මෙම දරුවාගේ ජන්ම නැකත පරීක්‌ෂා කළ නැකැත්කරුවන් ප්‍රකාශ කළේ කවදා හෝ දිනක මොහු මුළුලොව බබලන චරිතයක්‌ බවට පත් වෙන බව

ලෝකය වෙනස්‌ කළ මිනිසුන්ගේ ජීවන තොරතුරු ඉතා අපූර්වය. ඇතැමුන් කටුක පරිසරය තුළින් දුෂ්කර ජීවිතයෙන් පන්නරය ලබා සමාජයේ ඉස්‌මතු චරිත බවට පත් වෙනු ඇත.

තවත් පුද්ගලයන් තමා උපන් ප්‍රීතිමත් පරිසරය වෙතින්ම තවදුරටත් ආලෝකය ලබනු ඇත. රබින්ද්‍රනාත් තාගෝර් උපත ලැබුවේ ඉන්දියාවේ පළාත් අතරින් ධනවත් සහ ඥානවන්ත මිනිසුන් වෙනුවෙන් නම් දරන ලද දේශයකින්ය.

ඉන්දියාවේ උතුරු කල්කටා නුවර දවර්කනාත් තාගෝර් පටු මාවතේ පිහිටි ජොරසොන්කෝ තාගෝර් මහගෙදර බ්‍රාහ්මණ පවුලකට දාව රබින්ද්‍රනාත් තාගෝර් උපත ලැබුවේ 1861 වසරේ මැයි මස 6 වෙනි දිනය. අක්‌කර තුනහමාරක බිම් පෙදෙසක්‌ වසා පැතිරී ගිය මෙම නිවසේ දෙවෙන්ද්‍රනාත් තාගෝර් සහ සාරදා නම් මව් පිය යුවළට දාව උපන් ඔහු පවුලේ බාල දරුවා විය. කලාගාරයක්‌ බඳු මේ නිවස දරුවන් පහළොස්‌ දෙනකුට උපන්බිම වුවද, ‘මේ මව්පිය යුවළගේ කුළුඳුලේ ලද දියණිය ඇතුළුව දරුවන් කීප දෙනකුට මව්පිය සමාගමේ රැඳෙන්නට දෛවය අවසර දුන්නේ නැත.

ජර්මනියේ මහාචාර්යවරයෙක්‌ව සිටි වී. ලෙස්‌නි මහතා සඳහන් කරන අන්දමට ‘ඨාකුර් යන උපාධිය මෙම පවුලට ලැබුණේ 17 වැනි ශතවර්ෂයේදීය. මහමත් රජය යටතේ සේවය කිරීම වෙනුවෙන් මෙම නාමය ලද අතර ‘ඨාකුර්’ යන නම යුරෝපීය ආභාෂය නිසා තාගොර් ලෙසින් ව්‍යවහාර වන්නට වී ඇත. දවර්කනාත් කුමාරයා යෑයි හඳුන්වන ලද රබින්ද්‍රනාතයන්ගේ සීයා මෙම ගෘහයේ මුල් හිමිකරුවා වූයේය. පිරලි නම් බ්‍රාහ්මණ වංශිකයන් වූ ඔවුන් සතුව මහන්ත ජමින්දාරයක්‌ පවා හිමිවී තිබිණි.

මෙම දරුවාගේ ජන්ම නැකත පරීක්‌ෂා කළ නැකැත්කරුවන් ප්‍රකාශ කළේ කවදා හෝ දිනක මොහු මුළුලොව බබලන චරිතයක්‌ බවට පත් වෙන බවයි. මේ නිසාම හිරුණී යන අදහසින් සිය බාල පුතුට රබින්ද්‍රනාත් යෑයි නම් තබන්නට දෙවෙන්ද්‍රනාත් අදහස්‌ කළේය.

