ලක්‌දිව “මුල්ම සිංහල අවුරුදු උළෙල හා ක්‍රීඩා උළෙල” පැවැත්වුණේ මෙහෙමයි

වර්ෂ 1885 වසර අප රටේ බෞද්ධ ජනතාවට සුවිශේෂ දිනයක්‌ විය. ඊට හේතුව වූයේ 1885 අප්‍රේල් 25 වනදා රජය ප්‍රකාශයට පත් කළ පරිදි එළඹෙන වෙසක්‌ දිනය රජයේ නිවාඩු දිනයක්‌ බවට පත්වීමයි.

වාදීභසිංහ නම් ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් මිෂනාරීන්ට එරෙහිව දියත් කළ පංච මහා වාදයන්ගෙන්ද පානදුරාවාදයෙන් ද මිෂනාරි මත පරදවා බෞද්ධයන්ට ජය හිමිවීම මෙරට බෞද්ධයන්ගේ සිත් සතන් ප්‍රීතියෙන් උදම් කරන්නට සමත් විය.

“ශ්‍රීමත් හෙන්රි ඕල්කට්‌තුමාගේ” අපමණ උත්සාහය මල්ඵල ගැන්වී වෙසක්‌ පෝදා දවස රජයේ නිවාඩුවක්‌ ලෙස දිනා ඉන් වසරකට පසු 1886 වසරේ සිට අලුත් අවුරුදු දිනය රජයේ නිවාඩු දිනයක්‌ බවට පත්වීමේ ප්‍රීතිය විඳින්නට ද හෙළයන් වාසනාවන්ත වූහ.

ඒ අනුව මෙවර අප සමරන්නේ 129 වැනි අලුත් අවුරුදු උළෙලයි. මුල්ම අවුරුදු උළෙල ජාතික හැඟීමෙන් හෙළ සිරිතට විරිතට අනුව පවත්වන්නට මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි, අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්‌චJද්‍ර තුමා, පියදාස සිරිසේන, ජෝන්ද සිල්වා වැනි යුග පුරුෂයන්ට එක්‌වූහ.

ඔවුහු ජාතික ඇඳුමෙන් සැරසී හෙළ සිරිතට අනුව මුල්ම අවුරුදු උත්සවය 1886 දී සැමරුවෝය. ඉන් වසර 18 කට පසු අදින් හරියටම වසර 100 කට පෙර ප්‍රථම වරට කොළඹ නගරයේදී 1914 අප්‍රේල් 13 වැනිදා මුල්ම සිංහල අවුරුදු ක්‍රීඩා උළෙල උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී. ඒ සිංහල තරුණ සමිතිය නම් වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහකත්වයෙනි.

සිංහල අවුරුදු උලෙළ ඇරඹීමට මුල් වූ “සිංහල තරුණ සංවිධානය” එහෙත් වර්ෂ 1886 සිට සිංහල අවුරුද්ද දා රජයේ නිවාඩුව ලබාගෙන රජයේ නිලධාරීන් හා සේවකයන් නිවෙස්‌වලට වී සිටිනු මිස ඒ වෙනුවෙන් කිසිදු උත්සවයක්‌ පැවැත්වීමක්‌ නොකඩවා සිදු කෙරුණේ නැත.

ළමා ළපටින් හා යොවුන් දරු දැරියන් එක්‌ව අසල්වැසි දරු දැරියන් සමග මදක්‌ ඉඩකඩ තිබූ ගෙමිදුලක ඔවුන් කැමති ආකාරයේ විවිධ ගැමි ක්‍රීඩාවල නිරත වූවා මිසක අවුරුදු ක්‍රීඩා කියා විශේෂ කිසිවක්‌ මහා පරිමාණ මට්‌ටමෙන් සිංහල අවුරුද්ද සඳහා ලක්‌දිව පැවැත්වූයේ නැත. මේ තත්ත්වය දිගින් දිගටම වසර ගණනාවක්‌ පුරා ඇදී ගියේ සිංහල අවුරුද්ද පිළිබඳ කිසිම ජාතික හැඟීමක්‌ මතු නොකරමය.

