මැරුණ දුවගෙ කකුලේ තිබූ උපන් ලපය ඒ අයුරින්ම පුතාගේ කකුලෙත් පිහිටා තිබෙනවා

ඉඹුල්ගොඩ පදිංචිව සිටි විනීතා සේවය කළේ කොළඹ මහරෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ හෙදියක් ලෙසිනි. 1983 මැයි 24 වැනිද‌ා උපත ලැබූ ඇගේ වැඩිමහල් දියණියට රුචිරා මධුවන්ති යනුවෙන් නම් දී තිබිණි. දියණියක වුවද කුඩා කල සිටම ඇය දඟකාර දැරියක් වූවාය. කලිසම් සහ කමිස ඇඳීමට ඇය මහත් ප්‍රියක් දැක්වූවාය. වයස අවුරුදු හත අටක් වන විට පියාගේ යතුරුපැදියට නැග ක්‍රීඩා කිරීමද ඇය පුරුදුව සිටියාය. අධ්‍යාපන කටයුතුවලදී ද ඇය දක්ෂ සිසුවියක් විය.

ඇය අධ්‍යාපනය ලැබුවේ කොළඹ මියුසියස් විදුහලේය. ඒ වන විට සිව්වැනි ශ්‍රේණියේ සිසුවියක වූ ඇය පාසලට පැමිණියේ පාසල් වෑන් රථයකිනි. සිසුවියන් පහළොස් දෙනෙකු පමණ ඇය පැමිණි වෑන් රථයෙන් පාසල වෙත පැමිණියහ. රුචිරා දියණිය පාසල් අවසන්වී නිවෙසට එන අතර වෙළෙඳ‌ාමේ යෙදී සිටින කාන්තාවක් වෙත පැමිණීමද නිතර සිදුවූවක් විය. ඇය අතැම් විට එම කාන්තාව වෙත පැමිණ ඇගෙන් ජලය ඉල්ලා පානය කිරීමද සිරිත වී තිබිණි. රුචිරාට නිවෙසේදී මාපියන් ආදරයෙන් අමතන්නට වූයේ ‘ඩිංගි’ යන ආදර නාමයෙනි.

පාසලේ සිට වෑන් රථයෙන් බැස නිවසට එන අතර හමුවන කාන්තාවද ඩිංකි දැරියට දැක්වූයේ ඉමහත් ආදරයකි. නිරෝගී දැරියකවූ ඇය නිතර කමිස කලිසන් මෙන්ම පියාගේ සරොන් ඇඳීමටද මහත් ප්‍රිය බවක් දැක්වූවාය. ගැහැනු දරුවන් විශේෂයෙන් ආසා කරන මාල, වළලුවලට ඇය කිසිදු ආශාවක් නොදැක්වීමද ඇය තුළින් දක්නට තිබූ විශේෂත්වයක්ද විය. ඇය වැඩියෙන්ම ඇලුම් කළ ඇඳුමක් වූයේ ‘ටී ෂර්ට්ය’’ වැඩි වශයෙන් පිරිමි දරුවන් සමඟ සෙල්ලම් කිරීමටද රුචිරා දැරිය කැමැත්තක් දැක්වූවාය.

උපතින්ම ඇගේ එක් පාදයක පැහැදිළි උපන් ලපයක් දක්නට ලැබිණි. එය තද කළු පැහැයෙන් දිස්විණ. එද‌ා 1992 මැයි 12 වැනිද‌ාය. සිරිත් පරිදි කිරිල්ලවල සිට සිසුවියන් රැගත් වෑන් රථය කොළඹට ළඟා විය. එය කින්සි පාරේ හන්දියට පැමිණීමත් සමඟ වේගයෙන් පැමිණි පෞද්ගලික බස්රියක ගැටුණි. රථයේ සිටි සිසුවියන් වැඩි දෙනෙකු තුවාල ලැබූහ. ඔවුන් සියලු දෙනා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කළහ. ඒ වන විට හරියටම උදේ හත පසුවූවා පමණි. රාත්‍රී සේවය නිම කර සිටි වාට්ටුව බාර හෙදියක් වූ විනීතා වැඩ නිම කර නිවෙසට යෑමට සුද‌ානම් වූවාය. හදිසියේ ඇය වෙත පැමිණි සොයුරු සොයුරියන් හෙදියන් ඇය ඇමතුවාය.

