බුදු රඳුන්ට පිරිනැමූ ප්‍රථම ආරාම පූජාව වන වේළුවනාරාමය අද මුස්ලිම් සුසාන භූමියක්

බුදු සිරිත හා බැඳුණු සිදුවීම් රැසක් රජගහ නුවර අමතක කර පැහැදිලි කළ නොහැකිය. රජගහ නුවර යනු ශාසන ඉතිහාසයේ එක් දීර්ඝ පරිච්ජේදයකි. දැන් රාජ්ගිර් යනුවෙන් හැඳින්වෙන එය වර්තමානයේ අයත් වනුයේ බිහාරයේ පැට්නා දිස්ත්‍රික්කයටයි. රජගහ යන නමින්ද හෙළිවන පරිදි එය රජ කෙළිවලටම නමගිය ඓතිහාසික රාජධානියකි.

බුද්ධ කාලීන භාරතයේ පැවැති සොළොස් මහ ජනපද අතර මගධය බලවත් රාජධානියක් විය. මේ මගධ රාජධානියේ අගනුවර රජගහ නුවරය. රජගහ නුවර සැරිසැරූ මට පෙනී ගියේ එහි උපාය මාර්ගික ස්වභාවික පිහිටීම නිසා මගධයේ අගනුවර සේ රජවරුන් තෝරා ගන්නට ඇති බවය. ඒ තරමට එය කඳුවලින් සහ වනගොමුවලින් වටවී තිබේ. කඳුවල අට්ටාල හා පවුරු විය.

india-2එකල භාරතයේ පැවතියේ එක් එක් රාජධානි තමතමන්ගේ රාජධානියට ඇඳාගැනීමේ සංග්‍රාමික තරගයකි. දුබල රාජධානි යුද බලයෙන් අගපත් මහා රාජධානිවලට යටත් විය.

බුදුන් වහන්සේට ඉතාම හිතවත් වූ රජවරුන් අතර බිම්බිසාර රජතුමා ඉතා සබුද්ධික පුද්ගලයෙකි. එකල මගධය පාලනය කළේ ඔහු විසිනි. බුදු සිරිතේ දැක්වෙන පරිදි කපිලවස්තු පුර මාලිගයෙන් නික්ම විමුක්ති ගවේෂණයේ යෙදුණු සිදුහත් තවුසාට රජගහ නුවර පිඬු සිඟා යන  අතර බිම්බිසාර රජතුමා හමුවේ. ශාසන ඉතිහාසයේ එන තොරතුරු අනුව සිදුහත් තවුසාට බුදු වීමට පෙර හමුවූ බලවත් රජු ඔහුය.

බුදු වූ පසු පළමුව තම නුවරට වැඩම කරන ලෙස රජු බෝසතුන්ගෙන් එම අවස්ථාවේදී ඉල්ලීමක් කළේය. එකී ඉල්ලීම පරිදි ඉසිපතන මිගදායේදී පස්වග මහණුන්ට දහම් දෙසා බුදුන් වහන්සේ රජගහ නුවරට වැඩම කළහ. උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කර ඉමහත් සතුටට පත්වන රජු තම රාජධානියේ වූ සොඳුරු වන උයනක් උන්වහන්සේට විවේකයෙන් වැඩ වාසය කිරීම සඳහා පූජා කළේය. ‍ලේනුන්ට අභයභූමියක් වූ එය උණ වනයකි.

වේළුවනේ කලන්දක නිවාපේ යැයි බොහෝ සූත්‍රවල සඳහන් වන්නේ ඒ උණ වනයයි. එනම් වේළුවනාරාමයයි. එය ප්‍රථම ආරාම පූජාව ලෙස දැක්වේ. එකල පැවැති ප්‍රධාන රාජධානියේ පාලකයා බුදුන් වහන්සේගේ ධර්මය පිළිගෙන උන් වහන්සේට වන උයනක් පිරිනැමීම යම් තීරණාත්මක සාධකයක් විය. ඒ වන විට ෙජෙන ආගම එහි බලය පතුරුවා ගෙන තිබුණි.

වේළුවනාරාමය පිහිටියේ කඳුවලින් වටවූ පෙදෙසට උතුරෙනි. පැරණි නුවර සැලැස්ම එතරම් ප්‍රිය නොකළ බිම්බිසාර රජතුමා වේළුවනාරාමය පිහිටි ප්‍රදේශයේම තම රාජධානියේ කේන්ද්‍රස්ථානය ගොඩනැගීය.

