රථවාහන නීතිය සම්බන්ධව රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයන් ඇසූ හරස් ප්‍රශ්න මේවා

ශ්‍රීලංකාවේ දිනකට සිදුවන වාහන අනතුරු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතී. මෙයට සමගාමීව මහමග රථවාහන ධාවනයේදී වාහන නීතිරීති උල්ලංඝනය කිරීම නිසා ‍පොලිස්‍පොතේ නම ලියැවෙන, අධිකරණය හමුවේ වරද පිළිගෙන දඩ ගෙවන, දඬුවම් විඳින රියැදුරන්ද වැඩි වෙමින් පවතී.

රථවාහන නඩුවලදී එම චූදිතයන් වැඩිදෙනකු නීතිඥයකු මගින් උසාවියට ඉදිරිපත් වී වරද පිළිගෙන මෙසේ දඩ හෝ දඬුවමකට යටත්වීම බොහෝ දුරට සිදුවන්නකි.

“ඕවට නඩු කියනවාට වැඩියෙ ‍ලේසියි වරද පිළිඅරන් දඩ ගෙවන එක.”

මෙහෙම දඩ ගෙවන අය පවසන්නේ එසේය.

අධිකරණයේදී චෝදනාව කියවා ‘වැරදිකරුද – නිවැරදිකරුදැයි’ විමසද්දී ‘ස්වාමීනි විත්තිකරු වරද පිළිගන්නවා’ යැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා පවසයි. ඒ අනුව අධිකරණයෙන් දඩ හෝ දඬුවම් නියම කරයි. බොහෝ අවස්ථාවල සිදුවන්නේ දඩ මුදලක් ගෙවීමය. තමන් නිවැරදිකරු වුවද වරදකරු යැයි අධිකරණයට දැනුම් දීමටත් තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයාට ගෙවීමට සිදුවේ.

මේ අතර ඉඳහිට කෙනෙකු තමන් නිවැරදිකරු යැයි අධිකරණයේදී ප්‍රකාශ කර නඩු මගට බසී. ඒ සඳහා නීතිඥ සහායද ලබා ගනී. මේ රථවාහන වැරදි සඳහා පැවරෙන නඩුවලදී අපට දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයයි.

නමුත් අපට නිතර දැකිය හැකි ඉහත කී සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගොස් රථවාහන වරදකට චූදිතයකු වූ පුද්ගලයකු නීතිඥ සහාය නොලබා අධිකරණය හමුවේ තමන් නිවැරදිකරු යැයි තමන් විසින්ම කරුණු දක්වා අදාළ චෝදනාවෙන් නිදොස් වී නිදහස් වූ පුවතක්  පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා විය.

මෝටර් රථ කොමසාරිස්වරයාගේ අනුමැතියකින් තොරව කුඩා ප්‍රමාණයේ ලොරියක පිටුපස කොටසේ යකඩ බටවලින් සකස් කරන ලද කූඩුවක් සවිකර ධාවනය කළ බවට චෝදනා ගොනු කොට පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට මෙසේ චූදිතයකු ඉදිරිපත් කර තිබුණේ සාලියවැව ‍පොලිසිය විසිනි.

නිකවැරටිය හීලෝගම, නම්මුවාව පදිංචි එම්.බි. අහමඩ් ෆාරුක් මහතා එසේ උසාවියට ඉදිරිපත් කර සිටි චූදිතයා විය.
මෙම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වය වූ සාලියවැව ‍පොලිසිය වෙනුවෙන් පැමිණිල්‍ලේ සාක්ෂිකරුවන් වූයේ එම ‍පොලිසියේ ‍පොලිස් කොස්තාපල්වරුන් වූ නිශාන්ත රන්ජිත් ප්‍රනාන්දු (48134) හා ආර්.එම්. රණසිංහ (38505) යන මහත්වරුන්ය.

මෙම සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළේ එහි විත්තිකරු මහතාමය. නීතිඥවරයකු නොවූ ඒ මහතා තමන් වෙනුවෙන් තමන්ම පෙනී සිටිමින් එම සාක්ෂිකරුවන්ගෙන් ඉතා තර්කානුකූලව හරස් ප්‍රශ්න අසා ඉතා සාර්ථකව නීත්‍යනුකූලව අධිකරණයට කරුණු දැක්වීය.

