සියලු ජාතීන්ට ආදරය කළ පන්සලේ පියතුමා

“මම බුදු දහමට ආදරය කරන්නේ, මා නියම කිතුණුවකු නිසයි.” මාගේ පාසල් කාලයේදී මර්සලීන් ජයකොඩි පියතුමාගේ මෙම වැකිය පුවත් පතක හෝ පොතක දැක ඇත්තෙමි. එහෙත් අද, එය කොහේ කොතනක තිබුණාදැයි අමතකය. කෙසේ වුවද පියතුමාගේ එම වැකිය නිසා මම පියතුමාට භක්‌තිවන්තව එදා සිට ආදරය කරමි. ඒ මම බෞද්ධ අයෙකු නිසාවෙනි.

2017 ජුනි 03 වැනි දිනට යෙදෙන, මර්සිලින් ජයකොඩි පියතුමන්ගේ 115 වැනි ජන්ම දිනය වෙනුවෙන් මෙම ලිපිය මා ලියනු ලබන්නේ උන් වහන්සේ ජීවත්ව සිටියදී ලිපියක්‌ ලියා ගැනීමට නොහැකි වූ කම්පාවෙනි. එහෙත් මා එසේ සිතුවද, උන්වහන්සේගේ පුළුල් වූ චරිතය වෙනුවෙන් මට ලිපියක්‌ ලිවීමට හැකිද යන්න දැනුදු මට සියුම් ගැටලුවකි. මා රැකියාව කරන පාර්ලිමේන්තුවේ බෞද්ධ සංගමයේ ආරම්භක ලේකම් වීමේ භාග්‍ය මට ලැබුණි. වි.ජ.මු. ලොකුබණ්‌ඩාර කථානායකතුමාගේත්, කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේත්, එවක මහලේකම්වරුන්ගේත් අගය කිරීම හා ස්‌ථිර කිරීම මත, පාර්ලිමේන්තු කාර්ය මණ්‌ඩලය සමග අපමණ දම් දෙසුම් සංවිධානය කරන ලදී. මෙහිදී මට ශක්‌තියක්‌ වූ සභාපති ඊ.බී.පී. අබේසේකර මහතාද සිහිකරමි. බුදුගුණ සරලව වින්දනය කිරීම වෙනුවෙන් ආචාර්ය වික්‌ටර් රත්නායක හා ටී.එම්. ජයරත්න යන හෙළයේ මහා ගායක දෙපළ දින දෙකකදී පාර්ලිමේන්තුවට කැඳවා බොදු ගී සඡ්Cධායනා වැඩසටහන් මගින් ආගම් බේදයක්‌ නොතකා කාර්ය මණ්‌ඩලීය හිත් සැනසූ වෙමු. එම දෙපළ සැදැහැ සිතින් මා සමග සම්බන්ධ වූවා මිස මුදලට මුල්තැනක්‌ නොදීම මෙහිදී පින්දී සිහිකරමි.

මාගේ මීළඟ සිහින ප්‍රයත්නය වුයේ කතෝලික පියනමකගේ බොදුනු දෙසුමක්‌ බෞද්ධ සංගමය මගින් සංවිධානය කිරීමය. මේ කිසිවෙකුටත් නොකියු මම මර්සලීන් ජයකොඩි පියතුමාට හැව්ලොක්‌ පාරේ පිහිටි දහම් නිකේතනයට පස්‌වන දිනයේද දුර ඇමතුමක්‌ දුනිමි. එහි සිටින වෙනත් අයකු දුරකථනයට සම්බන්ධ වුවද, මම පියතුමාට කතාකළ යුතුම බව ඔහුට පැවසීමි. විනාඩියකින් අනතුරුව, පියතුමා මට ආශිර්වාද කරමින් දුරකථනය ගෙන බොහෝ දේ කතා කළේය. මාගේ අදහස උන්වහන්සේට පැවසු විට ඒ ගැන මහත් අගය කිරීමක්‌ කර, මට පවසන ලද්දේ, “ලේකම්තුමාගේ ආරාධනාව පිළිගැනීමට කැමතියි. ඒත් මගේ ශරීරය දුර්වලයි. හොඳ වැඩකට එන්න මේ හයිය ඇති. ඒත් ඔහේ රැකියාව කරන්නේ නා, නා, අදහස්‌ දරන්නන් සිටිනා තැනකයි. ඔවැනි තැනක ඔවැනි දෙයක්‌ කිරීමට නැවත, නැවත හා නැවත සිතා මා හමුවීමට එන්න”. ඒ උන් වහන්සේගේම වචන පෙළය. එම රන් හා සමාන වචන පෙළ ගැඹුරින් සිතුවෙමි. අදත් සිතමි. මම බෞද්ධයකු වශයෙන් තෙරුවණ්‌ සරණ පතා දුරකථනයෙන් සමු ගතිමි.

