අයිස්වලින් තැනු ගුවන්යානා නැවතුම් නවුකාව

දුෂ්කර කාලවල් ආපුවාම මිනිස්‌සු දුෂ්කරම දේවල් පවා කරන්න පෙළඹෙනවා. ලෝක ඉතිහාසයෙත් එහෙම දුෂ්කරම කාලසීමාවල් උදා වෙලා තියෙනවනෙ. ලෝකයේ බලවත්ම ජාතීන් දෙකක්‌ එකිනෙකාව විනාශ කරගන්න තීරණය කරල තියෙන වෙලාවක්‌ තරම් දුෂ්කර අවස්‌ථාවක්‌ ලෝක ඉතිහාසයට වුණත් තවත් නැහැ.

ලෝකෙ බලවත්ම රාජ්‍ය දෙකක්‌ යුද වැදුණ දුෂ්කරම කාල සීමාවක්‌ තමයි දෙවෙනි ලෝක යුද්ධ කාලය. යුද්ධය දිගින් දිගට ඇදෙමින් යද්දි යුධමය හා නාවික උපකරණ තැනීමට අත්‍යවශ්‍ය වෙන අමුද්‍රව්‍ය වල හිඟයකුත් ඇති වුණා. ඒ විදිහට හිඟයක්‌ ඇතිවුණ එක අමුද්‍රව්‍යයක්‌ තමයි වානේ.

ඒ වෙනකොට බ්‍රිතාන්‍ය නාවික හමුදා හිටියෙ උතුරු අත්ලන්තික්‌ සාගරයේ ජර්මානු යුධ බෝට්‌ටු වලට ප්‍රහාර එල්ල කරමින්. බ්‍රිතාන්‍ය නාවික හමුදාවට එවන මිත්‍රපාක්‌ෂික සැපයුම් නැව් වලින් සෑහෙන ප්‍රමාණයක්‌ ජර්මානු යුද්ධ බෝට්‌ටු වල ප්‍රහාර වලින් මුහුදුබත් කරලා විනාශ කරමින් හිටියේ බ්‍රිතාන්‍ය හමුදාවට ඔරොත්තු නොදෙන තරම් වේගයකින්.

ඒ සැපයුම් නැව් විනාශ වීමෙන් ආරක්‌ෂා කරගන්න හැකියාව ප්‍රහාරක ගුවන් යානා වලට නම් තිබුණා. ඒත් අත්ලන්තික්‌ සාගරයේදී ගුවන් යානා ප්‍රවාහන නෞකාවක්‌ නැතිව මේ වැඩේට ගුවන් යානා යොදවන්න පුළුවන් කමක්‌ තිබුණෙත් නෑ.

ice1සාගරයේ ගුවන් යානා රඳවන නැව් අති විශාලයි. මේ නැව් වලට සෑහෙන වානේ ප්‍රමාණයකුත් උවමනා වුණා. ඒත් ඒ වෙනකොටත් ලොකු වානේ හිඟයකුත් ඇති වෙලා තිබුණනෙ.

ඒ හින්දා මේ හිග සම්පත් අවම විදිහට පාවිච්චි කරලා ආරක්‌ෂක ගුවන් යානා වලට ගොඩ බාන්නත්, ඒවාට අවශ්‍ය ඉන්ධන පුරවගන්නත් තැනක්‌ උතුරු අත්ලන්තික්‌ සාගරයේ නිර්මාණය කරගන්න එක තමයි ඒ වෙලාවෙ හැටියට ලොකුම අවශ්‍යතාවය වුණේ.

බ්‍රිතාන්‍ය සංයුක්‌ත මෙහෙයුම් මූලස්‌ථානයේ ප්‍රධානියා වුණු මවුන්ට්‌බැටන් සාමිවරයාගෙ ප්‍රධාන උපදේශක විදිහට සේවය කරපු බ්‍රිතාන්‍ය විද්‍යාඥ ජෙෆ්රි පයික්‌ට මේකට අපුරු පිළියමක්‌ කල්පනා වුණා. ඒ පිළියම තමයි ගුවන් යානා ප්‍රවාහන නැවක්‌ අයිස්‌ වලින් නිර්මාණය කරන එක. අයිස්‌ ගොඩක්‌ තදයි. ශක්‌තිමත්. ඒත් වතුරෙ ගිලෙන්නෙත් නැහැනෙ. මොකක්‌ හරි කොටසකට හානියක්‌ වුණොත්, හානි වුණ තැනට තියලා තවත් අයිස්‌ කුට්‌ටියක්‌ ඝනීභවයනය කරන්න විතරයිනෙ තියෙන්නෙ.

