වැරදියට දත් මැදලා නැති ලෙඩ ඇතිකරගන්න කළින් දැනගන්න

මුඛය සමස්ත සිරුරේම කැඩපතයැයි අදහසක් තිබේ. නමුත් ඒ කැඩපත සුන්දර වන්නේ මුඛය නීරෝගි නම් පමණි. නමුත් බොහෝ දෙනෙකුට අද එවන් සුන්දර කැඩපතක් අහිමිය. ඒ විවිධ වූ මුඛ රෝග හේතුවෙනි.

මුඛ රෝග ගත්විට ප්‍රධාන මුඛ රෝග කීපයක් හඳුනාගත හැක. එනම් දත් දිරායෑම්, විදුරුමස් රෝග හා මුඛ පිළිකා එහිදි විශේෂ වේ. මීට අමතරව දන්ත විකෘතිතා හෙවත් විකෘති දත් (එනම් දත් ඇදට පිහිටීම)

මෙන්ම මුඛයේ ශ්ලේෂ්මල පටලය ආශි‍්‍රතව බැක්ටීරියා, වෛරස් හා දිලීර ආසාදන වර්ධනය වීම ආදිය හඳුනාගත හැක.

මේවාට බලපාන හේතූන් වනුයේ මුඛ සෞඛ්‍යය නිසිලෙස පවත්වා නොගැනීමයි. නමුත් නිසි මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම ඔබේ දිවියේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක.

එයින් ඔබට ශාරීරිකව ඇතිවිය හැකි ගැටලු, මානසිකව ඇතිවිය හැකි ගැටලු මෙන්ම සාමාජයීයව ඇතිවිය හැකි ගැටලු රැසක් අවම වන හෙයිනි. දිනපතා හොඳින් දත් මැදීම යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ඇති හොඳම මඟයි.Image result for how to choose a toothbrush

නිවැරදිව දත් මදිමු

ඉතාම කුඩා ළදරුවකුගේ මුඛය පවා පිරිසිදුව තැබීම වැදගත්ය. දත් මතුවීමට කලින් පවා පිරිසුදු රෙදි කඩකින් බිළිඳාගේ මුඛය පිරිසුදු කිරීම මවක් විසින් කළ යුතු වැදගත් කාර්යයකි. එමඟින් බිළිඳාගේ මුඛයේ ඇති රෝග කාරක විසබීජ ඉවත් කළ හැක.

වයස මාස 6ත් – 9ත් අතර දරුවාගේ පළමු දත් මතු වේ. එසේ දත් තුන හතරක් මතු වූ විට එය දරුවාට බුරුසුවෙන් මැදීම හඳුන්වා දීමට සුදුසු කාලයයි. නමුත් මෙවන් කුඩා වියේ දරුවන් බොහෝවිට දත් මැදීමට ඉඩ දීමට අකමැති වේ. නමුත් දරුවා සෝදවන අවස්ථාවේ සැහැල්ලුවෙන් හා විනෝදජනක අයුරින් එය මවට සිදු කළ හැක.

තවද දත් මැදීමට ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කිරීම ඉතාම වැදගත් වේ. දන්තාලේප නිසි ප්‍රමාණයට ගැනීමත්, දරුවාට කෙළ ගැසීමට පුරුදු කිරීමත් වැදගත් වේ.

දත් මදින නිවැරදි ක්‍රමය

මේ සඳහා ඔබ තෝරාගන්නා බුරුසුවේ හිස කුඩා විය යුතුය. එනම් බුරුසුවේ හිස ඔබේ මුඛයේ ඇතුළත කෙළවර දක්වා සෑම දතකටම ළං වීමේ හැකියාවක් සහිත ප්‍රමාණයේ විය යුතුය. කුඩා දරුවන්ට නම් ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කළ දත් බුරුසුවක් තෝරා ගැනීම වැදගත්ය.

වෙළඳපොළේ විවිධ හැඩයන්වල කෙඳි සහිත දත් බුරුසු ඇති අතර නිවැරදිව දත් මැදීමට භාවිතා කළ යුත්තේ සමාන උසකින් කෙඳි පිහිටා ඇති දත් බුරුසුවකි.

දත් බුරුසුවක කෙඳි ආකාර තුනකට හඳුනාගත හැක. එනම් තද කෙඳි, මෘදු කෙඳි හා මධ්‍යම ප්‍රමාණයේ කෙඳි වශයෙනි. එයින් දත් මැදීම සඳහා වඩා සුදුසු වන්නේ මෘදු කෙඳි සහිත බුරුසුවකි.

තද හා මධ්‍යම ප්‍රමාණයේ කෙඳි සහිත බුරුසුවකින් දත් මැදීමෙන් දතේ එනැමලයට හානි විය හැකිය. ශරීරයේ දෘඩම පටකය වන එනැමලය ගෙවී ගිය විට නැවත වර්ධනය වීමක් සිදු නොවන අතර එමඟින් දත් දිරා යෑමට හේතුවක් විය හැකිය.

එසේම දත් බුරුසුවක් කලක් භාවිතා කිරීමේදී එහි කෙඳි දෙපැත්තට නැවෙන ස්වභාවයක් ඇති වෙයි. එම අවස්ථාවේදී අලුත් බුරුසුවකට මාරු වීම වැදගත්ය.

