අවුරුදු 50 ක්‌ පැරැණි ප්‍රතිඋපකාරයක්‌ කරපු හැටි ගැන මෙන්න

පැරණි නිවස

තමන් උපයන ධනයෙන් කොටසක්‌ පරෝපකාරය සඳහා වෙන් කොට තබන්නැයි කී ආගමික ශාස්‌තෲවරු බොහෝය. බුදු දහමේ, කිතු දහමේ, ඉස්‌ලාම් දහමේ මෙන්ම හින්දු ධර්මයේ ද නැති බැරි අයට තම ධනයෙන් ඇප උපකාර කිරීම උතුම් පුණ්‍ය කර්මයක්‌ සේම සත් ක්‍රියාවක්‌ ලෙස සලකා ඇත්තේ ද එහෙයිනි.

එහෙත් ඒ ධර්මය හෝ සත් ක්‍රියාව කරමින් සමාජයට වැඩදායක ලෙස පර උපකාර සේවාවේ යෙදෙන දානපතියන් ඇත්තේ කීයෙන් කී දෙනෙක්‌ ද?

අද අපගේ කතා නායකයා වන හම්බන්තොට සිංහ මුදලාලි හෙවත් ගුණදාස මුණසිංහ එබඳු දුර්ලභ ගණයේ ත්‍යාගශිලී ධනවතෙකු ලෙස හඳුන්වාදිය හැකිය. ඔහු ධනවතෙකු වූ කතාව මෙන්ම ත්‍යාගශීලී පුද්ගලයකු වූ කතාව පිටුපස ඇත්තේ හරි අපූරු අතීත කතාන්දරයකි. ඒ අතීත කතාව තුළින් වර්තමානයට පිවිසි ආකාරය අපි අද ඔහුගේම වචනයෙන් මෙසේ අසමු.

“දැනට අවුරුදු 50 කට විතර ඉස්‌සර මම ඉතාම අමාරුවෙන් එදා වේල හම්බ කරගෙන ජීවත් වුණු කෙනෙක්‌. මම උපන්නේ හක්‌මන. නමුත් මට ඒ ගමෙන් එන්න වුණා. ඇවිත් මට බිරිඳත් එක්‌ක මේ හම්බන්තොට ඉන්න හිටින්න හරි තැනක්‌ තිබුණේ නැහැ. ඔය වෙලාවේ මෙහේ හිටපු ඉතාම හොඳ මනුස්‌සයෙක්‌ මට ලොකු උපකාරයක්‌ කළා.

මට ඉඩම් කෑල්ලක්‌ පෙන්නලා ඒ උතුම් මනුස්‌සයා කිව්වා පුළුවන්නම් අන්න අතන ගෙයක්‌ හදාගෙන ජීවත් වෙනවා කියලා. මම එතන අත්තිවාරමක්‌ කපලා ලී කෝටු හිටවලා වරිච්චි බිත්තියෙන් පොල්අතු හෙවිලි කළ ගෙයක්‌ හදාගෙන ආවේ ගේ ඇතුලේ තෙත හිඳෙන්නත් කලින්.

ඊට පස්‌සේ මම අමාරුවෙන් වැඩ කරල, වැඩ කරලා මහන්සි වෙලා පුංචි පුංචි කොන්ත්‍රාත් වැඩ කරල ඊට පසසේ ව්‍යාපාරික කට යුතුවලට ගිහින් බින්දුවෙන් පටන් ගෙන ක්‍රමයෙන් ඉහළට ගියා. දැන් මට ජීවත්වෙලා මගේ දරුවන්ටත් සුරක්‍ෂිත අනාගතයක්‌ හිමිකර දීල, නැති බැරි අසරණ අයටත් උදව් කරන්න පුළුවන් ශක්‌තියක්‌ තියෙනවා.

නව නිවස

මට අර එදා ගෙයක්‌ හදාගන්න උදව් කරපු මනුස්‌සයා මතක්‌ කරමින් තමයි මම අදත් අනුන්ට උපකාර කරන්නේ. ඒ මඟ පෙන්වීම මට ඔහුගෙන් ලැබුණ නිසයි මමත් ත්‍යාගශීලී මිනිහෙක්‌ වුණේ.