නමුත් රබින්ද්‍රනාත්ගේa බාල කාලය සුන්දර ලෙසින් ගෙවුණේ නැත. ඔහුට යාන්තම් දැනුම් තේරුම් වයසට එලැඹෙත්ම මෑණියන් මරණයට පත් වූවාය. 1874 වසරේ මාර්තු 8 වෙනි දින දූ දරුවන් සහ ආදරණීය සැමියා හැර පියා ඇය මෙලොවින් සමුගත්තාය. නමුත් මතකය තුළින් මවගේ හැඩ රුව ඔහුගේ හිතේ මැනවින් සනිටුහන්ව තිබිණි.

මගේ මවු මැරෙන විට මම නොදරුවෙක්‌…නමුත් ඇගේ මරණ කාලයෙහි මුහුණෙහි වූ ශාන්ත බව සහ නිශ්චල බව දුටු මට මොහොතකටවත් ඇගේ මරණයෙන් පසුව බියක්‌ දැනුණේ නැහැ.

ඉන්දියානු සමාජයේ නීතිරීති බන්ධනයන්ගෙන් පීඩාවට පත්ව සිටියා නොව පියා විසින් ඔහු මෙහෙයවන ලද්දේ දුෂ්aකර ජීවිතයක්‌ වෙනුවෙන්ය. නිදහස සීමා කරන ලද විශාල ගෘහයක සේවකයන්ගේ අණසක යටතේ තම පුතු මෙහෙයවන ලදී. මේ අතර ඉංග්‍රීසි අධ්‍යාපනය වෙනුවෙන් රබින්ද්‍රනාත් මුලින්ම ඇතුළත් කරන ලද්දේ ඔරියන්ටල් සෙමනේරියටය. එවක අධ්‍යාපනය තුළ පාසල රන් දෙවොලක්‌ වූයේ නැත. වේවැල ඉදිරියෙන්ම සිටි අතර පාසල් ජීවිතයේ මතක ඔහුට මිහිරි නොව අමිහිරි වන්නට ඇති බව විටෙක සඳහන් කරන ආත්මීය ප්‍රකාශයෙන් පෙනෙනු ඇත.

උදේ පාන්දරින්ම නැගිටලා මල්ලව පොර අල්ලන්න ඕන…දූවිලි පිහදාගෙන නැගිටලා කෘෂිකර්මය…..ඇටසැකිල්ලක්‌ පංති කාමරයේ එල්ලලා වෛද්‍ය ශිෂ්‍යයෙක්‌ අපිට අස්‌ථි පඤ්ඤරය ගැන ඉගැන්නුවා. උදේ හතට ගණිතය පංතිය…..සේවකයන් ගෙනත් දෙන බත්පත කටට දෙකට කාලා පාසලට යන්න ඕන…රාත්‍රියට ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක්‌ එනවා. නින්දක්‌ නැහැ… විටින් විට ඇහැරෙනවා…ඇස්‌ දෙක පියවෙන මොහොතක්‌ පාසා ඇහෙන්නේ කවුරු හෝ උගන්වනවා වගෙයි….

තමාගේ බාල කාලයේ වෙහෙසකර අධ්‍යාපන රටාව ගැන රබින්ද්‍රනාත් තාගෝර් මෙනෙහි කරන්නේ එසේය. පාසල් ජීවිතය රබින්ද්‍රනාත් තාගෝර්ට අප්‍රිය වූයෙන් ඔහුගේ පියා රබින්ද්‍රනාතයන් බෙංගාල ඇකඩමියට සහ ශාන්ත සේවියර් විද්‍යාලය ඇතුළත් කරන ලදී.