අවුරුදු උළෙල සැමරීම සඳහා ක්‍රීඩා මහෝත්සවයකට පදනම දමන්නට තවත් වසර 24 ක්‌ අප ලක්‌ මෑණියන්ට කල් බලා සිටින්නට සිදුවිය. ඉන් පසු ලක්‌වැසි දනන් සියල්ලන්ගේ සිත් ප්‍රමෝදයට පත් කරමින් 1910 දී සිංහල ප්‍රභූහු පිරිසක්‌ එක්‌ව “සිංහල තරුණ සංවිධානය” නමින් සංගමයක්‌ පිහිටුවා ගත් අතර බේද භින්නව සිටි සිංහල ජනතාව එකමුතු කරමින් ජාතික ආගමික අධ්‍යාපනික සංස්‌කෘතික හා ආර්ථික දියුණුවක්‌ ලංකාව තුළ ඇතිකිරීම එහි මූලික අරමුණ විය.

මෙම තරුණ සමිතියේ මුල්ම සභාපතිවරයා වූයේ සර් ඩී. බී. ජයතිලක මහතාය. උප සභාපති වශයෙන් චාල්ස්‌ ද සිල්වා මහතාද ලේකම් වශයෙන් ඊ. ඒ. අබේසේකර මුදලිතුමාද ප්‍රධාන අනුශාසකවරයා වශයෙන් පෝල් ඊ. පීරිස්‌ මහතා ද කටයුතු කළහ.

සමිතිය අරඹා වසර 4 ක්‌ ගෙවී උදාවූ 1914 අප්‍රේල් 14 වැනිදා කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ලක්‌දිව “මුල්ම සිංහල අවුරුදු උළෙල හා ක්‍රීඩා උළෙල” පැවැත්වීමට සිංහල තරුණ සංවිධානයට හැකිවීම හෙළයන් වන අප කාගේත් මතකයේ නිදන්ගත විය යුතු තරම් අගනා සිදුවීමකි.

හෙළයන්ටම ආවේනික වූ කෙළි සෙල්ලම්වලින් හැඩ වැඩ වූ එම මුල්ම අවුරුදු උළෙලට දහසක්‌ පමණ දෙනා සහභාගි වූ බව එකල ලංකාවේ ජනප්‍රියම පුවත්පත වූ දිනමිණ තම මුල් පිටුවේ ඡායාරූප සමග වාර්තා කර තිබුණේ අභිමානවත් ලෙසිනි.

දෙවැනි අවුරුදු උළෙල ද 1915 දී “කොළඹ වික්‌ටෝරියා පාක්‌” (අද විහාරමහා දේවි උද්‍යානය) හිදී පැවැත්වුණු අතර තෙවැනි අවුරුදු උළෙල 1916 දී පැවැත්වුණේත් මහනුවර නගරය කේන්ද්‍ර කරගෙනයි.

ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් ගමින් ගමට සිංහල අවුරුදු උළෙල ඉතා උත්සවාකාරයෙන් සිදුකිරීම ඇරඹී අද දක්‌වා විවිධ නව අංග හා ක්‍රීඩා ජනකෙළි නැටුම් ආදී දෙයින් හැඩ වැඩ වී අවුරුදු උළෙල සිංහල – හින්දු යනුවෙන් ජාතික එකමුතුවක්‌ හා සහයෝගිතාවක්‌ද සහිතව ශ්‍රී ලංකාවේ සිංහල – හින්දු එකමුතුකම ප්‍රදර්ශනය කරමින් වසරක්‌ පාසා පැවැත්වේ.

ගමට අවුරුදු ගෙන ආ පැරණි අමුත්තෝ
රෙදි පොට්‌ටනිකාරයෝ

අදින් වසර 70 කට පමණ පෙර අපේ රට මෙතරම් නාගරිකකරණයට බඳුන්ව නොතිබිණි. අපේ රට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබන්නට පෙර මෙරට අර්ධ නාගරීකරණයට ලක්‌වූ බොහෝ ප්‍රදේශවලට පැමිණෙන විවිධාකාර චීන වෙළෙඳුන්ගේ පැතිරීමක්‌ දක්‌නට ලැබිණි.

