මේ විශ්වය තුළ කොයිතරම් සත්වයන් සමග සෘධියෙන් සම්බන්ධ විය හැක්කේ ද

මනුෂ්‍ය ඇසට හසු නොවන හා මනුෂ්‍ය කනට නොඇසෙන පථයක් විශ්ව ධාතුවේ පවතින බව බුද්ධ දේශනය තුළ ගැඹුරින් විස්තර කෙරෙයි. මේ පිටස්තර ලෝකය පරයා යාමට හැක්කේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥානය දියුණුකර ගැනීමෙනි.

බුදුරජාණන් වහන්සේ විසින් අවුරුදු 2500 කට ඉහත දේශනා කරන ලද පිටසක්වළ පිළිබඳ තොරතුරු විද්‍යාඥයෝ යාන්තම් හඳුනා ගනිමින් සිටිති. මේ සියල්ල සමඟ පෙර භවය විස්තර කරන සමහරු පිටසක්වළක් පිළිබඳ තම අත්දැකීම් විස්තර කර ඇත. තමන් දුටු දෙවියන්, දිව්‍ය ලෝකය හා අපාය පිළිබඳ තතු පුනර්භව පර්​ෙ‌ය්ෂකයෝ සොයාගෙන ඇත. මේ පිළිබඳ ඉදිරියේ මේ ලිපිවල අප විසින් විස්තර කරනු ලැබේ.

දිනක් ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේ හමුවී, ස්වාමීනී, ඔබ වහන්සේට මේ විශ්වය තුළ කොයිතරම් සත්වයන් සමග සෘධියෙන් සම්බන්ධ විය හැක්කේ දැයි විචාරන්නාහ. කීපවිටක් ආනන්ද තෙරුන් මේ ප්‍රශ්නය විචාලත් ඊට පිළිතුරක් නොලැබිණ. තුන් වැනි වරදි උන්වහන්සේ, පින්වත් ආනන්දය, මේ සූර්යයාගේ ආලෝකය යම්තාක් දුරකට විහිද යේද, මේ චන්ද්‍රයාගේ ආලෝකය යම්තාක් දුරකට විහිද යේද ඒ පරාසය චූලනිකා ලෝක ධාතුවය. එහි සත්වයන් උපදින තල තිස් එකකි. ඒ වනාහි මනුෂ්‍ය ලෝකයය, සතර අපායය, දිව්‍ය ලෝක සයක්ය, රූපාවචර බ්‍රහ්ම ලෝක සොළොසක්ය, අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරක්ය වශයෙනි.

ආනන්ද, මේ චූලනිකා ලෝක ධාතුව දහස් ගුණයෙන් වැඩි කළ විට සූර්යයෝ දහසක් වේ, චන්ද්‍රයෝ දහසක් වේ. මනුෂ්‍ය ලෝක දහසක් වේ. සතර අපායන් හාරදහසක් වේ. දිව්‍ය ලෝක හය දහසක් වේ. රූපාවචර බ්‍රහ්ම ලෝක දහසය දහසක් වේ. අරූපාවචර බ්‍රහ්ම ලෝක හාරදහසක් වේ. මේ වනාහි සහශ්‍රීලෝක ධාතුව වේ.

මේ සහශ්‍රී ලෝක ධාතුවෙන් දස දහසේ ගුණය ද්වි සහශ්‍රී ලෝක ධාතුව වේ. ද්වි සහශ්‍රී ලෝක ධාතුව තවත් දස දහස් ගුණයකින් වැඩිවූ විට ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව වේ.

පෘථග්ජන මනසක් තිබුණු ආනන්ද තෙරුන් පුදුම එළැඹූහ.

ආනන්ද, මේ සහශ්‍රී ලෝක ධාතුව යැයි, වදාළ ද්වි සහශ්‍රී ලෝක ධාතුව යැයි වදාළ, ත්‍රීසහශ්‍රී ලෝක ධාතුව යැයි වදාළ සියලු ලෝක ධාතුන්හි සිටින සත්වයන් සමග ලොවුතුරු බුදුවරයකුට කැමැති ආකාරයට සෘර්ධියෙන් සම්බන්ධ විය හැකියේය.