පසුකාලීනව වි.ජ.මු. ලොකුබණ්‌ඩාර කථානායකතුමා, සිය නිල නිවසේ කළ දහම් වැඩසටහන් මාලාවේ එක්‌ වැඩසටහනක්‌ වුයේ “දියවන්නා නත්තල් ගී මිහිර” යි. මෙය පැවැත්වු 2007.12.20 දින බෙනඩික්‌ ජෝශප් පියතුමා විසින් රචිත “දේශීය නත්තල් ගීතාවලියෙන් මතුවන ජයකොඩි – පිය ලකුණ” ග්‍රන්ථය දොරට වැඩි මොහොතේ පියතුමාගේ අත්සන ලබා ගනිමින් පියතුමා අතින්ම එම වටිනා මිහිරක්‌ දනවන ග්‍රන්ථය ලබා ගතිමි. එය කියවීමෙන් නැවත ජයකොඩි හිමිනම මුණගැසුනා සේ දැනින. මෙම ග්‍රන්ථයේත්, ඉත්තෑපානේ ධම්මාලංකාර මහාතෙරුන් වහන්සේ රචනා කල “මල්පැලේ උපන් පන්සලේ පියතුමා” ග්‍රන්ථයේත් උන්වහන්සේ අදටත් ජීවත් වේ. මෙම ග්‍රන්ථයන්ගෙන් ගත් ඇතැම් කරුණු මෙම ලිපියට යොදා ගැනීමට ඔබ වහන්සේලා දෙනමගෙන්ම දන නමා අවසර පතමි.

මර්සලින් ජයකොඩි පියතුමා මෙසිරි ලකට අති විශිෂ්ට සේවාවක්‌ සැලසු කතෝලික පියතුමකු, කවියකු, ගීත රචකයෙකු, ලේඛකයකු, මෙන්ම ඉතාමත් අහිංසාවාදී දුලබ මානව හිතවාදියෙකු ලෙස ලක්‌ සමාජයේ ගෞරව බහුමානයට පාත්‍ර වුවන්ගෙන් එක්‌ අයෙකි.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය, “නමෝ නමෝ මාතා” මුල්ම වතාවට ගායනා කර නිදහස්‌ දිනයේ එළිදැක්‌වීමට කොළඹ, මියුසියස්‌ විද්‍යාලයේ දරුවන් සියදෙනකුට පුහුණු කිරීමේ මහා වගකීම රජය විසින් පවරා තිබුණේ පාසල් ගුරු වෘත්තියේ යෙදී සිටි ජයකොඩි පියතුමාටය.

උන්වහන්සේ බෞද්ධ හා කතෝලික ආගම් දෙකම තමාගේ ආගම වශයෙන් හිතුවා පමණක්‌ නොව එය නිර්මාණාත්මක කලාවෙන් ඔප්පු කරනු ලැබුවා. පන්සල, පල්ලිය සමග කහ සිවුර හා සුදු ලෝගුව සමග සහජීවනයෙන් ගත කිරීම එතුමා රටට කියා පානු ලැබුවා. බොදු, කිතුනු ආගමික සහජීවනය උදෙසා කළ සේවය අගය කරමින් අහිංසක පියතුමන්ට භක්‌තිවන්ත බොදුනුවන් පන්සලේ පියතුමා යනුවෙන්ද, භක්‌තිවන්ත කිතුනුවන් පල්ලියේ හාමුදුරුවෝ නමින්ද හඳුන්වනු ලැබුවා.

