ඔබ කියවිය යුතුම විශ්වයට සමුදුන් මහා ප්‍රාඥයා‍‍ගේ කතාව

“ජීවිතය සහ කාලය යනු ලොව හොඳම ගුරුවරුන් ය. ජීවිතය අපිට උගන්වන්නේ කාලයෙහි වටිනාකමයි. කාලය අපිට ජීවිතයෙහි වටිනාකම උගන්වයි.
මිහිතලයේ මෙන්ම විශ්වයේ පවතින ජීවී අජීවි සියල්ලෙහි ජීවය රැකීමට කාලය එළැඹ ඇති බවට අවබෝධ කරලීමට තම ජීවිත කාලයම වැය කළ අපූරු මිනිසෙක් පසුගිය දා ලෝ පුරා සෝ සුසුම් මැද අවසන් හුස්ම හෙළී ය. එ් විශ්ව කීර්තියට පත් ප්‍රාඥයකු වූ ආචාර්ය ආවුල් පකීර් ජයිනුලබ්දීන් අබ්දුල් කලාම් මහතායි.

1931 ඔක්තෝබර් 15 වැනිදා ඉන්දියාවේ, රාමේෂ්වරන්හි දී පුංචි ගම්මානයක මුස්ලිම් පවුලක උපත ලද අබ්දුල් කලාම් දුක් පීඩා කන්දරාවක් කරමතින් ගෙන යන ජීවිතයක උරුමකරුවෙක් විය. මගී බෝට්ටුවක අයිතිකරුවකු වූ ජයිනුලබුදීන්ගේත් ගෘහණියක ලෙස දරුවන් රැකබලා ගත් අෂීයම්මාගේත් පුත්‍රයා වූ කලාම්ගේ ළමා කාලය ප්‍රශ්නවලින් පිරි සුන්දර ළමා කාලයක් වූයේ ය. ධනුෂ්කෝඩි හා රාමේෂ්වරන් අතර හින්දු භක්තිකයන් ප්‍රවාහනය කිරීම කලාම්ගේ පවුල යාන්තමට සරිකර ගැනීමට තිබූ එකම ආදායම් මාර්ගයයි.

“මම ඉපදුණේ රාමේෂ්වරන් හිදී. මම ජීවත්වුණෙත් එහේ. පසුගිය අවුරුදු 83ම මම හිටියේ මගේ උපන් ගමත් එක්කමයි. මාළු අල්ලන කාලෙට බෝට්ටු අරගෙන ධීවරයෝ මුහුදට යනවා. බෝට්ටු විශාල සංඛ්‍යාවක් මුහුදට ඇදෙනවා. අලූත් මාළු ගේන්නයි ඔවුන් යන්නේ. මගේ තාත්තාට තිබුණා මගී යාත්‍රාවක්. මගීන් 40ක් විතර යන්න පුළුවන්. අපේ පවුලේ ආදායම වුනේ මේ බෝට්ටුවයි. මම පාසල් ගියෙත් සරසවි යන්න පිටිවහළක් වුණෙත් මේ බෝට්ටුවෙන් ලැබුණු ආදායම.

1960 දී පමණ රාමේෂ්වරන් ගමට ආවා සුළි කුණාටුවක්. අපේ පවුලට සතුට ගෙන ආ බෝට්ටුව කෑලි කෑලිවලට කඩලා දාන්න එ් සුළි කුණාටුවට පුළුවන් වුණා. අපි හැමෝම එකතු වෙලා එ් බෝට්ටුව ඉක්මණින් හැදුවා. රාමේෂ්වරන් ගමට සිටි හොඳම බෝට්ටු නිර්මාණකරුවා බවට මගේ තාත්තා ප්‍රචලිත වුණා. ඔහු අවුරුදු 103ක් ජීවත් වුණා. ඔහු හරිම ක්‍රියාශීලී කෙනෙක්. මගේ අම්මාට අවුරුදු 93යි.

ඇයත් එලෙසමයි. අපි සාගරයත් එක්කමයි ජීවත් වුණේ. මුහුදු සුළඟ අපිට හරිම සමීපයි. අදටත් මම එ්ක විඳින්න කැමතියි. ශ්‍රී ලාංකික ඔබ වටා ඇත්තේ මහා සාගරයයි. හැමවිටම සුළං, හිරු කිරණ ආදී ශක්තීන්ගෙන් පිරී පවතිනවා. හැමවිටම ඔබට ලැබෙන හිරු කිරණින් ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවත් බැබළෙනවා. එය අපිට කොපමණ ශක්තියක් ද?□ ආචාර්ය අබ්දුල් කලාම් මහතා පසුගිය මාසයේ 26 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ලාංකිකයන් අමතා සිය දේශනය කරමින් තම සුන්දර අතීතය සිහිපත් කළේ එලෙසිනි.

