උපාධිය තියෙන බොහෝ දෙනෙක් රස්සාවල් නැතිව පාරවල්වල උද්ඝෝෂණය

අවදානම් සහගත ස්වයං රැකියාවක් කිරීම එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නේ ය. එහි දී තමා සිටි තත්ත්වයෙන් පහළට වැටීමට හෝ සිටි තත්ත්වයෙන් ඉහළට පැමිණ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට පුළුවන. ගාල්ලේ ගිනිමැල්ලගහ ගමේ ජීවත්වන තිස් අට හැවිරිදි චමරි නිරෝෂිණී දිරිය කාන්තාවක ලෙස බිම්මල් ආශ්‍රිතව ස්වයං රැකියාව ආරම්භ කළා ය.

පෝෂණ ගුණයෙන් මෙන් ම රසයෙන් වැඩි වුව ද බිම්මල් ආහාරයට ගැනීමට පුරුදු වී ඇත්තේ සමාජයේ සිටින අතළොස්සකි. ඒ මන්ද යත් බිම්මල් විෂ විය හැකි ආහාරයක් නිසාය. මෙම අවදානම මත චමරි තම ජීවිතය බිම්මල්වලින් සොඳුරු කර ගැනීමට කැප වන්නී ය.

“උසස් පෙළ කරාට පස්සේ මම බාහිර උපාධිය කරන්න පටන් ගත්තා.ඒ කාලයේ දී උපාධිය තියෙන බොහෝ දෙනෙක් රස්සාවල් නැතිව පාරවල්වල උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා. මම හිතුවා මටත් කවදාහරි දවසක මේ වගේ රස්සාවල් නැතුව තැන් තැන්වල උද්ඝෝෂණය කරන්න වෙයි කියලා. ඊට පස්සේ මම බාහිර උපාධි කරන එක නැවැත්තුවා.

කොහොමත් අපේ අම්මා මම ඉස්කෝලේ යන කාලේ දී බිම් මල් වගා කළා. ඇයත් එදා ගමේ තිබුණ සමිතියකින් ලබා ගත්ත උපදෙස් අරගෙනයි බිම් මල් වගා කළේ. ඒ කාලේදීත් ඇය වඟා කරපු බිම් මල්වලට හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ හින්දම මම හිතුවා බිම්මල් ව්‍යාපාරයක් විදිහට කර ගෙන ගියොත් හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.

” ‍උගත්කම අතැතිව විරැකියාවෙන් සිටින බොහෝ දෙනෙක්ට චමරි ජීවිතය අලුතින් පටන් ගැනීමට අලුත් මඟක් කියා දෙන්නී ය.

“මට බිම්මල් වඟා කිරීම පිළිබඳව උපදෙස් ලබා ගෙන ස්වයං රැකියාවක් පටන් ගන්න ඉස්සෙල්ලම උදව් කළේ ගාල්ලේ කෙරදේවල ගොවිජනසේවා මධ්‍යස්ථානයේ ශීලා කොඩිතුවක්කු මහත්මියයි‍.

ඒ වාගේ ම ලබුදුව කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පවත්වපු 50% ආධාර වැඩසටහන මඟින් මම බිම්මල් වගාව පිළිබඳව වැඩි දුර තොරතුරු දැන ගත්තා. කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් බිම්මල් චට්නි සහ බිම්මල් මැලේ අච්චාරු හදන ආකාරය ඉගෙන ගත්තා.ඒ වාගේ ම බැද්දේගම විදාතා මධ්‍යස්ථානය මඟින් බිම්මල් සැන්විජ් හදන්න ඉගෙන ගත්තා”

“අපේ ගෙදර බාගෙට හඳලා තිබුණ දවස්වල තමයි මම මුලින් ම

බිම්මල් වඟා කරන්න පටන් ගත්තේ . අපේ ගෙදර බාත්රූම් එකට වෙන් කරලා තිබ්බ කොටසේ මම මුලින් ම බිම් මල් වඟාවන් 100 කින් මෙම ස්වයං ව්‍යාපාරය පටන් ගත්තා.

දැන් මට වඟා මළු 50,000 ක් විතර තියෙනවා. ” අඩුපාඩුකම් මධ්‍යයේ වුව ද ඇය තමන්ට හැකි උපරිම අන්දමින් මහන්සි වුයේ කෙසේ හෝ ජීවිතය ජය ගන්නවා කියන අධිෂ්ඨානයෙන් යුක්තව ය. සෑම පහසුකමක් ම ළඟ තබා ගෙන කිසිවක් නොකරමින් ජීවත්වන බොහෝ දෙනෙකුට ඇය කියා දෙන්නේ අපුරු පාඩමකි.

“මම ඇමරිකන් ඔයිස්ටර් හතු ග්‍රෑම් 200 රුපියල් 80 ට, ඇබලෝන් වර්ගයේ හතු ග්‍රෑම් 200 , රුපියල් 200 ට සහ බුතාන් වර්ගයේ හතු ග්‍රෑම් 200 රුපියල් 90කටයි අලෙවි කරන්නේ.