ජයකොඩි පියතුමා කිසි විටක මුදලට මුල්තැනක්‌ නොදුන් බව රටම දන්නා කරුණකි. පිලිපීනයෙන් උන් වහන්සේට ‘මැග්සේසයි’ සම්මානය සමග ලක්‌ෂ 5 ක, මුදලක්‌ සහ රත්‍රන් පවුමක්‌ ලැබුණි. විදේශීය මුදලින් ලැබුණ එය ලංකාවේ මුදලට පරිවර්තනයකළාම ලක්‌ෂ 8 ක්‌ විතර, ඒත් එයින් උන්වහන්සේ සැප ලැබුවේ නැහැ. ඒ මුදලින් ලක්‌ෂයක්‌ සමස්‌ත ලංකා කවි සම්මේලනයට පරිත්‍යාග කළ අතර, ඉතිරියෙන් රාගම ඉඩමක්‌ මිලට ගෙන “කලා ලංකා” කියල පාසලක්‌ සාදනු ලැබීය. මෙහි පෙර අපර දිග සංගීතය, චිත්‍ර, මූර්ති, නැටුම් වැනි දේශීය කලාවට මුල්තැනක්‌ දෙන අධ්‍යාපනික කටයුතුවලට අවස්‌ථාව ලබා දෙනු ලබයි. උන් වහන්සේ කලාවට ලැදිකම නිසාම මෙම ආයතනය පිහිටුවීම මෙය හදාරන ලොකු කුඩා කාටත් මහා සේවයකි.

රටේ ජාතීන් අතර සමගියටත්, ආගම් අතර සමගියටත් ජයකොඩි පියතුමා විසල් මෙහෙවරක්‌ ඉටු කළ අයෙකි. උපතින් ගෙන ආ කලාකාමී අදහස්‌ සමග නිතර ජීවත් වූ පියතුමාගේ සෑම නිර්මාණයක්‌ම ජාතියේ ප්‍රශංසාවට ලක්‌විය.

“සුදු සඳ එළියේ නළ මත පොපියන – හිරිමල් කැකුළක රොන් කෙමියේ…”

“වෙසක්‌ කැකුළු අතු අග හිඳ නටන විලාසේ…”

“ඕලු නෙලුම් නෙරිය රඟාලා….” වැනි නිර්මාණ එදත්, අදත්, හෙටත් ප්‍රශංසාවට ලක්‌ වන බව ඔබද පිළිගන්නවා නොඅනුමානය.

උන්වහන්සේගේ කිතුනු, බොදුනු හා අනෙකුත් නිර්මාණයන්ට හිමිවූ සම්මාන ප්‍රමාණවත් නැති යයි මට හැඟේ. 1975 වසරේදී “රන් මලක්‌” පුදා විලියම් ගොපල්ලව ආණ්‌ඩුකාරතුමා ජාතියේ උපහාරය පිරිනමනු ලැබු අතර, 1987 දී “මුතු” කාව්‍ය වෙනුවෙන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වුනා. එසේම 1982 දී “කලාසූරී” සම්මානයත්, සමස්‌ත ලංකා සිංහල කවි සම්මේලනයෙන් “කාව්‍ය මහෝපාධ්‍ය 2” සම්මානයත්, කතෝලික සභාවෙන් “කිතු නන්දන” සම්මානයත් උන්වහන්සේට පිරිනමනු ලැබුවා. එසේම විද්‍යාලංකාර මහා පිරිවෙනින් “කාව්‍ය ශ්‍රාවස්‌ත්‍රී ශිරෝමනී” සම්මානයෙන් උන්වහන්සේ පිදුම් ලැබුවා. “රැමොන් මැග්සේසයි” සම්මානය උන් වහන්සේට පිරිනැමුනේ 1983 වසරේ දීය.

මෙම ලැබුන සම්මාන ගොන්න උන්වහන්සේ සැලකුවේ තමාට නොව රටට ලැබුන සම්මාන ලෙසය. මෙම සම්මානයන් ගැන කියු කථාවක්‌ මට හමුවුනා ජයකොඩි පිය ලකුණ ග්‍රන්ථයේ 13 වැනි පිටුවෙන්. උන්වහන්සේ මේ සම්බන්ධයෙන් බෙනඩික්‌ ජෝෂප් පියතුමාට පවසන්නේ මේ ආකරයෙනි. “දැන් මට කලාශූරි කියනවා, කාව්‍යයේ මහා උපාධ්‍යාය කියනවා, මැග්සේසයි ත්‍යාග ලාභී කියනවා. මොනවද නොකියන්නෙ.” පියතුමා මෙම සම්මාන දෙස බැලුවේ එවැනි සරල චින්තනයකිනි.

පියතුමා විසින් රචිත නත්තල් කැරොල් ගී, කිතු බැති ගී, බොදු ගී, ජන ගී, ගැමි ගී හැරුණ විට කෙතරම් අගනා ගද්‍ය රචනා තිබේදැයි එතුමා සම්බන්ධ පොත පත කියවීමේදී හමු වේ.