තම පාසල් අධ්‍යාපනය අවසන් කළ කලාම් මහතාට තම පවුලේ ප්‍රශ්නවලට සුළු සහනයක් හෝ ලබාදීමටත් තම වැඩිදුර අධ්‍යාපන කටයුතු පිළිබඳ සිතා බැලීමටත් මුදල් ඉපැයීමේ යෙදීම අනිවාර්යයෙන් සිදුවිය යුත්තක් විය. මේ නිසාම තරුණ කලාම් පත්තර විකිණීමට පටන් ගත්තේ ය. පාසල් කාලයේ සිටම ගණිත විෂයෙහි වැඩි කාලයක් මොළය වෙහෙසවමින් ඉගෙනුම් කටයුතු කළ කලාම්ට පත්තර විකිණීම අතරතුරත් තම අධ්‍යාපනය පිළිබඳ පිපාසය සංසිඳුවා ගැනීමේ මාර්ග සෙවී ය. විකිණීමට අතට ගන්නා පත්තර ටික මුලින්ම සම්පූර්ණයෙන්ම කියවන කලාම්ට කලක් ගතවෙත්ම ඊට මඟ පෑදිණ. උත්සාහයත්, අප්‍රතිහත වීර්යයත් නිසා ඔහුගේ දිළිඳු බවට, අධ්‍යාපනයට හරස් කැපිය නොහැකි විය.

1954 දී මැඩ්‍රාස් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධිය ලබාගත්තේ ය. උපාධිය හිමිකරගත්ත ද ඔහුට එම විෂයෙහි එතරම් තැකීමක් නොවී ය. මැඩ්‍රාස්හි තාක්ෂණික ආයතනයට ඔහු සම්බන්ධ වන්නේ තමන් කැමැති දේ සොයායාමටයි. ශිෂ්‍යත්වයක් ලබා යන කලාම් එහිදී අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගත්තේ ය. එහි පීඨාධිපතිවරයා කලාම්ගේ අධ්‍යයන කටයුතු පිළිබඳ එතරම් සෑහීමකට පත්නොවී ය.

පීඨාධිපතිවරයා කලාම් වෙත අනතුරු අඟවා තිබුණේ දින 3ක් තුළ ඔහුට නියමිතව තිබූ ව්‍යාපෘතිය නිසි පරිදි අවසන් නොකළහොත් කලාම්ගේ ශිෂ්‍යත්වය අත්හිටුවා ඔහු ශිෂ්‍යභාවයෙන් ඉවත් කරන බවයි. කෙසේවෙතත් ඉතා අසීරුවෙන් තම ව්‍යාපෘතිය අවසන් කළත් කලාම්ගේ සිහිනය වූ ඉන්දීය ගුවන් හමුදාවේ සටන් ගුවන් යානා නියමුවකු වීමේ සිහිනය අත්හැරිණ. ඔහු සුදුසුකම් ලැබූ නියමුවන්ගේ ලැයිස්තුවේ නවවැනියා වූ නමුත් ඉන්දීය ගුවන් හමුදාවට බඳවා ගැනුණේ සුදුසුකම් ලත් 8 දෙනකු පමණි.

1960 දී කලාම් ආරක්ෂක සමීක්ෂණ හා සංවර්ධන සංවිධානයේ විද්‍යාඥයකු ලෙස කටයුතු කරන්නට විය. අභ්‍යාවකාශ ස්ථාපන හා සංවර්ධන ව්‍යාපෘති සඳහා දායක වූ ඔහු ඉන්දීය හමුදාවට කුඩා හෙලිකොප්ටර් නිර්මාණය කළේ ය. අභ්‍යාවකාශ විද්‍යාඥයකු ලෙස තෘප්තිමත් සේවයක් කරමින් සිටි කලාම් ඉන්දීය අභ්‍යාවකාශ සමීක්ෂණ මධ්‍යස්ථානය වෙත මාරු කළේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1980 වසරේදී ඉන්දියාව විසින් ප්‍රථම වතාවට සාර්ථක ලෙස අත්හදා බැලූ පළමු චන්ද්‍රිකාව වන එස්.එල්.වී.-»»» වෙතින් මුදාහැරුණු රෝහිණී චන්ද්‍රිකා යානය අභ්‍යාවකාශගත කළේ ය.

