“කවුරුහරි ආයෙත් දවසක හඳට යනවා. ඒ ගියාම මට අමතකවෙලා ආපු කැමරාව අරන් ඒවි.”

මිනිසා සඳ මත පා තබා වසර 50ක් පිරෙන්නට ආසන්න මේ සමය වනවිට හඳට ගිය කතාව පට්ටපල් බොරුවක් යැයි කියන පිරිස් බොහෝය. සඳ ගමන බොරුවක් බවට සාධක ඉදිරිපත් කිරීමේ සිද්ධි දෙකක් පසුගියදා වාර්තා විණි. නාසා ආයතනය නිකුත් කළ ඇපලෝ-13 සහ ඇපලෝ-17 ගගනගාමීන් සඳට ගොඩබට පසු ලබාගත් වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් මෙම සිදුවීම් ව්‍යාජ ලෙස නිර්මාණය කළ බවට අදහස් පළ කර තිබේ.

1972-73 කාලයේ ඇපලෝ-13, ඇපලෝ 17 වැනි සඳ ගමන්වලදී සඳ මත ගමන් කළ හැකි වාහනයක් – රෝවරයක් (Lunar Roving Vehicle) භාවිත කෙරිණි. ඇපලෝ-13 සඳ ගමනේ දී මේ රෝවරය සඳ මත ගමන් කරනු දැක්වෙන, නාසා ආයතනයේ වීඩියෝපටය සංස්කරණය කරන ලද ව්‍යාජ වීඩියෝවක් යැයි එම වීඩියෝවේ පිටපතක් ‘යූටියුබයට’ මුදා හරිමින්”Streetcap1″ නමැති යූටියුබ් සාමාජිකයා චෝදනා කරයි. එම වීඩියෝවේ මුල් තත්පර කීපය තුළ රෝවරයේ ගමන් මග වෙනසකට බඳුන්වන බවක් දැකිය හැකිය. මෙම වීඩියෝව නැරඹූ ග්‍රේ නමැත්තා එහි එවැනි වෙනසක් නැතහොත්, සංස්කරණයක් සිදුව ඇත්තේ ඇයිදැයි විස්තර කරයි.Untitled-4

“මට හිතෙන හැටියට රෝවරය හරවද්දි හිරවුණා. පසුතලයේ හිටි චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම දුවගෙන ඇවිල්ලා මේක කෙළින් කළා. ප්‍රේක්ෂකයෝ ඒ දර්ශන දකිනවාට කපා ඉවත් කරන්න ‘ෆොටෝෂොප්’ පාවිච්චි කළ බව සියයට සියයක් විශ්වාසයි” ඔහු කියයි.

‘ෆොටෝෂොප්’ මෘදුකාංගයෙන් වීඩියෝවක් සංස්කරණය කළ හැකිද යන්න අපට නම් ගැටලුවකි. අප දන්නා පරිදි ඒ කාර්යයට ගැළපෙන ‘ඇඩෝබි’ මෘදුකාංගය ‘ෆොටෝෂොප්’ නොව ‘ප්‍රීමියර්’ය.

සඳේ ගුරුත්වාකර්ෂණය සමග සසඳන විට රෝවරය නිසා ඉහළ නගින දූවිලිවල ගමන් වේගය අධික බවටද ග්‍රේ තර්කයක් ඉදිරිපත් කරයි.

“දූවිලි බිමට වැටෙන්න ඕන මීට වඩා හෙමින්. පුංචි පුංචි අංශු සෑහෙන වෙලාවකට බිම නොවැටෙන නිසා හරි නම් විනාඩි කිහිපයක් යනකල් දූවිලි වලාවක් තියෙන්න ඕන. ඒත් මේ වීඩියෝවේ දූවිලි ඉක්මනින්ම බිම වැටෙනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.Related imageසැළසුම් කොට ඡායාරූපගත කරන ඡායාරූප ශිල්පියාගේ සෙවණැල්ල ඇදි හෙල්මට් වීදුරුව

