නව දේශීය ආදායම් බදු පනතෙන් බදු බර වැඩි වේවිද?

නව දේශීය ආදායම් පනත (2017 – අංක 24) අනුව ආදායම් බද්දේ වෙනස්කම් රාශියක්, 2018.04.01 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය. බද්ද ගණන් බැලීම කරනු ලබන්නේ පළමුවෙන් තක්සේරු කළ හැකි ආදායම ගණන් බලා එයින් සුදුසුකම් ලැබූ ගෙවීම් දීමනාව හා වෙනත් සහන දීමනා අඩුකොට බදු අයකළ හැකි ආදායම ගණන් බැලීමෙනි.

බදු අයකළ හැකි ආදායමට බදු අනුපාතික යොදා දළ ආදායම් බද්ද ගණන් බලනු ලැබේ. බදු බර තිබේ නම් ඒවා අඩුකළ පසු ඉතිරි ප්‍රමාණය ගෙවිය යුතු බද්ද වේ. ආදායම් බද්ද ගෙවීම සාමාන්‍ය පරිදි ස්ව තක්සේරු ක්‍රමය යටතේ කාර්තු ගෙවීම් 04න් කළ යුතුය. සාමාන්‍යයෙන්, මාර්තු 31 දිනට ගිණුම් පියවන තැනැත්තකුගේ කාර්තු ගෙවීම් පහත පරිදි වේ. (2018 / 19 සඳහා)

1. වැනි කාර්තුව – 2018.08.15 දින

2. වැනි කාර්තුව – 2018.11.15 දින

3. වැනි කාර්තුව – 2019.02.15 දින

4. වැනි කාර්තුව – 2019.05.15 දින

2006 අංක 10 දරන පනත යටතේ 2017 /18 සඳහා ගෙවිය යුතු කාර්තු ගෙවීම්ද 2018 වර්ෂයේදී ද කළයුතු වනු ඇත.

මෙම ගෙවීම් කළ යුත්තේ පවත්නා වර්ෂයේ පදනම මත (01.04.2018 සිට 31.03.2019) ගණන් බලන ලද ඇස්තමේන්තු ආදායම පදනම් කරගෙනය. මේ සඳහා ස්ව තක්සේරු ආදායම් වාර්තාවක්ද 2018.08.15 දින ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, පළමුවරට බදු ගෙවන අවස්ථාවකදී පසුගිය වර්ෂයේ බද්ද 5%න් වැඩිකොට කාර්තු ගෙවීම් ඇස්තමේන්තු කළ හැක. තවද, පසුගිය වර්ෂයේ ආදායම් බදු බැඳියාවක් නැති තැනැත්තකු ස්ව තක්සේරු ක්‍රමය යටතේ කාර්තු ගෙවීම් කළ යුතු නොවේ.

ගෙවීම් පැහැර හැර ඇති අවස්ථාවලදී පොලියක් හා දඩයක්ද ගෙවීමට සිදුවේ. පොලිය ගණන් බලන්නේ නොගෙවා ඇති මුදල මත මාසිකව 1 ½% බැගිනි. මෙය මාසිකව වැල් පොලිය ලෙස ගණන් බලනු ඇත. උපරිම සීමාවක් නැත. මෙම පොලිය අඩුකිරීමට හෝ නිදහස් කිරීමට බලයක් නැත. මෙම පොලියට අමතරව ස්ව තක්සේරු ගෙවීම් පැහැර හැරීම මත නියමිත දිනයේ සිට දින 14 ඇතුළත ගෙවනු නොලැබුවහොත් නොගෙවූ බද්ද මත 10% දඩ මුදලක්ද ගෙවිය යුතුවේ. කෙසේ වෙතත් බද්ද ගෙවීමට කාලය දීර්ඝ කිරීමක් කොමසාරිස් ජනරාල් වෙතින් ලබාගෙන ඇත්නම් මෙම දණ්ඩනය අයකරනු නොලැබේ. නමුත් පොලිය ගෙවිය යුතුය.

