ජනාගමයේ පිදුම් ලබන කිරි අම්මාවරු සත්දෙනා

කිරි අම්මා” සිංහල බෞද්ධ සංස්‌කෘතියේ ගෞරවනීය චරිතයකි. ” අම්මා” හා බැඳුණු පූජනීය වූ මාතෘත්වය පෙරදිග සංස්‌කෘතීන්හි වඩාත් ගෞරවනීය සංකල්පයක්‌ බවට පත්වීමට මෙබදු චරිතවලින් අපමණ පිටුබලයක්‌ ලැබෙන්නට ඇතැයි සිතිය හැක. සාම්ප්‍රදායික උඩරට සමාජයෙහි ව්‍යවහාරික ඥාතී පද මාලාවන්ට අනුව කිsරිඅම්මා වන්නී මවගේ හෝ පියාගේ මෑණියන්ය. පහතරට ඥාති පද මාලාවේ එම තනතුර ආච්චි වූවත් සාම්ප්‍රදායික උඩරට පවුල තුළ පැරණි පරපුරේ ආදිතම ඥාතිවරිය ලෙස සලකන්නේ කිරි අම්මාය. මෙලෙස කිරි අම්මා හුදු ඥාති පදයක්‌ වටා ගෙතුණු චරිතයක්‌ පමණක්‌ නොව සිංහල බෞද්ධයන්ගෙන් බුහුමන් ලබන සුවිශේෂි දේවතාවියක්‌ ලෙස දුරාතීතයේ සිට අපේ සංස්‌කෘතික ඉතිහාසයකට එකතු වී ඇති චරිතයක්‌ වීම සුවිශේෂීය.

ජනශ්‍රැති ශබ්ද කෝෂය, කිරි අම්මා යනු වැදි ජනයා විසින් අදහන ලද මිය ගිය තම ඥාතීන්ගේ ප්‍රභවයක්‌ ලෙස දක්‌වා ඇත. ලංකාවේ ප්‍රාථමික ආදිතම ජන කොටසක්‌ සේ සැලකෙන වැද්දන්ගේ “නෑයකුන්” ඇදහීමෙන් මෙම කිරිඅම්මාවරු පිදීම ඇරඹෙන්නට ඇතය, යන මතයද ප්‍රචලිත එකකි. වැදි ජනතාව සිය දරුවන් කුඩා අවදියේ සිටියදී මිය ගිය වැදි කාන්තාවන් කිරි අම්මාවරුන් ලෙස සලකති. ඉන්දියාවේ හිමාලය අවට වෙසෙන ආදි වාසිකයන් දඩයමට ගිය විට ගිරි අම්මන් වෙත භාර වීමේ චාරිත්‍රයක්‌ පවතී. එසේ ගිරි අම්මන් වෙත භාර වන්නේ වනයේදී කිසිවකුගෙන් අනතුරක්‌ සිදු නොවී තමන් රැක දෙනු පිණිසය. ගිරි යන සංස්‌කෘත පදයෙන් “කිරි” යන පදය හැදෙන්නට ඇතැයි යන අදහස දැරූ විද්වතෙකි. හෙන්රි පාකර් ද්‍රවිඩ බසින් ” ග” අකුරු සහ ” ක” අකුර සමාන බැවින් ” ගිරි අම්මා” යන්නෙන් කිරි අම්මා යන්න හැදෙන්නට ඇතැයි පාකර් විශ්වාස කරන්නට ඇත. ගිරි අම්මන් යනු පාර්වති මාතාව පර්වත වාසී දෙවඟන යන තේරුම් ඇති දෙමළ වචනයකි.

හිමාලය අසබඬ ආදිවාසීන් ගිරි අම්මන් යෑයි දේවත්වයෙන් පුදනු ලැබුවේ පාර්වතී බව මෙයින් පැහැදිලි වෙයි. එහෙත් සිංහල සහ වැදි ජනතාව අතර කිරි අම්මා යන නාමය යෙදුවේ කඳු පර්වත සමඟ සම්බන්ධයක්‌ නොමැති දේවතාවියකට බව පාකර් දක්‌වා ඇත. සැබවින්ම කිරිඅම්මාවරුන් යනු කවරහුද? ඔවුන් මෙරටේ සමාජ සංස්‌කෘතික පසුබිම තුළින්ම උපන් පිරිසක්‌ද? කිරිඅම්මාවරුන් හත්දෙනා පත්තිනි දෙවියන්ගේ නියෝජිතයන් හත්දෙනෙක්‌ යන මතයද ප්‍රචලිත වූවකි. කිරි අම්මා යනු විදේශයෙන් මෙරටට ගොඩ බට වෙනම දෙවිවරුන් හත් දෙනෙකු බවද ඇතැම් කෘතිවල සඳහන් වේ. මෙම ලිපිය මෙම මතවාද පිළිබඳව සාකච්ඡා කිරීමකි.

