“හිත ඇතිනම් පත කුඩාද ? ” දුප්පත්කමට අභියෝග කරපු දිරිය මිනිසා – කියවිය යුතුම කතාවක්

දවසකට පැය දෙකක් නිදාගනිමින් අලුයම 2 සිට සමහර දිනයන්හිදී රාත‍්‍රි 12 දක්වා කුලී වැඩ කොට මාසය තිස්සේම වැඩපළ කරන ඔහු කිසිදු දිනක නිවාඩු ගන්නේ නැත.

ඔහුගේ එකම හීනය සිය දියණියන් දෙදෙනාට නිවාස දෙකක් සාදා දී ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පියෙකු සතු යුතුකම ඉටු කිරීම හා නිවසේ රෝගී තත්ත්වයෙන් පසුවෙන බිරිඳ රැක බලාගෙන ඇයට උපස්ථාන කරමින් ඇයව සුපවත් කිරීම පමණි.

මෙලෙස අපමණ දුක් වෙහෙසක් දරන මෙම දෙදරු පියා අපට හමුවූයේ මාවනැල්ල හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයේ මොලිගමුව ග‍්‍රාමයේදීය.

වයස අවුරුදු 46 වන මොහු නමින් බී.වී. කුමාරසිංහ නම් වෙයි. නමුත් කුමාරසිංහ කවුරුත් හඳුන්වන්නේ ‘‘පාන්දර’’ යන අන්වර්ථ නාමයෙනි. එලෙස ඔහුට පාන්දර යනුවෙන් නමක් පට බැඳී ඇත්තේ ඔහුගේ සියලු කටයුතු අලුයම් කාලයේදී හෝ පාන්දර කාලයේ ආරම්භ වීම හේතුවෙනි.

කුලී වැඩ කළත් ඔහු සෑම කටයුත්තක්ම ආරම්භ කරන්නේ කොන්ත‍්‍රාත් ක‍්‍රමයටයි. වැලි ඇදීම, තට්ටු ගණන් උස ගොඩනැගිලි වලට ගඩොල්, මැටල්, සහ අනිකුත් අමුද්‍රව්‍ය රැගෙන යෑම, සහ විශාල වතු උදලු ගෑම, කානු පද්ධති යෙදීම, කැලෑ කැපීම කුමාරසිංහට ලැබෙන රැකියාවන්ය.

තමන්ට ඕනෑම රැකියාවක් කළ හැකි බව පවසන ඔහු අපට කීවේ කොන්ත‍්‍රාත් ක‍්‍රමයට වැඩපළ කිරීම මගින් එම වැඩපළ පවරන අයටද එයින් ලාභයක් මිස පාඩුවක් සිදු නොවෙන බවයි. එලෙස කොන්ත‍්‍රාත් ක‍්‍රමයට යම් වැඩක් භාර ගතහොත් ඒ සඳහා අලුයම 2 ට අවදි වී දුර බැහැර කටයුත්තක් නම් අලුයම 4ට හෝ 3 ට එහි වැඩ ආරම්භ කොට එය අවසන් ​ෙවනතුරු ඒ කටයුත්තේ නිරත වන බවද කීය.

විශාල වතුවල කැලෑ කැපීම එළි පෙහෙළි කොට කානු යෙදීම වැනි කටයුත්තක් භාර ගත හොත් අයිතිකරුගේ කැමැත්ත මත ඒ ස්ථානයට විදුලි එළිය ලබාගෙන එම කටයුතු පාන්දර හෝ අලුයම ආරම්භ කරන බව කුමාරසිංහ අපට පැවසීය. දිනකට අක්කරයක වුවද කටයුතු තනිවම සිදු කළ හැකි බව පවසන ඔහු කියන්නේ මිනිස්සු කම්මැලි නැතිනම් කිසි දිනක මෙ රටට කිසිම දෙයක් පිට රටවල් වලින් රැගෙන එ්මට අවශ්‍ය නැති බවයි.

රාත‍්‍රියේ මුර සංචාරය කරන ලද හෙම්මාතගම පොලිසියේ මහතුන් කිහිප විටක්ම මොහුට පවසා ඇත්තේ අලුයම හා පාන්දර ගමන් බිමන් යෑම නිසා පොලිසියේ කුඩුවට දාන බවයි. විහිළුවට මෙන් එලෙස පවසා ඇත්තේ ඔහුගේ ජීවිතයට කිසිම නිදහසක් නොමැති කම නිසා වීමට පුළුවන.

වසර 20 කටත් වඩා වැඩි කාලයක් මෙලෙස සිය කටයුතු පවත්වාගෙන යන ඔහුට කිසිදු රෝගී තත්ත්වයක් හෝ සෙම් රෝගී තත්ත්වයක්වත් සැදී නොතිබීමත් පුදුම සහගත කරුණකි. අව් වැසි නොතකා සිය වැඩපළ සිදු කරන ඔහු වැසි දිනයන්හිදී සිය හිසට පොලිතින් මල්ලක් දමා ගෙන සිය දෛනික කටයුතුවල නිරත වන්නේය.

