මන්ත්‍රයක් මතුරා බිම තිබූ වැලි මිටක් මිට මොළවා උඩට විසි කිරීමෙන්

සත් කෝරලය යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය සිටි ගම් ප්‍රදේශයකි. බොහොම ඉස්සර මේ සත්කෝරලයේ ගමක් වූ බෝයවලාන නම් ප්‍රදේශයේ ඉතාමත් දක්ෂ මන්ත්‍ර ශාස්ත්‍ර දන්නා මහා බලි ඇදුරෙක් සිටි බවට පැරණි තොරතුරු ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රජු මහනුවර රජකළ අවධියේ සත් කෝරලයේ පාලන කටයුතු බාරව සිටි අදිකාරම්වරයා වූ මීගස් තැන්නේ අදිකාරම වාසය කර ඇත්තේ කුලියාපිටිය අසල පිහිටි කෝන්ගහගෙදර නම් වූ ස්ථානයේය. මේ කිරිපුංචා බලි ඇදුරා මීගස්තැන්නේ සමගද සම්බන්ධකම් පැවැත්වූ අයෙකි. මීගස්තැන්නේ මහ අදිකාරම් ද කිරිපුංචාට හොඳින් සැලකුවේ ඔහු යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත ශාස්ත්‍රය දන්නා අයෙකු නිසාය.


බෝයවලාන ගමේ තිබූ පැලහැටිවත්ත නමැති බිම්කඬේ පැලක් අටවාගෙන ගොඩ ගොවිතැන් කරමින් සිටි කිරිපුංචා යකුන් එළවීම, යකුන් බැඳ වැඩ ගැනීම, යකුන් මෙල්ල කිරීම ආදී කටයුතුවල යෙදුනේ තම පරම්පරාවෙන් ලද යන්ත්‍ර මන්ත්‍ර ඥානය යොදාගනිමින්ය. මේ නිසා ගමේ අය කිරිපුංචාට දැක්වූයේ මහත් ගෞරවයක් මෙන්ම බියකි. මිටි සිරුරකින් හා කරුංකා ගෙඩියක් තරම් වූ පුංචිම පුංචි කොණ්ඩයක් බැඳ කරේ ලේන්සුවක් දමා නිතර එහෙ මෙහෙ යන කිරිපුංචා බලි ඇදුරා කෙනෙක් හමුවූ විට “ආයි බෝං බැහැරක් දැයි අසන්නේ හිස ද නමමින්ය. එහෙත් මිනිසුන් ඔහුට දැක්වූයේ බිය මුසු ගෞරවයකි.

දිනක් ගෙදර දොරකඩ  කොස්   ගසේ කෑ ගසමින් කලබල කළ කපුටු රංචුවක්, බලා සිටි අයද මවිතයට පත් කරමින් කිරිපුංචා විසින් බිම දැමුවේ මන්ත්‍ර බලයෙන්ය. ඒ මන්ත්‍රයක් මතුරා බිම තිබූ වැලි මිටක් මිට මොළවා උඩට විසි කිරීමෙන්ය. මේ අරුම පුදුම දෙය දුටු අය එදා සිට කිරිපුංචාට තවත් බිය වූ අතර ඔහුට දැක්වූ ගෞරවයද වැඩිවිය.

ගමේ ආරච්චි වසම කළ පුංචිරාල රාලහාමි කිරිපුංචාගේ හිතවතෙක් විය. නිතර නිතර කිරිපුංචා මෙම ආරච්චිල හමුවීමට ඔහුගේ වලව්වට ගියේ ටික වේලාවක් කතා බස්කර තේ කහට එකක් බී බුලත්විටක් ද සපා ඇයි හොඳැයි පැවැත්වීමටයි. එදා ගම්මුන්ගේ සිරිත් එසේ විය. මේ කතාබස්වලදී යන්ත්‍ර මන්ත්‍ර ගැනද කතාබස් කෙරිණි.

