මේ පිළිබඳ පවතින තවත් ජනප්‍රවාදයක් වන්නේ තම මවගේ හා කඩොල් ඇතුගේ භාරකාරත්වය වෙනුවෙන්

මවු සෙනහසේ උණුහුමට මනුසතුන් සේම වනසතුන්ද එකසේ ළැදිය. මනුසතුන් වන අපි මවකගේ කුසයෙහි දසමසක් රැකවරණය ලැබ උපත ලබා දරු සෙනෙහසේ විස්මයෙන් කිරි බවට පත්වූ ඇයගේ රුධිරය උරාබොමින් ඇති දැඩි වූයෙමු.

එම එක කිරි බිඳක වටිනාකම ගෙවීමට අපට මේ භවය ප්‍රමාණවත් නොමැති අතර මවු සෙනෙහස වෙනුවෙන් දස දහස් ගී පබැදුණේ ඒ නිසාවෙනි. ආදරයේ නාමයෙන් ටජ් මහල් බැඳුණු බව ලොවපුරා ප්‍රචලිත වුවද උත්තරීතර මවු සෙනෙහස වෙනුවෙන් ස්තූප බැඳුණු බව ඔබ නොදන්නවා ඇත.

ලක්දිව ස්තූප නිර්මාණයේ ඉතිහාසය සොයා බලන විට අශෝක අධිරාජ්‍යයාගේ කාලයේදී ලක්දිවට බුදු දහම පැමිණීමත් සමඟ දෙවන පෑ තිස් රජුගේ අනුග්‍රාහකත්වයෙන් ඉදිවුණු මෙරට පළමු දාගැබ ලෙස ථූපාරාමය හඳුනාගත හැකිය. නමුත් ථූපාරාමයට පෙර ඉදිකරන ලද ස්තූප දෙකක් පිළිබඳ වංසකතා තොරතුරු දක්වා ඇත.Image may contain: grass, outdoor and nature

බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනයේ සමන්තකූටවාසි මහා සුමන නම් දෙවිඳුන් විසින් බුදුන් වහන්සේගේ කේෂධාතු තැන්පත් කොට මහියංගණ ස්තූපය ඉදිකර ඇත. එසේම බුදුන් වහන්සේට පළමු දානය පූජා කළ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් මෙරට නැඟෙනහිර වෙරළේ තිරියාය ප්‍රදේශයේ බුදුන් වහන්සේගෙන් ලබාගත් කේෂධාතු තැන්පත් කර ගිරිහඩු සෑය ඉදිකර තිබේ. මහියංගණය හා ගිරිහඩු සෑය එලෙස ලක්දිව ඉදිකළ පළමු ස්තූප වශයෙන් වංසකතා පෙන්වා දෙයි.

නමුත් එය පුරාවිද්‍යාත්මකව සනාථවී නැත. ආගමික අවශ්‍යතාව මූලික කරගෙන බිහිවූ ස්තූප කලාව පසුකාලීනව පෞද්ගලික ස්මරණයන් සඳහාද යොදාගන්නා ආකාරය ඉතිහාසය තුළින් හඳුනාගත හැකිය. එවන් ස්මරණ ස්තූපයකි යුදගනාව දාගැබ. එහි සුවිශේෂත්වය වන්නේ එය තම ආදරණීය මව වෙනුවෙන් පුතකු විසින් ඉදිකරන ලද ස්තූපයක් වීමයි.

මෙම මවුගුණ සෑයේ නිර්මාතෘවරයා වූයේ පුලතිසිපුර රජ කළ මහා පරාක්‍රමබාහු රජුය. මහා විජයබාහු රජුගෙන් (ක්‍රි.ව. 1055 – 1110) පසුව ලක්දිව කොටස් කිහිපයකට බෙදීයන අතර එහිදී දක්ඛිණ දේශයේ පාලකයා වූයේ මහා විජයබාහු රජුගේ මිත්තා නම් සහෝදරියගේ එක් පුත්‍රයකු වූ මානාභරණ කුමාරයාය.

