සංහිඳියාවට අලුත් අරුතක් 

අරණායක විහාරස්ථානයකට පැමිණ පිරිවෙන් අධ්‍යාපනයට යොමු වූ වයස අවුරුදු 10 ක් වයසැති කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ ඉස්ලාම් දරුවකු ගිහි ජීවිතය අත හැර සසුන් ගතවීමේ පුවත පසුගියදා අරණායකින් වාර්තා විය.

ගිහි ජිවිතය අත හරින ලද මෙම ඉස්ලාම් දරුවා දැනට පැවිද ලබා වැඩ සිටින්නේ පූජාවලිය ග‍්‍රන්ථයේ නිර්මාතෘ මයුරපාද හිමියන් වැඩ වාසය කර ඇති ලංකාවේ තිබෙන එකම ටැම්පිට සංඝාවාසය ඇති මොරාගම්මන ශ‍්‍රි මයුරපාද රජමහ විහාරස්ථානයේ ය.

උපතින් ඉස්ලාම් ජාතිකයකු වන මෙම දරුවා සසුන්ගත වීමට ප‍්‍රථම ඔහුගේ නම වන්නේ මොහොමඩ් ඉසඩ් සමීර් සුවෙර් යනුවෙනි. මව චිත‍්‍රා ශ‍්‍රිමති චලිවර් වන අතර වයස අවුරුදු 36 කි. පියා මොහොමඩ් ඉසඩ් සුවෙර් ය. ඔහු වයස අවුරුදු 33 ක ඉස්ලාම් ජාතිකයෙකි.

මොරාගම්මන විහාරස්ථානයේ පසුගිය දිනක පැවිදි දිවියට පිවිසෙන මෙම ඉස්ලාම් දරුවා දැන් හඳුන්වන්නේ මාලිගාවත්ත චන්දකිත්ති යන නාමයෙනි.

මොරාගම්මන ශ‍්‍රී මයුරපාද රජමහ විහාරයේ විහාරාධිපති පුවක්මොටේ ධම්මරතන නා හිමියෝ ඒ පිළිබඳව මෙසේ පවසා සිටියහ.

මෙම හිමිනම ලැබුණේ මාගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන ජඹුරේවල චන්ද්‍රරතන හිමියන්ගෙන්. උන්වහන්සේ තමයි මට කීවේ මේ වාගේ අසරණ දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවන්ට පුළුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබා දෙන්න කියලා. ඒ අනුව මාගේ කැමැත්ත ලැබුණාට පස්සේ පොල්ගහවෙලට කොළඹ ඉඳන් මේ දරුවා උන්වහන්සේ විසින් එක්කරගෙන විත් මට බාර කළා. ඊට පස්සේ එක් කරගෙන ඇවිත් දරුවා පිරිවෙන් අධ්‍යාපනයට යොමු කළේ අරණායක පොල්අඹේගොඩ පිරිවෙනට. ගිහි කාලයේදිම තමයි යැවුවේ. මට මතක හැටියට ඒ 2017 ජුනි මාසයේ.

දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස්වල පටන්ම බොහෝ දිනයන්හිදි මා සමග සහ අපේ පන්සලේ පිරිවෙන් යන අනිකතුත් හිමිවරුන් දෙනමක් ඉන්නවා ඒ අයටත් කියලා තිබුණේ ගිහිකම අත්හැර මහණ වෙන්න කැමැතියි කියලා. ඉස්ලාම් දරුවකු නිසාත් මේ සඳහා දෙමාපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණවීමට අවශ්‍ය නැති බව අපි මේ පුතණුවන්ට කුඩා කාලයේ කිවත් මේ පුතා නිතරම කිවේ මහණවීමට කැමැති බවයි. ‘

‘‘මට ලොකු හාමුදුරුවෝ වාගේ සිවුරු පොරවාගෙන මහණ වෙන්න ඕනෑ. පිරිවෙනේ පොඩි හාමුදුරුවෝ දැක්කාමත් මට මහණ වෙන්න හිතෙනවා. ඒ නිසා මා පැවිදි කරවන්න. මට පිරිත් කියන්න ඕනෑ“ කියමින් නිරන්තරයෙන්ම මේ දරුවා පිරිවෙන් ගොස් තමන්වහන්සේට පැවසු බව විහාරාධිපති හිමියෝ පැවසූහ.

