හාල් ඇටයක්‌ ඉදෙන විට සාමාන්‍යයෙන් මහත් වෙනවා. එත් කීරිසම්බා මහත් වෙනවා වෙනුවට වැඩිපුර වෙන්නේ දිගින් වැඩිවීම

හැත්තෑව දශකයේදී බතලගොඩ වී පර්යේෂණ ස්‌ථානයට තම මූලික උපාධි පාඨමාලාව යටතේ ව්‍යාපෘති අධ්‍යනයක්‌ සඳහා පැමිණි තරුණ උපාධි අපේක්‌ෂකයෙකි. ඔහු නමින් තිස්‌ස රාජපක්‌ෂ විය. එවකට පර්යේෂණ ස්‌ථානයේ ප්‍රධානියා වූයේ දිවයිනේ නමක්‌ දිනූ වී ප්‍රභේදයක්‌ වන එච්-4 නිපදවීමේ ගෞරවය හිමිකරගෙන සිටි ආචාර්ය හෙක්‌ටර් වීරරත්නයි. ඉහත කී උපාධි අපේක්‌ෂකයා ව්‍යාපෘති අධ්‍යයනය සිදුකළේ ආචාර්ය වීරරත්න යටතේය.

මෙම තරුණයාගේ හැසිරීම, විෂය කරුණු හැදෑරීමේ උනන්දුව, කැපවීම සහ තීක්‌ෂණ බුද්ධිය ගැන ඉව ඇල්ලීමට ආචාර්ය වීරරත්න පසුබට වුයේ නැත. ඒ ඔහුගේ සිරිතයි. උපාධිය සමත් වී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරියෙකු ලෙස පත්වීම් ලබද්දී මෙම තරුණයාව බතලගොඩ වී පර්යේෂණ ස්‌ථානයට අනුයුක්‌ත කර ගැනීමට ආචාර්ය වීරරත්න පෞද්ගලිකවම මැදිහත් වූයේ ඉහත කී ඉව ඇල්ලීමේ ප්‍රතිපලයක්‌ වශයෙනි.

එවකට සිටි කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ආචාර්ය අර්නස්‌ට්‌ අබේරත්න වෙතින් කළ මෙම පෞද්ගලික ඉල්ලීම නිසාම තිස්‌ස රාජපක්‌ෂට පළමු පත්වීම ලැබුණේ බතලගොඩටයි. එය ශ්‍රී ලංකාවේ සහල් සංස්‌කෘතියේ අනාගත පෙරළියක්‌ ඇතිකෙරෙන පත්වීමක්‌ බව එකල මෙයට මැදිහත්වූවෝ කිසිවෙක්‌ නොසිතන්නට ඇත.

ආචාර්ය වීරරත්නයන් යටතේ රාජකාරි කිරීම යනු එසේ මෙසේ කටයුත්තක්‌ නොවන බව සැවොම දැනසිටි කරුණකි. එවකට ප්‍රධාන කෘෂිකර්ම මධ්‍යස්‌ථානයන් වූ බතලගොඩ, මහඉලුප්පල්ලම වැනි පර්යේෂණ ස්‌ථානවල නිලධාරීන්ට සීමාවූ සුවිශේෂ උප සංස්‌කෘතියක්‌ තිබිණ. නිලධාරීන් ලෙස කාර්යාල කාලසටහන්වලට අනුගතව ක්‍රියා කරනු වෙනුවට ඔවුහු තමාට අයත් බෝග වර්ගවල ජීවන චක්‍රයට සමපාත වෙමින් දිවා රෑ නොබලා පර්යේෂණයන්හි නිරත වීම මෙම උප සංස්‌කෘතියේ ප්‍රධාන ලක්‌ෂණයයි.

