එදා ඉඳල ධනවතුන් කුණු බක්කිවලට දමන ‍පොත් එකතුකරන්න මම පටන් ගත්තා.

දවසක් පුරුදු පරිදි මං නගරසභා ට්‍රක් රථයේ නැගල කුණු එකතු කරන්න ගියා. අපි ගියේ ධනවතුන්ගේ පාරාදීසයකට. එක් නිවෙසක කුණු බහාලුමක් ට්‍රක් රථයට ඔසවාගෙන යන්න සූදානම් වෙත්දි මං දැක්කා ඒකෙ හොඳට හම් බැම්මෙන් බැඳපු ‍පොතක්. මගේ හිත ඒකට ඇදිල ගියා. මං වහා ඒක අතට ගත්තෙ පූජනීය වස්තුවක් ගන්නවා වගේ. බැලින්නම් ඒක ලියෝ තෝල්ස්තෝයිගෙ ඇනා කැරනිනා. ඔන්න ඔය ඇනා කැරනිනා තමයි මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කළේ. ඇනා කැරනිනා මට හමුවුණේ මීට වසර විස්සකට විතර කලින්.”

“එදා ඉඳල ධනවතුන් කුණු බක්කිවලට දමන ‍පොත් එකතුකරන්න මම පටන් ගත්තා.”
ඉහත සඳහන් කළේ නගර සභා සේවකයෙකුගේ කතාව ය. සමහර විට ඔහු කොළඹ හෝ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කුණු එකතු කරන්නෙකු යැයි ඔබ කල්පනා කිරීමට ඉඩ තිබේ. එය එසේ නම් කෙතරම් අගනේ ද? එහෙත් ඒ කොලොම්බියාවේ බොගෝටා අගනුවර කුණු එකතු කරන්නෙකුගේ කතාව ය.Image result for library from dustbin books

මිනිසෙකුගේ ජීවිතය විවිධ හේතු නිසා වෙනස් විය හැකි ය. මෙකී නගර සභා සේවකයාගේ ජීවිතය වෙනස් කළේ පෙර කී ලෙසම, ‍පොතකි. ඔහු නමින් ජොසේ ඇල්බටෝ ගුටයිරස් ය. දැනට පනස් පස් වැනි වියේ පසුවන ඔහු කුණු එකතු කරන්නෙකු වුව ද කොලොම්බියාවේ ජනප්‍රිය වී ඇත්තේ ‘‍පොත් රජු’ ලෙසිනි.

ටොල්ස්ටෝයිගේ ඇනා කැරනිනා ‍පොතෙන් ආරම්භ කළ ඔහුගේ ‍පොත් එකතු කිරිල්ල කෙතරම් දුරදිග ගිහින් තිබෙනවා දැයි සඳහන් කළොත්, ඔහු සහ දරුපවුල වාසය කරන නිවසේ බැලූ බැලූ අත නෙත ගැටෙන්නේ විවිධ වර්ගයේ නොයෙක භාෂාවලින් ලියූ ‍පොත්පත් ය, ඉපැරැණි පත්තර හා සඟරා ය. ජොසේ නම් ප්‍රකාශ කරන්නේ තම ගෘහස්ථ පුස්තකාලයේ විවිධ විෂයවලට අදාළ ‍පොත් විසිදහසකට අධික ප්‍රමාණයක් තිබෙන බව ය.Image result for library from dustbin books

ජොසේ මෙතරම් ‍පොත්වලට පෙම් බඳින්නෙකු බවට පත් වූයේ කෙසේ ද? අපි ඔහුගෙන්ම ඒ කතාව අසමු.

“මගේ මවුපියන්ට මාව දිගටම පාසලකට යවන්න තරම් ලොකු වත්කමක් තිබුණෙ නෑ. ඒ නිසා මම ගියේ පාස‍ලේ දෙකේ කැලෑසියට විතරයි. හැබැයි මගේ අම්මා හැමදාම කතන්දර ‍පොතක් අරගෙන තමයි නිදාගන්න ඇඳට ගියේ. ඇය ඒ ‍පොතේ කතන්දර රස කරල මට කියල දෙනවා. එදා ඉඳල මම හිතුවා ‍පොත්වල ගොඩක් දේවල් තියෙනව කියල. ඒත් එක්කම ‍පොත් ගැන මට ලොකු ආසාවක් ඇති වුණා. ඔය අතරේ ලොකු මහත්වෙලා නගර සභාවෙ වැඩට ගියත් ‍පොත් ගැන ආසාව නැති වුණේ නෑ.”

ජොසේ තම කතාව එසේ පැහැදිලි කරයි. ඔහුගේ ‍පොත් එකතු කරන වැඩේට කුණු එකතු කරන සගයන්ගෙන් මුල දී එතරම් අනුබලයක් ලැබුණේ නැත. එහෙත් පසුව වැඩේ වටිනාකම තේරුම් ගත් සගයෝ ඔහුට උදව් කළ හ. බොගෝටා අගනුවර පුස්තකාල රැසක් තිබුණ ද දුප්පත් ජනතාවට ඒවායෙන් ඵල ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාවක් නො ලැබුණු තරම් ය. Related imageඑයට හේතුව, ඒ පුස්තකාල දුප්පත් ජනතාව වාසය කළ ප්‍රදේශවලින් බොහෝ ඈත තිබිම ය. එහෙත් ජොසේ ගේ අසල්වැසියන් වන දුප්පත් ජනතාව ඔහුගේ නිවසට ‍පොත්පත් සොයාගෙන දිනපතා පැමිණෙති. මවුපියන් බෙහෙවින් ජොසේ ගේ නිවසට පැමිණෙන්නේ තම දූ දරුවන්ගේ අධ්‍යාපන වැඩවලට වුවමනාකරන කරුණු සොයා ගැනීමට ය.  එපමණක් නොව, ඔහුගේ නිවස අවට ජීවත් වන කුඩා දරුවෝ දිනපතා මේ අපූරු පුස්තකාලයට පැමිණ රිසි සේ ‍පොත්පත් පරිහරණය කරති. ජොසේ ඔවුනට කියවීම පිළිබඳ මූලික හුරුවක් ලබා දේ. ඔහු ද නිකන් ඉන්නේ නැත. රෑ බෝ වී නිවසට පැමිණිය ද ඔහු යම් වේලාවක් පුස්තකාලයේ ගත කරයි. පසුව හිමිදිරි පාන්දර නැගිට පැය ගණනාවක් ගෙවා දමන්නේ ‍පොත්පත් අතරය.

