රට එක්සේසත් කර විදෙස් ආක‍්‍රමණය කර ජය ලැබු මහා පරාක‍්‍රමබාහු රජු

රාජ්‍ය බලය උදෙසා බොහෝදෙනා පොරකති. මරාගනිති. ඒ බලලෝභය සඳහාය. බලලෝභය නිසා රාජ්‍යත්වයට පැමිණෙන පාලකයෝ ඉක්මනින්ම ජනතා අප‍්‍රසාදයට පත්වෙති. හේතුව ඔවුන් බලය විනා ජනතා සුබ සිද්ධිය නොතකන බැවිනි.

මෙවැනි හේතු මත අතීතය අපට බොහෝ පාඩම් කියා දෙයි. ජනතා ප‍්‍රසාදය දිනා ගැනීමටත්, රාජ්‍යත්වය රැුකගැනීමටත්, බුද්ධිමත් පාලකයකු ක‍්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පැහැදිළි කරයි.

පෙරදිග ධාන්‍යාගාරය ලෙස ලංකාවට විරුදාවලි ලබාදුන් මහා පරාක‍්‍රමබාහු රජතුමා එවැන්නෙකි. රටේ අභ්‍යන්තර කැරලි මැඩ පවත්වමින් රට බත බුලතින් ස්වයංපෝෂිත කර ජනතා ප‍්‍රසාදය දිනා ගත්තෙකි. ඒත් ඒ අපහාස නායකත්වයට පත්වීමට, ජනතා ගරුබුහුමන් ලැබීමට ඔහු ද කළ කැපකිරීම් අපමණය.

එබැවින් මහා පරාක‍්‍රමබාහු චරිතය මඟින් වර්තමානයට උපදේශයක් වන ගුණාංග මොනවාදැයි මෙසේ පෙළ ගස්වමු. ඒ සඳහා මහාවංශය, රාජාවලිය උපයෝගී කර ගනිමින් තොරතුරු ගෙනඒමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධ කර ගමු.

මහා විජයබා රජුගෙන් පසු කාලිංග හා පාණ්ඩ්‍ය වංශිකයෝ රාජ්‍ය බලය ලබා ගැනීමේ කුමන්ත‍්‍රණවල නිරත වුණා. හේතුව මේ වන විට ශ්‍රී ලංකාව රජරට, දක්‍ෂිණ දේශය, රෝහණයේ අටදහස් රට හා දොළොස්දහස් රට ලෙස පාලන ඒකකවලට බෙදා පාලනය කිරීම. මේ පාලන ප‍්‍රදේශවල සිටි සියලූ පාලකයෝ රජ කිරුළ දැරීමට සුදුසු පරම්පරාවල අය. ඒ නිසා ඔවුන් හැම වෙලාවකම ප‍්‍රධාන රාජ්‍යයේ බලය ලබාගැනීමට කි‍්‍රයාකෙරුවා.

මේ කාලයේ පොළොන්නරුව ප‍්‍රධාන රාජ්‍ය වූ අතර එය පාලනය කළේ II වැනි ගජබා රජතුමා. ඒ වගේම මේ කාලයේ දක්ෂිණ දේශය පාලනය කළේ කිත්සිරිමේඝ රජතුමා. පරාක‍්‍රමබාහු කුමාරයා හිටියේ රෝහණ ප‍්‍රදේශයේ.

කිත්සිරිමේඝ රජතුමාට දරුවන් හිටියේ නැහැ. පරාක‍්‍රමබාහු කියන්නේ ඔහුගේ ඥාති පුත‍්‍රයෙක්. ඒ නිසා පරාක‍්‍රමබාහු කුමරු රෝහණයේ සිට දක්ෂිණ දේශයේ සිටි සිය මාමා වූ කිත්සිරිමේඝ රජු සමීපයට ගෙන්වා ගත්තා.

කිත්සිරිමේඝ රජුගේ රජමාළිගය පිහිටලා තිබුණේ කෑගල්ලේ කිරගල් කෝරළයේ හන්තානාගොඩ ප‍්‍රදේශයේ.

පරාක‍්‍රමබාහු කුමාරයා ගෙන්වාගත් කිත්සිරිමේඝ රජු කුමාරයාට අවශ්‍ය ශිල්ප ඥානය මෙන්ම රජකුට අවශ්‍ය යුද ශිල්පයත් ලබා දුන්නා. ඒ සඳහා විශිෂ්ට ආචාර්යවරු සොයාගත් ඔහු අසහාය පාලකයකුට අවශ්‍ය සෑම ශිල්පයක්ම ලබාදීමට කටයුතු කළා. කිත්සිරිමේඝ රජුගේ බලාපොරොත්තුව වූයේ කවදාක හෝ රජරට ප‍්‍රදේශයත් සිය රාජ්‍යයට එකතු කර පරාක‍්‍රමබාහුට රාජ්‍යත්වය ලබාදීම.

මේ නිසා කිත්සිරිමේඝ රජු රටේ සංචාරය කරන සෑම අවස්ථාවකම පරාක‍්‍රමබාහු කුමරු අනාගතයේ ඔටුන්න හිමි කුමාරයා ලෙස හඳුන්වා දුන්නා. පරාක‍්‍රමබාහු කුමරුත් හොඳින් ශිල්ප ශාස්ත‍්‍ර ඉගෙන ගනිමින් අභීත නායකයකුගේ අඩි පාරේ ගමන් ගත්තා.

ශිල්ප ශාස්ත‍්‍ර හමාර කළ තරුණ පරාක‍්‍රමබාහුට රජරට ප‍්‍රදේශය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය වුණා. ඒ නිසා කිත්සිරිමේඝ රජුට නොදන්වා කුමරුට හිතවත් පිරිසක් සමඟ එක් රාත‍්‍රියක මාළිගයෙන් පළා ගියා.

පරාක‍්‍රමබාහු කුමරුගේ අධිෂ්ඨානය වූයේ රජරට දේශසීමා බලා ගැනීමත්, ඔත්තුකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමත්, ගජබා රජුට අපක්‍ෂපාතී සෙන්පතියන් හඳුනා ගැනීමත්, යුද තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමත් වගේ කරුණු දැන ගැනීම.

රාත‍්‍රිය පුරා ගමන්ගත් පරාක‍්‍රමබාහු කුමරු ඇතුළු පිරිස බතලගොඩ ප‍්‍රදේශයේ විසූ සංඛ සේනාධිපතිගේ නිවහන ආශ‍්‍රිත ප‍්‍රදේශයට ළඟාවුණා. සංඛ සේනාධිපති කිත්සිරිමේඝ රජුගේ හිතවත් සෙනවියෙක්. කුමරුගේ පැමිණීම දැනගත් ඔහු කුමරු ගෞරවයෙන් පිළිගත්තා. ඒත් කුමරුගේ කතාබහෙන් ඔහු රජුට හොරෙන් පැමිණි ගමනක් බව දැනගත්තා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කල්පනා කළ සංඛ සේනාධිපති, කුමරු සිය නිවසේ රඳවාගෙන ඔහුගේ පිරිස වෙනත් ස්ථානයක නතර කිරීමට කටයුතු කළා. පසුව කුමරු රහසේ පළා යන බවත් දැන් ඔහු සිය නිවසේ සිටින බවත් කිත්සිරිමේඝ රජුට දැන්වීමට කටයුතු කළා.
මේ කරුණ සිය මාමා දැන ගතහොත් සිය අරමුණ කරා යා නොහැකි බැවින් ඔහු සංඛ සේනාධිපතිගේ හිස ගසා දැම්මා.

මෙම ක‍්‍රියාව නිසා දක්ඛිණ දේශයේ ජනතාව අතර යම් ප‍්‍රමාණයක අප‍්‍රසාදයක් කුමරු කෙරෙහි ඇති වුණා. තමන්ට හිතවත්ව සිටි ඇමැති මරුමුවට පත් කිරීමට හේතුවූයේ ඔහුගේ රහස් ක‍්‍රියාකලාපය අවුල්වේ යැයි ඇති වූ බිය නිසා බව චූලවංශයේ සඳහන් වෙනවා. ඒත් මේ සාපරාධී ක‍්‍රියාව නිසාම කිත්සිරිමේඝ රජුට විරුද්ධව රට වැසියන් කැරළි ගසනවා.

මේ කැරළි මර්දනය කිරීමට කටයුතු කිරීමත් පරාක‍්‍රමබාහු කුමරුට පැවරුණ කාර්යයක්. මේ සියලූ දේ සමඟම කුමරු සිය පිරිස සමඟ යළිත් බතලගොඩින් ගමන් ආරම්භ කර සිරියාල බලා නැගෙනහිර දෙසට ගමන් කරනවා. එහිදී ගජබා රජුගේ හේවායන් සමඟ ගැටුමක් ඇතිවෙනවා. ඉන්පසුව පරාක‍්‍රමබාහු කුමරු ඇතුළු පිරිස කලාවැව ප‍්‍රදේශයට පැමිණ නකරගිරි ගෝකණ්න ප‍්‍රදේශයට ළඟාවෙනවා.