ජෙෆ්රි පයික්‌ මේ වගේ අමුතු අදහස්‌ වලින් පිරුණ කෙනෙක්‌. ආක්‌ටික්‌ මුහුදේ තියෙන දැවැන්ත පාවෙන අයිස්‌ කන්දක්‌ නැවක හැඩයට කපලා, ඒකෙ මතුපිට මට්‌ටම් කරලා අත්ලාන්තික්‌ සාගරයට ඒ නැව යාත්‍රා කරන්නත්, ඊට පස්‌සේ ඒ අයිස්‌ නැව බ්‍රිතාන්‍ය ආරක්‌ෂක ගුවන් යානා වලට ගොඩබෑම් මතුපිටක්‌ විදිහට පාවිච්චි කරන්නත් ජෙෆ්රි පයික්‌ සැලසුම් ඇන්දා. මේ දැවැන්ත අයිස්‌ නැවේ මැද කුහරයක්‌ හදා ගන්නත් පුළුවන් කම ලැබුණොත් ඒක බ්‍රිතාන්‍ය ගුවන් යානාවලට ජර්මානු ප්‍රහාරවලින් බේරෙන්න අපූරු ආරක්‌ෂක ආවරණයක්‌ වේවි කියලත් පයික්‌ හිතුවා.

කොහොම හරි මේ අපූරු සැලසුම මවුන්ට්‌බැටන් සාමිවරයාට විකුණා ගන්නත් ජෙෆ්රි පයික්‌ට පුලුවන් වුණා. අයිස්‌ කුට්‌ටියෙ හාස්‌කමෙන් තමන්ගෙ හමුදාවට මේ යුද්දෙ දිනන්න පුලුවන් වේවි කියන අදහස මවුන්ට්‌ බැටන් සාමිවරයා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්‌ටන් චර්චිල්ටත් ඒත්තු ගැන්නුවා. මේ වැඩේ පටන් ගන්න අගමැති වින්ස්‌ටන් චර්චිල් අනුමැතිය දුන්නා.

ඒ අයිස්‌ නැව් ව්‍යාපෘතියට නම තිබ්බෙ Project Hubakkuk එහෙමත් නැත්තම් -හබකුක්‌ ව්‍යාපෘතිය- කියලා. මේ ව්‍යාපෘතියට -හබකුක්‌- කියලා නම තිබ්බෙ බයිබලය හා සම්බන්ධ හබකුක්‌ කියන පොතේ තිබුණ එක කොටසක්‌ පදනම් කරගෙන. ඒ කොටස මේ ව්‍යාපෘතිය ගැන විස්‌තර කරන්න හොඳටම ගැලපුණා.

-ඔබ අතිශයින් විස්‌මයට පත් වේවි. අප මේ කරන්නට යන්නේ මෙය අසන කිසිවෙකු කිසිදාක විශ්වාස නොකරන කාර්යයකි.- කියන කොටස තමයි ඒ. ඇත්තටම අයිස්‌ කුට්‌ටියකින් මහ විශාල නැවක්‌ හදනවා කියන එක කිසි කෙනෙක්‌ විශ්වාස නොකරන කාරණයක්‌නෙ.

පයික්‌ සැලසුම් කරපු ගුවන් යානා ප්‍රවාහන නෞකාව අඩි 2000ක්‌ දිගයි. අඩි 300ක්‌ පළලයි. ටොන් මිලියන දෙකකටත් වඩා බරයි. ටොර්පිඩෝ ප්‍රහාරයකට පවා ඔරොත්තු දෙන නැව් කඳ අඩි 40ක්‌ ඝනකමයි. මේ නැව් තට්‌ටුව උඩ ද්විත්ව එන්ජින් බෝම්බ ප්‍රහාරක යානා හෝ සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානා 150 ක්‌ විතර නවත්තන්න හොඳටෝම ඉඩකඩත් තියෙනවා.