කිසිම දිනක පාසලක අධ්‍යාපනය ලබා නැති කුමාරසිංහ සාමාන්‍යයෙන් පවසන්නේ ඔහු මාසයකට දින 60 ක් වැඩ කරන බවයි. ඔහු කුලී වැඩ කොන්ත‍්‍රාත් ක‍්‍රමයට කොට වැඩිපුරම දවසකට උපයා ඇති මුදල රුපියල් 15000 කට ආසන්න මුදලකි. සාමන්‍යයෙන් දෛනිකව දිවා රෑ දෙකේ කටයුතු කරන මොහු රුපියල් 3000 වැඩි මුදලක් උපයන කෙනෙකි.

මේ සියල්ල ඔහු විසින් සිදු කරගෙන යන්නේ තම ගැහැනු දරුවන් දෙදෙනාට නිවාස දෙකක් ජීවත් වී සිටින කෙටි කාලයේදී සකස් කොට ඔවුන් වෙනුවෙන් අනාගතයට යමක් ඉතිරි කර දී ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් ඉඩ සැලස්වීමට පමණි.

පසුගිය දා අපට හමු වූ කුමාරසිංහ අප සමග කථාවට වැටෙමින් මෙසේ පැවසීය.

මම දවසකට පැය දෙකක් තමයි නිදා ගන්නේ මොකද මට කරන්න තියෙන වගකීම් සහ බලාපොරොත්තු නිසා මාගේ හිත ඒ දේවල් සිදු කරන්න දිරි ගන්වනවා. මාසයට දින 30 හෝ 31 ක් තිබුණත් මට දින 60 ක්ම වැඩ කරන්න වෙලා. සමහර දවස් තියෙනවා පැය 24 පුරාම වැඩ කරන වෙලාවල් මට එහෙම වැඩ කරා කියලා අපහසුවක් අමාරුවක් දෙයියන්ගේ පිහිටෙන් ලෙඩක් දුකක් හැදෙන්නෙත් නැහැ. කොටින්ම කියනවා නම් හෙම්බිරිස්සාවක්වත් මට හැදිලා නැහැ. මම පෝය දවසෙත් වැඩ කරනවා.

මට හැමදාම වැඩ කරන්න මිනිස්සු දවස පතා කුලී ලබා දෙනවා. මාගේ නිවසේ සියලුම කටයුතු වලට මම කිලෝමීටරයක් විතර ඈත තියෙන ඔයෙන් තනිවම කරෙන් වැලි ඇදලා තමයි නිවස සම්පූර්ණයෙන්ම ඉදි කරන්න වැලි හොයා ගත්තේ. ඒ වාගේම මට පුළුවන් හැම වේලාවකම මම ඔයට ගිහින් වැලි ගේනවා. නිවස තට්ටු දෙකට හදන්න මම දවසකට කම්බි එක බැගින් දවස් 100 ක් කම්බි අරන් ගියා. සමහර දවස් වල සිමෙන්ති කිලෝ ගණනින් මම අරන් ගියා.

මම දැනට ජීවත් ​ෙවන පරණ ගෙදරට පවා මම ටයිල් පවා අල්ලාගෙන තියෙනවා. ඒ ටයිල් අරන් යන්නේ දවසකට එක බැගින්. එක කැටයක් රුපියල් 700 ක් වෙනවා. මාගේ නිවසට අවශ්‍ය ටයිල් කැට 110 ක් වෙන් කරලා එක ටයිල් කැටයක මුදල මම දවස පතා හාඩ්වෙයාර් එකට දීලා අරන් යනවා.

මම ටයිල් කැටයක් වාගේම කම්බි එක බැගින් අරන් යනකොට ගමේ සමහර අය මට හිනා වුනා මූට පිස්සු කියලා. දැන් ඒ අය කියනවා එයාලාට පිස්සු කියලා. කවුරුත් හිතුවේ නැහැ. මම මේ වාගේ මගේ දේවල් අමාරුවෙන් කරගයි කියලා. මාගේ පරණ ගෙදර මම අංග සම්පූර්ණව කටයුතු සිදු කරගත් නමුත් තට්ටු දෙකට දුවලාට හදන නිවස තාම වැඩ අවසන් නැහැ. එ්කේ එක තට්ටුවක වැඩ අවසන් කළා. ඉතිරි ටිකත් මෙ වාගේ අමාරුවෙන් කර ගන්න ඔනෑ. ඒ කරලා එහි බිත්ති ඇතුළු නිවසේ ඇතුළත වැඩ අවසන් කළ යුතුයි.

