දැන් ඔබ ගිරිගෝරිස් රාළහාමි නෙවෙයි. ඒ රාළහාමි අවුරුදු හතළිකට කලින් මැරුණා. ඔබ පේ‍්‍රතයෙක්

ධනයෙන් හා බලයෙන් ආඪ්‍ය වූ බලවත්තු අනුන්ගේ දුක් වේදනාවන් ගැන කල්පනා නොකරති. ඔවූහු තමන්ගේ ධනය හා බලය තව තවත් වර්ධනය කර ගැනීමටම කටයුතු කරති. ඔවූහු අනුන්ගේ දුක් කරදර වේදනා ගැන නොසිතති.

ඒ නිසා ඔවුන්ගේ චිත්ත සන්තානවලට ඉඩකඩක්, අවකාශයක් නැත. තමන්ගේ ධනය හා බලය වර්ධනය කර ගැනීමේදී අන් සතු දේ අයිතිකර ගැනීම, අනුන්ට දුක් කරදර පීඩා එළැඹීම ගැන නොසිතීම නිසා ඔවුනට නොදැනුවත්වම සතුරන් ඇති වේ.

කිසිවකුට දුකේදී පිහිටක් වෙමින් ණය තුරුස් ලබා දීම බොහෝ දෙනා සිදු කරනු ලබන ක්‍රියාවලියකි. දුකට කරදරයට පත් වූ කෙනෙකු එළැඹී ප්‍රශ්නයෙන් මිදෙන්නට එසේ ණය ගැනීම් ස්වභාවිකය.

එවැනි මුදලක් උදව්වක උපකාරයක ස්වරූපයෙන් ලබාදී ඒ මුදලට වඩා බොහෝ වැඩි වටිනාකමක් ඇති දේපළක් අයිතිකර ගැනීමට තවත් කෙනෙකු උත්සාහ කරනවා නම් එය මහත් අසාධාරණයකි.

එය අසාධාරණ බව ණයගැතියා පමණක් නොව ණය හිමියාගේ හදවතට ද නොදැනෙනවා නොවේ. අසීමිත තණ්හාව නිසා ඒ සිතුවිලි යටපත් කොට තමන්ගේ ධනය හා බලය ඉන් වැඩි කරගන්නට උත්සාහ දරන්නා දැඩි ලෝබය නිසා මරණයෙන් පසු දුගතිගාමි ව උපදී.

මාලනී අම්පාර ප්‍රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි කාන්තාවකි. සිව් දරු මවකි. පුතා වැඩිමහල්ය. දියණියන් තුන් දෙනෙකි. දරුවන් කුඩා කලම මාලනීගේ ස්වාමියා ඔවුන් අතහැර ගොස් ඇත. කුඩා වෙළඳසලක් පවත්වාගෙන යමින් මාලනී පවුලේ නඩත්තුව ගෙන ගියාය.

මේ දරුවන් හතර දෙනාටම රැකියාවක් හරි යන්නේ ද නැත. විවාහයක් හරියන්නේ ද නැත. නිවසේ නිතර හමා යන දුර්ගන්ධයක් ද පවතී. අසාමාන්‍ය සද්ද බද්ධ ඇහෙන්නට විය. නිවස තුළ දැඩි අඳුරක් පවතී. අඳුරු ඡායාවක් නිවසේ එහා මෙහා ගමන් කරන අයුරු නිවැසියන්ට පෙනේ.

මේ තත්ත්වයෙන් මිදෙන්නට වත් පිළිවෙත් ශාන්ති කර්ම කීපයක් කළද ඒවායින් පසු පවුලේ අය අතර මත ගැටුම්, නොරුස්නාකම්, වැඩි වෙන්නට වූහ.

කරන ලද ප්‍රතිකාරවලින් සහනයක් නොවූ බැවින් මාලනී පවුලේ ඥාතියකු සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසුණු ඇය තමන්ට එළැඹ ඇති අසහනකාරී තත්ත්වය පැහැදිලි කළාය.