එම කරුණු ද සැලකිල්ලට ගෙන සැකකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළ පුත්තලම මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සැකකරුට එරෙහිව පැමිණිලිකාර සාලිය වැව ‍පොලිසිය විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත්ව ඇති බව ප්‍රකාශ කළේය.

මෙසේ නිදොස් වී නිදහස් වූ මේ අපූරු මිනිසා සොයා රිවිර අපි ඉකුත් නොවැම්බර් 03 දින නිකවැරටිය හීලෝගම නම්මුවාව ගම්මානයට ගියෙමු.

අප යද්දී ව්‍යාපාර කටයුතු සඳහා නිවසින් බැහැර ගොස් සිටි අහමඩ් ෆාරුක් මහතා ආපසු පැමිණෙන විට මැදියම් රැයද ගෙවී යමින් තිබුණි.

ගමන් වෙහෙසද නොතකා අප හා හෝරා කිහිපයක් සංවාදයේ යෙදෙන්නට එකඟ වූ ඒ මහතා සමග කරන ලද කතාබහේදී මතු කොටගත් කරුණුවලට අනුව නම් ඔහු අමුතුම මිනිසෙකි. අපූරු මිනිසෙකි.

“මම අහමඩ් ෆාරුක්, ව්‍යාපාරිකයෙක්. රජයේ සේවකයන්ට දමිළ බස ඉගැන්වීමේ උපකාරක පන්ති ගුරුවරයෙක් හැටියටත් කටයුතු කළා. මා නිකවැරටිය මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයෙන් අ‍පොස (උසස් පෙළ) දක්වා ඉගෙන ගත්තා. මට වයස අවුරුදු 51යි. මේ තමයි මගේ පෞද්ගලික තොරතුරු. දරුවන් හය දෙනකුගේ පියෙක්.

මා මගේ ජීවිතයේදී එක්තරා අසාධාරණ, කටුක සිද්ධියකට මුහුණ දුන්න කෙනෙක්. ඒ 2011.06.11 දිනදී.
කටුනායක ගුවන්තොටු‍පොළට විදෙස්ගත වීමට කාන්තාවක් ඇරලවීමට ගිය මාව අසත්‍ය චෝදනාවක් මත අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත්තා. ව්‍යාජ ලිපි‍ලේඛන ඉදිරිපත් කර විදෙස්ගත වීමට තැත් කළ අයකුට ආධාර අනුබල දීම යන චෝදනාව යටතේ ආගමන විගමන පනතේ 45 ඇ වගන්තිය යටතේ මා අත්අඩංගුවට ගෙන පුරා මාස 13ක කාලයක් මට රක්ෂිත බන්ධනාගාරගතව ඉන්න සිදුවුණා.

මේ පනතේ ඒ කියන වගන්තිය යටතේ අත්අඩංගුවට ගත්තොත් මහාධිකරණය මගින් තමයි ඇප ලබා ගන්න වෙන්නේ. මෙසේ බන්ධනාගාරගත වෙලා මාස 13 තුළ දින 14කට වරක් මහාධිකරණයට යන්න වෙනවා. මේ කටුක අත්දැකීම මට වාගේම මගේ පවු‍ලේ අයටත් බලපෑවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් බලපෑවා. ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට සූදානමින් සිටි මගේ පුතාට ඒ ඉලක්කය කරා යන්න මෙය බාධාවක්, මානසික පීඩාවක් වුණා.

මාස 13කට පස්සේ මට නිදහස ලැබුණා. මේ කාලය තුළ මට අධිකරණයට කරුණු දැක්වීම පිළිබඳව හොඳ අවබෝධයක් ලැබුණා.

මේ අතිශයින් කටුක අත්දැකීම එක පැත්තකින් මට ආශීර්වාදයක් වුණේ එහෙමයි.

