මෙම විශ්මයජනක අද්විතීය වස්‌තුව බල ගැන්වුමට තවත් ගියර රෝද 20 ක්‌ පමණ තිබිය යුතු බව

1901 වර්ෂයේ දිනෙක මධ්‍යධරණී මුහුදේ ගවේෂණයක යෙදුණු කිමිදුම් කණ්‌ඩායමක්‌, හදිසියේ ඇති වූ චණ්‌ඩ මුහුදු කුණාටුවක්‌ හේතුවෙන් ආසන්නයේම පිහිටි හඳුනා නොගත් එක්‌තරා කුඩා දූපතකට ගොඩබසින්නට තීරණය කළහ. ඔවුන්ගේ එම සිතිවිල්ල ඉතිහාසය වෙනස්‌ කරන අහඹු සිද්ධියකට හේතු වූ තීරණයක්‌ බැව් ඔවුන් ඒ මොහොතෙහි සිතන්නටවත් නැත.

දූපතට ගොඩ බැස අවට සැරිසැරූ ඔවුනට වැල්ලෙන් යට වී තිබූ බොහෝ දිරාපත්ව ගිය ගියර පද්ධතියක්‌ වැනි උපකරණයක කොටසක්‌ දැක ගන්නට ලැබුණි. පළපුරුදු ගවේෂණ කණ්‌ඩායමක්‌ වූ ඔවුනගේ නිරීක්‌ෂණයට අනුව හැඟී ගියේ එම උපකරණ කොටස ඉතා දුර්ලභ පුරා විද්‍යා වටිනාකමක්‌ ඇති වස්‌තුවක කොටසක්‌ බවයි.

ඒ අනුව වහාම මේ පුවත පුරාවිද්‍යා අධිකාරීන්ට දැනුම් දෙනු ලැබූ අතර එම දූපත අවට මුහුද ගවේෂණය කිරීමට තීරණය කරන ලදී. එහිදී ඔවුනට මුහුදු පතුලේ තිබී හමු වූයේ මුහුදුබත් වූ පුරාණ නෞකාවකි. නෞකාව පිරික්‌සීමේදී කෞතුක වටිනාකමකින් යුතු වීදුරු භාණ්‌ඩ, සෙරමික්‌, ලී බඩු, රන් ආභරණ හා ලෝකඩ භාණ්‌ඩ අතර සොයාගත් වඩාත්ම වැදගත් සිත් ඇදගන්නා සුලු භාණ්‌ඩය වූයේ ලෝකඩ භාවිත කර නිමවනු ලැබූ මුහුණත් කිහිපයකින් යුත් ගියර පෙට්‌ටියක්‌ වැනි උපකරණයකි.Image result for Antikythera mechanism

මෙම යන්ත්‍රය කොටස්‌ කිහිපයකට කැඩී ගොස්‌ තිබූ අතර වෙරළේදී හමු වූ කොටසත් සමඟ සියල්ල එක්‌කොට පරීක්‌ෂා කිරීමේදී පුරාවිද්‍යාඥයන් මවිතයට පත් කරමින් හෙළි වූයේ එය පුරාණ ග්‍රීකයන් විසින් විශ්වයේ ග්‍රහයන්ගේ හැසිරීම ගණනය කිරීම පිණිස යොදාගත් යාන්ත්‍රණයක්‌ බවයි. මෙය මෙතෙක්‌ සොයා ගත් විශිෂ්ටතම කෞතුක වස්‌තුවලින් එකක්‌ බව පුරාවිද්‍යාඥයන් අවිවාදයෙන් එකඟ වූ කරුණක්‌ විය.

පුරාණ ග්‍රීකයන්ගේ විශ්මයජනක ඉංජිනේරු ශිල්පීය දැනුමත්, තාරකා විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ විචක්‌ෂණශීලී නිරීක්‌ෂණයත් ප්‍රදර්ශනය කළ ලොව ප්‍රථම පරිගණකය එසේ අහම්බෙන් සොයා ගන්නා ලද්දේය. මෙම විශ්මයජනක වස්‌තුව සමඟ මුහුදුබත් වූ නෞකාව මින් වසර දෙදහසකට පමණ පෙර රෝමය හා ඇනටෝලියාව අතර යාත්‍රා කරමින් තිබියදී මුහුදුබත් වූ ඇන්ටිකෙතාරා නම් ග්‍රීක නෞකාවක්‌ බව ද හඳුනා ගැනිණි.

ඇන්ටිකෙතරා යාන්ත්‍රණය නමින් හඳුන්වනු ලැබූ මෙම උපකරණය ඔර්ලෝසුවක දැති රෝද මෙන් වූ ගියර පද්ධතියක්‌ හා අංශකවලට බෙදා ඇති කෝණමානයක්‌ වැනි අඩකවයකින්ද සමන්විත විය. මෙයින් හිරු, සඳු හා අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම හා චලනයන් නිවැරදිව ගණනය කිරීමට හැකි බව වටහා ගත් විද්‍යාඥයන් මවිතයට පත් වූයේ මෙතරම් සංකීර්ණ පුරාවස්‌තුවක්‌ මෙතෙක්‌ සොයා ගෙන නොමැති නිසාය.Image result for Antikythera mechanism