‘‘මට මහණ වේලා බණ කියන්න ඕනෑ කියනවා. දානේ පන්සලට ගෙනත් දෙන අයට පින් වාක්‍යය කියන්න දෙන්න කියලා කියනවා. මේ කැමැත්ත නිසාම අවසානයේ දරුවා පැවිදි කරන්නට අවශ්‍ය කටයුතු සකස් කෙරුණේ දෙමාපියන්ගේ අවසරයෙන්. මේ මහණකම සිදු කිරීමට මත්තෙන් දෙමාපියන්ටත් අපි කීවා දරුවා පැවිදි කරනවාද නැද්ද කියලා තීරණය ගන්න කියලා. නමුත් ඒ දෙමාපියොත් දරුවාට මහණ වෙන්න එපා කීවත් ඒකට දරුවාගෙන් කැමැත්ත ගන්න බැරි වුණා. පස්සේ කරගන්නම දෙයක් නැති තැන සියලු දෙනාගේම කැමැත්තෙන් මේ දරුවා මහණ වෙනවා. ඒ මහණ වුණේ මාලිගාවත්ත චන්දකිත්ති නමින්. අපේ විහාරස්ථානයේ ඔක්තොම්බර් 27 වැනිදා උදේ 6.24 ට මහණ දම් පිරූ මේ දරුවා අද හොඳ ආදර්ශමත් භික්ෂුවක්.“

‘‘කෑගලූ දිසාවේ ප‍්‍රධාන සංඝනායක වරාපිටියේ රතනසාර හිමිපාණන් ඇතුළු පුවක්මොටේ ධම්මාරාම උපාධ්‍යයන්වහන්සේගේ අනුශාසකත්වයෙන් ප‍්‍රාදේශීය මහා සංඝරත්නය දායක සභාවේ සියලූ දෙනාගේ සහභාගිත්වයෙන් අප විහාරස්ථානයේදි මහණ වනවා. එහිදි මේ මහණකම සිද්ධ වෙන්නේ මාගේ තනි තීරණයකින් නොවෙයි. මේ සියලූ දෙනාගේ ආශිර්වාදයෙන්‘‘

‘‘මට හිතෙනවා මේ පොඩි නම හොඳට ඉගෙන ගනීවි කියලා. මොකද හරි උනන්දුවක් තියෙනවා අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මා ඇතුළු අපේ පන්සලේ අනික් සාමණේර හිමිවරුන්ද පිරිවෙනෙහි ආචාර්ය මණ්ඩලයත් හිමියන්ගේ දක්ෂතාව නිසා ඒ ගමන යන්න උන්වහන්සේට විශාල පිටුවහලක් සපයනවා. පන්සලට ගිහියෙක් ලෙස එනකොට අකුරු ලියන්න බැහැ, කියවන්න බැහැ නමුත් හිමියන්ට දැන් හොඳට ඒ සියල්ල කරන්න පුළුවන්. වේලාව බලාගෙන කියන්න බැරිව හිටියත් දැන් ඒ කටයුතුද ඉතා හොඳින් සිදු කරනවා. පිරිත් කියන්න පුදුම විදිහේ කැමැත්තක් තියෙනවා. අපි ජය පිරිත කියනවා අහගෙනම ඉඳලා දැන් පොඩි හාමුදුරුවෝ ජය පිරිත කට පාඩමෙන් කියනවා. මේ දවස්වල වැඩිපුරම මට පොඩි හාමුදුරුවන්ගෙන් තියෙන කරදරය තමයි පින් වාක්‍යය කියලා උපාසක උපාසිකාවන්ට පින් දෙන්න ඕනෑ කියන එක. ඉතින් මම අනික් ගාථා ආදිය හරියට කට පාඩම් කර ගන්නකම් ඒ කටයුතු උන්වහන්සේට කියලා දුන්නේ නැහැ‘‘

මාලිගාවත්තේ චන්දකිත්ති පොඩි හාමුදුරුවෝ මෙසේ පැවසූහ.

