කැඩුණු ඕනෑම අස්ථියක් දවසින් පාස්සන දම්පැලැස්සේ වෑල්ඩින් වෙද මහත්තයා

නම – සිලම්බුරාළගේ මුදලිහාමිගේ මුතු බණ්ඩා

උපන් දිනය – 1942 මැයි 21

උපන්ගම – දම්පැලැස්සාගම

පියා – දිසානායක මුදියන්සේලාගේ සිලම්බුරාළගේ මුදලිහාමි

මව – පී. උක්කුඅම්මා

වෘත්තීය – කැඩුම් බිඳුම් වෙදකම

ලැබී ඇති සම්මාන, සහතික – රජරට ආයුර්වේද කෞශල්‍ය සම්මානය – 2004, 2001 අගෝස්තු මස 27 වැනි දින ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් කැඩුම් බිඳුම් විශේෂ වෛද්‍ය තත්ත්වය පිරිනමා ලියාපදිංචි සහතිකය ලබා දෙන ලදී.

මට තේරෙන වයස එනකොට අම්මත්, තාත්තත් ඇරෙන්ඩ වෙන වැඩිහිටියෙක් මා ළඟ හිටියේ නෑ. මගේ අත්තප්පාවත්, කිරි අම්මාවත් ගැන මට මතකයක් නෑ. මට ඉන්නේ සහෝදරියොම හතර දෙනෙක්. මම ඉස්කෝලෙ හතේ පන්තිය එනකන් ගියා. ඒ ඉහළ කාගම විද්‍යාලයට හතේ පන්තියට පාස් වෙනවා කියන්නේ ඒ කාලේ හැටියට හොඳටම සෑහෙනවා.

මට මතක ඇති කාලෙක පටන් මගෙ තාත්තා කළේ වෙද හෙදකමයි. කැඩුම් බිඳුම් වෙදකමට රුසියා, තාත්තා හොයාගෙන ලෙඩ්ඩු ගෙදරට ආවා. ඊටත් වඩා තාත්තා ලෙඩ්ඩු ළඟට යන එකයි. රටේ හතර දිග් බාගෙ ලෙඩ්ඩු හොයාගෙන තාත්තා ගිය හැටි මට මතකයි.

ඒ වගේ ම තාත්තා ගොවිතැනත් කෙරුවා. යල මහ දෙකම පැහුනම ගෙදරට ඕන වී ටික ලැබෙනවා. අම්මා නම් කෙරුවේ උදේටයි දවල්ටයි රෑටයි බත් උයන එකමයි. අපිත් කෙරුවේ කකා බිබී ඉන්න එකමයි.

ඒත් තරුණ සන්දිය එනකොට මම පොඩි පොඩි පහේ බිස්නස් එහෙමත් කෙරුවා. එහෙම ඉද්දී අවුරුදු විසිපහ වෙනකොට මම තාත්තගෙ වෙදකමට බැස්සා. ඒක සිද්ධ වුණේ අහේතුවකින් නෙමෙයි. තාත්තා හදිසියේ අසනීප වුණා. එතකොට තාත්තා හොයාගෙන එන ලෙඩ්ඩුන්ට තනිවම බේත් කරන එක අපහසු වුණා. මම ඊට මැදිහත් වුණා. තාත්තා බේත් හේත් කරන හැටි මම බලාගෙන හිටියා.

ඒ වගේ්ම තාත්තාගේ වෙදකම් සාස්තරේ ගැන පොතක් ලියා තිබ්බා. මම එය පෙරළලා බේත් හේත් ගැන ඔළුවට දාගත්තා. ඇස් දෙකෙන් දැකලා ලැබිච්ච අත්දැකීමයි මං සන්තකේ අදටත් තියෙන්නේ. තාත්තා හදිසියේ අන්ත්‍රා වුණා. එතකොට ඔහුට වයස අවුරුදු අසූ හතරයි. තාත්තා කැඩුම් බිඳුම් වෙදකම ගැන ඉගෙන ගත්තේ කාගෙන් ද කියන එක මං අදටත් දන්නේ නෑ.

