ඔබ දන්නවාද ගෝඨයිම්බර යෝධයාගේ ලෙන් පූජාව

යාල මහ වන මැද පුදබිම ලෙස සිව්දිග ප්‍රසිද්ධියට පත් සිතුල්පව්ව රජ මහා විහාරය දේවානම්පියතිස්‌ස සමය වන විටත් බෞද්ධ පුදබිමක්‌ ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබූ ස්‌ථානයක්‌ බවට දෙතිස්‌ ඵලරුහ බෝධීන්වහන්සේ නමක්‌ රෝපණය කිරීමෙන් පැහැදිලි වේ. මූලාශ්‍රය සාධක වලට අනුව දොළොස්‌ දහසක්‌ රහතුන් වැඩසිටි සිතුල්පව්ව පුදබිම වර්තමානයේ නටබුන් සමූහයක්‌ පමණක්‌ ශේෂ කර ඇත. මහා පාෂාණ උද්ගතය මත ගරාවැටුණු පෞරාණික ස්‌තූපය මෑත කාලයේ සුදුහුණු පිළිසකර කර නැවත ඉදිකර ඇත. එසේම සිතුල්පව්වට අලංකාරයක්‌ එක්‌ කරන කුඩා සිතුල්පව්ව චෛත්‍යයද ගරා වැටී තිබී අසූව දශකයේදී පමණ හුණු පිළිසකර කරමින් සංරක්‌ෂණය කර ඇත. මෙම ප්‍රධාන ස්‌මාරක දෙකට අමතරව සිතුල්පව්ව ආරාමික සංකීර්ණය පුරාම දැකිය හැකි ලොකු කුඩා චෛත්‍ය ප්‍රමාණය බෙහෙවින් ඉහළය. මහාවංශයට අනුව වසඹ රජු ක්‍රි.ව. 1 වැනි ශතවර්ෂයේදී සිතුල්පව්ව ප්‍රධාන පර්වතයේ ස්‌තූප 10 ක්‌ කළ බවට සඳහනක්‌ එයි. එම සාහිත්‍ය මූලාශ්‍ර සාධකය තහවුරු කරමින් වර්තමානය වන විටත් ස්‌තූප 7 ක පමණ සාක්‍ෂි දක්‌නට ලැබේ.

සිතුල්පව්ව ප්‍රධාන පර්වතය කේන්ද්‍ර කර ගනිමින් විසිරී ඇති ආරාම සංකීර්ණය තුළ ඉතා විශාල වශයෙන් කටාරම් සහිත ලෙන් රාශියක්‌ මෙන්ම පූර්ව බ්‍රාහ්මී ලිපි සහිත හා රහිත ලෙන් බහුලව දැකිය හැකිය. ගල්ලෙන්වලට අමතරව භූමියේ පිහිටීම භාවිතයට ගනිමින් ඉදිකරන ලද ගොඩනැඟිලි අපමණය. ඒ අතර පිළිමගෙය, බෝධිඝරය, උපෝසථඝරය හා ප්‍රධාන ලෙන හා ඒ තුළ පිහිටි සිතුවම් වැදගත් වේ. ඊට අමතරව වනගත නටබුන් ගොඩනැඟිලි බොහොමයක්‌ මෙතෙක්‌ පුරාවිද්‍යා කැණීම් කොට මතුකරගෙන නැතත් විශාල වශයෙන් ඉදිකිරීම් තිබූ බවට එම නටබුන් සාක්‍ෂි දරයි. සිතුල්පව්වේ ආරාමික ප්‍රදේශයේ සුන්දරත්වය ඔප්නැංවෙන තවත් පැරණි ඉදිකිරීමක්‌ ලෙස දක්‌ඛිණ තිස්‌ස වැව හැඳින්විය හැකිය. මෙම වැව මෑත කාලයේ පිළිසකර කර ඇතත් අද දක්‌නට ලැබෙන ප්‍රමාණයට වඩා දිගින් යුතුව අතීතයේ තිබූ බවට සක්‍ෂි පවතී.