පසුව එහි සිටි සාමාන්තයට, (රජරට ප‍්‍රදේශයේ යම් ප‍්‍රදේශයක පාලනය කළ අයෙක්) ඔවුන් සිටි කඳවුරට පැමිණීමට ආරාධනා කරනවා. ඔහුට තෑගි බෝග දී ඔහුත් සමඟ සුහදතාවක් ගොඩනගා ගන්නවා. ඊට පසු බුද්ධාශ‍්‍රමය (මැණික් දෙන) තාවකාලික වාසභවන බවට පත්කර ගන්නවා.

පරාක‍්‍රමබාහු කුමරු රජරට ප‍්‍රදේශයට ළඟා වී ඇති බව දැනගත් කිත්සිරිමේඝ රජු II වන ගජබා රජු සමඟ යුද්ධයක් ඇති කර ගනීවි යන බිය ඇති කර ගන්නවා. ඒ නිසා ඔහුගේ අමත්‍යවරයා වූ සේන සහ මහින්ද අධිකාරි යටතේ සේනාවක් පිටත් කර කුමරු බලහත්කාරයෙන් හෝ මාළිගයට ගෙනඒමට අණ කරනවා.

මේ අනුව යමින් මේ සේනාංක මාතලේ, අස්ගිරි පල්ලේසියපත්තු යන ස්ථාන කරා සිය සේනාව පිටත් කර හරිනවා. මෙය දැනගත් පරාක‍්‍රමබාහු කුමරු එම සේනාවත් පළවා හැරීමට කටයුතු කරනවා. ඊටපසු මාතලේට ඊශාන දෙසින් පිහිටි බෝගම්බරට පැමිණ, ලග්ගල හා රත්නපුරේ යන ප‍්‍රදේශ නිරීක්‍ෂණය කළා.

ඉන් කුමාරයා බලාපොරොත්තු වූයේ රජරට තත්ත්වය අවබෝධ කර ගැනීම හා සීමා මායිම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. පරාක‍්‍රමබාහු කුමාරයා නාලන්දාවට බටහිර පැත්තේ පිහිටි කඳවුරකට පැමිණ මඳක් ගිමන් හැර II වැනි ගජබාරජු පාලනය කළ රජරට ප‍්‍රදේශයට ඇතුළු වෙනවා.

මේ පිළිබඳව ගජබා රජුට දැන ගැනීමට ලැබුණා. ඔහු පරාක‍්‍රමබාහු කුමාරයාගේ යසෝ කීර්තිය පිළිබඳ අහලා තිබුණා. ඒ නිසා පරාක‍්‍රමබාහු කුමරුට මාළිගයට පැමිණ තමා හමුවන ලෙස සුහද ආරාධනයක් කරනවා. එම ආරාධනය පිළිගත් කුමරු තම පිරිවර සමඟ පොළොන්නරුවේ තිබුණ II වැනි ගජබා රජුගේ මාළිගයට යනවා. මේ ගමනින් රජරට පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ගජබා රජුට හැකි වුණා. ගජබා රජු සමඟ අමනාප නිලධාරීන් හඳුනා ගත්තා. ඔත්තු සේවා පිළිබඳ තොරතුරු දැන ගත්තා.

ඊටපසු රෝහණයේ විසූ සිය මෑණියන්ට පණිවිඩයක් යවා සිය නැගණිය වූ භද්‍රාවතී කුමරිය පොළොන්නරුවට ගෙන්වා ගත්තා. ඇය ගජබා රජුට සරණ පාවාදීමට කටයුතු කළා. මෙවැනි උපාය මාර්ගවලින් කුමරු රජුගේ හොඳ හිත දිනා ගත්තා. ඔහුගේ සියලූ අනාගත සැලසුම් දැන ගත්තා. රජරට ආදායම් ප‍්‍රමාණය, යුද ශක්තිය, පාලන සංවිධාන, උසස් නිලධාරීන්ගේ ක‍්‍රියකලාපය ආදී බොහෝ දේ අවබෝධ කර ගත්තා. පරාක‍්‍රමබාහු කුමරු හැම මොහොතකම රාජ්‍ය පාලනය පිළිබඳ තොරතුරු හොයන බව ගජබා රජුට තේරුම් ගියා. ගජබා රජු තමා පිළිබඳ සැකයෙන් බලන බවත් පරාක‍්‍රමබාහු කුමරුට තේරුම් ගියා.
ඒ නිසා පළමුව සිය පිරිස පිටත් කළ පරාක‍්‍රමබාහු කුමරු චාරිත‍්‍රාණුකූලව ගජබා රජු බැහැදැක නොබෝ කලකින්ම යළිත් පැමිණෙන බව පවසා මාළිගයෙන් පිටත් වූවා. ඔහු මුළු ලංකාදීපයේම අගරජුවීමේ සිහිනය දකින්නට වුණා.1

රාත‍්‍රියේම පොළොන්නරුවෙන් ගමන් ආරම්භ කළ පරාක‍්‍රමබාහු කුුමරු ගිරිතලේට පැමිණ පසුව කඳුකරයේ පිහිටි දෙමළිග‍්‍රාමයට පිවිසුණා. එතන සිට ගමන් වෙහෙස දුරුකරගෙන යළිත් ගමන් ආරම්භ කළ කුමරු ක‍්‍රමයෙන් දක්ඛිණ දේශයට ළඟාවුණා. කුමරුගේ පැමිණීම දැනගත් කිත්සිරිමේඝ රජු දූතයින් යවා කුමරුව පිළිගත්තා. කුමරු මාළිගයට ගිය පසු රාජ්‍ය පාලනය පිළිබඳ බොහෝ දේ පැවසූ කිත්සිරිමේඝ රජු නොබෝ දිනකින්ම මියගියා.

පසුව දක්ඛිණ දේශයේ පාලනය පරාක‍්‍රමබාහු කුමරු අතට පත් වුණා. දක්ඛිණ දේශයේ රජු ලෙස අභිෂේක ලත් පරාක‍්‍රමබාහුට වනවාසි නිකායේ භික්‍ෂූන් වහන්සේලා රාජ්‍ය පාලනය පිළිබඳ අර්ථයෙන් ධර්මයෙන් දේශනා පවත්වමින් යහපාලනයක් සඳහා උදවු කරනවා.

කෞමල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයට අනුව යමින් පරාක‍්‍රමබාහු රජු රාජ්‍ය පාලනය මෙහෙයවනවා. ඒ අනුව ඔහු මුලින්ම දක්ඛිණ දේශයේ දේශ සීමාවල ආරක්‍ෂාව තර කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම ඒ සඳහා රජරටට යාබදව ඇති නැගෙනහිර ප‍්‍රදේශයේ බළකොටු පිහිටවනවා.

ඒ වගේම වාරි කර්මාන්තය දියුණු කර කෘෂි කර්මාන්තය සංවර්ධනය කරනවා.

‘‘මෙබඳු රටේ වැස්සෙන් හටගත් ජලය මදකුත් ලෝකෝපකාරයෙන් තොරව කිසිකලෙකත් සාගරයට නොයේවා’’ යන ප‍්‍රකාශයෙන් එය හොදින් අර්ථ ගැන්වෙනවා

සිය හෘද සාක්‍ෂියට එකඟව රටේ ධන සම්පත් විනාශ නොකර එම සම්පත් මහජන සුබ සිද්ධියට යොදා ගනිමින් කටයුතු කළ බව ඉන් හොඳින් පැහැදිලි වෙනවා.

මේ සංවර්ධන කටයුතු සඳහා පරාක‍්‍රමබාහු රජතුමා ප‍්‍රධාන වාරිමාර්ග ව්‍යාපාර 3ක් ආරම්භ කළා. දැදුරු ඔයේ තුන් තැනකින් අමුණු බඳවලා මුළු දක්ඛිණ දේශයේම සැරසාර කෘෂි කර්මාන්තයක් ඇති කළා. හෙට්ටිපොළ අසල පණ්ඩුවාපි නම් කුඩාවැව විශාල ජලාශයක් බවට පත් කළා. මෙය පඬුවස්නුවර ඇති පරාක‍්‍රම සමුද්‍රය ලෙස සඳහන් වී තිබෙනවා. ඒ වගේම පඬුවස්නුවර වැවට නුදුරින් මාළිගයක් කරවා ඒ වටා පවුරක් කරවූ බව ද ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඒ වගේම රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තා. සේනාධිපති කෙනෙක් පත් කර සේනාව පාලනය කිරීමත්, ගිණුම් පිළිබඳ කටයුතු කිරීමට තවත් ඇමැතිවරයෙකුත් පත් කළා. රජු කළේ මේ පිළිබඳව සොයා බැලීම පමණයි. මේ කටයුතුවලට අමතරව, මැණික්, ලෝහවර්ග, ඛණිජවර්ග සමන්විත වටිනා ඉඩම් සංරක්‍ෂණය සම්බන්ධ කටයුතු කිරීමට වෙනම අමාත්‍යාංශ පිහිටවූවා. ඒවා අභ්‍යන්තර කටයුතු ලෙස නම් කළා. ඊට උදාහරණ ලෙස අන්තරංගධුර අමාත්‍යාංශය පෙන්වා දෙන්න පුළුවන්.