නමුත් පාසල් ජීවිතයට හැඩ ගැසීම ඔහුට අසීරු වූ නිසා නිවසේ සිට ඉගෙනීම වෙනුවෙන් පහසුකම් සලසා දෙන ලදී. පොත පත කියවීමට බෙහෙවින් ඇලුම් කළ රබින්ද්‍රනාත් බොහෝ සෙයින් පොත් පත් කියෑවීමෙන් ලද දැනුමක්‌ සහ වින්දනය ලබා ගත්තේය. කුඩාම කාලයේදී ඔහු බෙන්ජමින් ප්‍රෑන්ක්‌ලින්ගේ චරිතාපදානය කියෑවූ අතර උපනිෂද් ග්‍රන්ථ සහ පැරණි සෘෂිවරුන්ගේ පොත්පත් ඇතුළු තමාට ලැබෙන සෑම සියලු දෙයම කියවන්නට හුරු පුරුදුව සිටියේය. මෙසේ ලද පන්නරය නිසාම වයස අවුරුදු දොළහ වෙත්ම කවි නාට්‍ය සහ නිර්මාණශීලී ප්‍රබන්ධයන් වෙනුවෙන් හපන්කම් ප්‍රදර්ශනය කරන ලදි.

බාහිර ලෙසින් කෙතරම් සම්පත් තිබුණ ද මවගේ වියෝගය අසුන්දර ලෙසින් ගෙවි ළමා විය නිසාමදෝ ඔහුගේ නිර්මාණයන් අභ්‍යන්තරයෙන් පසක්‌ වුණේ ශෝකය සහ වේදනාවයි. තමන්ගේ අත්දැකීම් ලෙසින් සිත් කම්පනය කරන්නට සමත් වූ නිසාම රබින්ද්‍රනාථයන්ගේ පබැඳුම් බොහෝ දෙනාගේ සිත් ගන්නට විය. රබින්ද්‍රනාත් තාගෝර්යන් සිය සෞන්දර්ය චාරිකාව ආරම්භ කරන ලද්දේ වයස අවුරුදු පහළොව සපිරෙත්මය. ඔහුගේ වැඩිමහල් සහෝදරයන් විසින් සංවිධානය කරන ලද ‘හින්දි මේලා’ නම් ජාතික උත්සවයේදී රබින්ද්‍රනාතයන් තමා විසින්ම රචිත ජාත්‍යානුරාගී පද්‍ය ගායනයේ යෙදුණි. මෙම යුගය වෙන විට ඔහු විසින් පද්‍ය පංතින් මෙන්ම ‘මනපුල්’ නමින් කවි කතාවක්‌ ද “භානු සිංගර් පාදාවලි” නම් වූ භාව ගීතයක්‌ ද ලියා තිබිණි. 1877 වසරේදී ඔහු කිවියෙකුගේ වෘතාන්තය නමින් කවි පොතක්‌ ලියා පළ කරන ලදී.

මෙම යුගයේදී ප්‍රභූ පවුල්වල දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්තයට ගිය අතර පවුලේ සහෝදරයන්ගේ ඒකමතික තීරණය වූයේ බාල සහෝදරයා නීතිය හැදෑරීම සඳහා එංගලන්තයට යෑවිය යුතු බවයි. මේ සඳහා එකඟතාවට පත් රබින්ද්‍රනාතයන් 1878 වසරේ සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේ ලන්ඩන් සරසවියට ඇතුළු වුයේය. නීතියට වඩා ඔහුගේ හදවත ඉව කළේ සාහිත්‍යටයි. මේ නීතිය පසෙකලා ඔහු ඉංගී්‍රසි සාහිත්‍යය උගත්තේය. ඉලක්‌ක අරමුණ නීතිය ලෙසින් ගොඩනැගුවද ඔහුගේ ඉලක්‌කය සාහිත්‍යය වෙත යොමු වීම නිසා සරසවි අධ්‍යාපනය අවසාන නොකොටම හෙතෙම නැවතත් ඉන්දියාව බලා පැමිණුනේය.