කලාම් අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් හැදෑරීම් ආරම්භ කළ කාලයේ දී එනම් 1969 පමණ කාලයේදී ඔහු විහිදුම් රොකට් ව්‍යාපෘතියක් ස්වාධීනව කිරීම සඳහා අවසර ඉල්ලා රජයට කරන ලද අයැදුමකට පිළිතුරු මේ කාලයේදී ඔහු වෙත ලද භාග්‍යයක් මෙන් විය. එ් අනුව රජයේ අවසරය ඇතිව විහිදුම් රොකට් ව්‍යාපෘතියකට අතගැසීමේ අවස්ථාව කලාම්ට හිමි විය.

1990 පමණ වනවිට නාසා ආයතනය සමඟ සම්බන්ධව වැඩසටහන් ගණනාවක් කළ ඔහු ධ්‍රැවීය චන්ද්‍රිකා විහිදුම් යානයක් තැනීමට සමර්ථයෙක් වූයේ ය. එය අතිශයින් සාර්ථකත්වයට පත්විය. ‘මිසයිල මිනිසා’ යන අන්වර්ථ නාමයෙන් ඔහු ගෞරවාදරයට ද පාත්‍රවූයේ මීට ආසන්න කාලයේදී ය. ඉන්දියාවේ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීම සඳහා ප්‍රධානත්වය දරන කලාම්ට එය අත්හදාබැලීමේ අවකාශය අහුරමින් යුරෝපා අමාත්‍ය මණ්ඩලය ඊට අකුල් හෙළී ය. එවකට ඉන්දියාවේ අගමැතිවරයාව සිටි ඉන්දිරා ගාන්ධි මේ සඳහා රහසිගත ලෙස මුල්‍යධාර සැපයූවේ ඉන්දීයාවේ මෙම ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය බටහිර රටවලට තවත් අතකින් අනතුරු ඇඟවීමක් වීම බව ඉඳුරාම දත් හෙයිනි.

2002 වසරේ පැවැති ඉන්දීය ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 9,22,884ක් ලබාගනිමින් ආචාර්ය අබ්දුල් කලාම් මහතා 11 වැනි ජනාධිපතිවරයා බවට පත්විය. වසර 2007 වනතුරු ඔහු ජනාධිපති ධුරය හෙබවී ය. මෙකල ඔහු හැඳින්වූයේ ‘ජනතාවගේ ජනාධිපතිවරයා’ යනුවෙනි. ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ඔහු යළිත් ඉන්දීය අභ්‍යාවකාශ විද්‍යා හා තාක්ෂණික ආයතන තුළ ගැවසෙන්නට විය.
අභ්‍යාවකාශ විද්‍යාව පිළිබඳ විද්‍යාඥයන්ගේත් ප්‍රධානියකු වූ කලාම්ගේ ජීවිතයේ නැතිවම බැරි දෙයක් වූයේ නම් එ් සංගීතයයි.

දෙමළ කවි පබැඳීමටත් දකුණු ඉන්දියානු වාද්‍ය භාණ්ඩයක් වූ සරස්වතී වීනාව වැයීමටත් කලාම් උපන් හපනෙකි. සුදු හා රිදී පැහැයෙන් යුත් නළලට වැටුණු කෙහෙරැළි රොදක් ඇති කුඩා සැහැල්ලූ සිරුරක් ඇති තරමක් උසින් අඩු නිරන්තරයෙන් අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන සිටින මේ අපූරු සරල මිනිසා තම නිවසේ සිටියදී සැන්දෑ කාලයේ සරස්වතී වීනාව වයන විට ඉන්දියානුවන් එය දුටුවේ ආසියාතික සංගීතාචාර්යවරයකු ස්වර විඳින අපූර්වත්වයයි. නමුත් වරෙක බටහිර මාධ්‍යවේදියකු එය විස්තර කොට තිබුණේ ඔහුට ඇත්තේ ‘පොප් ගායකයකුගේ වැනි පෙනුමක්’ යනුවෙනි.
“මම කඩවසම් පුද්ගලයකු නොවෙයි. එහෙත් මට පුළුවන් හැමවිටම මගේ දෑත් උදව් ඉල්ලන්නකු වෙනුවෙන් දිගු කරන්න. සුන්දරත්වය ඇත්තේ හදවතේ මිස මුහුණේ නොවේ□ කලාම් වරෙක එලෙස පවසා තිබිණ.