මේ පුංචිරාල ආරච්චිරාලාමි උඩරට මහ වාසල මුරකරුවන් යෙදවීමේ කටයුතුවලටද දායක වූ අයෙකි. ඒ නිසා රජතුමා සමගද බොහෝ ළඟින් ඇසුරු කළේය. ඒ නිසා රජතුමා පුංචිරාලට තම දුක් කරදර ද බොහෝ විට පවසා ඇත. පුංචිරාල මාලිගයට සේවය කළේ බොහෝ යටහත් පහත්වයි. මේ හේතුව නිසාම මීගස්තැන්නේ මහ අදිකාරම් ද නිතර බෝයවලානට යන එන සිරිතක් තිබුණි. මීගස්තැන්නේ පුංචිරාලට කීවේ බෝයවලානේ කියාය. දිනක් හදිසියේම පණිවිඩකරුවෙක් පුංචිරාලගේ වලව්වට ආවේ හිමිදිරි උදයේමය. පණිවිඩකරුවා දුටු සැණින් අඳුනාගත් පුංචිරාල “ඇයි ගබ්බලයෝ? මොකද උදේ ම හදිසියක් වත්දැයි ඇසීය.”

“එහෙමයි ආයුබොවං, අන්න අපේ මීගස්තැන්නේ උන්නාන්සේ තමුනාන්සේ කැටිව වහාම කෝන්ගහවලව්වට එන්ට කිව්වා යැයි කීය. !අ“තෝ පල මං හනික එන්නං කී පුංචිරාල පණිවිඩකරුවා ආපසු යවා තම තිරික්කලයෙන් එහි යාමට පිටත් විය. කෝන්ගහගෙදරට යන විට ඈත තියා දුටුවේ වලව්වේ ඉදිරිපස බරාඳයේ විමසිලිමත්ව සිටින මීගස්තැන්නේ අදිකාරම්ය. පුංචිරාල වහා තිරික්කලයෙන් බැස මීගස්තැන්නේ අසලට ගොස් ආචාර කළේ පණිවිඩය දැනගැනීමටයි. හොඳින් හිනාමුසුව පිළිගත් පුංචිරාලට එහි ඇති ලොවි බංකුවේ වාඩිවන ලෙස කී මීගස්තැන්නේ ඉතාමත් රහසින් යමක් කීවේය. ඒ කීවේ මහවාසල පණිවුඩයකි.

“පුංචිරාල අපේ රජ්ජුරුවන්ගෙ දේවියට මහ කරුම ලෙඩක් හැදිලා. හිස කොට්ටෙ තියන්න බෑ මුළු වාසල පුරාවේ දුවනව කෑ ගහනව එක එක විකාර. ඉතිං බොහොම වෙද්දුත් ගෙන්නල ගුරුකං කරලා තියෙනව. එකකින්වත් හොඳක් නෑ. මං මේ පුංචිරාලට එන්ට කීවේ අර බෝයවලානේ ඉන්න කිරිපුංචව එක්කං ගිහිල්ලවත් ගුරුකමක් කරමුයි කියන්ටයි කීය.

“එහෙමයි අදිකාරම් තුමා”යි කී පුංචිරාල වහාම ආපසු ආවේ මේ සිද්ධිය කියා කිරිපුංචා වෙදරාලත් සමග ආපසු නුවර රජවාසල වෙත යාමටයි. ආපසු වලව්වට ආ පුංචිරාල ආරච්චිල වහාම පණිවුඩයක් යවා කිරිපුංචා ගෙන්වාගති. කිරිපුංචා ද විපිළිසර වූයේ මේ තකහනියක් කැඳවූයේ කුමකටද? කියාය. කිරිපුංචා අසලට ගිය ආරච්චිල හා ඔහෙං ඈඳිගනිං යයි කියමින් කතාව පටන්ගති.