ඔහුගේ මේ ගෘහස්ථ පුස්තකාලය පවත්වාගෙන යෑම සඳහා බිරිඳ සහ දූ දරුවන්ගෙන් ලැබෙන්නේ ද නොමඳ සහයකි. ඔහුගේ දූ දරුවෝ ප්‍රදේශයේ අනෙක් දරුවන් සමග කාලය ගත කරන්නේ ‍පොත්පත් සමග ය. එනිසා තම වැඩිමහල් දියණිය ඇතුළු ප්‍රදේශයේ බොහෝ දූ දරුවන්ට සරසවියේ දොරටුව විවර වූ බව ජොසේ කියයි.

“දැන් මගේ පුස්තකාලයට වැල නොකැඩී පාඨකයන් එනවා. නිරන්තරයෙන් ‍පොත්පත් ගැන විමසල නිවසට දිනපතා දුරකථන ඇමතුම් රැසක් ලැබෙනවා. මගේ බිරිඳ ඒවාට කතා කරල ‍පොත්පත් ගැන විස්තර කියනවා. වැඩිමහල් දියණිය ලොකු ආසාවකින් මේ වැඩේට උදව් කරනවා. පුතා පරිපාලන වැඩ බලනවා. මේ එකතුකරන ‍පොත් මං ඈත ග්‍රාමීය ප්‍රදේශවල පුස්තකාලවලටත් බෙදල දෙනවා. මේ පුස්තකාල මගෙන් ‍පොත් ලැබෙනකන් අපේක්ෂා සහගතව සිටිනවා.” ඔහු කියයි.Image result for library from dustbin books

ජොසේගේ මේ පුස්තකාලය ඔහු හඳුන්වන්නේ ‘වචන ශක්තිය’ යන අරුත දෙන වචනයකිනි. ‍පොත්වල මිනිස් වර්ගයාගේ හොඳම වචනවල ශක්තිය අන්තර්ගත බව ජොසේ දහමක් සේ අදහයි. ඔහුගේ මේ පුස්තකාලයට විවිධ වර්ගයේ අය ‍පොත් සොයා පැමිණෙති. කොලොම්බියානු රජය සමග සාම ගිවිසුමකට එළඹ අවි හරණය කළ එරට ප්‍රාක් ගරිල්ලා සංවිධානයේ සමහර හිටපු කැරැලිකරුවෝ ද ජොසේ ගේ ගෙදරට ‍පොත් සොයාගෙන පැමිණෙති.

“මේ හිටපු ගරිල්ලා භටයන් මගේ නිවසට ඇවිල්ලා ඒ අයට සාමාන්‍ය ජන ජීවිතයට හුරුවීමට මග පෙන්වන සහ වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට උදව් වන ‍පොත්පත් සොයනවා. මං ඉතාම කැමැත්තෙන් ඔවුන්ට ඒ ‍පොත්පත් සොයල දෙනවා. ධනවතුන් කුණු බක්කියට දැමූ මා බේරාගත් මේ ‍පොත්වලින් කෙතරම් යහපතක් වෙනවද කියල කල්පනා කරන කොට මට ලොකු සතුටක් දැනෙනවා. ‍පොත් මාව වෙනස් කළා. ඇත්තෙන් ම ‍පොත කියන්නේ බලා‍පොරොත්තුවේ සහ සාමයේ සංකේතයක්.”Image result for library from dustbin books

ජොසේ ඉතා බැරෑරුම් විලසින් කියයි. ජොසේට තියෙන්නේ ‍පොත් හා බැඳුණු අපේක්ෂා ය. වරක් මාධ්‍යවේදියෙක් ඔහුගේ මේ ගමනේ අවසන් අපේක්ෂාව කුමක් දැයි විමසූ විට ඔහු පැවසූයේ මෙවැනි කතාවකි.

“මගේ එකම බලා‍පොරොත්තුව මේ කුණු ට්‍රක් රථය කුණු වෙනුවට ‍පොත්පත්වලින් පුරවල ගමින් ගමට, නගරයෙන් නගරයට සංචාරය කිරීමයි.”

ඇත්තෙන්ම ‍පොතකින් මිනිස් ජීවිතයකට කෙතරම් බලපෑමක් කළ හැකි දැයි යන්න අපට ජොසේගෙන් උගත හැකි පළමු වැනි පාඩමය. දෙවැනි පාඩම අප ජීවත් වන සමාජයට යහපතක් කිරීමට කෙතරම් නම් මාර්ග තිබෙනවා ද යන්නයි. ජොසේ තම ‍පොත්පත් කියැවීමේ ආසාව සපුරා ගත්තේ තවත් දස දහස් ගණනකට ‍පොත්පත් කියවීමට මග පාදමිනි.Image result for library from dustbin books

වරුණ අබේසේකර