ඔහු දක්ඛිණ දේශයේ පුංඛ ග්‍රාමයේ (වර්තමාන දැදිගම) මූලික කරගෙන පාලනය ගෙනගිය අතර ඔහුගේ බිරිය වූයේ මහා විජයබාහු රජුගේ තිලෝක සුන්දරී නම් බිසවට උපන් රත්නාවලී කුමරියයි. ඔවුන් දෙපළට දියණියන් තිදෙනෙක් වූ අතර පසුව රාජ්‍ය පාලනයට උරුමකම් කීමට කුමරුවකුද උපදිණි. ඔහු පරාක්‍රමබාහු නම් විය.

කිත්සිරිමේඝ රජුගේ ඇවෑමෙන් රජකමට පත්වූ පරාක්‍රමබාහු කුමරු දක්ඛිණ දේශයේ සිට මුළු ලක්දිවම එක්සේසත් කිරීමට කටයුතු කරන්නට විය. දැඩි අභියෝග රැසකට මුහුණපාමින් මහත්වූ ප්‍රයත්නයකින් පසුව ක්‍රි.ව. 1153දී රජරට බලය අත්පත් කරගන්නා පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1161දී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේද තමන් භාරයට ගෙන පූර්ණ රාජ පාලකයකු ලෙස මෙරට අභිෂේක විය.Image may contain: 2 people, indoor

මෙසේ රාජප්‍රාප්ත මහා පරාක්‍රමබාහු රජු ඉදිකළ ස්තූප අතරින් පුරාණ රුහුණු රටේ ඉදිකළ රත්නාවලී සෑය වර්තමානයේ යුදගනාව සෑය ලෙස හැඳින්වේ. මෙම ස්තූපය තම මව වූ රත්නාවලී කුමරිය ආදාහනය කළ ස්ථානයේ ඇය ස්මරණය කරනු පිණිස නිර්මාණය කරන ලද්දේ යැයි ජනප්‍රවාදයේ පවතී.

මේ පිළිබඳ පවතින තවත් ජනප්‍රවාදයක් වන්නේ තම මවගේ හා කඩොල් ඇතුගේ භාරකාරත්වය වෙනුවෙන් දුටුගැමුණු කුමරු හා සද්ධාතිස්ස කුමරු අතර සටනක් ඇතිවූ බවත් පසුකාලීනව ඒ පිළිබඳ කම්පාවට පත් සද්ධාතිස්ස කුමරු එම යුද භූමිය ආශ්‍රිතව ස්තූපයක් කළ බවයි. චූලාංගනී විහාරය නමින් අයත් ඉදිකිරීම් සංකීර්ණයක් ද මේ ආසන්නයේ ඇති අතර ජනප්‍රවාදයේ පවතින්නේ එම ගොඩනැඟිලි සංකීර්ණය පිහිටුවා ඇත්තේ දුටුගැමුණු – සද්ධාතිස්ස යන සොහොයුරන් සටන් වැදුණු ස්ථානය මුල්කරගෙන බවයි.

ඒ අනුව යුදගනාව දාගැබ හෙවත් පුරාණ රත්නාවලී සෑය පරාක්‍රමබාහු රජ විසින් තම මව වෙනුවෙන් ඉදිකළා යැයි සඳහන් මතය පිළිගැනීමට සිදුවේ.

උෟව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යුදගනාව ග්‍රාම නිලධාරී වසමේ යුදගනාව ස්තූපය පිහිටා තිබේ. උතුරින් පුහුලුගල කඳුවැටිය ද, නැඟෙනහිරින් මැණික් ගඟද, දකුණින් බුත්තල නගරයද, බටහිරින් යුදගනාව වැවට ද මධ්‍යගතව පිහිටි මෙම ස්තූපයේ වර්තමාන උස මීටර් 26ක් වන අතර වටප්‍රමාණය අඩි 1038 අඟල් 6කි.

මෙම ස්තූපය නිර්මාණයේදී පේසාව මත ගර්භයේ අඩක් නිමවා ඒ මත වූ සමතලා බිමෙහි කුඩා ස්තූපයක් ගොඩනංවා තිබූ බවට සාධක ඇත. මෙම දාගැබ හැඩය සම්බන්ධයෙන් විද්වතුන් අතර පවතින එක් මතයක් වන්නේ මෙය කොටවෙහෙර සම්ප්‍රදායේ ස්තූපයක් බවයි.