‘‘මිසී තුවාල වුණු ළමයි ටිකක් වාට්ටුවට ඇතුළත් කළා’’ එම වදන ඇසූ සැණින් ඇය නිවෙසට යෑම නතර කර එම දරුවන්ට හදිසි ප්‍රතිකාර කිරීමට එක් වූවාය.“එක දරුවෙක් නම් දැනටමත් මැරිලා එයාව අරගෙන ගියා” තවත් හෙදියක් පැවසුවාය.

“තුවාල වුණු දරුවන් සිටි බස් එක ඇවිත් තියෙන්නෙ කොහේ ඉඳලද? දරුවන් පරීක්ෂා කරමින් සිටි විනීතා විමසුවාය.
‘‘කිරිල්ලවල ඉඳන් මියුසියස් එකට යන ළමයි ටිකක්’’ ඇය එය ශ්‍රවණය වූ සැනින් විනීතා වහා දරුවන් පරීක්ෂා කළාය. ඇය මියුසියස් විදුහලට තම දියණිය සමඟ ගමන් ගන්නා වෑන් රථයේ සිටි දරුවන් බැව් ඇයට දක්නට ලැබිණි. තම දියණියද ඒ අතර ඇතැයි සිතූ මව.

‘‘කෝ මගේ දුව’’ යයි හඬ නගමින් අනතුරට පත්ව සිටි දැරියන් පරීක්ෂා කරමින් විමසන්නට වූවාය. තුවාල ලබා සිටි දැරියන් අතර ඇගේ දියණිය දක්නට නොලැබිණි.

එක් දැරියක් මුහුණ රුධිරයෙන් නැහැවී තිබිණි. ඒ වන විටත් මියගොස් සිටි ඇය විසින් දැරිය පරීක්ෂා කරනු ලැබුවාය. ඇය සිහිනෙන්වත් නොපැතූ නොසිතූවක් සිදුවී තිබිණි. මියගොස් සිටියේ ඇගේ කුසෙන් උපන් ඇගේ දියණිය විය. දැරියනොහැකි වේදනාවෙන් ඇය හඬනගන්නට වූවාය. මුළු මහත් රෝහලම දෙවනක්වන අයුරින් ඇසුණු ඒ දුක්බර අ​දෝනාව රෝහල් කාර්යය මණ්ඩලයට හෝ අසා සිටින්නට බැරි තරම් විය.

‘‘අනේ මගේ දුවේ මොකද වුණේ’’ යයි විලාප දුන් මව කීපවිටක්ම සිහිසුන් වූවාය. සිහි එන මොහො​තක් පාසා ඇගේ මුවින් පිටවූ වදන වූයේ අනේ දුවේ ආයෙත් මා ළඟටම එන්න. මගේම දරුවෙක් වෙලා මගේ කුසෙන්ම උපදින්න යනුවෙනි. හිමිදිරි පාන්දර පාසලට ඒමට වෑන් රියෙන්ම පැමිණි දියණියට අත්වූ ඉරණම පාසලේ ගුරු පිරිසටත් සිසුන්ටත් දැරිය නොහැකි දුකක් වී තිබිණි.

දියණියගේ අවසන් කටයුතු නිමවී සති කීපයක් ගතවිය. පියාද මානසිකව මහත් ඇද වැටීමකට ලක්වී සිටියේය. දියණිය සිහිවන මොහොතක් පාසා විනීතාගේ එකම ඉල්ලීම වූයේ ඇගේ දුව නැවත ඇගේ කුසෙන් දරුවෙකු ලෙස උපදින ලෙසය. සති කීපයක් ගත විය. ඇය සේවය කළ වාට්ටුවේ වෛද්‍යවරයෙක් ඔහු දුටු සිහිනයක් පිළිබඳව විනීතාට කීවේය. වෛද්‍යවරයා දැක තිබූ සිහිනය වූයේ විනීතා වෙත පැමිණි සුදු ඇඳුමෙන් සැරසුණු පූජකයකු කියා තිබුණේ විනීතාගේ කුස තුළ මියගිය දියණිය සිටින බවය.

