ටොලමිගේ සිතියමේ ලංකාව ලොකුවුනේ කොහොමද …

අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය කීවේත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස විරුදාවලිය ලැබුවේත් මේ සිරිලක් දිවයිනයි. එහි පතල කීර්තිය කොතෙක් ද යත් බයිබලයේ සඳහන් සමෘද්ධිමත් ම නගරය ටාර්ෂිස් නමැති පුරවරය අතීත සිරිලක මහ තොටමුණක් හා ප‍්‍රධානත ම වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ  වත්මන් ගාල්ල පුරවරය යැයි බොහෝ විද්වතුන්ගේ විශ්වාසයක් ව පවතී.

අතීතයේ පෙරxඅපරදිග රටවල නායක කාරකාදීන් මෙන්ම වෙළෙන්දෝ ද දේශ ගවේෂකයෝ ද මේ දිවයින දුටුවේ මිහිබට සුර පුරයක් ලෙසිනි. අතීත ලෝක සිතියම් සකස් කිරීමේදී ශී‍්‍ර ලංකාවට වැදගත් ස්ථානයක් හිමිවන්නේ ද එබැවිනි.

ලෝකයේ මුල්ම සිතියම කි‍්‍රස්තු පූර්ව 2800 දී මැටි පුවරුවක සටහන් කැර තිබියදී කැණීමකින් සොයාගෙන තිබේ. ඉන් අනතුරුව වරින් වර නිර්මාණය වූ ලෝක සිතියම් රාශියක් හමුවී ඇත. වත්මන් සිතියම් හා සැසඳීමේ දී එදා ඇඳි ලෝක සිතියම් ද බොහෝ දුරට නිවැරදි සාධක හා තොරතුරු මත පදනම්ව සකස් කැර ඇති බව පෙනී යන කරුණකි.

එදා සිතියම් ඇඳීමේ දී අද මෙන් ගුවන් යානා, චන්ද්‍රිකා වැනි දියුණු තාක්ෂණික ක‍්‍රමෝපායයන් තිබුණේ නැත. දේශ ගවේෂකයන්ගෙන් ලැබෙන්නා වූ තොරතුරු පදනම් කරගනිමින් දීර්ඝ වෙහෙසකර කාර්යයක ප‍්‍රතිඵලයක් ලෙස ලෝක සිතියම් සැකසුණි. ඒවායේ නිරවද්‍යතාවෙන් පෙනී යන්නේ ඔවුන් සිය කාර්යය කොතරම් හොඳින් ඉටුකැර ඇත්ද යන්නයි.

අතීතයේ මෙරටට පැමිණි විවිධ ජාතීහූ අප රටට විවිධ නම් කියූහ. සිංහළය, සිංහලද්වීපය, ලක්දිව්, සෙරන්ඩිබ්, තැප්‍රොබේන් යන නම් භාවිතා කළ බවට සාධක තිබේ. මේ අතරින් මේරට මුල් වරට ලෝක සිතියමක දැක්වෙන්නේ තැප්‍රොබේනය යන නමිනි. මේ සිතියම සකස් කැර ඇත්තේ ගී‍්‍රක ජාතික ක්ලෝසියස් ටොලමි විසිනි. ගී‍්‍රකයෝ එකල සිතියම් සකස් කිරීමෙන් ලොව අග‍්‍රගන්‍ය ස්ථානයක සිටියහ.

ඒ සඳහා තාරකා ශාස්ත‍්‍රය හා ගණිතය පිළිබඳව ඔවුන් සතුවූ පුළුල් දැනුමත් හැකියාවත් උපයෝගී කරගන්නට ඇත. ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ විසූ ටොලමි, තැප්‍රොබේන් හෙවත් වත්මන් ශී‍්‍ර ලංකාව ඇතුළත් ලෝක සිතියම නිර්මාණය කැර ඇත්තේ කි‍්‍රස්තු පූර්ව 90 ත් 168 ත් අතර කාලයේදීය. ටොලමි වත්මන් ශී‍්‍ර ලංකාවට හෙවත් එදා තැප්‍රොබේනයට කිසිදා පැමිණ නැත. මෙහි යන එන වෙළෙඳුන් හා රාජ්‍ය දුතයන් ටොලමිට පැවසූ තොරතුරු අනුසාරයෙන් ඔහු පෙරදිග මහා වෙළෙඳ මධ්‍යස්ථානය සිතියමට නගා තිබේ.

