එක මල්ලි කෙනෙක් අවුරුදු 21ක් වෙනකම් අම්මාගෙන් කිරි බිව්වා

පොළෝ තලයත්, උඩු ගුවනත් දෙක අතර වූ අන්තරීක්ෂයේ සැරිසරනවා යැයි කියැවෙන භූතයෝ ඈත් සිටිත්ද? එහි විනිශ්චය ඔබට භාර කරමින් අප මේ සටහන් තබන්නට යන්නේ භූතාවේශයෙන් එකම පවුලේ දහසය දෙනකුම මියගිය බවට විශ්වාස කරන පවුලක් පිළිබඳවය.

මේ සියලුදෙනා මියගොස් ඇත්තේ අවුරුදු තිහක් වැනි කෙටි කාලයක් තුළදීය. මේ පවුලේ දැන ජීවතුන් අතර සිටින සාමාජිකයන් සොයා පසුගියදා අපි අඹන්පොළ, තරණගස්වැව ප්‍රදේශයට ගියෙමු. මේ පවුලේ ආසන්නම කාලයේ මියගිය අය වන්නේ පී.එන්. මහේෂ් ප්‍රියලාල් නැමති තිස් හතර හැවිරිදි එක්දරු පියාය.

ඒ පසුගිය හත්වැනිදාය. ඔහුගේ මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් පවුලේ ඥාතීන් ප්‍රකාශ කර සිටියේ භූත ආවේශයක් නිසා ඔහු මියගිය බවකි.

කෙසේ වෙතත් මියගිය මහේෂ් ප්‍රියලාල්ගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කිරීමට හදිසි මරණ පරීක්ෂකවරයා කටයුතු කොට තිබුණ අතර ඒ වෛද්‍ය වාර්තාවේ ද සඳහන් කොට ඇත්තේ මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවය.

පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාව නිසාම මේ අද්භූත මරණ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අපට තිබූ කුකුස වැඩි විය.

මහේෂ් ප්‍රියලාල්ගේ මරණය සිද්ධ වුණේ කොහොමදැයි අප ඇසුවේ මේ පවුලේ සාමාජිකාවක ව පී.ජී. කමලාවතී (අවුරුදු 49) මහත්මියගෙන්ය.

මහේෂ් ප්‍රියලාල් කියන්නේ මගේ දෙවැනි අයියාගේ පුතා. පුතා පුංචි කාලෙම එයාගේ තාත්තා මැරුණා. පුතාව හදා වඩා ගත්තේ අම්මයි, අක්කයි, මායි එකතුවෙලා. එයාගේ අම්මා වෙන කසාදයක් කරගත්තා. මහේෂ් පුතාට ඔය භූත දිස්ටිය ආවේ දැනට අවුරුදු තුන හතරකට පෙර.

දිස්ටිය වැටුණු අවස්ථාවල ඔහු මායම් වෙනවා. එයාගේ තාත්තාගේ කටහඬින් කතා කරනවා. එහෙම වෙලාවට “අල්ලයි මං. මං නම් අල්ලන්න බෑ…” වාගේ කතා කියනවා. ආවේශ වුණාම අපටත් කුණුහරුපයෙන් බණිනවා. මේවාට එක එක වෙදකම්, සාත්තු කිරීම්, ශාන්තිකර්ම කළා. පුතා මියයන්ඩ සති දෙකකට විතර කලිනුත් සාත්තුවක් කළා. ඒත් සුවයක් වුණේ නෑ.

මහේෂ් පුතාට භූත බැල්ම වැටෙන දවස්වලට එයයි, පුතාගේ බිරිඳයි අතදරුවයි නිදාගන්ඩ යන්නේ අපේ අක්කලාගේ ගෙදරට. අපි ඔක්කොම කිට්ටුව තමයි පදිංචිවෙලා ඉන්නේ. පහුගිය හත්වැනිදා හවසත් මේ තුන්දෙනා අක්කලාගේ ගෙදරට රෑට නිදාගන්න ගිහින් තියෙනවා.

හැබැයි මහේෂ් පුතා ආපහු තමන්ගේ ගෙදරට ඇවිත් තියෙනවා. පහන පත්තු කරලා එන්නම් කියලා තමයි ආපහු ගිහින් තියෙන්නේ.