රෙදි පොට්‌ටනියක්‌ හිස මත තබාගෙන අලුත් අවුරුදු කාලය සමීපවෙත්ම ගමින් ගමට යමින් ගමේ මිනිසුන්ට අවුරුද්දට අවශ්‍ය රෙදි සැපයුවේ මෙම පොට්‌ටනි වෙළෙඳුන්ය. අලුත් අවුරුද්දට කලින් ඔවුන්ටම හුරු වූ කැඩුණු සිංහල බසින් රෙදි යේප්, රෙදි යේප් යනුවෙන් හඬ නගමින් මෙම වෙළෙඳුන් ගමක්‌ ගමක්‌ ගානේ රෙදි වෙළෙ¹මේ යති. එකල අද තරම් වෛවාරණ රෙදි සාප්පු දකින්නට ලැබුණේ නැති තරම්ය.

රට වැසියන් අතර වඩාත් ජනප්‍රියව තිබුණේ චීන රෙදිය. චීන ජාතිකයන් බොහෝ කලක සිට රෙදි නිෂ්පාදනයට බොහෝ පළපුරුදුකම් සහිත වූවන්ය. එකල සෑම ගෙදරකම අය අලුත් අවුරුද්දට අවශ්‍ය රෙදි ගත්තේ මෙම රෙදි පොට්‌ටනිකාරයන්ගෙනි. චීන පොප්ලින් රෙදි රැගත් මුස්‌ලිම් වෙළෙඳුන් ද මේ වෙළෙ¹ම්කරුවන් අතර වූහ.

ගන්නා ලද රෙදිවලට මුදල් වෙනුවට ධාන්‍ය වලින් මුදල් පියවීමක්‌ද එකල සිදුවිය. අද ප්‍රධාන හා උපනගරවල මෙන්ම ගමින් ගම දොරින් දොර කඩ සාප්පු විවෘතව පවතී. අවශ්‍යතාවයටත් වඩා හිතේ හැටියට අතේ ඇති මුදලට අවශ්‍ය රෙදිපිළි ඇතුළු ඕනෑම දෙයක්‌ මිලදී ගත හැකිය. “අවුරුදු සේල්” නාමයෙන් පරණ රෙදිපිළි තොග වෙළෙඳපොළට දැමීමෙන් විශාල ලාභයක්‌ ලැබීමට තරම් ජාතික හැඟීමෙන් පිරිහුණු තමන්ගේකම ගැන නොසිතන බොහෝ රෙදි වෙළෙඳුන් වර්තමානයේ අලුත් අවුරුදු සමය පැමිණෙන තෙක්‌ නොඉවසිල්ලෙන් බලා සිටිති.

වළං කරත්තය

අලුත් අවුරුද්දට අලුත් වළං වල ආහාර පිසීම ශුභ ප්‍රතිඵල ගෙන දෙන්නක්‌ බව පැරැන්නන් තදින් විශ්වාස කළහ. අද නවීන සමාජයේ අය නැකතට කිරි ඉතිරවීමට පමණක්‌ කුඩා මැටි මුට්‌ටියක්‌ වළං වෙළෙන්දෙකුගෙන් මිලදී ගන්නේ දෙතුන් වරක්‌ම කේවල් කිරීමෙන් පසුවයි. එහෙත්

පැරැන්නන් කොරහ, නෑඹිලිය, බත් මුට්‌ටිය, වෑංජන හට්‌ටි, වතුර කළය, රොටි කබල ආදී සෑම මැටි භාණ්‌ඩයක්‌ම සිංහල අලුත් අවුරුදු සමයේ මිලට ගත්තේ දැඩි ආශාවකින් මෙන්ම නිවසේ මුළුතැන්ගෙයට අලුත් භාණ්‌ඩ

රැසක්‌ එකවර එකතු වීමේ සතුට දොරේ ගලද්දීය. සමහර කරත්තකරුවෝ වළං කරත්තයකින් සතියක්‌ පුරා එක්‌ ගම් ඉසව්වක සැරිසරති. කරත්තයේ රිද්මයානුකූල ගමනට අනුව වැලි පාරවල් දිගේ කඳු හෙල් පසුකරමින් යන අතරතුර වළං බිඳීමෙන් ආරක්‍ෂා කළේ කමත්වල ගොඩනැගැසු පිදුරු වළං අතර රැඳවීමෙනි.

