හැමෝම කිව්වේ බොරු ගොඩට ආවම මාළුවා විකුණුවේ ලක්ෂයට

අධික වටිනාකමකින් යුත් ලොව දුර්ලභ ගණයේ මාළුවකු බව කියන “බ්ලූ ෆින් ටූනා” වර්ගයේ මත්ස්‍යයකු මීගමුව ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට හසුව ඇතැයි පසුගියදා වාර්තා විය. මෙරට මාළුවකු සඳහා නියම වූ ඉහළම වෙළඳපළ මිල වූ  රුපියල් දෙකෝටිය ඉක්මවා එම මත්ස්‍යයාට ලැබුණු බවද පැවසිණි.

ඉන්දියන් සාගරයේ කිසිදිනෙක දකින්නට නොමැති බ්ලූ ෆින් ටූනා රැගත් ධීවර යාත්‍රාව පසුගිය 21 වැනි අඟහරැවාදා අළුයම් කාලයේ මීගමුව මංකුලිය ලෙල්ලම වෙත ළඟා වී තිබුණද විවිධ කටකතා පැතිර යමින් තිබුණේය. ඒ කට කතා වලින් කියවුණේ මාළුවා ගොඩබිමට රැගෙන ඒමටත් පෙර ජංගම දුරකතනයකින් සිදුකරන ලද ගනුදෙනුවකින් පසුව මුහුදේ බහුදින යාත්‍රාවක් තුළදී කෝටි දෙකකට අධික මුදලකට මත්ස්‍යයා අලෙවි කර ඇති බවය.

සංජනා පුතා – 06 බහුදින යාත්‍රාව මීගමුව මංකුලිය ධීවර වරායෙන් දියඹට පිටත්ව තිබුණේ පසුගිය ඔක්තෝබර් 13 වැනිදාය. ධීවරයින් කීපදෙනකුගෙන් සමන්විත යාත්‍රාව දින කීපයක් පුරා ඈත මුහුදේ යාත්‍රා කරමින් තිබියදී මසුන් මැරීම ආරම්භ කර තිබුණේ  තවත් දින කීපයකට පසුවය.

මෙසේ මසුන් මැරීමේ නිරතව සිටියදී තරමක් ප්‍රබල බිලී කොකු සහිත ඇම කීපයක් යාත්‍රාව අවටින් මුහුදු දියේ ගිල්වා තැබේ. ඇම ආධාරයෙන් මාළුවා බාගන්නා නිසා සීමිත ඉඩකඩක් ඇති බෝට්ටුවේ සිට විශාල මත්ස්‍යයකු ගොඩගැනීම අපහසුය. මේ නිසා ධීවර පිරිස එක්ව දැවැන්ත මත්ස්‍යයින් ඇම ගිල දැමූ පසුව මාළුවා වෙහෙසට පත්කර හෙම්බත් වූ පසුව වෙර යොදා බෝට්ටුවට නංවා ගනිති.

මේ අයුරින් සංජනා පුතා – 06 යාත්‍රාව දියඹට ගොස් දින 10ක් ඉක්මවූ පසුව දැවැන්ත මත්ස්‍යයකු බිලි බා ගන්නට ධීවරයෝ සමත් වූහ.

ප්‍රමාණයෙන් විශාල මාළුවා අඩි 10ක් තරම් දිගුය. උගේ පිට දිගේ වැටී ඇති වරල අසලින් වූයේ අපූරු නිල් පැහැති වර්ණවත් රේඛාවකි. මාළුවාගේ නෙත් දෙක තරමක් විශාලය. ඒවා යම් පමණකට ඉදිරියට නෙරා ඇති ස්වරෑපයකි. මෙවැනි අපූරැ මාළුවෙක් මේ ධීවරයින් පිරිසට හමුව තිබුණේ පළමු වතාවටය.

දිනපතා දකින බිලිබාන මාළුවන් අතර විශේෂිත මාළුවා පිළිබඳව ධීවර යාත්‍රාවේ සාමාජිකයින් පිරිස විවිධ අදහස් පළකරමින් සිටියෝය. මේ අතර දියඹ තරණය කරමින් අවට මුහුදේ මසුන් මරන්නට පැමිණ සිටි බහුදින යාත්‍රා කීපයක් තැනින් තැන පෙනෙන්නට විය. සංජනා පුතා යාත්‍රාවේ අමුතු මාළුවා පිළිබඳව අසල්වැසි යාත්‍රාවල හිතවතුන්ට දැන්වූයේ ඉන්පසුවය. මාළුවාගේ වෙනස කාටත් පුදුමයකි. මේ අතර එක් ධීවරයෙක් කියා තිබුණේ  මම නම් කවදාවත් මෙහෙම දැකලා නෑ…. මම අහලා තියෙන විදිහට මේ නිල්පාට රේඛාවක් තියෙන්නේ “බ්ලූ ෆින් ටූනා”ට විතරයි. මෙයානම් කෝටි ගාණක් වටිනවා… යනුවෙනි. එතෙකින් නොනැවතුණු ධීවරයින් පිරිස සිය බහුදින යාත්‍රාව හිමිකරුට රේඩියෝ පණිවුඩ මාර්ගයෙන් තොරතුරු දන්වන්නට වූහ.