පහුවෙනිදා උදේ මම අක්කලාගේ ගෙදර ගියා. මහේෂ්ට අපි කියන්නේ (ලාල්) කියලා. මම අක්කාගෙන් ඇහුවා (ලාල් කෝ..) කියලා. (ඊයේ හවස ඇවිත් ආපහු ගෙදර ගියා. තාම ආවේ නෑ.) කියා අක්කා කීවා. මම ආපහු අපේ ගෙදර එන ගමන් ලාල්ගේ ගෙදරට ගියා.

දොර අඩවල් කරලා තිබුණේ. මම (ලාලෝ.. ලාලෝ…)කියලා කතා කළා. ශබ්දයක් නෑ. මම දොර ඇරගෙන ඇතුළට ගියා. ලාල් පුටුව උඩ නිදාගෙන වාගේ හිටියා. මම නැවත කතා කළත් ඔහු කතා නෑ. පස්සේ මම ඔහුගේ ඇඟට අත් දෙක තියලා සෙලෙව්වා. ඒත් මුළු ඇඟම දරදඬු වෙලා. මම දැනගත්තා ලාල් මියගිහින් බව.

මම හයියෙන් කෑගැසුවා. ලාල්ගේ සිරුර කපාපු දොස්තර මහත්තයත් මරණයට හේතුවක් දීලා නෑ. භූත බැල්ම නිසාම තමයි ලාල්ගේ මරණය සිදු වුණේ.)

මීට පෙර මියගිය ඔබේ පවුලේ අනෙක් අයගේ මරණත් සිදුවුණේ එහෙමදැයි අපි ඇගෙන් විමසා සිටියෙමු.

අපේ තාත්තාගේ මරණය සිද්ධවෙනකොට මට වයස අවුරුදු පහළොවක් විතර ඇති. තාත්තා නම් මියගියේ උණ වසංගතයක් හැදිලා. එතකොට තාත්තට වයස අවුරුදු හැටක් විතර ඇති. තාත්තාගේ නම පී.ජී. පංචා. තාත්තාගේ මරණයෙන් පස්සේ අපේ පවුලට කරදර එන්ඩ එන්ඩ වැඩි වුණා.

තාත්තා මියගිහින් අවුරුදු තුනහමාරකට හතරකට විතර පස්සේ අපේ ලොකු අයියා මියගියා. ලොකු අයියා බැඳලා දරුවනුත් හතර දෙනෙක් හිටියා. මැරෙනකොට අයියට වයස අවුරුදු තිස්පහක් විතර ඇති. පී.ජී. කීර්තිසේන තමයි අයියගේ නම.
දවසක් උදේක අයියා නහයෙන්, කටින් ලේ දාගෙන සිහියක් පණක් නැතිව මිදුලේ වැටිලා සිටියා.

අමනුෂ්‍ය දෝෂයක් නිසා මෙහෙම වෙන්න ඇති කියලා අයියාට සාත්තුවක් (ශාන්තිකර්මයක්) කළා. සුව වුණේ නෑ. පස්සේ කුරුණෑගල මහ ඉස්පිරිතාලයට අරන් ගියා. වාට්ටුවේ නතර කරගෙන ප්‍රතිකාර කළා. මොළයට ඔපරේෂන් පවා කළා. දොස්තර මහත්තුරු කියන්නේ අසනීපයක් නෑ කියලා. අන්තිමට සනීප කරන්න බෑ කියලා ගෙදර ගෙනාවා.

මාස නමයක් විතර හරි සිහිකල්පනාවක් නැතිව හිටියා. අයියා බැඳලා හිටිය අක්කගේ පැත්තේ අය පවා ඇවිත් සාත්තුවක් කළා. ඒත් වැඩක් වුණේ නෑ.

දවසක් අක්කා අයියව එළියට අරන් ගිහින් තියෙනවා. ඒ වෙලාවේ අයියා අක්කට කියලා තියෙනවා (මේක උඹෙයි මගෙයි කරුමයක්. ඉක්මනට මාව ගෙට අරන් පලයන්.) කියලා. ගේ ඇතුළට ගෙනාවා විතරයි අයියා මියගියා.