ඒ මතයට අනුව කොටවෙහෙර සම්ප්‍රදායේ ස්තූපයන්හි කොත්කැරැල්ලක් නොමැත. නමුත් ස්තූප නිර්මාණ තාක්‍ෂණය පිළිබඳ උපදෙස් සපයා ඇති කිසිදු ඓතිහාසික ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථයක එවැනි සම්ප්‍රදායක් හෝ හැඩයක් පිළිබඳ සඳහන් වී නොමැත. ඒ අනුව එම මතය විවාදයට තුඩුදේ.Image may contain: tree, sky, grass, outdoor and nature

නමුත් මෙරටින් එම හැඩයෙන් යුතු තවත් ස්තූප ගණනාවක් (ලාහුගල කොටවෙහෙර, දැලිවල කොටවෙහෙර) හමුවීම තුළ මෙය නව ආකෘතියක අත්හදා බැලීමක්ද නැතහොත් ස්තූප නිර්මාණය අතරමඟ ඇනහිටීමක්ද යන්න විමසා බැලිය යුතුවේ. කොටවෙහෙර සම්ප්‍රදායක් පිළිබඳ ප්‍රබල කථිකාවක් ගොඩනොනඟන විද්වතුන් ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථව සඳහන් හැඩයන් පමණක් මෙරට ශේෂවී ඇති නටබුන් ස්තූපයන්ගෙන් දැකීමට උත්සාහ ගැනීම නිසා මෙම ස්තූපයේ විශේෂත්වයද මගහැරී ඇති බව පෙනේ.

වනගතව පැවැති මෙම ස්තූපය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවන්නේ 1979 වර්ෂයේදී වන අතර ඒ අනුව වනය හෙළි පෙහෙළි කර මතුකරගන්නා මෙම ස්තූපය අද වන විට වන්දනාමාන කිරීමේ යෝග්‍ය වටපිටාවක් තුළ දැකගත හැකිය.

ස්තූපය ආසන්නයේ මහනුවර යුගයේදී වරිච්චි බිත්තියෙන් ඉදිකරන ලද ප්‍රතිමා ගෘහයක් ඇති අතර එම ගෘහය ඇතුළත හා පිටත චිත්‍ර දැකගත හැකිය. මෙම ස්ථානයට නුදුරින් කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජුගේ කාලයට අයත් එතුමා විසින් කරවන ලද ‘ගව්ව’ නමින් ප්‍රකට දුර ප්‍රමාණයන් දැක්වූ ශිලා ස්තම්භයක් දක්නට ඇත.Image may contain: indoor

බෝධිඝරයක, පිළිමගෙයක හා ටැම්පිට පිළිමගෙයකට සමාන ඉදිකිරීමක් මෙම විහාර භූමියේ දක්නට ලැබෙන අතර නටබුන්ව පැවැති කුඩා දාගැබක් 1992 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්‍ෂණය කර තිබේ. මේ ආසන්නයේ ඇති යුදගනාව වැව ඓතිහාසිකව සනාථ වන කරුණු අනුව මහානාග රජතුමා විසින් ඉදිකර ඇත.

මුළු ලක්දිවම එක්සේසත් කළ සාගර බඳු මහා වැව් බැඳි සහලින් රට ස්වයංපෝෂිත කළ, පර රාජ්‍යයන් පවා ආක්‍රමණය කළ මහා පරාක්‍රමබාහු රජු තම අදරණීය මවගේ ගුණ සිහිපත් කරනු පිණිස ඇය ආදාහනය කළ ස්ථානයේ පුරාණ රුහුණු රට වූ විශාලතම ස්තූපය ඉදිකිරීම තම මවුපියන් වැඩිහිටි නිවාස වෙත පිටුවහල් කරන අජාසත්ත පරපුරේ නූතන දරුවන්ට මනා ආදර්ශයකි.

කේ. උදේනි අරුණසිරි