රබින්ද්‍රනාතයන්ට සාහිත්‍ය වෙනුවෙන් අත්පොත් තබන ලද්දේ ඔහුගේ වැඩිමහල් සහෝදර ජෝතියෙන්ද්‍රනාත් විසින් යෑයි රබින්ද්‍රනාත් සඳහන් කරයි. ජෝතියෙන්ද්‍රනාත් විසින් කාලිදාසයන්ගේ මේඝ දූතය කියවන විට කුඩා රබින්ද්‍රනාත් එය අසා සිටියේය. මෙය ලියෑවි තිබුණේද නුහුරු භාෂාවකින් වුවද කුමක්‌දෝ නොදැනෙන රස රහසක්‌ මෙම කෘතියෙන් ඔහුගේ සිතට ඉව වැටිණි. මේ අතර ජෝතියෙන්ද්‍රනාත්ගේ බිරිඳ කාදම්බරිද තාගෝර්ගේ වයසෙහි වූවාය. ඔවුන්ට දාව දරුවන්ද නොමැති වූයෙන් මානසිකව වූ හුදෙකලාව පිරිමැසී ගියේ කවියෙන්ය. මේ වන විට මවගේ වියෝවෙන් මානසික ලෙසින් හිස්‌ බවට පත් රබීන්ද්‍රනාත්ද සිය ලොකු නෑනාට වඩාත් සමීප වූයේය.

1863 වසරේදී දෙවෙන්ද්‍රනාථ හෙවත් තාගෝර්ගේ පියා විසින් බොල්පුරය සමීපයෙන් විශාල ඉඩමක්‌ මිලයට ගත්තේය. විවේකය වෙනුවෙන් මනා සේ ගැළපුන මෙම මන්දිරය 1887 වසරේදී භාරකාර මණ්‌ඩලයකට පවරා එය ‘ශාන්ති නිකේතනය’ යෑයි නම් කරන ලදී. 1885 දෙසැම්බර් විසි හත් වැනි දින ඉන්දීය ජාතික සංගමය බිහි වූ අතර එහි ප්‍රථම ලේකම් වූයේ ඒ. ඕ. හිHqම් නමැති ඉංගි්‍රසි ජාතිකයෙකි. රබින්ද්‍රනාත් තාගෝර් මෙම සංගමයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

සිය ජීවිතයේ තවත් වාසනාවන්ත කඩඉමක්‌ වෙනුවෙන් ඔහු 1883 වසරේදී මුහුණ දුන්නේය. දෙසැම්බර් නව වෙනි දින ඔහු මුනාලිනි සමග විවාහ වුවාය. යුග දිවියට ඇතුළු වූ රබින්ද්‍රනාතයන් 1900 වසර වෙත්ම දරුවන් පස්‌ දෙනකුගේ කිරි සුවඳ විඳින්නට තරම් භාග්‍යවන්ත වූයේය. 1886 දී කුළුඳුල් දියණිය මාධුරිලතාද, 1888 නොවැම්බර් විසි හත් වැනි දින රබීන්ද්‍රනාත්ද 1891 ජනවාරි දරුවන්ගේ විසි හය වෙනි දින රේණුකා දේවිද 1893 වසරේ මීරා දේවය සහ 1895 වසරේ ෂමින්ද්‍රනාථ යන දූ පුqතුන් ලදහ.

1901 වසරේ සිට 1907 දක්‌වා වූ කාලය රබින්ද්‍රනාත් තාගෝර්ගේ සාහිත්‍ය කටයුතු පිළිබඳව වූ ස්‌වර්ණ යුගයක්‌ ලෙස සැලකේ. සිය බිරිඳ සහ දියණියක්‌ද, තුන්වැනි පුතණුවන්ද වියෝවෙන් කම්පිතව සිටි තාගෝර් ස්‌මරණ නමින් පද්‍ය 29 කින් සමන්විත පද්‍ය පංතියක්‌ රචනා කළේය. වංග ජාතිකයන් අතර එතුමාගේ නාමය වඩාත්ම ස්‌ථාපිත කිරීමට බිලි පූජාව නාට්‍යය සමත් වූයේ මේ වන විට වූ සමාජ අධ්‍යාපන සහ ආගමික පසුබිමට වඩාත් ගැළපෙන ලෙසින් වූ රචනාවන් නිසාය. ජොතිනද්රවනාත්ගේ භාරත සඟරාව මේ වන විට නැවතීs ගියෙන් රවින්ද්‍රනාත් විසින් ‘සන්ධ්‍යා’ නමින් සඟරාවක්‌ ආරම්භ කළ අතර ඔහු විසින් රචනා කරන ලද, මාලනී, නාට්‍යය මුල් වරට පළවූයේ මෙම සඟරාවෙහිය. . සාහිත්‍යය වෙනුවෙන්ම ආකර්ෂණීය මෙහෙවරක්‌ ඉෂ්aට කළ රබින්ද්‍රනාථයන් විසින් රචිත ප්‍රකට කෘතින් අතර ‘ගෝරා, ‘පලතුරු එකතු කිරීම’ “මිනිසාගේ ආගම”, ‘අඬසඳ” සහ “තැපැල් කන්තෝරුව” “කෘති ඇතුළත් වේ.