“මං මේ උඹට තකහනියක් පණිවුඩ යැව්වේ අපේ මහනුවර මහ වාසලිං පණිවිඩයක් තියනවා.” උඹ දන්නවද? රාජ මහේෂිකාවට දිෂ්ටියක්. ඉතිං වාසල උන්නාන්සෙ උඹහැව එක්ක ගිහිං සාත්තුවක් කොරන්නට අණකළා යැයි කීය. උඩබිම බැලූ කිරිපුංචා ඒකත් හොඳයි කියා සිතුවේය. යළිත් කතා කළ ආරච්චිල “හෙට උදැහැනැක්කෙම වාසලට යා යුතුයි. මම උඹටත් එක්ක කලමනා ලෑස්ති කරනවා යයි අණ දුන්නේය.

හොඳයි කී කිරිපුංචා ගෙදරවිත් පරණ පුස්කොළ පොත් පෙරළා බලා යම් දෙයක් දැනකියා ගති. පසුදා පහන්වන්නටත් පෙර ඔවුන් දොට්ටපිළට බැස්සේ කඩිමුඩියේම මහ වාසලට ගොඩවැදීම සඳහාය. දිනක ගමනකින් පසු මහවාසල වෙත ළඟාවූ පුංචිරාල දුක්ගන්න නිලමේට තමන් ආ කාරිය කියා පණිවුඩපත ලබාදුනි. එය රජ්ජුරුවන්ට දැන්වූ පසු දෙදෙනාම දිග්ගෙට කැඳවා තේ ආදිය සප්පායම් වෙන්ට දී අනතුරුව රජතුමාම සිද්ධිය කිරිපුංචාට දැන්වීය. හිස නමා ආචාර කරමින්ම අවසර ගත් කිරිපුංචා ලෙඩා බැලීමට ඇතුළුගෙට වනි.

ගතවූයේ මොහොතකි. කෙස් කඩාගත් බිසව හිස හැරුණු හැරුණු අත කාමරය පුරා දිව්වේය. ටික වේලාවකින් එය නතරවුනි. සේවිකාවන්ගේද උත්සාහයෙන් බිසව අල්ලා ඇඳට දමාගත් කිරිපුංචා තම බෙහෙත් හෙප්පුවෙන් කුඩු ස්වල්පයක් ගෙන නාසයට නස්න කර මතුරන්නට පටන් ගති. ඒ මොහොතේ සිටම බිසවට රෝගය සනීප වුනි. පරිවාර කාන්තාවන් ඒ බැව් රජතුමාට දැන්වීය. රජතුමා බොහෝ සතුටට පත්ව දින කීපයක් වාසලේ රැඳෙන ලෙස දෙදෙනාටම දැන්වීය. දැන් බිසවට හොඳටම සනීප වී ඇත. පුංචිරාල හා කිරිපුංචා ද ආපසු  ගම්බලා පිටත් වුනි. මෙච්චර වෙදකමකුත් කර බිසව ගොඩදමා කළ උදව්වට කිසිදු සැලකීමක් රජු නොකළ නිසා කිරිපුංචාට කේන්ති ගියේය. ඔහු මහවැලි තොටින් ආපසු එද්දී වැලිමිටක් ගෙන මතුරා අහසට විසිකළේය.

එසේ කළ කිරිපුංචා රජතුමා කෙරෙහිද අප්‍රසාදය කියමින් පුංචිරාලත් සමග ආපසු බෝයවලානට ආවේය. ගතවූයේ දින කීපයකි. යළිත් උදෑසනක මහ වාසලින්ම පණිවිඩකරුවෙක් ආවේ පුංචිරාල ආරච්චි සොයාගෙනයි. ඔහු දුන් පණිවුඩය බරපතළය. ඉන් කියවුණේ යළිත් බිසවගේ අසනීපය උග්‍රවී ඇති බවකි. පුංචිරාලට හැකි ඉක්මනින් වෙදරාලත් රැගෙන මාලිගයට එන ලෙස අණකර තිබුණි. මේ ආරංචිය ඇසූ කිරිපුංචා බොහොම සතුටට පත්ව මේ වාරයේ හොඳ වැඩක් කරන්නං යයි සිතමින් ඉන්නා විට ආරච්චිලම එහි විත් මේ හදිසි පණිවුඩය කියා එවලේම මහ වාසලට යාමට පිටත් වුණි.

