තවමත් ඔහු පෙර භවයේ මව සහ සොයුරු සොයුරියන් බැලීමට නිතර පෙර භව නිවසට යෑම සිරිතක්ය

පස්දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස කාසල් රෝහලේදී උපත ලද දරුවාට ගාමිණී යනුවෙන් නම් තැබිණි. අන් දරුවන්ට වඩා එම දරුවා උපතින්ම සුවිශේෂී දරුවකු බැව් දක්නට ලැබිණි. එනම් ඔහු උපත ලැබුවේ දස මසකටත් වැඩි කලක් මව් කුස සිටීමෙන් පසුවය.

ඉපදී මාස කීපයකින් ඔහු වචන උච්චාරණය කළේය. වසර එකහමාරක් වනවිට ඔහුට හොඳින් කතා කිරීමට හැකියාව ලැබිණ. දෙවසර සම්පූර්ණවීමත් සමඟ ඔහු පෙරභවය ගැන අනාවරණය කළේය.

ඔහුගේ ප‍්‍රථම වදන වූයේ ‘‘මමී’’ යනුවෙන් ඇමතීම විය. මවට අම්මා යනුවෙන් පැවසීම හැර මමී යනුවෙන් භාවිතාවීමක් හෝ එවැනි වදනක් හෝ ඒ වනවිට ගාමිණී දරුවාට ශ‍්‍රවණයවීමක් හෝ සිදුවී නොතිබිණි.

මේ අතර දිනක් මිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවා කෝටු කැබලි දෙකක් එක්කර කුරුසයක් ලෙස සැකසීය. අනතුරුව නිවස තුළට ගෙනැවිත් එය බිත්තියේ එල්ලන ලෙස මවට කීවේය. දෙමාපියන් බෞද්ධයන්වූ පවුලේ කිසි විටෙකත් කුරුසයක් ඔහු නොදැක සිටියදී එවැන්නක් නිර්මාණය කිරීම මවට මහත් ගැටලුවක් විය. එහෙත් මව ඒ පිළිබඳව පුත‍්‍රයාගෙන් කිසිදු විමසීමක් නොකළාය.

තවත් සති කීපයක් ගතවිය. ‘‘මමී’’ යනුවෙන් ප‍්‍රකාශ කරන දරුවා ඔහුට තවත් මවක් සිටින බවත් ඇයට අමතන්නේ මමී යනුවෙන් බවත් කීවේය.

සිය පුත‍්‍රයා කිසියම් පෙර භවයක් පිළිබඳව හෙළිකරන්නේද යන්න මවට සිතුණි. එහෙත් ඒ පිළිබඳව ඔහුගෙන් කිසිදු විමසීමක් නොකිරීමට දෙමාපියෝ වගබලා ගත්හ. මේ වනවිට අවුරුදු තුනක් සම්පූර්ණවී සිටි ගාමිණී සමඟ මාතලේ ප‍්‍රදේශයේ මිත‍්‍ර නිවසකට යෑමට දෙමාපියන්ට සිදුවිය.

ඔවුහු කොළඹ සිට බස්රියකින් මාතලේ බලා පිටත් වූහ. මාතලේ යන අතර බස්රිය සුළු වේලාවක් සඳහා නිට්ටඹුව නගරයේ නතර කළේය. අවට පරිසරය නරඹමින් සිටි දරුවා දැඩි ඕනෑකමකින් අවට බලන බැව් දෙමාපියන්ට දක්නට ලැබිණි. ඔවුන් සමග බස්රියේ ගමන් කළ පියාගේ මිතුරෙක්ද එදා ගාමිණී අසල සිටියේය.


අවට ප‍්‍රදේශය නරඹමින් සිටි ගාමිණී බස්රියේ කවුළුවකින් පිටතට අත දමා ‘‘අපි ඉස්සර හිටියේ මෙහෙ තමයි’’ යනුවෙන් දැඩි කලබලයට පත්ව පැවසීය. එහෙත් ඒ පිළිබඳව ඔවුහු අවධානයක් යොමු නොකළහ. ආපසු නිවස වෙත පැමිණීමෙන් පසු දරුවාගේ පෙරභව ප‍්‍රකාශ වැඩිවන්නට විය. පසුදින මව ඇමතූ ඔහු,

‘‘අපේ මමී මේ අම්මට වැඩිය ලොකුයි. එයා ගෙදරට ඇන්දෙ සාරි. එහෙදි නිමල් හිටියා. දවසක් නිමල්ගෙ කකුල බල්ලෙක් කෑවා. ඒ වත්තෙ වෙරළු ගස් තියෙනවා. අපි වෙරළු කඩාගෙන කනවා’’ යයි අනාවරණය කළේය.
නොකඩවා දිගින් දිගටම කරන මෙම ප‍්‍රකාශ නිසා සිය පුත‍්‍රයා පෙරභවයක තොරතුරු හෙළිකරන බැව් ඒ වනවිට දෙමාපියන්ට අවබෝධ විය. එබැවින් ඔහු පවසන පෙරභව තොරතුරු ඔවුහු දැඩි අවධානයට ලක්කළහ. දෙමාපියන්​ෙගන් කිසිදු විමසීමකින් තොරව සිය මතකයට නැගෙන පෙර බව ජීවිතය ගැන වරින්වර හෙළි කිරීමද විශේෂත්වයක් විය.