මෙහිදී බොහෝ විට ගොන් දෙන්නකු බැඳි බර කරත්තයක්‌ යොදා ගැනිනි. ගමනට කරත්තකරුවාගේ සහායට තවත් කෙනෙක්‌ එකතුවීමද සිදුවිය. ඈත ගම්වල කුඹල්කරුවන්ගෙන් මිලදී ගත් වළං දෙතුන් දහසක්‌ විශාල බර කරත්තයක රැගෙන යා හැකි විය. සමහරු දින දෙක තුනකට සෑහෙන වෙළෙ¹මක්‌ කරගත හැකි වන සේ තනි ගොනකු බැඳි සැහැල්ලු කරත්තවලින් වළං වෙළ¹මේ යෙදිනි.

දිනක වෙළෙ¹ම වෙනුවෙන් වළං රැගෙන එන “වළංකත්කාරයන්ද” වළං කදක්‌ රැගෙන එකල ගම් දනව් පුරා සැරිසැරූහ. වළං කදක දෙපස වළං රඳවා තබාගන්නේ ලණුවලින් සකසාගත් උර වැනි දෙයකය. බොහෝ විට මෙම වළං කත්කරුවන් වළං නිපදවන්නන් ම විය.

සිංහල අවුරුද්ද වෙනුවෙන්ම ඊට මාස තුන හතරක සිට නිපදවන විවිධ වර්ගයේ මැටි වළං කලට වේලාවට නිමවා ගැනීම ඔවුන් තම දීර්ඝකාලීන අත්දැකීම් අනුව සිදු කළහ. වළං කත්කරුවාගෙන් මිලදී ගන්නා වළංවල මිල පියවන්නේ බොහෝවිට වී වලිනි. එසේ නොමැති නම් කුරහන්, තල හෝ කජු, පුවක්‌ වැනි දේද එකල මුදල් වෙනුවට හුවමාරු මාධ්‍ය ලෙස වැඩි වශයෙන් භාවිත විය. මෙම කරත්තකරුවන් තම වළං විකුණා ලැබෙන මුදල් මෙන්ම වී ආදී පෙර කී ද්‍රව්‍ය රැගෙන යාම “වළං කත්කරුවාට” වඩා පහසුවෙන් තම ගම් රටවල් බලා ගෙන ගියහ.

පෙරදා සෑම වසරකම චාරිත්‍රයක්‌ තරමට ගැමි ජන ජීවිතය තුළ සිදුවූ මෙවන් දේ අද අභාවයට ගොසිනි. එදා මැටි වළඳ වෙනුවට “ඇලුමිනියම්” බඳුන් මෙන්ම “නොන්ස්‌ටික්‌” බඳුන් ද මුළුතැන්ගෙයි භාණ්‌ඩ වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇත. අද සමහරු කිරි ඉතිරවීමටද යොදාගන්නේ ඇලුමිනියම් බඳුනකි.

නැතිනම් සාස්‌පානකි. එනිසාම ලංකාවේ කුඹල් කර්මාන්තයද කෙමෙන් අභාවයට ගොස්‌ අද පණ අදිමින් අවසන් ගමනට සැරසී සිටී. නැවුම් මුට්‌ටියක බතක්‌ උයා නැවුම් හට්‌ටියක “හත් මාලුවක්‌” උයා නැවුම් මැටි කළයකින්, ගුරුලේත්තුවකින් තොලකට බඩ සනසාගන්නට නවීන හෙළයෝ කිසිත් උනන්දුවක්‌ නොදැක්‌වීම තුළ ද හෙළ ජාතියේ පිරිහීම තැවරී ඇතැයි කිව හැකිය.

ගමට අවුරුදු ගෙනා මණිබඩු වෙළෙන්දො

රෙදිපිළි වළං මෙන්ම පෙරදා ගැමි කාන්තාව අවුරුදු උදාව ළංවත්ම මඟබලා හිඳින්නේ “මණිබඩු වෙළෙන්දා” ගමට එනතුරුය. මණිබඩු වෙළෙන්දා හිස තබාගෙන එන පෙට්‌ටියක මණිබඩු වර්ග රැසක්‌ ඇතුළත් විය. මාළ, වළලු, මුදු, කරාබු, ආයා කටු (හැට්‌ට කටු), කොණ්‌ඩා කටු, සාරි කටු, මුහුණ බලන කණ්‌ණාඩි ආදිය පමණක්‌ නොව විවිධ සුවඳ විලවුන් හා පවුඩර් වර්ග ආදිය ද වෙයි.