තාත්තාගේ අභාවයෙන් පස්සේ අනෙක් සියලුම වැඩ පැත්තක දාලා වෙදකමට බැස්සා. මුල් දවස්වල මමත් ලෙඩ්ඩුන්ට බේත් කරන්ඩ රට වටේ ගියා. මාව හොයාගෙන ලෙඩ්ඩු ආවාම මං යනවා. ඒ ගොල්ලොත් එක්ක. ආපහු එන්නේ ලෙඩා නැඟිට්ටවලා තමයි. සතිය හමාරේ මං ලෙඩ්ඩු ළඟ නැවතිලා උන්නා.

දවසක් දා ගම්පහ ගලහිටියාවේ සායනයක් තිබ්බා. හැම ලෙඩකටම උපන් හපන් වෙද්දු රටේ හැම පැත්තකින්ම ආවා. මිනිස්සුත් රොද බැදගෙන ලෙඩ්ඩු අරන් එතැනට ආවා. කැඩුම් බිඳුම් අංශයේ හිටියේ මමයි, තව වෙදරාළ කෙනෙකුයි එදා තමයි මම ලංකාවේ හැම කෙනෙක්ම දැන හඳුනා ගත්තේ.

ගලහිටියාව සායනයේ දී දවස් දෙකට ලෙඩ්ඩු එකසිය ගාණකට මං හන්දි බැන්ඳා. ඒක මගෙ ජීවිතයේ අමතක නොවන සිද්ධියක්.

කැඩුම් බිඳුම් වෙදකමේ දී වෙද මහත්තුරු නොයෙක් විදිහට වෙදකම් කරනවා. ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බටහිර ක්‍රමයට අනුව බේත් කරනවා. හැබැයි මං ළඟ බැන්ඩේජ් බඳින, කඳට බොන්ඩ දෙන වෙදකම් කලාවක් නෑ. මං බඳින්නේ තෙල්.

කැඩුම් බිඳුම්වලදී වෙන්නේ එක්කෝ කැඩෙන එක, නැත්නම් පනින එක, නැත්නම් පුපුරණ එක. මේ තුනට බේත් කරන්නේ තුන් ආකාරයට. හැබැයි ලෙඩේ හදුනා ගන්නේ බේත් කරන්නේ අත්දැකීම් අනුවයි. මට ලෙඩා ඈතින් එනකොට වෙලා තියෙන්නෙ මොකක් ද කියන එක හඳුනා ගන්න පුළුවන්. අතපත ගාලා බලන්ඩ, එක්ස් රේ කාඩ් බලන්ඩ මට වුවමනාවක් නෑ. ලෙඩේ හැටියට තෙල් කඩ මල්ලක් ගත්තා. පතුරු තියලා බැන්දා.

බේත් බැදල ගාන්ඩ තව තෙලක් තියෙනවා. මැල්ලුම් බේත් අවශ්‍ය ලෙඩ්ඩුන්ට නියම කරනවා. පිපිරීමක් නම් ලෙඩා සුව කරන්න මට උපරිම සතියක් යයි. කැඩිලා නම් මාසයක් හමාරක් යනවා. ඒ අතර උස්සාගෙන අරන් එන ඇතැම් ලෙඩ්ඩු පැයෙන් එක හමාරෙන් මං නැඟිට්ටවනවා. වෙදකමේ දී වුවමනා වෙන්නේ “වෙද තළඳයි – නුවණ දෙකළඳයි” කියනවනේ. ඒ කියන්නේ අත්දැකීම් තමයි ඔක්කොටම වඩා වුවමනා කරන්නේ.

මගේ වෙදකමට අනුව හමටවත්, මසටවත්, නහරටවත් කිසිම හානියක් වෙන්නේ නෑ. කැඩිච්ච, පිපිරිච්ච තැනට, විතරයි බෙහෙත අහන්නේ තෙල් බැන්ඳ ගමන් අස්ථිය රත් වෙනවා. ඊ ළඟට උණු වෙනවා. ඊළඟට පෑහෙනවා. වෙදකමට බැහැලා මේ අවුරුදු තිස් තුනට මම කැඩුම් බිඳුම් ලෙඩ්ඩු අසූ දාහකට බේත් කරලා සුව කරලා තියෙනවා.