එහි පවුරු දැනුදු ඔබට වේළුවනාරාමය අසල ‘ඩැක් බංගලාව’ නම් ලැඟුම්හල වූ තැනට නුදුරින් දැකිය හැකිය. මේ පවුරු බිම්බිසාර රජතුමා ගොඩනගන්නට ඇත්තේ උදේනි බඳු සංග්‍රාම ප්‍රිය රජවරුන්ගේ ආක්‍රමණයකට මුහුණ දීමේ සූදානමින් බවට සැකයක් නැත. එසේ වුවද මෙම පවුරු පැරණි පවුරු තරම් සිත් නොගනී. පැරණි පවුරු අවුරුදු 3000ක් තරම් ඉපැරණි විය හැකිය.

එහෙත් ඒවා ඉදිකළ කාල වකවානුව නිශ්චිතව සඳහන් නොකළ හැකිය. එහෙත් භාරතයේ ඉපැරණිම ගල් කර්මාන්ත අතරට මේ පවුරු අයත් වන බව නිසැකව සඳහන් කළ හැකිය. ඒවා දැඩි වෙහෙසක් දරා රාජාණ්ඩු බලය යොදවා බිම්බිසාර රජුට පෙර පාලකයන් ඉදිකරවූ ඒවා බව පෙනේ.

පැරණි පවුරට අයත් එක් එක් ගල් කුට්ටිය අඩි 5ක පමණ දිගෙන්ද 4ක පමණ පළලින් ද, 4ක පමණ උසින්ද යුක්ත බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. ඔපමට්ටම් නොකළ ඒ ගල්කුට්ටි බදාම හෝ සිමෙන්ති රහිතව එකිනෙක සම්බන්ධ කර ඇති ආකාරය පුදුම දනවන සුලුය. ඉන් වැසී ඇත්තේ වඩා රළු වූ ගලින්ද, ගල් පතුරුවලින්ද කළ ඇතුළු කොටසක් බව මේජර් රේවන් හාට් සඳහන් කරයි.

ඇතැම් තැනකදී මේ පවුරු අඩි 11ක් 12ක් උසට නගින ආකාරයක් දැකගත හැකිය. එසේ වුවද බොහෝ තැන්වලදී ඒවා අඩි 4කට 5කට වැඩි නොවේ. එය පවුරේ මුලින් පැවති උස බව රේවන් හාට්ගේ අදහසයි. ඒ ඒ රජවරුන් ආරක්ෂාව පිළිබඳව පැනනැගුණු ගැටලු නිසා පවුරුවල උස ප්‍රමාණය වැඩි කළ බව පෙනේ.

පවුරුවලින් මඳක් නෙරා යන සේ කුඩා බළකොටු තනා තිබේ. සතුරු සේනා පීරා යනසේ පහර දිය හැකි ආකාරයට බලකොටු ගොඩනගා ඇත. මෙකී පවුරු පුරාණ නගර වාස‍ලේ සිට හොඳින් නැරඹිය හැකිය. පැරණි වාසල බංගංග නමින් හැඳින්වෙන බව රේවන් හාට් කියයි.

රජගහ නුවර කඩ සාප්පු පැතිරුණු වීදි දිගේ මම වේළුවනාරාමය සොයා ගියෙමි. මේ වීදිවල අශ්ව, ‍පෝනි කරත්තවලින් අඩුවක් නැත. වීදි දෙපැත්තේ ඒවා බහුලව දැකගත හැකිය. කේඩෑරිව කෘශව ගිය අශ්වයන්, ‍පෝනියන් දකින කල කනගාටුවක් ඇතිවේ. එහෙත් ඒ සතුන් පරයන තරමට ඇදී ගිය අශ්ව කරත්තකරුවන් දකින කල ජීවත්වීම සඳහා කරන අරගලයටම ඔවුන්ගේ ජීවිත ගෙවී ගිය සැටියක් පෙනේ.

