මඩකලපුවේ උසම කන්ද “තොප්පිගල” නගින්නට ගිය ගමනක්‌…

හැමදාම ඇහෙන කදු සෙට් එකෙන් මිදිලා , එක්තරා කාලයකදී ලංකාවම හොල්ලපු කන්දකට ගියපු ගමනේ අත්දැකීම් ඔබත් සමග මෙසේ බෙදා ගනිමි

සුද්දන්ට Baron’s Cap “තොප්පිගල” බොහෝ දෙනෙක්‌ දන්න හඳුනන, ජනප්‍රිය නමක්‌. ඒ, ඇතැම් දේශපාලනඥයන් තොප්පිගල ගැන කී කතා නිසාම මෙන්ම, හතරවැනි ඊළාම් යුද්ධයේදී රජයේ හමුදා මුදාගත් නැගෙනහිර එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌ත බලකොටුව මේ වූ නිසාත්ය. තොප්පිගල ලෙස හඳුන්වන්නේ වනයක්‌ මැද පිහිටි අලංකාර හුදකලා කන්දක්‌. නොහොත් පර්වතයක්‌.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් මීටර් 534 ක්‌ උස මෙම පර්වතය, පොලොන්නරුව – මඩකලපුව මාර්ගයට දකුණින් මෙන්ම චෙංකලඩි – මහඔය මාර්ගයට වයඹ දෙසින් පිහිටා තිබෙනවා. මහඔය – අරලගංවිල මාර්ගයට උතුරු දෙසින් පිහිටන තොප්පිගල සැබැවින්ම, ප්‍රධාන මහා මාර්ගයකට බොහෝ දුරකින් වනබද පෙදෙසකයි පිහිටා තියෙන්නේ.Image result for තොප්පිගල

ඒත්, ඇත්ත නම් ප්‍රධාන මාර්ගයකින් දුරස්‌ වුවත්, තොප්පිගල පිහිටා තියෙන්නෙ මහා වනයක නම් නොවේ. තොප්පිගල ආසන්නය දක්‌වා කිරාන් ප්‍රදේශයේ ඉඳන් ගුරු පාරක්‌ වැටී තිබෙනවා.

ඒ වගේම තොප්පිගල ආසන්නයේම වැවකුත් පිහිටල තියෙනවා. මේ වැවට කියන්නෙ ආර්තිකාඩු වැව කියල. අනික්‌ පසින් තොප්පිගලට ඉතාමත් ආසන්නයෙන් ගුරු පාරක්‌ දිවෙන අතර තොප්පිගල පාමුලට කිට්‌ටුව පාසලකුත් පිහිටා තිබෙනවා. ඒ වගේම නිවාස, සුවිසල් කුඹුරු යාය පිහිටි මෙම ප්‍රදේශය තරමක්‌ ජනයා ගැවසෙන ගම්මාන පිහිටි ප්‍රදේශයක්‌.

san4 1තොප්පිගල කන්ද පොලොන්නරුව – මඩකලපුව මාර්ගයේ වැලිකන්ද පැත්තට අතරින් පතර තරමක්‌ දුරට පෙනෙනවා. ඒ වගේම මඩකලපුව පසුකර, පාසිකුඩා පැත්තට එනකොටත් ඇතැම් තැනකට මේ සුවිශේෂ ගල්කන්ද දිස්‌වෙනවා.

කොහොම වුණත්, එල් ටී ටී ඊ ත්‍රස්‌තවාදයට නතුව තිබූ උතුරු – නැගෙනහිර පළාත්වල ප්‍රකට ත්‍රස්‌ත බලකොටුවක්‌ වූ තොප්පිගල, ඔවුන්ගේ මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ හැටියටයි ප්‍රකටව තිබුණේ. මේ නිසා ත්‍රස්‌තවාදය රජයන කාලයේදී තොප්පිගල ගැන සිවිල් පුරවැසියන් වන අපට කතා කරන්න දෙයක්‌ තිබුණේම නැහැ. තොප්පිගල අවට සිරි නැරඹීම, තොප්පිගල තරණය එකල හීනයක්‌ පමණයි.