සිතුල්පව්ව අනුරාධපුර යුගය ආරම්භයේ සිටම දිවයිනේ ප්‍රධාන පෙළේ විහාරස්‌ථානයක්‌ ලෙස පැවති බවට සාක්‍ෂි ලැබේ. එකල දේශපාලන බෙදීම් වලට අනුව රුහුණු රටට අයත් මෙම පුදබිම සඳහා අනුග්‍රහය දැක්‌වූ රජවරුන් දිවයිනේ අගරජු වීම කැපී පෙනෙන ලක්‍ෂණයකි. ප්‍රධාන පර්වතය හා ඒ අවට ගල්තලා මත දක්‌නට ලැබෙන ගිරි ලිපි වලට අනුව මෙම ස්‌ථානය සඳහා වසඹ, ගජබාහු, ඉලනාග, කණිට්‌ඨතිස්‌ස වැනි රජවරුන් සෘජුවම අනුග්‍රහය දක්‌වා ඇත. එසේම ආරාමික සංකීර්ණය පුරා විසිරී ඇති පූර්ව බ්‍රාහ්මී කටාරම් ලෙන් ලිපිවලට අනුව රජවරුන්ට අමතරව සෙනෙවිවරුන්ද මෙම ස්‌ථානයට තමාගේ ශක්‌ති ප්‍රමාණයෙන් අනුග්‍රහය දක්‌වා ඇත. එවැනි අවස්‌ථාවක්‌ ලෙස දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි නන්දිමිත්‍ර, වේලුසුමන, ඵුස්‌සදේව හා ගෝඨයිම්බර යන යෝධයන් මෙම ස්‌ථානයට කරන ලද පූජාවක්‌ පිළිබඳව එම ලෙන් ලිපිවල සඳහන් වී ඇත. නන්දිමිත්‍ර “මිත” ලෙසත් වේලුසුමන “වේලුස්‌ ලෙසත් ඵුස්‌සදේව “පුසදේව” ලෙසත් ගෝඨයිම්බර “අයිමර” ලෙසත් මෙම ලිපිවල සඳහන්ව ඇත.

ක්‍රි.පූ. 161 – 137 අතර කාලය ලංකා ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකුගේ රාජ්‍ය කාලයයි. එනම් දුටුගැමුණු රජු එවකට අනුරාධපුරයේ රජ කළ ද්‍රවිඩ පාලකයෙන් වූ එළාර රජු මරණයට පත් කර අනුරාධපුරයේ සිට රට පාලනය කළ අවධියයි. දුටුගැමුණු – එළාර යුද්ධයෙන් පසු දුටුගැමුණු රජු අඩසියවසකට ආසන්න කාලයක්‌ අතපසු වූ බෞද්ධ ආගමික ප්‍රබෝධය යළි ඇතිකිරීම සඳහා තම රාජ්‍ය කාලය සම්පූර්ණයෙන්ම කැප කළේය. මෙම කාලය තුළදී එතුමාට මහත් ශක්‌තියක්‌ වූ එතුමාගේ හමුදාවේ සිටි ප්‍රධාන සෙනෙවියන් ද රජු සම`ග රටේ ආගමික ප්‍රබෝධය සඳහා කැපවීමෙන් කටයුතු කළේය. ඒ අනුව සිතුල්පව්ව ආරාමික ප්‍රදේශයේ වර්තමානයේ ප්‍රසිද්ධියට පත් “අයිමර ලෙන” සිතුල්පව්වේ වැසි යෝගාවචර රහත් උතුමන්ට පූජා කරන ලද බවට එහි සඳහන් පූර්ව බ්‍රාහ්මී ශිලා ලේඛනය සාක්‍ෂි දරයි.

ඓතිහාසික දක්‌ඛිණතිස්‌ස වැවේ ඉස්‌මත්තේ වම් පසින් කඳු ගැටය පාමුල උස්‌ බිමක සුන්දර පරිසරයක පිහිටි මෙම ලෙන දක්‌ඛිණ තිස්‌ස වැවේ නිල් දියරැලි පිස එන සුළඟට අභිමුඛව ඉදිකර ඇත. ස්‌වාභාවිකව පිහිටි විශාල ගල් කුට්‌ටියක ඇතුළට නෙරාගිය ඉඩකඩ භාවිත කරමින් මෙම ලෙන සකසා ඇත. ලෙන තුළට ජලය ඒම වැළැක්‌වීම සඳහා කටාරමක්‌ යොදා ඇති මෙම ලෙනේ එම කටාරම යටින් පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරයෙන් පහත සඳහන් ශිලා ලේඛනය දක්‌නට ලැබේ.

“පරුමක මහතිෂ පුත පරුමක අයිමරහ ලෙණෙ ¨ය ශදි ශදය පරුමක ශුපටම ක්‌ධිත පරුමකලු ශොණය”

අර්ථය ( ප්‍රධාන වූ මහාතිස්‌සගේ පුත් ප්‍රධාන වූ අයිමර සහ තම බිරිඳ වූ ප්‍රධාන සුපටමගේ දියණිය වූ ප්‍රධානී සෝනා සම`ග එක්‌ව (පූජා කරන ලද) ලෙන.

මෙම අක්‍ෂර පේළියට යටින් ඉතා අලංකාර සිතුවම් තිබූ බවට සාධක දැනුදු ශේෂ වී ඇති අතර එම සිතුවම් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. වර්තමානය වන විට සිතුල්පව්වේ වැසි යෝගාවචර භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා නැවත ගල් කුට්‌ටි භාවිතා කර ලෙන ආවරණය වන ලෙස ගෘහයක්‌ ඉදි කර ඇත.