දත් මැදීම

දත් මැදීම යනු දත් මතුපිට සෑම පෘෂ්ඨයක්ම හොඳින් පිරිසිදු කිරීමයි. එනම් දතේ හපන පැත්ත, එළිය පැත්ත, ඇතුල් පැත්ත සහ දත් අතර යන කොටස් සියල්ලක්ම නියමාකාරයෙන් පිරිසිදු විය යුතුය.

දත් මැදීමේදී දතේ විදුරුමස් දාරය දෙසට කෙඳි යොමු කර උඩු ඇන්දේ නම් ඉහළ සිට පහළටත්, යට ඇන්දේ නම් ප්‍රතිවිරුද්ධ දිසාවටත් බුරුසුවේ කෙඳී වක්‍රාකාරව කරකවමින් දත් මැදීම කළ යුතු වේ. දතේ සපන කොටස බුරුසුව කරකවමින් මැදීම කළ යුතුය.

ඊට අමතරව විදුරුමස, උඩතල්ල සහ දිව යන පෘෂ්ඨයන් පිරිසිදු කිරීම ද වැදගත් වේ. මේ අයුරින් මිනිත්තු කිහිපයක් හොඳින් දත් දෙපෙළ පිරිසිදු කර ගැනීම වැදගත්ය.

කුමන දන්තාලේපයක් ද තෝරාගත යුත්තේ?

ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප මඟින් දත් දිරායෑමට හේතු කාරක වන බැක්ටීරියා වර්ධනය වළක්වා දත් දිරා යෑම් අඩු කරන බව පර්යේෂණ මඟින් තහවුරු කර තිබේ.එබැවින් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප තෝරා ගැනීම වැදගත්ය.

දන්තාලේප ගත යුතු ප්‍රමාණය

වැඩිහිටියකු නම් දන්තාලේප ගත යුත්තේ කඩල ඇටයක ප්‍රමාණයකිනි. දන්තාලේප බුරුසුවට දමා ගැනීමේදී බුරුසුවේ දික් අතට නොව හරස් අතට දමා ගැනීමෙන් නිසි පමණට ගැනීම පහසු වේ.

කුඩා දරුවෙකුට මුං ඇටයක පමණ ප්‍රමාණයක් වරකට ගැනීම නිර්දේශ කෙරේ. තවද එවැනි දරුවන් මව හෝ වැඩිහිටියකුගේ අධීක්ෂණය යටතේ දත් මැදීම අවශ්‍ය වේ. තවද දත් මදින විට දන්තාලේප ගිලීමෙන් දරුවන් වැළැක්වීම ඉතා වැදගත්ය.

දත් තුන හතරක් මතුවන අවධියේ සිටින කුඩා දරුවන්ට බුරුසුවක් ආධාරයෙන් දත් මැදීම හඳුන්වා දිය හැකි අතර එවැනි දරුවන්ට නිර්දේශ කරනුයේ දන්තාලේප ගැනීමේදී ටියුබය මිරිකීමක් නොකර මුඩිය ඇර බුරුසුව දන්තාලේපවල ඇතිල්ලීමෙන් පමණක් ගන්නා දන්තාලේප ප්‍රමාණය ප්‍රමාණවත් වන බවයි.

දත් මැදීමට පෙර දත් බුරුසුව තෙමීම බොහෝදෙනෙකුගේ සිරිතකි. නමුත් බුරුසුව වියළිව ඇතිවිට දත් මැදීමට ගන්නා දන්තාලේප මුඛයේ වැඩි වේලාවක් රඳවා ගැනීමට හැකියාවක් ලැබේ. මෙමඟින් දන්තාලේපවල ඇති ෆ්ලෝරයිඩ් වැඩි වේලාවක් මුඛයේ රඳවා ගැනීමට හැකියාව ඇත.

වැඩි වේලාවක් ෆ්ලෝරයිඩ් මුඛයේ තබා ගැනීමෙන් එහි ඇති ෆ්ලෝරයිඩ් අයන දතේ මතුපිට, ශ්ලේෂ්මල පටලය ආදී ස්ථානවල වැඩිපුර වේලාවක් රඳවා ගැනීමට හැකිවේ. එමඟින් ෆ්ලෝරයිඩ් ක්‍රියාකාරීත්වය වැඩි වේලාවක් මුඛයේ පවත්වාගත හැක.

එහිදී දිනකට දෙවාරයක් දත් මැදීම නිර්දේශ කරන අතර එය උදේ සහ රාත්‍රී (නින්දට පෙර) සිදු කිරීම ඉතා වැදගත් වේ.

මෙවන් වූ සැලකිලිමත් පියවර මඟින් දත් දෙපෙළ පිරිසිදුවටත්, ලස්සනටත්, නීරෝගීවත් පවත්වා ගැනීමට ඉතා හොඳින් අවස්ථාව ඇති වේ.

එමඟින් දන්ත ගැටලු රාශියක් අවම කරගත හැකි අතර, ඊට වැයවන අධික මුදල්, කාලය මෙන්ම දන්ත ගැටලු නිසා හටගත හැකි අමිහිරි වේදනා මෙන්ම ඉන් ඇතිවන මානසික පීඩා ද ඉතා පහසුවෙන් වළක්වා පී‍්‍රතිමත් දිවියකට මඟ සලසා ගැනීමට අපට හැකිවේ.

සමුද්‍රිකා වර්ණකුල

like page