මගේ සහෝදරයකු සතු වාහනය භාවිත කළේ මම. මේ වාහනයේ ගමන් බිමන් යද්දී බොහෝ අවස්ථාවල නොකළ වැරදිවලට මට මුහුණ දෙන්න වුණා.

මෙහෙම එක් වතාවක් වාහනය පදවමින් ජංගම දුරකථනයක් භාවිත කළ බවට හලාවත – පල්ලම ‍පොලිසිය මගින් මට එරෙහිව නඩු පැවරුවා. ආණමඩුව සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී මේ නඩුවට මුහුණ දුන් මා නීතිඥ සහාය නොලබා මා විසින්ම උසාවියට කරුණු දක්වලා නිදොස් වී නිදහස් වුණා.

මෙහෙම නිදහස් කළ අවස්ථාවේ එම මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ නීතිඥ සහායවත් නොලබා විත්තිකරු වන මා රථවාහන නීතිය සම්බන්ධව ඇසූ හරස් ප්‍රශ්නවලට පවා පිළිතුරු දීමට නොහැකිවීමෙන් එවකට පල්ලම ‍පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට රථවාහන නීතිය පිළිබඳව ඇති දැනුමේ තරම පැහැදිලි වන බවයි. රථවාහන නඩු සම්බන්ධව ‍පොලිසිය ක්‍රියා කරන ආකාරයත් එහිදී දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා.

පසුගියදා ලොරියක පිටුපස මෝටර් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව යකඩ බට කූඩුවක් සවිකර ධාවනය කිරීමේ චෝදනාවට මට එරෙහිව නඩු පැවරූ මොහොතේදීත් මා වෙනුවෙන් මම පෙනී සිටිමින් අධිකරණයට කරුණු දක්වා නිදොස් වී නිදහස් වෙන්න මට පුළුවන් වුණා.

මේ ගැන මට තියෙන්නේ මා වෙනුවෙන් නීතිඥ සහාය නොලබා මම පෙනී සිටීමෙන් නඩුවෙන් දිනුවා කියන සතුට නෙමේ.

අපේ රටේ වාහන නීතිය හරියට නොදන්නා ‍පොලිස් නිලධාරීන් නිසා අහිංසක රියැදුරන්ට වන හිරිහැරය පිළිබඳ කනගාටුවකුයි මට තියෙන්නේ. රටකට නීතියක් අවශ්‍යයි. රථවාහන නීතිය වුණත් එහෙමයි. එය රටට අවශ්‍යයි. හැබැයි හරියට නීතිය දැනගෙන නීතියට අනුවයි කටයුතු කළ යුත්තේ. මේ ගැන මා කෙතරම් කරුණු දැක්වුවත් දැනුවත් කළත් වගකිවයුතු අයගේ අවධානය ඒ කෙරේ යොමු වෙලා නැහැ.

වසර ගණනාවක් තිස්සේ හිටපු ‍පොලිස්පතිතුමන්ලා වගේම වර්තමාන ‍පොලිස්පතිතුමාවත් මම දැනුවත් කරලා තියෙනවා. නමුත් තවමත් ඒ ගැන නිසි ලෙස අවධානය යොමු වෙලා නැහැ. වර්තමාන ‍පොලිස්පතිතුමාවත් මේ ගැන අවධානය යොමු කරාවි, ක්‍රියාත්මක වේවි කියන බලා‍පොරොත්තුව විශ්වාසය මා තුළ තියෙනවා.

මේ දැනුවත් කිරීම මා මගේ ‘මුහුණ ‍පොතෙනුත්’ දිගටම කරගෙන යනවා.

ඒ වගේම තමයි මාර්ග සංවර්ධන අධිකාරිය. ඒ අධිකාරිය විසින් විවිධ මාර්ග සංඥා ස්ථානගත කරද්දී වාහන නීතියට පටහැනි ආකාරයට කටයුතු කරනවා. බස් නැවතුම් සමගම කහ ඉර යොදනවා. ලංකාවේ විදුලි මාර්ග සංඥා (කලර් ලයිට්) ස්ථානගත කරන්නෙත් බොහෝ විට නිවැරදිව නෙමේ. රාත්‍රී 12.00න් පස්සේ කහපාට එළිය විහිදුවන ලයිට් දැල්වී නිවෙමින් දැල් වෙනවා. සිව්දෙසටම මෙහෙම දැල්වෙන ක්‍රමය වැරදියි කියලා කරුණු සහිතව පෙන්වා දුන්නත් ඒ ගැන අවධානයක් නැහැ.