මේ සියලූ දේ වගේම විදේශ වෙළෙඳ ගනුදෙනුත් කළා. මැණික් වර්ග පිටරට යැවීම ප‍්‍රධාන වෙළෙඳාමක් වුණා. මෙහිදී විදේශීය වෙළෙඳ කටයුතු සඳහා උරුවෙල, කල්පිටිය, කොළඹ යන මුහුදු තොටුපළ භාවිත කළ බව මහාවංශයේ සඳහන් වෙනවා.

ගොවිතැන හා වෙළෙඳාම දියුණු කළ පරාක‍්‍රමබාහු රජු ඔහුගේ හේවායන්ට විදේශීය කුලී හේවා කණ්ඩායමක් ද එකතු කර ගත්තා. ඔවුන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වාගත් අගත්පඩි හේවායන් ලෙස සඳහන් වෙනවා. ඒ වගේම ස්ථිර නිල හමුදාව රාත‍්‍රි සටන් සඳහා පුහුණු කළා. හැම තරුණයෙක්ම යුද පුහුණුවට බඳවා ගත්තා. ඔවුන්ට ශිල්පීය දැනුම ලබා දුන්නා.

ග‍්‍රාමීය වශයෙන් (අද ග‍්‍රාමාරක්‍ෂක) හේවායින් පුහුණු කර ගම් ආරක්‍ෂාවට පත් කළා. මෙහිදී ගම් ආරක්‍ෂක සෙබලූ මුලින්ම හඳුන්වා දුන්නේ පරාක‍්‍රමබාහු රජු ලෙස හඳුන්වාදෙන්න පුළුවන්.

මේ ආකාරයට දක්ඛිණ දේශයේ යුද බලය ශක්තිමත් කර, ආර්ථිකය නගාසිටවූ පරාක‍්‍රමබාහු රජු අසහාය රාජ්‍ය පාලකයකු ලෙස කටයුතු කිරීමට පෙර පුහුණුවක් ලබා ගත්තා. ඊටපසු වෙනත් රාජ්‍ය ආක‍්‍රමණය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට පියවර තැබුවා.

මහා පරාක‍්‍රමබාහු රජු යනු අසහාය චරිතයකි. ඔහු රට එක්සේසත් කිරීම සඳහා අභ්‍යන්තර යුද්ධ රාශියක් කළේය. කොටස් වශයෙන් රාජ්‍ය පාලනය ගෙනගිය ලංකාද්වීපය තමන්ගේම ඥාතීන් සමඟ යුද්ධකර එක්සේසතක් යටතට ගත්තේය. අද අප අභිමානයෙන් සලකන ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය ගොඩනැගුණේ එසේය. පොළොන්නරු රාජධානියේ සිට බලය ක‍්‍රියාත්මක කළ එතුමා දිවයිනේ සෑම පළාතකම කෘෂිකර්මාන්තය, වාරිකර්මාන්තය දියුණුකරමින් ආර්ථීකය නගාසිටුවූයේය. ඉන් නොනැවතුණු එතුමා ආගමික සහජීවනය ද ගොඩනැංවිය. අලංකාර උයන්, පොකුණු, මංමාවත්, ගොඩනැගිලි නිර්මාණය කරමින් රට සශ්‍රීක කළේය. ඒ ආකාරයට දවසින් දවස දියුණු වූ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙසද නම් කෙරිණි. එසේම එහි අති සුන්දරත්වය නිසාම එය ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසද හැඳින්විය.

මෙවැනි ස්වභාවික පිහිටීමක තිබූ සුන්දර දිවයින විදෙස් ආක‍්‍රමණවලට ලක්වූයේ ද එහි තිබූ සුන්දරත්වය මෙන්ම ස්වභාවික සම්පත් නිසාය.

අද මෙන්ම එදාත් මේ සුන්දර දිවයිනට අධිරාජ්‍යවාදීන්ගේ උකුසු ඇස් එල්ලවී තිබුණි. එම නිසා සතුරන් පරදා රට එක්සේසත් කර සංවර්ධනය කරා ගෙනගිය මහා පරාක‍්‍රමබාහු රජතුමාට ද විදේශ සමඟ යුද වදින්නට සිදුවිය. ඒ පිළිබඳව සාකච්ඡුා කිරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධකර ගනිමු.

මහාපරාක‍්‍රමබාහු රජතුමා බලය ලබාගෙන රට එක්සේසත් කළාට පසු රටේ ආර්ථිකයත් සංවර්ධනය කළා. ඒ නිසා ඒ කාලපරිච්ෙඡ්දය බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා. විශේෂයෙන්ම වාරිමාර්ග නිර්මාණය කර කෘෂිකර්මාන්තය දියුණුකිරීමත්, වෙළෙඳාම මුල් කරගෙන ආර්ථිකය නගාසිටුවීමත් සිදුවුණා.

මෙහිදී වෙළෙඳාම පිළිබඳ කතාකළොත් පරාක‍්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ අභ්‍යන්තරික වෙළෙඳාම වගේම බාහිර වෙළෙඳාමත් දියුණු තත්ත්වයක පැවතුණා. එනම් බුරුමය ඉන්දියාව වැනි රටවල් සමඟ වෙළෙඳාම් කර අධික ලෙස ලාභ ලබාගැනීමට පරාක‍්‍රමබාහු රජතුමා දක්ෂ වුණා. ඉන් රටේ මූල්‍යමය වත්කම් ප‍්‍රමාණය වැඩි වුණා.

මේ ආකාරයට රටට ජාතියට, ආගමට කීර්තියක් අත්කරදුන් රාජ්‍ය නායකයා ජාත්‍යන්තර වශයෙනුත් රටට කීර්තියක් අත්කරදුන් බව මූලාශ‍්‍රවල සඳහන් වෙනවා.

ඒ වගේම මේ කාලයේදී රටේ සාමය පැතිරිලා තිබුණා. මේ හේතු නිසා හමුදා සෙබළු හිටියේ ඉටුකිරීමට සේවයක් නැතිව ඔවුන්ට වැඩක් තිබුණේ නැහැ. යුද්ධයක් නොමැති අවස්ථාවකදී හමුදාව විසුරුවා හැරීමක් තමයි වර්තමානය වනවිට වෙනත් රටවල ක‍්‍රියාත්මක වන්නේ. ඒත් පරාක‍්‍රමබාහු රජතුමා මේ සෙබළු රටේ සංවර්ධනයට දායක කරගත්තා. එනම් එතුමා මේ හමුදාව නගර අලංකරණය කිරීමට යොදා ගත් බව සිතිය හැකියි.

මේ සියලූ දේ වගේම ඒ කාලය නාවික හමුදාවකුත් ක‍්‍රියාකාරීව තබාගත්තා. හේතුව රට අභ්‍යන්තරය සාමකාමී වුවත් විදෙස් රටවලින් සතුරු ආක‍්‍රමණ සිදුවිය හැකි නිසා. ඒ වගේම පරාක‍්‍රමබාහු රජතුමා එතුමාගේ සටන් ව්‍යාපාරයට සහය දුන් යුද විරුවන්ට තාන්න මාන්න දී තෑගි බෝග ලබාදී ගෞරවයක් ලබාදුන්නා. ඒ පිළිබඳ අතීත සෙල්ලිපි පරීක්‍ෂා කිරීමේදී අවබෝධකරගත හැකියි. ඊට හොඳම උදාහරණයක් ලෙස බුරුම ආක‍්‍රමණය පෙන්වා දෙන්න පුළුවන්.

ජාත්‍යන්තර වශයෙන් ඇතිවූ යුද ගැටුමක් වන බුරුම ආක‍්‍රමණය සිදුවීමට හේතුවුණේ වෙළෙඳ ගිවිසුමක් කඩකිරීම. මෙම ආක‍්‍රමණය සිදුවුණේ පරාක‍්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ 11 වැනි අවුරුද්දේ. බුරුමය රාමඤ්ඤදේශය හෙවත් අරමණ රට විදියට හඳුන්වනවා. ලංකාවත් බුරුමයත් අතර යුද්ධය පැතිරියාමට හේතු චූල වංශයේ සඳහන් වෙනවා.

එනම් මෙම රටවල් දෙක අතරේ අනාදිමත් කාලයක සිට දැඩි සුහද සබඳකමක් පැවතුණා. මේ රටවල් දෙකම බෞද්ධ රටවල්. පරාක‍්‍රමබාහු රජතුමාගේ කාලයේ සිටි මේ පාලකයන් දෙදෙනාම බෞද්ධ පාලකයින් වුණා. ඒ නිසා මේ වෙළෙඳ සබඳතා තරකරගනිමින්, තෑගිබෝග දෙමින් මිත‍්‍ර සබඳතා පවත්වාගෙන ගියා. ඒ හොඳ හිත දිනාගැනීම සහ වෙළෙඳ ගිවිසුම් දියුණු කර ගැනීමේ පරමාර්ථ ඇතිව. මේ කාලයේ බුරුමය පාලනය කළේ අලවුංසිතු රජුයි.31pg-23d--TAKS--pgs

මේ දෙන්නා සුහද වෙළෙඳ සබඳතාවක් පැවැත්වූවා. ඒත් අවලංසිතු රජතුමාගේ සාමාන්‍ය ස්වභාවය අනුව ඔහු අහංකාර පාලකයෙක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙනවා.