අනෙක් චෝදනාව එල්ල වන්නේ ඇපලෝ-17 සඳ ගමන පිළිබඳවය. නාසා ආයතනය නිකුත් කළ ඇපලෝ-17 ගගනගාමීන් සඳ මත සිටින වීඩියෝවක එක් ගගනගාමියකුගේ හිස් ආවරණයේ ඉදිරිපස වීදුරුවෙහි (Visor) ඇති ප්‍රතිභිම්භයෙහි ගගනගාමියකු නොවන පුද්ගලයකුගේ රුවක් ඇතුළත් බව චෝදනාවයි. ඇපලෝ-17 සඳ ගමන බොරුවක් බවත්, එය පෘථිවිය මත සිදුකෙරුණු ව්‍යාජ පටිගත කිරීමක් බවත් පවසන විවේචකයා ප්‍රතිබිම්භයේ පෙනෙන පුද්ගලයා චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයකු විය යුතු බව පවසයි.

“මේක මීට කලින් කවුරුහරි දැකලා අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවද මම දන්නේ නැහැ. වීඩයෝවේ එක ගගනගාමියකුගේ ‘වයිසර් එකෙ’ තියෙන දර්ශනයේ මට අමුත්තක් පෙනුණා. මම මෘදුකාංගයක ආධාරයෙන් වීඩියෝවෙන් පින්තූරයක් අරගෙන ලොකු කරලා බැලුවා. එතැන ඉන්න කෙනා ඇඳගෙන ඉන්නේ ගගනගාමීන් අඳින ඇඳුමක් ‍නෙවෙයි. ඒ ඇඳුම් 70 දශකයේ මුල් කාලයේ පරිහරණය කළ ඒවා. ඇපලෝ-17 හඳට ගියෙත් 1972. මේ පුද්ගලයාගේ කොණ්ඩෙත් 70 දශකයේ මුල් කාලයේ මෝස්තර වගේ දිගට වවපු එකක්. ඇඳගෙන ඉන්නේ ‘වෙස්ට් කෝට්’ එකක් වගේ ඇඳුමක්. එක කකුලක සපත්තුව පැහැදිලිව පේනවා. පේන හැටියට අනිත් කකුල හෙවණැල්ලත් එක්ක එකතුවෙලා.”

Image result for moon landing fake
වායූගෝලයක් නැති හදේ ළෙලදෙන ඇමරිකන් ධජය

මේ ඡායාරූපය දකින තෙක්ම තමා සඳ ගමන විශ්වාස කළ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
livescienc.com වබේ අඩවියේ පළවූ වාර්තාවකට අනුව 2013 වසරේ ඇමෙරිකාවේ සිදු කෙරුණු ජාතික සංගණනයකදී අනාවරණය වී ඇති පරිදි ඒ වනවිට සඳ ගමන නොපිළිගන්නා ඇමෙරිකානුවන් සංඛ්‍යාව ලක්ෂ 70කි. 2016 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති සමීක්ෂණයකදී එරට වැසියන්ගෙන් අඩකට වැඩි පිරිසක් එනම් 52ක් මිනිසා සඳ මත පා තැබූ කතාව නොපිළිගන්නා බව හෙළිවී ඇතැයි ‘ඩේලිමේල්’ වබේ අඩවිය වාර්තා කළාය. වයස 25-34 අතර තරුණ බ්‍රිතාන්‍ය ප්‍රජාව අතරින් 73ක් සඳ ගමන සපුරා ප්‍රතික්ෂේප කරන බවද එහිදී අනාවරණය වී ඇත.

නාසා ආයතනයේ සඳ ගමන් බොරු බවට චෝදනා එල්ල වන්නට වූයේ පළමු සඳ ගමනට (ඇප‍ලේ-11) එක් වූ නීල් ආම්ස්ටේ‍රා්න් හා එඩ්වින් ඕල්ඩ්‍රින් දෙදෙනා සඳට පාතැබූ පළමු මිනිසුන් ලෙස වාර්තා ‍පොතට එක්වූ අලුත පටන්මය.

එය, අභ්‍යවකාශය තරණය සඳහා රුසියාව හා ඇමෙරිකාව අතර තිබූ සටනින් ජය ගැනීමට එවකට ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ උපදෙස් පරිදි නාසා ආයතනය විසින් රහසිගතව නිර්මාණය කරන ලද චිත්‍රපටයක් යැයි චෝදනා එල්ල විණි. මේ චෝදනාවලට ප්‍රතිචාර ලෙස වරක් නීල් ආම්ස්ටේ‍රා්න්ග් පවසා තිබුණේ ‘එබඳු බොරුවක් නිර්මාණය කිරීම සඳට යෑමට වඩා අසීරු විය හැකි බව’යි.

