2050 දී ලංකාව ගැන හෙළිදරව්වක්

කාලගුණය රුදුරු වී ඇත. සොබාදහම අභිභවා යෑමට මිනිසා ගත් උත්සාහයේ ප්‍රතිඵල ඇස් පනාපිට ඔප්පු වෙමින් පවතී. ලෝක කාලගුණ සංවිධානය පවසන පරිදි 70 දශකයේ සිට 21 වැනි සියවස ආරම්භය දක්වා ගංවතුර, නියඟ, කුණාටු හා උණුසුම් වායුධාරා නිසා ප්‍රබල විපත් 743ක් වාර්තා වී ඇත.

නමුත් 2000 – 2010 කාලය තුළ පමණක් එවන් ප්‍රබල විපත් ප්‍රමාණය 3496ක් දක්වා ශීඝ්‍ර වර්ධනයකට ලක්ව ඇත.

එසේම දේශගුණ විපර්යාස පිළිබඳ රාජ්‍ය මණ්ඩලය (ධ්ර්ථීඛ්ඛ්) පවසන පරිදි 2100 වන විට පැසිෆික් සාගරයේ ජල මට්ටම මීටර් 0.19 සිට මීටර් 0.58 දක්වා ඉහළ යනු ඇත.

මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ඉරණම කෙබඳු වනු ඇතිද යන්න පිළිබඳ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ජිනදාස කටුපොත මහතා සමඟ සංලාපයකට එක්විය. එහිදී ඔහු පැවැසුවේ මෙවැන්නකි.

ඇත්ත වශයෙන්ම ලෝක මට්ටමේ කාලගුණ විද්‍යාඥයන්, මුහුදු මට්ටම් පිළිබඳ අධ්‍යයනය කරන අය, සාගර විද්‍යාඥයන් වගේම භූගෝල විද්‍යාඥයන් වගේ හැමෝම අනුමාන කරලා තියෙනවා 2050 වන විට මුහුදු මට්ටම දැන් තියෙනවාට වඩා මීටර් 3ත් 5ත් අතර ප්‍රමාණයකින් වැඩිවෙයි කියලා.

ඒකට හේතුව තමයි ලෝකයේ තිබෙන කඳුවල තියෙන ග්ලැසියර දියවෙන්නට පටන් ගැනීම. මේක නතර කරන්න කාටවත් බැහැ. දැන් වෙලා තියෙන පාරිසරික හානි දිහා බලද්දී මේ දේ ඉදිරියට වෙන්න පුළුවන්.

නමුත් මේ එක්ක අපිට මේක අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා උදම් දත්ත ආශ්‍රයෙන්. නමුත් උදම් දත්ත එකතු කර ගන්න ලංකාවේ තැනක් නැහැ. ඒක නිසා උදම් තත්ත්වය වැඩි වුණාම ජල ගැලීම් ඇතිවෙනවා කියනදේ ඒ වෙලාවට කියන දෙයක් පමණක් බවට පත්වෙලා. මේ ගැන සවිස්තරව කියන්න දත්ත කාළඟවත් නැහැ.Image result for sea level rise sri lanka

‘සාමාන්‍යයෙන් උදම් දත්ත එකතු කරන්න ඕන වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වරායේ, නාවික හමුදාව වගේම මුහුද හා ගොඩබිම ගැටෙන මිනිසුන් අතර තියෙන්න ඕන. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංගා නඩත්තු කරන නිසා ඒ අයත් දැනගන්න ඕන. නමුත් ඒ කවුරුත් ළඟ මේ උදම් දත්ත නැහැ.

නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය උදම් දත්ත කියන්නේ මොනවද කියලවත් දන්නවාද කියලා විශ්වාස කරන්න බැහැ. මොකද අපේ රටේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තියෙන්නේ ආපදාවක් වුණාම කීදෙනෙක් මැරුණද, කී දෙනෙක් යට වුණාද, ගෙවල් කීයක් කැඩුණද කියලා කියන්න විතරයි. ඒ අය හැමදාම කළේ ඒක.

