මට ජීවත් වීම සඳහා මෙවන් අවස්ථාවක් ඉබේම ලැබීම ගැන ම හත් සේ සතුටු වෙනවා

දින හතරක් තිස්සේ දිගින් දිගටම වමනය කරමින් සිටි මයිකල් ක්‍රෝට තවත් වමනය කිරීමට දෙයක් නැතිව ගල් ගැසුනාක් මෙන් ඇසිපිය නොහෙලා එක් දිසාවක් දෙස බලා ගෙන සිටියේ මරණයේ දොරකඩට පැමිණියා මෙන් දැනුණු හැඟීමකිනි.

ඒ අයුරින් මඳ වේලාවක් සිටි ඔහු යළිත් අපහසුවෙන් වමනය කිරිමට සැරසෙනු දුටු ඔහුගේ මව වහාම ඇමරිකාවේ නෙබ්‍රස්කා ජනපදයේ ඔමා නගරයේ පිහිටි නෙබ්‍රස්කා වෛද්‍ය මධ්‍යස්ථානයට මයිකල්ව ඇතුලු කිරීමට වහාම ක්‍රියා කළාය.

මෙය ආමාශයේ පැවති රෝගාබාධයක් නොවීය.

23 හැවිරිදි වියේ පසු වු මයිකල්ට ආමාශ ගත රෝගයක් වැළඳී නැති බවත් එය හදවත සම්බන්ධ රෝගාබාධයක් බව වටහා ගත් වෛද්‍යවරුන් පැවසුවේ හෙතෙම මයෝකාඩයිටිස් නමැති හෘදයාබාධයෙන් පෙළෙන බවය.

එනම් හෘදය වස්තුවේ මාංශ පේෂියක් ඉදිමීම නිසා මෙම රෝගාබාධය ඇතිවන බව ඔවූහු පැවසූහ.

මෙම තත්ත්වය වර්ධනය වුවහොත් හදවතක් බද්ධ කිරීමට සිදුවන බවට වෛද්‍යවරු මයිකල්ගේ මවට පැවසූහ.

හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය දැනට සිදුවන්නේ සියයට 30 ක් පමණක් බවත් හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වය කෙතරම් දුර්වල තත්ත්වයක පවතින්නේද යත් ඔහු ජීවත් කරවීම සඳහා වහාම කෘත්‍රිම යන්ත්‍රයට සම්බන්ධ කිරීම අවශ්‍ය බවකි.

හෘද රෝග විශේෂඥ ඉයුජිනියා රයිෂිලින් වෛද්‍යවරිය පවසා සිටියාය. එම යන්ත්‍රණයේ ආධාරයෙන් රුධිර සංසරණ සිදු කිරීම නිසා සිරුර පුරා රුධිරය පොම්ප කිරීම සිදුවන නමුත් එය තාවකාලිකව කටයුත්තක් බවත් සඳහන් විය.

හැකි ඉක්මනින් හදවතක් බද්ධ කිරීම අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා සිටිය නමුත් දින 17 ක් පමණ ගත වූ පසුව ද එය සිදු කිරීමට නොහැකි වූ අතර ඔහුගේ තත්ත්වය එන්න එන්නම දුර්වල වෙමින් තිබිණ.

ඒ අතර වාරයේදී ඔහුගේ හදවත දෙවරක්ම නැවතිණ. එහෙත් කෘත්‍රිම යන්ත්‍රය නිසා ඔහුට ජීවත් වීමේ වරම හිමි විය.

දින 17 කට පසු මයිකල්ගේ වෛද්‍යවරුනට දුරකථන පණිවිඩයක් ලැබුණු අතර එයින් පවසා තිබුණේ බද්ධ කිරීම සඳහා හදවතක් ලැබී ඇති බවය.

එහෙත් එදින රාත්‍රියේ ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුනට දැකගත හැකි වූයේ ඔහුගේ රුධිරයට විෂබීජයක් ඇතුළු වී ආබාධ තත්ත්වයක් ඇති වී තිබෙන බවය. එම තත්ත්වය යටතේ හදවත බද්ධ කිරීම අවදානම් බවද වෛද්‍ය මතය විය.

මයිකල්ගේ ජීවිතය පිළිබඳ ඔහුගේ මව ඇතුළු පවුලේ උදවිය තුළ පැවති බලාපොරොත්තු සියල්ල සුන් වූ තත්ත්වයකට පත් විය. එහෙත් මයිකල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ රයිෂිලීන් වෛද්‍යවරියට ඔහුගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අමුතු වෙනසක් දක්නට හැකි විය.

කෘත්‍රිම යන්ත්‍රය සම්බන්ධතාවය නිසා ඔහුගේ හදවතේ ක්‍රියාකාරීත්වය වෙනසක් නොවී තිබුණද ඔහුගේ රුධිර පීඩනය ක්‍රමයෙන් වැඩි වන අන්දම ඇයට දැකගත හැකි විය.

රයිෂිලින් වෛද්‍යවරිය ඔහුගේ හදවත් ක්‍රියාකාරීත්ව පරීක්ෂා කිරීම සඳහා විශේෂ පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදී හෙලි වූයේ මයිකල්ගේ හෘදය වස්තුවේ වම් පැත්ත සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබෙන ආකාරයයි.

වෛද්‍යවරයාට එම තත්ත්වය අදහා ගත නොහැකි වූ නිසා එම විශේෂ පරීක්ෂණය දෙවරක් තුන්වරක් කිරීමට නියම කරන ලදී. ඒ සෑම වතාවකම එතෙක් දුර්වල වෙමින් තිබූ හදවත සාමාන්‍ය ලෙසට ක්‍රියාකරමින් තිබෙන අන්දම ඇයට දැකගත හැකිවිය.

මෙතෙක් රෝගි තත්ත්වයට පත්ව තිබූ මයිකල්ගේ හෘදය වස්තුව එය විසින්ම සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබීම හාස්කමක් ලෙස වෛද්‍යවරුන් විසින් පිළිගනු ලැබූ අතර හදවත් බද්ධ කිරීමක් අවශ්‍ය නොවිය.

එසේම රුධිරයට වැළඳී තිබූ වෛරසයද හදවත විසින්ම මර්දනය කර තිබූ ආකාරය ද වෛද්‍යවරුන් පුදුමයට පත් කරවන සුළු සිදුවීමක් විය.

මයෝකාඩයිටිස් රෝගී තත්ත්වයෙන් පෙළුණු බොහෝ රෝගීන් එක්කෝ මරණයට පත්වීමත් නැතහොත් හදවත බද්ධ කිරීමකට මුහුණ දීමට සිදුවන අතර හදවතේ පටක ස්ථීර හානිදායක තත්ත්වයකට ද පත්වීම සිදු වේ. එහෙත් මයිකල් ක්‍රොට ඒ කිසිදු ආබාධයක් නොතිබූ අතර ඔහුගේ රෝගී හදවත ප්‍රකෘති තත්ත්වයට පත් වී තිබිණ.

“මට ජීවත් වීම සඳහා මෙවන් අවස්ථාවක් ඉබේම ලැබීම ගැන මහත් සේ සතුටු වෙනවා.” යැයි පැවසූ මයිකල් දැනට ඖෂධවේදියෙකු ලෙස කටයුතු කරයි.

like page