විනීතා පුජනීය ස්ථාන වෙත ගොස් ආගමික කටයුතු කරමින් දිගින් දිගටම දියණිය යළි උපදින ලෙස ප්‍රාර්ථනා කරන්නට වූවාය. එසේ පින්දහම් කළ ඇය කීප විටක්ම අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වෙතද ගොස් වැඳුම් පිදුම් කළාය. මියගිය දියණිය යළි දැක ගන්නට ලැබේවායි අගේ නිරතුරු පැතුම වී තිබිණි. එසේ සිටි ඇයට ඇය සේවය කළ වාට්ටුවේ වෛද්‍යවරයා දැක තිබූ සිහිනය මහත් අත්වැසිල්ලක් විය.

සති කීපයක් ගතවිණි. විනීතාට සිරුරට අප්‍රාණික බවක් සමඟ නිදිමත ගතියක්ද දැනෙන්නට විය. එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් සනාථ වූයේ ඇය නැවතත් දරවෙකු පිළිසිඳගැනීමක් සිදුවී ඇති බවකි. තම දියණිය යළි තම දරුවෙකු ලෙස උපදිනු ඇතැයිද යන්න විනීතාගේ සිතට සතුටක්ද දැනේ. දරුවා බිහිවන කාලය උද‌ාවිය.

1993 පෙබරවාරි 22 වැනිද‌ා විනීතා පුංචි පුතෙකු මෙලොවට බිහි කළාය. ඔහු පිරිමි දරුවෙකු වීම නිසා විනීතාගේ පැතුම පිළිබඳව ඇයට ගැටලුවක් ද වී තිබිණි. එම දරුවාට රුචිර යනුවෙන් නම් තබනු ලැබීය.

සිඟිති දරුවාගේ සිරුර දුටු විනිතාට දක්නට ලැබුණේ මියගිය දියණියගේ කකුලක තිබූ පැහැදිලි උපන් ලපයක් ඒ අයුරින්ම තම පුත්‍රයාගෙ කකුලේද දක්නට ලැබීමය. ඇය ඒ බැව් සිය සැමියාටද පැවසුවාය. එහෙත් සැමියා ඒ පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකළේය.

දියණියට වයස අවුරුදු දෙකක් පමණ වන විට ඇය බහතෝරන වියට පත්ව සිටියාය. ඇගේ මුවින් පිටවූ වදනක් වුයේ ‘‘ඩිංගි’’ යනුවෙනි. ඩිංකි කියන්නේ කව්ද යැයි දිනක් මව ඇගෙන් විමසුවාය. ‘ඩිංකි කියන්නේ මම’ එද‌ා වෑන් එකේ ගියා. ඩෝංගාල හැප්පුණායි ක්ෂණයෙන් ඇය කීවාය. සිය පුත්‍රයා මියගිය දියණිය ලෙස උපත ලබා ඇති බැව් මාපියන්ට පැහැදිලිව දක්නට ලැබිණි. ඒ පිළිබඳව විමසීමට මව උනන්දු වූවාය.

ඔයාට මොකද වුණේ? යයි මව තම සිඟිති පුත්‍රයාගෙන් තවත් දිනෙක විමසීමක් කළාය.

‘‘වෑන් එක හැප්පුනාම මාව වීසි වුණා යයි පැවසූ රුචිර එතකොට මම ගියේ මියුසියස් එකට’’ යැයිද නිවැරදිව හෙළි කළේය. මේ අතර මාපියන් පුදුම කරවන තවත් සිදුවීමක් දක්නට ලැබිණි. එනම් දියණිය ජීවත්ව සිටියදී පියා ඇසුරු කළ මිතුරකු නිවෙසට පැමිණීමය. රුචිර ප්‍රථම වරට පියාගේ මිතුරා දුටු සැනින්ම ඔහුගේ නම පැවසීමයි. එම මිතුරා නිවෙසට එනු දුටු දරුවා වහා පියා වෙත දුවගොස් ඔහුගේ නම පියාට අනාවරණය කිරීම අතිශය පුදුම උපදවන කරුණක් ලෙස ඔවුන්ට දක්නට ලැබිණි.