මේ හැම තොරතුරක්ම අන්තර්ජාලයේ තියෙනවා. ඒවා විදේශීය කාලගුණ විද්‍යාඥයෝ වගේ අය ඉදිරිපත් කරපු පුරෝකථන. ඒ පුරෝකථන කරපු දත්ත අනුසාරයෙන් දෛනිකව, සතිපතා, ඒ වගේම චන්ද්‍ර මාසයට ගැළපෙන සති හතරේ දත්ත ගැන කියන්න පුළුවන්. ඒ ඇසුරින් අන්තර් මෝසම් කාල, මෝසම් කාල තුළ සිදුවෙන තත්ත්වයන් ගැන පුරෝකථන කරන්න පුළුවන්. නමුත් දැන් ඇතිවන එල්නිනෝ සහ ලානිනෝ තත්ත්ව නිසා මේ පුරෝකථන පවා වෙනස් වෙන්න පුළුවන්.

නමුත් මම කලින් කිව්වා වගේ මුහුදු මට්ටම ඉහළ යෑමට විශාලම බලපෑම සිදුවෙන්නේ ග්ලැසියර දියවීම නිසයි. අපිට මේ දේවල් පාලනය කරන්න බැරිවෙයි. නමුත් මේ දේවල් අනුසාරයෙන් ඇතිවෙන සංසිද්ධි වන ගංවතුර, නායයෑම් පාලනය කරන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ. මොකද අපි ඒ දේ සඳහා හැඩගැසුණු ජාතියක් නෙවෙයි. ඒකට හේතුව තමයි අපි හැඩගැහිලා ඉන්නේ දේශපාලනඥයන් කියන විදිහට වැඩ කටයුතු කරන්නයි.

ආකල්පමය වෙනසක් ඇති කරලා විද්වතුන් හා පර්යේෂකයන් ඉදිරිපත් කරන තොරතුරුවලට අනුව තීන්දු තීරණ ගත්තොත් විතරයි අපිට ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ.

උදම් රළ රට තුළට ඇතුළු වෙන එක වළක්වාගන්න බැරි වර්ෂා කාලයට විතරක් නෙවෙයි. වර්ෂා පතන කාලයේදී ගංවතුර බස්සවා ගන්න බැරිවෙලා තියෙනවා වගේම වියළි කාලයේදී ගංගා දිගේ රට තුළට මුහුදු ජලය උඩුගම්බලා යන දේ සිදුවෙනවා.

ගංගාවල වැලි හාරනකොට, ගංගා හාරලා හාරලා ගංගා ගැඹුරු කරන කොට, ඉවුරු කපලා වෙරළ බඩ ප්‍රදේශ පහත් බිම් බවට පත් කරන කොට මොකද කරන්නේ. මේවා වළක්වන්න නීති රීති කොච්චර තිබුණත් කරන්න බැරි සාමාන්‍ය මිනිස්සු නොවේනේ. වැලි ට්‍රැක්ටර් ගංගාවට බස්සලා බැකෝවලින් වැලි කපනවා. නමුත් මේවා පාලනය කරන්න පොලිසියටත් බැහැ. ඒ නිසයි අපි කියන්නේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි කියලා.

පර්යේෂකයෝ, විද්‍යාඥයෝ ඉදිරිපත් කරන දත්තවලට අනුව සැලසුම් සකස් කරනවා නම් ගැටලු අවම කර ගන්න පුළුවන්. නමුත් අද සමහර විද්වත්තු පර්යේෂණ කරන්නේ දේශපාලකයන්ව. ඒ නිසා හරිහැටි දත්ත එන්නේ නැහැ. මොකද සමහරවිට පර්යේෂකයෝ පර්යේෂණ කරන්නේ තමන්ට අදාළ විෂය ක්‍ෂේත්‍රයේ නෙවෙයි.

මධ්‍යම පරිසර අධිකාරියේ තියෙන පරිසර තත්ත්ව වාර්තා භාරදීලා තියෙන අයගේ නාමලේඛන බලපුවාම ඒක ඔප්පු වෙනවා. තමන්ගේ සුදුසුකමට නොගැළපෙන විදිහට දේශපාලනඥයන් සතුටු කරන්න තමයි ඒ පරිසර තත්ත්ව වාර්තා ගොඩක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