මෙහි ජනතාව තම ගමන් බිමන් සඳහා අශ්ව කරත්ත බහුලව භාවිත කරති. ඔබට රජගහ නුවරදී එබඳු අශ්ව කරත්තයක ගමන් කිරීම අමතක නොවන අත්දැකීමක් විය හැකිය. බුදුන් දවසද රජගහ නුවර ශූර ලෙස අශ්වයන් හසුරුවන්නෝ විසූහ. එහෙත් එකල රජගහ නුවර වීදිවලින් වැඩි වශයෙන් ඇසෙන්නට ඇත්තේ ‍පොදු ජනතා අශ්ව කරත්තවල හඬ නොව යුද කටයුතුවලට සහ අභිසරු ලියන් සොයා ගිය රජ මැති ඇමැතිවරුන්ගේ අශ්ව කරත්ත වල හඬ විය හැකිය.

එහෙත් එදා ප්‍රධාන මාතෘකාව වේළුවනාරාමයේ වාසය කල බුදුන් වහන්සේ බවට සැකයකුදු නැත. මෙකී වේළුවනාරාමයට ඇතුළු වන දොරකඩ අසලට අපේ කණ්ඩායමේ සගයකු වන ධර්මසිරි මහතා සමග ගියෙමි. අපි වේළුවනයට එබිකම් කර බැලීමු. තවම උණ පඳුරු දක්නට තිබේ. එහෙත් ලෙහෙනුන්ගේ හඬ නම් අපට ඇසුණේ නැත.

බුදුන් ප්‍රමුඛ මහ සඟුන් වැඩවිසූ කුටි ද දක්නට නැත. අලංකාර ‍පොකුණක් කෙළවර ස්ථාපිත කළ බුදු පිළිම වහන්සේ නමක් දැකගත හැකිය. දැන් වේළුවනාරාමයේ ඇත්තේ මුස්ලිම් ආගමික ස්ථානයක් හා සුසාන භූමියකි. සැබවින්ම දැන් වේළුවනාරාමය බෞද්ධ සිද්ධස්ථානයක් නොවේ. භාරතයේ සංචාරය කරන කණ්ඩායම් ද වේළුවනාරාමය පැත්තට යන්නේ නැත.

බුදුන් වදාළ අනිත්‍යතාව සිහිකර අපි වේළුවනය පිහිටි පෙදෙසින් නික්මුණෙමු. එහෙත් බෞද්ධ ලෝකය වේළුවනාරාමය ගැන අමතක කිරීම ගැටලු සහගතය. මා කියවූ ධර්මපාල සටහන්වලද වේළුවනාරාමය ගැන ප්‍රමාණවත් සඳහනක් හමු නොවීය.

බුදු රඳුන්ට පිරිනැමූ ප්‍රථම ආරාම පූජාව වන වේළුවනාරාමය යළි බෞද්ධයන්ගේ පහන් සංවේගය සඳහා නිරවුල් කර දීම ඉන්දීය ආණ්ඩුවේ වගකීමකි. නරේන්ද්‍ර මෝදි වැනි ඉන්දීය නායකයකු සිටින මෙවැනි කාලයක ඒ කාර්යය කර ගැනීමට හොඳ පසුබිමක් තිබේ. ඒ සඳහා අන්තර්ජාතික බෞද්ධ හඬක් නැගිය යුතුය.

වේළුවනාරාමය පිහිටි තැනට කිට්ටුව ඇත්තේ ත‍පෝදා නදියයි. එනම් බුදුන් වහන්සේ සහ මහ සඟුන් දිය නා ගත පිරිසිදු කරගත් උණුදිය උල්පතයි. එහෙත් අද එම උල්පත බ්‍රහ්මණයන්ගේ ග්‍රහණයට හසුව තිබේ. එ නිසා බ්‍රාහ්මණ නොවන අයට උණුදිය උල්පතට  හිමිකමක් නැත. උණුදිය උල්පත වටකර තාප්ප බැඳ පීලි හයක් සවිකර තිබේ.

හින්දුන්ගේ කුලවාදයේ තරම මේ උණුදිය උල්පත නැරඹීමට ගිය කල ඔබට දැක ගත හැකිය. කුලහීන යැයි සම්මත ජනයා ස්නානය කරන්නේ කුලවතුන් යැයි සම්මත තැනැත්තන් නෑමෙන් පසු පහළට ගලා එන අපිරිසිදු වතුරය. එහෙත් කිසිදු හිරිකිතයක් නැතිව මෙකී ජනතාව ඒ අපිරිසිදු වතුරේ නාති.

බුදු සිරිත හා බැඳුණු කතා කීපයකට මූලාශ්‍ර වූ ත‍පෝදා නදිය නැරඹීමට මෙයට වර්ෂ 1500කට පමණ පෙර සුප්‍රකට චීන දේශාටක හියුං සාං ස්වාමීන් වහන්සේ ද වැඩම කර තිබේ. ත‍පෝදා උණුදිය උල්පත ගැන උන්වහන්සේ මෙසේ සඳහන් කරති.