වැදි ජනතාවගෙන් ප්‍රභවය ලද කිsරි අම්මාවරු කෙසේ වූවද කිරි අම්මා පිළිබඳ අදහස වඩාත් හොඳින් තේරුම් ගත හැක්‌කේ වැදි ජන සමාජය ඒ පිළිබඳව කරනු ලබන යාතු කර්ම හා ඒ අරබයා ගොඩනැඟê ඇති විශ්වාස අතරින් බව යළිත් කිව යුතුය. තම පරපුරේ කවරකු හෝ මිය ගිය වහාම එම තැනැත්තා හෝ තැනත්තිය යකෙකු හෝ යකින්නියක වී උපත ලබන බවට විශ්වාසයක්‌ වැදි ජනතාව අතර ඇත. මෙසේ මරණින් මතු යකෙකු හෝ යකින්නියක බවට පත්වන ඥාතියා හෙවත් ” නෑ යකා” තමන් දෙස බැලුම් හෙළමින් තම දිවිය සැපවත් කිරීමට උදව් කරතිය වැදි ජනතාව විශ්වාස කරති. යම් හේතුවකින් ඔහු හෝ ඇය තමන් සමඟ අමනාප වුවහොත් තමනට විණ කරතියි යන විශ්වාසයද ඒ සමඟම පවතින නිසා ඒ සඳහා මළ ගිය එම ” නෑ යකා” වෙනුවෙන් පුද පූජා පැවැත්වීමද සිදු කරති. කිරි අම්මාවරුන් ලෙස වැදි ජනතාව සලකනු ලබන්නේ සිය දරුවන් බිළිඳුවියේදීම මිය ගිය වැදි කාන්තාවන්ටය. වැදි ජනයා අතර බුහුමන් ලබන කිරිඅම්මාවරුන් අතර මූලිකවන කුකුලාපොළ කිsරිඅම්මා යනු ජීවහත්ත සහ දිසාලාගේ මව වන කුවේණි බවට මතයක්‌ ඇත. මෙසේ කිsරිඅම්මා නමින් හැඳින්වෙන මිය ගිය වැඳි කාන්තාවන් අතර මීට පෙර මිය ගොස්‌ යකුන් බවට පත් වූ වැද්දන්ගේ භාර්යාවෝද සිටිති. කොස්‌ගම කිරි අම්මා නමින් හැඳින්වෙන්නේ කොස්‌ගම දෙවියන් හෙවත් කොස්‌ගම බණ්‌ඩාර දෙවියන්ගේ බිරිඳ බව පිළිගැනේ. ඉඳිගොල්ලේ කිරි අම්මා යනු ගලේ යකාගේ බිරිඳයි.

මෙලෙස වැද්දන් සහ ඔවුන් අදහන යකුන් ආශ්‍රයෙන් කිරි අම්මාවරුන් පිළිබඳ විශ්වාසය ප්‍රභවය ලබන්නට ඇතය යන අදහස අපට තවත් පැත්තකින් සාකච්ඡා කළ හැකිය. වැදි ජනතාවගේ ප්‍රභවය බලන විට පැහැදිලි වන කරුණක්‌ නම් ඔවුන්ගේ සංස්‌කෘතිය ඉන්දියාවෙන් පැමිණි ආර්ය ජනතාව හා කිසි ලෙසකින්වත් බද්ධ වූවක්‌ නොවන බවය. එහෙත් වැදි සිරිත් සහ වැදි භාෂා විලාසයේත් ද්‍රවිඩ ගෝත්‍රික ලක්‍ෂණ ඇත. ආර්ය සංක්‍රමණයට පෙර ලංකාවට වරින් වර නිදැල්ලේ සංක්‍රමණය වූ ද්‍රවිඩ ගෝත්‍රික ජනයාද ලංකාවේ වැද්දන්ට මිශ්‍රවීම එයට හේතුවයි. එහෙත් ආර්ය ශිෂ්ටාචාරයේ කිසිම අංගයක්‌ වැද්ද නොගැනීමට ලාංකීය වැද්දෝ පරිස්‌සම් සහගත වූහ. වැද්දන් සිංහල කුල සිරිත් අනුකරණය නොකළ නමුදු ඔවුන්ගේ සිsරිත් විරිත් සහ ඇදහීම් රාශියක්‌ දැනුවත් හෝ නොදැනුවත්ව හෝ සිංහල ජනතාව අතරට පැමිණ ඇත. කිරි අම්මාවරුන් ඇදහීම ප්‍රචලිතව පවතින ප්‍රදේශවවලින් ඒ බව පැහැදිලි වන බවට සිංහල දේවපුරාණයේදී මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස පෙන්වා දී ඇති අදහස වැදගත්ය.

