ණයට ගත්ත හැම සතයක්ම දැඩි විනයකින් තමයි වියදම් කළේ. අනවශ්‍ය සෑම වියදමක්ම කප දැම්මා -මාග ඉංජිනේරු සමාගමේ සභාපති කපිතාන් එම්.ජී කුලරත්න

ව්‍යාපාරය ආරම්භයේදී අත්දකින්නට සිදුවූ අඩුපාඩු සියල්ල නිසි ලෙස හඳුනාගෙන ඒවා මග හැර නිසි අයුරින් ව්‍යාපාරය සැලසුම් කිරීම සහ මෙම සැලසුම් අනවරථව දිගින් දිගටම දැඩි කැපවීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම තම ව්‍යාපාර ජීවිතයේ හැරවුම් ලකුණ වූ බව මෙරට ප්‍රධානතම පෙළේ ඉදිකිරීම් සමාගමක් වන මාග ඉංජිනේරු සමාගමේ සභාපති කපිතාන් එම්.ජී කුලරත්න මහතා පවසයි. ඔහු හැරවුම් ලකුණ විශේෂාංගය ඔස්සේ කළ මෙම විශේෂ සම්මුඛ සාකච්ඡාව මෙසේ සැකෙවින් පළවෙයි.

ප්‍රශ්නය :- ඔබේ ව්‍යාපාර ජීවිතය වෙනස් කළ හැරවුම් ලකුණ වුණේ කවර අවස්ථාවද ?
පිළිතුර :– මා මෙය කෙටියෙන් මෙසේ පැහැදිලි කරන්නම්. 1984 දී සුළුවෙන් ආරම්භ කළ අපේ ව්‍යාපාරයට මම පූර්ණ කාලීන ව සම්බන්ධ වෙන්නේ 1985 දී. අපි ව්‍යාපාරය ආරම්භ කළ අවස්ථාවේ විශාල දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. මාස කිහිපයකින්ම සමාගම මුදල් අර්බුද රැසකට මුහුණ දුන්නා. ඒවා වළක්වා ගැනීම අපට ඉතා අසීරු වුණා. අපි සමාගම හැදුවේ මම ජපන් ඉදිකිරීම් සමාගමක සේවය කරල අත්දැකීම් ලැබිමෙන් පසුව වුණත් අපට ප්‍රායෝගික තලයේදී තවත් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වුණා. ඒ මොහොතේ අපි අපේ කළමනාකරණ ක්‍රමයේ සියලු අංශ සියුම් ලෙස විශ්‍ලේෂණය කර නිසි හැදෑරීමක් කර අපේ ගමන සාර්ථකව කර ගන්නට අවශ්‍ය සැලසුමක් සකස් කළා. ඒ විතරක් නොවෙයි, අප මේ සැලැස්ම තුළ අඛණ්ඩව දැඩි කැපවීමෙන් යුතුව රැඳී සිටියා. මෙය අපේ ව්‍යාපාරයේ සාරථකත්වය සඳහා ප්‍රධාන වශයෙන් බලපෑ හැරවුම් ලකුණක් ලෙස මට සඳහන් කළ හැකියි.

ප්‍රශ්නය :- ඔබ මෙය කළේ කොහොමද කියා පැහැදිලි කළොත්?
පිළිතුර :- අපට සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳව කතා කළොත් ඒ සඳහා බලපාන හේතු සීයක් විතර කියන්න පුළුවන් වේවි. විශේෂයෙන් අසාර්ථකවීම්වලදී අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ එක් හේතුවක් මත තබා තීරණ ගන්න. ඇතැම් විට මේ සඳහා බලපාන හේතු 100ක් වුණත් තියෙන්න පුළුවන්. මේ හේතු ව්‍යාපාරයේ අසාර්ථකත්වයට කොහොම බලපෑමක් කළාද කියල පරෙස්සමෙන් යුතුව අධ්‍යයනය කළ යුතුයි. සියුම් ව විශ්‍ලේෂණය කළ යුතුයි.