1901 වසරේදී තාගෝර් විසින් පියා විසින් ඉදි කරන ලද ශාන්ති නිකේතනය විද්‍යායතනයක්‌ බවට පත් කරන ලදී. ජාත්‍යන්තර කීර්තියට පත් මෙම මධ්‍යස්‌ථානයෙහි ශාන්ති නිකේතනය සහ සිරි නිකේතනය ලෙසින් කොටස්‌ දෙකකි. මෙහි සාහිත්‍යජි සංගීත ජිනෘත්‍ය, චිත්‍ර, විවීම, සායම් කිරීම ආදී කර්මාන්ත උගන්වනු ලැබේ.1918 වසරේදී ‘විශ්ව භාරතී’ නමින් විශ්ව විද්‍යාලයක්‌ ශාන්ති නිකේතනයේ ආරම්භ කරන ලදී.

සුන්දර බිරිඳ සහ දරු තිදෙනාගේ වියෝවෙන් ප්‍රකම්පිත ඔහු නැවත නැගී සිටියේ මෙම දුක්‌ඛදායක අත්දැකීම් පාදක කර ගෙන බව විටෙක සඳහන් කරයි. ‘මෙකී මරණවලින් ඇති වූ ශෝකයෝ මට පසුව ආශිsර්වාදයෝ වූහ. ලොව කිසිවක්‌ සම්පූර්ණයෙන් නැති කර දැමීමට නොහැක්‌කක්‌ බව මම දනිමි. මොවුන් කෙසේ නැතිවෙද්දැයි සිතා මගේ සිත සනසා ගත්තෙමි. අන්තිමේදී මරණය කුමක්‌දැයි මම අවබෝධ කර ගතිමි. එය නැතිවීමක්‌ නොව ඇති වීමකි….’ රබින්ද්‍රනාත් තාගෝර් සිය බිරින්දෑ සිහිවීම පිණිස ගීතාංජලි නමින් බෙංගාලි කාව්‍ය ග්‍රන්ථයක්‌ රචනා කරන ලදී.

1913 වසරේදී නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් රබින්ද්‍රනාත් තාගෝර් උපහාර ලබන ලදී. 1913 නොවැම්බර් 13 වැනි දින ස්‌විඩන් ඇකඩමිය කියා සිටියේ මින් පෙර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනමන ලද සියලුම සාහිත්‍ය ග්‍රන්ථයන්ට වඩා ගීතාංජලියෙන් ඔවුන් (පෝල් මෝල්, 1913) වින්දනයක්‌ ලත් බවයි. නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද තාගෝර් කල්කටාවේ සිට විශේෂ දුම්රියකින් ශාන්ති නිකේතනයට කැඳවාගෙන එන ලදී. ඔහු වෙනුවෙන් වූ පිළිගැනීමේ උත්සවයේදී තාගෝර් සිය අදහස්‌ දක්‌වන ලද්දේ මෙසේය. ‘මම බොහෝ කලක්‌ සාහිත්‍ය කටයුතුවල යෙදුණෙමි. නමුත් මට ලැබුණේ ප්‍රංශසාවට වඩා අප්‍රංශසාවයි. නමුත්…එකී වැඩවල ප්‍රතිඵල නමැති පුෂ්පය දැන්a විකසිතව ඇත .

