ලංකාවේ විසූ අවසාන මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව රහතන් වහන්සේ

අනුරාධපුර, පොළොන්නරු යුගවල ආරණ්‍යවාසී භික්‍ෂුන් වහන්සේ වැඩම කළ ස්ථාන දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල දක්නට ඇත. අද පවා මිහින්තලේ, රිටිගල, දිඹුලාගල, අරන්කැලේ ප්‍රදේශවල ආරණ්‍යවාසී ස්වාමින් වහන්සේ ප්‍රයෝජනය සඳහා ගත් ගොඩනැඟිලි දක්නට තිබේ.

ශ්‍රී ලංකාවේ විසූ අවසාන මහ රහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව රහතන් වහන්සේ අරන්කැලේ වැඩවාසය කර ඇති නිසා එම සෙනසුන නරඹන්නට යෑමට පසුගියදා අපට අවස්ථාව ලැබිණි.

අරන්කැලේ පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේය. කුරුණෑගල නගරයට කි.මී. 20ක් පමණ දුරින් පිහිටි අරන්කැලේ ඓතිහාසික පරිශ්‍රය වෙත ළඟා විය හැක්කේ කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ ඉබ්බාගමුව මංසන්ධියෙන් හැරී මොරගොල්ලාගම මාර්ගයේ ගොඩගාල මංසන්ධියෙන් හැරී බන්නැක්ගම මාර්ගයේ ගමන් කිරීමෙනි.

‍ෙදාළුකන්ද කඳුවැටියෙන් උතුරු දෙසට විහිදී පවතින දුංකන්ද, මඬුකන්ද, අම්බලන් කන්ද හා අරන්කැලේ එකම කඳු යායකි. කඳු පාමුල පිහිටි අරන්කැලේ තපෝවනය ආශ්‍රිතව පැරැණි ආරාම නිසාම ආරාම කැලේ යනුවෙන් හඳුන්වා ඇත.

එය පසුව අරන්කැලේ යනුවෙන් ව්‍යවහාරයට පැමිණ ඇති බව පැවැසේ. තවත් මතයක් අනුව ශ්‍රී ලංකාවේ විසූ අවසන් මහ රහතුන් වහන්සේ ලෙස සැලැකෙන මලියදේව මහ රහතන් වහන්සේ මෙම වනයේ වැඩ සිටි බවට සඳහන් කරමින් අරහත් කැලේ යන්න පසුව අරන් කැලේ යනුවෙන් බිඳී එන්නට ඇතැයිද කියැවේ.

එය කෙසේ වුවත් වර්තමානයේද භාවනා යෝගී භික්‍ෂුන් වහන්සේ මෙහි වැඩ වසන නිසාත් පැරැණි බෞද්ධ ආරාමවල නටබුන් දක්නට ලැබෙන නිසාත් අරම කැලේ හෝ අරහත් කැලේ හෝ යන කවර අර්ථයක් යටතේ හෝ අරන් කැලේ නාමය බිඳී ඒම පිළිබඳ ගැටලුවක් මතුවී නොමැත.

මෙය අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම පැවැතෙන ආරණ්‍ය සේනාසනයක් බව එහි තිබෙන නෂ්ටාවශේෂ අනුව නිගමනය කළ හැකිය.

මෙහි ඇති ගල්ලෙන්වලින් ක්‍රි.පූ. 1 සියවස සිට ක්‍රි.ව. 2 සියවස දක්වා කාල නිර්ණය කළ හැකි බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියූ සෙල්ලිපි හමුවී තිබේ. පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙහි කළුගලින් කළ ගොඩනැඟිලි ක්‍රි.ව. 8-10 සියවස්වලට අයත් ඒවා බවය.

පුරාණ කාලයේ මෙම ස්ථානය කුමන නමකින් හැඳින්වූයේ දැයි හෙළිවී නොමැත.

ඓතිහාසික තොරතුරු අනුව අනුරාධපුරයේ රජ කළ මහසෙන් රජ (ක්‍රි.ව. 276, 303) විසින් කිඹුල්වාන වැව බැඳීම සඳහා පැමිණි අවස්ථාවක ‍ෙදාළුකන්ද අසල සුන්දර ස්ථානයක් තෝරා සංඝාරාමයක් කරවීම සඳහා සුදුසු යැයි කරන ලද ඉල්ලීම සිහිපත් කර ඔහුගේ කනිටු පුුත් ජෙට්ඨතිස්ස රජ (ක්‍රි.ව. 331 – 340) විසින් සංඝාරාමයක් කරන ලද බව සඳහන් වේ.

එම ස්ථානය මෙම අරන්කැලේ සංඝාරාමය බව සැලකේ.Image result for අරන්කැලේ

1922 වර්ෂයේ සිට කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් හඳුනාගෙන ඇති පොකුණු, ආරාම, සෝපාන පන්ති, සක්මන් මළු, සක්මන් ශාලා, පධානඝර, ජන්තාඝර, වැසිකිළි, කැසිකිළි, සම්මුඛලෙන ආදී නෂ්ටාවශේෂ තුළින් ඉහත මතය වඩාත් තහවුරු වී ඇත.

විශේෂයෙන් 8 හා 10 වැනි සියවස් අතර අනෙකුත් වන සෙනසුන් මෙන්ම අරන්කැලේ සේනාසනයද රාජ්‍ය අනුග්‍රහය ලබා ඇති බව සඳහන් වේ.

පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1187 – 1196) සංඝයා වහන්සේට දන්දීම සඳහා පැමිණි බව අනුරාධපුර කෞතුකාගාරයේ ඇති සෙල්ලිපියක සඳහන් වෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

භාවනායෝගී භික්‍ෂුන්ට උණු පැන් ස්නානය කිරීම සඳහා පහසුකම් සැලැසීම පිණිස ආරණ්‍ය සේනාසනවල ජන්තාඝර පිහිටුවා තිබිණි. මෙවැන්නක් අරන්කැලේ වන සෙනසුනේද හමුවී තිබේ. එම ගොඩනැඟිල්ල අඩි 100ක් උසින්ද අඩි 64ක් පළලින් ද යුත් චතුරස්‍රාකාර එකකි.

භාවනානුයෝගීව වෙසෙන භික්‍ෂුන් වහන්සේ නමක් මුණගැසීමට දායකයකුට අවශ්‍යතාවක් ඇත්නම් ඒ සඳහා වෙන් කෙරුණු ගොඩනැඟිල්ලක් ඇත. එය සම්මුඛලෙන ලෙස හැඳින්වෙයි. අඩි 15×15 ප්‍රමාණයේ කුඩා සමචතුරස්‍රාකාර ගොඩනැඟිල්ලකි.

භාවනානුයෝගී භික්‍ෂුන්ට සක්මන් භාවනාව වැඩීම සඳහා ඉදිකරන ලද සක්මන් මළුව හෙවත් චංකමන ඉපැරැණි ආරණ්‍ය සේනාසනවලින් හමුවේ. ඒ අතරෙන් අරන්කැලේ සක්මන් මළුව සුවිශේෂී වන්නේ එය වහලක් සහිතව ඉදි කරන ලැබූවක් හෙයිනි.

මෙම චංකමනාගාරය පිහිටා තිබෙන මළුව අඩි 94ක් දිගය. අඩි 56ක් පළලය. මළුව වටා කළු ගලින් නිමකරන ලද ප්‍රාකාර බැම්මකි.

ප්‍රාසාදයකින් හා ද්විත්ව ගොඩනැඟිල්ලකින් යුතුව ජලය රඳවා පවතින ඇළක්ද සහිතව නිමවා ඇති පධානඝරය මෙහි දැකිය හැකි විශේෂ අංශයක් වේ.