වරක් සිය මව අමතමින් ‘‘එහෙදි මම අලියා නෑව්වා’’ යයිද කීවේය. අලියා නෑව්වා යනුවෙන් ප‍්‍රකාශ කිරීම නිසා පෙර භවයේදි අලි ඇතුන් සිටි අයෙක් ලෙස දෙමාපියෝ සිතූහ. තවදුරටත් පෙරභවය හෙළිකරමින් නම් කීපයක්ද අනාවරණය කළේය. එම නම් අතර නිමල් සහ චාලි අන්කල් යනුවෙන් හැඳින්වූ නම්ද විය. නිමල් ගැන සඳහන් කළේ ‘‘දවසක් නිමල්ව බල්ලෙක් කෑවා’’ යනුවෙනි. ඒ සමඟම ‘‘නිමල් මගේ පපුව හැපුවා’’ යයිද ඔහු කීවේය.

මේ අයුරින් පෙර ජීවිතයේ තොරතුරු හෙළි කළ නමුත් ඔහුගේ පෙරභව ජීවිතය අවසන් වූයේ කෙසේද යන්න අනාවරණය නොවීය. මරණය ගැන ඔහුගෙන් ප‍්‍රකාශ නොවිණි. එහෙත් නිට්ටඹුවේ පදිංචිව සිටි ප‍්‍රදේශය හෙළි කිරීම නිසා දරුවා රැගෙන ගියහොත් පෙර නිවස සොයාගනු ඇතැයි දෙමාපියෝ සිතූහ.

මෙම දරුවාගේ පුනර්භව පර්යේෂණය සඳහා එවකට මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ විදුහල්පති ලෙස ක්‍රියා කළ බද්දේගම විමලවංශ නාහිමියෝද උනන්දු වූහ. දෙමාපියන් සමඟ දරුවා ද කැටුව ඔවුහු නිට්ටඹුව බලා ගියහ. ඔහු හෙළි කළ පරිදි වැඩි අවධානයක් යොමුකරන ලද්දේ අලියෙකු නෑවීම සිදුකළ පරිසරයක් සොයා බැලීමටය.

නිට්ටඹුවට ගිය පිරිස එවැනි පරිසරයක් සොයන්නට වූහ. එහෙත් අලියෙකු නෑවීමට තරම් සුදුසු පරිසරයක් සොයා ගැනීම අපහසු විය. මේ වනවිට පෙරභවයකදී මරණයට පත්වූ අයකු සොයා දරුවකු පැමිණ සිටින බැව් ප‍්‍රදේශය පුරා පැතිර ගියේය.

දෙවසරකට උඩදී දරුවෙකු මියගොස් සිටි සෙනවිරත්න මහත්මියට ද මෙම ආරංචිය ලැබිණි. මරණයට පත්වූ පාලිත දරුවාගේ ඡායාරූපයක් සමග විමලවංශ නාහිමියන් හමුවූ පාලිතගේ මව ඔවුන් සොයන පෙරභවය එම දරුවා සමඟ සබඳතාවක් ඇත්දැයි බලන ලෙස ඉල්ලීමක් කළාය.

ඒ අනුව පාලිතගේ ඡායාරූපය ගාමිණීට ඉදිරිපත් කැරිණි. එම ඡයාරූපය දුටු විගස ‘මේ මම පොඩි කාලේ’ යයි හඳුනාගැනීමට කුඩා ගාමිණීට හැකිවූයේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි.

ඡායාරූපය හඳුනාගැනීමෙන් පසු එම දරුවාට පෙරභවයේ නිවසට යෑමට අවස්ථාව උදාවිය. නිවස බලා ගිය ඔහු පාලිතගේ නිවස තමා ජීවත් වූ නිවස ලෙස පැහැදිලිව හඳුනා ගත්තේය. ගෙවත්තේ තිබූ වෙරළු ගසක් සහ ළිඳ ඇතුළු අනෙකුත් පාරිසරික පිහිටීම් පිළිබඳවත් නිවැරදිව හෙළිකිරීමට ඔහුට හැකිවිය.