එකල සිටි ආයතන ප්‍රධානීන්ද, තමාගේ යටතට පැමිණෙන තරුණ නිලධාරීන්ට පුහුණු කරවනු ලැබුවේ මෙම සිරිත් විරිත්ය. ආචාර්ය වීරරත්නයන් යටතේ දැඩි ආචාර්ය ධර්මයන්ට යටත්ව තම රාජකාරි ඇරඹු තිස්‌ස, වීරරත්නයන්ගේ අවසාන ගෝලයා ද විය.

තමාට ලැබෙන අභියෝගයන්ට නොසැලී මුහුණ දීම තිස්‌ස සතු සුවිශේෂී හැකියාවකි. ඔහු නින්දා, අවලාද හමුවේ කම්පා නොවුනා සේම ප්‍රසංශා, සම්මාන හමුවේ උදම් ඇනුවේද නැත. ඔහු දෙපාර්තමේන්තුව තුළත්, ජන සමාජයේත් අප්‍රසිද්ධ චරිතයක්‌ බවට පත්වූයේද මේ නිසාමය.

තිස්‌ස උපන්නේ දැරණියගල, හපුදෙනිය ගමේ මවගේ මහගෙදරයි. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර ගමේ නැවුම් පහස විඳිමින් මූලික අධ්‍යාපනය ලැබූ තිස්‌ස පසුව කෑගලු විද්‍යාලයට ඇතුළුව සරසවි පිවිසුම තෙක්‌ම එහි ශිල්ප හැදෑරීය. පිරිමි හතරක්‌ සහ ගැහැණු දෙකක්‌ වූ දරු කැලක තිස්‌ස දෙවැනි පිරිමි දරුවාය. ඔහුගේ වැඩිමහල් සොයුරාද මහනුවර ප්‍රදේශයේ ප්‍රකට දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකි.

වී අභිජනනය සිදුකරමින් නව වී ප්‍රභේද බිහිකිරීමෙහි ලා පර්යේෂණ පැවැත්වූ තිස්‌ස පශ්චාද් උපාධිය හැදෑරුවේ පිලිපීනයේ ලොස්‌ බානියෝස්‌හි විශ්වවිද්‍යාලයෙනි.

එහිදී ඔහු ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය හා අනුබද්ධව පර්යේෂණ කරමින් ලෝ සුපතල වී පර්යේෂකයෙකු වූ ආචාර්ය කුෂ් යටතේ කළ හැදෑරීම් වෙනුවෙන් පශ්චාද් උපාධිය දිනාගන්නා ලදී. අනතුරුව ඔහුගේ ආචාර්ය උපාධියද එක්‌සත් රාජධානියෙන් ලබාගත් අතර ඊට අදාළ පර්යේෂණයන්ද ඔහු සිදුකළේ පිලිපීනයේදීය. මේ සෑම අධ්‍යනයක්‌ සඳහාම වසර ගණන් විදේශ ගතවී සිටියත්, දිවයිනට ආ සැනින් බතලගොඩට යන ඔහු ඇඟට දැනෙන වී ප්‍රභේදයක්‌ බිහිකිරීමේ සිහිනය මල්පල ගැන්වීමට වෙහෙසුනි. වී ප්‍රභේදයක්‌ නිදහස්‌ කිරීම ලෙහෙසි පහසු කර්තර්වයක්‌ නොවේ. ඒ සඳහා විවිධ ස්‌ථරයන්හි නියෝජීතයින් තෘප්තිමත් කළ යුතුය. පළමුව ගොවියාය.

ලෙඩ රෝග අවමයෙන් යුතුව, සාධාරණ කාල පරාසයක්‌ තුළ, සැලකිය යුතු අස්‌වැන්නක්‌ ලබාගැනීම ගොවි මහතාගේ අරමුණයි. දෙවනුව අස්‌වැන්න සකසන මෝල් හිමියාය. කැබලිවීම වැනි හානියකින් තොරව ගුණාත්මක සහලක්‌ නිපදවීම ඔහුගේ අභිප්‍රාය වේ. ඊළඟට පාරිභෝගිකයාය. එයට හෝටල් හිමියන්ද අයත්වේ. ෆ්‍රයිඩ් රයිස්‌, බුරියානි වැනි විශේෂ පිළියෙලකිරීම්වල සිට සරල බත්/පොල්සම්බෝල දක්‌වා පරාසයක්‌ පිරවීමට ඔහු සුදුස්‌සන් සොයමින් සිටී.