නමුත්, හතරවැනි ඊළාම් යුද්ධය ප්‍රකාශයට පත්කරගත් එල් ටී ටී ඊ සංවිධානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹූ, ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව පළමුවෙන්ම සිදු කළේ, නැගෙනහිර ත්‍රස්‌ත බලය පරාජයට පත්කිරීමයි. එම පරාජය නොහොත්, ශ්‍රී ලංකා හමුදාවේ ජයග්‍රහණය සංකේතවත් කරන ලද්දේ තොප්පිගල ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගැනීමෙන්. යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන්ගේ මෙහෙයුමකින් මෙසේ තොප්පිගල මුදාගැනීම තොප්පිගල විජයග්‍රහණය ලෙස එදා හැඳින්වුණා.

තොප්පිගල ප්‍රකට (හුදකලා) කන්දක්‌ වූයේ අද ඊයේක සිට නොවේ. අතීතයේදී තොප්පිගල ලෙස සිsංහලෙනුත් ‘කුඩුම්බිමලේ’ ලෙස දෙමළෙනුත් හඳුන්වා ඇති මෙම කන්ද, බ්‍රිතාන්‍ය පාලන සමයේදී සුදු ජාතිකයන් හඳුන්වා ඇත්තේ “බැරන්ස්‌ කැප්” නමින්. “බැරන්” යනු ඉංග්‍රීසි බසින් නම්බු නාමයක්‌. මෙම ප්‍රදේශය භාරව සිටි සුදු ජාතික වංශාධිපතියකු පැළ» තොප්පියේ හැඩය කන්දෙන් ඈතට දිස්‌වූ නිසා සුද්දන් ඒ නමින් මෙම පර්වතය හැඳින්වූ බව කියනු ලබනවා. එකල ශ්‍රී ලංකාවේ ගතකළ, පසුව ග්‍රන්ථ රචනයේ යෙදුණු ප්‍රකට සුදු ජාතික දඩයක්‌කරුවන්ගේ පොත්වල ද “බැරන්ස්‌ කැප්” යන නම සඳහන් වෙනවා.

san4 3යුද්ධයත් සමඟ ප්‍රකට වූ “තොප්පිගල” ට ඉන්පසු යුද්ධයෙන් පසු ප්‍රදේශයේ සිවිල් පරිපාලනය ස්‌ථාපිත වූ වහාම ලැබුණේ සංචාරක වටිනාකමක්‌. ඒ, තොප්පිගල තරණය කරන්නට පැමිණෙන සංචාරකයන් වැඩිවන්නට පටන් ගැනීමත් සමඟ. ඒ, අනුව ඔවුන්ට පහසුකම් සලසනු වස්‌ “හෙරිටේඡ් පාර්ක්‌” නමින් යුද හමුදාව මගින් සංචාරක නිකේතනයක්‌ පවා ආරම්භ කළා. එහි නැවතී දිනක්‌ දෙකක්‌ හිඳ තොප්පිගල නගින අය ද ඉන්නවා.

තොප්පිගල ප්‍රදේශය වනබද ප්‍රදේශයක්‌ වුවද, වියළි සදාහරිත වනාන්තර පිහිටා ඇති බැවින් වැඩි වන ගනත්වයක්‌ එහි නැහැ. තැන තැන ලඳු කැළෑ, කටු පඳුරු වනාන්තර ද වෙල්යායවල්, වගුරු, වැව් තණපිටි යනාදිය ද සහිත මෙම ප්‍රදේශයම වසරේ වැඩි කලක්‌ පවතින්නේ වියළි කාලගුණයට නතුව. එබැවින් තොප්පිගල ජීවිතය කටුකය. ජලය හිඟ මෙම ප්‍රදේශයේ සතා සරුපයා ද බහුලයි. අලින්ගේ තෝතැන්නක්‌ වන මෙහි ඉඳහිට කොටියා, වළහා ද වාර්තා වන බව ගම්මු කියනවා.

