ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ලෙන් උපන් රාජ කුමාරයා

ලෝක ශිෂ්ටාචාරයේ තොටිල්ල යෑයි සලකනු ලබන මිසරය පිහිටා තිබෙන්නේ සෑම පැත්තකින්ම කාන්තාරවලින් වට වූ භූමි ප්‍රදේශයකය. එහෙයින් ඒ රට කාගෙත් මවිතයට හා කතාබහට ලක්‌වන්නට විය. මේ ශිෂ්ටාචාරය නඟාලීමට උපකාර වූයේ නයිල් ගංගාවයි. එහෙයින් ඉතිහාසඥයන් මිසරය හඳුන්වන්නේ නයිල් ගංගාවගේ දායාදයක්‌ හැටියටය.

වනචාරීව ඇවිදිමින් සිටි මිනිසා උසස්‌ ජීවන රටාවකට පුරුදු වූයේ සාරවත් නයිල් නදී මිටියාවතට පිංසිදු වන්නටය. එෙŒර ජීවිතයෙන් ගොවිතැනට පුරුදු වූ මිසර ජනයාට නොබෝ කලකින් වැටහී ගියේ ඔවුන්ගේ පරම සතුරා මෙන්ම පරම මිතුරා ද නයිල් ගංගාව බවයි. මහා කාන්තාරයක්‌ මැද මිසරය නමින් හැඳින්වෙන විශාල ක්‍ෂේම භූමිය මවන ලද්දේ නයිල් ගංගාවේ උත්සාහයෙන් බව කීවොත් නිවැරදිය. එම නිසා ඒ ක්‍ෂේම භූමියේ ස්‌වාධිපත්‍යය බලය අවුරුදු දහස්‌ ගණනක්‌ මුළුල්ලේම නයිල් ගංගාවට හිමිවී තිබේ.

ගොදුරු සොයා යන නාග රාජයකුගේ විලාසය ඇති මේ ගංගාව සැතපුම් දහස්‌ ගණනක්‌ ඈත සිට ගෙනෙන ලද පොහොරින් යුත් මහා ජලස්‌කන්ධය මේ මරු කතර විවිධ වෘක්‍ෂලතාවන්ගෙන් අලංකාර කර ඇත. මිසරවාසීන් විසින් සියලු ධනයට වඩා අගය කොට මහත් ප්‍රීතියෙන් පිළිගන්නා ලද්දේ නයිල් නදියේ වතුරය. රොන්මඩ සහිත බොර වතුර ඈට ලැබුණේ අවුරුද්දට මාස තුනක්‌ පමණි. මිසරයේ ජල ගැල්ම නයිල් ගඟේ සාමාන්‍ය ජල මට්‌ටමේ සිට අඩි දහහතක්‌ පමණ දක්‌වා උසට නගියි. මේ ගැන මිසරවාසීන් අතර පවතින කතාවක්‌ ද පැවතුණි.

අඩි දහතුනක්‌ උසට ජලගැල්ම වූයේ නම් එය ගොවිතැනට සෑහෙන තරම්ය. අඩි දහහතරක්‌ උසට ජල ගැල්ම වූයේ නම් ප්‍රීති වීමට කාරණයකි. අඩි පහළොවක්‌ උසට ජල ගැල්ම වූයේ නම් අනාගතයේ සුරක්‍ෂිතභාවයට හේතුවකි. අඩි දහසයක්‌ උසට ජල ගැල්ම වූයේ නම් අනාගතය සමෘද්ධිමත් වීමේ සංඥාවකි. අඩි දොළහක්‌ උසට ජල ගැල්ම වූයේ නම් සාගතයක්‌ ඇතිවීමේ පෙරනිමිත්තකි.

Related image
ගලින් නෙලන ලද මිනීපෙට්‌ටිය තුළ තැන්පත් කර ඇති ටූටන් කාමන් රජුගේ “මමී”” වල සිරුර මෙහි දැක්‌වේ

මිසර ශිෂ්ටාචාරය ගොඩනැගුණේ මිසර ගොවි ජනතාවගේ නොපසුබට උත්සාහයෙන් හා නයිල් ගඟේ වතුරේ සහයෝගයෙනි. පුරාවිද්‍යාඥයෝ මිසර ශිෂ්ටාචාරයට සැලකුවේ සියලු ශාස්‌ත්‍ර හා විෂයන්ගේ කිරිමවු ලෙසය. විවිධ ශිල්පයන් සොයාගැනීමේ දක්‍ෂ වූද, තේජාන්විත ක්‍රියාවන්ගේ සංධිස්‌ථානය වූද අසමසම චාරිත්‍ර වාරිත්‍රයන්ගෙන් සමන්විත වූද මිසර ශිෂ්ටාචාරය යුරෝපීය ශිෂ්ටාචාරය නඟාලීමට එකහෙළාම ඉවහල් වී ඇත.