අදටත් ඒ ලෙඩ්ඩුන්ගේ නම් ගම් ලියාපදිංචි අංක සටන් කරපු පොත් මගේ ළඟ තියෙනවා. එක නමක් ලියැවෙන්නේ එකවරක් විතරයි. වැඩේ අසාර්ථක වෙලා කවුරුවත් හිස් අතින් ගිහින් නෑ. ඇද පැද හිටලා නෑ. බරපතළ කැඩුමක් නම් අලුතින් පෑහෙද්දී කෙටි වීමක් වෙන්ඩ පුළුවන්. ඒත් ඒ ඉතාමත් කලාතුරෙකින්.

ලෙඩ්ඩු අසූ දාහකට බේත් කරද්දී මම ලබපු අත්දැකීම් අනන්තයි, අප්‍රමාණයි. ගම්පහින් ලෙඩෙක් ගෙනාවා රඹුටන් ගහෙන් වැටිලා. තුනටියෙ ඇතුළ පිට දෙකම පුපුරලා. ඉංග්‍රීසි දොස්තර මහත්තයා මාස තුනක් ඕනෙ හොඳ කරන්ඩ කියලා මං ළඟට ආවේ දොර ලෑල්ලක් උඩ නිදි කරවාගෙන. තුනටියේ කැඩුමක් වුණොත් ටිකක් අමාරුයි. නමුත් මං ඒ ලෙඩා නැඟිට්ටෙව්වා.

තිරප්පනෙන් ලෙඩෙක් ගෙනාවා ලයිට් කණුවකට යට වෙලා කකුල මුල ඉඳන් අගටම කුඩ්‍රු වෙලා. ඉස්පිරිතාලෙ ගියා නම් කකුල කපන්ඩ වෙනවා. මම බේත් කෙරුවෙ හතර පස් පාරයි. හැබැයි කකුල ටිකක් කොට වුණා.

සිරීපාදේ ලොකු හාමුදුරුවන් වහන්සේ මගෙන් බේත් කරවා ගන්ඩ ආවා. උන්නාන්සේගේ අතයි කකුලයි මුලින්ම කැඩිලා. මෙම සුව කෙරුවා. තවත් දවසක් ඉලුප්පන්කල්ලෙ තරුණ ළමයෙක් සියඹලාගහකින් වැටිලා ළමයා ඉස්පිරිතාලෙට ඇතුළු කරලා.

ඒ අතරේ ළමයාගේ අම්මා මං ගැන දැනගෙන හොයාගෙන ආවා. මම ඒ වෙලේම ළමයගෙ අම්මත් බයිසිකලේ තියාගෙන ඉස්පිරිතාලෙට පැද්දා. ගියෙ ලෙඩ්ඩු බලන වෙලාවේ. මම ළමයා හීන් සීරුවේ පරීක්ෂා කෙරුවා. ශරීරයේ පස් පොළක කැඩුම් පිපිරුම් තිබ්බා. මං කිව්වා වාහම ටිකට් කපා ගන්ඩ කියලා. එදා රෑම ළමයා මං ළඟට ගෙනැල්ලා බේත් කෙරුවා. උදේ වෙනකොට ළමයා ඇවිද්දා.

බුලංකුලම රෙස්ට් හවුස් එකේ තියාගෙන මං ජපානෙ සුද්දෙකුට හන්දි බැන්දා. අඩි පනහක් උස ගහකින් වැටිලා කන්තලෙ ලෙඩෙක් මං ගාවට ආවා. තුන් පාරින් බේත් කරලා මං එයාව සුව කළා.

එක ලෙඩෙකුගේ කම්මුලේ හන්දි පැනලා. දොස්තර මහත්තයා හන්දි පෑස්සෙන්ඩ කියලා බකට් කබ්බිවලින් බැඳලා ලෙඩාගේ හනු පූට්ටු වෙලා. ලෙඩා දවස් ගාණකින් නිරාහාරයෙන් මං ගාවට ආවට පස්සේ කම්බි ඔක්කොම ගළවලා තෙල් බැඳලා හොඳ අතට ගත්තා. මං ලෙඩාව ගෙදර යැව්වේ මගෙ ගෙදරින් බතුත් කවලයි.