ලංකාව හා බුරුමය අතර තිබූ මිත‍්‍ර සබඳතා මත වෙළෙඳ සබඳතා තරකර ගැනීමට තෑගි භාණ්ඩ රැගත් නැවක් බුරුමයට පිටත්වෙනවා. ඒ නැව බුරුම රජතුමාට ලැබුණම ඔහුත් ඇතෙක්් තෑගි වශයෙන් එවීම සිරිතක් වුණා.  ඒත් අහංකාර බුරුම රජු එම සම්ප‍්‍රදාය කැඩුවා.

එනම් යම්කිසි අවස්ථාවක පරාක‍්‍රමබාහු රජතුමා රන්පතක ලියූ හසුනක් තෑගිත් සමග බුරුම රජුවෙත යැව්වා. එහෙත් අලවංසිතු රජතුමා ලංකාවෙන් ගිය දූත පිරිස මිලදීගත් ඇතුන් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය කොල්ලකා ඔවුන් කඳුකරයේ රැඳවුම් කඳවුරක හිර කළා. ඉන් නොනැවතී සිංහල දූතයන්ගේ පයේ විලංගුලා සිරගෙවලට ජලය ඇදීම සඳහා යෙදවූවා.ඊට පසු ලංකාවෙන් කිසිම ත්‍යාගයක් නොඑවන ලෙසත් ලාංකීය දූතයන්ට බුරුමයට ඒම තහනම් බවත් එසේ ආවොත් ඔවුන් මරාදැමීමට නීතියෙන් තහනමක් නැති බවත් දැන්වූවා. ඉන්පසු සිදුරු සහිත නැවකට දැමූ මේ දූත පිරිස ආපසු ලංකාවට එව්වා. මේ හේතුව වගේම මෙම මිත‍්‍ර සබඳතා කඩාවැටීමට තවත් හේතුවක් තිබුණා. එනම් එක් විටක මහා පරාක‍්‍රමබාහු රජතුමා ඇතුන් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් හා තෑගි  භාණ්ඩ යැවූ අවස්ථාවක ඒ කිසිවක් කිරීමට ඉඩනොදී වෙළෙඳ ගිවිසුම කඩකර එම දූත පිරිසත් ආපසු  එවා තිබුණා.

ඒ වගේම ලංකාවේ සිට බුරුමය හරහා කාම්බෝජයට යැවූ සිංහල කුමාරිකාවක් බුරුම පාලකයාගේ කණ්ඩායමක් මුහුදේදී පැහැර ගත්තා.

එකපිට එක ආ මෙම අපහාස වලින් පරාක‍්‍රමබාහු රජතුමා කුපිත වුණා. ඒ නිසාම යුද්ධ කිරීම හැර මොහුට විරුද්ධව කළ හැකිවෙන කිසිවක් නොවන බව වටහාගත්තා. ලංකාවේ කීර්තිය වෙනුවෙන් බුරුමය සමඟ සටන් කිරීමට ඒ ආකාරයට සූදානම් වූ රජතුමා ආක‍්‍රමණයට අවශ්‍ය යුධ සැලසුම් සකස් කළා.
පස් මසකින් නාවික කණ්ඩායම් සූදානම් කළා. සන්නාහ සන්නද්ධ යුද උපකරණ රැස්කළා. ඒ සියලූ දේ මේ සේනාවට ලබාදී යුධ නැව් සඳහා අවශ්‍ය සියලූ ආහාර පානද සැපයුවා. සෙබළුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා කටයුතුත් සූදානම් කළා. ඒ සඳහා විශේෂ ඖෂධ, ඊතල, ඉවත්කිරීමේ ශල්‍ය උපකරණ, වෛද්‍යවරු, පරිවාර නැව් කණ්ඩායමට ඇතුළත් කළා. සියලූ කටයුතු සූදානම් වූ පසු සේනාව ඊශාන වෙරළේ පිහිටි පල්ලවක්කි (කුච්චවේලියට උතුරින් පිහිටි වරායකි) වරායෙන් පිටත් කළා.

මේ සේනාවේ ප‍්‍රධානියා (අණදෙන නිලධාරි) වූයේ පරාක‍්‍රම බාහු රජතුමාගේ සිවිල් යුද කටයුතුවලදී අවංකව සේවා සැපයූ නිලධාරියෙක්. ඔහු ආදිත්‍ය දමිල අධිකාරි නම් ගණකාධිකාරවරයෙක්. මෙහි උප අණදෙන නිලධාරියා වූයේ කිත්ති නුවරගල්ල නම් සෙන්පතියෙක්. මොවුන් ගිය නැව කුණාටුවකට හසුවී මුහුදු බත්වුනා. තවත් නැව් කීපයක් තවත් රටවලට පාවී ගියා. එක් නැවක් කාක දේශයට ළඟාවුණා. මේ ආක‍්‍රමණයට නාවික කණ්ඩායම් 5 ක් පමණ පිටත් වී තිබෙනවා. කාක දේශයට ගොඩබට නැවේ භටයෝ එම දූපතේ  සිටි මිනිසුන් සමූහයක් ජීවග‍්‍රහණයෙන් ලංකාවට ගෙන ආවා.

ඒ අතර කිත්ති නුවරගල සෙන්පතියා ඇතුළු පිරිස බුරුම දේශයට ගොඩබැස්සා. සටනට පැමිණි බුරුම භටයන් පරාජය කර ඒ අවට ප‍්‍රදේශ ආක‍්‍රමණය කළා.
මීළඟට දමිළ ආදිත්‍ය ඇතුළු පිරිස බුරුමයේ වෙනත් ප‍්‍රදේශයක පිහිටි පප්පාලමට ගොඩ බැහැලා ඉදිරියට ගියා. ඔවුන් උක්කමපුරය අල්ලාගත්තා.

එහි සිටි රජු උක්කම පුරයේදී මැරුම් කෑ බව සඳහන් වෙනවා. ඒත් මේ සිදුවීම පිළිබඳ අදහස දෙආකාර වෙනවා. චූල වංශයට අනුව සිංහල සෙබළුන්ගේ ජයග‍්‍රහණය සඳහන් වුවත් බුරුම ලේඛනවල තිබෙන්නේ බොහොම අඩු තොරතුරු ප‍්‍රමාණයක්. ඒ නිසා ලංකාවේ මහා පරාක‍්‍රමබාහු රජතුමා මේ බුරුම යුද්ධය ජයග‍්‍රහණය කළ බව සනාථ කළ හැකි වෙනවා.

ඒ වගේම මේ ආක‍්‍රමණය මගින් ලංකාවට ගෙන ආ අපකීර්තිය නැතිකිරීමත් ලාංකීය බෞද්ධ සිංහලයාගේ තිබෙන අභිමානවත් බව පෙන්නුම් කිරීමත් විදහා දක්වනවා.

මේ කාර්ය සම්පූර්ණ කර ජයග‍්‍රහණය ලබාගත් ශ්‍රී ලාංකීය සෙන්පතියෝ යළිත් නැව්නැග ලංකාවට පැමිණියා.

ඊට පසු බුරුම රජතුමා යළිත් වතාවක් ලංකාව සමග මිත‍්‍ර සබඳකමක් ඇති කර ගැනීමට කටයුතු කළා. එනම් ලංකාවේ මහා සංඝයා වහන්සේලාගේ උපකාරය ඇතිව පරාක‍්‍රමබාහු රජතුමා සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට පියවර ගත්තා. ඒ අනුව පෙර පරිදිම සිංහල දූතයන්ට තිබූ වරප්ප‍්‍රසාද යළිත් ලබාදීමට බුරුම රජතුමා කැමැති වුණා.

මේ බුරුම ආක‍්‍රමණය සාර්ථකව නිමකිරීමට. උපකාර කළ කිත්ති නුවරගල්ල සෙන්පතියාට ගම්වරයක් දීමට ද පරාක‍්‍රමබාහු රජතුමා කටයුතු කළ බව දෙවනගල සෙල්ලිපියේ සඳහන් වෙනවා. එහි ලාංකීය සෙන්පතියන් ජයග‍්‍රහණය වෙනුවෙන් මාස 05 ක පමණ කාලයක් සටන් කළ බවද සඳහන්. මේ ජයග‍්‍රහණයට සහයෝගය දුන් අනිත් සියලූම සෙබළුන්ටත් ගම්වරදී තාන්න මාන්න දී ඔවුන්ගේ ජීවිත ද ඔසවා තැබීමට පරාක‍්‍රමබාහු රජතුමා කටයුතු කර තිබෙනවා.

මෙය යහපාලනය පිළිබඳව සිංහල පාලකයන් කියා දුන් යහපත් සංකල්පයක්.

මේ ආකාරයට රට එක්සේසත් කර ජාත්‍යන්තර කීර්තියක් ලබාදුන් මහා පරාක‍්‍රමබාහු රජතුමාට විරුද්ධව ක‍්‍රි.ව. 1169 මහාතිත්ත ප‍්‍රදේශයේ යළිත් කැරැුල්ලක් ඇතිවෙනවා. රජතුමා ඒ කැරැල්ලත් මැඩපවත්වනවා. මේ සියලූ දේ මගින්ම පැහැදිලි වන්නේ රට එක්සේසත් කළත්, ජාත්‍යන්තර කීර්තිය ලබා දුන්නත් ලංකාව කොටස් වශයෙන් පාලනය කරන කාලයේ පරාක‍්‍රමබාහු රජතුමාට විරුද්ධව කටයුතු කළ යම් පිරිසක් අවසානය දක්වාම වෛරී සිතුවිලිවලින් කටයුතු කළ බවයි. එහෙත් රජතුමා මැදහත් සිතින් රටවැසියාට සලකමින් එක්සේසත් කළ රට රැකගැනීමට  කටයුතු කළා.