මෙම කරුණ හේතුකොටගෙන සුප්‍රසිද්ධ මිසර පුරාවිද්‍යාඥයෙක්‌ වූ ඉංග්‍රීසි ජාතික සර් ලෙනාඩ් වුලී මහතාගේ කියමනක්‌ මෙහිදී සඳහන් කළ යුතුව ඇත. ක්‍රිස්‌තු වර්ෂයට පෙර දහහතර වැනි ශතවර්ෂයේ මිසර ඉතිහාසය ද ක්‍රිස්‌තු වර්ෂයෙන් පසු දහහතරවැනි ශත වර්ෂයේ එංගලන්ත ඉතිහාසය ද සසඳා බලන විට මිසර ඉතිහාසය ජනයාගේ එදිනෙදා ජීවිතය ඇතුළු සෑම අංගයන්ගෙන්ම සම්පූර්ණ බව කිවයුතුය.

අභාවයට ගිය පැරණි ශිෂ්ටාචාරයන් අතර දකින්නට නොලැබෙන විශේෂ ගුණාංගයක්‌ නිසා අදත් මිසරය ලෝකයේ විපුල සම්මාන ලබයි. ඒ අංගය නම් අවුරුදු දහස්‌ ගණන් පැරණි “මමී” හෙවත් නොදිරන ලෙස සුරක්‍ෂිතව තැන්පත් කෙරුණු මළ සිරුරුය. මිසරයේ ඉතිහාස යුගය ආරම්භ වීමට පෙර ද මෙම නොදිරා යන මළසිරුරු පැවැති බව සඳහන් වේ. ඒ මළසිරුරු නොදිරා යැමට ප්‍රධාන හේතුව වූයේ ලෝකයේ කිසිම රටක දක්‌නට නොලැබෙන ස්‌වභාවධර්මයක්‌ මිසරයේ පැවැතීමය. එයට ප්‍රධාන හේතුව නම් මහා කාන්තාරය. වර්ෂාවක්‌ නොමැති යන්තම්වත් තෙතමනයක්‌ නැති මරුකතරට අසුවන සෑම දෙයක්‌ම මරුකතර විසින් රකිනු ලැබේ.

Image result for tutankhamun
මෙහි පෙනෙන මුහුණ නම් රජුගේ මුහුණේ ස්‌වරූපයට ගැලපෙන සේ රනින් කළ රාජ්‍ය ලාංඡනයන්ගෙන් හෙබි වෙස්‌ මුහුණකි. රජුගේ මළසිරුරේ මුහුණ ඇත්තේ මේ වෙස්‌ මුහුණට යටිනි.

මෙසේ ජරාවට පත් නොවූ මළසිරුරු දුටු මිසර වැසියෝ ඒවා නැවත පණ ලබාගෙන නැගී සිටිතියි සිතූහ. නයිල් ගඟ නිsසා ඇති වූ සමෘද්ධියෙන් පිටරටවල් සමඟ පැවැති සම්බන්ධයන් නිසා ලෝකයේ එදා ශ්‍රේෂ්ඨතම ජාතිය බවට පැමිණි මිසරයේ රජවරු තම මළසිරුර නොනැසෙන පරිද්දෙන් රැකගනු සඳහා ඇඳ, පුටු ආදී දේ ඇති නිදන කාමර ශාලා ආදියෙන් යුත් සොහොන් ගෙවල් තනා ඒවා වස්‌තුවෙන් හා ආහාර පානාදියෙන් පුරවා තැබූහ.