ඒත් එක ප්‍රශ්නෙකුත් තිබුණා. ඒ ප්‍රශ්නෙ තමයි අයිස්‌ දියවෙන එක. ජෙෆ්රි පයික්‌ට ඒකටත් විසඳුමක්‌ තිබුණා. සංකීර්ණ නල ජාලයකින් සමන්විත වුණ යෝධ ශීතකරණ පද්ධතියකුත් මේ නැවටම සවි කරලා තිබුණා. ඒකේ උපකාරයෙන් නැවේ අයිස්‌ දිය නොවී පවත්වා ගන්නත් පුළුවන්.

ඉතින් ඉක්‌මනින්ම මේ යෝජිත -අයිස්‌ නැවේ- ආකෘතියකුත් නිර්මාණය කෙරුණා. අඩි හැටක්‌ පළල, ටොන් දාහක්‌ බර මේ ආකෘතිය හැදුවේ කැනඩාවේ පැට්‍රීෂියා විලේ. අශ්ව බල එකක බලයක්‌ තියෙන ශීතකරණ පද්ධතිය මේ අයිස්‌ නැව් ආකෘතිය ගිම්හාන මාසයක්‌ පුරා දිය නොවී තියා ගන්න පුළුවන් විදිහේ සීතලක්‌ සපයන්නත් ප්‍රමාණවත් වුණා.

ඒත් පර්යේෂණවලට ලක්‌ කරනකොට මේ අයිස්‌ නැවේ ගැටලු ගොඩක්‌ මතුවුණා. අයිස්‌ ඝනකම් වුණාට පතුරු ගැලවෙන සුළුයිනෙ. ඒ වගේම පීඩනය වෙනස්‌ වෙනකොට අයිස්‌වල හැඩයත් වෙනස්‌ වෙනවා.

ඒ නිසා හබකුක්‌ වගේ අති විශාල නැවක්‌ තමන්ගෙම බර නිසා මැදින් වක ගැහෙන්නත් ඉඩ තියෙනවා. ඒත් හොද වෙලාවට නිව්යෝක්‌ නගරයෙ බෘක්‌ලීන් බහු තාක්‌ෂණික ආයතනයෙ පර්යේෂකයො දෙන්නෙක්‌ මේකට අලුත් විසඳුමක්‌ යෝජනා කළා. ලී කුඩු හරි කියත් කුඩු හරි වතුර එක්‌ක මිශ්‍ර කරලා ඝනීභවනය වෙන්න සැලැස්‌වීම තමයි ඒ යෝජනාව.

එතකොට හැදෙන අමුද්‍රව්‍ය සාමාන්‍ය අයිස්‌ වලට වැඩිය දාහතර ගුණයකින් ශක්‌තිමත්. කොන්ක්‍රීට්‌ වලටත් වැඩියෙන් හයියයි. මේ අලුත් අමුද්‍රව්‍යය පීඩනයට වගේම තුවක්‌කු උණ්‌ඩ වලට උනත් ඔරොත්තු දෙන බව පරීක්‌ෂණවලින් තහවුරු වුණා. ඉතින් මේ වැඩේ ආරම්භක ජෙෆ්රි පයික්‌ට උපහාරයක්‌ විදිහට මේ අලුත් අමුද්‍රව්‍ය -කොන්ක්‍රීට්‌- කියනවා වෙනුවට -පයික්‍රීට්‌- කියලා නම් කෙරුණා.

මේ ගැන පැතිරුණ හොඳ කටකතා ගොඩකුත් තිබ්බා. 1942 අවුරුද්දෙ දවසක අගමැති වින්ස්‌ටන් චර්චිල් එයාගෙ නානකාමරේ ඉදිද්දි.. මේ අලුත් සොයාගැනීමේ සන්තෝසෙ ඉහවහා ගියපු මවුන්ට්‌ බැටන් සාමිවරයා චර්චිල් මැදුරෙ සේවකයින්ගෙ කීමවත් අහන්නෙ නැතිව වින්ස්‌ටන් චර්චින් අගමැතිතුමා නාමින් උන්නු නානකාමරයටම ගිහින් මේ පයික්‍රීට්‌ කුට්‌ටියක්‌ නාන බේසමට දැම්මා කියලත්, නාන බේසමේ තිබුණ උණු වතුරට පවා දියවෙන්නෙ නැති මේ අපූරු අමුද්‍රව්‍යය දැකලා ඒ දෙන්නම සතුටටත් පුදුමයටත් පත් වුණා කියලා ඒ පැතිරිච්ච එක කතාවක කියවෙනවා..