”මහා පරාක‍්‍රමබාහු රජුගේ යුද ව්‍යාපාරය අංශ දෙකක් ඔස්සේ විහිදිලා යනවා. ඉන් එකක් තමයි දක්ෂිණ දේශයේ පාලකයාව සිට එම දේශය සංවර්ධනය කර ජනතා ප‍්‍රසාදය දිනා රජරට ආක‍්‍රමණය කිරීම.

අනිත් එක තමයි මානාභරණ සමග කළ සටන් ව්‍යාපාරය. මේ සටන් ව්‍යාපාර දෙකේම අරමුණ වූයේ බලය ලබාගැනීම. මේ සටන් ව්‍යාපාරවල පාවාදීම්, ගිවිස ගැනීම්, ගිවිසුම් කඩකිරීම්, නැවත ප‍්‍රතිපක්ෂයක් සමග එකතුවීම්, අල්ලස් දී ඇමතිවරු හා සේනාපතිවරු තමාපැත්තට නම්මා ගැනීම් වැනි දේශපාලන ප‍්‍රයෝග දකින්නට ලැබුණා.

එහෙත් මහාපරාක‍්‍රමබාහු රජුගේ යුදකාලය පිළිබඳව හෝ රජරට ගජබා රජුගේ යුද සූදානම පිළිබඳව වංශ කතාවල තොරතුරු සඳහන් කර නැහැ. පොදුවේ බලනවිට තමා ආහාර පාන, වස්තුව, පුහුණු සේනාව වැනි සියලූ දේ එකතුකරගෙන යුද්ධයකට පෙර සූදානමක් වූ බව ඓතිහාසික සාධක පිරික්සීමේ දී පැහැදිලි වෙනවා.

මුලින්ම පරාක‍්‍රමබාහු රජතුමා දක්ෂිණ දේශය සංවර්ධනය කර රජරට ආක‍්‍රමණය කිරීමට මුල පිරුවේ මෙහෙමයි. ඔහු මුලින්ම කළේ ගජබා රජුගේ සියලූ තොරතුරු දැන ගැනීම හා ඔහු යටතේ සිටින ඔහුට විරුද්ධ මැති ඇමතිවරු හඳුනා ගැනීම. ඔවුන්ගෙන් ලබාගත් රහස් තොරතුරු සහ පරාක‍්‍රමබාහු රජතුමා ගොඩනගාගත් බලය භාවිතාකර ගජබාරජුට අයිතිව තිබූ කඳුරටේ කොටසක් මුලින්ම ආක‍්‍රමණය කිරීමට ක‍්‍රියා කරනවා.

ඔහුගේ සේනාව මහා මලය දේශය අල්ලා ගැනීමට කටයුතු කරනවා. එහිදී වංගු සහිත අඩි පාරවල්, කැලෑ, කටු පඳුරු, ගිරි දුර්ග, ජල දුර්ග සහිත මලය දේශය ආක‍්‍රමණය කිරීම අසීරු කටයුත්තක් වෙනවා. එහෙත් එම අසීරු කටයුත්තට මුහුණ දුන් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව පොළොන්නරුව ආක‍්‍රමණය කිරීම සඳහා ක‍්‍රියා කරනනවා. ඔවුන් ප‍්‍රථමයෙන්ම මලය දේශයේ බලය තහවුරු කරගන්නේ එහෙමයි.

ඊට පසු පරක‍්‍රමබාහු රජතුමා රජරට ප‍්‍රදේශයේ සිටි දණ්ඩාදිනායකයාවූත් ගජබා රජුගේ සේනාධිපතියකුවුත් රක්ඛසේනාධිපති රහස් පණිවිඩයක් යවා ගෙන්වා ගන්නවා. පසුව ඔහුට අල්ලස් දී පරක‍්‍රමබාහු රජුගේ පැත්තට නම්මා ගන්නවා. මේ බලය සඳහා වූ දේශපාලන උපක‍්‍රම අද වගේම එදත් තිබූ බව ඉන් පැහැදිලි වෙනවා.

රක්ඛ සේනාධිපතිගේ සහයෝගය ලබාගත් පරාක‍්‍රමබාහු රජු ඇතුළු පිරිසට පහත දුම්බර ප‍්‍රදේශය පහසුවෙන්ම අල්ලා ගැනීමට හැකි වෙනවා.
ඒත් රටේ ජනතාව එම ක‍්‍රියාව අනුමත කළේ නෑ, හේතුව ඔහු දක්ඛිණ දේශය සංවර්ධනය කළ පාලකයා වූවත් අල්ලස් දී බලය ලබා ගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම උසස් රාජ්‍ය පාලකයකුට නොගැළපෙන්නක් නිසා.

ඒ නිසා පහසුවෙන් පහත දුම්බර අල්ලාගත් පරක‍්‍රමබාහු රජතුමාගේ සේනාවට තෙල්දෙණිය, ආශ‍්‍රිත ප‍්‍රදේශවල දී ගජබා රජුගේ සේනාව සමග සටන් කිරීමට සිදු වූණා. එහිදී උඩුදුම්බර, දුනුවිල යන ප‍්‍රදේශ පරාක‍්‍රමබාහු රජතුමාට ලබාදීමට යළිත් රක්ඛසේනාධිපති ක‍්‍රියා කළා. මේ ජයග‍්‍රහණ ලබාදීමට කටයුතු කළ ගජබා රජුගේ සේනාධිපතියකු වූ රක්ඛසේනාධිපතිට පරාක‍්‍රමබාහු රජතුමා කේෂධාතු නැමති ගෞරව නාමය ලබා දුන්නා.

මේ අවස්ථාවේදීත් පෙනී යන්නේ අල්ලස් දී ඇමතිවරු අල්ලා ගැනීම පිළිබඳ කෞටිලයගේ අර්ථ ශාස්ත‍්‍රයේ දක්වා ඇති උපදෙස් ඒ ආකාරයටම පරාක‍්‍රමබාහු රජතුමා පිළිපැදි ආකාරයයි.

මීළඟට ගජබා රජු ඔහුට සමීපයේම සිටි රක්ඛසේනාධිපති පරාක‍්‍රමබාහු රජුට පක්ෂක්ග‍්‍රාහීව කටයුතු කිරීම හා ගජබා රජුට විරුද්ධවීම නිසා ඔහු සමග සටන් කිරීමට සේනාවක් එව්වා. පරාක‍්‍රම බාහු රජුන් රක්ඛසේනාධිපතිට ආධාර පිණිස දක්ඛිණ දේශයේ සිට තවත් සේනාවක් එවීමට කටයුතු කළා. මේ සේනා දෙක එකතු වී සටන් කළ අතර ඉන් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ජයග‍්‍රහණය කළා. එම සටනින් පසු ඔවුන් මඩුගොඩ ප‍්‍රදේශයත් අල්ලා ගත්තා. මින් පරාක‍්‍රමබාහු රජතුමාට මුළු මලය දේශයම අල්ලා ගත හැකි වුණා. ඉතිරිව තිබුණේ කොස්වත්ත ප‍්‍රදේශය පමණයි. ඔහු එම ප‍්‍රදේශයේ සිටි නිළධාරීයාටත් අල්ලස් දී අල්ලා ගත්තා.

මේ ආකාරයට ඔහු මුළු කඳුරටම ජයග‍්‍රහණය කළා. ඊට පසු ඔහුගේ අවධානය යොමුවුණේ රජරට අල්ලා ගැනීමට. ඔහු රජරට අල්ලා ගැනීමේ මෙහෙයුමක් කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍රයේ සඳහන් නියමයන්ම අනුව සැලසුම් කළා. ඒ අනුව ඔහු බටහිර වෙරළ ඔස්සේ මෙහෙයුම් දියත් කළා. මුලින්ම එහි තිබූ මුතුපර අල්ලා ගත්තා. ඊට පසු පුත්තලම අසල තිබූ ගජබා රජුගේ බළකොටුව අල්ලා ගැනීමට ක‍්‍රියා කළා. මේ කාලයේ නාවික සටන්ද ඇතිවුණා. ඒ සටන්වලින් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ජයග‍්‍රහණය කළා. ඊට පසු එම වෙරළබඩ තීරු පාළනය කිරීම සඳහා මුතුපර අසල බළකොටුවක් ගොඩනැගුවා

ඊළඟට මේ නාවික සේනාංකය සමග පිටත් වූ පරාක‍්‍රමබාහු රජතුමා කලා ඔය හරහා ගොස් කට්ටියාව අත්පත්කර ගත්තා. ඊට පසු ගල්කිරියාගම කඩහපොළ ප‍්‍රදේශ ආක‍්‍රමණය කළා. පසුව පරාක‍්‍රමබාහු රජුගේ සේනාවත් නැගෙනහිර ප‍්‍රදේශය බලා ගමන් ගත්තා. ඊට පසු කෙළින්ම ගජබා රජු පාලනය කළ පොළොන්නරු රාජධානිය ආක‍්‍රමණය කිරීමට මෙහෙයුම දියත් කළා. එහිදී ගජබා රජුගේ සේනාව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළා. එනම් පරාක‍්‍රමබාහු රජුගේ පොළොන්නරුව දක්වා පැමිණෙමින් සිටි සේනාව මර්දනය කිරීමත්, නැගෙනහිර වෙරළේ බළකොටුවක් ගොඩනගාගෙන පාලනය හසුරවමින් සිටි සේනාවත් ගජබා රජුගේ ඉලක්ක වුණා. ඒත් ප‍්‍රහාර දෙකෙන්ම පරාක‍්‍රමබාහු රජු ජයග‍්‍රහණය කළා.