san4 6තොප්පිගල කඳු මුදුන කොමාන්ඩෝ සෙබළුන් විසින් ජයගෙන තරණය කිරීමෙන් පසු, මේ කන්ද තරණය කරන්නට බොහෝ තරුණ පිරිස්‌ ඉදිරිපත් වූවා සේම, “සංචාරේ අපි” ගවේෂක කණ්‌ඩායම ද තොප්පිගල නගින්නට තීරණය කර තිබුණේ කලකට පෙර. එනමුත්, අපට ඒ අවස්‌ථාව උදාවූයේ තරමක්‌ කාලය ගතවීමෙන් අනතුරුවයි. ඒ, අපේම ප්‍රමාදය නිසා මිස වෙන හේතුවක්‌ මත නොවේ. “සංචාරේ” ගවේෂණය ආරම්භ කිරීමත් සමඟම අපි තොප්පිගල තරණය කළ අතර මීට ටික කලකට පෙර තොප්පිගල බලා ගමන් ආරම්භ කළා.

අගනුවරින් ගමන් ආරම්භ කළ අපි, දඹුල්ල – හබරණ, පොලොන්නරුව ඔස්‌සේ නාවල්අඩි හන්දියට පැමිණ, එතනින් වාලච්ෙච්න ඔස්‌සේ “කිරාන්” නගරයට පැමිණියේ කිරාන් සිට තොප්පිගලට යන කෙටිම මාර්ගය වැටී ඇති නිසා. අපේ හිතමිත්‍ර යුද හමුදා මිත්‍රයකු වන මේජර් චරිත් දෙමටම්පිටිය මේ ගමනට අපට මාර්ගෝපදේශනය ලබාදීම පහසුවක්‌ වුණා. ඔහු ක්‍රියාන්විත සමයේදී තොප්පිගල ප්‍රදේශයේ රාජකාරි කළ අයෙක්‌.Related image

‘සංචාරයේ අපි’ සමඟ එකතු වූ මේජර් චරිත් දෙමටම්පිටිය සමඟ කිරාන් නගරයෙන් ගමන් කළ අපි, තොප්පිගල දක්‌වා වූ කිලෝමීටර් 20 ක දුර ගමන් කළේ ජීප් රථයකින්a. හෝරා එක හමාරකදී පමණ අප, කිරාන් සිට පුලිපන්චිකල්, තරවිකුලම් පසුකර, යුද හමුදාවේ හෙරිටේප් පාර්ක්‌ අවන්හල අසලින් තොප්පිගලට පැමිණෙන විට උදෑසන නවය පමණ වී තිබුණා. එතැන් පටන් තොප්පිගල කඳු මුදුනට ඇත්තේ කිලෝමීටරයකටත් වඩා අඩු දුරක්‌.

මුල්ම කොටසේ හමුදාව මගින් තැනූ පියගැටපෙළක්‌ ද තිබුණත් අනතුරුව ගල්වැටි, ගල් පර්වත අතරින් යන අඩි පාර නිමාවන්නේ මහගිරිදඹටත් වඩා අපහසු දැවැන්ත පර්වත කොටසකින්. ඒ නම්, තොප්පියක්‌ වැනි කොටසේ හිස කොටසයි. මෙම කොටස තරණය තරමක්‌ අපහසුයි. “තරමක්‌” යෑයි කියන්නේ, මුලදී මෙය තරණය කිරීම ඉතාම අපහසු තත්ත්වයක තිබී ඇත. ඒ එහි ඇති ගිරි දුර්ගය නිසාය. නමුත් ඊට පසු යුද හමුදාව මගින් තරණය පහසු කරනු සඳහා එහි යකඩ ඉණිමං හා යකට ආධාරක පිහිටුවා තිබීම නිසාම වන්නට තරණය පහසු වී තිබෙනවා.

san4 5තොප්පිගල මුදුනේ දාගැබක්‌ වැනි පැරණි ඉදිකිරීමක්‌ දකින්නට පුළුවන්. හමුදා සෙබළුන් විසින් සිංහ ධජය හා කොමාන්ඩෝ ධජය ප්‍රදර්ශනය කරනු ලැබුවේ ඒ මතයි. කුඩා බුදු මැ`දුරකුත් මෙහි තිබෙනවා. තොප්පිගල මුදුනේ සෑහෙන පමණ ඉඩක්‌ ඇති අතර ගල් කුළුනු අතරින් ඔබ මොබ යන අපට නැගෙනහිර දෙසින් වනාන්තර දිස්‌වෙනවා.