කඩ මණ්‌ඩිය පසුකරමින් ගමේ වෙල් යාය මැදින් ගුරු පාරෙන් ඉතාම කුඩා පැල්පත දක්‌වා ගමන් කරන්නේ මොවුන් වෙළෙ¹ම සරුවීම පිළිබඳව කිසිදු සැක සංකාවකින් තොරවය. මණිබඩු වෙළෙන්දාගෙන් යම් යම් දේ මිලදී ගන්නට පෙරුම් පුරා සිටින්නේ විශේෂයෙන් කාන්තාවන් අතරින් හිරිමල් වියේ පසුවන තරුණියන්ය. වසරක්‌ පුරා මැටි කැටයක එකතු කළ කාසි කැටය බිඳ එකතු කර කුඩා හැඹිලියක දමා හැට්‌ටය අස්‌සේ සඟවා ගෙන මණිබඩුකරුවා ගමට එනතුරු බලා සිටින ළඳුන්ද අද සිරිලක කොතැනකවත් නැත.

මන්ද මෙසිරිලක වර්තමානයේ අනන්ත වූ තොරොම්බල් විච්චූර්ණ වලින් පමණක්‌ නොව සිය ගණන් රූපලාවන්‍ය ආලේපන වලින්ද පිරී ඉතිරුණ වෙළෙඳ සංකීර්ණ නගරවල පමණක්‌ නොව එවැනි නවීණ තොරම්බල් බඩු ගමේ සිල්ලර කඩයේද වීදුරු රාක්‌කවල පුරවා තිබේ.

කොසු ඉදල් හා කුළු වෙළෙන්දො

පෙරදා මැටි පිරියම් කළ බිත්ති සහිත ගැමි ගෙවල් බොහොමයක්‌ ගොම මැටි ගෑ ගෙබිමකින් යුතු විය. සිමෙන්ති බිමට යොදා බිත්ති ගඩොලින් ගොඩනැගූ ගෙවල් තිබුණේ ගමේ යමක්‌ කමක්‌ ඇති අතළොස්‌සකට පමණි. නිවස හා මිදුල ඇමදීමට කොසු, ඉදල්

රැගෙන එන වෙළෙන්දන් “කුළු” හා “කිරිගොට්‌ට” වැනි ගෘහ මෙවලම් රැගෙන වෙළෙ¹මේ යන වෙළෙඳුන් කවදත් ගම් දනව් පුරා සැරිසැරුවත් බක්‌ මාසය උදාවන්නට කලින් එවැනි මෙවලම් වැඩිපුර කද බැඳගෙන වෙළෙන්දොa ගමට පැමිණෙති. කුමන තරාතිරමක නිවසක වුව මෙවැනි මෙවලම් මිලදී ගැනීම සඳහාම මුදලක්‌ වෙන්කර තබාගැනීමට පැරණි හෙළයන් පුරුදුව සිටියහ. මෙවැනි වෙළෙඳුන් මුදල්, වී, කුරක්‌කන්, පලතුරු, ගොරක, සියඹලා ආදී කුළුබඩු සමගින්ද මේ භාණ්‌ඩ ගැමියන් අතර හුවමාරු කර ගනී.

බොහෝ වෙළෙඳුන් ගමේ කඩ මණ්‌ඩියේ කඩයකින් යමක්‌ සප්පායම් වන අතර ගැමි ගෙවල් වලින්ද බත බුලත තේ පැන්, කොමඩු, තැඹිලි, කුරුම්බා වලින් ද තම හිතවත්කම් අලුත් කර ගනිති. මෙවැනි ප්‍රීතිමත් සහජීවනයෙන් පිරී ඉතිරී යන අලුත් අවුරුද්දක්‌ වෙනුවට අද සැමරෙන්නේ සරුව පිත්තල අලුත් අවුරුද්දකැයි කෙනකුට සිතුනේ නම් එය වරදක්‌ ද නොවේ.