“වැදි ජනතාවගේ ආගමික අදහස්‌ ඔවුන් වෙසෙන පළාත්වල සිංහල ජනයා අතරද තරමක්‌ දුරට පැතිර ගොස්‌ ඇති බවට ඌව බිම්තැන්න, නුවර කලාපය, තමන්කඩුව, ආදී ප්‍රදේශවල කලක පැවැති බවට සාධක ඇති “කිරි අම්මා” නම් දේව පිරිසක්‌ පිළිබඳ විශ්වාසයෙන් පෙනේ. මේ කිරිඅම්මා දෙවිවරු වැදි ජනයා අදහන මිය ගිය ඥාති පිරිසට අයත් වෙති”

මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ සිංහල ජනයා අතර පවතින කිරිඅම්මාවරුන් ඇදහීම වැදි ජනයා අතරින් සිංහල ජනයා අතරට පැමිණි ජන ඇදහිල්ලක්‌ බවයි. වර්තමානයේ වුවද මෙම ඇදහීම දක්‌නට ලැබෙන්නේ වැඳි ගම්මාන ආශ්‍රිතව සහ අතීතයේ වැදි ජනතාව ජීවත් වූවා යෑයි සැලකෙන ප්‍රදේශවලය. නිදසුනක්‌ ලෙස බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ පස්‌සර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මෙම ඇදහීම වර්තමානයේ වුවද දැකිය හැකි ප්‍රසිද්ධ දේව ඇදහිල්ලකි. මෙම ප්‍රදේශයේ මිරියබැද්දේ කිරිඅම්මා සහ “පලාගොල්ලේ කිරි අම්මා” වෙනුවෙන් ඉදි වූ ස්‌ථීර දේවාල දෙකක්‌ තිබෙන අතර එහි දෛනිකව පූජා පවත්වනු ලබයි. පස්‌සර ප්‍රදේශයේ ඇකිරිය නම් වු ගම්මානයේ වැදි ජනයා විසු බව සඳහන් වෙයි.

“ඉහාවේ කිරිඅම්මා” නමින් හඳුන්වනු ලබන කිරිඅම්මා කෙනෙකු පිළිබඳව සඳහන් වන අතර ඉහාව යනු මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ග්‍රාම සේවා වසමකි. මෙම ගම්මානයේ “කපුරුවැද්දා” විසූ කපුරුගල පිහිටා තිබෙන බවත්, එහි කපුරු වැද්දා සහ ඔහුගේ බිරිඳගේ රූපය කොටා ඇති බවත් සඳහන් වේ. මෙම ප්‍රදේශවල වර්තමානයේ ආදිවාසීන් වාසය නොකළද සිංහල ජනතාව අතරට මෙම ඇඳහීම ව්‍යාප්තව ඇති බව පෙනේ. මෙම සියලු කරුණු අනුව වැදි ජනතාවගේ ඇඳහීමක්‌ වූ කිරිඅම්මාවරු ඇඳහීම සිංහල ජනතාව අතරට ව්‍යාප්ත වූ අයුරු පැහැදිලි වේ. සංකල්පය පමණක්‌ නොව පූජා විධි රටා අතින්ද මෙය ව්‍යාප්ත විය. එපමණක්‌ නොව කිරිඅම්මාවරුන් පිළිsබඳව විවිධ ජනශ්‍රැතිකාංගද සිංහල ජනතාව තුළින් පසුකාලයේදී බිහි වූ බව පැහැදිලිය.

