දුම්රිය තුනකින් මාරු වී ප්‍රථම වරට එක්‌ යුරෝපා නගරයක සිට තවත් රටක නගරයට ගමන් ගැනීමේදී මා ඉගෙනගත් දෙය

දිනය ජනවාරි මස 23 වැනිදා. එය ඉරිදා දිනයකි. භූතාන සරණාගතයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා නෙදර්ලන්තයට ගිය මා ලද විවේකයේදී ප්‍රථම වතාවට දුම්රියකින් යාබදව පිහිටි ඔස්‌ටි්‍රයාවට යැමට සූදානම්ව සිටියෙමි.

දුම්රියකින් තවත් රටකට ගමන් කිරීම මට නැවුම් අත්දැකීමක්‌ මෙන්ම අභියෝගයක්‌ ද විය. එය අභියෝගයක්‌ වූයේ ම විසින් තනිවම පැය 10 කට අධික කාලයක්‌ දුම්රිය තුනකින් මාරු වෙමින් ඔස්‌ටි්‍රයාව බලා ගමන් කිරීමට සිදු වීම නිසාය. කලින් සිදු කළ දැනුම් දීම මත ඔස්‌ටි්‍රයාවේ වෙසෙන මාගේ යෙහෙළිය මා කැටුව යැමට වියානාහී “වියන්වෙස්‌ට්‌බානොෆ්” දුම්රිය ස්‌ථානයට පැමිණෙන බව මට පවසා තිබුණු අතර මට අභියෝගය වූයේ ඇඳුම් බෑග් (ලගෙඡ්) රැගෙන නාඳුනන රටක කිසිදු අතපසුවීමකින් තොරව දුම්රිය තුනකින් මාරු වී වියානා නගරයට යැමේ කාර්යයයි. යම් හෙයකින් එක්‌ දුම්රියක්‌ හෝ මට මඟ හැරුනේ නම් මා හට ඒ වෙනුවට ප්‍රවේශපත්‍ර මිල දී ගැනීම සඳහා වැය කළ මුදල නොලැබෙන බව පමණක්‌ නොව වරු ගාණක්‌ ඊළඟ දුම්රිය එනතෙක්‌ සිටීමට සිදුවන බව ද හොඳින් දැන සිටියෙමි.

එදින උදෑසනින්ම අවදි වූ මා මුහුණ සෝදා හැඳ පැළඳගෙන මා නවාතැන් ගත් නිවසෙහි සාමාජිකයකු ද සමඟ මෝටර් රථයෙන් ඩෙන් හාග් (ද හේග්) මධ්‍යම දුම්රිය ස්‌ථානය වෙත ගමන් කළෙමු. නෙදර්ලන්තයේ අගනුවර වන හේග් නගරයට එරට වැසියන් විසින් ආමන්ත්‍රණය කරනුයේ ඩෙන් හාග් යනුවෙනි.

උදෑසන 7.20 ට “ඩෙන් හාග්” දුම්රිය සථානයේ සිට පිටත් වීමට නියමිතව තිබූ නෙදර්ලන්ත අධිවේගී දුම්රිය සේවාවට අයත් අයිස්‌ (ෂCE) අන්තර් නගර අධිවේගී දුම්රියට නැඟුණු මා එම දුම්රියෙන් නෙදර්ලන්තයේ “යුටෙරෙච්ට්‌” (ඹඑeරුජයඑ) නගරය බලා ගමන් කළෙමි.

නෙදර්ලන්ත අධිවේගී දුම්රිය සෙසු යුරෝපා රටවල අධිවේගී දුම්රිය සේවාවන් මෙන්ම නිසි වේලාවට ගමන් ඇරැඹීම හේතුවෙන් අවම වශයෙන් විනාඩි 20 කටවත් පෙර දුම්රිය ස්‌ථානයට යැම ඉතා වැදගත්ය. පිටත් වීමට විනාඩි 10 කට පෙර දුම්රිය ස්‌ථානයට පැමිණෙන එම දුම්රිය පිටත්වන වේලාවට විනාඩියකට දෙකකට පෙර සිය ස්‌වයංක්‍රීය දොරටු වසා දමනු ලබති.