‘‘මම ගොඩාක් කැමැතියි පන්සලේ ඉන්න. පිරිවෙන් යන්න. මම කොළඹට වඩා මේ පන්සලේ ඉන්න කැමැතියි. ඒ දවස්වල මාගේ යාළුවෝ තමයි චමිදු, මල්දු, ටිකිරි, සුරේෂ්, කවිත ඒ අය ඒ අය එක්ක මම හවසට සෙල්ලම් කරනවා. අපේ ගෙවල් ගාව සිංහල අය තමයි වැඩිපුරම හිටියේ. මම මහණ වෙන්න ගොඩාක් කැමැතියි සිවුරු දාගෙන ඉන්න හාමුදුරුවරු දැක්කා

ට පස්සේ මටත් මහණ වෙන්න හිතුනා. මම පිරිත් කියන්න බණ කියන්න වාගේම පිරිවෙනේ උගන්වන්නත් කැමැතියි. මම පුංචි දවස්වල ඉඳන් හාමුදුරුවරුන්ට කැමැතියි මෙ පන්සලේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවරුන් වාගේම පිරිවෙනේ හාමුදුරුවරුත් මට ගොඩාක් කැමැතියි‘‘

පොඩි හාමුදුරුවෝ පවසන පරිදි මව සහ පියා යන දෙදෙනා දෛනිකව සිය කටයුතු කරමින් වියදමට මුදල් සොයා ගන්නා අතර මව නිවාසවල කුලී වැඩ කරන බවද කියයි. පියාද ව්‍යාපාරිකයකු වුවත් අග හිඟකම්වලින් දැඩිව පිඩනයට පත් වී සිටි නිසාම දරුවා පාසල් අධ්‍යාපනයකටවත් යොමු කර නැති මුත් දෙමාපියන් ඉස්ලාම් ආගම ඇදහිම සිදු කළත් බෞද්ධ 

දර්ශනය කෙරෙහි සිත පැහැදි සිටි බවද දැන ගැනිමට ලැබුණි. ගිහි කාලයේ එක් ඉරිදා දිනක දහම් පාසල් අධ්‍යාපනය ලබාදෙන ඒ අවට විහාරස්ථානයකට ගිය මේ ගිහි දරුවාට එතනදිද අධ්‍යාපනය ලබන්නට ආශාවක් ඇතිවී ඇත.

සිංහල සමාජ වටපිටාවක වැඩිපුරම ගැවසුණු දරුවාට සිංහල භාෂාව හැසිරවිමට හැකි වුවත් ඔහුන්ගේ භාෂාව හැසිරවිම එතරම් හුරු නැත. නිවසේ වැඩිපුරම කථා කර ඇත්තේද සිංහල භාෂාවයි.

විහාරස්ථානයේ නායක හිමියෝ මෙසේද කීහ.

‘‘දැන් පොඩි හාමුදුරුවෝ අවදි වෙන්නේ පාන්දර 5.30 ට ඒ කරලා ටික වේලාවකින් පොත පතේ වැඩ කරනවා. විහාරස්ථානයේ දායක දායිකාවන් සමගත් හොඳින් ඇසුරක් පවත්වාගෙන යන අතර ඉතා දක්ෂ ලෙස තම කටයුතු කරනවා. සෑම දෙයක්ම හොඳින් මතකයි. කට පාඩමින් බොහෝ දේවල් කියනවා. ගාථා කිහිප වතාවක් සජ්ඤායනා කරපුවාම පොඩි හාමුදුරුවෝ ඒවා කට පාඩමින් කියනවා. වැඩිපුරම බණ කියන්න කැමැතියි.

ඉස්ලාම් දරුවකු පැවිදිවීම සම්බන්ධයෙන් නායක හිමියෝ මෙසේද පැවසූහ.