ඊට පස්සේ මගේ දෙවැනි අයියා වන පී.ජී. ජයා අයියා මියගියා. ඒ අයියත් බැඳලා හිටියේ. අයියා කඩයක් දාගෙන හිටියා. ඊට අමතරව ලොකුවට හේන් වගා කළා. අක්කර පනහක් විතර හේන් කළා.

කුලියට පවා මිනිස්සු දාගෙන තමයි ඒවායේ වැඩ කළේ. ඔය අතරේ තමයි අයියට ටික ටික පිස්සු වාගේ හැදීගෙන ආවේ. ඒකත් දිස්ටියක්. දිස්ටිය වැඩි වුණාම (කවුදෝ එනවා) කියලා රෑ තිස්සේ කැලෑ ගාණේ, වැව් පිටි ගාණේ දුවනවා.

ඉතින් අක්කත් ඒ පස්සේ දුවලා ගිහින් අයියව අල්ලාගෙන ආපහු ගෙදරට එක්ක එනවා. රෝගය හැදුණාම අක්කත් එක්ක රණ්ඩු කරනවා. අක්කට ගහනවා.

ඔය විදිහට එක දවසක් අක්කට ගහලා අයියා වැව්පිටිය පැත්තට දුවලා තියෙනවා. ආයි මහගෙදරට ඇවිත් අම්මට කතා කරලා (අම්මේ අම්මගේ පුතා ඉවරයි) කියලා මැහිතෙල් (කෘමිනාශක) බීලා මැරැණා. අර විදිහටම අයියටත් සාත්තු කළා. සුර, නූල් එහෙම දාපුහාම ඒවා කඩලා විසි කරනවා.)

පී.ජී. හපු මහත්මිය මේ පවුලේ තුන්වැනි සාමාජිකාවයි. පවුලේ වැඩිමල් දියණිය ද ඇයයි. සිව්දරු මවක වූ ඇය මියයන විට තිස්පස් වැනි වියේ පසු වූ ගැබිණියක බවද කමලාවතී මහත්මිය කීවාය.

(හපු කියන අපේ ලොකු අක්කා මියගිහින් දැන් අවුරුදු විසිපහක් විතර ඇති. අක්කත් මුලින් මුලින් දොඩවන්ඩ පටන් ගත්තා. සමහර දවස්වල බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. විකාරෙන් වගේ කියවනවා. අන්තිමට එයත් මැහිතෙල් බීලා මැරුණා.)යි පී.ජී. කමලාවතී මහත්මිය කීවාය.

මියගිය පී.ජී. ජයා මහතාගේ දියණියක වතුර වළකට වැටී මියගොස් ඇත්තේ ඉන් පසුවය. ඇය මෑතකදී මියගිය මහේෂ් ප්‍රියලාල්ගේ නැගණියක වූවාය. ඇගේ මරණයෙන් පසුව මියගොස් ඇත්තේ පී.ජී. රංජිත් තිලකරත්නය.

මේ ඒ මරණය සම්බන්ධයෙන් කමලාවතී මහත්මිය කී කතාවයි.

(රංජිත් කියන්නේ මගේ එකකුස උපන් මල්ලි. මල්ලි මියයන විට එයාට වයස අවුරුදු විසි එකයි. ඒ විසිඑක් අවුරුද්ද තුළම මල්ලි අම්මාගෙන් මව්කිරි බීවා. ලොකු වුණාට පස්සේ වුණත් මල්ලිට බඩගිනි හැදුණාම දුවගෙන ඇවිත් හිටගෙනම අම්මගේ තනෙන් කිරි උරනවා.

අනේ අපේ අම්මටත් ඒ තරම් කිරි තිබුණා. දරුවන්ට විතරක් නෙමෙයි, මුනුබුරු මිනිබිරියනුත් අම්මාගෙන් කිරි බීවා. අන්තිමට කිරි එරෙන එක නතර කරගත්තේ බේත් කරලා.