 මේ අතර දිනක් නිවෙසින් පිටව ගිය විටෙකදී පෙර භවයේදී පාසල් අවසන්ව එන අතරතුර මගදී හමුවන කාන්තාව දුටු සැනින් ඇය හඳුනා ගැනීමද තවත් සිදුවීමක් විය.

‘‘මම එයාගෙන් වතුර ඉල්ලගෙන බොනවා. වෑන් එකෙන් ඇවිත් එයා ළඟට එනවා’’යැයිද රුචිර හෙළි කළේ පෙර භවයට ප්‍රබල සාක්කියක් එක් කරමිනි.

මෙම අතිශය පුදුම උපදවන පුනර්භව සිදුවීම පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමට අප යන විට මෙම දරුවා සිව්වන වියේ පසුවිය. රුචිරගේ ප්‍රකාශ පිළිබඳවත් ඔහු විසින් සිදු කෙරුණු හඳුනා ගැනීම් පිළිබඳවත් මවගෙන් විමසීමට අපට අවස්ථාව ලැබිණි. එහිදී විනීතා සමඟ කළ සාකච්චාව එලෙසින්ම මෙහි සඳහන් කළ හැකිය.

ප්‍රශ්නය- මියගිය දියණිය පුත්‍රයෙකු ලෙස යළි ඉපදී ඇතැයි ඔබ විශ්වාස කරනවාද?

පිළිතුර​- ඔව්

ප්‍රශ්නය- ඒ සඳහා ඔබට ඇති සාක්කි මොනවාද?  

පිළිතුර- මැරුණ දුවගෙ කකුලේ තිබුණු උපන් ලපය ඒ අයුරින්ම පිහිටා තිබීම ප්‍රධාන කරුණක්. ඒ සමඟම එයාට අපි ගෙදරට කිව්වේ ඩිංකි කියලා. ඒ නම මගේ පුතාට කවද‌ාවත් ඇහෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. දුවට කියපු ඒ නම නිවැරදිව එයා කිව්වා ඩිංකි කියලා. හඳුන්වපු බව පුතා පැහැදිලිව ප්‍රකාශ කළා.

ප්‍රශ්නය- දුවගේ ගති සිරිත් පුතාට තිබුණද?  

පිළිතුර- ඔව්. හරිම පුදුමයි. දුව ඉස්කෝලේ ගිහින් වෑන් එකෙන් බැහැලා එනකොට පාර අයිනෙ හිටපු ආච්චි කෙනෙක් ළඟට එයා හැමද‌ාම යනවා. ඒ ආච්චිගෙන් වතුර ඉල්ලගෙන බීම හැමද‌ාම වගේ කළා. ඒ ආච්චිත් දුවට හරිම ආදරෙයි. පුතා වයස අවුරුදු තුනක් පමණ වූ විටෙක මගදී ඒ ආච්චිව දැකලා එයාව හඳුනා ගත්තා. එයාගෙන් වතුර ඉල්ලගෙන බොන බවත් කීවා.

ප්‍රශ්නය- තවත් හඳුනා ගැනීම් සිදුවුණාද?  

පිළතුර- ඔව්. එයාගේ තාත්තා මුණගැහෙන්න මිත්‍රයෙක් නිතර අපේ ගෙදර එනවා. මියගිය දුවට එයාත් හරිම ආදරෙයි. දවසක් එයා අපේ ගෙදරට ආවා. පුතා එයාව දැකපු මුල්ම දවස තමයි ඒ. එයා ගෙදරට එනව දැකපු ගමන් ගෙට දුවගෙන ඇවිත් අන්න ඔයාගේ යාළුවා එනවා කියලා නමත් කියලා තාත්තට කිව්වා. ඒ සිදුවීමත් හරිම පුදුමයි.

 ප්‍රශ්නය- මැරුණ දුවගෙයි පුතාගෙයි හැසිරීම් රටාව අතර තිබුණු සම්බන්ධතාව කොසේද?  