‘‘ප‍්‍රශ්න ඒ අයගේ පවුලේ උදවියට ඇතිවෙලා තියෙනවා. මේක දරුවාගේ කැමැත්ත අනුව සිද්ධ වුණු පැවිද්දක්. දරුවකුට බලපෑම් කරලා මහණ දම් පුරන්න බැහැ. මේ පොඩි හාමුදුරුවෝ අකමැත්තෙන් මහණ වුනා නම් දැන් වුණත් ඕනෑ කෙනෙක් ඉදිරිපිට උන්වහන්සේ ඇත්ත කියාවි. බුදුන්ගේ දවස දඹදිවත් විවිධ ආගම්වලට අයත් විවිධ කුලවලට අයත් පිරිස ධර්මය ගැන පැහැදිලා මහණ දම් පිරුවා. සෑම මිනිසකුටම නිදහසේ තමන් කැමැති ආගමක් සහ තමන් කැමැති ඇදහිල්ලක් සිදු කරන්න අවස්ථාව තිබිය යුතුයි. මේ පොඩි හාමුදුරුවෝ අද බෞද්ධ ධර්මය වැළඳ ගත් නමුත් මේ අයගේ පවුලේ අම්මා තාත්තා ඇතුළු හැම කෙනෙක්ම ඉස්ලාම් ධර්මය තමයි අදහන්නේ. අන්න ඒ නිසා අපි අදහන ආගම කුමක් වුවත් මේ ගැන අවබෝධයකින් කටයුතු කිරිම මගින් ප‍්‍රශ්න ගැටලූ ඇති වෙන්නේ නැහැ. පසුගිය කාලයේදි අපි මාධ්‍ය හරහා දැක්කා දිඹුලාගල විහාරස්ථානයකත් ඉස්ලාම් දරුවකු මහණ වුවා. ඊට පස්සේ මෑත කාලයේ මේ වාගේ සිද්ධියක් වුණේ අපේ පන්සලේ වෙන්න ඇති. මේ රජයේ පරමාර්ථයත් සහජීවනය සාමය ඇති කරන්න. එහෙම නම් මේක රටට හොඳ ආදර්ශයක්.

මේ අවස්ථාවේ විහාරස්ථානයට පැමිණ සිටි උපාසිකා මාතාවන් දෙදෙනකු ද මුණ ගැසුණු අතර එහි සිටි වයස අවුරුදු 77ක් වන කේ.වී.සීලවතී මහත්මිය මෙසේ පැවසුවාය.

‘‘අපිට හරි සතුටුයි මේ වාගේ පොඩි හාමුදුරුනමක් අපේ පන්සලේ මහණ කිරිම ගැන. අපි කවුරුත් ඉන්නේ ඉතා සතුටෙන්. අපිට ජාති, ආගම්, කුලභේද වැඩක් නැහැ. අපි මිනිස්සු. අපි හැම කෙනකුම ටික කාලයක් ජිවත්වෙලා පොළවට පස්වෙලා යනවා. ඒ වෙනකම් පිනක් දහමක් කරගෙන ජිවත් වෙන්න ඕනෑ‘‘

අතීතයේ පටන්ම බුදු දහම සහ බෞද්ධ සමාජය ලෝක සාමයට විශාල පිටුවහලක් සපයනු ලැබු අතර ඉස්ලාම් ජාතිකයකු වු මොහිදින් බෙග් ගැයු ගී බොහෝමයක් බෞද්ධාගමිකයන් අතර ඉතා ජනප‍්‍රිය නිසාම බොහෝ දෙනෙක් එම කලාකරුවාට ආදරය කරමින් ඔහු මිය ගියත් ඒ ගී හඩට තවමත් ඇළුම් කරති. ඉන්දියාවේ අගමැති මෝදි මහතා හින්දු බැතිමතෙකි. නමුත් ඔහු පසුගියදා බුද්ධගයාවේදි පවසා සිටියේ බුද්ධගයාව ලෝක බෞද්ධයන්ගේ අගනුවර බවට පත් කරන කරන බවයි. එවැනි සාමයක් ආගම් අතර ජාති අතර නිර්මාණය වෙමින් සහජීවනයක් ඇති වෙන අතීත කථා සහ වර්තමාන ආදර්ශයන් බොහෝ දෙනෙක් අතින් ඉටු වී ඇති කාල වකවානුවන මෙම සිදු වීමද අපේ රටේ සහජීවනයට මිනිස්කමට දුන් හොඳ ආදර්ශයකි.