අපි එය සිදු කළේ එහෙමයි. අපේ පියවර සියල්ල හොඳින් විශ්‍ලේෂණය කොට අපි හොඳ අවබෝධයකට ආවා. ඒ විතරක් නොවෙයි අප අපේ අරමුණ කෙරෙහි ඒකාග්‍රතාවකින් යුතුව වැඩ කළා. අපට යම් අරමුණක් වෙනුවෙන් ඒකාග්‍රතාවකින් යුතුව යොමු වීම දැඩි විනයකින් යුතුව කළ යුතුයි. අප මෙවැනි විනයක්ද නිසි ලෙස අනුගමනය කළා. අපට ආයතනයක් ලෙස යම් විනයක් තිබිය යුතුයි. ආයතනික රාමුව තුළ තිබිය යුතු මෙම විනය නිසි ලෙස ස්ථාපිත වන්නේ එක් එක් පුද්ගලයා තුළ යම් විනයක් ඇති කරගත්තොත් පමණයි. මේ හරහා තමයි අප සාර්ථකත්වයට අවශ්‍ය පදනම දමා ගත්තේ කියල මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය :-  ඔබ මූල්‍ය අර්බුදයක් පැමිණි වෙලාවේ ගත් පියවර පිළිබඳව මෙනෙහි කළොත්?
පිළිතුර :- මූල්‍ය අර්බුදය වෙලාවේ අප මූල්‍ය කලමනාකරණය පිළිබඳව දැඩි විනයකින් සහ ශික්ෂණයකින් යුතුව වැඩ කළා. ණයට ගත්ත හැම සතයක්ම දැඩි විනයකින් තමයි වියදම් කළේ. අනවශ්‍ය සෑම වියදමක්ම කප දැම්මා.එය මම හිතන්නේ ව්‍යාපාරයක මූල්‍ය සාර්ථකත්වයේදී එය ඉතාම වැදගත් කරුණක්.

ප්‍රශ්නය :- මාග සමාගමේ අද පවතින සාර්ථකත්වයට පදනම් වුණා යයි ඔබ අදහස් කරන වෙනත් ප්‍රධාන කාරණා මොනවාද?
පිළිතුර :- අප මුලින් කතා කළ ප්‍රධාන කාරණා සමග බද්ධ වූ තවත් කරණු කිහිපයක්ම තිබෙනවා. එයින් එකක් තමයි, අපට නිශ්චිත අරමුණක් කරා නිසි ඒකාග්‍රතාවකින් නිසි විනයකින් යුතුව යන ගමනේදී අපි කරන හැම දේම අනවශ්‍ය ලෙස සංකීර්ණ බවට පත් කර ගත යුතු නෑ. අප හැම විටෙකම සරලව කටයුතු කළ යුතුයි.

සරල බව මුල් කර ගත යුතුයි. අපට කරන හැම දෙයක්ම ඉතා අඩු ශ්‍රමයකින් අඩු වියදමකින්, එහෙත් ගුණාත්මක බවින් උසස් මට්ටමින් සිදු කරන්න ඉගෙන ගත්තා. එය ආයතනීය සංස්කෘතියක් බවට පත් වුණා. මේ නිසා අපට බොහෝ ව්‍යාපෘතිවලදී ගුණාත්මක බව රැක ගන්න ගමන් ඉතා අරපරෙස්සම් සහිතව වියදම් වන ආකාරයෙනුත්  ශ්‍රමය කාලය අඩුවෙනුත් වැඩ  කරන්න පුළුවන් වුණා. එය අපේ සාර්ථකත්වයට බලපෑ තවත් ප්‍රධාන කාරණයක්.

ව්‍යාපාරයේදී අප නිතරම අපේ සේවා යෝජකයන්ගේ අවශ්‍යතා නිසි ලෙස වටහා ගත යුතුයි. ඒ අනුව කටයුතු කළ යුතුයි. විශේෂයෙන් මේ සමඟ බැඳුණු ආර්ථික සමාජ සහ සංස්කෘතික පරිසරය පිළිබඳ ව අප නිසි අවබෝධයකින් ක්‍රියා කළ යුතුයි. වැදගත්ම දේ තමයි විශාල කැපවීම. අපට මුල් කාලයේ දී සති අන්ත තිබුණේ නෑ. රැයක් දවාලක් තිබුණේ නෑ. අපේ කැපවීම් නිසා දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවිය හැකි අවදානම වළකන්නට මගේ බිරිඳ ප්‍රියාට රැකියාවන් පවා ඉවත් වන්නට සිදුවුණා. මට ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා කොහොම හරි මේක ජය ගන්න ඕන කියල.