ඔන්න ඔහොම සිද්ධි ගණනාවක් මම අත්දැකල තියෙනවා. ඒ විතරක් නෙමෙයි. එක ගෑනු කෙනෙකුගේ අත කැඩිලා අවුරුදු නවයක් ලෙඩේ පරණ වෙලා. දැන් යන්තම් ලෙඩාට ඒ අතින් වතුරබාල්දියක් උත්සන්න පුළුවන්. ලෙඩේ පරණවුණාම බේත් කරන්ඩ අසීරුයි. කොන්ද කැඩුණොත් ඒ වෙලෙම ඉනෙන් පහළ පණ නැති වෙනවා. ඒ නිසා ලෙඩා ඒ වෙලාවෙම මං ගාවට ගෙනාවොත් සුව කරලා දෙන්ඩ පුළුවන්.

මම මුදල් බලාගෙන බේත් කරන්නේ නෑ. අතේ සතේ නැති දුප්පත් ඈයො බේත් ගන්ඩ ආවාම බේතුත් බැඳලා කන්ඩත් දීල, බස් කුලියත් දීලා යවපු අවස්ථා තිබෙනවා. දවසක් කර ඇටේ කැඩිලා බේත් ගන්ඩ පුත්තලම පැත්තෙ මුස්ලිම් හාදයෙක් ආවා. එදා හරියට මං ගාව සෙනඟ. ඒ හාදයා බේත් බඳින්ඩ ඇඳගෙන හිටපු කමිසෙ ගළවලා පුටු ඇන්දෙ එල්ලුවා.

බේත් අරගෙන ගන්ඩ හදනකොට කමිසෙ තිබ්බ සල්ලි නෑ. අනේ ඒ මනුස්සයා අතේ බැඳගෙන හිටපු ඔරලෝසුව මට දුන්නා. යන්ඩ බස් ගාස්තුවට රුපියල් තුන්සියක් දීලා ඔරලෝසුව මට ගන්ඩ කීවා. එයාට බස් ගාස්තුවයි ඔරලෝසුවයි ඔක්කොම මං දුන්නා.

ඉස්සර බේත් කළාම දවසටම හම්බ වෙන්නෙ රුපියල් පනහක් හමාරක්. ඖෂධ සරක්කු සොයාගන්ඩ ලොකු මුදලක් වැය වෙනවා. ඒත් මං අසරණ ලෙඩ්ඩුන්ගෙන් අසාධාරණේට සල්ලි ගන්නේ නෑ. ඔවුන් දෙන පින් මට ඊට වඩා වටිනවා. වැඩේ වැරැදුණා කියලා කාගෙන්වත් මං මේතාක් දොසක් අහලා නෑ.

මං හේනට ගියාහම ලෙඩ්ඩු මං හොයාගෙන හේනට එනවා. එතකොට උදැල්ලත් කරගහගෙන මං ආපහු එනවා. රටේ හතර දිග් බාගයේ ඉන්න ප්‍රසිද්ධ ක්‍රීඩකයන් නළු නිළියන්, දේශපාලනඥයන් ඔවුන්ගේ සමීපතම ඥාතීන් මගෙන් බේත් අරන් තියෙනවා. ඇතැම් දාට වෙද ගෙදර ඇත්තටම වෑල්ඩින් වැඩපොළක් වගේ තමයි.

ලෙඩ්ඩු වැඩි දවසට බිම පැදුරු එළලා පෝලිමට ඔක්කොම ඉන්දවනවා. ඊට පස්සේ ඉතින් බේත් බඳීනවා. පිපිරුණු, කැඩුණු තැන් තෙල් බලයෙන් පෑහෙනකොට හරිම වේදනාවයි. ඒ වුණාට ලෙඩේ සුවයි.

මට කරන්ඩ බැරි වෙදකම් නං මං කවදාවත් බාර ගන්නෙ නෑ. මේ සතියට හමාරකට ඉස්සෙල්ලා මාලිගාවේ දියවඩන නිලමේ දෑල බණ්ඩාර මහත්තයා මං හොයාගෙන ආවා. ඒ මාලිගාවේ කරඬුව ගෙනියන ඇතාගේ ආබාධයක් කියලා. අනේ කවදාවත් මං සිවුපාවෙකුට හන්දි බැඳලා නෑ කියලා එතුමට කිව්වා. නොදන්නා සාස්තරේ ගැන මට විශ්වාසයක් නෑ. හැබැයි මගේ සාස්තරේ ගැන නම් මට ඉර හඳ වගේ විශ්වාසයි.