මෙවැනි වැඩක් කළ විට සතුටු පඬුරු පිළිගැන්වීමක් පුරාණයේ තිබුණි. නමුත් රජුට එය අමතක වුණි. මෙවර එය උසස් අයුරින්ම කරන්නට රජුට සිත්වූයේ ඒ ගැන මීගස්තැන්නේ අදිකාරම් ද රජුට මතක්කර සිටි බැවිණි. මහ වාසලට ගිය පුංචිරාල හා කිරිපුංචා රජු හමුවී වහාම දේවිය පිරික්සන්නට අවසර ගත්තේය. එදිනද මුල් දිනයේ මෙන්ම දේවිය දුවන්නට හා දඟලන්නට පටන්ගති. පයේ නිලයක් ඇල්ලූ කිරිපුංචා වෙදා මොහොතකට දේවිය විසඥ කළේ හදිසි යමක් සූදානම් කරගැනීමටයි. වහාම රතුනෙළුම් මලක් ගෙනෙන්නට කී කිරිපුංචා වාසලේ මැද මිදුලේ අසුනක් සකසා එහි දේවිය වාඩිකරවන ලෙස ඉල්වීය.

මේ අසනීපය භූත දෝෂයක් නිසා සිදුවූවක් නොවේ. නාසයේ වෙසෙන යම් ක්ෂුද්‍ර ජීවියකු මගින් ඇතිවන සංකුලතාවකි. එය තේරුම් ගත් කිරිපුංචා ගෙනගිය බෙහෙත් කුඩු වරු තුනක් නෙළුම් මලට දමා අසුනේ වාඩිකරවා බිසවට උරවන ලදී. මුල්වතාවේ තුඩු ස්වල්පයකින් එම කටයුක්ත සිදු නොවුන නිසා බිසවට නැවත රෝගය උත්සන්න වුණි. එවර නිට්ටාවට රෝගය සුව වූ  නිසා රජු තුටු පහටුව තෑගි බෝග ලබාදුනි. කිරිපුංචා තම නෑදෑයන්ද කැටුව ගොස් දේවියට අසුගැබේ මල්බලියාගයක්ද කළේය. එය අලංකාර නැටුම් ගැයුම්වලින් සමන්විත වූ යාගයකි. රජතුමා බොහෝ සේ දෙදෙනාට ස්තුතිකොට පුංචිරාලට මහ වාසල දුක්ගන්නා පයින්ඩයක්ද ලබාදුනි.

දින කීපයකට පසු බෝයවලානට ආ මීගස්තැන්නේ අදිකාරම කුඩාඔය අසල ඇති බෙරුව නම් ස්ථානයේ අණබෙරයක් (ලෝකඩ බෙරය) එල්ලා එය ඇසුන හතරමායිමේ බිම්කඩ පුංචිරාලගේ දරු මුනුබුරු පරම්පරාවට නින්දගම්කොට පවරා දෙන ලදී. ඔවුන්ට විජයකෝන් යන නමද පටබැඳ පවරා දෙනලදී. එසේම පුංචිකිරාමද පැලැගැමිවත්ත සහ තවත් දේපළ උපපද නාමද සහිතව බාල් ඊල් සාරාමාරු ඇතිව නම්කොට දෙනලදී. එදා සිට කිරිපුංචා සිල්ප දත් සකලච්චාරී ගණිතයලාගේ යන වාසගමින් සම්පූර්ණ කරන ලදී.
මෙසේ පවරා දුන් සන්නස් පත්‍ර මෑතක් වන තුරුම ඔවුන් සතුව තිබුණි. නමුත් ඉංග්‍රීසි පරිපාලන සේවා මගින් ඒවායේ බල රහිතවී ඇත. තවමත් මෙම පරම්පරාවල අය එම ගමේ ජීවත්ව සිටිති.

ලංකාදීප