මාගේ පරණ ගෙදර මිදුලට සිමෙන්ති කැට මම අල්ලාගෙන තියෙනවා. සාමන්‍යයෙන් කඩෙන් ගන්න ගියානම් එක කැටයක් රුපියල් 60 ක් වෙනවා. මම ඒ සියල්ලත් කළේ හැම දවසකම කැටයක් හෝ දෙකක් කපලා. දැන් කැට 400 ක් ඒ විදිහට මම කපලා මිදුලට මම අල්ලාගෙන තියෙනවා.

මට රජයෙන් කියලා දැනට සමෘද්ධිය ලැබෙනවා. එක දුවක් පාසල් යනවා. අනික් දුව විවාහ වෙලා. නමුත් ඒ දුවගේ පුතා මොනවත් රැකියාවක් කරන්නේ නැහැ. ඒ අයගේ අවශ්‍යතා වෙනුවෙන් දැන් මේ ගෙවල් හදනවා. මම ගෙට අල්ලලා කඩ කාමරයක් හැදුවා. ඒක කළේ මට මෙවා කර කියා ගන්න බැරි දවසක කඩයක් කරලා වත් මේ අයට සලකන්න.

මම මාවනැල්ලේ ටවුමේ වැඩ කරද්දි කඩවල ඉවත් කරන නෙල්ලි ගෙනල්ලා ඒවා වේළලා රුපියල් 20,000 කට වැඩි මුදලක් උපයා ගෙන තියෙනවා. බෙහෙත් බඩු කඩයට දීලා. ඒ මුදල් වලින් තමයි මාගේ නිවස ඉදිරිපස ගේට්ටුව දා ගත්තේ.


මහත්තයෝ මම ඉගෙන ගත්තා නම් මම හිතනවා මට මේ වාගේ ලොකු දෙවල් කරන්න බැරි වෙයි. මම ඉගෙන ගත්තේ නැති නිසා අද මම අනුන්ගේ වැඩ කරලා මාගේ හැම දෙයක්ම බොහෝම අමාරුවෙන් හිතේ හයියෙන් කර ගන්නවා.

මිනිස්සු ආණ්ඩු වලට බැණ බැණ ඉන්නවා නමුත් ආණ්ඩු මාරු වුණාට ඒවාට බැන්නාට වැඩක් නැහැ. මට හිතෙන හැටියට නම් මම කියන්නේ අපේ උත්සාහය තියෙනවා නම් හැම දෙයක්ම ජය ගන්න පුළුවන් කියලා. මේ මාගේ කථාව දිහා බලලා කවුරු හරි හැදෙනවා නම් මට ඇති මහත්තයෝ’’ යැයි ඔහු දිග හුස්මක්ද හෙළමින් සිය කථාව අවසන් කළේ‍ය.

දිවා රාත‍්‍රි සිය කටයුතු සිදු කරන යන්ත‍්‍රයක් වන් මේ මිනිසා අලුයම් කාලයේ බොහෝ විට නිරීක්ෂණය වී ඇති හෙම්මාතගම නගරයේ ව්‍යාපාරිකයකු වන ආර්.එම්. දයාරත්න රාජමන්ත‍්‍රී මහතා මෙසේ පැවසීය.

‘‘පාන්දර’’ කියන්නේ කිසිම වේලාවක කම්මැලි කෙනෙක් නොවෙයි. මම ඔහු වැඩ කරනව කිහිප වතාවක්ම දැකලා තියෙනවා. හරියට කඩියෙක් වාගේ වැඩ. ඒ වාගේම හරි අහිංසක මනුස්සයෙක්. හරි උත්සාහවන්තයි. වැස්ස අව්ව ගැන කිසිම ගානක් නැහැ.

තමන්ගේ කාලය නිකරුණේ කා දමන්නේ නැතිව මේ තරම් මහන්සි වෙන්නේ ඔහු මට දවසක් පැවසූ පරිදි සිය දරුවන් වෙනුවෙන් නිවසක් මෙන්ම අනාගතය වෙනුවෙන් කරදරයක් ඇති නොවෙන සැපවත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය අඩිතාලම සකස් කරන්නයි. මේ වාගේ මිනිස්සු අද සමාජයේ නැහැ. ඒ නිසා මම හිතනවා ඔහුගේ හදවත හරි පිරිසිඳුයි කියලා. මාගේ එකම ප‍්‍රාර්ථනාව දෙවි පිහිටෙන් තෙරුවන් සරණින් මොහුට ලෙඩක් දුකක් නොවී රැක දෙන්න යන්නයි.

ඡායාරූප හා සටහන
මාවනැල්ල හෙම්මාතගම
සමන් විජය බංඩාර

ඉරිදා ලංකාදීප