නව පනත යටතේ ආදායම් ප්‍රභවයන් 04ක් පමණක් ඇත. එනම් සේවා නියුක්ති ආදායම, ව්‍යාපාර ආදායම, ආයෝජන ආදායම හා වෙනත් ප්‍රභවයන්ගේ ආදායමයි. ව්‍යාපාර ආදායමට සාමාන්‍ය ව්‍යාපාරවලට අමතරව කෘෂිකාර්මික ව්‍යාපාර, වෙළදාම, වෘත්තීය ආදායම, රක්ෂාවක ආදායම සහ ව්‍යාපාර ස්වරූපයේ හුදකලා කටයුතු ද ඇතුළත් වේ.

එක් එක් ආදායම් ප්‍රභවයට ඇතුළත් කළ යුතු ලැබීම් හා ඇතුළත් නොකළයුතු ලැබීම් පනතේ සඳහන් කර ඇත.

ඉඩදිය හැකි වියදම් හා ඉඩදිය නොහැකි වියදම්ද විස්තර කර ඇත. ඉඩදිය හැකි අලාභද අඩුකළ යුත්තේ තක්සේරු කළ ආදායම ගණන් බැලීමේදීය. අලාභ අඩුකිරීමේ නීතියද වෙනස්කර ඇත. වර්ෂයකදී සිදුවූ ඉඩදිය හැකි සම්පූර්ණ අලාභ ප්‍රමාණය අඩුකළ හැක. අඩුකළ නොහැකි ප්‍රමාණය වර්ෂ 06ක් ඉදිරියට ගෙන යාහැක. තක්සේරු කළ හැකි ආදායමින් බදු අයකළ හැකි ආදායම ගණන් බැලීමේදී අඩුකළ හැකි දේවල පහත පරිදි වේ.

i. සුදුසුකම් ලැබූ ගෙවීම්

පරිත්‍යාග – රජයට, පළාත්පාලන ආයතනයකට, විශ්වවිද්‍යාලයකට හෝ වෙනත් නියමිතව සඳහන් කර ඇති ආයතනයකට මුදලින් හෝ වෙනත් ආකාරයකින් කරනලද පරිත්‍යාග 100%ක්ම අඩුකළ හැක.

පනතේ සඳහන් පරිදි අනුමත පුණ්‍යායතනයකට මුදලින් කරන ලද පරිත්‍යාග සඳහා පුද්ගලයකු හට වර්ෂයකට රු. 75,000/- ක් හෝ බදු අයකළ හැකි ආදායමින් 1/3 ක් යන ප්‍රමාණයන්ගෙන් අඩු ප්‍රමාණය අඩුකර ගත හැක. ආයතනයකට නම් බදු අයකළ හැකි ආදායමින් 1/5ක් හෝ රු. 500,000/-ක් යන ප්‍රමාණවලින් අඩු ප්‍රමාණය අඩුකර ගත හැක.

ii. සහන දීමනා –

පුද්ගලික දීමනාව වර්ෂයකට රු. 500,000/- කි.මෙයට අමතරව සේවා නියුක්ති ආදායම වෙනුවෙන් තවත් රුපියල්. 700,000‍/- ක වාර්ෂික දීමනාවක් ලැබේ. මෙය සේවා නියුක්ති ආදායමේ උපරිමයට සීමාවේ.

