මේ ක්‍රීඩාව බැලූ බැල්මට පෙනෙන්නේ අපේ අංගම්පොර සටනක් ලෙසය

2000 වසර ආරම්භ වී වසර 3ක් ඉකුත්ව යාමට පෙර ඔන්ග් බක් (Ong bak) නමින් චිත්‍රපටයක් සිනමා ශාලාවල දිග හැරෙන්නට විය. එය ටේලර්පටයේ හඳුන්වා දී තිබුණේ තායි සටන්කාමියා ලෙසය. (The Thai Warrior) මෙම චිත්‍රපටය ලෝකය පුරා ජනතාව ආමන්ත්‍රණයට පත්කරන්නට විය. මේ චිත්‍රපටය දුටු ප්‍රේක්ෂකයන් අන්දමන්ද වූයේ කරාටේ, කුංෆු සහ බොක්සිං ආදී ක්‍රීඩාවලටත් වඩා මේ ක්‍රීඩාව ඉදිරියට ගෙන තිබූ නිසාය. කලින් කියූ කරාටේ, කුංෆු, බොක්සිං ක්‍රීඩකයන් තරග වැදුණේ අතින්ය. ඉඳහිට හිස් පහරක් එල්ල කරන අවස්ථාද දැකිය නොහැකි වූයේ නොවේ. ලෝ පුරා ප්‍රේක්ෂකයන්ගේ අමන්ද‌ානන්දනයට ඔන්ග් බග් චිත්‍රපටය පත්වූයේ එහි සටන්කරුවන් ඉතා බිහිසුණු ලෙස අතින් මෙන්ම දරදඩු ලෙස පයින් තම ප්‍රතිවාදියාට එල්ල කරන නිසාය. තායිලන්තය මෙන්ම එම කලාපයේ රටවල ජනතාවට මේ සටන් ක්‍රමය නුහුරු දෙයක් නොවීය. එහෙත් කලින් කී රටවල් අතර මේ සටන් ක්‍රමය නුහුරු අත්දැකීමක් නොවූ ප්‍රධාන රටක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ය. ඔන්ග් බග් චිත්‍රපටයේ සටන් ක්‍රමය දුටු සැනින් අපේ ප්‍රේක්ෂකයින්ට එය නුහුරු අත්දැකීමක් නොවූයේ අපේ රටේ භෞතික ක්‍රීඩාවක් වූ අංගම්පොර සටන් ක්‍රමයේ කූඨප්‍රාප්තියක් ලෙස ඔවුන් දුටු නිසාය.

ඔන්ග් බග් චිත්‍රපටයේ ඇති සටන් ක්‍රමය හැඳින්වෙන්නේ මුයිතායි ලෙසය. මේ ක්‍රීඩාව පසුගිය දශක ගණනක සිට ලංකාවේද ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන්නට වූ අතර 2017.01.30 දින දරන අංක 2004/20 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ‘මුයිතායි’ ලංකාවේ නව ක්‍රීඩාවක් වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා පන්තියට ඇතුළත් කරන ලදී.