ඇලීමෙන්, බෙරිවීමෙන් තොරව පිසගතහැකි සහලක්‌ ඇත්නම් ඔහු තෘප්තිමත්ය. සාමාන්‍ය ගෘහ පාරිභෝගිකයා ගතහොත් ඔහුගේ පැතුම වනුයේ ව්‍යංජන යොදා හොඳට ඇනූ රසවත් බත් කටකි. කම්මැලිකමකින් හෝ වෙහෙසකින් තොරව බත් පංගුව හමාර කරන්නට ලැබුනොත් ඔහුගේ ගත මෙන්ම හිතද පිබිදී යයි.

තෙරක්‌ නොපෙනෙන මේ අභියෝග සියල්ල ජයගැනීමේ අරමුණු හිසෙහි දරාගත් තිස්‌ස, දිවා රෑ වෙහෙසෙමින් වී අභිජනනයේ නියෑලීමේ ප්‍රථිපල කලඑළි බැස්‌සේ බී.ජී. 360 නමැති වී ප්‍රභේදය ඔහු විසින් රටට හඳුන්වා දීමත් සමඟය. එය සාමාන්‍ය වහරේදී කීරිසම්බා ලෙස හැඳින්වුණි. මේ ගැන බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ හිටපු ප්‍රධානියෙකු වූ ආචාර්ය එම්. පී. ධනපාල මහතා මෙසේ සඳහන් කරයි.

කීරිසම්බා කියන නම දාගත්තේ සමාජය විසින්. ඒක අපිවත්, තිස්‌සවත් හඳුන්වා දුන් නමක්‌ නෙවෙයි. හාල් ඇටයක්‌ ඉදෙන විට සාමාන්‍යයෙන් මහත් වෙනවා. එත් කීරිසම්බා මහත් වෙනවා වෙනුවට වැඩිපුර වෙන්නේ දිගින් වැඩිවීම. කීරක්‌ වගේ දෙපැත්තට දික්‌වෙන හින්දයි ඔය නම වැටුණේ. මෙය බිහි කිරීම තිස්‌සගේ සුවිශේෂී ජයග්‍රහණයක්‌ වගේම ඔහුගේ වෙහෙසට ලැබුණු මහඟු, ත්‍යාගයක්‌.

දැනටත් ලංකාවේ 50% කටත් වඩා වවන්නේ මාස තුන හමාරේ වයස්‌ කාණ්‌ඩයේ වී. කීරිසම්බා වැටෙන්නෙත් ඒ වයස්‌ කාණ්‌ඩයට. අභිජනන වැඩසටහන් හරහා ගුණාත්මක බව වැඩිකරන විට ඊට වන්දියක්‌ වශයෙන් අස්‌වැන්න අඩුවීම විද්‍යාවේ මූලධර්මයක්‌. ඒ උනත් කීරිසම්බාවල ඒ සඳහා ගෙවූ වන්දිය බොහොම අල්පයි. ඒ නිසා ගොවියාට සාධාරණ අස්‌වැන්නකුත් කීරිසම්බා වගාවෙන් ලබා ගන්න පුළුවන්.