(මහත්තයා වෙනස් මාළුවෙක් අහුවුණා… ගොඩක් දිගයි. ගොඩක් බරයි. ප්‍රමාණයත් ලොකුයි. කිලෝ 120ක් විතර බරයි. වරලක නිල්පාට ඉරක් තියෙනවා. දැකපු කට්ටිය කියන්නේ “බ්ලූ ෆින් ටූනා” කියලා.) ධීවරයන් පිරිස මේ තොරතුරු දන්වා තිබුණේ ඉපිලී යන සතුටෙනි. ධීවර රස්සාවේ ආදායම දෙකෙන් පංගුව බෙදා යාත්‍රා හිමිකරුට කොටසකුත් අනෙක් කොටස ධීවර පිරිසටත් හිමිවන සතුට එතැනය.‍ෙ

දකෙන් පංගුව බෙදාගැනීම ධීවර රස්සාවේ සම්ප්‍රදාය වේ. රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුත් මාළුවා අලෙවියෙන් පසුව කෝටියට අධික ප්‍රමාණයක් බෝට්ටුවේ ගිය පිරිසටය. සෙසු කොටස බෝට්ටුව හිමිකරුටය. ඔහුට වාර්තා වූ තොරතුරුවල සත්‍ය අසත්‍ය දැකගැනීමට ඔහුට දියඹට යාමට අවස්ථාවක් නැත. හිතවතුන්ගෙන් විමසුවද ස්ථීර පිළිතුරක් නොවීය. ඇතැමෙක් කීවේ “බ්ලූ ෆින් ටූනා” වෙන්න බැරිද යනුවෙනි. මේ අතර ඔහු තීරණය කළේ බ්ලූ ෆින් ටූනා පිළිබඳ තොරතුරු අන්තර්ජාලයෙන් සොයා බලන්නටය.

(රේඩියෝ මැසේජ්වලින් මට පණිවුඩය දුන්නේ බෝට්ටුව දියඹට ගිහින් දවස් දහයකට පසුවයි. මේ කතාව මටත් පුදුමයි. හරි සතුටුයි. ඇයි කෝටි දෙකක් විතර වටිනවා නම් මගේ ගෝලයන්ට කෝටියක්. මටත් කෝටියක් කියලා හිතුණා. කොහොම හරි කතාව ළඟ තිබුණු බෝට්ටුවල කට්ටිය එක එක්කෙනාට කියලා තොරතුරු වටේ ගියේ එක දෙක වෙලා. ඒ සේරම කටකතා. මම මේ ගැන ඉන්ටර්නෙට් එකේ තොරතුරු හෙව්වා. එහෙම මාළුවෙක් ගැන තොරතුරු තියෙනවා. ජපානයේ මේ බ්ලූ ෆින් ටූනා මාළු වර්ගයට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ලොකු මිලක් වෙනවා.)

මෙසේ පැවසුවේ සංජනා පුතා 06 ධීවර යාත්‍රාවේ හිමිකරු වර්ණසූරිය ප්‍රභාත් සංජීව ජාන්ස මහතාය. ඔහු බහුදින යාත්‍රා 8 ක හිමිකරුවෙකි. අවුරුදු දහයක් පුරා සිය ව්‍යාපාරයේ නිරත ඔහු තලවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

(ජපානයේ දෙසැම්බර් 31 සහ ජනවාරි 2 අතර රාත්‍රියේ විශාල උත්සව පවත්වනවාලු අලුත් අවුරුද්ද සමරන්න. එතනදි මේ බ්ලූ ෆින් ටූනා වර්ගයේ ලොකු මාළුවන් වෙන්දේසි කරනවා සම්ප්‍රදායක් විදිහට. එතෙනදි ඔවුන් ලොකු මිලකට අලෙවි කෙරෙනවා. ඒ නිසා මේ මාළු වර්ගයට ඉල්ලුමක් තියෙනවා. මේ මාළු කිලෝව ලංකාවේ විකුණනවා නම් රුපියල් 4000ක් විතර වෙයි. නමුත් කවුද ගන්නේ?) මේ ප්‍රභාත් සංජීව මහතාගේ අදහසය.