වත්තේ ළිඳ වෙත ගිය දරුවා ‘‘මම අලියා නෑව්වේ මේ ළිඳෙන් තමයි’’ යයි කීවේය. මේ අයුරින් හඳුනා ගැනීම් රැසක් සිදුවීමෙන් පසු ‘‘අලියා නෑවීම’’ යන ප‍්‍රකාශය පිළිබඳව ඉතා වැදගත් කරුණක් අනාවරණය විය.

පාලිත ජීවත්ව සිටියදී සෙල්ලම් අලියෙක්ව ළිඳ වෙත ගෙන ගොස් නෑවීම කුඩා කල දී සිදුකළ බැව් හෙළිවිය. අලි නෑවීමේ ප‍්‍රකාශය සනාථ වූයේ ඒ අයුරිනි.


ගාමිණී හෙළි කළ අනෙකුත් කරුණු අතර නිමල් යනුවෙන් හඳුන්වන ලද්දේ පාලිතගේ මල්ලී පිළිබඳව බැව්ද අනාවරණය විය. වරක් නිමල්ව බල්ලෙකු විසින් සපා කෑමක් සිදුවූ බවද මෙම පර්යේෂණයේදී හෙළිවිය. නිමල්ව හඳුනාගැනීමත් නිවසේ තිබූ භාණ්ඩ කීපයක් නිවැරදිව හඳුනා ගැනීමටත් එදා මෙම දරුවාට හැකිවූයේ එහි රැස්ව සිටි පිරිස් පුදුමයට පත්කරවමිනි.

තම සොහොයුරා වූ නිමල් පිළිබඳව ඔහු කළ තවත් ප‍්‍රකාශයක් වූයේ නිමල් වරක් ඔහුගේ පපුව සපා කෑමක් සිදුවූ බවකි. ඒ පිළිබඳව විමසීමේදී අනාවරණය වූයේ කුඩා කලදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුමක දී නිමල් විසින් ගාමිණීගේ පපුව ප‍්‍රදේශය සපාකෑමක් සිදුවූ බවය. එදා සපා කෑ ස්ථානයේ ගාමිණීගේ උපතින් කැළලක් දක්නට ලැබීම මෙම පුනර්භව සාධකයේ ප‍්‍රබලතම සාක්කියක් බවටද පත්විය.

අනතුරුව ගාමිණීට ඔහු පෙරභවයේ ඉගෙනීම ලැබූ පාසල වෙත යාමට ද අවස්ථාව ලැබිණි. එදා පාසල වෙත ගිය ඔහු පෙරභවයේදී ඉගෙනීම ලැබූ පන්ති කාමරයත් භාවිත කළ අසුන පිහිටි ස්ථානයත් නිවැරදිව පෙන්වා දුන්නේය. පාලිත අධ්‍යාපනය ලබා තිබුණේ වේයන්ගොඩ ශාන්ත මේරි විදුහලේ ය.

ගාමිණීගේ පෙරභවය සනාථවීමෙන් පසු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මේ පිළිබඳව සිදුකළ පර්යේෂණයට සහභාගිවීමට අපට ද අවස්ථාව ලැබිණි. ගාමිණී නිට්ටඹුව නිවසට යන ගමන් මාර්ගය පිළිබඳව එදා ඔහුට ඉතා හොඳ මතකයක් තිබූ බැව්ද මෙහිදී දක්නට ලැබිණි. ප‍්‍රධාන මාර්ගයේ සිට හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කළ යුතුව තිබූ එම නිවස ගාමිණී විසින් නිවැරදිව හඳුනා ගත් බැව් දක්නට ලැබිණි.

පෙරභවයේ ජීවිතය අවසන්වූ අන්දම ඒ වනවිට නිරීක්‍ෂණය නොවිණි. එය සිදුවූ අන්දම විමසීමට පාලිතගේ මව හමුවීමට අපට හැකිවිය. එහිදී පාලිතගේ මව ඒ පිළිබඳව අනාවරණය කළේ මෙසේය.

”මගේ පාලිත පුතා ඉගෙන ගත්තේ වේයන්ගොඩ ශාන්ත මේරි විද්‍යාලයේ. ඒ වනවිට එයාට වයස අවුරුදු අටයි. පුතා ඉස්කෝලෙ යන්න පහසු නිසා බෝඩිමක නතරවෙලා හිටියා. නිවාඩු දවස්වලට ගෙදර එනවා. එයා නැතිවුණ මාසෙ නිවාඩුවට ගෙදර ආපු වෙලාවෙ මම පුත්තු දෙන්නටම පණුවන්ට බෙහෙත් දුන්නා.