1999 සහ 2004 වසර දෙකෙහිදීම කෘෂිකාර්මික විශිෂ්ටත්වය වෙනුවෙන් වූ ජාතික සම්මානයෙන් ඔහු ජනපති වෙතින් පිදුම් ලැබීය. 2000 වසරේදී පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය විසින් පිරිනමන සේනාධීර අනුස්‌මරණ වී පර්යේෂණ සම්මානයද ඔහු විසින් දිනා ගන්නා ලදී. තමාට ලැබෙන සම්මාන, පදක්‌කම් ආදිය නිවසේ අල්මාරියක්‌ තුළ සැඟවූ තිස්‌ස ඉතා අප්‍රසිද්ධව තම කටයුතු සිදුකරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම යනවිට කීරිසම්බාවලට අමතරව තවත් ජනප්‍රිය වී ප්‍රභේදයක්‌ වන බී.ජී. 357 ද රටට හඳුන්වා දී තිබිණ. තවත් නිර්දේශිත වී ප්‍රභේද රැසකට ඔහුගේ දායකත්වය ලබා දී තිබේ.

මීට වසර කීපයකට පෙර රටේ නමගිය පුද්ගලයින්ට ජනාධිපතිතුමා විසින් කරන ලද සම්මාන ප්‍රදානෝත්සවයක්‌ රූපවාහිනියෙන් නරඹමින් සිටි මෙම ලියුම්කරු දුටුවේ තිස්‌ස රාජපක්‌ෂ තම නම කියවෙනවාත් සමඟම සන්සුන්ව ඉදිරියට ඇදී ගොස්‌ සම්මානයත් රැගෙන ආපසු අසුන් ගතවෙන අයුරුයි. ඒ වන විට ඔහු විශ්‍රාම ලබා වසර කීපයක්‌ද ගතවී තිබුණි. හරියටම ඊට දින දෙකකට පසු මහා දවාලේ කුඩයකුත් ඉහලාගෙන මහනුවර නගරයේ වීදියක්‌ ඔස්‌සේ ඇවිදයන ඔහු මුණගැසුණි. සම්මානය ගැන ලැබුනේ කදිම සාධාරණ පිළිතුරකි.

අනේ ඔව්, මට කතා කරලා එන්නම කිව්වා. මට නම් එච්චර උනන්දුවක්‌ තිබුනෙත් නෑ. ඒ උනත් නොගිහිනුත් හොඳ නැනේ. මම ගැන හිතලානේ එන්න කියල තියෙන්නේ. ඔහු සම්මානය පිළිගන්නට ගොස්‌ ඇත්තේ එසේය.

හදිසි අනතුරකට ලක්‌ව රෝහල් ගතව අසාධ්‍ය තත්ත්වයේ සිටියදී වුවද තමා බැලීමට එන හිතවතුන්ට සිනාමුසු මුහුණින් ඔහු කතාකළේ ජීවිතය පිළිබඳව කිසිදු කම්පාවක්‌ නැති පරිද්දෙනි. ඒ ඔහුගේ හැටිය.

විදේශ විනිමය වැයකර ගෙන්වන බාස්‌මති සහලින් කෙරෙන බොහෝ ආහාර වට්‌ටෝරු සඳහා අද කීරිසම්බා ආදේශ කිරීමට ආපනශාලා පියවර ගනිමින් සිටී. ඒ අතින් සිදුවී ඇත්තේ විදේශ විනිමය ඉතිරියකි. ලාංකික වෙළඳපොළෙහි මිල අධිකම දේශීය සහල් විශේෂය වන්නේද කීරිසම්බාය. එහෙත් මේ සඳහා මෙවැනි ඉහළ මිලක්‌ නියම වීම ගැන නම් තිස්‌ස සිටියේ එතරම් ප්‍රසාදයකින් නොවේ.

තිස්‌ස ගැන ලියන්නට අප සිතා සිටියේ කාලෙක පටන්ය. වෙනත් දේශයක මෙවන් විද්වතෙකු සිටියා නම් ඔහු ලබන සුවිසල් ප්‍රසිද්ධිය සහ වරප්‍රසාද දැක ඇති බැවින් ඒවා නැතත්, බත්කන මිනිසුන්ට තිස්‌සව හඳුන්වා දෙන්නට මා හට මහත් ඕනෑකමක්‌ තිබිණ.

සනත් එම්. බණ්‌ඩා