අරන්කැලේ පුරාවිද්‍යා භූමියට ඇතුළුවන කෙනකු දකින අසිරිමත් දර්ශනය වනුයේ නා, ගොඩපර, මූණමල්, පුස්වැල් ආදී දැවැන්ත තුරු ලතාවන්ගෙන් සෙවණ වුණු පෙත් මඟය. කපා ඔප මට්ටම් කළ කළු ගලින් පැති බැම්ම සකසා මැදට වැලි අතුරා මෙම උස් මාර්ගය සකසා ඇත.

මෙම පෙත් මඟේ ගමන් කරන විට භික්‍ෂුන් වහන්සේ වැඩ සිටි ආරාම කුටි සඳහා යෑමට ද මාර්ගද හමුවේ. පෙත් මඟේ බටහිර දිශාවේ භූමිය කෙමෙන් ඉහළට නැඟී ගොස් කඳුවැටියක් බවට පත්වේ. නැඟෙනහිර පැත්ත සමතලා බිමකි.

වැසි සමයේදී කඳු බෑවුම දිගේ පහළට ගමන් කරන ජලය බැසයෑම සඳහා පෙත් මඟ යටින් බෝක්කු ඉදිකර තිබේ.

අරන්කැලේ පූජා භූමියේ දක්නට ලැබෙන එකම ගල්ගුහාව පිහිටා තිබෙන්නේ පෙත් මඟේ දකුණු කෙළවරේය. ගල් පර්වතයකින් නිර්මාණය වී තිබෙන මෙම ලෙන තුළට ජලය ගලා ඒම වැළැක්වීම සඳහා කටාරම් කොටා තිබෙන අතර එහි ඇතුළත කැපූ ගලෙන් බිත්ති බැඳ කාමර තුනකට වෙන්කර තිබේ.

කාමරවලට ඇතුළු වන ‍ෙදාරටුව පිහිටා ඇත්තේ ඉදිරි පසිනි. මෙහි කැටයම් කරන ලද ජනෙල් දෙකක් මඟින් ඇතුළට ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන ආකාරයට සවිකර ඇත. මෙය මලිය දේව ලෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නම්කර තිබේ.

ලංකාවේ අන්තිම රහතන් වහන්සේ මෙම ලෙන තුළ වැඩ විසූ බවට ජනප්‍රවාදයේ එයි. අද මෙම පුණ්‍ය භූමියේ ආරණ්‍ය සේනාසනයක් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනගත ස්මාරක සමූහයක් දක්නට ලැබේ. කැලය තුළ කඳු බෑවුම් තැනූ කුඩා කුටිවල භික්‍ෂුන් වහන්සේ භාවනා යෝගීව වැඩ වසති.

දැනට මෙම අරන්කැලේ මලියදේව අරහත්ත සේනාසනයේ සේනාධිපති වශයෙන් කුරුණෑගල මාවිදළුපොත සිරි සුගත සෙනසුනේ ප්‍රධාන අනුශාසන උඩුබද්දාවේ ධම්මතිලෝක හිමියෝ කටයුතු කරති.

කුටිවල භාවනානුයෝගීව සිටින භික්‍ෂුන් වහන්සේගේ අවශ්‍යතාවන් ඉටුකර දීම සඳහා සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.

දිනපතාම සැදැහැවත්තු පැමිණ දානාමානාදිය පූජා කරති. වියළි කලාපයේ පිහිටි වනාන්තරයක් වුවද අරන්කැලේ හොඳින් වර්ෂාපතනය ලබන සිසිල් ජලදහරෙන් පොහොසත් වුණු ජල පෝෂක ප්‍රදේශයක් බවට පත්වී ඇති බව පෙනී යයි.

මෙහි පවතින්නේ භාවනාවට උචිත නිහඬ පරිසරයකි.

වාරියපොළ – එන්.එස්.කේ. බස්නායක

like page