පත්තිනි දේවාලය විනාශ කළ සාපයට පෘතුගීසීන්ට සිද්ධ වුණ දේ

මතු බුදුවන අම්මේ පත්තිනි මෑණියෝ අප දෙසට දිවැස් හෙළන්නැයි මහ හ¾ඩින් පත්තිනි මෑණියන් අයැදින ඒ හඬ පත්තිනි මෑණියන් උදෙසා පුද කෙරෙන පූජාව ආරම්භයේදීම අවදි කරන්නේ නවගමුව ඓතිහාසික පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහතා වන මාරලන්ද බණ්ඩාර මහතාය.

ඒ හඬ පත්තිනි දේවාල භූමිය සිසාරා අෑතට දිවයන්නේ පත්තිනි මෑණියන්ට පූජාවන් සහ පුදපඬුරු ඔප්පු කරමින් සෙත් ශාන්තියක් පතා පත්තිනි මෑණියන්ගේ රුව දෙස බලා සිටින සිය ගණනින් වූ බැතිමතුන් වෙනුවෙන්මය.

පත්තිනි මෑණියන්ගේ පූජාව සිදුකරමින් සිටින මාරලන්ද ප්‍රධාන කපුමහතා කාලි මෑණියන් වැඩ සිටින දේව කුටියේ ඉදිරිපස තිරය පිටුපස පිහිටි මහ‍ෙදාර මඳක් විවරකර දෙන්නේ දේව කුටිය තුළ වැඩ සිටින පත්තිනි මෑණියන්ගේ රුව සහිත ප්‍රතිමාව එක්වරක් ප්‍රදර්ශනය කිරීමටය.

එම අවස්ථාවේ දෙවොල තුළ සිටින බැතිමතුන්ගේ සාදු කාර හඬ ගිගුම් දෙන්නේද මහා බලානුසම්පන්න පත්තිනි මෑණියන් වෙනුවෙන් බැතිමතුන්ගේ සාදුකාර හඬ ඔස්සේ දෝලනය වන පත්තිනි මෑණියන් සඳහා වූ පින් කදම්බය පත්තිනි මෑණියන් ළඟ තබා යන්නට මෙන් යැයි මට හැඟේ.

ගජබා රජ සමය දක්වා දිවයන නවගමුව ඓතිහාසික පත්තිනි දේවාලයේ වැඩහිඳින මතු බුදුවන්නට පෙරුම් පුරන හින්දු දෙවඟනක් වන පත්තිනි මෑණියන්ට තම මවට කියන දුක්ගැනවිල්ලක් සේ පත්තිනි මෑණියන් ඉදිරියේ ඒ දුක වේදනාව කියාපෑමෙන් පත්තිනි මෑණියන් ඒ කඳුළ දුක පිසදා ඇය හෝ ඔහුට සෙතක් ශාන්තියක් සිදුකර දෙන බවට එදා මෙදාතුර පත්තිනි දෙවොලට එන දහස් ගණන් බැතිමතුන්ගෙන් සනාථ වන බව ප්‍රධාන කපු මහතා පවසයි.

නවගමුව පත්තිනි දේවාලයේ අනුහස් පිළිබඳ ඓතිහාසික කතාවලියට එක්වී ඇති තවත් සිද්ධීන් කීපයක් ගැන කියන්නට මෙවරද මතකය අවදිකර සිටියේ මාරලන්ද බණ්ඩාර ප්‍රධාන කපුමහතායි.

පෘතුගීසි ආක්‍රමණයත් සමඟ අපේ මේ ඉපැරැණි දේවාලය පෘතුගීසින් අතින් විනාශ වුණා. මේ දේවාලයේ තිබුණු පැරැණි දේවල් ඔවුන් මංකොල්ලකෑව ඒ අවස්ථාවේ මෙහි තේවාව කළ කපුමහතා පෘතුගීසීන්ගේ ග්‍රහණයට හසුවෙන්නට ගිය රන්රිදී, ලෝකඩවලින් සමන්විත පත්තිනි මෑණියන්ගේ සලඹවල් හත් නමක් අරන් කැලණි ගං තීරයට ගිය අවස්ථාවේ ඇළි කිඹුලකුගේ වේශයෙන් ආව කුඩා පාරුවක නැඟිලා ඒවා අරගෙන මැදගොඩ පිහිටා තිබුණු පත්තිනි දේවාලයට අරගෙන ගිහින් ආරක්ෂා කරලා තියෙනවා.

එය පත්තිනි මෑණියන්ගේ ආකර්ෂණ බලයකින් සිදුවූවක් බවට කියැවෙනවා. ඇළි කිඹුල් වාහනයක අතීත පුරාවෘත්තයක් පත්තිනි මෑණියන්ගේ “සලං” ආරක්ෂාවූ අන්දම කියැවෙන කතාව එක්වෙලා තියෙන්නේ එහෙමයි.