විනාඩි හතලිස්‌ පහක ගමනකින් පසු යුටෙරෙච්ට්‌ දුම්රිය ස්‌ථානයට පැමිණි මා හට එතැන් සිට යැමට සිදු වූයේ ජර්මනියේ ප්‍රැන්ක්‌ෆර්ට්‌ නගරය බලා ගමන් ගන්නා අයිස්‌ 105 නමැති අන්තර් නගර ශීඝ්‍රගාමි දුම්රියෙනි. යුටෙරෙච්ට්‌ දුම්රිය ස්‌ථානයෙන් බැසගත් මා හට ෆ්‍රeන්ක්‌ෆර්ට්‌ බලා යන දුම්රිය නවතන වේදිකාව (ප්ලැට්‌ෆෝම්) දක්‌වා යැම සඳහා පඩි 12 කින් බැස තවත් මීටර් 10 ක්‌ පමණ දකුණු අතට ගොස්‌ තවත් පඩි පෙළක්‌ නැඟීමට සිදු විය.

ගුවනින් ගමන් ගත්තේ නම් පැය එකහමාරකින් පමණ ගමනාන්තය කරා යැමට තිබුනා නේදැයි මෙම අවස්‌ථාවේ කිහිපවරක්‌ සිතුනද දුම්රියෙන් ගමන් කිරීමේදී අවට පරිසරය ඉතා හොඳින් දර්ශනය වන බව පසක්‌ වීම නිසා මුල් සිතුවිල්ල අමතක කර දැමීමි.

වෙනත් මගියකුගෙන් අසා දැනගත් පරිදි නියමිත වේදිකාවට පැමිණි මා ෆ්‍රeන්ක්‌ෆර්ට්‌ නගරය බලා යන දුම්රිය කුමක්‌දැයි විමසිලිමත් වීමි. මා එම වේදිකාවට යන විට එහි සිටියේ මගීන් දෙදෙනකු පමණකි. ඔවුන් ද වෙනත් දුම්රියකින් ගමන් ගැනීමට සිටීම නිසා ඔවුන්ගෙන් විමසා සිටි විට මා ගමන් ගැනීමට නියමිතව තිබුණේ එම අවස්‌ථාවේදී නතර කර තිබූ දුම්රියෙහි බව දැන ගත්තෙමි. අනතුරුව මා එම දුම්රියට නැග මා විසින් වෙන් කර ගත් ප්‍රවේශ පත්‍රයට අදාළ දුම්රිය පෙට්‌ටිය (වැගන්) හා ආසනය සොයා ගමන් ගතිමි.

මා එම දුම්රියට ගොඩ නැග ඇත්තේ ම විසින් වෙන් කර තිබූ ආසනය තිබූ දුම්රිය පෙට්‌ටියට බොහෝ දුරින් තිබූ පෙට්‌ටියකට බව ම විසින් දැන ගත්තේ අනතුරුවය.

සාමාන්‍යයෙන් යුරෝපා අධිවේගී දුම්රිය සේවාවන්ගෙන් ප්‍රවේශ පත්‍රයක්‌ වෙන් කර ගැනීමේදී (රිසවේෂන්) එම ප්‍රවේශපතෙහි අපට වෙන් කළ ආසනය හා එම අසුන අයත් දුම්රිය පෙට්‌ටියෙහි අංකය මුද්‍රණය කර තිබේ. මේ නිසාම එම දුම්රියකට ගොඩ විය යුත්තේ අප විසින් මිල දී ගනු ලබන ප්‍රවේශ පත්‍රයෙහි සඳහන් කර ඇති දුම්රිය පෙට්‌ටියටයි. එහෙත් ප්‍රථම වතාවට එම දුම්රියෙන් ගමන් ගත් මා ගොඩවී තිබුණේ මාගේ ආසනය තිබූ පෙට්‌ටියට පෙට්‌ටි කිහිපයක්‌ යාබදින් පිහිටි දුම්රිය දොරටුවෙනි.