1943 කිව්බෙක්‌ සමුළුව තියෙන වෙලාවෙදි මවුන්ට්‌බැටන් සාමිවරයා අයිස්‌ කුට්‌ටියකුත්, පයික්‍රිට්‌ කුට්‌ටියකුක්‌ ගෙනිහින් ඒ පිරිසි ඉදිරිපිටම තියලා පිස්‌තෝලයකින් ඒ අයිස්‌ කුට්‌ටියටත්, පයික්‍රීට්‌ කුට්‌ටියටත් වෙඩි තිබ්බ බවත්, අයිස්‌ කුට්‌ටියට තිබ්බ වෙඩිල්ලෙන් අයිස්‌ කුටිටිය කෑලි වලට බිදිලා ගියත් පයික්‍රීට්‌ කුට්‌ටියට තිබ්බ වෙඩි උණ්‌ඩය පයික්‍රිට්‌ කුට්‌ටියේ වැදිලා ආපහු හැරිලා ගිහින් ළඟ තිබුණ බිත්තියෙ වැදුණ බවත් ඒ කතාවෙ කියවුණා.

ඇත්තටම ජෙෆ්රි පයික්‌ හබකුක්‌ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න බලාපොරොත්තු වුණෙත් -පයික්‍රීට්‌- වගේ අමුද්‍රව්‍යයක්‌ම තමයි. ඉතින් මේ හබකුක්‌ ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව හදන නිර්මාණ හා සැලසුම් වැඩසටහන් වේගයෙන් ඉදිරියට ඇදුණා. මේ හබකුක්‌ නැව ගොඩ නගන්න ලී කුඩු තලප ටොන් 300,000 ක්‌, දැව ටොන් 35,000ක්‌, සහ වානේ ටොන් 10,000ක්‌ උවමනා බව තක්‌සේරු කෙරුණා. ඇස්‌තමේන්තුගත කරපු මුළු වියදම ස්‌ටර්ලින් පවුම් 700,000ක්‌.

ඒත් තව දුරටත් මේ පරීක්‌ෂණ කටයුතු කරගෙන යනකොට මේ ව්‍යාපෘතියට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය මේ ඇස්‌තමේන්තුගත ප්‍රමාණයට වඩා සෑහෙන්න වැඩි බවත්, ඒ තරම් අති විශාල නිර්මාණයක්‌ කරන්නත්, ඒ නිර්මාණය දිය නොවී තියාගන්නත් අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ප්‍රමාණයවත්, මිනිස්‌ බලයවත් සපයන්න කිසිම මිත්‍රපාක්‌ෂික රටකට හැකියාවක්‌ නැති බවත් තහවුරු වුණා.

ඒ හින්දාම මේ අයිස්‌ නැව් ව්‍යාපෘතිය -ප්‍රොජෙක්‌ට්‌ හබකුක්‌- අසම්පූර්ණ ව්‍යාපෘතියක්‌ විදිහට ඉතිහාසයට එකතු වුණා.

හබකුක්‌ ව්‍යාපෘතියේ අදටත් ඉතිරී වෙලා තියෙන එකම ද්‍රව්‍යමය සාධකය අද තියෙන්නෙ කැනඩාවෙ, ඇල්බර්ටා වල තියෙන පැට්‍රීෂියා විල පතුලේ. ඒ කියන්නේ හබකුක්‌ අයිස්‌ නැවේ ආකෘතිය හදලා පර්යේෂණ කරපු තැන. 1985 අවුරුද්දෙ පැට්‍රීෂියා විලේ කරපු කිමිදුම් මෙහෙයුමකදී යෝධ හබකුක්‌ නැවේ අනුරුවේ නටබුන් විල පතුලේ තිබිලා හමුවුණා.

ඉතිහාසයේ අසීරුම කාල පරිච්රේදයක, අසීරුම අවස්‌ථාවක්‌ ජයගන්න ධෛර්යවන්ත මිනිසුන් පිරිසක්‌ දරපු අසීරුතම උත්සාහයක සැමරුම් සටහන් අදටත් තව සෑහෙන කාලයකටත් ආරක්‌ෂා කරන රාජකාරිය නම් පැට්‍රීෂියා විල් පතුල ඉෂ්ට කරාවි.

නිම්මි මුදිතා හේරත්