යම්කිසි පුද්ගලයකු නිර්වාසික නම් ඉහත කී දීමනාවක් නොලැබේ. නමුත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියකු නම් රු.50,000/- දීමනාව ලබාගත හැක.

iii.ජ්‍යෙෂ්ඨ පුරවැසි සහන- මූල්‍ය ආයතනවලින් ලබාගන්නා පොලිය වාර්ෂිකව රු.1,500,000/- දක්වා බදු ගෙවිය යුතු නැත.

iv. විදේශ විනිමය ඉපැයීම් – වාසික පුද්ගලයකු ‍‍‍හෝ හවුල් ව්‍යාපාරයක් ශ්‍රීලංකාව තුළ හෝ ඉන් පිටත වි‍දේශ මුදලට ශ්‍රී ලංකාවෙන් පිටත තැනැත්තකු හට සේවා සැපයීමෙන් උපයන ලද විදේශ විනිමය ආදායම වාර්ෂික රු.15,000,000/- දක්වා බද්දට යටත් නොවේ.

බදු නිදහස් ආදායම්

දැනට තිබෙන බොහෝ බදු නිදහස් කිරීම් ඉවත්වේ. 2018.04.01 දිනට බලාත්මක කළ හැකි නීතියක් ය‍ටතේ හෝ ගිවිසුමක් යටතේ එදිනට පෙර ලබාගත් බදු නිදහස් කිරීම් අදාළ කාලය ඉකුත්වන තුරු වලංගු වේ. අලුත් බදු නිදහස් කිරීම් ඉඩදිය හැක්කේ නව පනත යටතේ පමණි. එවායින් සමහරක් පහත දැක්වේ.

i. තුවාල සිදුවීම් හෝ මරණය සම්බන්ධයෙන් ලැබෙන වන්දි ආදිය

ii. රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප

iii. සේවකයකු විශ්‍රාම යන අවස්ථාවකදී අනුමත අර්ථසාධක අරමුදලින් ලැබුණු ශේෂය සහ ඕනෑම විශ්‍ර‍ාම අරමුදලක් හෝ සේවා නියුක්ති භාර අරමුදලින් ලැබෙන ආයෝජන ආදායමේ කොටස.

iv. වාසික පුද්ගලයකු හට ආයෝජන වත්කමක් උපලබ්ධි කිරීමෙන් ලැබීම රු. 50,000 නොඉක්මවයි නම් නිදහස් වේ. මෙය අදාළ වන්නේ වර්ෂයේ මුළු උපලබ්ධි ලැබීම් රු. 600,000 නොඉක්මවන්නේ නම් පමණි.

v. වාසික පුද්ගලයකු ප්‍රධාන වාසස්ථානය වර්ෂ 03 ට නොඅඩු කාලයක් අඛණ්ඩ අයිතිය සහ වර්ෂ 02 ක්වත් පදිංචිව සිට විකිණීමෙන් ලැබෙන ප්‍රාග්ධන ලාභය නිදහස්ය.

vi. ලැයිස්තුවල මිල සමාගම් කොටස් උපලබ්ධියෙන් ලැබෙන ප්‍රාග්ධන ලාභ නිදහස් වේ.

vii. නියමිත කාර්යයන් සඳහා යොදවා ඇති පුණ්‍යායතනයකට ලැබුණු පොලී ආදායම නිදහස් වේ.

viii. නියමිත කටයුතු වෙනුවෙන් රජයෙන් ලැබෙන තෑගි මුදලක් නිදහස් වේ.

ix. ජනාධිපති අරමුදලින් ‍ලැබෙන මුදලක් නිදහස් වේ.

x. ජ්‍යෙෂ්ඨ පුරවැසියකු හට ජීවිත කාලයට ‍හෝ වර්ෂ 10 ක් සඳහා ඇති වාර්ෂිකයකින් ලැබෙන මුදල් නිදහස් වේ.

xi. රු.500,000 නොඉක්මවන ලොතරැයි තෑගි මුදලක් නිදහස් වේ.

xii. රජයෙන් ලැබුණු වාහන බලපත්‍රයක් යටතේ සේවකයකු හට ලැබෙන ප්‍රතිලාභය නිදහස් වේ.