එදා ඒ පෘතුගීසීන් නවගමුව දේවාලය විනාශ කිරීමේ සාපයට තමයි ඔවුන්ට පරංගි කියන ඇඟේ ගෙඩි දමන රෝගය හැදුණයි කියලා කියන්නේ. ඔවුන්ට හැදුණු පරංගි රෝගය නිසා පසුව පෘතුගීසි “පරංගි” නමින් හඳුන්වලා තියෙනවා. පත්තිනි මෑණියන් කිසිදිනෙක දඬුවම් දෙන දෙවඟනක් නොවෙයි.

නමුත් පත්තිනි මෑණියන් ආරක්ෂා කරන්න කාලි දෙවඟන ඇතුළු අදෘශ්‍යමාන බලවේග දේව බැල්මවලින් ආරක්ෂක වළල්ලක් මෙන් ඉන්නවා. ඇතැම් අවස්ථාවලදී බරපතළ වැරැදිවලට දඬුවම් දෙන්නෙ ඒ අයයි.

මුදල් වංචාවන්ට හසුවෙලා එයා සතුව තිබුණ විශාල ධනයක් අහිමි වුණ කැලණිය පළාතෙ අයෙක් දිනක් මාව හමුවෙන්න ආවා. ඒ ඇවිත් එයාට සිදුවුණ අසාධාරණය කියලා එයාගේ දුක්ගැනවිල්ල සත්‍යවාදී බව කියමින් පත්තිනි මෑණියන්ගේ දෙවොලේ හඬා වැටුණා.

පස්සේ මම අවනඩුව පත්තිනි මෑණියන් ළඟ පූජාවක්ද තබමින් මෑණියන්ට කන්නලව් කරලා ඒ අවනඩුව පත්තිනි මෑණියන්ට බාර කළා. එහෙම සිද්ධ කරලා දින දෙකක් යද්දී අර පුද්ගලයා මාව හොයාගෙන අපේ දේවාලයට ආවේ එදා ආව හැඬුම්බර හැඟීමෙන් නොවෙයි. සිනහබර මුහුණින් යුතුවයි.

ඒ අයගෙන් මුදල් අරන් සැඟවී සිටි වංචනික පුද්ගලයාව සිහිනෙන් බයවෙලා පසුදාම ඒ අයගේ මුදල් ගෙනත් දීලා වැඳලා සමාව අරන් තිබුණා. ඒ සතුටට තමයි ඒ අය මුදල් ලැබුණ දිනට පසු දිනම අපේ පත්තිනි දේවාලයට ඇවිත් පත්තිනි මෑණියන් වෙනුවෙන් පුද පූජා පඬුරු ඔප්පු කරලා පත්තිනි මෑණියන්ට පින් දී ගියේ.

පත්තිනි මෑණියන්ගේ දෙවොලට එන විට කිලිවලට අහුවෙලා එන්නට හොඳ නැහැ.

එයින් මළ කිල්ල, කොටහළු කිල්ල ප්‍රධානයි. දිනක් අපේ දේවාලයට නුදුරේ ගෙදරක කොටහළු මංගල්‍යයකට පිටස්තර ප්‍රදේශයක සිට ඥාති පිරිසක් ඇවිත් හිටියා.

ඒ දිනවල තමයි අපේ නවගමුව දේවාලයේ පෙරහර මංගල්‍යය පැවැත්වුණේ. අර කොටහළු මංගල්‍යයට ඇවිත් සිටිය පිටස්තර අයෙක් එදා අලුයම ඒ නිවෙසේ සිට අපේ දේවාල භූමියට ඇතුළු වෙලයි හිටියේ.

ඒ අවස්ථාවේ තමයි දිය කපන පෙරහර ආපසු දෙවොලට පත්තිනි මෑණියන්ගේ ආභරණ අරගෙන ගෙවදින අවස්ථාව. ඒ වෙලාවේ අර කොටහළු නිවෙසේ සිට “කිලි මතින්” ඇවිත් හිටිය පුද්ගලයා පෙරහරට ගෙනැවිත් සිටිය ඇතකු කුලප්පුවෙලා ඒ පුද්ගලයා පාගා මරා දැමුවා.

ඒ අවස්ථාවේ අපේ දේවාලයට ඇවිත් සිටිය බැතිමතුන් ඒ ගැන සොයා බලද්දී තමයි කොටහළු කිල්ලට අහුවෙලා ආව ඒ පුද්ගලයා ගැන තොරතුරු හෙළි වුණේ.

අවංකව සත්‍යවාදීව ජීවත් වන පුද්ගලයන්ට හොරුන්, වංචාකාරයන් වැනි පුද්ගලයන්ගෙන් ඒ අයව පත්තිනි මෑණියන් බේරාගන්නා බව අත්දුටු සත්‍යයක්.

ප්‍රේමලාල් විජේරත්න

like page