තොප්පිගල වටා බොහෝදුරට ඇත්තේ තෘණ පිට්‌ටනි හා කුඹුරු යායවල්. මේ ප්‍රදේශය පුරාම එළහරක්‌ හා මීහරක්‌ ද දකින්නට පුළුවන්. නියඟයෙන් කෘෂ වී ගිය ගවයන්ට අමතරව, කාෂ්ඨකයේ දැවී ගිය හාත්පස වර්ෂාව අපේක්‍ෂාවෙන් බලා සිටිනු පෙනෙනවා. ආර්තිකාඩුq වැවේද හරි හමන් වතුර ප්‍රමාණයක්‌ නැහැ. කුඹුරු යාය මෙන්ම, තොප්පිගල දක්‌වා වැටී ඇති ගුරු පාර හැරුණු කොට පාසලක්‌ වැනි ගොඩනැඟිලි කිහිපයක්‌ ද තොප්පිගල මුදුනට අපූරුවට පෙනෙනවා. ඒ හැරුණු විට, මේ මෂ්තකයේ සිට අම්පාර, මඩකලපුව, වැලිකන්ද, පොලොන්නරුව, මහඔය, අරලගංවිල, දිඹුලාගල පර්වතය යනාදිය ඉතා හොඳින් දැකගත හැකියි.

කලක්‌ බලාපොරොත්තුව සිටි, තොප්පිගල තරණය හෝරා දෙකකදී පමණ නිමා කළ අපි, තොප්පිගල බැස යළිත් කිරාන් වෙත පැමිණියේ සවස්‌ යාමයේදී. ඒ යන එන අතරමග, අපට බොහෝ විට මුණගැසුනේ පාපැදිවලින් අවට වනාන්තරවලට ගොස්‌ දර කපාගෙනවිත් ජීවිකාව ගෙන යන මිනිසුන්. තමන්ට දැරිය නොහැකි තරමේ දර ගොඩවල් සකස්‌ කර පාපැදිවලින් ගෙන එන අයුරු අප පුදුමයට පත්කළා.

එය අපූරු දසුනක්‌ වුවත් මේ දිළිඳු දමිළ ගම්වැසියන්ගේ ජීවිතවල අමිහිරි කතාවක්‌ අපට කියනවා. එමෙන්ම, තොප්පිගල අවට ප්‍රදේශය මඩකලපු එළ ගවයන්ගෙන් බහුලයි. එවන් හරක්‌ පට්‌ටියක හරක්‌ දෙතුන් සියයක්‌ වුවද දැකගත හැකියි. අපි යන අතරමග ද මෙවන් ගව පට්‌ටි කිහිපයක්‌ම අපට හමුවුණා. මාර්ගය වසාගෙන ගමන් කරන මෙම ගව පට්‌ටි පසුකර අපගේ රථය පෙර මඟට යන්නට විටෙක අපට අඩහෝරාවක්‌ තරම් බලා හිඳින්නටත් සිදුවුණා. මෙවන් සුන්දර අත්දැකීම් හා පටු, දුෂ්කර, වළ ගොඩැලි සහිත මාර්ගයක්‌ ඔස්‌සේ සිදු කළ තොප්පිගල තරණය අපට නම් අමුතු අත්දැකීමක්‌ ගෙන දුන්නා.

ස්‌තුතිය – මේජර් චරිත් දෙමටම්පිටිය මහතාට

ඡායාරූප – හර්ෂණ ජයතිලකරැ රවී ද සිල්වා

ජගත් කණහැරආරච්චි