ඊට පසු පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ඇලහැර ප‍්‍රදේශයට ඇතුළුවී ඇලගමුව අල්ලාගෙන එහි ශක්තිමත් බළකොටුවක් ගොඩනැගුවා. බළකොටු අල්ලා ගැනීමට ගජබා රජුගේ යුද කටයුතු සැලසුම් කළ ජනරල්වරයාගේ දක්ෂතාව මත ඒවා ව්‍යර්ථ වුණා.

ඒ වගේම පරාක‍්‍රමබාහු රජුට වම් පසින් එල්ලවිය හැකි තර්ජන පිළිබඳ ඔහු අවධානයෙන් පසුවුණා. ඒ නිසාම ගජබා රජුගේ සේනා පරාක‍්‍රමබාහු රජුගේ සේනා සමග ඇතිවූ ගැටුම්වලදී පරාක‍්‍රමබාහු රජු ජයග‍්‍රහණය කළ අතර ඔවුන්ට තිසා වැව අසලට ඒමට හැකි වුණා.

එහිදී ගජබා රජුගේ සේනාව යළිත් පරාක‍්‍රමබාහු රජුගේ සේනාවට පහර දුන්නා. ඒ සමගින් පරාක‍්‍රමබාහු රජුගේ අණදෙන නිළධාරියා ගජබා රජුගේ සෙබළුන්ට අසුවුණා. ඊළඟට පරාක‍්‍රමබාහු රජු කල්පනා කළේ ඒ අණදෙන සෙනවියා බේරාගන්නා ක‍්‍රමයක් පිළිබඳව. මේ නිසාම සටන් පවත්වමින්ම අනුරාධපුරයට නුදුරුව පිහිටි තාන්තය ප‍්‍රදේශයේ කඳවුරක් පිහිටුවා ගැනීමටත් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව කටයුතු කළා. එහි සිට ඇලහැර ප‍්‍රදේශය ආක‍්‍රමණය කිරීමට රජුගේ පිරිසට හැකි වුණා. මේ සටන් මේ ආකාරයට පැවතෙත් දී රුහුණේ පාලකයා වූ මානාභරණ ගජබා රජු සමග මිත‍්‍ර සන්ධානයක් ඇතිකර ගෙන සිටියා. රෝහණයේ සහ රජරට පාලකයන් එකතු වී සාදාගත් මේ ඒකාබද්ධ සන්ධානය පරාක‍්‍රමබාහු රජුගේ සේනාවත් සමග සටන් කළා.

එහෙත් යුද්ධය ගමන්ගත් ඉසව්බලා පරාක‍්‍රමබාහු රජුගේ ජයග‍්‍රහණය කිරීමේ ශක්තිය වැඩි බවත් යුද්ධයෙන් ගජබා රජු පරාජය ලැබිය හැකි බවත් මානාභරණ වටහා ගත්තා. ඒ අනුව යමින් මානාභරණ රජු ගජබා රජු අතැර පරාක‍්‍රමබාහු රජු සමග ගිවිසුමකට එළැඹුණා.

මෙය අද දේශපාලනයේ පිල්මාරු කරන ආකාරය එදා සමාජයේත් තිබූ බවට හොඳ උදාහරණයක් වෙනවා. ඒ වගේම දේශපාලන බලය ලබා ගැනීම සඳහා සිය ප‍්‍රතිපත්ති වෙනස් කර බලය වැඩි පැත්තට බැස ක‍්‍රියාකාරීවීම පිළිබඳවත් හොඳ උදාහරණයක්.https://i0.wp.com/static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/03-itihasaye-sangawunu-kata.jpg?w=735

මෙසේ පරාක‍්‍රමබාහු රජුගේ සේනාවට එකතු වූ මානාභරණ රජුගේ සේනාව සොර බොර වැව ප‍්‍රදේශයේ කඳවුරුගහගෙන යුද කටයුතු කළා.
පොළොන්නරුව බලා යන ඉදිරිගමනේ උච්චතම ස්ථානය මෙය වුණා.

ගජබා රජු පොළොන්නරුවට ඇතුළු වන දොරටුව අභියස ශක්තිමත් ලෙස ආරක්ෂාව තර කර තිබුණා. ඒත් පරාක‍්‍රම බාහු රජුගේ සේනාව සහ මානාභරණගේ සේනාව එක්ව පොළොන්නරුවට ඇතුළුවන එම ආරක්ෂක පවුරුවලට පහර දුන්නා. එහිදී ගජබා රජුගේ සේනාව විශාල ලෙස විනාශ වූ අතර දිවි ගලවාගත් සෙබළු ගම් නියම් ගම්වල සැඟවුණා. ඒ අතරතුර පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ගිරිදුර්ග ඔස්සේ පොළොන්නරු රාජධානිය වෙතට ගමන් ගත්තා. සිය රාජධානිය බේරා ගැනීමේ අවසන් සටන් බිමට පැමිණි ගජබා රජු ඉන්දියාවේ කුලී හේවායන්ගේ සහාය ද ඇතිව ඇත්, අස්, රිය, පාබල යන පිරිස් එකතුකර නගරයේ පිටතට පැමිණ යුද කිරීමට සැරසුණා.

මේ සිවිල් අරගල වෙතින් අවබෝධ වන්නේ ප‍්‍රතිපත්ති, පාවාදීම්, මිත‍්‍රකම්, සමගි සම්මුති වරෙක ඇති වෙනවා වගේම තවත් වරක සැහැසි විදියට කඩන බව. මේ සටන ඉතා කෙටි එකක් වූවත් තීරණාත්මක සටනක් වුණා. ඉන් පරාක‍්‍රමබාහු රජුගේ සේනාව ජයග‍්‍රහණය කළා. ඉන් පසු ගජබා රජු නුවර දොරටුව අගුළුලා සැඟවුණා. ඒ වෙලාවේ රහස් ඔත්තු කරුවන්ගේ උදව් ලබාගත් පරාක‍්‍රමබාහු රජු ඇතුලේ ආරක්ෂක දොරටු විවෘත කර ගත්තා.  ඊට පසු ගජබා රජු සැඟවී සිටින ස්ථානය සොයා ගෙන ඔහුව මාළිගයේම සිර කළා.

මේ සිදුවීම දේශපාලන වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා. හේතුව බලයේ සිටින පාලකයොත්, බලයට එන්න සිටින පාලකයොත් රජ කෙනෙකුට හෝ ඇමතිවරයෙකුට සුදුසු ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමක් පිළිබඳ මින් පැහැදිලි වෙනවා.

මේ සටනේ දී ගජබා රජු පැරදුනත් ඔහුට රජ කෙනකුට අවශ්‍ය සියලූ පහසුකම් සපයා ජීවත්වීමට සැලසීම පරාක‍්‍රමබාහු රජු කළ උතුම් ක‍්‍රියාවක්. ඒත් ඒ ජයග‍්‍රහණයෙන් උදම් වූ සෙබළු නගරය කොල්ලකා ප‍්‍රීති ඝෝෂා නගමින් ජයග‍්‍රහණය බුක්ති වීඳීමට කටයුතු කරනවා.

ඔවුන් දේශපාලන පළිගැනීම්වල යෙදෙනවා. මේ නිසා ගම් නියම්ගම්වල සිටි ප‍්‍රභූ පිරිස් ගජබා රජු ජීවත්ව සිටිනතාක් ඔහුගේ ගම්නියම්ගම්වල ජීවත් වූ පිරිස තවත් පිරිසකට යටත් වී ජීවත් නොවන බව සඳහන් කළ සංදේශයක් පරාක‍්‍රමබාහු රජුට යවනවා.

එහිදී පරාක‍්‍රමබාහු රජුගේ උපදේශකයෝ ඊට පිළියම් ලෙස ගජබා රජු මරා දැමිය යුතු බවට උපදෙස් දෙනවා. සෙබළුන් ගම් නියම් ගම් කොල්ල කෑමත් මිනිසුන්ට අඩත්තේට්ටම් කිරීමත් නිසා යළිත් රටේ සාමය අස්ථාවර වුණා.

මේ නිසා කෝපයට පත් වූ ජනතාව යළිත් එක්වී රුහුණේ පාලකයාව සිටි මානාභරණ ඔවුන්ගේ නිදහස සඳහා පැමිණෙන ලෙස සඳහන් කළ සන්දේශයක් යැව්වා. මේ වෙලාවේ මානාභරණ රජු පරාක‍්‍රම බාහු රජු සමග ගොඩනගාගෙන තිබූ ගිවිසුම පසෙකලා පොළොන්නරුවේ ජනතාවගේ ඉල්ලීමට සවන් යොමු කළා. බලය පිළිබඳව තිබූ අසීමිත ආශාවත් ඊට මූළික හේතුවත් වුණා.