ටොලමිගේ සිතියම පිළිබඳ පැසසුම් මෙන්ම විවේචනද ඇත. ඔහු තම සිතියමේ අක්ෂාංශ හා දේශාංශ කිසියම් පරිමාණයකට අනුව ලකුණු කැර ඇත. නිවර්තන රේඛා තීරණය කැර ඇත්තේ අක්ෂාංශ 23ත් 50ත් ලෙසිනි.  ටොලමිට ඇති ප‍්‍රධාන චෝදනාව වන්නේ ඔහු පෘථිවියේ ප‍්‍රමාණය අවප‍්‍රමාණ කැර ඇති බවයි. තව ද ඔහු ඇතැම් රටවල් වෙනස් වූ පුදුමාකාර හැඩ වලින් ද දක්වා තිබේ. ඇතැම් රටවල් විශාලව ද දක්වා තිබීම ටොලමිගේ සිතියමේ ඇති විශේෂත්වයකි. Image result for ටොලමි

වත්මන් ශී‍්‍ර ලංකාව හෙවත් තැප්‍රොබේනය ද ටොලමි දක්වා ඇත්තේ විශාලත්වයෙන් බව පැහැදිලි සහ අප කවුරුත් දන්නා කරුණකි. ඇතැම් විද්වතුන් අදහස් කරන්නේ ටොලමි එකල තැප්‍රොබේනය නිසි විශාලත්වයකින් යුතුව සලකුණු කැර ඇතත් වර්තමානයේ මුහුදු ඛාදනය හේතුවෙන් දැනට ඇති ශී‍්‍ර ලංකාව නිර්මාණය වී ඇති බවයි. නමුත් බොහෝ විද්වතුන් පවසන්නේ ශී‍්‍ර ලංකාව අතීතයේ අත්කැරගෙන තිබූ ජාත්‍යන්තර කීර්තිය හා සමෘද්ධිමත් බව හේතුවෙන් ටොලමිට අසන්නට ලැබූ තොරතුරු අනුව තැප්‍රොබේනය විශාල දුපතක් ලෙස ඔහු දකින්නට ඇති බවයි.

ටොලමි මේ සිතියම අඳින ලද්දේ කි‍්‍රස්තු වර්ෂ 139 හෝ ඒ ආසන්න කාලයේදීය. මහා වංශයට අනුව එවකට මෙරට රාජ්‍යත්වය දරා ඇත්තේ මහළුනා රජු හෝ දෙවැනි භාතිය තිස්ස රජුය. මේ කාලයේ මෙරට රජු රෝමය, ඊජිප්තුව, ඉතියෝපියාව, ගී‍්‍රසිය හා අරාබි රටවල් සමග වෙළෙඳ ගිවිසුම් ඇතිකැර ගත් බවට තොරතුරු ඇත. ඒ හේතුවෙන්ම තැප්‍රොබේනය හෙවත් සිංහලද්වීපය ලොව පුරා ප‍්‍රචලිත රටක්ව පවතින්නට ඇති බවට කිසිදු සැකයක් නැත.

ටොලමිගේ සිතියමේ විශේෂත්වය වන්නේ තැප්‍රොබේනය ප‍්‍රමාණයට වඩා විශාලව දක්වා ඇතත් ඔහු මෙරට බොහෝ ස්ථාන නිවැරදිව ලකුණු කැර ඇති බවයි. බටහිර භාරතයෙන් මෙහි සංක‍්‍රමණය වූ ආර්යයන්ගෙන් පැවත එන මුල් කාලීන සිංහලයන් මෙරට බටහිර පෙදෙස්හි ජීවත් වූ බවත් ඔවුන් එකළ සංස්කෘත භාෂාවට සමාන වූ භාෂාවක් භාවිත කළ බවත් රටේ නම වශයෙන් යෙදුණු තැප්‍රොබේනය යන්නෙන් ද ඒ බව සනාථ වන බවත් විද්වතුන්ගේ මතයයි.

තප්‍රොබේන් යන්න තම්බපණ්ණි යන මාගධික පදයක් නොව තාම‍්‍රපර්ණි යන සංස්කෘත පදයෙන් සෑදුනක් බව පැහැදිලිය.

තව ද ටොලමිගේ සිතියමේ වඩාත් නිවැරදි ස්ථානයක් වන්නේ එකල රටේ රාජධානිය වූ අනුරාධපුරය නිවැරදිව දක්වා තිබීමයි. ඔහු එය සටහන් කැර ඇත්තේ අනුරෝග‍්‍රාමන් යනුවෙනි. අනුරාධග‍්‍රාමය යන්න ගී‍්‍රකයන්ට ඇසුණු ආකාරය විය යුතුය. එකල සංස්කෘත බස වෙනුවට හෙළ බසක් භාවිතයට ගත්තේ නම් රුහුණු දනව්වක් ලංකාවේ තිබිය යුතුය. නමුත් ටොලමි දක්වා ඇත්තේ රෝහණ දනව්ව යන්නයි. මෙයින් ද පෙනෙන්නේ ටොලමි ලංකාවේ සිතියම අඳින යුගයේ මෙරට ග‍්‍රාම නාම ව්‍යවහාරයන් සංස්කෘත ඌරුවකින් යුක්ත වූ බවයි.

ටොලමි, නාගදීපය ද පැහැදිලිව සටහන් කැර ඇත. ටොලමි ලෝක සිතියම අඳින කාලයේ රටක් හැඳින්වීමට රෝමක, ජාවක, පාරසික ආදී වශයෙන් අගට ‘ක’ යෙදීම සිරිතක්ව පැවතිණි. මේ අනුව යමින් තැප්‍රොබේන් යනුවෙන් සිරිලක හැඳින්වූ ටොලමි මෙරට ‘සලිකේ’ යනුවෙන් හැඳින්වූ බව ද සටහන් කැර තිබේ.