මෙයින් අනාගතයේ ඕනෑම දිනයක සූර්යයා චන්ද්‍රයා හා වෙනත් ඕනෑම ග්‍රහ වස්‌තුවක පිහිටීමද නිවැරදිව සොයාගත හැකි බව හෙළි වී තිබේ. විවිධ තලවල පිහිටි ගියර රෝද හා අනෙකුත් උපාංගයන්ගේ ක්‍රියාකාරිත්වය විද්‍යාඥයන්ට වටහාගත හැකි වුවද ඔවුන් ව්‍යාකූල තත්ත්වයකට පත් වූයේ යන්ත්‍රයේ අභ්‍යන්තර ආවරණවල සහ ඉදිරිපස හා පසුපස කොටස්‌වල කැටයම් කර ඇති දහස්‌ ගණනක්‌ වූ අක්‌ෂරයන් කුමක්‌දැයි වටහා ගත නොහැකි වීම නිසාය. ඔවුන් සැක කළේ මෙම යාන්ත්‍රණය ක්‍රියාකරවිය හැකි කිසියම් ආකාරයේ මෙහෙයුම් උපදෙස්‌ හෝ අත් පොතක්‌ තිබිය හැකි බවය.

නමුත් එම අක්‌ෂර මි.මී 1.2 පමණ උස ඉතා කුඩා ඒවා බැවින් කියවීම ඉතා අසීරු විය. අධික ලවණ සාන්ද්‍රණයක්‌ යටතේ වසර දෙදහසකට අධික කාලයක්‌ මුහුදු පතුලේ තැන්පත්ව තිබීමෙන් විශාල ලෙස ඛාදනයට ලක්‌ව තිබූ මෙම උපකරණයේ සඳහන් වගන්ති සෑහෙන සංඛ්‍යාවක්‌ නූතන තාක්‌ෂණය උපයෝගී කරගෙන නිරාකරණය කර ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී ඇත. දශකයකට වැඩි කාලයක්‌ ස්‌කෑන් හා වෙනත් අති නවීන තාක්‌ෂණික ක්‍රම යොදා ගනිමින් කළ පර්යේෂණවලින් එම අක්‌ෂර 3500 ක්‌ පමණ කියවා තේරුම් කර ගැනීමට හැකි වී තිබේ.

මේ පිළිබඳව පැහැදිලි කිරීම පිණිස මෑතකදී ග්‍රීසියේ ඇතැන්ස්‌ නුවර කැතරිනා ලස්‌කාරිඩ් ඓතිහාසික පදනම විසින් මාධ්‍ය හමුවක්‌ කැඳවන ලදී. ඔබට දැන් පුරාණ ග්‍රීක අක්‍ෂර කියවිය හැකියි. ස්‌ටැටික රේඩියෝවක්‌ වැනි දෙයක්‌ අප ඉදිරියේ තිබෙනවා යි නිව්යෝර්ක්‌ සරසවියේ පුරාවිද්‍යා මහාචාර්ය ඇලෙක්‌සැන්ඩර් ජෝන්ස්‌ පැවසීය. මෙය අපිට විශාල තොරතුරු ප්‍රමාණයක්‌ ලබාදෙන නිධානයක්‌. ඒ මොකද කියනවා නම් පුරාණ ග්‍රීක තාරකා විද්‍යාව ගැන මෙතෙක්‌ අප දැන සිටියේ ඉතා ස්‌වල්පයක්‌ පමණයි. තාක්‌ෂණය ගැන කිසිවක්‌ම නැහැ” ඇන්ටිකෙතරා යාන්ත්‍රණයේ මුහුණත්වල ඔරලෝසුවක කටු වැනි පාද 7 ක්‌ තියෙනවා.Related image

මේ අසිරිමත් නිර්මාණයේ නිර්මාණකරුවා ගැන එහි කිසිම තැනක සඳහන් වී නැතත් එය පුරාතන ග්‍රීසියේ රෝඩ්ස්‌ නම් දූපතේ විද්‍යාඥයන් විසින් නිමවා ඇතැයි සාක්‌ෂි හමු වී තිබේ. පර්යේෂකයන් අනුමාන කරන්නේ මේ නිර්මාණය එක්‌ අයෙකුගේ කටයුත්තක්‌ නොව ඊට අඩුම වශයෙන් දෙදෙනෙකුවත් සහභාගි වී ඇති අතර එය ඉතා කුඩා පර්යේෂණාගාරයක්‌ තුළ බිහි වී ඇති බවයි. පර්යේෂකයන් සඳහන් කරන අන්දමට ඔවුන් විශ්වාස කරන්නේ හමු වී තිබෙන්නේ මෙම යාන්ත්‍රණයේ කොටස්‌ වලින් හතරෙන් එකක්‌ බවයි.

මෙම විශ්මයජනක අද්විතීය වස්‌තුව බල ගැන්වුමට තවත් ගියර රෝද 20 ක්‌ පමණ තිබිය යුතු බව හෙළි වී තිබේ. මෙවන් තවත් අපූර්ව දැනුම් සම්භාරයක්‌ අනාගත පුරාවිද්‍යා කැණීම් පිණිස මධ්‍යධරණී මුහුදු පතුලේ සඟවා ගෙන ඇන්ටිකෙතරා නෞකාව නිශ්චලවම සිටින්නේය.

නිමල් ෆ්‍රeන්සිස්‌