ලෙඩ්ඩුන්ට බේත් කරන අතරේ මං ගොවිතැන් බතුත් කළා. හේනෙන් තල කුරහන් ගත්තා. හේනෙ කුඹුරෙ මොනව හරි හිටෙව්වනං කපලා පාගලා ගෙට ගන්නකම් පැළේ ඉන්ඩ ඕනෑ. අපේ හටන වල් අලි එක්කනේ. එක කන්නෙක කුහරන් වපුරලා එක යායට කුහරන් පැහිලා. අලියට කුරහන් සුවඳ දැනුනම වෙන දේ අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ. කුරහන් කැපුවට මොකද අකාල වැස්සක් වැහැලා ඔක්කොම තෙමුණා. හේනෙම ගල් තලාවක කුරහන් වනලා වේලන්ඩ වුණා.

වැස්සට තෙමිලා කුරහන් ගොඩෙන් එන ගඳට අහලක ඉන්ඩ බෑ. හරියට නයාගෙන් පිටවන දුර්ගන්දෙ වගේ. දවසක් රෑ බලනකොට අලියා කුරහන්ගොඩ උඩින් අපූරුවට ගිහින්නේ. එක ඇටයක්වත් කාලා නෑ. එහෙම නොවුණා නම් එක හුස්මට දෙකට අලියා කුරහන්ගොඩ බොන්නේ. තවත් කන්නෙක වට්ටක්කා වැව්වා.

අහස් වැස්සෙන් හිටෙව්වට මොකද හොඳට ගෙඩි හැඳුණා. ඒත් කිලෝව වික්කෙ ශත 20ට පූර්ණ කාලීනව වෙදකමට බැස්සට පස්සේ ගොවිතැන් කටයුතුවල යෙදෙන්න වෙලාවක් ලැබුණේ නෑ.

මගේ හාමිනේ ගෙදර කටයුතු ටික බලාගන්න හින්දා වෙදහෙදකමේ ම ඉන්ඩ මට බාධාවක් වුණේ නෑ. හාමිනේගේ නම කරුණාවති. අපි විවාහ වුණේ හොඳටම තරුණ වයසේ දී එතකොට මට වයස අවුරුදු දහ අටයි.

හාමිනේට වයස අවුරුදු පහළොවයි. අපි දෙන්නම දම්පැලැස්සෙ දරුවො හය දෙනෙක් ඉන්නවා. දුවලා හතර දෙනයි. පුතාලා දෙන්නයි.

දැන් මම ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා පුතාලා තමයි වෙදකම් කරන්නේ. පුතාලා දෙන්නයි බෑනලා තුන්දෙනෙකුයි තමයි වෙදකම් ඔක්කොම කරන්නේ. ඒ ගොල්ලොන්ගේ කැමැත්තෙන්මයි වෙදකමට යොමු වුණේ.

කිසිම අඩුවක් වෙනසක් නැතිව ඒ වැඩ ටික එයාලා හරියට කරනවා. බරපතළ ලෙඩෙක් නම් විතරක් මං ළඟට එක්කන් එනවා.

පැමිණෙන ලෙඩ්ඩුන්ට පහසුකම් දෙන්ඩ අපිට හැකියාවක් නෑ. අපේ පරණ නිවෙසේ තමා වෙදකම් කටයුතු කරන්නේ. වාට්ටුවකුත් එක්ක රෝහලක් දෙනවා කියලා නිලධාරි මහත්තුරු වගයක් ප්ලෑන් එකකුත් පෙන්නුවා.

නමුත් ඒකට වෙච්චි දෙයක්වත් නෑ. ඒ දුෂ්කරතා තිබුණත් මං ළඟට එන හැම ලෙඩෙක්ම මං සුවපත් කරනවා. ලෙඩ්ඩු මං ළඟට එන්නේ දැඩි විශ්වාසයකින්. ඒ විශ්වාසය තාම පළුදු වෙලා නෑ.

වෙද මහත්තයෝ ඔබට නිදුක් නිරෝගීමත් දවසක් !

සකුන්තලා ජයසිංහ

උපාලි තිලකරත්න

ඡායාරූප – චිත්‍රාරත්න කළුආරච්චි