ඔබට කලින් කීවාක් මෙන්ම මේ ක්‍රීඩාව බැලූ බැල්මට පෙනෙන්නේ අපේ අංගම්පොර සටනක් ලෙසය. මේ මුයිතායි ක්‍රීඩාවේ ඉතිහාසය සොයා හාරා අවුස්සන විට මේ අද තායිලන්තයේ ජාතික ක්‍රීඩාවට ලංකාවේ අපට ඇති සබැඳියාව අපට සොයාගත හැකි විය. තායිලන්තය පෙර යුගයේ හඳුන්වා ඇත්තේ සියම ලෙසය. ඉන්දුනීසියාව බාලි දූපත් නම් විය. අද මුයිතායි ලෙස තායිලන්තයේ ජාතික ක්‍රීඩාව ලෙස භෞතීස්ම ලැබූ ක්‍රීඩාව රාවණා රජුගේ යුගය තෙක් ඉතිහාසය තෙක් අප රැගෙන යන්නකි. රාවණා රජුගේ ධෛර්යසම්පන්න බවත් රාජ්‍ය පාලනයේ දක්ෂතාවයන් අලුතින් හඳුන්වා දිය යුතු නොවේ. ඊටත් වඩා රාවණා රජු දේශීය ආයුර්වේදය, නිර්මාණකරණය මෙන්ම අතිදක්ෂ විද්‍යාඥයකු බවට ද පුරාවෘත්තයන් බොහෝය. මේ කෝකටත් වඩා රාවණා කියූ ගමන් අපේ මතකයට එන්නේ දඬුමොණරය නොහොත් ‘පුෂ්පික විමානයයි.’ මේ අතරින් රාවණා රජු ගැන ජනප්‍රවාදයේ එන සුවිශේෂ සද‌ානුස්මරණීය සටහනක් පොදුජන හදවතේ සටහන්ව ඇත්තේ රාවණා රජු මෙරට ඉපැරැණි සටන් කලාවක් වන අංගම් සටන් ශාස්ත්‍රය නඟා සිටුවීමට කරන ලද ඉමහත් සේවය නිසාය.

තායිලන්ත පුරාවෘත්තවල මුයිතායි සටන් ක්‍රමය එද‌ා ‘සියමට’ රැගෙන ආවේ රාවණා රජු බවට ඇති සාක්ෂි එමටය. එහෙත් ඒවා ක්‍රමවත් ලිඛිත සාක්ෂි ලෙස ග්‍රන්ථාරූඪ කිරීමක් දක්නට නැත. එය තායිලන්ත යුද ඉතිහාසය තුළ ‘මුයිතායි’ සටන් ක්‍රමය සුරැකිව පැවැති ඇත්තේ තායි රණශූරයන් විසින් භාවිත ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් ලෙසය. යුද කාලීනව එකී සමය තුළ අත්පොතක් ග්‍රන්ථාරූඨ වී ඇත්​ෙත් චාපසාට්ය (Chvpasart) මෙය තායිලන්තයේ භාෂා සාහිත්‍ය තුළ අනෙකුත් ආකාරයෙන් වර නැගෙන අවස්ථා ද නැත්තේ ද නොවේ. එහි සඳහන් වන්නේ ආයුධ සහිතව කෙරෙන සටනට වඩා නිරායුධව සටන් වැදීම ආයුධ භාවිතයට වඩා වැඩි යමක් බවය.

මේ ‘මුයිතායි’ සටන් ක්‍රමයේ වත්මන් ඉතිහාසය 1774 තෙක් දිව යන්නකි. මේ යුගය නිර්වචනය කෙරෙන්නේ තායිලන්තයේ ආයුත්‍යා රාජධානිය බුරුම රාජධානියට යටත් සමයක් ලෙසටය. නායි කනොම් තොම් (Nai Kanom Thom) එවටක යුද සිරකරුවෙකි. එවකට බුරුම රජු වූයේ මන්ද්‍රා රුන්ගුත්ය. එක් අතීතයේ දිනක රජු නගරයේ විශාල උත්සවයක් පවත්වා එය යුද සටන් ද ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී දක්ෂ තායි සටන්කරුවන්ට අභියෝග කෙරුණේ ද්වන්ධ සටන්වලට මාරාන්තික ලෙසය.