මේ නිසාම මා හට නියමිත අසුන සොයා තරමක්‌ දුර යැමට සිදු විය. කෙසේ හෝ නියමිත අසුන සොයා ගැනීමෙන් අනතුරුව මාගේ බෑග් අසුන ළඟ තබාගෙන මා අසුන් ගතAතෙමි. නෙදර්ලන්තයේ සිට ජර්මනියට දුම්රිය ප්‍රවේශ වන විට දිස්‌ වූයේ ඉතා අලංකාර පරිසරයකි. නෙදර්ලන්තයේ වැඩි වශයෙන් සුළං මෝල් තැනින් තැන දිස්‌ වුවද ජර්මනිය හරහා ගමන් ගත්ම හිමෙන් වැසී ගිය කඳු, නිවාස තැනිතලා ඉතා අලංකාර අයුරින් දිස්‌ විය.

මෙවැනි සුන්දර දර්ශන නරඹමින් ගමන් ගනිද්දී කිසිදු විඩාවක්‌ නොදැනීම අරුමයක්‌ නොවන බව මට පසක්‌ විය. නෙදර්ලන්තයේ නිවසින් රැගෙන ආ සැන්ඩ්විචස්‌ කිහිපය ආහාරයට ගත් මා කෝපි කෝප්පයක්‌ පානය කරමින් අවට පරිසරය නරඹමින් ගමන් ගතිමි.

ෆ්‍රeන්ක්‌ෆර්ට්‌ නගරය වෙත දුම්රිය ළඟාවීම සඳහා පැය තුනයි විනාඩි විසි දෙකක කාලයක්‌ ගමන් කළ යුතුව තිබිණි. අධිවේගී දුම්රියෙහි දිස්‌වන ස්‌වයංක්‍රීය තිරය ඔස්‌සේ ගමනාන්තය කරා ළඟා වීමට පෙර පසු කළ යුතු වන දුම්රිය ස්‌ථාන දිස්‌වීම නිසා පළමුවතාවට දුම්රියෙන් ගමන් ගන්නා අයෙකුට එය තම ගමනාන්තය පිළිබඳව දැන ගැනීමට මහෝපකාරී වේ.

කෙසේ වුවද මා ගමන් ගත් දුම්රියෙහි ගමනාන්තය ෆ්‍රeන්ක්‌ෆර්ට්‌ දුම්රිය ස්‌ථානය නොවීම නිසා මා නියමිත දුම්රිය ස්‌ථානයෙන් ගොඩ බැසීමට නම් දැඩි අවධානයකින් පසුවිය යුතු විය.

අසල සිටි මගියෙකුගෙන් ද අසා දැනගෙන කෙසේ හෝ ෆ්‍රeන්ක්‌ෆර්ට්‌ දුම්රිය ස්‌ථානයෙන්ද දහවල් 11.51 ට පමණ මා නියමිත පරිදි බැස ගතිමි.

ෆ්‍රeන්ක්‌ෆර්ට්‌ දුම්රිය ස්‌ථානයෙන් බැසගත් පසු ඔස්‌ටි්‍රයාවේ වියානා නගරය කරා යැමට නියමිතව තිබූ දුම්රිය ගමන් ඇරැඹීමට නියමිතව තිබුණේ මා බැසගත් වේදිකාවෙනි. එහෙත් මා බැස ගත් පසු දුම්රියේදී හඳුනාගත් මඟියකු මා හට පවසා සිටියේ එම වේදිකාව වෙනස්‌ කර ඇති බවයි. වාසනාවකට මෙන් නව වේදිකාව ද තිබුණේ එයට යාබදවය.

එහි විනාඩි පහක්‌ පමණ කාලය ගත කළ පසු වියානා නගරය බලා ගමන් ගන්නා අයිස්‌ 27 නමැති අධිවේගී දුම්රිය එම ස්‌ථානයට පැමිණියාය. අනතුරුව දුම්රියට නැගගත් මා හට නියමිත අසුනෙහි අසුන් ගත්තෙමි.