මූලික පරීක්ෂාවේදීම මාලනී පැද්දෙන්නට වූවාය. ඇයට භූත දෝෂයක් හෙවත් අමනුෂ්‍ය බලපෑමක් ඇති බව පැහැදිලි වූයෙන් දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා ඇයට උපදෙස් දුන්නේය.

බෝධි පූජාව පැවැත්විය යුතු අකාරයද පැහැදිලි කර දුන්නේය. ගමේ විහාරස්ථානයේ ඔවුන් පදිංචි නිවසට නුදුරෙහි ම පවතින බැවින් එය පහසුවෙන් කළ හැකි බවද ඇය කීවාය.

බෝධි පූජා අවසන් කොට ඊළඟට පැමිණෙන දිනයේ දරුවන් හතර දෙනා ද කැඳවාගෙන එන්නැයි ගවේෂකවරයා ඇයට නියම කළේය.

ඊළඟට පැමිණි දිනයේ මාලනී දරුවන් හතරදෙනා ද කැඳවාගෙන පැමිණියාය. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට පවුලේ පස් දෙනාම වෙව්ලන්නට වූවාය.

මාලනී වෙව්ලා බිම හිඳගත්තාය. පුතා ගොරෝසු කට හඬකින් “මගේ දේපළ…. මගේ දේපළ” යැයි කියමින් ගොරවන්නට විය. දියණියන් තිදෙනාට ද භූතාත්ම ආවිශ්ට වී විකාර කරන්නටත් අඬන්නටත් වූහ.

ගවේෂකවරයා පළමුවෙන් මාලනී ගේ පුතා පරීක්ෂාවට ලක් කර ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ?”

“මම ගිරිගෝරිස් රාළහාමි”

“කවුද ගිරිගෝරිස් කියන්නේ?”

“ගිරිගෝරිස් නොවෙයි. ගිරිගෝරිස් රාළහාමි. මම මේ මාලනීගෙ සීයා.”

“ඇයි මේ අයට කරදර කරන්නේ? ”

ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“කරදර කරන්නේ නෑ. මම මගේ ඉඩකඩම් බලාගෙන මේ ගෙදරට වෙලා ඉන්නවා.”

භූතාත්මය කීවේය.

“ඔබ මැරිලා දැන් කොයිතරම් කාලයක් වෙනවද?”

“අවුරුදු හතළිහකට වැඩියි.”

“දැන් ඔබ ගිරිගෝරිස් රාළහාමි නෙවෙයි. ඒ රාළහාමි අවුරුදු හතළිකට කලින් මැරුණා. ඔබ පේ‍්‍රතයෙක්.”

“මෙනවා? මම පේ‍්‍රතයෙක්?

“ඔව්, ඔබ පේ‍්‍රතයෙක්. ඔබ මොනවද ආහාරයට ගන්නේ?”

“මේ කෙල්ලන්ගේ ශරීරවල දේවල්”

“ඒක තමයි පේ‍්‍රතයෙක් කීවේ. දෙවිවරු නම් ඔය ජරාව කන්නේ නෑ. දෙවියෝ ආහාරයට ගන්නේ අමෘතය. ඔබ නිසා මේ අයට කරදරයි. කරුණාකර ඉවත් වෙලා යන්න.”

“මමත් කැමතියි නිදහසේ ඇවිදින්න. ඒත් මට යන්න බැහැ. බන්ධනයකට හිර වෙලා ඉන්නේ?”

“මොකක්ද බන්ධනය. කවුද බන්ධනය කළේ?”

“අපේ ගමේ මිනිහෙක්. මම ඒ මිනිහගෙ ඉඩමක් උකසට ලියාගෙන මුදලක් දුන්නා. ඒ ඉඩම ආපහු සල්ලි දීලා බේරගන්න ආපු වෙලාවේ ඉඩම බොහොම වටින නිසා මම මඟ ඇරියා. ඉඩම මට සින්න වුණා.