අර අයට වගේම මල්ලිටත් භූත බැල්මක් තිබුණා. ලෙඩේ හැදුණාම මායම් වෙනවා වාගේ හැසිරෙනවා. අවුරුදු හතරක් විතර ඔය තත්ත්වය තිබුණා. අන්තිම කාලය වෙනකොට ඒ ලෙඩේ හැදුණාම මල්ලිව බේරන්නම බෑ.

හැමතැනම දුවනවා. අපි ඔක්කොටම ගහනවා. ඒ නිසා දිස්ටිය තියෙන දවස්වලට මල්ලිගේ කකුල් බැඳලා ගේ ඇතුළෙ තියාගෙන ඉන්නවා.

මේ මගේ දෑහින්ම දැක්ක දෙයක්. දවසක් අර විදිහට මල්ලිගේ අත් කකුල් ගැටගහලා ගෙට දාලා හිටියා. මල්ලි පැනලා යාවි කියලා හිතලා මම දොරකඩටම දර ටිකක් ගෙනත් පලමින් හිටියා. ඒ ඉන්නකොට (කමලක්කේ මාව වැටෙයි) කියලා මල්ලි කෑගැහුවා.

මම ඇතුළට ගිහින් බලද්දි මල්ලි මුදුන් බිත්තියයි, තලාදය අතරයි හිරවෙලා හිටියා. මට කෑගැසුණා. පස්සේ අහළ පහළ අය ඇවිත් ඉණිමඟක් තියලා මල්ලි බිමට ගත්තා. අර කකුල් ගැටගහපුවා එහෙමම තියෙනවා.

මල්ලි පියවි සිහිය ආ විට ඒ ගැන අහපුවාම කීවේ කවුද කෙනෙක් පද්දල, පද්දලා උඩට ගන්නවා වාගේ දැනුණා කියලයි. ඉතින් උඩ තිබ්බ කෙනෙක් නෑ. මේ ඉතින් භූත දෝෂ නෙමෙයිද? ඒ සිද්ධිය මේ ඇස් දෙකෙන් මම දැක්කානේ.

දවසක් මල්ලිට මගේ පොඩි දුව බලාගන්න කියලා මම ටවුමට ගියා. මෙයා ටික වෙලාවක් දුව බලාගෙන ඉඳලා දුව වඩාගෙන ගිහින් අම්මට දීලා ගේ පිටුපසට ගිහින් මැහිතෙල් බීලා. පෙවිලා තියෙන්නෙත් පොඩ්ඩයි. ඒත් රෝහලට අරගෙන ගියාට පස්සේ එයත් මැරුණා.

අපේ අම්මගේ නම කේ.පී. සිරියාවතී. ඇඟපත සවි ශක්තිමත්. ගහක් ගලක් වාගේ හිටියේ. මං කලිනුත් කීවේ හොඳට කිරි තිබුණා කියලා. අන්තිමට අම්මත් ඔහේ බලාගත් අතේ බලාගෙන ඉන්ඩ පටන් ගත්තා. සමහර වෙලාවට ඇස් ලොකු කරමින් බලනවා. හිටි අඩියේ අම්මත් පැත්ත වැටුණා. (රෝගාතුරු වුණා) අම්මව කුරුණෑගල මහ ඉස්පිරිතාලෙට අරන් ගියා. දවස් දෙකයි හිටියේ. අම්මත් මියගියා.

ඊළඟට මැරුණේ අපේ ලොකු අක්කගේ පුතා. එයා පී.පී. කුලරත්න. පුතා මැරෙනකොට වයස අවුරුදු තිස්තුනයි. එයාටත් දිස්ටියක් වැටිලා තිබුණා. අන්තිමට එයත් මැහිතෙල් බීල මැරුණා. ඉස්පිරිතාලේට අරන් යද්දි මඟදි තමයි පුතා මැරුණේ. ඒ මීට අවුරුදු තුනකට කලින්.

ඔය අතරතුර අපේ පවුලේ සහෝදර සහෝදරියන්ගේ දරුවන් තුන් දෙනෙක් මියගියා. ඉපදිලා දවස් තුන හතරක් යනකොට මැරෙනවා. අපේ ඩිංගිරි අම්මා ලොකු අක්කාට බබෙක් ලැබෙන්න දින ගතවෙලා තිබුණා. එහෙම ඉද්දි දවසක් කවුදෝ ඇවිත් අක්කාගේ බඩ අතගාලා කියලා තියෙනවා (මේ කුසේ ඉන්න එකා කනවා) කියලා. පහුවදාම බඩේ හිටපු දරුවා මැරුණා.