මෙහිදී මා සමඟ ෆ්‍රeන්ක්‌ෆර්ට්‌ නගරයේ සිට දුම්රියෙන් පැමිණි බංග්ලාදේශ ජාතිකයකු ද වියානා බලා ගමන් ගන්නා දුම්රියට නැගගත් අතර ඔහු මා විසින් මට නියමිත අසුන සොයමින් සිටි විට ප්‍රකාශ කර සිටියේ ඕනෑම අසුනක හිඳ ගන්න එය ප්‍රශ්නයක්‌ නොවන බවයි. එහෙත් මාගේ හිතවතුන් ගමන් ඇරැඹීමට පෙර කියා සිටියේ මා ආසනයක්‌ වෙන් කර ඇත්නම් එහිම අසුන් ගැනීම වඩා හොඳ බවයි. එයට හේතු වනුයේ වෙනත් අසුනක අප අසුන් ගත් විට දුම්රිය නැවතුම්පොලකින් එම අසුන වෙන් කරනු ලැබූ මඟියකු දුම්රියට නැඟුනේ නම් එහි සිටින තැනැත්තාට එම ස්‌ථානයෙන් ඉවත් වීමට සිදු වීම නිසාය.

අයිස්‌ දුම්රිය වියානා නගරය බලා ගමන් ගැනීමේදී දිස්‌ වූ මනස්‌කාන්තම දර්ශනය වූයේ සුප්‍රකට ඇල්ප්ස්‌ කඳු වැටියයි. ඔස්‌ටි්‍රයානු දේශ සීමාවට ළඟා වත්ම ඇල්ප්ස්‌ කඳු වැටි දිස්‌ වූයේ නිල් පැහැයෙනි. සැබැවින්ම එය අතිශයින් සුන්දර වූ දර්ශනයකි.

ෆ්‍රeන්ක්‌ෆර්ට්‌ නගරයෙන් දහවල් 12.02 දුම්රියට නැඟී මා හට වියානා වෙස්‌ට්‌බානොෆ් දුම්රිය ස්‌ථානයට ළඟාවීමට නියමිතව තිබුණේ රාත්‍රි 7.22 ටය. අඳුර වැටෙත්ම අවට දර්ශනය එතරම් පැහැදිලි නොවීම නිසා තරමක චකිතයක්‌ දැනුනද මා රැගෙන යැමට වියානා දුම්රිය ස්‌ථානයට යෙහෙළියගේ නිවසින් පැමිණෙන බව දැන සිටීම නිසා එය මඟ හැරී ගියේය.

කෙසේ හෝ රාත්‍රි 7.22 වන විට අයිස්‌ දුම්රිය වියානා දුම්රිය ස්‌ථානයට ළඟා විය. දුම්රියෙන් බැස ගත් මා අනිකුත් මඟීන් සමඟ වම් අත පසට ගමන් ගෙන මා රැගෙන යැමට කිසිවකු පැමිණ නැති බව අනුමාන කර මාගේ යෙහෙළියට ඇමතීම සඳහා එහි පිහිටි දුරකථන කුටියක්‌ අසල මාගේ බෑග් තැබීමි. එවිටම මා දුටුවේ යෙහෙලියගේ සැමියා මා වෙත පැමිණෙන අයුරුය. ඔහු සමඟ දුම්රිය ස්‌ථානයේ සිට මෝටර් රථයෙන් යෙහෙළිය සිටින ගැන්සන්ඩෝෆ් නගරය කරා ගමන් ගතිමි.

දුම්රිය තුනකින් මාරු වී ප්‍රථම වරට එක්‌ යුරෝපා නගරයක සිට තවත් රටක නගරයට ගමන් ගැනීමේදී මා ඉගෙනගත් දෙය නම් දුම්රිය ස්‌ථානයට කලට වේලාවට පැමිණීම, දුම්රියකින් තවත් දුම්රියකට නැඟීමේදී කෙටි කාලයක්‌ ඇතුළත එය සිදු කිරීම හා තම ආසනය අයත් දුම්රිය පෙට්‌ටියට නැඟීම යන කරුණුවල වැදගත් කමයි. එම කරුණු අනුගමනය කිරීම නිසා මා හට එකදු දුම්රියක්‌වත් අතපසු නොවී ගමනාන්තය කරා යැමට හැකි විය.