“ඊ” සලකුණ යොදා ඇති ස්ථානවලින් කියැවෙන්නේ එම ස්ථානය ආසන්නයෙන් මාර්ගය අවසන් බවයි. නමුත් මාර්ගය දිගටම විහිදී තියෙන ස්ථානවලත් මේ සංඥා පුවරු සවි කරලා තියෙනවා.

එහෙම තියෙන එක තැනක් පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලියවැව හන්දිය. එම සංඥා පුවරුවට අනුව නම් සාලියවැව හන්දියෙන් දෙපසට මාර්ග දෙකයි. ප්‍රධාන මාර්ගය අවසන් විය යුතුයි. නමුත් මේ මාර්ගය අනුරාධපුර දක්වාම තියෙනවා. අනුරාධපුරය නගරය ‘හතරමංහන්දිය වැඩි නගරයක්. නමුත් අනතුරුවලට අතවනන වැරදි මාර්ග සංඥා පුවරු කෙළවරක් නැතිව තියෙනවා.

බළන්ගොඩ ඉඳලා පැල්මඬුල්ලට එනකොට පැල්මඬුල්ල නගරයේ ඔරලෝසු කණුව තියෙන්නේ මාර්ගය දෙපසටම එක සමාන ඉඩක් තියෙන ආකාරයට නෙමේ. පාර මැද ඉඳලා එක පැත්තකට 70කුත් අනෙක් පැත්තට 30කුත් වාගේ තමයි තියෙන්නේ. මේ වගේ තැන්වල අනතුරු වෙනවා වැඩියි.

වාහන පැදවීමේදී ආරක්ෂිත පටි පැලඳීම පිළිබඳ නීතියත් එහෙමයි. සමහර වාහනවලට මේ නීතිය අදාළ නැහැ. එයින් කියැවෙන්නේ ඒ වාහන ආරක්ෂිත පටි පැලඳීමෙන් තොරව පැදවූවාට අනතුරක් නැහැ කියලද? බහුතරයක් පුද්ගලික සහ ලංගම රියැදුරන් නියමිත ආකාරයට ආරක්ෂිත පටි පලඳින්නේ නැහැ. ‍පොලිසියෙන් බේරෙන්න ඈතට ආරක්ෂිත පටි පැලඳූ බව පේන්න නිකම් ඇඟ හරහා පටිය දාගෙන ඒ බස් රථ පදවනවා.

යතුරුපැදිවල යන අය ආරක්ෂිත හිස් වැසුම් (හෙල්මට්) දාගෙන යන්නෙ තම ජීවිතයට වෙන අනතුරින් ගැලවෙන්න නෙමේ ‍පොලිසියෙන් ගැලවෙන්න.

වාහනවල දුම් සහතිකයත් ඒ වගේ වාර්ෂික ආදායම් බලපත්‍රය ගන්න දුම් වාර්තාව අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නියමිත නිවැරදි දුම් වාර්තාව ඉදිරිපත් කළොත් පමණයි ආදායම් බලපත්‍රය නිකුත් කරන්නේ. ආදායම් බලපත්‍රයක් යම් වාහනයකට තියෙනවා නම් ඒ වාහනය දුම් පරීක්ෂණයෙන් සමත්. එහෙම නම් මොකටද වාහනවල ලියකියවිලි පරීක්ෂා කරද්දී දුම් සහතිකයක් ඉල්ලන්නේ?