කිරිඅම්මාවරුන්ගේ සංඛ්‍යාව 07 ක්‌, 21 ක්‌ ලෙස ජනප්‍රවාදයේ සඳහන් වී ඇත. එහෙත් එම සංඛ්‍යා පිළිබඳ නිශ්චිත අදහසක්‌ ඉදිරිපත් කළ නොහැකිය. වැදි ජනතාවගේ ඇඳහීම් අතර කිරිඅම්මාවරුන් 07 දෙනෙකු සඳහන් වන බව හෙන්රි පාකර් මහතා සඳහන් කරයි. එම කිරිඅම්මාවරුන් සත්දෙනා පහත දැක්‌වේ.

1. මිරියබැද්දේ කිරිඅම්මා

2. පුෂ්පරාග කිරිඅම්මා

3. උනාපාන කිරිඅම්මා

4. කොස්‌ගම කිරිඅම්මා

5. බෝවලගෙදර කිරිඅම්මා

6. බාලගිරි අම්මා

7. ගිනිජල් දේවතා කිරිඅම්මා වශයෙනි

වැදි ජනතාව විසින් අදහනු ලබන කිරිඅම්මාවරුන් අතර “කුකුළාපොළ කිරිඅම්මා” ට සහ “ඉදිගොල්ලේ කිරිඅම්මාට වැදගත් ස්‌ථානයක්‌ හිමි වේ. එහෙත් පාකර් එම කිරි අම්මාවරු දෙදෙනා මෙහි දක්‌වා නොමැත.

හෙන්රි පාකර් මහතා සිංහලයන් අතර පවතින කිරිඅම්මාවරුන් සත්දෙනා හඳුන්වා ඇත්තේ මෙසේය.

1. පොළොවේ මහී කාන්තාව

2. මුහුදේ මහීකාන්තාව

3. උමයංගනාව

4. සරස්‌වතී

5. සීතා පරමේශ්වරී

6. වල්ලිඅම්මා

7. පත්තිනි අම්මා යනුවෙනි.

ලංකාවේ ගැමි ජනතාව අතරද වැද්දන් අතර පවතින කිරිඅම්මාවරුන්ට සමාන කිරිඅම්මාවරුන් පිරිසක්‌ අදහනු ලබන බව කිරි අම්මාවරුන්ගේ නම් ගැන පර්යේෂණය කළ සී. ද එස්‌. කුලතිලක මහතා දක්‌වයි. එසේ දක්‌වා ඇත්තේ මොණරාගල ප්‍රදේශයේ කිsරිමඩු යාගයට ඇතුළත් වූ කිරිඅම්මාවරුන් 13 දෙනෙකි. එනම්,

01. ඉනවැල්ලේ අලුත් කිරිඅම්මා

02. දොඹගහවෙල අලුත් කිරිඅම්මා

03. ඉඳිගස්‌ඇල්ල කිරිඅම්මා

04. පොල්ගහගම කිරිඅම්මා

05. තල්තොට අලුත් කිරිඅම්මා

06. කුකුළාපොළ කිරිඅම්මා

07. කොළොන්වින්නේ කිරිඅම්මා

08. දඹගල්ලේ අලුත් කිරිඅම්මා

09. ගෝනතලාවේ කිරිඅම්මා

10. ඉහාවේ කිරිඅම්මා

11. කපුයායේ අලුත් කිරිඅම්මා

12. මැදගංගොඩ අලුත් කිරිඅම්මා

13. බිළිඳු කිරිඅම්මා වශයෙනි

විවිධ මූලාශ්‍රවලින් සොයා ගත් කිරිඅම්මාවරුන් පිරිසකගේ නම් ” සිංහල දේව පුරාණය නම් ග්‍රන්ථයේ මෙසේ දක්‌වා ඇත.