සංදර්ශනයේ යුද සටන් ආරම්භයට පෙර නායි කනොම් තොම් ‘වයිකෲ’ නම් නර්තනය ඉදිරිපත් කොට ඇත. මුයිතායි සටන්කරුවන්ගේ මුල්ම කාර්යය වන්​ෙන් තමා ගුරුවරුන්ට ගෞරවයක් පිණිස එළිදක්වන රංගනය වයිකෲය. මෙය ‘වයිකරු’ රංගනය ලෙසද සමහරු හඳුන්වති. තම ගුරුවරයාට කරනු ලබන ගෞරවයට අමතරව මේ නර්තනය ඉදිරිපත් කිරීමෙන් තම ප්‍රතිවාදියාගේ ශාරීරික දුබලතා ගැන උකුසු ඇසෙන් නිරීක්ෂණය සිදුවේ. එමෙන්ම සටන් වළල්ලේ අඩුපාඩු මෙන්ම සටන් වළල්ලට ආලෝකය පතිත වන තියුණු සහ සියුම් දිශා ග්‍රහණයන් ගැනීමටද මෙම වයිකෲ නර්තනය උපයෝගී කරගනී, ඇතැමුන් මේ නර්තනය නිර්මාණශීලී ලෙස ද තවකෙකු හාස්‍යජනක ලෙස ද මෙම නර්තනය ඉදිරිපත් කරන්නේ ප්‍රේකෂක අමන්ද‌ානන්දය මධ්‍යයේය.

දැන් නැවතත් උනනායි කනොම් තොම් සමඟ සටනට එළඹුන බුරුම සටන්කරුවාට සිදුවූ සන්තෑසිය දෙස නැවත හැරී බලමු. බුරුම සටන්කරුවා තත්පර ගණනක් තුළ කෙසෙල් ගසකට කඩු පහරක් එල්ල කළක් මෙන් බිම ඇද වැටුණේ සටන් බිමේ දූවිලි අවුස්සාගෙන බොරළු කාගෙනය. අවසානයේ බුරුම සටන්කරුවන් ඒකමතිකව තීරණය කළේ සටනට කලින් ඉදිරිපත් කළ ‘වයිකෲ’ රංගනය කොඩිවිනයක් බවය. ඉන්පසු නොනවත්වා සටනට එන බුරුම සටන්කරුවන් 9 දෙනෙකු උනනායි රණශූරත්වය හමුවේ ක්‍රීඩා තීරුවේ වැටෙන් එහාට පතිත වූයේ උඩුගුවනේ ගොස්ය.

උනනායි කනොම් තොම් බුරුම රජුගේ මන්ග්‍රාගේ ඉමහත් ගෞරවාදරයට පත්විය. රජතුමා සටන්කරුට මොන් රාජධානියෙන් බිරිඳක් ද කරකාර බන්දවා දුන්නේ ඔහුගේ දක්ෂතා ඉමහත් අගය කිරීමෙනි. මෙය ඉතිහාසගත වන්නේ මුයිනායි සටන්කරුවකු පරදේශයකට ගොස් ජයපැන් බිව් ප්‍රථම අවස්ථාව ලෙසය. මේ හේතුව නිසා උනනායි කනොම් තොම්තුමා සැලකෙන්නේ තායිලන්තයේ ‘මුයිතායි’ සටන් කලාවේ පියා ලෙසය. සෑම වසරකම මාර්තු 17 දින මු(ෂා)යි තායි දිනය ලෙස සලකා අයුත්‍යා තරගයක් පැවැත්වෙන අතර එය ලෝකවාසි ‘මුයිතායි’ සටන්කරුවන්ගේ නිබඳ ගෞරවාදරයට පත්වූ සද‌ානුස්මරණීය උත්සවයකි.

 

මුයිතායි ක්‍රීඩාවේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ අතෙන් මෙන්ම පයෙන්ද පහර දීමට හැකි වීමය. ඉතා හොඳින් අත් පහරවල් එල්ල කළ ක්‍රීඩකයකුට දණහිස් පහරවල් එල්ල කිරීමට ශක්තිය මදි නම් ඔහුගේ දෙපා සටන් ශක්තිය වැඩි වශයෙන් යොමු කිරීම සිදුවේ. මේ සියලු දේ සපුරා තිබියදීත් සටන්කරු අකාර්යක්ෂම නම් සටන්කරු දුර දිවීමට (Road Work) නම් කෙරේ. මෙය ඇතැම් විට දිනකට කිලෝමීටර් 10 ද ඉක්මවනු ඇත.