හේනේ මාමා හා රෙදි නැන්දාගේ අවුරුදු ගමන

පෙරදා ගම්වල ඇත්තන් නිවැසියන් සතු විශේෂ ඇඳුම් සෝදවා ගත්තේ මේ රෙදි නැන්දාට බාර දීමෙනි. රෙදි නැන්දාගේ සැමියා හේනේ මාමාය. නැදැකමක්‌ නොමැති වුවද නැන්දා හා මාමා යන ගෞරව නාමයන් අතීත හෙළයන් ඔවුන්ට පුද කළේ ඔවුන් ඉටුකරන මහඟු සේවය වෙනුවෙනි.

රෙදි අපුල්ලා සෝදා දෙන්නට රෙදි නැන්දාට බාර දෙන්නේ වඩා හොඳින් පිරිසිදු කර රෙද්ද, හැට්‌ටය, සරම, සිල් රෙද්ද, ගමන් ඇඳුම් පොල්කටු ඉස්‌ත්‍රික්‌කයෙන් මනා ලෙස ඉස්‌ත්‍රික්‌ක කර (රෙදි මැදීම) ගැනීමටත් එක්‌කය. කහට පැල්ලම් ඇති රෙදි යළි තිබූ ලෙසම පිරිසිදු කිරීමේ ක්‍රමය පෙරදා දැන සිටියේ මේ රෙදි අපුල්ලන ඇත්තන් පමණි. මෑතක්‌ වනතුරුම එවැනි රෙදි zඩ්‍රයික්‌ලින්Z කරන ලද අතර වත්මනෙහි නම් කහට ගෑවුණු රෙදි මුළුතැන්ගෙයි දැලි වළං ඇල්ලීමට භාවිත කරන තරමට අලුත් රෙදිපිළි වර්ග අලුත් වී ලාභ වී වෙළෙඳපොළේ මෙන්ම පදික වේදිකාවල ද පිරී පවතී.

අද රෙදි නැන්දලා හෝ හේනේ මාමලා නැත. ඔවුන්ගේ දරුවන් කොළඹ කන්තෝරුවල කුරුටු ගාති. පරම්පරාගත රස්‌සාවට ආයුෂ නැතිවී හේනේ මාමාගේ පුතා හෝ දුව නීති විද්‍යාලවල ඉගෙන ගනිති. සමහර ගම්වල දිසාපතිවරුන් ද පාසල් ගුරුවරුන් සමහර ආයතනවල විධායක නිලධාරීන්ද වන්නට හේනේ මාමා සහ රෙදි නැන්දාගේ වෘත්තිය මළගම් යාම නම් ඉතා ශුභ කටයුත්තකැයි සිතේ. මන්ද පරිසරය හා සමාජය සමග වෙනස්‌ වන මිනිස්‌ කුලයේ ඇත්තන්ද නවීන සමාජයට ගැලපෙන සේ අනුවර්තනය විය යුතුය. එසේ නොවුණ හොත් ඒ පරපුර වඳවී යැම නැවතිය හැකි කෙනකු නැත.

මාලදිවයින් කත්කරුවෝ

උම්බලකඩවලට අදටත් ප්‍රසිද්ධ රට මාලදිවයින ය. ගැමි ගෙදරක විශේෂ බතක්‌ මාලුවක්‌ උයද්දී උම්බලකඩ යොදා ගැනීම පැරැණි හෙළයන්ගේ සිත් ගත් සිරිතක්‌ව පැවතිනි. අද මෙන් කෘත්‍රිම රසකාරක කුඩු වර්ග පෙරදා සුලභ නොවීය. උම්බලකඩ යෙදීමෙන් වෑංජන රසකර ගැනීම සෞඛ්‍යටද අහිතකර නොවිනි. බල මාළු විශේෂ ක්‍රමයකට අඹරා කුට්‌ටි කර ස්‌වභාවික අව් රශ්මිය මෙන්ම උෂ්ණ උඳුන් තුළ වියළා ගැනීමෙන් උම්බලකඩ නිපදවීමට චිරාත් කාලයක සිට මාලදිවයින් දූපත් රාජ්‍ය ප්‍රසිද්ධව සිටී.