2050 විතර වෙද්දී මුහුදු ජල මට්ටම ඉහළ යෑම සිදුවෙද්දී සමහර රටවලට ඒක එක පාරටම බලපාවි. තව රටවලට සෙන්ටි මීටර් ගාණකින් බලපාවි. හැබැයි අපේ රට ආශ්‍රිතව සෙන්ටි මීටර් 10ත් 15ත් අතර ප්‍රමාණයක් වැඩිවුණත් අපේ රටට බලපාන්න පුළුවන්.Image result for tsunami wave

එතකොට අපේ රටේ වෙරළබඩ තියෙන කුඹුරුවල ලවණ මට්ටම ඉහළ ගිහින් ඒවායේ ගොවිතැන් කරන්න බැරිවෙලා ලවණ බිම් බවට පත්වෙයි. ලවණ බිම් තියෙන ඒවා ලවණ විල් බවට පත්වේවි. එතකොට භූමි හිඟයක් ඇති වෙන්න පුළුවන්. ඒවා දේශපාලනඥයන්ට නම් වැදගත් වෙයි. මොකද පහත් බිම් මණ්ඩලයට එහෙම එතකොට ඒ බිම් ගොඩකරලා විකුණන්න පුළුවන්නේ.

කොහොමත් මීටර් 3 – 5 අතර ප්‍රමාණයකින් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදේ ජල ප්‍රමාණය ඉහළ ගියොත් වරාය නගරයේ සැලසුම පවා වෙනස් කරන්න වෙනවා. කොළඹ වරායට මොකද වෙන්නේ. ඒවා යටවෙනවා. එතකොට මුහුදු වතුර පූගොඩ දක්වා නෙවේ එතනින් එහාටත් යාවි ගංගා දිගේ. ඕවා දේශපාලඥයන්ට සල්ලි හොයන මාර්ග කර ගන්න පුළුවන්.

ලෝක මට්ටමෙන් සිදුවෙන දේශගුණ වෙනස්කම් ඉතින් අපිට නතර කරන්න බැහැ. දැන් ඔය කියන විදිහට මුහුදු ජල මට්ටම ඉහළ යනවා වෙනුවට මුහුදු මට්ටම පහළ ගියොත් මොකද වෙන්නේ? කොළඹ වරායට නැව් එන්න ඇළවල් කපන්න වේවි. මුහුදු මට්ටම පහළ යෑම් මීට කලින් වෙලා තියෙනවා. ඉහළ යෑම් වෙලා තියෙනවා.

ඔය ප්‍රමාණයට මුහුදු ජල ප්‍රමාණය ඉහළ ගියොත් ලංකාවේ හුඟක් මුහුදු බඩ ප්‍රදේශ ජලයෙන් යටවේවි. ඒක සමහර තැන්වලට විශාල ප්‍රමාණයක් වෙලා සමහර තැන්වලට අඩුවෙන් බලපාන්න පුළුවන්. නමුත් ඒ සුළු හෝ වැඩිවීම අපිට ලොකුවට බලපානවා.

ඊට පස්සේ ඇතිවන සංසිද්ධිවලට අපිට හැඩ ගැහෙන්න වෙනවා. හැබැයි මේ යන විදිහට ගියොත් නම් නායයෑම්, ගංවතුර කිසිම දෙයක් පාලනය කරන්න බැරිවෙනවා.

හැබැයි මේ හැම දෙයක් පිළිබඳ අපි දැන් ඉඳන්වත් තොරතුරු එකතු කරන්න පටන් ගන්න වෙනවා. මම කියන්නේ ලංකාවේ ඉන්න විවිධ ක්‍ෂේත්‍රවල විද්‍යාඥයන්ගේ දැනුමෙන් ප්‍රයෝජන ගැනීම දැන් ආරම්භ කළ යුතු වෙනවා.

මේ වෙද්දී ලංකාවේ හිටපු පරිසර ඇමැතිලත් එක්ක පාර්ලිමේන්තුවේ පරිසර ඇමැතිලා පහක්ද හයක්ද ඉන්නවා. හැබැයි ඒ අයට පරිසරය ගැන තියෙන දැනුම මොකක්ද මේ යන විදිහට කවදාවත්ම මේ රට හදන්න බැහැ.

ඒ නිසා රටේ අවශ්‍යතාව වෙනුවෙන් පර්යේෂණ කරලා ඒවායේ තොරතුරු හරහා සැලසුම් සකස් කළ යුතු වෙනවා.

දිලංක ගුණතිලක