සංජන පුතා  – 06 යාත්‍රාව දියඹට ගොස් දින දහයක් ගතවූ පසුව මරාගත් මාළුවා ගොඩට රැගෙන ආවේ තවත් දින 28කට පසුවය. ඒ වෙනතෙක් ශීතකරණයේ රඳවා තිබූ බ්ලූ ෆින් ටූනා බවට විශ්වාස කළ මත්ස්‍යයා මීගමුවට රැගෙන එනවිට සම්පූර්ණයෙන් වර්ණ වෙනස් වී ගොස්ය. කිරා මැන බැලීමේදී මාළුවාගේ බර කිලෝග්‍රෑම් 119කි. හොඳ මිලක් ලබාගැනීමේ අරමුණෙන් තොරතුරු දන්වා මෙරට මාළු ජපානයට ආනයනය කරන ව්‍යාපාරිකයෙක් වූ ජපන් ජාතික චෝයෝ දංකොටුව මාළු ගොඩබාන ස්ථානය වෙත කැඳවාගෙන ආවේය.

එතැනට රැගෙන ගිය මාළුවා දුටු වහාම ඔහු පවසා තිබුණේ මේ බ්ලූ ෆින් ටූනා නොව කෙළවල්ලන් විශේෂයක් වන ඇස්ගෙඩියා නම් මත්ස්‍යයා බවය.  මේ අතර ඔහුගේ මැදිහත් වීමෙන් මතස්‍යයාගේ ඡායාරෑප අමෙරිකාවේ මත්ස්‍ය ආනයන ආයතනයට යවා ඒ බව තහවුරු කරගෙන තිබුණි.

මේ විශේෂ සිදුවීම සැලවී ජාතික ජලජ  සම්පත්  පර් යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා) නිලධාරීන් පිරිසක් පැමිණ ඒ බව අනුමත කළෝය. එහෙත් මත්ස්‍ය කොටසක් රැගෙන ගියේ විශේෂ පරීක්ෂාවකට ලක්කර දෙසතියක් තුළ නියමිත වාර්තාව ලබාදෙන පොරොන්දුව පිටය.

මේ අතර මත්ස්‍යයා අලෙවියට සූදානම් කළ අතර හිස, වරල හා අනවශ්‍ය කොටස් ඉවත්කළ පසුව බර වූයේ කිලෝග්‍රෑම් 109කි. අනවශ්‍ය ලෙස ඉවත් වූ බර කිලෝ 10කි. පසුව කිලෝග්‍රෑම් එකක් රුපියල් 1100ක් වන පරිදි මාළුවා අලෙවි වූයේ රුපියල් 130,900ක මුදලකටය. එතරම් මිලකට මාළු පරිභෝජනය කරන ජනතාව ලංකාවේ නොමැති බැවින් ඒවා විදේශවලට අලෙවි කෙරේ.

ගැනුම්කරු ඔහුගේ සේවක පඩි, ඇසුරැම් ලාභය ඇතුළත් වන පරිදි කිලෝව රුපියල් 2500කට පමණ අලෙවි කරන බව කියති. ඒ අනුව මාළුවාගේ මිල විදේශයට අලෙවි කර ඇත්තේ රුපියල් 272,500ක පමණ මිලකටය ඒ අනුව බෝට්ටු හිමිකරුමේ මාළුවා අලෙවියෙන් රු.130,900 ක මුදලකුත් ගැනුම්කරු 272,500 ක මුදලකුත් උපයන්නට සමත් විය.

අනුව ගුවන් ගාස්තු සහ බදු සහිතව ජපානයේදී රුපියල් 4000ක පමණ මිලකට අලෙවි කරනු ඇතැයි කියති. ඒ අනුව ශ්‍රී ලංකාවේ රුපියල්වලින් ජපානයේදී මෙකී කෙළවල්ලා නොහොත් ඇස්ගෙඩියා අලෙවි කරන්නේ රුපියල් 436,000කට පමණය.

ඉන්දියන් සාගරයේ දකින්නට නැති බ්ලූ ෆින් ටූනා මත්ස්‍යයා නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ආසන්න සීතල මුහුදු කලාපයේ වාසය කරන්නෙකි. මේ මත්ස්‍යයාට තරමක් හැඩයෙන් සමාන යෙලෝ ෆින් ටූනා ඉන්දියන් සාගරයේ ජීවත්වන බවත් ඔවුන්ගේ පිට මැද වරල අසල දාරය කහ පැහැයෙන් දකින්නට ලැබෙන බවත් ඔවුන් ලංකාවට ආසන්න මුහුදේදී හසුවන බව මීගමුව ධීවර වරායේ කළමනාකාර දුලාල් වාස් මහතා පැවසීය.

කතාව හා සේයාරූ /
► සමන්ත ප්‍රදීප් විල්තෙර