බුදුවරයකුගේ සන්ධි විෂය මෙපමණ යැයි කිව නොහැකිය. එය අචින්ත්‍යය සාමාන්‍ය මනුෂ්‍යයකුට එය සිතා ගැනීමට අපහසුය.

සෘර්ධි විෂය විවිධ මට්ටම්වලින් බුදු පසේ බුදු, මහරහත්, අභිඥාලාභීන් සතුව පවතී.

ඉහත කී ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව දක්වාම අප පසුගිය කලාපයේ සාකච්ඡා කළ ප්‍රේත ලෝකය විහිද පවතී. පිටසක්වළ හා පිටසක්වළ ජීවීන් යැයි ඇතැම්විට විරූප ස්වභාවයෙන්, ලොකු ඇස් ඇති පාවෙන ස්වභාව ඇති ඉඳිකටු වැනි අත්පා ඇති, හිස හා බඩ ​ෙලාකු ස්වභාවවලින් හඳුනා ගත්තා යැයි පැවසෙන ජීවීන් මේ විශ්වයේ සැරිසරන අදෘෂ්‍යමාන ජීවීන්ගේ අහඹු දෘශ්‍යමානවීම් ය.

ප්‍රේතයන් ඉඳහිට මනුෂ්‍යයන්ට දෘශ්‍යමාන වන ආකාරය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු.

පුරාණ සීහළ වත්ථුවේ ප්‍රේතයන් පිළිබඳ තොරතුරු ඇත්තේය. සීහළ වත්ථුවේ සඳහන් වන්නේ ලක්දිවදී දෘශ්‍යමාන වූ ප්‍රේතයන් ගැනය.

අතීතයේ හෙළදිව විසූ භික්ෂූන් වහන්සේලා පිරිසක් මහබෝ (ජයශ්‍රී මහා බෝධිය) වැඳීම සඳහා ගම් නියම් ගම්හි පා ගමනින් වැඩම කරන්නාහ. බොහෝ වෙහෙසකරව ඇවිද ගිය උන්වහන්සේලා මොහොතකින් දුෂ්කර වන මැදක අතරමං වූහ. පාරක් හඳුනා ගත නොහැකියේය.

‘දැන් කුමක් කරමුද?’ භික්ෂූහු කල්පනා කළහ.

එක් භික්ෂු නමක්, ඇත් රැළක් ගිය මගක් දැක ඒ අසල ගලක ගිලී සිටින මනුෂ්‍යයකු දුටුවේය.

මොහුගෙන් අපට පාර අසා ගත හැකියේය.

සංඝ ස්ථවිරයන් වහන්සේ පැමිණ,

අපි මහ බෝ වන්දනාවේ යම්හ. දින සතක් වනයේ අතරමංව සිටිමු. අපට මාර්ගය කිව මැනවැයි කීහ.

එවේලේ,

ස්වාමීනී, ඔබ වහන්සේලා දින හතක් වනයේ අතරමංව මාර්ගය ඉල්ලා සිටිති. මා බුද්ධාන්තර තුනක්ම මෙහි මංමුළා වී සිටිමි.

භික්ෂූහු පුදුම වූහ.

ඔබ කවරෙක්ද, මෙසේ සිටින්නට ඔබ කළ අකුසලය කවරක්දැයි විචාළහ.

ස්වාමීනී මම කුකුසඳ බුදුන්ගේ කාලයෙහි මනුෂ්‍යයකු වී සිට බොහෝ පව්කම් කළෙමි. එදා මරණින් මතු ප්‍රේත ලෝකයට වැටිණි. සිව් යොදුනක් දිග මේ ගල් පර්වතය මුදුනේ ගිලී පොළොවෙන් උඩට ශරීරයේ කොටසක් පෙනෙමින් මෙසේම සිටිමි. එහෙත් මගේ කර්ම ගෙවී යාමක් මට නොපෙනෙන්නේය.

