මහාචාර්ය සෙනෙවි එපිටවත්තගේ තර්කය සැබෑ වන ලකුණු

යාපනයේ වැසියෝ යළිත් බියක පැටලී සිටිති. ඒ “ආවා ගෘෘප්” හෝ කඩු කිණිසි කල්ලිය නිසා නොව යාපනයේ භූ විසමතාවයේ තවත් විසමතාවක් හදිසියේම දක්නට ලැබීම නිසාය.

මේ මාසයේ මුල් සති තුනම යාපනයට මහා ධාරානිපාත වැසි ඇදහැලුණු කාලයක් විණි. වර්ෂාව හමාර වන්නට පෙර යාපනයේ කෝපායි ප්‍රදේශයේ මුහුද තරමක් රළු වී වෙනදා මුහුදේ දකින්නට ඇති ජල මට්ටමට වඩා අඩි හතරහමාරක් පහක් පමණ උසින් මහා ජල කඳක් දිස්විය.

මේ පුවත කනවැකුණු සැණින් යාපනයේ කෝපායි ප්‍රදේශයේ වැසියන් පමණක් නොව මහ වැස්සේ කුඩ ඉහලාගෙන යාහැකි සෑම අයකුම ගොස් මේ අරුම පුදුම දසුන බලමින් විනෝද වූහ.

එහෙත් යාපනයේ වයෝවෘද්ධ පිරිස තරුණ කැලට අවවාද පිට අවවාද දෙන්නට වූයෙන් මේ දසුන දැකීමට යන පිරිසේ යම් අඩුවක් දක්නට ලැබිණි.

“සුනාමිය ආව දවසෙත් ඔහොම තමයි. මුහුද එකපාරටම වෙනස් වුණා. එදා වුණේ මුහුදේ වතුරත් මුහුදු වෙරළත් අෑතට ගිය එකයි. මේ දැන් වෙලා තියෙන්නේ කවදාවත් යාපනේ මුහුදට සිද්ධ වුණු දෙයක් නොවෙයි. ඒක හින්දා උඹලා මුහුද පැත්තට වැඩිය යන්න එපා. ටිකක් කල්පනාවෙන් ඉඳපල්ලා.”

වයෝවෘද්ධ වැසියන්ගේ මේ කියමනට යාපනයේ බොහෝ දෙනකු අවනත වූයේ හදිසියේම යාපනයේ සිදුවන දේවල් පිළිබඳව
කිසිවකුටත් කිසිවක් සිතා ගැනීමට නොහැකි නිසාවෙනි.

වර්ෂාව කෙමෙන් කෙමෙන් පහව ගොස් මුළු යාපනය අර්ධද්වීපයටම හිරු උදාවිය. දවසින් දවස දැන් යාපනයේ වැසියන්ට දැක ගැනීමට ලැබෙන්නේ අරුම පුදුම දේවල්ය.

ඉතා උස් ජල මට්ටමක් තිබූ කෝපායි මුහුදේ ජල මට්ටම තවමත් එසේමය. ඒ අතරතුර තවත් බොහෝ දේවල් සිදුවෙමින් පවතී.

යාපනයේ මිනිසුන් කිසිදු අවහිරයක් නොමැතිව එදා සිට ගමන් කළ මාර්ග කිහිපයකම දැන් මුහුදු ජලය එක්තැන් වී තිබේ. සමහර තැන්වලින් ගලා යන්නේ මුහුදු ජලයයි.

කාලයක්ම ගොඩබිම් ලෙස සලකන ලද තැනිතලා බිම් ගණනාවක්ම මුහුදකුත් නොවන කළපුවකුත් නොවන තත්ත්වයකට පත්ව තිබේ. ඇතැම් කුඹුරුවලටද මුහුදු ජලය ගලා එන්නට පටන්ගෙන තිබේ.

මුලින්ම මේ සංසිද්ධීන් දාමය විහිළුවක් බවට පත්වුවත් දැන් යාපනයේ ඉහළ පෙළේ විද්වතුන්ටද යාපනයේ මේ අරුම පුදුම සිදුවීම් ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ භුගෝල විද්‍යා අංශයේ කථිකාචාර්යවරුන් පිරිසක් යාපනයේ සිදු වූ මේ හදිසි තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කරන්නට පටන්ගෙන තිබේ.