යතුරුපැදිවල ඉන්ධන ටැංකිය මත ‍පොඩි දරුවන් තියාගෙන යන දෙමාපියන් අප මගතොට යද්දී නිතර දකිනවා. මවයි පියයි දරුවයි තුන්දෙනාම යද්දී අම්මා තාත්තා ආරක්ෂිත හිස්වැසුම් පැලඳගෙන යනවා. හැබැයි ඉන්ධන ටැංකිය උඩ ඉන්දවගෙන යන දරුවාගේ හිසේ ආරක්ෂිත හිස්වැසුමක් නැහැ. යම් අනතුරක් වුණොත් මෙහෙම අවදානම වැඩියෙන්ම තියෙන්නේ හෙල්මට් නැතිව ඉන්ධන ටැංකිය උඩ ඉන්දවාගෙන යන දරුවාට. මේ වැරදි අනතුරුදායක ගමන් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ.

මේවා ගැන දැනුවත් කරන්න මා දැන් මගේ මුහුණු ‍පොත භාවිත කරනවා. නමුත් වගකිවයුතු අයගේ ඇස් ඇරෙන පාටක් නම් තාම පේන්න නැහැ. රිවිර තුළින්වත් මේ අදහස් ටික මේ නිවැරදි ක්‍රමවේදයන් සමාජගත වෙලා වගකිවයුතු අයගේ අවධානය යොමු වෙලා යම් සමාජ කථිකාවතක් නිර්මාණය වෙනවා නම්. පසුගිය යුද්ධය කා‍ලේ දිනකට මිය යන ප්‍රමාණයටත් වඩා මාර්ග, වාහන අනතුරුවලින් මිය යන තුවාල ලබන සංඛ්‍යාව ඉහළ යමින් තියෙනවා. මේ නිවැරදි කළ යුතු දේවල් නිවැරදි කර ගත්තොත් දැනට සිදුවන මේ මාර්ග සහ වාහන අනතුරු අවම කරගත හැකියි.”

තනිවම නඩු කතාකරන නඩු කටයුතුවලට තෙම්පරාදු වූ අහමඩ් පාරුක් වැනි දැනුවත් මිනිසුන් රටට, රටේ හෙටට, තව තවත් අවැසිය.

අහමඩ් පාරුක් මහතා රථවාහන නීතිය ගැන පමණක් වගකිවයුතු අය හා ජනතාව දැනුවත් කිරීමෙන් නොනැවතී රටේ බොහෝ අය නොදකින බොහෝ දැවෙන ප්‍රශ්න හමුවේ සංවේදී වන එම ප්‍රශ්න සඳහා විකල්ප යෝජනා කරන අපූරු මිනිසකු බව අපට පසක් වූයේ තැලසීමියා රෝගයට අදාළව ඔහුගේ දැක්ම සහ කියවීම කෙසේදැයි අප හමුවේ විස්තර කළ මොහොතේය.

“අපේ රටේ තැලසීමියා රෝගී දරුවන් දස දහස් ගණනින් ඉන්නවා. ඔවුන්ට ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කම්වලට ලක්ෂ 50-60 වැය කරලා පිටරට ගොස් සැත්කම් කරන්න වෙලා. ඒවාට ආධාර උපකාර කරන්න පණිවුඩයක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් රටට දිය යුතුයි. මා එහෙම කියන්නේ අද වෙද්දී මේ සැත්කමට තමන්ගේ දරුවා භාජනය කරලා ඒ දරු පැටවුන්ගේ ජීවිත රැක ගන්න තමයි හැම අම්මෙකුම, තාත්තෙකුම වෙහෙස වෙන්නේ. මේ දරුවන් ගැන පුවත්පත්වල පිටුවක් සතියකට වරක් වෙන් කළ හැකි නම් හරිම වටිනවා.

අනික තැලසීමියා රුධිර පරීක්ෂාව සියලු දෙනාටම අනිවාර්ය කර නීතියක් පැනවිය යුතුයි. එම රුධිර පරීක්ෂාව කර නොගත් කිසිවකුට නීත්‍යනුකූලව විවාහ වීමට ඉඩ නොදිය යුතු බව දැක්වෙන දැඩි නීතියක් පැනවියයුතුයි. එවිටයි රටක් හැදෙන්නේ.