රේඛාව චිත්‍ර පටයට නිර්මාණය “කළ කබරගොයා ඇගේ සුරතලී” (ඕලු නෙලුම් නෙරිය රඟාලා) ගීතය අද සිටින පෙර පාසැල් දරුවා පවා ආදරයෙන් විග්‍රහ කරමින් ගායනා කරනු ලබයි. විනෝද චාරිකාවකදී ලොකු කුඩා රසිකයකු අනිවාර්යයෙන්ම එදා මෙන්ම අදත් ගායනා කරන මෙම ගීතය ලිව්වේ කව්දැයි යන්න අද පරම්පරාවේ ඇතැමෙන් නොදන්නා තරම්ය.

උන්වහන්සේ පරිසරය හා මුසු වෙමින් ලියු බොදු ගී හා කවි කෙතරම් සුන්දරද,

වෙසක්‌ වෙලා ඇයි, උඩවැඩියා මල – ගසක්‌ උඩට වී මල් පිපුනේ

සඳවත නරඹා ‘සුපුන් පොහොය දා’ – පුජා වන්නද වන මුදුනේ

උන්වහන්සේගේ රචනාවන්ට ගැමි අත්දැකීම්, ගැමි වචන, සරල බව, කෙටි යෙදුම් මුසුකර තිබීම මෙම පද්‍යායෙන් මොනවට පැහැදිලි වේ.

අකුරු ගිහින් නම ලිව්වා

පෝයට “සාදුයි” කිව්වා

බතල, මිරිස්‌ අල වැව්වා

මාලිට හසුනක්‌ යෑව්වා

මෙහි සරළ තේරුම දෙස බලන විට ගැමි තරුණයෙක්‌ තමාගේ ජීවිතේ ගැට ගහ ගන්න අකුරක්‌ ඉගෙන ගත්ත, ආගම දහමට ලැදි වුනා, කන්න බොන්න වගා කළා, පෙළවහකට මුල පිරුවා. මෙය කෙතරම් සුන්දර පද වැලක්‌ද.

උන්වහන්සේ යතිවරයෙකි. ලෝකයටම ආදරය කරන කෙනෙකි. එහෙත් ගිහි අපගේ ආදරය මම හිතනා විදියට යතිවරයෙකුගේ ආදරයට සමාන කළ නොහැකි වේ. අපි ආදරයෙන් වේදනාව උරුම කරගන්නෝය. එහෙත් අපේ පියතුමා තම කලා නිර්මාණයන් අපේ අත්දැකීම්වලට වඩා ඉදිරියට ගොස්‌ කලාත්මකව සිතීමට දක්‌ෂ වීම කෙතරම් අගනේද. මෙම ගැමි ගී නිර්මාණයේ කව් ගණනාවකින් මා අපිළිවෙළට තෝරා ගත් කවි තුන එය මනාව පැහැදිලි කරයි.

ඉද්ද මලුයි, සමන් මලුයි නුඹෙ ඇස්‌ වාගෙයි

හිමින් යන්නකො මැණිකේ ඔසරිය පෑගෙයි

දන්නෙ නැද්ද මේ වයසට ඔහොම තමාලු

ළඟින් ගියත් ගස්‌වැල්වල මල් පූදීලු

ඒකට මට හතර හිනා මල් වගේද තොල්

නෑ ඇත්තට මට කියන්න තොල් වගේද මල්

මර්සිලින් ජයෙකොඩි පියතුමාගේ පැවිදි දිවියත්, කලා දිවියත්, ජීවන ගුණාංගත් මට ලියා ඉවර කරන්නට බැරිය. එහෙත් මෙම ලිපිය නිර්මාණය කළේ උන්වහන්සේට පාසැල් වියේ සිට මා තුළ උපන් ආදරය නිසාය.

ජයකොඩි හිමිපාණන් සිව්පා සතුන්ටද මනා ලෙස ආදරය කළ කෙනෙකි. විශේෂයෙන් උදේ හවස දකින හූනා සහ ගෙම්බා ගැනද ඔවුන් සමග කතා කරමින් කවියක්‌ හා ලිපියක්‌ ලිවීමටද අමතක නොකිරීම කෙතරම් ගුණවන්ත කමක්‌ද.

