ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැකගැනීමට පෙරට ආ දරමිටි පෙරහැර

පුරාණ කාලයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැකගැනීම පිණිස එම දිනයේ සිදුකළ විශේෂ පෙරහැරක්‌ ගැන විස්‌තර කිරීම මෙම ලිපියේ අරමුණ වන්නේය.

මීට වසර 2599 ඉහතදී සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ පුරාණ දඹදිව (මෙකල ඉන්දියාවේ) ගයාවේ පිහිටි (උරුවෙල් දනව්වේ) ඇසටු වෘක්‍ෂය මූලයෙහිදී සම්මා සමුබුද්ධත්වයට පත් වූ සේක. මෙසේ තිලොවට නායක ශාන්ති නායකයාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට සෙවණ දුන් එම ඇසටු වෘක්‍ෂය ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ නමින් ප්‍රකට විය. ගයා නමින් ප්‍රකට වූ එම ප්‍රදේශය බුද්ධගයාව නමින් ලොව එදා පටන් ප්‍රකට විය.

අනුරාධපුර සිංහල රාජ යුගයෙන් පසුව වල්බිහිවීමට පූර්ව කාලයේදී එනම් ක්‍රි.පූ. 4 වැනි සියවසේදී ඉතා දියුණු නාගරික ශිෂ්ටාචාරයක්‌ පැවැති බව දීපවංස, මහාවංස ආදී පුරාණ පාලි ග්‍රන්ථවල සඳහන්වන පණ්‌ඩුකාභය රාජ යුගය පිළිබඳ තොරතුරුවලින් පැහැදිලිවේ. පණ්‌ඩුකාභය රජුගේ පුතෙකු වූයේ මුටසිව රජුය. ඔහුගේ ඉතා පුණ්‍යවන්ත පුතා (පුතුනේ අතරේ) තිස්‌ස ඉන්පසු රජ විය. ඔහු දේවානම්පියතිස්‌ස රජතුමාය. ඒ කාලයේදී මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බව ඉතා ප්‍රකටය.

මහින්දාගමනයෙන් මාස පහකට පසුව එහි අතුරු සිදුවීමක්‌ ලෙසින් දුමින්දා ගමනය හෙවත් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණ ශාඛාවක්‌ දඹදිව බුද්ධගයාවේ සිට ලංකාවට වැඩමවන ලද්දේ සංඝමිත්තා මෙහෙණි වර ප්‍රමුඛ භික්‍ෂුණීන් වහන්සේලා විසිනි. එය බුද්ධ වර්ෂ 236 දීය. බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන අවධියේදී දඹදිව රජ කළේ අසෝක රජතුමාය. (පසුව ධර්මාශෝක රජු) ලංකාවේ රජ කළේ තිස්‌ස (පසුව දේවානම්පියතිස්‌ස) රජතුමාය.

ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවීම පිළිබඳ පුවත සැළවූ වහාම දෙවන පෑතිස්‌ රජතුමා මහ රහතන්වහන්සේ හා සංඝරත්නය යාපන අර්ධද්වීපයේ පිහිටි දඹකොල පටුනට (මෙකල කන්කසන්තුරේ නමින් සමහරු සඳහන් කිරීම සාවද්‍යය. පුරාණ දඹකොල පටුන හෙවත් ජම්බුකෝල පට්‌ටන මෙකල සෙම්බිලි තුරෙයිය.) ගොස්‌ සිටියහ. දේවානම්පියතිස්‌ස රජතුමා දඹකොලපටුනේ වරායේ මුහුදෙ කරවටක්‌ බැස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාව රැගත් නැව අසලට ගොස්‌ එම ජය ශ්‍රී මහා බෝධි ශාඛාව සහිත වූ පාත්‍රය හිසින් දරාගෙන ගොඩ බිමට පැමිණියේය.