මෙසේ ඇරඹූ පරෝපකාර සේවාව තුළ ගුණදාස මුණසිංහ රටට හා ප්‍රදේශයට ඉටුකළ සේවා අපමණය. ඒ අතරතුර ඔහු පසුගියදා හරි අපූරු ප්‍රති උපකාරයක්‌ කරන්නට කල්පනා කළේය. ප්‍රති උපකාරය වූ කලී හම්බන්තොට මිරිඡ්ජවිල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලකට පදිංචිය සඳහා රුපියල් ලක්‍ෂ 7 ක මුදලක්‌ වැය කොට අගනා නිවාසයක්‌ තනා දීමය.

මම අද මේ කළේ මීට අවුරුදු 50 කට කලින් යමෙක්‌ මට කළ උපකාරයට ප්‍රති උපකාරයක්‌. ඒ කෙනා තමයි මට පදිංචි වෙන්න ගෙයක්‌ හදාගන්න ඉඩමක්‌ පෙන්නුවේ. එයාගේ පුතා තමයි මේ සමන් ප්‍රදිප්. සමන් ප්‍රදීප්ට මේ ගේ ලැබුණෙත් ඔහුගේ පියා මට කළ උපකාරය හා මඟ පෙන්වීම නිසයි.

මේ නිවස පසුගිය 25 වැනිදා හම්බන්තොට දිසාපති ඩී. බී. මීගස්‌මුල්ල මහතා අතින් සමන් ප්‍රදීප්ලාගේ පවුලේ අයිතියට පැවරිණි.

මම සමාජයටත් සෙතක්‌ වන දේ කළ යුතු යෑයි කල්පනා කිරීමේ ප්‍රතිඵලය තමයි මේ කටයුත්ත.

මෙපමණක්‌ නොව ඇස්‌ පෙනීම දුර්වල දිළිඳු අයට අක්‍ෂි කාච ලබාදීම, මිරිඡ්ජවිල සීතාරාමය, අම්බලන්තොට ජූල්පල්ලම පුණ්‍යාලෝක විහාරය යන සිද්ධස්‌ථානවල විහාරාංග ඉදිකිරීම, මිරිඡ්ජවිල ජූල්පල්ලම දහම් පාසල් ළමුන්ට දහම් අධ්‍යාපනයට පහසුකම් සැපයීම,

හම්බන්තොට සිංහ මුදලාලි හෙවත් ගුණදාස මුණසිංහ

මිරිඡ්ජවිල මහ විදුහල, හම්බන්තොට මහ රෝහල බුදු මැඳුර තනාදීම, චිත්‍රාගල ප්‍රබෝධාරාම චෛත්‍යය ඉදිකිරීම පිණිස ආධාර කිරීම, මානඡ්ජාව මෙත් සරණ වැඩිහිටි නිවාසයේ වැඩිදියුණුවට හා පැවැත්මට සහාය වීම,

මිරිඡ්ජවිල හා අවට ප්‍රදේශවල අවමඟුල් සිදුවන දිළිඳු පවුල්වලට මූල්‍යාධාර ලබාදීම වැනි සමාජ මෙහෙවර සඳහා මේ වන විට මොහු විසින් පරිත්‍යාග කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 50 කට අධිකය. කරඹගල ආරණ්‍ය සේනාසනයට ජල පහසුකම්, සංඝාවාසය තැනීම හා බුද්ධ ප්‍රතිමාව ඉදිකිරීම යන කටයුතු ද ඔහු අතින් ඉටුව ඇති තවත් ශාසනික සේවයකි.

නව නිවාසලාභී සමන් ප්‍රදීප් 40 හැවිරිදි තිදරු පියෙකි. ඔහු මෙතෙක්‌ කලක්‌ ජීවත් වූ කුඩා පැල්පත වෙනුවට කාමර දෙකකින් හා විධිමත් වැසිකිළියකින් යුත් නව නිවස, ඔහුගේ පවුලේ අයට නව ජීවන අත්දැකීමක්‌ වනවාට නිසැකය.

හම්බන්තොට බන්දුල මානවඩු