‍යමාන පුද්ගලයා සිටින ඉසව්වට ගොස්‌ සාදුකර දී වැද නමස්‌කාර කළහ. අනතුරුව ගල මත සිටි අදෘශ්‍යමාන පුද්ගලයා කපු මහත්වරු අමතා මෙසේ පවසා තිබිණි.

‘උඹලා පෙරහැර නොකර ඉන්න එපා. මම අද සිට සතරදිග් භාගයෙන් බැතිමතුන් ගෙන්වා දෙන්නම්. ඒ අය දෙන පඬුරුවලට උන්ට ආශිර්වාද කරපල්ලා. පෙරහැර හොඳට කරපල්ලා’ පවසා ගල මත සිටි අදෘශ්‍යමාන පුද්ගලයා අතුරුදන් වී ඇත.

තරංග රත්නවීර