එම ජය ශ්‍රී මහා බෝධි ශාඛාව අනුරාධපුරයේ මහමෙව්නා උයනේ උඩමළුවේ ඉතා උත්කර්ෂවත් වූ අන්දමින් රාජකීය ආගමික උත්සවයක්‌ ලෙසින් පැවැත් වූ බව දීපවංසය, මහාවංසය හා සමන්තපාසාදිතා යන පුරාණ ග්‍රන්ථවල සඳහන් වී ඇත.

දළදා වහන්සේ ලංකාවට වැඩම කරන ලද්දේ කාලිංග දේශයේ සිට හේමමාලා හා දන්ත කුමරුන් විසින් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ කාලයේදීය. ඊට පෙර රජවරුන් හා ජනතාව විසින් බුදු රජාණන් වහන්සේට කෙරෙන පුද සත්aකාර පවත්වන ලද්දේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටය. දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවීමෙන් පසුවද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට කෙරෙන පුද සත්කාර එසේම පැවතිණි. ඒ සඳහා රාජකාරි කරන පරම්පරා වලට අතීතයේ සිට ගම්වර පවා ලබා දී තිබිණි.

Image result for ශ්‍රී මහා බෝධීන්

අප මෙහිදී විශේෂ අවධානය යොමු කරවන කරුණක්‌ නම් මෙම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මව් වෘක්‍ෂරාජයාණන් වහන්සේ අද බුද්ධගයාවේ නොමැති බවයි. එය අශෝක රාජ සමයේදීම අශෝක රජුගේ බිසවක වු අසුන්ධිමිත්‍රා බිසව මියගිය පසුව ආවාහ කරගත් තිස්‌සා රක්‌ඛා බිසව විසින් විනාශ කරන ලද බව මහා වංශයේ සඳහන් වේ.

මහා වංසය – 20 පරිච්ඡේදය – ගාථා 1- 6

මේ නිසාම අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ උඩමළුවේ අදත් වැඩසිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සැබවින්ම ලෝකවාසී ජනතාවගේද ලෝක උරුමයක්‌ වන්නේය. එය තවමත් යුනෙස්‌කෝව වෙත මතක්‌ කරදීමට අප රටේ දේශපාලන නායකත්වය ක්‍රියාකළ යුතුව ඇත. අප රටේ මුතුන්මිත්තෝ නම් මෙහි ඇති අගය වටහා ගත්හ. ඒ නිසාම ඔවුහු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන සතුන්ගෙන් රැක ගැනීමට කළ ක්‍රියාවලිය (රාජ්‍ය නියමයකින් හෝ රාජ්‍ය අනුග්‍රහයකින් නොවේ) නිකිණි පුර පසළොස්‌වක දා සිදු කෙරිණි. එය දරමිටි පෙරහැර නමින් ප්‍රකට වූයේ කෙසේද යත්.

අනුරාධපුර සිංහල රාජ යුගයට පසුව වල් බිහිවීම නිසා එම ප්‍රදේශවාසී සැදැහැවත් මිනිසුන් විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්‌ෂාව පිණිස රාත්‍රී මුළුල්ලේම ඒ අවට ගිනිමැල ගසා ඇත. මෙය කාලයත් සමඟ ඒ සඳහා අවශ්‍ය වන දර ගෙන්වීමේ පුරුද්දක්‌ ද ඇතිවිණි. ඒ සඳහා විශේෂිත වූ දිනයකදී දර එකතුකර ගොඩගැසීමේ සම්ප්‍රදායක්‌ (ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයෙහි) ඇති විණි. ඒ අනුව සෑම වසරකම නිකිණි පොහොය යොදාගත් නිසා රජරට වාසීන් විසින් නිකිණි පොහෝය හඳුන්වන ලද්දේ “දරමිටි පොහොය” නාමයෙන්ය.