මෙසේ ඒ සොහොන් ගෙවල් තුළ ආහාර පානාදිය තැන්පත් නොකරන ලද්දේ නම් තමන් මරණයෙන් පසු මහත් කරදරයකට පැමිණෙන බව ඒ රජවරුන් විශ්වාස කළහ. සොහොන් ගෙවල්වල තැන්පත් කර ඇති වස්‌තුවල වටිනාකම නිසා ඒ සොහොන් ගෙවල් හාරා බලන්නට පුරාවිද්‍යාඥයන් පිරිසක්‌ විසින් ගත් තීරණයක්‌ අනුව ඉංග්‍රීසි ජාතික පුරාවිද්‍යාඥයකු වූ “හෝවර්ඩ් කාටර්” මහතා විසින් කරන ලද කැණීම්වල ප්‍රතිඵලයක්‌ වශයෙන් මිසරයේ “ටූටන් කාමන්” රජුගේ සොහොන සොයාගන්නා ලදී. ඒ 1922 වසරේදීය. එතෙක්‌ එය රහසක්‌ව පැවැති බව සඳහන් වේ. එම සොහොන පරීක්‍ෂා කිරීමේදී දක්‌නට ලැබුණේ වසර තුන්දහසකට පෙර තැන්පත් කරන ලද මිසරයේ “ටූටන්කාමන්” රජුගේ මළ සිරුරය. මෙහි තැන්පත් කර තිබූ ඇඳ පුටු ආභරණ ආදී සෑම දෙයක්‌ම වෙනස්‌ නොවී පැවැති බව සඳහන් වේ.

මෙය වෙන රටක තබා මිසරයට වුවද ඉතා දුර්ලභ දර්ශනයක්‌ විය. මෙම සොහොන පිහිටා තිබුණේ මිසරයේ අගනුවර වූ කයිරෝ නගරයේ සිට සැතපුම් හාරසිය විස්‌සක්‌ දුරින් පිහිටි “කිඩ්ස්‌” මිටියාවතේය.

ටූටන් කාමන් රජුගේ මළ සිරුර (මමිය) තිබුණු කාමර තනා තිබුණේ විශාල ගල් පර්වතයක්‌ හෑරීමෙනි. මිසරයේ රජවරු ඉතිහාසඥයන් විසින් හඳුන්වනු ලැබුවේ පළමුවැනි වංශය, දෙවැනි වංශය ආදී වශයෙනි. ටූටන් කාමන් රජු දහඅටවැනි වංශයට අයත් විය. ටූටන් කාමන් රජුගේ රාජ්‍ය කාලය ක්‍රිස්‌තු වර්ෂයට පෙර 1357 සිට 1345 දක්‌වා විය. ටූටන් කාමන් රජකමට පත්වන විට ඔහුගේ වයස අවුරුදු දොළහක්‌ යෑයි කියති. මියයන විට වයස විස්‌සකට වැඩි වී නැත. ඔහුගේ බාල වයසේ මරණයට හේතුව කිසිවකු නොදන්නා රහසක්‌ විය.

රජුගේ සොහොන නයිල් ගඟේ උතුරු පෙදෙසේ කිඩ්ස්‌ මිටියාවතේ පිහිටි ගල් පර්වතය හාරා සාදා ඇත. සොහොනේ ඇතුළතට පිවිසෙන්නට පෙර ගල් පර්වතයෙන් නෙලූ දොරවල් තුනකින් ඇතුල් වී පටු මාවතක්‌ ඔස්‌සේ යා යුතුයි. එසේ ගිය පසු දක්‌නට ලැබෙන්නේ දිගින් අඩි විසිහයකින් හා පළලින් අඩි දොළහකින් යුත් මැද ශාලාවය. රජු පාවිච්චි කළ රාජකීය රථ වාහන ඇතු=ළු බඩු කීපයක්‌ මෙහි ඇත. ඊට අමතරව මඳක්‌ විනිවිද පෙනෙන නෙලුම් මල් හැඩයේ අත්වලින් යුත් සිතූ පැතූ දේ ලබාදෙන බඳුනක්‌ ද එහි ඇත. ඉහතින් සඳහන් කළ රාජකීය රථවාහන මැණික්‌ ඔබවා පොලික්‍රෝම් නමැති වීදුරුවලින් සරසා පිළියෙල කර ඇත. රථයේ අශ්වයාගේ ශිෂාභරණය වශයෙන් තිබුණේ පැස්‌බර පිහාටුවලින් සාදන ලද විසිතුරු නිර්මාණයකි.

මේ විචිත්‍ර ශෝභාව මධ්‍යයේ රාජ තේජසින් දිලිසෙමින් වලාකුළුවලින් තොර මිසර අහසේ පෙරදිග හිරු රැසින් බබල බබලා ටූටන් කාමන් රජු පෙරහැරින් යන විට එය දිව්‍යමය දර්ශනයක්‌ විය හැකි යෑයි කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ පොක්‌ස්‌ මහතා වරක්‌ කියා ඇත.