ප්‍රේතය, ඔබ බුද්ධාන්තර තුනක් මෙසේ සිටියා යැයි කියන්නේ කෙසේද?

ස්වාමීනී, ඔබ වහන්සේලා නොදන්නේද? බුදුවරු මව් කුසක පිළිසිඳ ගනිද්දීත්, මව් කුසින් බිහි වෙද්දීත්, බුදුවන විටත්, දම්සක් දෙසන විටත්, ආයු සංස්කාරය හරින විටත්, පිරිනිවෙනා විටත් ලොව පුරා විස්මය ජනක දේ සිදුවෙයි. මම ද ඒවා දැක ඇත්තෙමි. බුදු උපතේදී අහසෙහිත්, ගල් මුදුනෙහිත්, පොළොවෙහිත් පියුම් පිපෙත්. පියුම් මැළවී පරවී යන්නේ බුදුවරු පිරිනිවී යන කල්හිය. දැන් බුදුවරු තිදෙනෙක් මා ගලේ සිරවී සිටිද්දී පහළ වී පිරිනිවියේය. ඒ බව මා දැන ගත්තේ මේ ගලේ හටගෙන මැළවී ගිය පියුම් වලිනි බුදුවරු 3 ක් පහළවිත් මට මේ අකුසලය ගෙවා සසරින් ගොඩ ඒමට නොහැකි විය.

භික්ෂූහු පුදුම ඉපැදූහ.

ප්‍රේතය මේ සා ගලක ශරීරයේ හරි අඩකට වැඩියෙන් සිරවී කොටසක් ගලෙන් උඩට මතුවී, යාමට ඒමට, කෑමට බීමට නොහැකිව මෙවැනි අකුසලයක් විඳීමට ඔබ කළ පාපය කවරක්ද?

ස්වාමීනී, පෙර කකුසඳ බුදුන්ගේ සමයෙහි සංඝයාට අයිති කුඹුරක් තිබිණි. මාගේ කුඹුරද තිබුණේ ඒ අසලමය. මම කුඹුර ඉමේ වූ ගල් කණුව ගලවා සංඝයාගේ කුඹුරේ සවි කළෙමි. එතැන් පටන් සඟ සතු කුඹුරුහි කොටසක් මගේ කොටගෙන භුක්ති වින්දෙමි. එහි විපාකය මෙයයි. මම ප්‍රේත ලෝකයේ දුක් අනුභව කරමින් ඉක්ම ගිය කාලය වර්ෂ වලින් මෙතැකැයි කිව නොහැකිය. දැන් අවීචියට ගොස් ඉතිරි විපාක වින්ද යුතුය.

අතීතයේ මිනිස්සු සඟ සතු දේපළ සොරා කන අය ගල් ප්‍රේතයන්වී උපදිනවා යැයි කීවේ, මෙවැනි අටුවා කතා අනුසාර කොට ගනිමිනි.

මේ ප්‍රේතයාගේ පෙර භවයේ මනස මැරී නැත. හේ පෙර භවය සිහි නඟන්නේය. මනස මේ විශ්ව ධාතුව පුරා පැතිර යන්නේය. එබැවින් කර ගන්නා අකුසල කර්ම කරණකොට කය මියැදෙන අතර මනස තිබුණු තැනින් ගැලවී තවත් තැනක නැවත හටගත්තේය. කර ගන්නා ලද කර්මවලට අනුව කය උපදින ස්ථානය තීරණය වන්නේය. පුනර්භවය ප්‍රකාශ කර ඇතැම්හු දිව්‍ය ලෝක, අපාය පිළිබඳව පවසන තොරතුරු මිත්‍යාවක් ලෙස සැලකිය නොහැක්කේ සිත හැමවිටම මේ ත්‍රි සහශ්‍රී ලෝක ධාතුව පුරාම තමන්ගේ හට ගැනීම සොයමින් ගමන් කරන නියාය.