තමුන්නාන්සේලා මට අමෘතය නමැති ගෞරව සම්මාන පිරිනමන ලදුවත් මම ඒවා දෙතොල්වලින් ස්‌පර්ශ කරනු විනා පානය නොකරමි…’ යෑයි නිහතමානීව සඳහන් කළේය. කොළඹ යුගයේ සිටි අපේ සිංහල කවියන් අතරද රබින්ද්‍රනාත් තාගෝර්යන්ගේ ආභාෂය ලත් කවියන් සිටියහ.ඔවුන් රබින්ද්‍රනාතයන් විසින් ආරම්භ කරන ලද ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ලබා ගත්තන් නිසාම මෙම ආභාෂය ලැබීම අරුමයක්‌ නොවේ. කේයස්‌ හෙවත් සාගර පලන්සූරිය, පී. බී. අල්විස්‌ පෙරේරා, විමලරත්න කුමාරගම තාගෝර් කවියාගේ කාව්‍යාලෝකයෙන් ආලෝකය ලබා ඇත.විමලරත්න කුමාරගම විසින් රචනා කරන ලද හපුමලී කාව්‍ය පංතියට රබින්ද්‍රනාථයන්ගේ Hungry Stones & other Storie නම් ග්‍රන්ථයෙහි ඇතුළත් Home
Coming නම් කතා පුවත පාදක වී ඇත.පී.බී. අල්විස්‌ පෙරේරා විසින් රචිත ‘අභිචාරිකාව’ පද්‍ය වෙනුවෙන් රබින්ද්‍රනාථයන්ගේ ‘උපගුප්ත’ කාව්‍ය පංතියත් මහගමසේකර සූරීන්ගේ විශිෂ්ට කාව්‍ය හැකියාව වෙනුවෙනුත් මෙම වියතාණන්ගේ ආභාෂය ලබා අපේ කවියන්ද සිය පන්නරය මුවහත් කර ගෙන ඇත.

රබින්ද්‍රනාත් තාගෝර්යන්ගේ ලංකාගමනය ශ්‍රී ලංකාවේ සංස්‌කෘතික පුනර්ජීවනයට හේතු වූයේ යෑයි එකහෙලා කිව හැක. එතුමා තෙවතාවක්‌ ශ්‍රී්‍ර ලංකාවට පැමිණියේය. 1922-1929 සහ 1934 යන වර්ෂයන්හි මෙරටට පැමිණි ගමන්වාර අතර 1934 වසරේ පැමිණි ගමන විශේෂිත සලකුණක්‌ වේ. හොරණ ශ්‍රී පාලි ලලිත කලායතනය ශාන්ති නිකේතනය ගුරු කොට ගෙන ආරම්භ කරන ලද අතර මෙහි “අරුන්දති “ශාලාව විවෘත කරන ලද්දේ තාගෝර් විසින්ය. හොරණ ශ්‍රී පාලියෙන් බිහි වුණ කෘතහස්‌ත කලාශිsල්පීන් අතර විශිෂ්ට වූ යුග පුරුෂයන් බොහෝය. ආනන්ද සමරකෝන්, ප්‍රේමකුමාර එපිටවෙල, වජිරා අනංගලාල් අතුකෝරාල සහ ඩබ්ලිව් . ඩී . මකුලොලුව ඒ අතර කිහිප දෙනෙකි.