රජුගේ සිංහාසනය දේවදාර ලීයෙන් තනා රන් පතුරින් නිමකරන ලද්දකි. සිංහාසනය මුදුනේ සිංහ රූප කොටා ඇත. අත් ඇඳි රන් රිදී හා මැණික්‌ ඔබ්බවා විහිදූ පියාපත් දෙකක හැඩයට සාදා ඇති මෙම සිංහාසනයේ ඇතුල් පැත්තේ රූපවලින් දැක්‌වෙන්නේ තරුණ රජතුමා හා බිසව පිළිසඳරෙහි යෙදී සිටින ආකාරයයි. සිංහාසන නාග රූපවලින් අලංකාර කර තිබේ.

රජතුමාගේ සිරුර තබා තිබෙන කාමරයට ඇතුල් වන දොරටුවේ කඩු අතින් ගත් දොරටුපාලයන් දෙදෙනකුගේ ප්‍රතිමා නෙලා ඇත. රජතුමාගේ සයනාගාරයේ ඇති බිත්ති වර්ණවත් ලෙස චිත්‍රවලින් කැටයම් කර ඇත. එහි මල්දම් පැළඳ සිය සේවක පිරිස මැද රජතුමා සැතපී සිටින ආකාරය දක්‌නට ලැබේ. එහි මෙසේ ලියා තිබේ. “රාජ මාලිගයේ සේවකයෝ ටූටන් කාමන් රජු සමඟ පෙරහැරින් දෙවියන් දක්‌නට යති.

රාජකීය පුරෝහිතයා මියගිය රජතුමා වෙනුවෙන් ආගමික චාරිත්‍ර කරන සැටි ද බිත්තියේ කැටයම් කර ඇති අතර මිසරයේ ආගමික ලාංඡන ද ඒ අතර වේ. රජතුමාගේ මමිය (මළ සිරුර) අසලින් සුවඳ විලවුන් සහිත බඳුනක්‌ තබා ඇත. ගලින් නෙළන ලද මිනීපෙට්‌ටියේ විසිතුරු ලෙස කරන ලද කැටයම් අතර ආරක්‍ෂක දෙවිවරුන් වූ “අයිඩිස්‌ හා නෙජතිස්‌” දෙදෙනාගේ රූප ද වේ. ඒ ගල් මිනී පෙට්‌ටිය ඇතුලේ තවත් මිනී පෙට්‌ටියක්‌ ඇත. මේ පෙට්‌ටිය පුරාණ පාරාවෝ රජදරුවන්ගේ තේජසට හා සමෘද්ධීයට ගැලපෙන පරිද්දෙන් තනා තිබේ. මෙම දෙවැනි පෙට්‌ටිය ඔලිව්, නිල් මහනෙල් මල්වලට සමාන සිතියම්වලින් සරසා ඇත. දෙවැනි පෙට්‌ටිය ඇතුළේ තවත් තුන්වැනි පෙට්‌ටියක්‌ ද වේ. ටූටන් කාමන් රජතුමාගේ මළ සිරුර තිබෙන්නේ මෙම තුන්වැනි පෙට්‌ටියේය. රජතුමා සියතින් කපන ලද බටලීයක්‌ ද එහි තබා තිබේ.

මේ මළ සිරුර දවටා තිබෙන්නේ රතු සහ කහපාට ලිනන් රෙදි වලය. පියා සැතපී තරුණ රජතුමා තම පපුවේ අතක්‌ පිට අතක්‌ තබා නෙත් පියා සැතපී සිටින ආකාරය දක්‌නට ලැබේ. ජීවිතයේ තරුණ වයසේදී මියගිය රජතුමා ළදරු වියේ සිටම රජ මාළිගයේදී භාවිතා කළ සෑම භාණ්‌ඩයක්‌ම මේ සොහොනේ තබා ඇත.

මෙම සුන්දර නමුත් සංවේගජනක දර්ශනය එදා වසර තුන්දහසකට පෙර තිබුණු පරිද්දෙන්ම පළමු වරට දැකගන්නට ලැබීමේ භාග්‍යය හිමිවූයේ හොවාර්ඩ් කාටාර් නමැති ඉංග්‍රීසි ජාතික පුරාවිද්‍යාඥයාටය. මේ මාහැඟි වස්‌තුවලින් වැඩි හරියක්‌ම මිසරයේ අගනුවර වූ කයිරෝ නගරයේ පිහිටි කෞතුකාගාරයේ හා එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් නගරයේ ඇස්‌බෝලියන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා