කරොත් වරදින්නේ නැති බිස්නස් 6ක්

මේක ව්‍යාපාරික ලෝකයත් එක්ක බැඳිච්ච කතාවක්. මම ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ මුකුත් හදාරලා නෑ. හැබැයි නිකං ඉන්න වෙලාවක හිතිච්ච දෙයක්. බුදුන්වහන්සේගේ කාලයෙත් නොකළයුතු ව්‍යාපාර කියලා කොටසක් තිබ්බා. හැබැයි දැන් මේ කියන්න යන ව්‍යාපාර එකක්වත් එහෙම නොකළයුතු ඒවා නෙමෙයි. කෝටිගානක ප්‍රාග්ධනයක් යොදවන්න ඕනෙ ඒවත් නෙමෙයි. හැම එකක්ම එකකට එකක් සම්බන්ධයි. ඒක හින්ද සමූහ ව්‍යාපාරයක් විදිහටත් කරන්න පුළුවන්. මේවා නරකම නෑ. ඒත් ඉතින් නොකරත් බෑ. ඒකයි මේකෙ තිෙයන වෙනස.

දැන් අපි ව්‍යාපාර එක එක අරන් බලමු.

ව්‍යාපාරය 1 – කෙටි කෑම කඩයක්

දැන් මිනිසුන් ඉතාම කාර්යබහුලයි. හුස්ම ගන්න පමණක් වේලාව ඇත. අනිත් හැම වෙලාවම හම්බ කිරීම පිණිස යොදාගනී. ඉතින් කෑම පිසීම ගැන වගක් නැත. ඔවුහු කඩ වලින් කෑම කති. නමුත් හැම කඩයෙන්ම කෑම නොකති. රසවත් කෑම ඇති කඩවලින් කෑම කති. ඉතින් කෑම රසවත් වීමට අහිතකර රසකාරක, අහිතකර තෙල් වර්ග දැමිය යුතුය. බොහෝ ක‍ෙටි කෑමකඩවල්වල කෑම රසවත් වීමත් කඩේ ඉදිරිපස පිරිසිදු වීමත් හැර වෙන යමක් නැති නිසා ව්‍යාපාරය සාර්ථක වේ.

ව්‍යාපාරය 2 – රූපලාවන්‍යාගාරයක්

Related image

මිනිසුන්ට (ගැහැනුන්ට) ලස්සන වීමට අවශ්‍යය. මඟුල් ගෙදරකට, කාර්යාලයට දමන මේකප් දැමිය නොහැක. ඒකට බියුටීෂන් කෙනෙක් ඕනෑය. යසට තියන ඇහිබැම ත්‍රෙඩින් කළයුතුය. වැක්ස් කළ යුතුය. ෆේෂල් කල යුතුය. රීබොන්ඩ් කළ යුතුය. මෙසේ අසූ කෙලක් දෑ කළ යුතුය. (සමහරුන්ට ඩයි කරන්නද ඕනෑය). මේවා ගෙදර ඉන්න මනුස්සයාට කළ නොහැක. එබැවින් රූපලාවන්‍යාගාරයක පිහිට පැතිය යුතුය. මේ ව්‍යාපාරය ද කිසිදා කඩා නොවැටෙන්නක් වන්නේ මේ නිසාය.

ව්‍යාපාරය 3 – ඖෂධ ශාලාවක් හෝ පෞද්ගලික රෝහලක්

Image result for pvt hospital

මෙම ඖෂධ ශාලාව ආයුර්වේද එකක් නම් තවත් හොඳය. ඉහත සඳහන් ව්‍යාපාර දෙකේ අැතැම් සේවාලාභියෝ මෙහි අනිවාර්ය සේවය ලබන්නෝ වෙති. කෙටිකෑම කඩයෙන් වස විස කා, රූපලාවන්‍යාගාරයකින් වැරැද්දක් වූ පසු ඔවුන්ට මෙම ව්‍යාපාරය හැර අන් ව්‍යාපාරයක පිහිටක් නොමැත. වර්තමානයේ වෛද්‍යවරයාට සුදුසුකම් ඇතිවුවත් නැති වුවත් ලෙඩ්ඩු ඕනෑතරම් සිටිති. අනික දැන් පෞද්ගලික රෝහලකට බිල මුද්‍රණය කරන මැෂින් එකක් පමණක් සෑහේ. (අනෙකුත් වෛද්‍ය උපකරණ අත්‍යාවශ්‍ය නැත)

ව්‍යාපාරය 4 – ඖෂධ හලක්

Image result for pharmacy

තේරෙන සිංහලෙන් කියනවා නම් ෆාමසියක්. ඉහත ඔක්කොම ලෙඩවලට බෙහෙත් ගත යුතුය. ඒ සඳහා විකුණුම් සේවාවක් තිබිය යුතුය. මේ සඳහා සේවාලාභීන් නොමැති වීමට ලෙඩ නැති මිනිස්සු සිටිය යුතුය. ඉහත ව්‍යාපාර වල සේවා දායකයන්ගේ හිඟයක් නොමැති නිසා මෙම ආයතන ද දිගුකල් වැජඹෙන ව්‍යාපාරයකි.

ව්‍යාපාරය 5 – ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ ආයතනයක්

Image result for ජ්‍යොතිෂ විද්‍යාව

අැතැම් ව්‍යාපාර අංක 1-2න් සේවා ලබාගන්නා සේවාදායකයා ව්‍යාපාර අංක 3 වෙත එන්නේ සුවකළ නොහැකි පිළිකා බඳු ලෙඩ සාදාගෙනය. ඉතින් බෙහෙත් ගත් පසු සුව නොවන තැන්වලදී ඔවුන් සොයන්නේ තමන්ගේ ග්‍රහචාරයයි. ඉතින් මීළඟ හොඳම ව්‍යාපාරය වන්නේ මෙයයි.

ව්‍යාපාර  6 – මල් ශාලාවක්

සේවාලාභීන් අවසානයේ පැමිණිය යුත්තේ මෙම ස්ථානයටයි. හැමදේටම සෝබන ඇති නිසා මෙම ව්‍යාපාරය ද යහතින් කරගෙන යා හැකිය.

ව්‍යාපාර ගැන කිසිම අවබෝධයක් නැති මම, හිතට ආවට ලියන දේ ඔබගේ විචාර බුද්ධියෙන් සිතා දියුණුව ළඟා කරගන්නේ නම් මැනවි.

අචිර ලියනගේ

තව මේ වගේම ඔයාටත් හිතුන ව්‍යාපාර අදහස් තියෙනවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න