01. ඉඳිගොල්ලේ කිරිඅම්මා

02. කුකුළාපොළ කිරිඅම්මා

03. උනාපාන කිරිඅම්මා

04. වෙල්ලස්‌සේ කිරිඅම්මා

05. කොස්‌ගම කිරිඅම්මා

06. බිළිඳු කිරිඅම්මා

07. කොටවැව කිරිඅම්මා

08. මහ කිරිඅම්මා

09. මිරියබැද්දේ කිරිඅම්මා

10. පුෂ්පරාග කිරිඅම්මා

11. බෝවලගෙදර කිරිඅම්මා

12. බාලගිරි කිරිඅම්මා

13 ඉඳිගස්‌වෙල කිරිඅම්මා

14. පොල්ගහගම කිරිඅම්මා

15. කොළොන්වින්නේ කිරිඅම්මා

16. නෝනතලාවේ කිරිඅම්මා

17 ඉහඹේ කිරිඅම්මා

18 ඉනාවැල්ලේ කිරිඅම්මා

19 දොඹගහවෙල කිරිඅම්මා

20 කපුයායේ කිරිඅම්මා

21 මැදගංගොඩ කිරිඅම්මා

22 ගතල්තොට කිරිඅම්මා

23 දඹගල්ලේ කිරිඅම්මා

24 හඳුන්කුමාරී කිරිඅම්මා

ඌව බින්තැන්න, නුවර කලාවිය, තමන්කඩුව ආදි ප්‍රදේශවල මෙම කිරිඅම්මාවරුන් ඇඳහීමට ලක්‌වන බව එම ග්‍රන්ථයේ තවදුරටත් සඳහන් වේ. මීට අමතරව ඌව වංශ කථාවේ ” වන්නියේ බණඩාර කිරිඅම්මා” උනාපානේ කිsරිඅම්මා” කුකුළාපොළ කිරිඅම්මා” දොලහබණ්‌ඩාර කිරිඅම්මා” ආදී කිරිඅම්මාවරුන් ඌවේ ජනතාවගේ ඇදහිලි සහ විශ්වාස අතර දක්‌නට ලැබෙන බව සඳහන් වේ. පස්‌සර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මිරියබැද්ද ග්‍රාම සේවා වසමේ පිහිටි මිරියබැද්ද දේවාලයේ කන්නලව්වේදී ” මිරියබැද්දේ කිරිඅම්මා” අඹරාපොතකිරිඅම්මා” මස්‌පන්නේ කිරිඅම්මා” ගැටවර කිරිඅම්මා” “කොටබෝවේ කිරිඅම්මා” ආදී වශයෙන් කිරිඅම්මාවරු 07 දෙනෙකු පිළිබඳව සඳහන් වේ. පස්‌සර පලාගොල්ලේ කිරිඅම්මා දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන “මල් එළිය” ශාන්තිකර්මයේදී ගායනා කරනු ලබන “වෙල්ලස්‌සේ කිරිඅම්මා” අඹරාපොති කිරිඅම්මා” “පළාගොල්ලේ කිරිඅම්මා” “පුෂ්පාරාග කිරිඅම්මා” “සඳුන් කිරිඅම්මා” හලඩකුමාරි කිරිඅම්මා” “උනාපානේ කිරිඅම්මා” “කුකුළාපොළ කිරිඅම්මා” ආදී කිරිඅම්මාවරු පිළිබඳව සඳහන් වේ.

වර්තමානයේදී මහඔය පොල්ලේ බැද්ද, දඹාන, වටවන, කන්දේගම්වෙල ආදී ගම්වල වැදි ජනතාව ඉඳිගොල්ලේ කිරිඅම්මා, කන්දේ කිරිඅම්මා, උනාපානේ කිරිඅම්මා, දිවැස්‌ කිරිඅම්මා, කුකුළාපොළ කිරිඅම්මා, වෙල්ලස්‌සේ කිරිඅම්මා, බිළිඳු කිරිඅම්මා, මහ කිරිඅම්මා ආදී අම්මාවරු අදහනු ලබන බව වැද්දන් පිළිබඳ පර්යේෂණය කළ ඊ. එම්. රත්නපාල මහතා ප්‍රකාශ කරයි. මෙලෙස කිරිඅම්මාවරුන් රාශියක්‌ පිළිබඳ විවිධ මූලාශ්‍රවල සඳහන් වෙයි. ජනප්‍රවාදයේ කිරිඅම්මාවරුන් 07 ක්‌, 21 ක්‌ ආදී වශයෙන් සඳහන් වූවද ඉහත දැක්‌ වූ කිරිඅම්මාවරුන් පිළිබඳ තොරතුරු සලකා බැලීමේදී නිශ්චිත සංඛ්‍යාවක්‌ සඳහන් නොකළ හැකි බව පෙනේ. එහෙත් කිරිඅම්මාවරුන් 07 දෙනකු පිළිබඳ සංකල්පය සමාජයේ මුල් බැසගත් සංකල්පයක්‌ බව පෙනී යයි.
මහාචාර්ය දයා අමරසේකර
සමාජවිද්‍යා අංශය, පේරාදෙණිය.