මුයිතායි සටන්කරුවන් පුහුණුකරු විසින් දැඩි ලෙස අධීක්ෂණයකින් හික්මවන ලැබූ පිරිසකි. අතින් පයින් ගහගන්නවා කියා ‘මුයිතායි’ සටන්කරුවන්ට මී හරකුන් මෙන් පොරකාගෙන ශරීරයේ භයානක ස්ථානවලට පහර එල්ල කිරීමට හැකියාවක් නැත. සටන්කරුවන් පුහුණුවට තෝරා ගැනීමේදී පවුල් පසුබිම, රැකියාව, විනෝද‌ාංශ මෙන්ම සටන්කරුගේ මිතුරන් ගැනද මූලිකව සොයා බැලේ. එමෙන්ම සටන්කරුගේ අරමුණ, බිහිසුණ බව, බර, සමාජශීලීත්වය, වගකීම් දරා ගැනීමේ හැකියාව, තරග න්‍යායන්, නීති රීතින් පිළිපැදීමට ඇති වගකීම මෙන්ම ආත්මවිශ්වාසයද නිසිලෙස අධ්‍යයනයෙන් පසු ‘මුයිතායි’ සටන්කරුවකු පුහුණුව සඳහා තෝරාගනී.

මුයිතායි සටනේ ප්‍රධාන අංගයක් නම් පෙණහලු හා ස්වසන පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වයයි. එම නිසා මුයිතායි සටන්කරුවකු දුර දිවීම හා රොප් පැනීම වැනි ව්‍යායාම මඟින් තම ස්වසන කාර්යක්ෂමතාව නිතැනින් ප්‍රශස්ත මට්ටමකට තබා ගැනීමට වගබලා ගත යුතුය.

දැන් මුයිතායි ක්‍රීඩාව ලෝකයේ රටවල් 160ක ව්‍යාප්තව ඇත. දැන් එය ඔලිම්පික් සඳහා ද තෝරා ගෙන ඇත. ලංකාවේ ඇති මුයිතායි සංගමය මෙරට යුද, ගුවන්, නාවුක භටයන්ට මෙම ක්‍රීඩාව දැනටමත් හඳුන්වා දී හමාරය. ශ්‍රී ලංකා පොලිසිය එයට අලුතින්ම එක්වී ඇත. මෙය බොහෝ බෞද්ධාගමික වටපිටාවක හික්මීමක් ඇතිව කෙරෙන ක්‍රීඩාවකි. තායිලන්තයේ මුයිතායි මධ්‍යස්ථානවල කටයුතු ඇරඹෙන්​ෙන් එහි ඉහළින්ම ඇති බුදුරුවට වන්දනාමාන කිරීමෙන් පසුවය. පසුගියද‌ා මුයිතායි ජාත්‍යන්තරය ලංකාවේ පාසල් සිසුවකු වන තිලංග මධුසංඛ රන් කුසලානයෙන් පිදුම් ලැබීමෙන් ද අප රටේ ද මේ ‘මුයිතායි’ සටන් ක්‍රමය ජාත්‍යන්තරව ඇගයීමට ලක්ව ඇති බවට සාක්ෂියකි.

පසුගියද‌ා මුයිතා ලෝක ශූර තායිලන්ත ජාතික ලසියලා ලංකාවට ආවේ පේරාදෙණිය දිගන පැවති ශ්‍රී ලංකා මුයිතායි සම්මේලනයට සහභාගි වීමටය. දැන් පාසල් මට්ටමෙන් ‘මුයිතායි’ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙමින් තිබෙන බැවින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝක පූජිත වූවාසේ ලංකාවේ ‘මුයිතායි’ ක්‍රීඩකයින් ද ලෝක පූජිත වනු නියතය.

වජිර ලියනගේ