අප ෙධෛර්යෙන් කැපවීමෙන් ක්‍රියා කළේ ඒ අරමුණ වෙනුවෙනුයි. මට සිය වරක් වැටුණත් යළි නැගිටින්න ශක්තියක් තිබුණා.

මාග සමාගමේ සාර්ථකත්වය සඳහා හේතු වුණු කරුණක් තමයි, කණ්ඩායම් හැඟීම. අපට එකිනෙකාගේ සහයෝගය ඉතාම වැදගත්. මට තනිවම සමාගමක් හෝ ව්‍යාපාරයකන් කරන්න බෑ. ඒ සඳහා සියලු දෙනා එකා මෙන් වැඩ කරන කණ්ඩායමක් අවශ්‍යයි. නිසි විනයක් තුළ එකිනෙකාට උපකාර කර ගනිමින් ක්‍රියාත්මක වන කණ්ඩායමක් අපට අවශ්‍යමයි. අපේ සමාගමේ විධායක අධ්‍යක්ෂ පියදාස මදුරසිංහ මහත්මයා මාත් සමග මේ ව්‍යාපාරයේ ආරම්භක යුගයේ පටන් සිටින කෙනෙක්. ඒ වගේම ආයතනයේ සියලුම සේවක සේවිකාවන් අද මනා ආයතනික රාමුවක් තුළ කණ්ඩායම් හඟීමෙන් වැඩ කරනවා. එය අපේ ජයග්‍රහණයට බලපෑ ප්‍රධානතම කරුණක් බව විශේෂයෙන් කිව යුතුයි.

මෙවැනි කණ්ඩායමක් තුළ නායකයා ආදර්ශමත් විය යුතුයි. අපේ කණ්ඩායමට නායකත්වය දෙන සෑම කෙනකුම ඉතාමත් ආදර්ශවත් ලෙසින් ආයතනය තුළ කටයුතු කරනවා. මම සභාපති කියල මට වෙනම නීතියක් නෑ. මමත් සෙසු සාමාජිකයන් වගේම ඔවුන් කටයුතු කරන ආකාරයෙන්ම ආයතනීය නීති රීති පද්ධතිය තුළ කටයුතු කළ යුතුයි.

අපේ සමාගම මූල්‍ය වශයෙන් යම් ලාභයක් ලබන විට කරන දේ තමයි මෙම ලබන ලාභය බුද්ධිමත්ව සහ ඵලදායී ලෙස එය පරිහරණය කිරීම. එහෙම නැතිනම් ආයෝජනය කිරීම, එයත් අපේ ආයතනය දියුණු කිරීමට විශාල ශක්තියක් වුණා.

ප්‍රශ්නය :- ඔබ ව්‍යාපාරයක් ලෙස ඉදිකිරිම් ක්ෂේත්‍රය තෝරා ගන්නේ ඇයි?
පිළිතුර : විශ්ව විද්‍යාලයයේ උපාධිය ලබා හමුදා සේවයට එක් වූ මා වසර හතක් පමණ හමුදා සේවයේ කටයුතු කළා. කපිතාන් නිලයක් හිමි වූ මම වරක් පාබල හමුදා කොට්ඨාසයක ප්‍රධාන නිලධාරියා ලෙසත් කටයුතු කළා. එයින් ඉවත් වන මට  ටාටා ඉංජිනියරින් සමාගමේ ව්‍යාපෘති සම්බන්ධීකාරක තනතුරක් ලැබුණා.