වත්කමක් උපලබ්ධි කිරීමෙන් ලැබෙන ලාභ

i.ව්‍යාපාර ආදායමට සම්බන්ධ ප්‍රාග්ධන වත්කමක් (නිර්වචනයට අනුව) උපලබ්ධි කිරීමේ ලාභය ව්‍යාපාර ආදායමට ඇතුළත් කළ යුතුය. ගණන් බැලීම පනතේ iv.වැනි පරිච්ඡේදයේ සඳහන් පරිදි කළ යුතුය.

iii. අ‍ා‍යෝජන ආදායමට සම්බන්ධ ආයෝජන වත්කමක් (නිර්වචනයට අනුව) උපලබ්ධි කිරීමේ ලාභය ආයෝජන ආදායමට ඇතුළත් කළයුතුය. ගණන් බැලීම iv.වැනි පරිච්ඡේදයේ සඳහන් පරිදි කළ යුතුය.

iv. සේවා නියුක්ති ආදායමට සහ වෙනත් ප්‍රභවයකින් ලැබෙන ආදායමට සම්බන්ධ වත්කම් උපලබ්ධි කිරීමේ ලාභ තිබේනම් ඒවා අදාළ ආදායම් ප්‍රභවයට ඇතුළත් කළයුතුය.

මෙම උපලබ්ධි ලාභය “ප්‍රාග්ධන ලාභ” ලෙසද හඳුන්වනු ලැබේ.වත්කම් එකක් හෝ වැඩි ගණනක් අයිතිකරු ලෙස ආදායම් ලබාගන්නා අවස්ථා “ආ‍යෝජනයකින් ආදායම් ලැබීම” ලෙස නිර්වචනය කර ඇත.

“ආයෝජන වත්කම” ලෙස නිර්වචනය කර ඇත්තේ ආයෝජනයක කොටසක් වශයෙන් දරනු ලබන ප්‍රාග්ධන වත්කමකි. සියලුම වත්කම් ‍ආයෝජන වත්කම් ලෙස සැලකීම නිවැරදි නොවේ.

ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලැබෙන ලාභ 10% බැගින් බද්දට යටත් වේ. මෙම බද්ද වත්කම උපලබ්ධි වීමෙන් දින 30ක් ඇතුළත දී ගෙවිය යුතු වේ. ඒ සඳහා වෙනම වාර්තාවක්ද සැපයිය යුතුවේ. පුද්ගලයකු සම්බන්ධයෙන් වූකල උපලබ්ධි කරන්නේ, නිර්වචනය අනුව ආයෝජන වත්කමක්ද යන්න වැදගත් වේ.

සෑම සේවායෝජකයකුම, සේවා නියුක්තියේ මාසික මුළු ආදායම රු. 100,000/= ඉක්මවන සෑම සේවකයකුගෙන්ම, එම සේවා ප්‍රතිලාභ ගෙවන අවස්ථාවේදී, අදාළ බදු චක්‍රය යොදා, බද්ද අඩුකර ගත යුතුය. එසේබද්ද අඩුකර ගත්තත්, නැතත් ඊළඟ මාසයේ 15 දින වන විට අදාළ බද්ද කොමසාරිස් ජනරාල්ට ගෙවිය යුතුවේ.

ii. ආයෝජන ආදායම් වලින් බදු රඳවාගැනීම (84 වැනි වගන්තිය)

(අ) ව්‍යාපාරයක් කරනු නොලබන පුද්ගලයකු හැර වෙනත් ඕනෑම තැනැත්තකු ලාභාංශයක්, පොලී, වට්ටම, අයකිරීම් (charge) ස්වභාවිකව සම්පත් වෙනුවෙන් ගෙවීම්,කුලී, පුරස්කාර, වාරික හෝ විශ්‍රාම ගෙවීම් හෝ ලොතරැයි හෝ ඔට්ටු හෝ සුදු දිනුම් හෝ පරිත්‍යාග මුදල් ගෙවීම්.

(ආ) හවුල් ව්‍යාපාරයක ප්‍රමුඛ හවුල්කරු ලෙස හවුල් ව්‍යාපාරයේ ලාභ හා ආදායම් හවුල්කරුවන් වෙත බෙදා දීමේදී, රඳවා ගැනීමේ බද්ද අඩු කළ යුතුය.

කෙසේ වෙතත් මූල්‍ය ආයතනයකට සාමාන්‍ය ණය මුදල් හා අත්තිකාරම් මත ගෙවන පොළියට හෝ භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර හෝ රජයේ සුරැකුම්පත් මත ගෙවනු ලබන පොළියට හෝ වට්ටමට මෙම රඳවාගැනීම අදාළ නොවේ. බද්දෙන් නිදහස් ආදායම් රඳවා ගැනීමට යටත් නොවේ.

බදු අනුපාත : ජ්‍යෙෂ්ඨ පුරවැසියකු‍නොවන පුද්ගලයකුගේ බැංකු තැන්පත් මත 5% (ජ්‍යෙෂ්ඨ පුරවැසියකු සඳහා අදාළ අනුපාතිකය රෙගුලාසි මගින් නියමය කරනු ඇත)

කුලී සඳහා 10% බැගින්

අනිකුත් සියලුම කරුණු සඳහා 14% බැගින්

කෙසේ වෙතත් හවුල් ව්‍යාපාර ලාභ කොටස මත රඳවාගැනීම 8% බැගිනි.

(ඇ) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පවත්වනු ලබන වෙන්දේසි වලදී විකුණනු ලබන මැණික්වල විකුනුම් මිලෙන් 2.5% බැගින් රඳවා ගැනීමේ බද්දක් අදාළ අධිකාරිය විසින් රඳවාගත යුතුය.

iii. සේවා ගාස්තු ආදියෙන් බදු රඳවාගැනීම (85 වැනි වගන්තිය)

(අ) තමාගේ සේවකයකු නොවන වාසික පුද්ගලයකු හට පහත සඳහන් කරුණු මත සේවා ගාස්තු ගෙවන තැනැත්තා විසින් රඳවාගැනීමේ බද්ද අයකළ යුතුවේ.

(i) ඉගැන්වීම, දේශන පැවැත්වීම, විභාග පැවැත්වීම, විභාග පරීක්ෂක කටයුතු.

(ii) රක්ෂණ, විකුණුම් හෝ තැරැව්කාර වාසික නියෝජිතයකු හට කොමිස් හෝ තැරැව්ගාස්තු ගෙවීම.

(iii) සහතික කිරීමේ ගාස්තු

(iv) ටෙන්ඩර් හෝ මිල නියම කිරීම් මඟින් කොන්ත්‍රාත් පදනම යටතේ භාණ්ඩ සැපයීමට අදාළව සේවා ගාස්තු ගෙවීම.

(v) නිශ්චය කරනු ලැබූ වෙනත් කරුණු

ඉහත කරුණු සම්බන්ධයෙන් ගෙවීම මාසයකට රු. 50,000/- ට වැඩි නම් 5% බැගින් රඳවාගැනීමේ බද්ද අයකළ යුතුවේ.

(ආ) නිර්වාසික තැනැත්තකු හට සේවා ගාස්තුවක් හෝ රක්ෂණ වාරිකයක් ගෙවීමේදී එම මුදල මත 14% බැගින් රඳවා ගැනීමේ බද්ද අයකළ යුතුවේ.

නිර්වාසික තැනැත්තන් වෙත ගෙවනු ලබන වෙනත් ගෙවීම් සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්ට රෙගුලාසි පැනවීමෙන් බදු අනුපාතික තීරණය කළ හැක.

කෙසේ වෙතත් ඉහත සඳහන් රඳවාගැනීම් ව්‍යාපාරිකයකු නොවන පුද්ගලයකු විසින් කළ යුතු නොවේ. තවද, බදු නිදහස් ආදායම්වලටද මෙම රඳවාගැනීම් අදාළ නොවේ.

සාමාන්‍ය බදු අනුපාතික

මෙම අනුපාතික යොදාගත යුත්තේ මුළු බදු අයකළ හැකි ආදායමටය.

පුද්ගලයින් සඳහා (සියලුම ප්‍රභයන්ගෙන් ආදායම)

බදු අයකළ හැකි ආදායමේ පළමු රු. 600,000 – 4% බැගින්

බදු අයකළ හැකි ආදායමේ ඊළඟ රු. 600,000 – 8% බැගින්

බදු අයකළ හැකි ආදායමේ ඊළඟ රු. 600,000 – 12% බැගින්

බදු අයකළ හැකි ආදායමේ ඊළඟ රු. 600,000 – 16% බැගින්

බදු අයකළ හැකි ආදායමේ ඊළඟ රු. 600,000 – 20% බැගින්

බදු අයකළ හැකි ආදායමේ ඉතිරි ප්‍රමාණය – 24% බැගින්

මේ අනුව බදු අයකළ හැකි ආදායමේ පළමු රු. 3,000,000 මත ගෙවිය යුතු බද්ද රු. 360,000 පමණි.

ඉතිරි බදු අයකළ හැකි ආදායම මත 24% බැගින් බදු ගෙවිය යුතුය.

ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලැබීම් මත බද්ද 10% බැගිනි.

සේවා නියුක්තියකුගේ විශ්‍රාම ප්‍රතිලාභ සඳහා විශේෂ අනුපාතිකයන් අදාළ වේ.

ඔට්ටු, සූදු, මත්පැන් හා දුම්කොළ ව්‍යාපාර සඳහා බදු අනුපාතිකය 40% වේ.

සමාගම් සහ වෙනත් ආයතන සඳහා (නිර්වාසික සමාගම් ද ඇතුළුව)

සාමාන්‍ය අනුපාතිකය 28%කි. ඔට්ටු, සූදු, මත්පැන් හා දුම්කොළ ව්‍යාපාර සඳහා අනුපාතිකය 40%කි. දළ ආදායමින් 80%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පහත සඳහන් නිශ්චිත කටයුතුවලින් ලැබේ නම් අදාළ බදුඅයකළ හැකි ආදායම 14% බැගින් බද්දට යටත් වේ.

• භාණ්ඩ හා සේවා අපනයනය (“අපනයනය” යන්නට “නිශ්චිත ව්‍යවසායන්ද” ඇතුළත් වේ) .

• කෘෂිකාර්මික ව්‍යාපාර.

• අධ්‍යාපන සේවා සැපයීම

• සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාර (නිර්වචනය බලන්න)

• තොරතුරු තාක්ෂණ සේවා සැපයීම (නිර්වචනය බලන්න)

සමාගමක් විසින් පවත්වාගෙන යන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට 14% අනුපාතිකය අදාළ වේ.

පුණ්‍යායතන සඳහා බදු අනුපාතිකය 14%කි.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා බදු අනුපාතිකය 28%කි

නිර්වාසික සමාගම් සඳහා ප්‍රේශණ බදු අනුපාතිකය 14%කි.

අර්ථසාධක, විශ්‍රාම අරමුදල් ආදියට අදාළ බදු අනුපාතිකය 14%කි.

තාවකාලික සහන යටතේ හයවැනි උපලේඛනයේ සඳහන් ජීවිත රක්ෂණ ව්‍යාපාර සඳහා මුල් තක්සේරු වර්ෂ 03ට 14% අනුපාතිකයක්ද, මූලස්ථාන ප්‍රතිස්ථාපනය සඳහාමුල් තක්සේරු වර්ෂ 03ට ශූණ්‍ය අනුපාතිකයද, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාර සඳහා මුල් වර්ෂ තුනට 14%ක අනුපාතිකයක්ද නියම කර ඇත.

ජයසිරි මුණසිංහ – Silumina