පිළිතුර- දුව පුංචි කාලේ ඉඳලම මාල වළලුවලට කැමති නෑ. එයා නිතරම ඉල්ලුවේ පිරිමි ළමයින්ගේ ඇඳුම්, කලිසන්, කමිස, ටී-ෂර්ට් වගේ ඒවට තමයි එයා ආසා කළේ. ඒ වගේම එයා පුංචි කාලේ ඉඳලම බයිසිකල් පදින්න කැමතියි. තාත්තාගෙ මෝටර් බයිසිකලයටත් කිසිම බයක් නැතිව නගිනවා. මැරුන දුවගේ ඇඳුම් ගෙදර තිබිලා දැක්ක ගමන්ම එයාගේ ඇඳුම් කියලා අඳුන ගත්තා.

 ප්‍රශ්නය – මියගිය දියණිය නැවත ඔබේ පුතා ලෙස ඉපදී ඇති බවට විශ්වාස කරන ප්‍රධාන සාක්කි ලෙස ඔබ දකින්නේ මොනවාද?  

පිළිතුර- පෙරභවයේදී ගෙදරට ආදරෙන් කියපු නම හෙළි කිරීම.

මැරුණ දුවගෙ ඇඳුම් නිවැරදිව හඳුනා ගැනීම.

තාත්තාගේ මිතුරාගේ නම කියා හඳුනා ගැනීම.

ඉගෙන ගත්තු පාසලේ නම හෙළි කිරීම.

මියගිය අන්දම හෙළි කිරීම.

නිවෙසට එන අතරතුර පෙරභවයේ දැන හැඳිනගත් කාන්තාව පැහැදිළිව හඳුනා ගැනීම.

මැරුණ දුවගෙ කකුලේ තිබූ උපන් ලපය ඒ අයුරින්ම පුතාගේ කකුලෙත් පිහිටා තිබීම යනුවෙන් විනීතා ප්‍රකාශ කළාය.

එද‌ා හදිසි අනතුරු වාට්ටුවේ සේවය කළ විනීතා හෙදි සොහොයුරියක් ලෙස උසස්වීම් ලබා දැන් විශ්‍රාම ලබා සිටින්නීය. කිසි විටෙකත් නොසිතූ අයුරින් එද‌‌ා හදිසි අනතුරෙන් මියගිය සිය දියණිය යළි තම කුසෙන් බිහිවී ඇති බැව් ප්‍රබල සාක්කි සහිතව අැය පිළිගෙන තිබේ. දියණිය නැතිවීමේ දුක පුතා බිහිවීම නිසා මා තුළින් ඉවත් වුණා.’’ යි ඇය පසුගිය දිනෙක අප හමුවූ විටෙක පැවසුවාය.

රුචිර දැන් විසි හතර හැවිරිදි තරුණයෙකි. යළි ඉපදීමත් පෙර භවය පිළිබඳවත් ඔහු තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි. බුදු දහමෙන් ඇතිවන මානසික සුවය! පිළිබඳව ඔහු තුළ ඇත්තේ අසීමිත ගරු කිරීමකි. පසුගිය දිනෙක ඔහු අප හමුවූ විට ප්‍රකාශ කළේ කවද‌ා හෝ පැවිදි ජීවිතයට ඇතුළත් වීමට ඔහු තුළ ආසාවක් ඇති බවය.

තිස්ස ජයවර්ධන ඉරිදා ලංකාදීපයට ලියන ” ​පෙර භවයේ ප්‍රබල සාක්කි”  ලිපි මාලාව ඇසුරිණි

තවත් ඒ වගේම කතා

භවයන් දෙකේදීම දියණියගේ අවමංගල්‍යයට සහභාගි වීමට සිදුවූණ මවක්

තවමත් ඔහු පෙර භවයේ මව සහ සොයුරු සොයුරියන් බැලීමට නිතර පෙර භව නිවසට යෑම සිරිතක්ය

කිරිබත්ගොඩදී කාරය ගසක හැපී මියගිය හමුදා නිළධාරියෙකු ගැන ඔබ දන්නවාද?