එම සමාගමෙන් පසුව මම මිට්සුයි සමාගමේ වැඩ කළා. පරිපාලන නිලධාරියකු ලෙස එම සමාගමට එක් වූ මම 1979 දී පමණ කොළඹ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීමේදී වගේම ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඉදිකිරීමේදීත් එහි ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ සමාගම තුළ මා විසින් කරන ලද සුවිශේෂී කාර්යභාරය සහ ස්වෝත්සාහී කැපවීම නිසාම එම සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ලෙස පත් වන්නට මට 1983 වසරේදී හැකියාවක් ලැබෙනවා. ආයතනය මට හොඳට සැලකුවා. නමුත් මට දිනක් හිතුණා මේ සමාගම් තිබෙන කල් අපට හොඳයි යම් හෙයකින් මෙම විදේශ සමාගම් මෙරටින් ගියොත් මොකද වෙන්නේ කියල. මේ නිසා සුළුවෙන් හරි ව්‍යාපාරයක් ආරම්භ කරන එක හොඳයි කියල. ඒ සිතිවිල්ල තුළ මට ඒ වන විට අත්දැකිම් බහුලව තිබූ  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් ආරම්භ කළා.

ප්‍රශ්නය :- ඔබ සඳහන් කළා, ඉතා කැපවීමකින් දැඩි විනයකින් යුතුව කටයුතු කළා කියල. ඒ සඳහා පදනම් වුණේ හමුදාවෙන් ලද අත්දැකීම්ද ?
 පිළිතුර :- ඒවාත්  හේතු වුණා. ඒ වගේම මට මුල ඉඳලම ඕනෑම දේකදී කොහොම හරි එය හොඳින් සිදු කළ යුතු යයි දැක්මක් කැප වීමක් තිබුණා. විශ්ව විද්‍යාලයයේ ඉන්න කාලෙත් ශිෂ්‍ය සංගම්වල කටයුතුවලදී ඉතා කැපවීමෙන් වෙහෙසකින් යුතුව අදාළ අරමුණ සාර්ථක කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මම විශ්ව විද්‍යාලයයේදී ක්‍රිඩාවත් කළා. විශේෂයෙන් රග්බි සහ බිලියඩ් ක්‍රීඩාවල හරහාත් මට ඉලක්කයක් කරා යාම, ඉවසීම, කැපවීම වැනි ලක්ෂණ ජීවිතය තුළ ප්‍රගුණ වුණා.

ප්‍රශ්නය :- අද මාග සමාගම තිබෙන තැන ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර :- අපට ඉහත කී මාවත ඔස්සේ ගමන් කළ නිසා අද වනවිට සේවකයන් දොළොස් දහසක් පමණ සිටින මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් රැසකට දායක්තවය දෙන දැවැන්තම සමාගමක් ලෙස ශක්තිමත්ව නැගී සිටින්නට හැකිව තිබෙනවා.අප තුළ ව්‍යාපාරය සම්බන්ධයෙන් තිබූ පුළුල් දැක්ම සහ මා ඉහත සඳහන් කළ කරුණු අප අද මේ තැනට ගෙනවිත් තිබෙනවා.

ප්‍රශ්නය :- ඔබගේ ජීවිතයේ අද දවස ගවෛන ආකාරය ගැන සඳහන් කළොත්?
පිළිතුර :- අදටත් මගේ කාලයෙන් වැඩි කොටසක් වැය වන්නේ මේ ව්‍යාපාරයේ වැඩ කටයුතුවලට. ඒ වගේම මම අද ස්වභාව ධර්මය, සමාජය සහ ජීවිතය පිළිබඳව යථාර්ථවාදීව බලමින් ඊට අනුකූලව සරල ජීවිතයක් ගත කරනවා. මේ සමාජය සංවර්ධනය කළ යුතු යයි මගේ විශ්වාසයක් තිබෙනවා. එය කවර වෘත්තියක සිටියත් කවර පසුබිමක සිටියත් අපට හැකි උපරිමයෙන් අප කටයුතු කළ යුතුයි. මේ සමාජය වෙනුවෙන් කැප විය යුතුයි. ඒ තමයි මගේ ජීවන දර්ශනය.

සාකච්ඡා කළේ : චාමින්ද වාරියගොඩ