ඔවුන් ඉගෙනගෙන ඇති මතවාද හා නියමයන්ට අනුව “මෙය එසේ සිදුවන්නට නම් ඒදේ මේ ආකාරයෙන් සිදුවිය යුතුය” යන කියමන් හා නියමයන් උඩට පහළට දමමින් තර්ක කරමින් මතවාද පළ කරන්නට පටන් ගෙන තිබේ.

භූගෝල විද්‍යාව සම්බන්ධයෙන් ලියවුණු පොත්පත්වල පිටු අතර ඇති දේ ගෙන තර්ක කරනවා මිස පර්යේෂණ මට්ටමක් දක්වා ගොස් යාපනය අර්ධද්වීපයේ සිදු වූ මේ සිදුවීම ගැන ඔවුන්ට පර්යේෂණ කළ නොහැකිය.

යාපනය විශ්වවිද්‍යාලය දිවයිනේ නම ගිය විශ්වවිද්‍යාලයක් වුවත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමට යාපනය විශ්වවිද්‍යාලය තුළ පහසුකම් නොමැත. භූගෝල විද්‍යාව සම්බන්ධයෙන් වූ මහාචාර්යවරයකුද යාපනය විශ්වවිද්‍යාලයට නොමැත.

කෙසේ වෙතත් දැනට සිටින පිරිස මේ සිදුවුණු සිදුවීම ගැන ඉතා උනන්දුවෙන් සිටින නිසා ඉතා අපහසුවෙන් දුරකතන අංකයක් සොයාගෙන මම එක් අයකුට කතා කළෙමි.

ඔහු නමින් එස්. නන්දකුමාර්ය. වෘත්තියෙන් භූගෝල විද්‍යාව පිළිබඳව කථිකාචාර්යවරයෙකි.

මුලින්ම ඔහු කියා සිටියේ ජනමාධ්‍යකට විස්තර කිරීමට තරම් ඔවුන් විසින් සොයා සපයා ගත් දත්ත කිසිවක් නොමැති බවයි. නමුත් යාපනය මුහුදේ සිදුවී තිබෙන මේ තත්ත්වය කුමන හෝ විපර්යාසයක් බව නන්දකුමාර් හා ඔහුගේ සහෝදර කථිකාචාර්යවරුන් පිරිස අනුමාන කළේය.

දුරකතන සංවාදය අතුරතුර ඔවුන් මතක් කළේ 2006 වර්ෂයේදී දේශනයක් සඳහා යාපනයට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජේ‍යෂ්ඨ
කථිකාචාර්යවරයකු වන මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා දක්වන ලද අනාවැකියකි.

කවදා හෝ දිනක යාපනය භූ විෂමතා වෙනසකට ලක්වන බවත් ඇතැම් විට යාපනයේ හැඩය වෙනස් වීමක් හෝ යාපනය ඉතා අවදානම් තත්ත්වයකට මුහුණ පා හැකි බවත් ඔහු එදා සිය දේශනයේදී විස්තර කළ ආකාරය යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ට තවත් මතකය.

ඔවුන්ගේ මතකය අවදි කිරීම ඔස්සේ මගේ මතකයද අවදි විය.

2014 වර්සයේදී බී.බී.සී. ලෝක සේවයේ සම්මුඛ සාකච්ඡාවකට මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා සම්බන්ධ විය. දිනසේන රතුගමගේ විසින් ඒ සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන ලද්දේ යාපනය වැසියන්ට පානීය ජලය සම්බන්ධයෙන් ඇති වූ ගැලුවක් මුල්කරගෙනය.

මුලින්ම මහාචාර්යවරයා සඳහන් කළේ යාපනයේ වැසියන්ට යාපනයේ දිය උල්පත් තුළින් කිසිම දිනක පිරිසිදු පානීය ජලය ලබාදිය නොහැකි බවයි.

යාපනයේ ඇති අධික හුනුගල් තට්ටු නිසා මේ තත්ත්වය උදාවී ඇති බව පැහැදිලි කළ මහාචාර්යවරයා කළ හැකි එකම දෙය වන්නේ පිටස්තර ප්‍රදේශයකින් යාපනයට පානීය ජලය නළ මඟින් ගෙනයෑම හෝ බෝතල් වතුර පානය කිරීම පමණක් බව අවධාරණය කළේය.