බිම්මල් ග්‍රෑම් 150 ,රුපියල් 330 , බිම්මල් චිලී පේස්ට් ග්‍රෑම් 150 රුපියල් 225, බිම්මල් චට්නි ග්‍රෑම් 200 රුපියල් 280, බිම්ම්ල් සිංහල අංචාරු ග්‍රෑම් 200 රුපියල් 280, බිම්මල් මැලේ අච්චාරු ග්‍රෑම් 200 රුපියල් 200 යනා දී වශයෙන් මම බිම්මල් පැකට් අලෙවි කරනවා.”

ඇය ගම්බඳ තරුණියක වුව ද බිම්මල්වලින් නවීන වර්ගයේ

ආහාර සැකසීමට බෙහෙවින් දක්ෂ ය. තමන් උගත් දැනුම සහ නිර්මාණශීලීත්වය උපයෝගී කර ගනිමින් වර්තමානය වන විට ඇය තම සම වයසේ කාන්තාවන් අතර ද ප්‍රමුඛස්ථානය ගෙන තිබේ.

“මගේ ස්වයං රැකියාවේ දියුණුව සඳහා මට මගේ අම්මා,තාත්තා,ඒ වාගේ ම සහෝදරයෝ ගොඩාක් උදව් කරනවා. මම මගේ වැඩවලට උදව් කරන්න එක පුද්ගලයෙකුව පඩියක් දීලා තියා ගෙන ඉන්නවා. මට අද ඉන්න තත්ත්වයට එන්න උදව් කළේ ගාල්ලේ විදාතා මධ්‍යස්ථානය,කෘෂිකර්ම අමාත්‍යංශය, ගාල්ලේ සමුපාකාර සංගමයයි,

ඒ ආයතනවලින් උපදෙස් අර ගන්නේ නැතුව මම තනියම බිම්මල් වගා කරන්න ගත්තා නම් මට කවදාවත් අද පවතින සමාජ ක්‍රමයට අනුව ස්වයං රැකියාව කරන්න වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මට මේ ආයතනවලින් ආහාර තාක්ෂණය පිළිබඳව ලබා දුන් උපදෙස් තුළින් අලුතින් යමක් හිතලා ආහාරයක් නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා.

මුල අමතක නොකරමින් ජීවිතයේ දිනුම් කණුව වෙත ගමන් කිරීමට උත්සාහ කරන ඇය ,තමන්ට දැනුම ලබා දුන් සෑම කෙනෙකුටම ණය ගැති යැයි ප්‍රකාශ කරන්නේ කිසිදු මැලිකමක් නොදක්වමිනි.

“බිම්මල් වඟාව කියන්නේ අවධානම් සහගත ස්වං රැකියාවක්. බොහෝ වෙලාවට ගොඩාක් අය මේ වගාව කරන්න බය වෙන්නේ මේකේ තියෙන අවදානම හින්දමයි. මම බිම් මල් වඟා කරන්නේ සැහැල්ලු ලී කුඩු උපයෝගී කර ගෙනයි. පිදුරුවලිනුත් බිම්මල් වඟා කරන්න පුළුවන්.

ඒ වුණත් වැඩි කාලයක් තබා ගන්න පුළුවන් වෙන්නේ ලී කුඩු වල වඟා කළොත් විතරයි. බොහෝ දෙනෙක් නැවත සැරයක් පිදුරු කුඹුරටම දමනවා පොහොර වෙන්න , ඒ හින්දා පිදුරු හොයා ගන්න අපහසුයි” “දැන් මගේ පාරිභෝගිකයෝ බොහෝ දෙනෙක් මම නිෂ්පාදනය කරන ප්‍රසන්න බිම් මල් නාමය කියලම ඉල්ලනවා .

මගේ බිම්මල් රසයි ඒ වාගේ ම අලුත් කියලත් බොහෝ දෙනෙක් කියනවා. මම පැකට් කරනවිට නරක් වෙච්ච බිම්මල් තියනවනම් අයින් කරනවා. මම හිතනවා මම ඒ වාගේ අවංකවම පාරිභෝගිකයාට මගේ බිම් මල් නිෂ්පාදන ලබා දෙන හින්දා මම මගේ ස්ථාවර කර ගත්තා කියලා.”

“බිම්මල් ආශ්‍රිතව සිදු කරන ස්වයං රැකියා පමණක් නෙවෙයි ,ඕනෑම ස්වං රැකියාවක් කරන කොට කැපවීම තියෙන්නම ඕන. ගොඩාක් දෙනෙක් කියනවා බිම්මල් වගා කරලා අන්තිමට ඒවා ගන්න පාරිභෝගිකයෝ නැතිවෙයි කියලා.

මම නම් කියන්නේ ආවාට ගියාට කිසිම දෙයක් කරන්නේ නැතිව හරියට දෙයක් කළොත් ව්‍යාපාරය සාර්ථක කර ගන්න පු‍ළුවන් කියලයි. ” ඇති හැකි අය පුද්ගලයින් බොහෝ දෙනෙක් සියං රැකියාවන්ගෙන් ජීවිතය සරි කර ගන්නට ප්‍රයත්න දරන විට ඈත ගම්පියසක උපත ලබා නවීනත්වයෙන් යුතුව ස්වයං රැකියාව කරන්නේ සෑම කෙනෙකුටම සිතන්නට යමක් ඉතුරු කරමිනි.

 මදාරා මුදලිගේ