හේග් නගරයේ සිට වියානා නගරය දක්‌වා පැය දොළහකට ආසන්න කාලයක්‌ දුම්රියෙන් ගමන් ගත් මා මාගේ යෙහෙළිය ද සමඟ කෙටි සංචාරයක්‌ සඳහා ඉකුත් පෙබරවාරි මාසයේ ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නගරය බලා ගමන් ගත්තේද මේ අයුරින්ම ශීඝ්‍රගාමී දුම්රියකිනි.

රේල් පේට්‌ දුම්රිය සේවාවට අයත් ආර්. ඡේ. 160 දුම්රියට උදෑසන 7.20 ට පමණ වියානා වෙස්‌ට්‌බානොෂ් දුම්රිය ස්‌ථානයෙන් නැඟුණු අප සුරිච් නගරය කරා ළඟා වූයේ එදින සවස 3.20 ට ය. පැය 8 ක කාලයක්‌ මෙම ගමන සඳහා ගත වුවද එකම දුම්රියෙන් ගමනාන්තය තෙක්‌ ගමන් ගැනීම නිසා අපහසුතාවක්‌ හෝ වෙහෙසක්‌ දැනුනේ ද නැත.

වියානා නගරයේ සිට සූරිච් දක්‌වා ගමන් කිරීමේදී දක්‌නට ලැබුණු හිමෙන් වැසුණු ඇල්ප්ස්‌ කඳුවැටි, තැනිතලා නිවාස හා ගංගාවන් සැබැවින්ම සුන්දරය. අප සූරිච් නගරයේ සිට වියානා දක්‌වා නැවත පැමිණියේ ද දුම්රියෙනි. එහෙත් එවර හිම පතනයක්‌ පැවැතීම නිසා දුම්රිය ගමනාන්තය වෙත පැමිණීම විනාඩි 40 කින් ප්‍රමාද විය.

වියානා සිට නෙදර්ලන්තයේ හේග් නුවර දක්‌වා නැවත මා පැමිණියේ ද තනිවමය. එහෙත් එහිදී වියානා සිට ෆ්‍රeන්ක්‌ෆර්ට්‌ දක්‌වා පැමිණ එතැනින් තවත් දුම්රියකින් ඇම්ස්‌ටඩෑම් නගරයට ළඟා වීමට නියමිතව තිබිණි. කෙසේa හෝ ෆ්‍රeන්ක්‌ෆර්ට්‌ නගරයට පැමිණ ඇම්ස්‌ටඩෑම් වෙත යන දුම්රියට නැඟී මා හට නෙදර්ලන්ත දේශ සීමාව අසලදී වෙනත් දුම්රියකට මාරු වීමට සිදු වූයේ කිසියම් හේතුවක්‌ මත එම දුම්රිය ආපසු ෆ්‍රeන්ක්‌ෆර්ට්‌ බලා ගමන් ගැනීම නිසාය.

මෙහිදී මා දුම්රියේදී හඳුනාගත් වියානා නගරයේ සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ද මාගේ ඇඳුම් බෑග් ඇම්ස්‌ටඩෑම් බලා යන දුම්රියට ගෙන යැමට උපකාරී විය. අනතුරුව පැයකින් පසු ඇම්ස්‌ටඩෑම් නගරයට ළඟා වූ දුම්රියෙන් බැස මා නැවත හේග් නගරය බලා යැමට දුම්රියට නැග්ගේද තනිවමය. ශිෂ්‍යත්වයක්‌ ලැබ ගිය මෙම ගමනේදී රටවල් තුනක්‌ වෙත දුම්රියෙන් ගමන් ගත් මෙම ගමන මට කිසිසේත් අමතක නොවන අත්දැකීමක්‌ වනුයේ ප්‍රථම වතාවට එසෙ ගොස්‌ එම ගමන සාර්ථකව නිම කිරීමට හැකි වීම නිසාය.

ඒමන්ති මාරඹේ