මේ ඊයේ පෙරේදා මැරුණ මහේෂ් පුතාගේ සිරුර ගෙදරට ගෙනාපු දවසේම මගේ ලොකු අක්කා (ඩිංගිරි අම්මා) අමුතු වෙන්ඩ පටන් ගත්තා. අක්කා විකාරෙන් වගේ කියවනවා. එයාට කවුද මිනිහෙක් ඇවිත් කියනවාලු ( කොල්ලා ඉන්න තැනට එන්ඩ) කියලා. දැන් අක්කත් රෝගාතුර වෙලා.

අපේ පවුලේ මේ මරණ ඔක්කොම සිද්ධවුණේ අවුරුදු තිහක විතර කාලයක් තුළ. අපි මේ ගමේ හොඳට හිටපු පවුලක්. අපට ඉඩකඩම් යහමින් තිබුණා. අපේ පවුලට බන්ධනයක් බැඳලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මැරෙන මැරෙන අය එකට එකතුවෙලා ජීවත්ව ඉන්න අය බිලිගන්න විදිහට ඒ බන්ධනය බැඳලා තියෙනවාලු.

මියගිය අය හොඳ සිහියෙන් ඉන්න වෙලාවට අපිත් එක්ක කියපු කතාවක් තමයි දිග පඬි (ලොම්) තියෙන, උස නැති තුන්දෙනෙක් එනවා දකිනවාලු. ඒ දැක්කාම සිහිය විකල් වෙනවලු. මේ තත්ත්වය නිසා අද අපි හරිම අසරණ තත්ත්වයකට පත්වෙලා ඉන්නේ.

පී.ජී. ඩිංගිරියා (අවුරුදු 54) මහතාද මේ පවුලේ සාමාජිකයෙකි. සිය පවුලට අත්ව ඇති ශෝචනීය ඉරණම පිළිබඳව ඔහු කීවේ මෙවැන්නකි.

(අපේ පවුලේ සහෝදර සහෝදරියන් අටදෙනෙක් හිටියා. දැන් ඉතිරිවෙලා ඉන්නේ අපි හතරදෙනයි. අම්මයි, තාත්තයි, සහෝදර සහෝදරියන් හතර දෙනයි. ඒ අයගේ දරුවන් එක්ක මේ වන විට පවුලේ දහඅටක් විතර අකාලයේ මියගිහින් සිටිනවා. මේ මරණ ඔක්කොම වුණේ අවුරුදු තිහක් වාගේ කාලයක. එක මරණයක් සිදුවෙලා අවුරුදු තුන හතරක් ගියාම ඊළඟ මරණය සිදුවෙනවා.

මටත් මේ බැල්ම තියෙනවා. මම නිදාගෙන ඉද්දි හීනෙන් මට පේනවා මහත ගෑනු කෙනෙක් ළමයකුත් වඩාගෙන ඇවිත් ළමයා වඩාගන්ඩ කියලා මට කියනවා. වඩාගත්තේ නැත්නම් (තෝ කනවා) කියලා අත් දෙකේ ඇඟිලි දික්කරගෙන මගේ මූණට පනිනවා. එතකොට මම බයවෙලා කෑගහනවා. මගේ බිරිඳ, දරුවන් ඇවිත් මට කතා කළාම තමයි හොඳ සිහියට එන්නේ.

රෑ දොළහට එකට විතර තමයි මට මේ දේ සිද්ධ වෙන්නේ. සතියකට දෙකකට සැරයක් එහෙම සිද්ධ වෙනවාමයි. හීනෙන් පේන ගෑනුකෙනා හැට්ට රෙද්ද තමයි ඇඳගෙන ඉන්නේ. වඩාගෙන ඉන්නෙත් මහත ළමයෙක්. මම හීනෙන් බයවෙලා කෑගහනකොට අහළ පහළ අයටත් ඇහෙනවාලු.