ඒ අනුව නිකිණි පුර පසොළොස්‌වක පොහෝය මේ සඳහා සුවිශේෂ අවස්‌ථාවක්‌ උදා කරදී ඇත. ශ්‍රී මහා බෝධීන් වහන්සේ කැලේ වසන සතුන්ගෙන් ආරක්‍ෂා කිරීම එම ශ්‍රී මහා බෝධින් වහන්සේ අවට ගිනිමැල ඇවිලීමට අවශ්‍ය වන දර රැස්‌ කිරීම දරමිටි පෙරහැරේ ප්‍රධාන අරමුණ වන්නේය. දරමිටි පෙරහැර පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්‌ වරයෙකු වූ මාකස්‌ ප්‍රනාන්දු මහතා මෙසේ සඳහන් කර ඇත. මුළු අනුරාධපුරයම වනයෙන් වැසී ගිය පසු අලි ඇතුන් විසින් අවට ගස්‌ කොළන් විනාශ කරන කාලයෙන් බෝධි වෘක්‍ෂයේ ආරක්‌ෂාව දුප්පත් ගම්මුන් විසින් සංවිධානය කරන ලදී.

ඒ කාලයේ රැයක්‌ පාසා ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිසාරා මහා ගිනිමැල ගසාගත් ගම්මු අලි ඇතුන් පලවා හරිමින් බෝධි රාජයා ආරක්‌ෂා කරගත්හ. අවුරුද්දක්‌ මුළුල්ලේම රාත්‍රියක්‌ පාසා ගිනිමැල ගැසීමට අවශ්‍ය වන දර තිබිණි. පුර පසළොස්‌වක්‌ පොහෝ දින පෙරහැරෙන් ගෙනෙන ලදී. අදත් පළාත්වාසී දුප්පත් ගැමියෝ මේ දරමිටි පෙරහැර පවත්වති.Image result for ශ්‍රී මහා බෝධීන්

මීට අමතරව ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිසා අප රටේ ඇතිවූ සංස්‌කෘතික ප්‍රබෝධය හාත්පසින්ම අමතක කළ නොහැකිය. මේ පිළිබඳව සබරගමු විශ්ව විද්‍යාලයේ කුලපති, කිරි වෙහෙරේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය අලුත්වැව සෝරත මාහිමිපාණන් වහන්සේ මෙසේ විස්‌තර කරති.

බුදු දහම ලක්‌දිවට වැඩම කිරීමේ ක්‍රියාදාමයේ සර්ව ව්‍යාපි පදනම වූයේ බෝධි ප්‍රතිස්‌ථාපනයයි. බුදු දහම ලංකාවේ ව්‍යාප්ත වී ගිය වේගයෙන්ම ලක්‌දිව පුරා බෝධි රෝපණය ද ව්‍යාප්තව ගියේය. සංඝමිත්තා මෙහෙණිය විසින් ගෙන එනු ලැබූ බෝධි අංකුරයෙන් හටගත් රුක්‌ඵල බෝධි හතලිහක්‌ ලංකාවේ සිව්දිගින්ම රෝපණය කරනු ලැබීය. බෝධි වෘක්‌ෂ දෙවැනි වූයේ ජීවමාන බුදුරජාණන් වහන්සේට පමණි. බුදු දහම ලාංකික ජන ජීවිතය නව මගකට යොමු කළාක්‌ මෙන්ම බෝධිය හා ඒ වටා ගෙතුන චාරිත්‍ර වාරිත්‍ර ලාංකික ජන ජීවිතය වෙලා ගත්තේ ය. ඒ ඇසුරින් නවමු සංස්‌කෘතියක්‌ද ගොඩනැගුනේය.

ශ්‍රී ලංකාවේ බෝධි සංස්‌කෘතිය – 1994 – පි 285-286

අප රටේ ජනතාව මෙතරම් සිය දෛනික ජීවිතය හා බද්ධ ව අප ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක ගැනීමේ ඒ මහා පින්කමට ඔවුන් දායක වූයේ දැනුදු දායක වන්නේ කුමක්‌ නිසාද යන්න ඉහත සඳහනින්ම පැහැදිලි වේ.

එවන් වූ මහා වෘක්‍ෂ රාජයාණන් වහන්සේ සජීවී වෘක්‍ෂයක්‌ නිසා එය රැක ගැනීමේ කාර්යය අදත් රජය මැදිහත් වීමෙන් සිදුවේ. මෙය නම් ඉමහත් අසිරියකි.

සිරිසමන් විඡේතුංග