ඔහු බලය වෙනුවෙන් රජවරු දෙදෙනෙකු සමග ගිවිසගත් ගිවිසුම කඩ කර ක‍්‍රියා කිරීම ඊට උදාහරණ වෙනවා.

මේ පිළිබඳව සත්‍ය සිදුවීම් දැනගත් පරාක‍්‍රමබාහු රජු පොළොන්නරුවේ සිටින සෙබළුන්ගේ විනය පිළිබඳව හොයා බලා ඔවුන්ගේ විනය ගොඩ නැගීම සඳහා ක‍්‍රියාත්මක වීමට දේවා නම් සෙන්පතියකු පිටත්කර හරිනවා. එම අවස්ථාවේ දී පොළොන්නරුවේ ජනතාවෙගේ ගැටලූ විසඳීම සඳහා ඔවුන්ගේ ආරාධනාවෙන් පැමිණි මානාභරණ රජු දේව සේනාපතිට මුණ ගැසෙනවා. එහිදී මානාභරණගේ බලය ලබා ගැනීමේ චේතනාවෙන් පරක‍්‍රමබාහු රජු විසින් පොළොන්නරුවේ ගැටලූ විසඳීමට එව් දේව සේනාධිපති අභියෝගයක් වෙනවා. ඒ නිසා පොළොන්නරු වැසියන්ගේ සහාය ලබාගත් මානාභාරණ පරාක‍්‍රම රජුගේ සේනාව පරාජය කර දේව සේනාධිපති සිර කරනවා.

බුරුම ජයග‍්‍රහණයෙන් පරාක‍්‍රමබාහු රජතුමා උද්දාමයට පත්විය. ඒ නිසාම ජාත්‍යන්තර දිග්විජය ප‍්‍රතිපත්තිය අත් නොහැරියේය. ඊට ප‍්‍රධාන හේතු කීපයක් විය. එනම් එවකට මෙරට ආර්ථික සමෘධිමත් භාවය පැවතීමත් නිකරුණේ සිටි සිය හමුදාව ජාත්‍යන්තර දික්විජය ව්‍යාපාරයට දායක කරගැනීමත්ය.

මෙවැනි හේතු සාධක මත දියත් කළ දික්විජය ප‍්‍රතිපත්තියේ මීළඟ පියවර වූයේ මුහුදෙන් එපිට පිහිටි සමීපතම රට වූ දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශය ආක‍්‍රමණය කිරීමය.

එය සවිස්තරාත්මකව දක්වතොත් මෙසේය.

දහවැනි සියවසේ දී ප‍්‍රබල රාජ්‍යයක් වූ චෝලදේශය අධිරාජයක් වීමේ සිහිනයෙන් කටයුතු කළේය. එහෙත් කාලයත් සමඟ එහි ඇතිවූ මත ගැටුම් නිසා පරිහාණියේ සලකුණු දක්නට ලැබුණි. මෙම කාලය තුළ (1150×1170 දක්වා) චෝල දේශයේ පාලකයා වූයේ දෙවැනි රාජ රාජ රජතුමාය.

ඔහුගේ කාලසීමාව තුළ චෝල දේශයට එරෙහිව කේරළ පාණ්ඩ්‍ය යන රාජ්‍ය සංධාන ගතවී ක‍්‍රියා කළේය.

මේ කාලය තුළදී ලංකාවේ පාලකයා වූයේ පළවැනි පරාක‍්‍රමබාහු රජතුමාය. නිරන්තරයෙන්ම ලංකාව ආක‍්‍රමණය කිරීමට කටයුතු කළ චෝල රාජ්‍යය වසර තුනක පමණ කාලසීමාවක සිට නිහඬ ප‍්‍රතිපත්තියක් ගෙන ගියේය. හේතුව ඒ වනවිටත් චෝල බලපරාක‍්‍රමය දුර්වලවීමය.

ක‍්‍රි.ව. 1166-1169 කාලයේදී පාණ්ඩ්‍ය රාජ්‍ය සිහසුන සඳහාද අභ්‍යන්තර මත ගැටුමක් ඇතිවිය. හේතුව සිහසුනට උරුමකම් කියූ කුලසේකර නම් කුමාරයා පාණ්ඩ්‍ය පාලක පරාක‍්‍රමගේ අගනුවරවූ මදුරාවේලියට තද බල ප‍්‍රහාරයක් එල්ල කිරීමය. එම සටනට පරාක‍්‍රම රජු ලංකාවෙන් යුද ආධාර ඉල්ලා සිටියේය.
මෙහිදී කුලසේකර කුමරු චෝල රජුගේ ආධාර පැතු අතර ලංකාවේ පරාක‍්‍රමබාහු රජු පාණ්ඩ්‍ය දේශයේ පරාක‍්‍රම රජු වනුවෙන් සටන් කිරීමට සේනාපති ලංකාපුර යටතේ හමුදා සෙබළුන් රැුස් කළේය.

ඒ සඳහා ලංකාවේ මාන්තෙයි ප‍්‍රදේශයේදී රැුස්කළ හමුදාව සටනට සූදානම් වෙද්දී කුලසේකර කුමරුගේ හමුදාව විසින් පරාක‍්‍රම රජු සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිස මරාදැමූ පුවත පරාක‍්‍රමභාහු රජතුමාට දැනගන්නට ලැබුණේය.

මේ තත්ත්වය යටතේ පරාක‍්‍රමබාහු රජුට සිය හමුදාව පාණ්ඩ්‍ය දේශයට පිටත්කර හැරීමේ ගැටලූ මතුවිය. ඒ පිළිබඳ සැලකිලිමත් වූ පරාක‍්‍රමබාහු රජු සේනාධිපතිවරු රැුස්කර සටන ඉදිරියට ගෙනයාමට උපදෙස් දෙන ලදී. කුලසේකර රජු පරදවා පාණ්ඩ්‍යදේශයෙන් පලවාහැර පරාක‍්‍රම රජුගේ සිහසුනට උරුමකම් කියන අයෙකු සොයා සිහසුන භාරදීමට කටයුතු කරන ලෙස සේනාපති ලංකාපුර දැනුවත් කළේය.07_page_19th

ඒ වගේම මෙම යුදව්‍යාපාරයේ නායකත්වයද සේනාපති ලංකාපුරට පැවරුවේය. ඒ නිසාම වගකීම් සම්භාරයක් හිසදරාගත් සේනාපති ලංකාපුර ඔහුගේ සේනාවත් සමඟ නැව්නැග පාණ්ඩ්‍ය හමුදාවේ විරුද්ධ තාව මතම පාණ්ඩ්‍යදේශයේ ධණුස්කොඩිය නම් ස්ථානයට ගොඩ බැස්සෝය.

එතනින් සටන් ආරම්භ කළ ලංකාපුර රමේෂ්වරම තෙක් ඉදිරියට ගොස් එතනින් සේනාව විවිධ මං ඔස්සේ පිටත්කර හැරියේය. මෙහිදී පාණ්ඩ්‍ය අශ්වාරෝහක හමුදාවේ කාර්ය භාරයද සුවිශේෂිවිය. ලංකාපුර සතුරන් පරදවමින් ඉදිරියටම ගියේය.

ජයග‍්‍රහණ ලබාගත් ඔහු කුංඩුගල්හි බලකඳවුරක් ඉදිකර එය සිය රජුගේ නමින් පරාක‍්‍රම පුරය ලෙස නම්කළේය. මෙය ඉතා සුවිශේෂී සිද්ධියක් විය. එනම් දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ ලංකාවේ රජුගේ නමින් පරාක‍්‍රම පුර ලෙස උදාගමක් ලංකාපුර ඇතිකළේය. ඉන් නොනැවතුණු ලංකාපුර පරාක‍්‍රමබාහු රජතුමා සිහිවීම පිණිස ශ‍්‍රී පරාක‍්‍රමබාහු ලෙස කාසිද නිකුත් කර ඇති බව ඉතිහාසය පිරික්සීමේදී පැහැදිලි වෙයි.

මීට අමතරව ගලින් නිමකළ බළකොටු සහ දියඅගල්ද මේ ප‍්‍රදේශයේ දක්නට ලැබේ. මේ සියලූ දේ ක‍්‍රමානුකූලව සැලසුම්කළ ලංකාපුර, සටන්වලදී අල්ලාගත් දමිළ සිරකරුවන් ලංකාවට එවීමටද වගබලාගෙන ඇත.

එම සිරකරුවන් රුවන්වැලිසෑය පිළිසකර කිරීමට යොදාගත් බව ඉතිහාසයේ සඳහන්ය. මෙය ඓතිහාසික අවස්ථාවක් බව සඳහන් කළයුතුමය.

