ඔබේ මියගිය සුරතලාට පණ දී ජීවිත කාලේම ඔයා ළගින් තියාගන්නේ මෙහෙමයි

දරුවකුට මෙන් සලකමින් දැඩි ස්නේහයෙන් රැක බලාගත් සුරතලකුගේ වියෝව ඔහුගේ හිමිකරුවන්ට ගෙන දෙන වේදනාව හා කම්පනය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ජීවිතයේ වරක් හෝ සුරතලකුගේ හිමිකරුවකුව සිටියා නම් එබදු අහිමිවීමකින් ජීවිතයේ ඇතිවන හිඩැසේ තරම දන්නේ එවන් අත්දැකීමක් ලැබුවකුම පමණි.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි පදිංචිකරුවකු වන ‘මාර්කස් මයිකලෝවිට්ස්‘ යනු එවන් අයකුටවේදනාවෙන් ඇඳුම් දෙන සිතට, සහනයේ පවන් සලන විශ්වකර්මයකුම වනු ඇත. ඒ මියගියත් ඒ ආදරණීය සුරතලා හැමදාටම ළඟින් තබාගැනීමේ වරම ඔහු ලබාදෙන නිසාය. මියගිය සුරතලුන් ජීවත්ව සිටින ආකාරයෙන්ම සංරක්ෂණය කෙරෙන ‘අධිශීත වියළීමේ‘ ක්‍රමයේ හසළ නිපුණයකු වන මාර්කස්, වාර්තා වන ආකාරයට එලෙස එබඳු සංරක්ෂණයක නියැලෙන එකම පුද්ගලයා බවයි පැවසෙන්නේ.Image result for preservation of pets

1999 වසරේ සිට වෘත්තීය වශයෙන් සත්ත්ව මළසිරුරු සංරක්ෂණයේ නියැලෙන මාර්කස් සුරතලුන් සංරක්ෂණයට අතගැසුවේ 2010 වසරේදී ය. මාර්කස් පවසන ආකාරයට ඔහු දැනට ඕස්ට්‍රේලියාවේ ‘අධිශීත වියැලීමේ‘ සංරක්ෂණ ක්‍රියාවලියේ නිරත දැවැන්තමයා මෙන්ම එකම පුද්ගලයාය. සාමාන්‍යයෙන් වසරකදී සුරතලුන් අසුවක් පමණ අධිශීත වියැළීමෙන් සංරක්ෂණය කරන මාර්කස්ගේ සත්ත්ව මළසිරුරු සංරක්ෂණ ව්‍යාපාරයෙන් එය තුනෙන් එකක ප්‍රතිශතයකි.

ඔහු පවසන ආකාරයට ඔහු මෙම ක්‍රමය භාවිතයෙන් බහුලවම සංරක්ෂණය කරන්නේ මුවන් හා වල් ඌරන් වැනි දඩයම් සතුන් වුවත්, වැඩිම ආත්ම තෘප්තියක් ලබන්නේ සුරතලුන් සංරක්ෂණය කිරීමෙනි. එය හුදෙක් දඩයම් සතුන් සංරක්ෂණයට වඩා සංකීර්ණවූත්, මනා සංයමයකින් සීරුමාරුවට කළ යුත්තක් බව මාර්කස් පවසන්නේ පළපුරුද්දෙනි. ආධාරකයකට සවිකළ සත්ත්වයාගේ සම පමණක් දඩයම්කරුවකුට ප්‍රමාණවත් වුවත්, සුරතල් සතුන්ගේ හිමිකරුවන් එවැන්නකින් සෑහීමට පත්වන්නේ නැත. සුරතලුන් සංරක්ෂණය කිරීමේදී එම සත්ත්වයා ජීවත්ව සිටියදී දැක්වූ හැඟීම් ප්‍රකාශන හා ඉරියව් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන්නේ එනිසා ය.

දිග කලක් තමන් සමඟ එකට ජීවිතය බෙදාහදාගත් සුරතලා ජීවත්ව සිටියදී බහුලවම උහුගෙන් ප්‍රකාශවූ හැඟීම් හා ඉරියව් මරණයෙන් පසුව වුවද, එයාකාරයෙන්ම පළවනු දැකීමට හිමිකරුවන් දක්වන්නේ ඉමහත් උනන්දුවකි. මේ නිසා තමාගේ ක්‍රියාන්විතය මාර්කස් හඳුන්වන්නේ සුරතලාගේ ද්විමාන ඡායාරූපයක් වෙනුවට ත්‍රිමාණ ඡායාපිටපතක් නිර්මාණය කිරීමක් ලෙසය. එනම් එහි සාර්ථකත්වය රඳා පවතින්නේ සුරතලා ජීවමානව සංරක්ෂණය කිරීම මතයි.

බෙහෙවින්ම ආදරය කළ මිය ගිය සුරතලා, ආදාහනය හෝ භුමිදානය කිරීමේ වේදනාකාරී විකල්පය වෙනුවට අධිශීත වියැළීම මඟින් හැමදාටම තමන් ළඟින්ම තබා ගනිමින් සුරතල් කිරීමේ හැකියාව හිමිකරුට ලැබේ. එය මියගිය සතුන් පුළුන් පුරවා සංරක්ෂණය කිරීමේ සම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට යන්නකි. අධිශීත වියැළීම මඟින් සත්ත්වයාගේ ස්වරූපයට හා සැකැස්මට කිසිඳු හානියක් සිදුනොවන සේ සංරක්ෂණය කෙරෙන නිසයි.