ඒ තරහට ඒ මිනිහා බන්ධනයක් කළා. ඒ බන්ධනයෙන් නිදහස් වෙන්න බැරුවයි මම ඉන්නේ. මේ ගෙදර මැරෙන මැරෙන අය මෙතනම හිර වෙලයි ඉන්නේ.”

පේ‍්‍රතයා ගවේෂකවරයා ඉදිරියේ කියාගෙන ගියේය.

වැඩිමහල් දියණිය දිෂ්ටි ගැන්වූ ගවේෂකවරයා ඇගෙන් මෙසේ ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරය තුළ ඉන්නේ?”

“මම පියදාස. මේ ගෙදර වැඩ කළේ මමයි.”

“ඇයි මේ ශරීරයට රිංගා ගත්තේ?”

“මම මේ ලොකු මැණිකෙට ආසා නිසා මේ ශරීරයට වෙලා ඉන්නවා.”

ඊළඟට මද්දුම දුව දිෂ්ටි ගැන්වූ ගවේෂකවරයා ඇයගේ ශරීරය තුළ ඉන්නා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“කවුද මේ?”

“මම සීලවතී. මාලනීගෙ ආච්චි. ගිරිගෝරිස් රාළහාමිගෙ බිරිඳ.”

“ඇයි මේ අය අතහැර නොයන්නේ?”

“අනේ ….! මහත්තයා මට පන්සලකට වත් යන්න බැහැ.”

“ඒ මොකද?”

“අපේ රාළහාමිගෙ අසාධාරණ වැඩ නිසා. අපි මේ ගෙදරම හිර වෙලා දුක් විඳිනවා. මේ කෙල්ලන්ගෙ ශරීරවලින් යැපෙනවා.”

ගවේෂකවරයා ඊළඟට බාල දුව දිෂ්ටි ගැන්වීය.

“කවුද තමන්ගේ ශරීරයට රිංගාගෙන ඉන්නේ?”

“මම චන්ද්‍රලතා. මාලනීගෙ අක්කා. මම විතරක් නෙවෙයි මේ ගෙදර මැරුණු හැමදෙනාම මේ ගෙදරම ඉන්නවා.” ඇගේ ප්‍රේතියද කීවාය.

මාලනීගේ ශරීරයේ ඇගේ මෑණියන්ගේ භූතාත්මය සිර වී සිටියාය.

ගවේෂකවරයා නැවතත් පුතා දිෂ්ටි ගන්වා ගිරිගෝරිස් ගේ භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“ඔබ මොනවා වෙලාද මැරුණේ.”

“ මම, මට සින්න වුණ ඉඩමකට ගිහින් එනකොට විශාල වඳුරෙක් මගේ ඇඟට පැන්නා. එතැන වැටිලා මම මළා.

“අවුරුදු හතළිස් ගණනක් තිබුණු දෝෂයක් එක් වරම ඉවත් කරන්න අමාරුයි. හැම කෙනෙක්ගේම ශරීරවල ශක්ති වළල්ල දුර්වල වෙලා.

පස් දෙනාම ගිහින් බෝධි පූජා තවත් විසි එකක් පවත්වලා චෛත්‍යය ළඟට ගිහින් පැය හතරක් තුන් සූත්‍රය කියන්න.

ඒ වගේ මාස දෙකක් හැමදාම නොවරදවා පැය හතර ගණනෙ වෛත්‍යයට සමීපව ඉඳගෙන පිරිත් කියන්න” යැයි ගවේෂකවරයා ඔවුන් හැමටම උපදෙස් දෙමින් කීවේය.

නිවසටත් නිවැසියන්ටත් ආධ්‍යාත්මීය ආරක්ෂාව යෙදූ ගවේෂකවරයා නිවසේ කළ යුතු වත් පිළිවෙත් කිහිපයක් ද ඔවුන්ට කියා දුන්නේය. මාස දෙක අවසන් වනවිට සියල්ලගේම සුවපත්ව සිටියහ.

මතුගම මහින්ද විජේතිලක