ආම්ස්ටේ‍රා්න්, ඕල්ඩ්‍රින් හා කොලින්ස් තිදෙනා පෙරළා පෘථිවියට පැමිණ මාස හතරකුත් දින විසි පහකට පසු 1969 දෙසැම්බර් 18 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ජෝන් නෝබ්ල් විල්ෆෝඩ් සැපයූ ලිපියකින් සඳ ගමන ව්‍යාජයක් බවට කරුණු දැක්විණ. එයින් පැවසුණේ එය නෙවාඩා කාන්තාරයේ රූගත කෙරුණු රහස් ව්‍යාපෘතියක් බවයි. වසර කිහිපයක් ගතවූ පසු ‘වෝටර්ගේට්’ සිද්ධිය හේතුවෙන් මෙම අදහසට විශාල ප්‍රසිද්ධියක් ලැබුණේ එයද ආණ්ඩුවේ කූට වැඩවලට නිදසුනක් බව ඇතැමුන් විශ්වාස කළ බැවිනි.

1974දී බිල් කේසින් නමැති ‍ලේඛකයා We never went to the moon නමින් පුස්තිකාවක් ප්‍රකාශයට පත් කළේය. එයින් පැවසුණේ 1969 වැනි කාලයක සඳට යෑම සිදුවිය නොහැක්කක් බවයි. කේසින්, ඇපලෝ 11 ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කළ Rocketdyne ආයතනයේ තාක්ෂණික ‍ලේඛකයකු වශයෙන් කටයුතු කළ තැනැත්තෙති. මේ කාලයේ නාසා ආයතනය, සඳට මිනිසකු යැවීමේ හැකියාව පිළිබඳ අධ්‍යයනයක් කළ බව අනාවරණය කරන කේසින්, එහිදී, සඳට ගොස් පෙරළා පෘථිවියට පැමිණීමට ඇති අවස්ථාව 0.0017ක් බව හෙළි වූ බව පවසයි.

කේසින්ගේ ප්‍රධාන තර්කයක් වන්නේ 1969 වන විට නාසා ආයතනයට, එම හැකියාව 0.0017 සිට 100 දක්වා වර්ධනය කරගත නොහැකි බවයි. එසේම, සඳ ගමන යථාර්ථයක් බව පිළිගැනෙන පරිදි ආම්ස්ටෝන් ඇතුළු ගගනගාමීන් සියලු දෙනාගේම මොළ ශෝධනය (Brain wash) කරන ලද බවට ඔහු චෝදනා කරයි. පසු කාලයක සුප්‍රකට චැලෙන්ජර් යානය පුපුරා ගිය අවස්ථාවේ ඔහු පැවසුවේ එහි සිටි ගගනගාමීන් ඇපලෝ-11 අබිරහස දැන සිටි හෙයින් එය ප්‍රචලිත වීම වැළැක්වීමට නාසා ආයතනය මගින් චැලෙන්ජර් යානය පුපුරුවා හරින ලද බවයි.Related image

නාසා ආයතනය හා ඇමරිකානු එහස් තොරතුරු ඒජන්සිය එක්ම මේ ව්‍යාජය කැමරාගත කළ බව ඔහුගේ මතයයි. සඳ ගමන බොරුවක් යැයි පවසන පිරිස් දිරිමත් කරන ප්‍රබල අවියක් වූයේ කේසින්ගේ කෘතියයි. නාසා ආයතනය ප්‍රවෘත්ති නිවේදනයක් මගින් කේසින්ගේ තර්ක ප්‍රතික්ෂේප කළාය.

NASA Mooned America  නමින් ‍පොතක් ලියූ ඇමරිකානු ජාතික රැල්ෆ් රෙනේ තර්ක කළේ සඳ ගමනේදී මුහුණපෑමට සිදු වන උෂ්ණත්වය නිසා කරවී මියයෑමෙන් ගගනගාමීන් බේරාගැනීමට නම් යානය වටා මීටර 2ක ජල ආවරණයක් යෙදිය යුතුව තිබුණු බවයි. එවැන්නක් නොවූ නිසා සඳ ගමන නොපිළිගත හැක කතාවක් බවට ඔහු තර්ක කළේය.