පියතුමා හූනෙකුට ලියු කව් ගොන්නකින් මේ, එකකි.

නුඹ එක හොඳ දෙයක්‌ කරනව දන්නවද

උඩුබැලි අතට හිඳ මගෙ සීලිමට වැද

මිනිසා කරන කෝලං බලනව නොවෙද

කියපන් මටත් ඒ කොහොමද යනු හොඳද?

උන් වහන්සේගේ 115 උපන් දිනයට උපහාරයක්‌ වශයෙන් පළ කරන මෙම ලිපිය අවසන් කරන්නේ විවෘත සංදේශයක්‌ නමින් උන්වහන්සේගේ නිතර දකින සමීපයෙකුට එනම් “ගෙඹිහාමි සර්ට” ලියු ලිපියෙනි. (මෙම උපුටා ගැනීම් බෙනඩික්‌ ජෝෂප් හිමිපාණන් විසින් රචිත දේශීය නත්තල් ගීතාවලියෙන් මතුවන ජයකොඩි පියලකුණ ග්‍රන්ථයෙනි.)

මගේ කාමරේට රෑට රෑට එන ගෙඹි හාමිට විවෘත සන්දේශයක්‌.

ගෙඹිහාමි සර්,

තමුසෙ, කොයි ලෝකෙ ඉඳල ද මේ රෑ දෙගොඩ හරියේ මා කුරුටු ගගා ඉන්න වේලාවේ මගේ පුටුව ළඟට ඇවිත් අහලින් පහළින් යන මැස්‌සන් මදුරුවන් ගිල ගන්නෙ ?. ඔය දිව තමා දිව· විදුලිය වගේ එළියට එනව. විදුලිය වගේ ඇතුළට යනව. ඔය චූටි සත්තුන්ගේ පර ලෝකේ තමුසෙගෙ බඩද? අපි වගේ ලුණු ඇඹුල් බල බල ඉන්නෙ නෑ තමුසෙ. ගත්ත, ගිල්ල. තමුසෙගෙ පවුල් දිවිය හරි වාසනාවන්තයි නේද? ගෙඹි හාමිනේ එක්‌ක සන්ඩු නෑ ලුණු ඇඹුල් ගැන.

ඉඳ හිටල මට පෙනුනා තමුසේ මා දෙසත් බලනවා. “නුඹටත් ඔය ටික තමා” කියනවා වාගේ, අනේ සර් එහෙම නම් හිතන්න එපා. මා තමා පිරුළු කතාවේ කියන කෙහෙල් ගහ, අන්තිමට කෑරලා කොටන· හොඳද?

මම තමුසෙට වගක්‌ කියන්නද? තමුසෙගෙ ගමන උඩ පැනීමෙන් නේද වෙන්නෙ? නෑ, ඇත්තට තමුසෙට හිතුනේ නැද්ද කවදාවත් උඩ පැන්නොත් බිම වැටෙනව කියා? තමුසෙ දන්නෙ නැද්ද ඔයිට වැඩියෙ ලොකු මිනිස්‌සු උඩ පැනල බිම වැටිල, අනන්ත බිම බඩගානවා කියා. මෙන්න එහෙනම් මම තමුසෙට හූනා කියනව වගේ කියනව ඔය තමුසෙ උඩ පනින වෙලාවට මම ගැහැව්වොත් පයින් තමුසෙට නොමිලේ හඳට ගිය හැකියි කියල. එහෙ ගිහිනුත් දැන් වැඩක්‌ නෑ. එහෙ හාල් ඉවරලු. කරුණාකරල මහ බඹාගෙන් ඉල්ලන්න වරමක්‌, අනික්‌ අය වගේ කකුලෙන් බැරිනම් බඩගාගෙනවත් යන්න. ඔය උඩ පැන පැන යැම තමා තමුසෙගේ මාරකේ වෙන්නෙ කවද හරි හොඳේ……..

මේ වගට තමුසෙ හොඳට දන්නා අඳුනන,

ජයකොඩි හිමි.

බොදුනු, කිතුනු සැමටත්, සමස්‌ත ලෝ වාසීන්ටත් ප්‍රේමකළ මර්සිලින් ජයකොඩි පියතුමා 1998.01.15 දින, ස්‌වර්ගස්‌ත විය. මෙය ලියන මා බෞද්ධයෙකු බැවින් උන් වහන්සේට නිවන් සුව පතමි!

පී. ලක්‌ෂ්මන් කුමාර