තැලසීමියා රෝගී දරුවන්ට මේ සැත්කම් ශ්‍රී ලංකාවේදීම කරන්න අවශ්‍ය ගොඩනැගිල්ලක් හද හදා ඉන්නේ දැන් වසර තුනක ඉඳලා. එහි වැඩ අවසන් කරලා ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කම් කිරීමට අවශ්‍ය පහසුකම්වලින් සපිරි තැලසීමියා ඒකකයක් තියෙනවා නම් ලක්ෂ 60-70 වැය කරලා පිටරට ගිහින් ඒ සැත්කම් කරගන්න වෙන්නෙ නැහැ.

මේවා ගැන අපි මීට වඩා සිතිය යුතුයි. මා මගේ මුහුණු‍පොත මේ දැනුවත් කිරීම් සඳහා යොදාගෙන තියෙනවා. එය තවත් පුළුල් කරලා මුහුණු‍පොතේ මිතුරු මිතුරියන් සමග එකමුතුව සංවිධානයක් ගොඩනැංවීමේ අදහසකුත් මා තුළ තියෙනවා.

මේ දැනුවත් කිරීම් ඵල සහිත විය යුතුයි. මුහුණු‍පොත තුළත් මේවාට තියෙන අවධානය හරිම අල්පයි. රිවිරට මෙහි ලා විශේෂ කාර්යභාරයක් ඉටු කළ හැකියි. මේ හඬ සමාජගත කරන්න කරන එම අනුග්‍රහයන් කියන්නේ ජාතික යුතුකම් වගකීමෙන් ඉටු කිරීමට ගන්නා උත්සාහයන් හැටියටයි මා දකින්නේ. ඒ සඳහා පෙළ ගැසෙන්නට ශ්‍රී ලාංකික ඔබ සැමටත් රිවිර තුළින් මා ආරාධනය කරනවා.

මෙම අපූරු මිනිසා පිළිබඳව කතාබහේදී “නඩුවලට තනිවම කතා කරලා දිනන කෙනෙක්” යන කියවීමෙන් ඔබ්බට ගොස් රිවිරට යමක් ලියන්නට මා අදහස් කළේ ඔහු නිහඬව ඉටු කරන සමාජ මෙහෙවර රටට, අපට වටිනා නිසාය.
සටහන – සුනිල් ‍පොරමඬල

ෆාරුක් ‍පොලිස් නිලධාරියාගෙන් ඇසූ ප්‍රශ්න හා පිළිතුරුවලින් කොටසක්

ප්‍ර – ඒ වාහනය එන අවස්ථාවේ තමුන්ට ඒ වාහනයේ යම් කිසි වරදක් පෙනුණේ නැහැ?
පි – මම නතර කළේ නැහැ. ඒ නිසා මට පෙනුණේ නැහැ.

ප්‍ර – තමුන් කියා සිටියා එම වාහනයේ කූඩුවක් තිබුණා කියලා?
පි – මට පරීක්ෂා කරන්න කිව්වා. එතකොට කූඩුවක් ගසා තිබුණා. ඒක බඩු රැගෙන යාම සඳහා තිබුණේ. වී උර කිහිපයක් තිබුණා සත්‍ය වශයෙන්ම මතකයි.

ප්‍ර – කූඩුවක් තිබුණා තමුන් දැක්කා?
පි – ඔව්.

ප්‍ර – තමුන් අධ්‍යාපන හැදෑරුවේ සිංහල මාධ්‍යයෙන්ද?
පි – ඔව්

ප්‍ර – තමුන් රාජකාරි සටහන් තබන්නේ සිංහල මාධ්‍යයෙන්ද?
පි – ඔව්

ප්‍ර – කූඩුවක් කියන්නේ මොකක්ද කියලා අධිකරණයට පැහැදිලි කරන්න?
පි – ස්වාමිනි, එම ලොරි රථයේ තිබුණේ යඩක ප්‍රේම් ගහලා. ඒකට මෙහෙම හරස් කරලා තිබුණා (සාක්ෂිකරු දෑත්වලින් එය සකස් කර තිබූ ආකාරය පෙන්වයි) කූඩුවක් වශයෙන් තමයි සවි කරලා තිබුණේ.