මෙම ලෙනේ විශේෂත්වය වන්නේ ගෝඨයිම්බර යෝධයා හා එතුමාගේ බිරිඳ වූ සෝණා යන දෙදෙනා එක්‌ව කරන ලද පූජාවක්‌ වීමයි. මෙම ලිපියට අනුව අයිමර යනු ගෝඨයිම්බර බවට බොහෝ විද්වතුන් හඳුනාගනී. ගෝඨ + අයිමර – ගෝඨයිම්මර – ගෝඨයිම්මර වූවා යන්න පිළිගත හැකිය. ඒ අනුව මෙහි සඳහන් අයිමර “පරුමක” වරයෙකි. පරුමක යනු ප්‍රධාන, ප්‍රමුඛ යන්නයි. මෙම අයිමරගේ පියා වූ මහාතිස්‌ස ද එවැනිම ප්‍රධානියෙකි. ඔහු ද පරුමක වරයෙකි. තවද පරුමක අයිමරගේ බිරිය ද පරුමකලු ලෙස ස්‌ත්‍රීවාචී අර්ථයෙන් ගෙන ප්‍රමුඛාවී ශෝණා අයිමරගේ බිරිඳයි. ඊට අනුව මහාතිස්‌සගේ පුතා වූ ගෝඨයිම්බර තම බිරිඳ වූ ශෝණා සම`ග එක්‌ව මෙම ලෙන් පූජාව කර ඇත. මෙම පූජාව කරන ලද කාල පරිච්ඡේදය පිළිබඳව විමසීමේදී දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලය වැදගත් වේ. ඊට අනුව ක්‍රි. පූ. 161 දුටුගැමුණු රජු අනුරාධපුරයේ රජ වූ වර්ෂයයි. එතුමාගේ රාජ පදවි ප්‍රාප්තියෙන් වසර දහයක්‌ ගත වූ පළමු දස වර්ෂයේදී මෙම පූජාව කළේa යෑයි අනුමාන කරන්නේ නම් ක්‍රි. පූ. 151 ට ආසන්න කාලයේ එනම් අදින් වසර 2165 කට පමණ පෙර මෙම පූජාව සිදු කරන්නට ඇත.

සිතුල්පව්වේ කරන ලද මෙම පූජාවට අමතරව ගෝඨයිම්බර යෝධයා ලංකාවේ තවත් බොහෝ ප්‍රදේශවල තම අනුග්‍රහයෙන් මෙවැනි ලෙන් විශාල සංඛ්‍යාවක්‌ සකස්‌ කර භික්‍ෂූන්ට පූජා කළ බවට සාධක හමු වේ. ඊට අනුව හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කරුවලවැව නම් ස්‌ථානයේදී ගෝඨයිම්බර පරම්පරාවෙන් කළ ලෙන් පූජාවක්‌ පිළිබඳව සඳහන් වේ. එසේම කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ නයින්දනාව නම් විහාරයට ද ගෝඨයිම්බර සෙනෙවියා අනුග්‍රහය දක්‌වා ඇති බවට ශිලා ලේඛන සාක්‍ෂි පවතී.

සිතුල්පව්වේ මෙම අයිමර ලෙන අසල ක්‍රි.ව. 1, 2 සියවස්‌වලට අයත් කළහැකි ඉදිකිරීම් ලක්‍ෂණ සහිත මහල් කිsහිපයක්‌ තිබූ බවට සාක්‍ෂි සහිත නටබුන් වූ ගොඩනැඟිල්ලක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කැණීම් කර පාදාගෙන තිබේ. මෙම ලිපියේ ලියුම්කරු මෙම කැණීම් සිදුකළ අතර එහිදී ලැබුණු සාක්‍ෂිවලට අනුව මහල් කිහිපයකින් යුක්‌ත ආවාස ගෘහයක්‌ ලෙසට මෙම ගොඩනැඟිල්ල අනුමාන කළහැකි විය. මෙම ගොඩනැඟිල්ල ද අයිමර ලෙන අසලම පිහිටා ඇති අතර සිතුල්පව්වේ මුල්කාලීන ඉදිකිරීමේ වලට අයත් කළ හැකි පැරණිම ගොඩනැඟිල්ලක්‌ ලෙස මෙය හැඳින්විය හැකිය. කැණීම් වලින් මතු කරගන්නා විට බෙහෙවින් විනාශයට පත්ව තිබූ මෙම ගොඩනැගිල්ල අතීතයේ රහත් උතුමන් සඳහා සෙවණ සැලසූ ස්‌ථානයක්‌ බවට පැහැදිලිය. දක්‌ඛීණ තිස්‌ස වැවට මුහුණලා පිහිටි මෙම මහල් සහිත ගොඩනැඟිල්ල අතීතයේදී වැව් තලය සිප එන සිහිල් සුළ`ගින් මනා සුවදායක වටපිටාවක්‌ සහිතව නිර්මාණය වී තිබූ බව පැහැදිලිය.