ප්‍රාඥයයකු වූ අබ්දුල් කලාම් විසින් ග්‍රන්ථ රාශියක් ද රචනා කර තිබේ. ‘2020 ඉන්දියාව’, ‘දැනුමෙහි සුපිරි බලවතා’, ‘ඉන්දියාවේ න්‍යෂ්ටික අවි’ පිළිබඳව ද ඔහු විසින් ග්‍රන්ථ රචනා කර තිබේ. එම ග්‍රන්ථ ඔහු එදා රචනා කළ ද එය ඉන්දියාවේත්, ලෝකයේත් හෙට දවස හෙළිදරවු කරන්නක් බවට බොහෝ විද්වතුන් හඳුන්වා දී තිබිණ.

“සාර්ක් කලාපයේ පවතින්නේ සමාන සමාන ජීවන රටාවන්, සංස්කෘතීන් තිබෙන රටවල්. සාර්ක් කලාපීය රටවල් සාමාජිකයන් එකතු වුණාම හරියට යුරෝපා පාර්ලිමේන්තුව වගෙයි.□ ආචාර්ය අබ්දුල් කලාම් ලංකාවේ දී එලෙස පවසමින් පැහැදිලි කිරීමට උත්සහ කළේ අනාගතයේ දී ශ්‍රී ලංකාව ලෝක පාලන ප්‍රබලයෙක් වීමේ අවස්ථාව පිළිබඳ අනාවැකි පළකරමිනි.

ලොව පුරා විවිධ රටවල අභ්‍යාවකාශ විද්‍යාව, න්‍යෂ්ටික ශක්තීන් හා මිහිමත මිනිසුන්ගෙන් මිහිතලය බේරාගැනීම පිළිබඳ සිසුන් මිලියන ගණනකට දේශන පවත්වමින් ආචාර්ය අබ්දුල් කලාම්ගේ පසුගිය කාලය ගෙවී ගියේ ය. මේ අතරතුර ඉන්දීය මිසයිල, රොකට්, චන්ද්‍රිකා ව්‍යාපෘතිවලට ද සිය ඥානය ලබාදෙමින් සිටීමට ඔහු මතක නොකළේ ය. පසුගිය 27 වැනිදා ද ඔහු සුපුරුදු පරිදි දේශනයක් පවත්වමින් සිටියේ ය. ‘සජීවී ග්‍රහලෝකයක්’ පිළිබඳ ඉන්දීය ෂිලෝන්ග් කළමනාකරණ ආයතනයේ සිසුන් වෙත පස්වරු 6.30ට ආචාර්ය අබ්දුල් කලාම් මහතා සිය දේශනය පවත්වමින් සිටියේ ය.

දේශනය අතරතුරදී හදිසි හෘදයාබාධයකින් ඔහු වේදිකාව මත ඇද වැටුණේ ය. සියල්ලන්ගේ සිත සසල කරමින් ඔහු වහා බෙතනි රෝහලට ඇතුළත් කොට දැඩි සත්කාර එ්කකයට ඇතුළත් කෙරිණ. ලෝකයම පිළිගත් මෙම විද්වතා හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත්කරගැනීමේ උත්සාහය මෙම රෝහලේ සියල්ලෝම ලහි ලහියේ ඉටුකරමින් සිටියහ. පැය දෙකකට පසු මේ අපූර්වතම මිනිසාගේ මියයාම පිළිබඳ රෝහල  නිල වශයෙන් තහවුරු කළේ ය. ඉන්දියාවට සතියක ශෝක කාලයක් නිවේදනය කෙරිණ.

ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ වියෝවෙන් සැලෙන්නේ ද ඉන්දියාව පමණක් නොවේ. මුළුමහත් ලෝකයම ය.

“ලාංකික ඔබ, සෑම පුද්ගලයකුටම සතුටින් ජීවත්විය හැකි දේශයක් උරුම කරදීමේ අභියෝගය සාර්ථකව ජයගනිත්වායි මගේ පැතුමයි.□ ලාංකික අප වෙනුවෙන් ඔහුගේ අවසන් ප්‍රාර්ථනය වූයේ එයයි.

මිහිමත දෙපයින් නැගී සිට විශ්වය ජයගත් මිනිසාට අපගේ උපහාරය..

ප්‍රබෝධා හෙට්ටිආරච්චි