ඉතා මිහිරි පිරිසිදු ජලය  ඇති මෙහි දිය නෑමට හැම ජාතියකම ජනයා පැමිණෙති. (හියුං සාං භ්‍රමණ වෘත්තාන්තය)
හියුං සාං උණුදිය උල්පතට පැමිණ වර්ෂ 1500කට පසු එහි ගිය මටද ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවලින් පැමිණි ජනයා ඉතා භක්තියෙන් ජලස්නානය කරන ආකාරය දැකගත හැකි විය. මමද එසේ පහළට ගලන ජලයට දෙපා ඇල්ලුවෙමි. එහි වූයේ මද උණුසුමකි.

එසේම මේ උණුදිය උල්පත නැරඹීමට මෙයට වර්ෂ 50කට පමණ පෙර එහි ගිය මේජර් රේවන් හාට් ඒ ගැන මෙසේ සටහනක් තබයි. උල්පත් අදද ගලයි. එහෙත් අදට වඩා එදා මිනිසුන් අනුන් ගැන සැලකිලිමත් වූ බව පෙනේ. හින්දූහු මේ උල්පත්වලින් වැඩි ගණනක් අද අයත් කරගෙන සිටිති. හින්දු භක්තික නොවන කිසිවකුට එයින් නෑම තහනම් බව ඔවුහු ලොකු දැන්වීම් පුවරුවලින් පවසති. (බුදුහාමුදුරුවෝ වැඩ හිටි තැන් – පිටුව 42)

ගිජුකුළු පව්ව ගැන ඉකුත් සතියේදී මා ඔබට විස්තර කළද ඒ අසල පිහිටි ඔබ නැරඹිය යුතු තැන් කිහිපයක් ගැන සිහිපත් කළ යුතුය. එබඳු එක් තැනක් නම් කළුගලින් වටකර ඇති බිම්බිසාර රජතුමා සිරකර තැබූ බව සැලකෙන ස්ථානයයි.

එය ඇත්තේ ජීවක අඹවනයට ඔබ්බෙනි. තවම වන ගහනය නොඅඩුව ඇති තැනක පිහිටි ඒ ස්ථානය ඇත්තේ ගිජිකුළු පව්වට මුහුණලා ය. බුදුන් කෙරෙහි මහත් පැහැදීමේ ප්‍රසාදයෙන් යුතු බිම්බිසාර රජතුමාට උන්වහන්සේ ගිජුකුළු පව්ව මුදුනේ වැඩවාසය කරන විට පෙනෙන ආකාරයට සිර කුටිය තනා ඇති බව විල‍පොළ නන්දරතන හිමියෝ මා සමග කීහ.

Image result for වේළුවනාරාමය
වේළුවනාරාමය

මේ ස්ථානයට ගිය මට දැකගත හැකි වූයේ ඉන්දීය පුරාවිද්‍යා අධිකාරිය එහි ඓතිහාසික බව තහවුරු කර දක්වා ඇති පුවරුවයි. රජතුමා පැරණි නගරයේ පවුරු වළල්ලෙන් ආරක්ෂිත තැනක සිරගත කරන්නට ඇත්තේ ඔහු නිදහස් කර ගැනීම සඳහා අසල්වැසි රාජධානිවල මිතුරු රජවරු සේනාව සමග පැමිණීමට ඉඩ ඇතැයි යන සැකය අජාසත්ට ඇතිවූ නිසා විය හැකිය. ලෝක ස්වභාවය මැනවින් තේරුම් ගත් බිම්බිසාර රජතුමා ගිජුකුළු පව්ව මුදුනෙන් දිස්වූ බුදුරුව දෙස බලමින් හිත හදාගත්තාට සැකයක් නැත.

පියරජතුමා හිරගත කර මරා දැමූ අජාසත්ත ජීවත් වුයේ දැඩි බියකිනි. ඒ බව වේපුල්ල පර්වතයේ බටහිර ප්‍රදේශයට වන්නට අජාසත් ඉදිකළ මාලිගාවේ නටඹුන් නිරීක්ෂණය කරන කල පැහැදිලි වේ. විශාල ගල් යොදා තැනූ ආරක්ෂිත බැම්ම ඔබට දැකගත හැකිය. දේවදත්ත හිමි බුදුන් වහන්සේට එරෙහිව සියලු කුමන්ත්‍රණ කළේ රජගහ නුවර වේළුවනාරාමය අසලම වූ ඒ හිමියන්ගේ ආරාමයේ සිටය. එයද වේපුල්ල පර්වතය දිසාවට බරව ඉදිකර තිබිම අපූර්ව කරුණකි.