ප්‍ර – මට පැහැදිලි කරන්න කූඩුවක් කියන්නේ මොකක්ද කියලා?
පි – කූඩුවක් කියන්නේ කුකුළු කූඩුවක් වගේ එකක් නොවෙයි. යකඩ ප්‍රේම් අඩි පහක් විතර උසට ගහලා බඩු පැටවීමේ ආරක්ෂාවට නැවත එල්ලයරින් වෑල්ඩින් කරලා තිබුණා.

ප්‍ර – ඒ කූඩුවක් කියලා තමුන් කියනවා. තමුන් දන්නවද කූඩුවයි අට්ටාලයයි අතර වෙනස?
පි – සාමාන්‍යයෙන් භාෂාවට පාවිච්චි කරන්නේ වාහනයේ කූඩුවක් කියලා තමයි.

ප්‍ර – ඒ තිබුණේ කූඩුවක්ද? අට්ටාලයක්ද?
පි – මගේ දැනීම අනුව නම් කූඩුවක් කියලා තමයි නිගමනය කරන්නේ.

ප්‍ර – මම සාක්ෂිකරුට යෝජනා කරනවා තිබුණේ කූඩුවක් නොවෙයි කියලා?
පි – ප්‍රතික්ෂේප කරනවා.

ප්‍ර – තමුන් කියන ආකාරයේ කූඩුවක් තිබුණා නම් ඒ කූඩුවට අවශ්‍ය නීතිමය ලියකියවිලි තිබුණේ නැත්නම් තමුන්ගේ රාජකාරිය කුමක්ද?
පි – ඒ සම්බන්ධයෙන් වැඩිපුර දන්නෙ නැහැ. අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කටයුතු කළේ රණසිංහ නිලධාරියා විසින්. මම ඒ නිලධාරියාට සහාය වුණා විතරයි. මේ සම්බන්ධයෙන් බලපත්‍ර පරීක්ෂා කළේ නැහැ. කූඩුව පරීක්ෂා කරන්න කිව්වා. යඩක ප්‍රේම් ගසා පෙර කියූ පරිදි වී ගොඩ ගහලා තිබුණා.

ප්‍ර – මට කියන්න ඒ කූඩුවේ උස ප්‍රමාණය කීයද?
පි – තට්ටුවේ මට්ටමේ සිට අඩි පහක ප්‍රමාණයක් තිබුණා.

ප්‍ර – නිශ්චිතවම?
පි – මගේ දැනීමේ හැටියට.

ප්‍ර – තමුන් මැනලා බැලුවද?
පි – මැනලා බැලුවේ නැහැ. නමුත් අඩි පහක් පමණ තිබුණා.

ප්‍ර – මනින්නේ නැතුව තමුන්ට ඕනෑම නිශ්චිත අඩි ප්‍රමාණයක් තේරුම් කිරීමේ හැකියාවක් තිබෙනවාද?
පි – ඔව්. ඒ සම්බන්ධයෙන් නඩු ලබා ගන්නවා. ඒ සම්බන්ධව රාජකාරි කිරීමෙන් ලබා ගත්ත යම්කිසි දැනීමක් තිබෙනවා.

නඩුවේ දෙවැනි සාක්ෂිකාර ‍පොලිස් කොස්තාපල් (38505) ආර්.එම්. රණසිංහ මහතාගෙන් විත්තිකාර අහමඩ් ෆාරුක් මහතා ඇසූ හරස් ප්‍රශ්නවලට ‍පොලිස් කොස්තාපල්වරයා පිළිතුරු දුන්නේ මෙසේය.

ප්‍ර – තමුන් ‍පොලිස් නිලධාරියෙක් හැටියට මේ ගරු අධිකරණයේ සත්‍ය ප්‍රකාශයක් කරන්නේ?
පි – ඔව්.

ප්‍ර – එදින රාජකාරියේ යෙදී සිටිය දිනය මතකද?
පි – ඔව්

ප්‍ර – කියන්න පුළුවන්ද?
පි – ඔව්

ප්‍ර – කවදාද?
පි – මම ඒ අවස්ථාවේ සාලියවැව ‍පොලිසියට අනුයුක්තව රාජකාරි කළා.

ප්‍ර – දවස?
පි – 2014.10.24

ප්‍ර – දවස කවදද?
පි – මතක නැහැ.

මුලාශය රිවිර පුවත්පත