මන්දයත් අනුරාධපුර රාජධානියේ අවසන් සමය වනවිට චෝල ආක‍්‍රමණ සිදුවී තිබූ අතර දාගැබ් විහාර මන්දිර විශාල ලෙස විනාශකර ඇත. පරාක‍්‍රමබාහු රජු චෝලයන් විසින් විනාශකළ ඒ විහාරමන්දිර පිළිසකර කිරීමට චෝලයන්ම භාවිතා කිරීම ඊට ප‍්‍රධානම හේතුව ලෙස පෙන්වාදිය හැකිය.

මේ ආකාරයට ලංකාවට අහිමිවූ ගෞරවය ලබාගනිද්දී ලංකාපුර සෙන්පතියා ඇතුළු පිරිස දකුණු ඉන්දියාවේ සිට සතුරු ප‍්‍රහාර මැඩපවත්වමින් යුද කටයුතු ඉදිරියට ගෙන ගියෝය.

එනම් වේගායි ගඟ හරහා එගොඩට ගොස් අසල් වැසි ගම්මාන ආක‍්‍රමණය කර ආපසු බළ කඳවුරට ඒමට ක‍්‍රියා කළේය.

මෙහිදී කුලසේකරත් ඔහුගේ හමුදාවත් ශක්තිමත් කර මුහුදිනුත්, ගොඩබිමිනුත් ගොස් ලංකාපුරගේ බල කඳවුර පිහිටි පරාක‍්‍රමපුරට පහරදීමට කටයුතු කළේය. ඒත් ඒ සියලූ ප‍්‍රයත්නයන් අසාර්ථකවිය. ඒ නිසා පරාජිත කුලසේකරගේ හමුදාව සැතපුම් ගණනක් එපිටට පළවා හැරීමට ලංකාපුරගේ සේනාව කටයුතු කළේය.

ඉන්පසු වෙරළබඩ ප‍්‍රදේශය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ ලංකාපුර වේගායි ගෙඟ් උතුරු ප‍්‍රදේශයේ කොටස් කීපයක්ම අල්ලාගත්තේය.

පාණ්ඩ්‍ය සෙබළු අකමැතිවූ අවස්ථාවේදී හැරුණුකොට අන් සියලූ සාධක වාසියට හරවාගෙන යුද ජයග‍්‍රහණ ලබාගැනීමට සෙන්පති ලංකාපුර කාර්යශූරවිය.
එනම් දකුණු ඉන්දියාවේ රාම්නාත් දිස්ත‍්‍රික්කයේ විශාල කොටසක් අල්ලාගත් ලංකා පුර පාණ්ඩ්‍ය දේශයේ මධුරාපුරය කරා ගමන් ගත්තේය. නෙප්ටුර් ප‍්‍රදේශයේ නැවතුන ලංකාපුර දමිළ ප‍්‍රධානීන් කීපදෙනෙකුට තෑගිබෝග, තානාන්තර ලබාදී සිය විශ්වාසයට ග‍්‍රහණය කර ගත්තේය.

ඒ මගින් මියගිය පරාක‍්‍රම රජුගේ එක් පුත් කුමරෙකු වූ වීරපංඩු ට‍්‍රැවන්කෝර් පෙදෙසෙහි සැඟවී දිවිගලවාගෙන ඇති බව දැනගත්තේය.ඉන්පසු එම කුමරුවනට බිය නොවී ලංකාපුර සෙන්පති හමුවීමට එන ලෙස රහස් පණිවිඩයක් යැවූ අතර ඔහුට පාණ්ඩ්‍ය දේශයේ අහිමිවූ කිරුළ ලබාදීම එකම අරමුණ බව පැවසීය.

එම පණිවිඩය ලද පසු වීරපංඬු කුමාරයා ලංකාපුර සිටි කඳවුරට පැමිණි අතර ඔහු ඉතාම අසරණ තත්ත්වයට පත්ව ඇති බව තේරුම් ගත්තේය. වහා ක‍්‍රියාත්මකවූ ලංකාපුර එම තත්ත්වය පිළිබඳව පරාක‍්‍රමබාහු රජතුමාට වාර්තා කළේය. රජතුමා කුමාරයාට වස්ත‍්‍රාභරණ, රන්රිදී, සහ වෙනත් බොහෝ දේ යැවූ බව ඉතිහාසයේ සඳහන් වේ.

ඒ වගේම ලංකාපුර ගෙන ගිය ආක‍්‍රමණකාරී ප‍්‍රතිපත්තිය නිසා පාණ්ඩ්‍යදේශයේ වැසියා ඔහු විනාශවීමට දේවාලවලට ගොස් පොල් ගැසූ බවද ඉතිහාසයේ සඳහන් වේ.

ලංකාපුරගේ යුද ක‍්‍රියාවලියේ පළමු අදියර ඉන් අවසන් වූ අතර දෙවැනි අදියර ක‍්‍රියාත්මක වූයේ නෙට්ටුර් සිට උතුරු දෙසින් පිහිටි අකියවල් නම් ස්ථානයෙනි.
උතුරු දෙසින් හා වයඹ දෙසින් පිහිටි මංගල දිස්ත‍්‍රික්ක දෙක යටත්කර ගත් ඔහු ඒවා තමාට සහාය දුන් ප‍්‍රදේශවල සිටි ප‍්‍රධානීන්ට පැවරුවේය. එසේම බලය අත්පත්කරගැනීමට පැමිණි සතුරන් පරාජය කළ ඔහු නැවතත් නෙට්ටුර්හි බලය තහවුරු කළේය. නැවතත් නෙට්ටුර්වලට සැතපුම් 10 ක් ඔබ්බෙහිවූ මාතා මධුරයි නම් ස්ථානයේදී සටනක් ආරම්භ කළේය. ඉන් සුවිශාල ජයග‍්‍රහණයක් අත්පත් කරගැනීමට ලංකාපුර සමත්විය.

පාණ්ඩ්‍ය දේශයේ අගනුවර වූ මධුරාපුරයට යන මාර්ගයද සකස්කර ගත්තේය. එහිදී කුලසේකර රජුගේ පිරිසේ සිටි බොහෝ දෙනෙක් ලංකාපුරගේ සේවය සැපයීමට පැමිණියෝය.

ඔවුන්ගේ සහයත් ලබාගත් ලංකාපුර මධුරාපුරය ජයගත්තේය. පසුව නෙට්ටුර් තෙවැනි යුද මුලස්ථානය බවට පත් කළේය. බටහිර දෙසට එළවා දමාසිටි කුලසේකර යළිත් ආක‍්‍රමණයකට සූදානම් විය. එය ආරංචිවූ ලංකාපුර යළිත් කුලසේකරගේ හමුදාව රැුස්වූ ස්ථානයට පහරදීමට කටයුතු කළේය. ඉන් ඔහුගේ හමුදාව සමුල ඝාතනය විය.

ඉන් ජයග‍්‍රහණය ලබාගත් ලංකාපුර තව තවත් ඉදිරියට ගියේය. ඉන් තව තවත් ජයග‍්‍රහණ අත්කර ගත්තේය. එනම් නැගෙනහිර දෙසින් රමිනත් වෙරළේ මෙණ්ඩි සහ පාශි යන ස්ථාන හා තවත් ගම්මාන කීපයක් අත්පත්කර ගත්තේය.

මෙහිදී දමිළ මිතුරන් රැුසක් දිනාගැනීමටත් ලංකාපුර සමත්විය.

එසේම පුදුකෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි ෂම්පොට් ධමාර් අල්ලාගැනීමටත් කටයුතු කළේය. එම සටනින්ද ලංකාපුරට ජයග‍්‍රහණය ලැබුණේය.
මේ ආකාරයට දරුණු සටන්වලට මුහුණ දෙමින් දිගින් දිගටම ජයග‍්‍රහණ ලබාගැනීමට ලංකාවේ ලංකාපුර සමත්විය.

මෙහිදී ලංකාපුර දේව, ලංකා ගිරිසෝර, හෝකණ්ඩ සහ ශෝක, විජය, කිත්ති යන සෙනවිවරුන් පරාක‍්‍රම බාහු රජතුමාගේ සේනාවේ සිටි ඉතාමත් දක්‍ෂ සෙනවිවරුන් බවත් ඔවුන් දකුණු ඉන්දියානු ආක‍්‍රමණයට යැවීම තුළින් පරාක‍්‍රමබාහු රජු උපරිම ශක්තිය එම ආක‍්‍රමණයට යොදවා ඇති බවත් පැහැදිලිවේ.
ඒවාගේම කුලසේකරගේ හමුදාව සහ මෙවලම් විනාශකර ජගත් ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට ලංකාපුරට හැකිවිය. ඔහු දිනාගත් දිස්ත‍්‍රික්කවල සිටි අරාබි සම්භවයක් ඇති නගර වල වැසියන් ඔහුට තෑගි බෝග ප‍්‍රදානය කළබවත් ඉතිහාසයේ සඳහන්ය.

මේ සියල්ල දෙස බැලීමේදී පළමුවැනි හා දෙවැති අදියර වලදී යුද ජයග‍්‍රහණ ලබාගත් ලංකාපුර ඇතුළු පිරිස දකුණු ඉන්දියාව පුරා පරාක‍්‍රමබාහු රජතුමාගේ කීර්තිනාමය පැතුරූ බව නොරහසක්ම වන්නේය.

මහාචාර්ය නන්ද ධර්මරත්න මහතාගේ අදහස්
සටහන කුමාරී හේරත්