මේවාට අපි කොච්චර ශාන්තිකර්ම කරලා තියෙනවාද කියලා ගණනක් නෑ. මටම සෙත් ශාන්ති හත අටක් මේ වන විට කරලා තියෙනවා. අපේ පවුලට කුඹුරු අක්කර පහළොවක් විතර තිබුණා. ඒවා විකුණ විකුණා සෙත් ශාන්ති කරනවා. දැන් අපේ පවුලටම තියෙන්නේ කුඹුරැ අක්කර දෙකක් විතරයි.

ජීවතුන් අතර ඉන්න හත් අටදෙනා ඒ ටික බෙදාගෙන වැඩ කරනවා. ඇත්තම කියනවා නම් අද අපි හරිම අහේනියක ඉන්නේ. මොනවා කළත් අපට සහනයක්, සුවයක් නෑ. පෙර පරිදිම පවුලේ අය අකාලයේ මියැදෙනවා.

මේ පවුලේ අවසන් වරට මියගිය මහේෂ් ප්‍රියලාල්ගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගල්ගමුව, හතළිස්පහ නැගෙනහිර කෝරළයේ අකරගල්ල හදිසි මරණ පරීක්ෂක ඩබ්ලිව්.එම්. රත්නායක මහතාව සොයාගෙන අප එහි ගියේ මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමටය. රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසකි.

(මම හදිසි මරණ පරීක්ෂණ දෙතුන් සියයක් මේ වන විට කරලා තියෙනවා. ඒත් මේ වාගේ අත්දැකීමක් ලබාපු පළමු අවස්ථාව මේක. ඒ තරුණ පියාගේ මරණය ගැන සාක්ෂි දුන් ඥාතීන් මරණයට හේතුව ලෙස දැක්වූයේ භූතාවේශයක් නිසා සිදු වූ මරණයක් ලෙස.

මගේ නිරීක්ෂණවලදිත් මරණකරුගේ ශරීරයේ බාහිර තුවාල හෝ ඊට පෙර රෝගී තත්ත්වයන් ඇති වූ බවට සාක්ෂි ලැබු‍ණේ නෑ. පුටුවක වාඩි වී සිටින අයුරින්ම මළසිරුරත් තිබුණා. සියදිවි නසාගැනීමකුත් නෙමෙයි. මේ හේතු සාධක නිසා මම මේ සිරුර කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ඩී.ජී. දිසානායක මහතාට යොමු කළා.

ඒත් ඒ වෛද්‍ය වාර්තාවේ සඳහන් කොට තිබුණේ මරණයට නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි බවයි. සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකරන්න ඇති.

එදාට වඩා අද ලෝකය දියුණුයි. ඒත් මේ වාගේ භූත බලවේගයන් ක්‍රියාත්මක වෙනවා කියලා මට නම් විශ්වාස කරන්න බෑ. කොහොම වුණත් මේ අසරණ පවුලෙන් අයුතු පල ප්‍රයෝජන ගන්න කූට වෙද්දුන් ඉන්න බව නම් පේනවා. එක ශාන්ති කර්මයකට රුපියල් 20000 – 30000 අරන් තියෙනවා.

ඒ නිසා මෙවැනි අදෘශ්‍යමාන බලවේග තියෙනවා නම් ඒ ගැන පර් යේෂණය හෝ අවබෝධයක් ඇතිව කටයුතු කරන අය ඉන්නවා නම් මේ ගැන අවධානය යොමුකොට ඔවුන්ට සහනයක් ලබාදෙන්න කියා මම ඉල්ලා සිටිනවා.)

බිය, සැක, අවිනිශ්චිතභාවය අද ඔවුන්ගේ ජීවිත හා බැඳී පවතින බව අපට දැනගැනීමට හා දැකගැනීමට හැකි විය. ඒ නිසාම ඔවුන් මානසිකව බිඳවැටී ඇත. ආර්ථිකව පීඩනයට පත්ව ඇත. ඒ පීඩනයන්ගෙන් ඔවුන් මුදවාගැනීමට සමත්තු වෙත් නම් සද් සිතින් ඉදිරිපත් වෙත්වා!

► කතාව හා සේයාරූ – ගල්ගමුවේ නිහාල් ජයවීර