සත්ත්වයාගේ සිරුරේ අභ්‍යන්තරයේ වන කිසිඳු කොටසක් මෙහිදී ඉවත් කෙරෙන්නේ නැත. සම්පුර්ණ සිරුරම එයාකාරයෙන්ම සංරක්ෂණය කෙරෙන්නේ සාමාන්‍යයෙන් මළසිරුරක සිදුවන වියෝජන ක්‍රියාවලිය මුලුමනින්ම අත්සිටුවමිනුයි. මේ නිසා අධිශීත වියැළීමට ලක්කළ සත්ත්වයකු මියගිය සත්ත්වයකු ලෙස නරඹන්නකුට හැඟෙන්නේ නැති වීම මෙහි විශේෂත්වයයි.

අධිශිත වියැළිමේදී සිදුවන්නේ වියළි අධිශීත කුටීරයක් තුළදී සත්ත්ව මළසිරුර ඉතා පහළ ඌෂ්ණත්වයකට හා රික්තක ක්‍රියාවලියකට ලක්කිරීමයි. ඒ සඳහා රික්තක කුටීරයක් තුළ මළසිරුර තැන්පත් කොට ඌෂ්ණත්වය -50 °C දක්වා අඩු කෙරේ. සත්ත්වයා රික්ත කුටිරය තුළට බහාලන්නේ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාරව තීරණයවූ කිසියම් ඉරියව්වකින් උහුව ආධාරකයක් ඇසුරෙන් සකස් කිරීමෙන් පසුවය.

සිරුරෙන් වාෂ්පීකරණය වන තෙතමනය, වායුවක් බවට හරවා රික්තක කුටීරයෙන් ඉවත් කෙරෙන අතර සත්ත්වයා යළිත් කාමර ඌෂ්ණත්වයට පත්වීමට ඉඩ හැරේ. මාර්කස් පවසන ආකාරයට සාමාන්‍යයෙන් බළලෙකු හෝ කුඩා ප්‍රමාණයේ සුනඛයකු මෙලෙස සංරක්ෂණය කිරීමට සති 8 – 12 දක්වා කාලයක් ගතවිය හැක. එම කාලය සේම වැයවන මුදලද තීරණය වන්නේ සත්ත්වයාගේ ප්‍රමාණය හා උහුව පිහිටුවනු ලබන ඉරියව්ව අනුවය. ඇතැම් විට ප්‍රමාණයෙන් විශාල සුනඛයකු අධිශීත වියැළීමට ලක් කිරීමට මාස පහක් වුවද ගත විය හැක.

මාර්කස්ට අනුව අධිශීත වියැළීම අපහසුම සත්ත්ව ඛාණ්ඩය වන්නේ රැළි හා නැවුම් දාර සහිත බුල්ඩෝග් වර්ගයේ සුනඛයන්ය. කිලෝග්‍රෑම් හතරක් බරැති සුරතලෙකු සඳහා ඇ. ඩොලර් එක්දහස්දෙසියයකි‍. එතැන් සිට වැඩිවන සෑම කිලෝග්‍රෑමයක් සඳහාම ඇ.ඩොලර් එකසිය පනහ බැගින් අය කෙරේ. කිලෝග්‍රෑම් දහය ඉක්මවු පසු එම අගය ඇ.ඩොලර් හැත්තෑපහ දක්වා අඩුවන වන අතර, අත්තිකාරමක් ලබා ගැනීම ඔහුගේ සිරිතයි. ඒ ඇතැම් සුරතලුන්ගේ හිමිකරුවන් නව සුරතලකු හදාවඩා ගැනීමට ගත් පසු අහිමිවු සුරතලා වෙනුවෙන් එතරම් විශාල මුදලක් වැය කිරීමට පැකිලීම නිසයි. මේ වන විට ඔහු සුරතලකු වෙනුවෙන් අය කර ඇති ඉහළම මුදල වන්නේ ඇ.ඩොලර් හාරදහස් පන්සියයකි.Related image

තම සුරතලා ජීවත්ව සිටියදී ප්‍රියකළ ඉරියව්වෙන් මළසිරුර සංරක්ෂණය කිරීමට හිමිකරුවන් ස්වභාවයෙන්ම ප්‍රිය කරන්නෝය. නමුත් මාර්කස්ගේ උපදෙස් වන්නේ වඩාත්ම සුදුසු වන්නේ වැතිරී සිටින ඉරියව්ව බවයි. ඒ ඉන් මියගිය සත්ත්වයාට වඩාත් ස්වභාවික පෙනුමක් ලැබෙන නිසාම පමණක් නොව ගතවන කාලයත් මුදලත් අවම විම නිසයි.Image result for preservation of pets

එලෙස සුරතලෙකු අධිශීත වියැළීමට ලක්කිරීමට බලාපොරොත්තු වන්නේ නම් සත්ත්වයා මියගිය වහාම ඔහුව වකුටුවූ ඉරියව්වකින් මුද්‍රිත ජල බෑගයක බහා අධිශිතකරණයේ තැබීම අත්‍යවශ්‍ය ය. අධිශීත වියැළීමට ලක්කළ සුරතලකු රැකබලා ගැනීමද අපහසු නැත. බෙහෙවින් සැහැල්ලු වන මොවුන්ව මසකට වතාවක් මඳ තෙතැති රෙදි කැබැල්ලකින් පිස දැමීම ප්‍රමාණවත්ය.

නමුත් දැඩි උණුසුමින් ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව මාර්කස් අවධාරණය කරයි. ඒ කවරක් වුවත්, මියගිය සුරතලා හැමදාටම ජීවමාන ස්වරූපයෙන් තමා ළගින්ම තබා ගැනිමට ලැබිමේ තෘප්තිය අන් කිසිවකට සමකළ නොහැකි බව දන්නේ සුරතලුන්ට බෙහෙවින්ම ආදරය කරන්නන් පමණි.

රුක්ලන්ති පෙරේරා