දඹදිව ගංගා නිම්නයේ සිට පැමිණි සංක‍්‍රමණිකයෝ මෙරට විශාලත ම ගංගා ව වූ මහවැලි නදිය වටා පදිංචිව සිටියහ. ඔවුන් මහවැලිය හඳුන්වන ලද්දේ ගං`ගා යන නමිනි. පසු කළෙක සිංහලයෝ රටේ ඇති සියලූ නදී ගංගා යැයි නම් කරන ලදී. ටොලමිගේ සිතියමේ මහවැලි නදිය හඳුන්වා ඇත්තේ ගැන්ජීස් යන නමිනි. ඒ මෙරටට පැමිණි පිරිස් ටොලමි හමුවන විට ගං`ගා යන්න වැහැරූ ආකාරය විය යුතුය.

අතීතයේ මෙරට වූ මහානාගකුල නම් පෙදෙසක් රෝහණ පුරවරයේ වැදගත් ස්ථානයක් විය. එය අද රම්බා විහාර ප‍්‍රදේශය ලෙස විශ්වාස කැරේ. ටොලමි සිය සිතියමේ මේ ස්ථානය නම් කැර ඇත්තේ නාගථූප යනුවෙනි. දෙවුන්දර නගරය ද ටොලමිගේ කාලයේ පවා පූජනීය පෙදෙසක් වූ බව සිතීමට පුළුවන. එය ඔහු දගන යනුවෙන් හඳුන්වා ඇත. එමෙන්ම එය සඳ දෙවියන්ගේ පුද බිමක් බව ද ටොලමි සඳහන් කරයි. දෙවුන්දර, චන්ද්‍රයාගේ බලය සහිත ස්ථානයක් යැයි යන්න අදට ද විශ්වාසයක් පවතී.

ටොලමිගේ සිතියමේ දැක්වෙන තවත් සුවිශේෂී ස්ථානයක් වන්නේ රට මධ්‍යයේ පිහිටි කඳුකරයයි. එය ද එකල ඇඳි සිතුවම් අනුව ඉතාමත්ම නිවැරදි සඳහන් කිරීමකි. එහි තවත් සුවිශේෂී කරුණක් තිබේ. කඳුකරය ඔහු හඳුන්වා දී ඇත්තේ ‘මලය කඳු’ යනුවෙනි.

අතීතයේ මධ්‍යම කඳුකරය හැඳින්වීමට යෙදුවේ මලය රට යන්නයි. ටොලමි වඩාත් නිවැරදි බවට එය ද සාක්කියකි. කෙසේ වෙතත් අද අප භාවිතා කරන නගරය යන වචනය ටොලමි භාවිතා කැර ඇත්තේ රෝහණ දනව්වේ අග නගරය වූ මාගම රාජධානිය හැඳින්වීමට බව ඔහුගේ සිතියම පිරික්සීමේ දී පෙනී යයි.

එදා මාගමට නගරය යන්න භාවිතා කළ හේතුවක් හෝ දැන් සියලූ පුරවරයන්ට නගරය යන වදන ව්‍යවහාරයට පැමිණි ආකාරයක් ගැන හෝ සාධක නැත.

ටොලමිගේ සිතියමේ මර්ගන නම් වෙළෙඳ නගරයක් ගැන සඳහන් වේ. කණිට්ඨතිස්ස රජු පිහිටුවන ලද ඔච්චාප්පුකල්ලූ සෙල්ලිපියේ මගන නම් නගරයක් සඳහන් වේ. විද්වතුන්ගේ මතය වන්නේ මේ දෙකම එකක් බවයි. වසභ හා කණිට්ඨතිස්ස රජවරුන්ගේ කාලයට අයත් විල්පත්තු ආරාම නටඹුන්වල ඇති සෙල්ලිපි සාධක අතර ද මගණ නම් පුරවරයක් ගැන සඳහන්ය. මෙය ටොලමි විසින් සඳහන් කැර ඇති මර්ගන යන වරාය ආශි‍්‍රත පුරවරය විය යුතුය.

මේ සියල්ල සලකා බැලූ විට ටොලමි කිසි දිනක තැප්‍රොබේනයට පය තබා නැතත් මෙහි පැමිණෙන සංචාරකයන්ගෙන් දැනගත් තොරතුරු අනුව ඔහු ඇඳ ඇති ලක් සිතියමේ එකල භාවිත බොහෝ ස්ථාන ආසන්න වශයෙන් නිවැරදිව දක්වා ඇති බව පැහැදිලි කරුණකි. ඔහු මෙරට වඩාත් විශාල ලෙස සිතන්නට ඇත්තේ මෙහි ඇති ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී ගිය සම්පත් සමුදාය හා සංචාරකයන් කරන වර්ණනාවන් අසා විය යුතුය.

අතීතයේ ලොව කීර්තිමත් රාජධානියක් වූ සිංහලද්වීපය හෙවත් තැප්‍රොබේනය ලෝකවාසීන්ට පමණට වඩා විශාලව පෙනෙන්නට ඇත්නම් එය අරුමයක් ද නොවේ.