එම නිසා පැරැන්නන් උම්බලකඩ වෙළෙන්දා හැඳින්වූයේ “මාලදිවයින් කත්කාරයා” නමිනි. උම්බලකඩ ගෙනා කද ධාන්‍ය, එළවළු, පලතුරුවලින් පුරවා ගෙන මාලදිවයින් කත්කරුවා “බුලත් මඩිස්‌සලයද” ඉණේ ගසාගෙන ගං මණ්‌ඩියෙන් පිටව නිවසට යන්නේ තම වෙළෙ¹ම සරුවීමේ ප්‍රීතියත් සමඟිනි. වර්තමානයේ උම්බලකඩ කිලෝවක මිල රුපියල් 2500 කි. රසය කෙසේ වෙතත් අද වෑංජනයකට උම්බලකඩ එක්‌කර ගැනීම කෙසේ වෙතත් පවතින ජීවන ගැටලු හමුවේ බොහෝ දෙනකුට උම්බලකඩ අමතකව ගොසිනි.

අවුරුදු සීට්‌ටුව හදන නැකැත් ගුරුන්නාන්සේගේ පැමිණීම

අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කළ යුතු නැකැත් සියල්ල නැකැත් ගුරුන්නාන්සේ විසින් සාදනු ලබයි. අද මෙන් නැකැත් සහිත ලිත් එදවස නොතිබුණි. නැකැත් ගුරුන්නාන්සේ අවුරුදු නැකත් ලියා දෙන්නට ගමේ සෑම නිවසකටම ගොඩවෙයි. එය “නැකැත් සීට්‌ටුව” ලෙස හැඳින්වීය. නැකැත් සීට්‌ටුව ලබාදීම වෙනුවෙන් නැකැත් ගුරුන්නාන්සේට තෑගි වශයෙන් කැවිලි, වී කුරක්‌කන්, එළවළු ගම්මුන්ගෙන් ලැබේ.

සියලුම නැකැත් වෙලාවන් සඳහා පන්සලේ ගන්ඨාරය හැඬවීමෙන් එම නැකැත් වේලාව ගැමියන්ට දැනගන්නට ලැබේ. ගමයි පන්සලයි අතර අදට වඩා ඉතාම සමීප බැඳීමක්‌ අතීතයේ පැවතුනි. වර්තමානයේ මෙවැනි චාරිත්‍රයක්‌ නොසිදු වෙයි. ඒ වෙනුවට අවුරුදු නැකැත් ඇතුළත් ලිතක්‌ වෙළෙඳපොළේ විකිණීමට ඇත.

අවුරුදු පිළිබඳ ඓතිහාසික සටහන්

“අවුරුදු”, “අවුරුද්ද” යන වචනය අද අපට ඉතා හුරු ලෙස දැනුනත් අවුරුදු යන වචනය අපේ සිංහල ජන වහරට එකතු වී තිබෙන්නේ සංස්‌කෘත භාෂාවේ එන “සංවත්සර” යන වචනය ආශ්‍රයෙනුයි. ශ්‍රී ලංකාවේ පැරණි සෙල්ලිපිවල අවුරුදු යන වචනය මීට වසර 1880 කට පමණ පෙර භාවිත වූයේ “භවජර” ලෙසටයි. “ක්‍රි.ව. 9 වන සියවස” පමණ වන විට ලියූ සෙල් ලිපි වලින් “භවජර” වචනය ඉවත් වී ඒ වෙනුවට ඇතැම් සෙල් ලිපි වල “හවුරුදු” වශයෙන්ද සඳහන් වේ.

උච්චාරණයේදී “හවුරුදු” වචනය අවුරුදු වූ බව පෙනී යන කරුණකි. එහෙත් වඩාත් වැදගත් ලෙස වසරක්‌ පාසා පැවැත්වෙන උත්සව “සංවත්සර” යන වචනයෙන් හැඳින්වීමට අදත් අප දෙවරක්‌ සිතිය යුතු නැත. කෙසේ වෙතත් “සිංහල අවුරුදු සංවත්සරය” යන්න වඩාත් නිවැරැදි භාවිතාවක්‌ ලෙස හඳුන්වන්න පුළුවන්.

රඹුක්‌කන-කීර්ති එස්‌. කුමාර