රබින්ද්‍රනාත් තාගෝaර්යන්ගේ සාහිත්‍ය මෙහෙවර එක්‌ භාෂාවකට සීමා වූයේ නැත. එතුමා භාෂා ගණනාවකින් සාහිත්‍ය නිර්මාණයෙහි යෙදුණේය. නොබෙල් ත්‍යාගයෙන් ලත් ආලෝකය සමගින්ම රබින්ද්‍රනාථයන්ට කල්කටා විශ්ව විද්‍යාලයේ සාහිත්‍යාචාර්යවරයකු ලෙසින් සේවයට සම්බන්ධ කර ගත්තා පමණක්‌ නොව සිරිමත් රබින්ද්‍රනාත් තාගෝර් යන ගෞරව නාමයෙන් සම්මානයට පාත්‍ර විය.1915 වසරේදී නයිට්‌ පදවියකින්ද පුද ලද අතර ඉන්දියාව තුළ සිට බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියානුවන්ට සිදු කරනු ලබන හිරිහැර පිළිකෙව් කළ රබින්ද්‍රනාත් තාගෝර්යන් විසින් මෙම නයිට්‌ පදවිය ප්‍රතික්‍ෂේප කළේය.

පස්‌වැනි ජෝර්ජ් රජතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සිදු ලද ගෞරව සම්මාන ප්‍රදානයේදී මෙම සම්මානය පිරිනමන ලදී. නමුත් එතුමා නයිට්‌ පදවිය ප්‍රතික්‍ෂේප කළේය.ඒ වෙනුවෙන් පන්ජාබයේ ආණ්‌ඩුකාරවරයා වෙත මෙසේ ලිපියකින් දන්වා සිටියේය. ‘අවමාන මධ්‍යයේ ලැබෙන සම්මාන අපගේ ලැජ්ජාව වැඩි කරන සුළුය. ලැබී තිබෙන සියලුම සම්මාන ඉවත ලා අන්‍යයන් විසින් නොවැදගත් සේ සැලකීම නිසා මිනිස්‌ ජාතියට නොවැටිය යුතු තරම් පහත් තත්ත්වයකට වැටී සිටින රටවැසියන් සමග කටයුතු කිරීමට කැමැත්තෙමි. මා ඔබට ඉතා කනගාටුවෙන් හා නියම මත භේදයෙන් යුක්‌තව දන්වා සිටින්නේ ඔබට කලින් සිටි ප්‍රතිරාජතුමා වෙනුවෙන් මා වෙත පිරිනමන ලද නයිට්‌ නාමය ඉවත් කර ගෙන මා නිදහස්‌ කළ යුතු බවය.

ඉන්දියාවේ ඇති බුද්ධගයාවේ අයිතිය බෞද්ධයන්ට හිමි වියයුතු යෑයි තාගෝර් අවධාරණයෙන්ම කියා සිටියේය. රබින්ද්‍රනාත් තාගෝර් විසින් රචනා කරන ලද එක්‌ වංග ගීතයක්‌ භාරතය අවදි කරන්නට තරම් වු ශක්‌තියකින් හෙබියේය. ශ්‍රී ලංකාවේ නිදහස්‌ සටන වෙනුවෙන් සාහිත්‍යධරයන්ගේ දායකත්වය කෙසේවිද යත් යටත් විජිත මානසිකත්වයෙන් සිටි ඉන්දියානුවන්ට එතැනින් නව පන්නරයක්‌ ලැබිණි.

රබින්ද්‍රනාත් තාගෝර්යන්ගේ ජීවිතය සමග බැඳුන රසවත් සිද්ධීන්ද නැතුවාම නොවේ. ඉන්දියාවේ යටත් විජිත අවදියේදී ඉන්දීයාවේ පාලනය භාරව සිටි ආණ්‌ඩුකාරවරයා දුම්රියෙන් පැමිණ නවදිල්ලි දුම්රිය පළෙන් බැස්‌සේය. ඔහු වටපිට බැලුවේය. අවස්‌ථාවේ හැටියට එතැන සිටි මහලු මිනිසෙකු ඇමතුවේය. සුදු හමේ උන්මාදයෙන් සිටි ඉංග්‍රීසි ජාතික ආණ්‌ඩුකාරවරයා…