ඊට පස්සෙ එයාට වමනයක් හැදුණා. අනෙක් පුතාට කිසිම අමාරුවක් ඇතිවුණේ නෑ. පාලිතගෙ වමනය කිරීම වැඩි නිසා අපි එයාව රෝහල් ගත කළා. දින දෙකකට පස්සේ එයා මරණයට පත්වුණා” යයි ඇය අප සමඟ පැවසුවාය.
පාලිත කතෝලික ආගම අනුව ඇදහීම් කළ පවුලක උපත ලබා සිටි දරුවෙකි. කුරුසය පිළිබඳව ඔහු වෙත තිබූ අවබෝධය ගාමිණීට ඇතිවීමට හේතුවක් නොවූ බැව්ද හෙළිවිය. එහෙත් ගාමිණි කෝටුවකින් කුරුසයක් තනා එය බිත්තියේ එල්ලන ලෙස මවගෙන් ඉල්ලා සිටීම මෙම පුනර්භව සාධකයට ප‍්‍රබල සාක්කියක් වූ බැව් මහාචාර්ය ස්ටීවන්සන්ගේ වාර්තාවකට ද ඇතුළත් කර ඇත.

නිට්ටඹුවේ පදිංචිව සිට පාලිත මරණයට පත්වූයේ 1960 ජුලි 28 වැනිදා වතුපිටිවල රෝහලේදීය. පෙරභවය හෙළිකළ ගාමිණීගේ උපත සිදුවූයේ 1962 නොවැම්බර් 13 වනදාය. ඒ වනවිට පාලිත මියගොස් වසර දෙකක් සහ මාස තුනක් ගතවී තිබිණි.


ගාමිණී පෙරභවයේ නිවස සහ පාසලේ පන්ති කාමරය හඳුනා ගැනීමත් මෙම පුනර්භව සාධකයේ තවත් ප‍්‍රබල සාක්කියක් විය.

ඒ සමගම පාලිතගේ සොහොයුරෙකුගේ නම නිවැරදිව ප‍්‍රකාශ කිරීමත් ඔවුන් කුඩා කලදී සිදුකළ දඟකාර ක්‍රියාවක දී නිමල් විසින් පාලිතව සපා කෑ ස්ථානයේ ගාමිණීගේ උපතින්ම කැළලක් පිහිටීමත් අතිශය ප‍්‍රබල සාක්‍ෂි බවට පත්වී තිබිණි.

මෙම දරුවාගේ පෙරභවය සනාථවීමෙන් පසු පාලිත මියයෑමට පෙර අවසන් වරට නිවසට පැමිණ කළ ප‍්‍රකාශයක් පිළිබඳව ද පෙරභවයේ මව අනාවරණය කළාය.

එනම් පාලිත එදා නිවාඩුවට වේයන්ගොඩ සිට නිට්ටඹුව නිවසට පැමිණ ඔහුගේ පොත් බෑගය පසෙකට තබා කළ ප‍්‍රකාශයකි.

‘‘මම මීට පස්සෙ ඉස්කෝලෙ යන්නෙ නෑ’’ යනුවෙන් කළ ප‍්‍රකාශය එය විය. කිසිදිනෙක තම පුත‍්‍රයා එවැනි ප‍්‍රකාශයක් මීට පෙර සිදු නොකළ බැව් සෙනෙවිරත්න මහත්මිය අප සමඟ හෙළි කළාය. ඒ අයුරින්ම පාලිතගේ මරණය නිසා නැවත පාසලට යාමට නොහැකි විය. එම ප‍්‍රකාශය ඔහුගේ මරණය පිළිබඳව කරන ලද ඉඟියක් විය හැකි යයිද සෙනවිරත්න මහත්මිය විශ්වාස කරන බැව්ද පැවසුවාය.

එම ප‍්‍රකාශය ද මෙම පුනර්භව පරීක්‍ෂණයේදී අතිවිශේෂ සිදුවීමක් ලෙසට පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ. මහාචාර්ය ස්ටීවන්සන් ඒ බැව්ද සිය පර්යේෂණ වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙසේය.

‘‘AS HE ENTERED THE HOUSE, INSTEAD OF PUTTING HIS SCHOOL BAG IN THE CUPBOARD AS HE USUALLY DID HE LAID IT ON A CHAIR AND MADE THE SURPRISING REMARK ‘‘I SHALL NOT BE GOING TO SCHOOL AGAIN’’යනුවෙනි.

පෙරභවය හෙළිකළ දරුවන් අතරින් පෙරභව ඥාතීන් නොකඩවා ඇසුරු කරන අයකු ලෙස ගාමිණීගේ පුනර්භව සාධකයට විශේෂ තැනක් හිමි වේ. ගාමිණී අද තිදරු පියෙකි. තවමත් ඔහු පෙර භවයේ මව සහ සොයුරු සොයුරියන් බැලීමට නිතර පෙර භව නිවසට යෑම සිරිත වී ඇත.

තිස්ස ජයවර්ධන