තවදුරටත් මහාචාර්යවරයා බී.බී.සී. ලෝක සේවයට අදහස් දක්වමින් කියා සිටියේ යම් කිසි දවසක යාපනයේ ඉහළ කොටස ගොඩ බිම ස්වරූපයෙන් මිදී මුහුදේ ගිලී යා හැකි බවයි. එනම් යාපනයේ කොටසක් මුහුද බවට පත්විය හැකි බව එදා ඒ සම්මුඛ සාකච්ඡාවේදී විස්තර කළේය.

මේ සඳහා හේතු වශයෙන් මහාචාර්යවරයා ඉදිරිපත් කළේ යාපනයේ මහපොළොවේ ඇති හුනුගල් තට්ටු කාලයත්, මුහුදු ජලයට දියවීමත් යන හේතූන් මත ඇලි හා කුහර බවට පත්වන වගයි.

මේ ඇලි හා කුහර බවට පත්වන හුනුගල් තට්ටු ක්‍රමයෙන් විනාශ වී හුනුගල් තට්ටු සමඟ පහළට ගිලා බසින විට යාපනයේ බොහෝ ගොඩබිම් පළාත් ගිලා බැස මුහුදු ජලයට යටවිය හැකි බව මහාචාර්ය සෙනෙවි එපිටවත්තගේ තර්කය විණි.

මෙය සිදුවන්නේ කවදාදැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි බව එදා පැවසූ මහාචාර්යවරයා මෙය සිදුවීමට වසර ගණනාවක් ගත වීම අත්‍යවශ්‍ය නොවන බවද කියා සිටියේය. නමුත් මෙය ඉතා ක්‍රමිකව සිදුවන ක්‍රියාවලියක් බව එදා මහාචාර්යවරයා විස්තර කළේය.

අද යාපනයට සිදුවී ඇත්තේ එදා මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා කී දේම නොවිය හැකිය. නමුත් ඒ ක්‍රියාවලියේ පෙරනිමිත්තක් හෝ පූර්ව ක්‍රියාවක් ආරම්භ වූවා විය හැකිය. මේ පිළිබඳව ස්ථීර වශයෙන් යමක් ප්‍රකාශ කළ හැකි වන්නේ නිසි පර්යේෂණයක් සිදුකරන භූගෝල විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකුට පමණි.

ඉතා සුළුකොට තැකිය නොහැකි මේ භූගෝලීය සාධකය පිළිබඳව පර්යේෂණ කිරීමට දැන් කාලය එළැඹ ඇත. හෙට අනිද්දා වනවිට මේ ගොඩට ගලා ඇති මුහුදු ජලය වියළීයෑමක් හෝ ආපසු මුහුදට යෑමක් සිදුවිය හැකිය. එවිට යාපනයේ භූගෝලීය විසමතාව පිළිබඳ ප්‍රශ්න අවසන් යැයි සිතා සියලු දෙනාම නිහඬ වීමට ඉඩ ඇත.

නමුත් කිසියම් අවස්ථාවක අපේ රටේ ඔළුව කොටස එනම් යාපනය අර්ධද්වීපය මහ මුහුදට බිලිවී ඒ කලාපයම මහ මුහුදක් වුවහොත් එය ජාතික අපරාධයකි.

භූගෝල විද්‍යාව පිළිබඳව කිසිදු දැනුමක් නොමැති යාපනයේ වැසියෝ දැන් බිය වී සිටින්නේ සුනාමි රළපහරක් පැමිණ මුළු යාපනයම විනාශ වනු ඇතැයි යන තත්ත්වයටය.

අවම වශයෙන් මුහුදේ ජල ප්‍රමාණය ඉහළ ගියද සුනාමි තත්ත්වයක් උද්ගත වන්නේ නැත යන ස්ථිරසාර වගන්තිය ප්‍රකාශ කිරීමටවත් තවමත් කිසිදු විද්වතකු හෝ වගකිව යුත්තකු ඉදිරිපත් වී නොමැත.

අවම වශයෙන් යාපනයේ වැසියන්ගේ බිය තුරන් කිරීමට හෝ එවැනි ප්‍රකාශයක් යාපනයේ වැසියන්ට මේ අවස්ථාවේදී ලැබීම ඔවුන්ගේ සිතට විශාල සහනයක් වන්නේය.

රටට ආදරේ ඇති විද්වතුන්ට දැන් ඒ සඳහා අවස්ථාව උදා වී තිබේ.

රසාදි චතුරංගි ගමගේ