දශක කිහිපයකට පසු 2001 වසරේ ෆොක්ස් ප්‍රවෘත්ති ආයතනය  conspiracy theory:did the land on the moon නමින් විනාඩි 47ක විශේෂ වැඩසටහනක් විකාශය කළාය. ඊට කේසින් ඇතුළු ඇපලෝ-11 ව්‍යාජයක් බව පවසන්නන් පිරිසක් සහභාගි කරගන්නා ලදහ. බාර්ට් සිබ්‍රෙල් නමැති චිත්‍රපට නිර්මාණකරුද ඒ අතර විය. ඔහු මේ සම්බන්ධයෙන් වාර්තා චිත්‍රපට දෙකක් නිපදවා තිබිණි. ෆොක්ස් වැඩසටහනට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු නිසා මාසයකට පසු එය නැවත විකාශනය කෙරිණි. කෙසේ වුවද එම ඒකපාර්ශ්වික වැඩසටහන විද්‍යාඥයන් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. නාසා ආයතනයද කේසින්ගේ පුස්තිකාව ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය නැවත වරක් නිකුත් කළාය. එහෙත් සඳ ගමන බොරුවක් යැයි කියන්නෝ එයින් සෑහීමකට පත් නොවූහ.Image result for moon landing fake proof

ටැක්සි රියදුරකු වශයෙන් වෘත්තීය ජීවිතය ඇරඹූ චිත්‍රපට නිෂ්පාදක සිබ්‍රෙල් එක් වාර්තා චිත්‍රපටයක් නිපදවන අතරතුර නීල් ආම්ස්ටේ‍රා්න්ග් සහභාගි වූ රැස්වීමකට කඩා පැන්නේය. බයිබලයක් ආම්ස්ටේ‍රා්න්ග් දෙසට දිගු කළ ඔහු ‘හඳට ගිය කතාව ඇත්තක් කියලා ඔබට මේ බයිබලයේ අත තියලා දිවුරන්න පුළුවන්දැයි’ ප්‍රශ්න කළේය. එහි සිටි පිරිස විසින් ඔහුව එතැනින් බැහැර කරන්නට යෙදිණි. ඔහු මේ ආකාරයට එඩ්වින් ඕල්ඩ්‍රින්, මයිකල් කොලින්ස් හා එඩ්ගා මිචෙල් ගගනගාමීන් තිදෙනාටද අභියෝග කර තිබේ. බයිබලයක් අතින් ගෙන ඕල්ඩ්‍රින් වෙත කඩා පිනූ සිබ්‍රෙල් ඔහුට කෙතරම් පීඩා එල්ල කළේද යත් 72 හැවිරිදි ඕල්ඩ්‍රින්ගෙන් හක්ක තැළෙන සංග්‍රහයක් එල්ල වූයේය. ඔහු වඩාත් ජනප්‍රියව ඇත්තේ ඕල්ඩ්‍රින්ගේ ප්‍රහාරය හේතුවෙනි.

2012 වසරේ 82 වැනි වියේ පසුවූ ආම්ස්ටේ‍රාන්ග්, ඇලෙක්ස් මැ‍ලේයි සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී තම ජීවිතයේ සියලු තොරතුරු ඔහුට ලබාදුන්නේය. එහිදීද සඳ ගමන මුසාවක්ද යන ප්‍රශ්නය ඉදිරිපත් විය.

“මිනිස්සු කැමතියි මේ වගේ කුමන්ත්‍රණ කතාවලට. ඒවා බොහොම ආකර්ෂණීයයි. ඒත් මම කවදාවත් ඕවා ගණන් ගත්තේ නැහැ. මොකද මං දන්නවා කවුරුහරි ආයෙත් දවසක හඳට යනවා. ඒ ගියාම මට අමතකවෙලා ආපු කැමරාව අරන් ඒවි.”

නාරද කරුණාතිලක

සද ගමනේ සියළු සටහන් ඇතුළත් දුර්ලභ වීඩියෝවක් පහතින් බලන්න