අප පසුගිය සතියේ සඳහන් කළ ප්‍රේත කොට්ඨාස හතරින් පරදත්තූප ජීවී කොට්ඨාසයේ ප්‍රේතයන්ට අනුන් දෙන පිනින් ගොඩ යා හැකිය. එවැනි ප්‍රේතයන් පිළිබඳව බණ පොතේ විස්තර වෙයි.

දිනක් පොට්ඨපාද මහ රහතන් වහන්සේ වන මැදින් චාරිකාවෙහි වැඩමවන සේක. උන්වහන්සේ ඉදිරියේ එක් වරම භයංකාර ප්‍රේත සත්වයෙක් පෙනී සිටියේය.

මේ ප්‍රේත සත්වයාගේ රැවුල ඉඳිකටු තුඩු මෙනි. දුඟඳැති කෙසඟ සිරුරකි. යාන්තම් පටලැවුණු රළු වස්ත්‍රයකි.
පොට්ඨපාද මහ රහතන් වහන්සේ මඳක් නැවතිණ.

ඔබ කවුරුන්ද?

ස්වාමීනී යනුවෙන් පැවසූ ප්‍රේතයා මහ හඬින් සිනහ නඟන්නට විය.

ඔබට මාව මතක නෑ…. මම ඔබේ වැඩිමල් ස​හෝදරයනෙ….

පොට්ඨපාද හිමියෝ අතීතය මෙනෙහි කළහ. පෙර භවයක මොහු මාගේ අයියා වී වාසය කළේය.

ස්වාමීනී… මා විතරක් නෙවෙයි, අම්මාත්, ඥාතීනුත් පෙර අකුසල් නිසා ප්‍රේත ලෝකයට වැටී සිටිනවා. අපට පින් අනුමෝදන් කරවන්න. අපිට එපිනින් ගොඩ ආ හැකියි.

පොට්ඨපාද තෙරුන් පිණ්ඩපාතය පිණිස වැඩම කරමින් ලැබූ දානය රහතන් වහන්සේලා වෙතම පිළිගන්වා පින් බලාපොරොත්තු වන මවටත්, සහෝදරයාටත්, ඥාතීන්ටත් පුන්‍යානුමෝදනා කළහ. ඒ පින් අනුමෝදන්ව ඔවුහු දිව්‍ය ලෝකයේ දිව්‍ය විමාන සහිතව ඕපපාතිකව පහළ වූහ. අවසන දිව්‍ය පිරිවර හා පැමිණ පොට්ඨපාද රහතන් වහන්සේට ස්තුති කළහ.

ඇතැම් පිටසක්වළෙහි ජීවීන් පහළ වන්නේ ඕපපාතිකවය. එය කර්ම බලයෙන් ​ඉබේම පහළ වෙයි. දිව්‍ය ලෝකයේ හා නිරයේ, ප්‍රේත ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ, අසුරයෝ ජීවීන් පහළ වෙන්නේ ඉබේමය. ඔවුන් මවුකුසකින්,

බිත්තරයකින්, ආදී ලෙස හට ගැනීමක් නැත.

අකුසල කළෝ ප්‍රේත ලෝකයේ ඉපදීම සිදුවෙන්නේ ඕපපාතිකවය. ප්‍රේත ස්වරූපයෙන් පහළ වී දිගු කලක් එක ලෙසට සිටිති. දෙවියෝද මෙවැනි ඕපපාතික කොට්ඨාසයකි.

දිව්‍ය රථ, දිව්‍යාංගනාවන්, දිව්‍ය පිරිවර, දිව්‍ය විමාන සළු පිළි සහිතව පහළ වේ. අඟහරු ලොවින් පැමිණියා යැයි කියන ඇතැම් විරූපී ශරීර ඇති මනුෂ්‍ය කොට්ඨාස සැබැවින්ම ග්‍රහලෝකයකින් පැමිණි එවැනිහුද ඕපපාතිකව උපන් ප්‍රේතයෝද? ඔවුහු පිටසක්වළ සත්ව කොටස්ද? මේ අප තවදුරටත් අධ්‍යයනය කළ යුතු මූල න්‍යායකි.

සටහන – අසංක ආටිගල  

Save