ඒයි…නාකියා මගේ ගමන්මලු ටික අශ්ව කෝච්චියට පටවපන්… මිනිසා මුවින් නොබැන කාර්යය ඉටු කළේය.ගාස්‌තුව ලෙසින් රුපියලක්‌ද ලැබිණි. දින කීපයක්‌ ගෙවී ගිය අතර නවදිල්ලි නගර සභාව මගින් සංවිධානය කරන ලද උත්සවයක්‌ වෙනුවන් ඉංග්‍රී්‍රසි ආණ්‌ඩුකාරවරයාට ආරාධනාවක්‌ ලැබිණි. එතැනට ගිය ඔහුට පෙරදා තමාගේ ගමන්මලු අශ්ව කරත්තයට පටවන ලද වියපත් මිනිසා ප්‍රධාන දේශනය වෙනුවෙන් සැරසී සිටිනු දුටුවේය. ආණ්‌ඩුකාරයා කියත්ම ඔව් මම තමා අශ්ව කෝච්චියට ගමන්මලු දැම්මේ…රබින්ද්‍රනාත් තාගෝර් නිහතමානිව කීවේය. මට.. නෑ කිසිම ප්‍රශ්නයක්‌ නෑ… ඔබ මගෙන් උදව්වක්‌ ඉල්ලුවා….මම එය ඉෂ්ට කළා…එච්චරයි. මේ අතර රබින්ද්‍රනාත් තාගෝර්තුමාට ගුප්ත පුරුද්දක්‌ විය. සති දෙකකට වරක්‌ රැවුලේ ගසක්‌ ගලවා එම රැවුල් ගස්‌ වසරක්‌ සුරැකිව තබා ගෙන එයින් පසුව එම රැවුල්ගස්‌ පුළුස්‌සා නලලේ අළු තවරා ගත්තේ ඇයිදැයි යන්න තවමත් ගැටලුවකි.

වසර හැත්තෑවක්‌ මුළුල්ලේ සිදු කරන ලද සාහිත්‍ය චාරිකාවේදී ලියන ලද පොත් පත් සංඛ්‍යාව තුන්සියයකට අධිකය. රබින්ද්‍රනාත් තාගෝර්යන්ගේ කලාත්මක හැකියාවන්ගේ සීමාවන් පැනවුනේ නැත. පන්හිඳ සේම පින්සලද, එතුමාගේ දෑත සවිමත් කරන ලදී.1927 වසරේදී සිතුවම් කලාවට පිළිපන් එතුමා විසින් අඳින ලද සිතුවම් සංඛ්‍යාව දෙදහසකටත් අධිකය.නමුත් තමාගේ හැකියාවන් පිළිබඳව එතුමා නිරන්තරව කතා කළේ බෙහෙවින් නිහතමානිවය. සමස්‌ත සිතුවම් වෙතින් උද්දීපනය වූයේ භාරතයේ රිද්මයයි.ගස්‌වැල් කුරුල්ලන් සතුන් සහ මිනිස්‌ මුහුණු තුළ වූයේ එතුමාගේ හදවත ගැහෙන රිද්මයයි. සිය නිසඟ හැකියාවන් ගැන නිරන්තරව කතා බහ කළේ බෙහෙවින්ම නිහතමානිවය.

වරක්‌ ජවහල්ලාල් නේරු තුමා තාගෝර් ගැන මෙසේ සඳහන් කරන ලදී. ජීවිතයේ විශිsෂ්ට වුද, උදාර වුද, අංග කෙරෙහි අපේ සිත් යොමු කරමින්, පුද්ගලයනුත් ජාතිනුත් වැටෙන වළවල්වල අපට වැටෙන්නට ඉඩ නොදී ඔහු අපට ආලෝක ධාරාවක්‌ වූයේය…. විශ්වය එලිය කළ පහන්සිල 1941 වසරේ අගෝස්‌තු අට වෙනි දින නිවී ගියේය. නමුත් රබින්ද්‍රනාත් තාගෝර් විසින් දල්වන ලද ආලෝකයේ එලියෙන් අපි තවමත් වින්දනාත්මක සැනසිල්ලක්‌ ලබන්නමු.”

පුන්‍යා චාන්දනී ද සිල්වා