අඩි හතක් අටක් උස වේදිකාවක් උඩ ඉදිකළ බව සැලකිය හැකි දේවදත්ත ආරාමයේ අද දැකිය හැක්කේ ගල් කණු දෙකක් පමණි. තම ආරක්ෂාව පතා දෙව්දත් හිමි අජාසත් රජුගේ මාලිගාව අසලම ජීවත් වූ බව පැහැදිලි වේ. දෙව්දත් හිමියන්ගේ ආරාමයේ ගල්කණු දෙක දකින විට මට හිතුනේ වේළුවනාරාමය අසල ජීවත් වූ ඒ දෙව්දතුන් බුදුන් නොදැකීම කවර නම් කරුමයක්දැයි කියාය. දේවදත්ත කතාවෙන් පැහැදිලි වන්නේ වෛරයෙන් අන්ධ වීමේ බරපතළ අනිටු විපාකය.

ගිජුකුළු පව්ව පාමුල විශාල ගල් ඇන්දක හිරවී ඇති ලොකු ගලක් දක්නට ලැබේ. එය දෙව්දතුන් බුදුන් වහන්සේ ඝාතනය කිරීමට පෙරළු ගල යැයි මතයකි. මෙය ආනන්ද ලෙන නමින් හැඳින්වෙන ගුහාව අසලට ගිය විට ඔබට දැකගත හැකිය. ආනන්ද ලෙනට ඉදිරිපසින් පිහිටි කුඩා කඳුගැටය මත ජපන් බෞද්ධයන් ඉදිකළ සාම ච්ෙතිය මනරම්ය.

දෙව්දතුන්ගේ වෛරය සංකේතවත් කරන කළුගලට එය මෛත්‍රී සහගත පිළිතුරක් වැනිය. එහි තවත් මුදුනට වන්නට ජපන් ක්‍රමයට ඉදිකළ විහාරයකි. එතනට ගිය විට ඔබට මුළු රජගහ නුවර ප්‍රදේශයම නැරඹිය හැකිය.  ගිජුකුළු පව්ව බෑවුමේ යම් ගොඩනැගිල්ලක නටඹුන් ඔබට දැකගත හැකිය. එය මද්ද කුච්චි නම් දාගැබක සලකුණු විශ්වාස කෙරේ. මෙම ස්ථානය අජාසත් කුමාරයාගේ මව ඔහු කුස පිළිසිඳගෙන සිටියදී දරුගැබ මිරිකා විනාශ කිරීමට තැත්කළ ස්ථානය බවද සඳහන් වේ.

ජීවක අඹවනයට නුදුරින් ඔබට ගඩොලින් කළ ගොඩනැගිල්ලක් දැකගත හැකිය. මෙහි දැන් වහලක් දක්නට ලැබේ. ගොඩනැගිලි කීපයක නටඹුන් මේ ස්ථානයේදි නැරඹිය හැකිය. බුදුන් වහන්සේගේ ධාතු බෙදීමේදී අජාසත් රජුට ලැබුණු කොටස තැන්පත් කළ දාගැබ මෙහි වූ බවට මතයකි. මෙයට භූමක ච්ෙතිය යැයි ද නමකි.

සතර පසින් ගත් කඩු රැඳි යන්ත්‍ර ධාතුන් ආරක්ෂා කිරීමට අජාසත් රජු යෙදූ බව වංශ කතාවල දැක්වේ. මෙකී යන්ත්‍රය වාල සංඝාටක යනුවෙන් හඳුන්වයි. එනිසා මෙම ච්ෙතියවාල සංඝාටක නමින්ද ප්‍රකටය. ධර්මාශෝක රජතුමා අසූ හාර දාහක් වෙහෙර විහාරවල නිදන් කිරීම සඳහා මෙතනින් ධාතු ලබාගත් බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. පෙර කී තැන් රැසකට ඔබට රජගහ නුවර සංචාරයේදී ගමන් කළ හැකිය.

වරුණ අබේසේකර