මේ ජීවිතයේදීම කළකම් පළදීපු හැටි

මවට හිරිහැර කළ මාග්‍රට් මෙ​ලොව අපා දුක් වින්දාය.   

මිනිසා උපතින් බ්‍රාහ්මණයකු හෝ වසලයකු නොවේ. ඔහු හෝ ඇය කරන ක්‍රියාවෙන්ම වසලයකු හෝ බ්‍රාහ්මණයකු බවට පත් වෙයි.

බුදු දහමට අනුව එසේ වුවත්, බුදු බණ පසෙකලා වෙනත් දෙය හිසට ගත් අපේ පැරණි ජන සමාජයේ උපතින්ම වසලයන්, ක්ෂත්‍රියන් බවට පත් වන බව පවසන බමුණු දහමට අනුව කුල වශයෙන් බෙදා මිනිසුන් පීඩාවට පත් කළ බව රහසක් නොවේ. කර්මය පිළිබඳ බුදු දහමෙහි මැනවින් විස්තර කර ඇත. අපිරිසිදු සිතින් යම් කිසි දෙයක් කරයි නම්, කියයි නම් එහි විපාක තමන්ට පීඩා කරමින් තමන් පසුපසම ගමන් කරන අයුරු උපමාවකින් දක්වා ඇත. එය ගවයා පසුපස කරත්ත රෝදයක් ගමන් කරන්නාක් මෙන්ය. එසේම යමෙක් පැහැදුණු සිතින් යම් කිසි යහපත් දෙයක් කරයි නම්, කියයි නම් එහි සැප විපාක තමන් පසුපස එන්නේ සෙවණැල්ල තමන් පසුපස ගමන් කරන්නාක් මෙන්ය.
මිනිස් සිත් සතන් වල පිරී තිබෙන කර්ම ශක්තිය මහා සාගරයක් මෙන් විශාලය. ගැඹුරුය. පරක් තෙරක් නොපෙනෙන්නේමය. සාගරයක ජලය අඩුවීම හෝ වැඩිවීම නොපෙනෙයි. ඒ අයුරින් මිනිස් චිත්ත සන්තානයේ ද කර්ම ශක්තීන් පිරී පවතියි. අඩු වැඩි නොවී පවතියි. කොතරම් ක්ෂය වූවද තව තවත් රැස් වෙයි. මහ සයුරට කොතෙක් ජලය පැමිණිය ද අලුත් කර්මවලට ඉඩ කඩ මදි වීමක් ද නැත. ඇතැම් කර්ම ක්ෂ්‍ය කිරීමට ගත වන කාලය කල්ප ගණනාවක් වෙයි. එබැවින් කුසල කර්ම රැස් කිරීමට කවුරුත් විසිනුත් වග බලා ගැනීමට සිදු වෙයි. කුසල් අකුසල්, පින් පව්, හොඳ නරක අඳුනා ගෙන දුශ්චරිතවලින් වෙන්ව, යහපත් දෙය කළහොත් මෙලොව ජීවිතය යහපත් වෙයි. එමෙන්ම පරලොව ජීවිතය ද යහපත් වෙයි. කවුරුත් උත්සාහ කළ යුත්තේ දෙලොවම යහපත් කර ගැනීමටයි.

මව්පියන් ගෙදර බුදුවරු වශයෙන් බුදු හිමියෝ පෙන්වා වදාළහ. යමෙක් මව්පියන්ට නොසළකන්නේ නම් හෙතෙම පරිහානියට පත් වෙයි. එසේම එවැනි පුද්ගලයන් වසලයන් වශයෙන්ද හඳුන්වා දුන්හ. මව්පියන්ට සැළකීම වනාහී උතුම් මංගල කරුණක් වශ​ෙයන් ද වදාළහ. පිණ්ඩපාතය කර හෝ මව්පියන් පෝෂණය කිරීමට භික්ෂූන් වහන්සේලාට ද නියම කර ඇත. යම් හෙයකින් මව්පියන් ආහාර පාන නොමැතිව, දුකසේ වාසය කරයි නම්, පිණ්ඩපාතයේ වැඩම කර ආහාර පාන සොයාගෙන මව්පියන් පෝෂණය කිරීමෙන් ඇවැත් සිදු නොවන බව පෙන්වා දුන්හ. මව්පියන්ට සැළකීමෙහි වැදගත්කම පෙන්වනු වස් විවිධ ජාතක කථාවන් ද ​ෙද්ශනා කළහ. ‘මාතුපෝෂක’ කථාව, සත්තිගුම්භ ජාතකය, සාම ජාතකය වැනි කතා පුවත් වලින් ඒ බැව් පසක් වෙයි.

ආනන්තර්ය පාප කර්ම පහක් ඇත. එනම් මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේලා මැරීම, බුදුන්ගේ ඇඟෙහි ලෙය සෙලවීම, සංඝ භේදය යන පහ එම කර්ම පහයි. මෙයින් එක් පාප කර්මයක් හෝ සිදු කළ හොත් ඒකාන්තයෙන්ම මීළඟ ආත්ම භාවයෙහි අවීචි මහා නරකාදියෙහි උපදීමට සිදු වෙයි. යම් කිසි අයකු හුස්ම යන අයුරෙන් කුමන ක්‍රියාවකින් හෝ මරා දැමිය හැක. එය රූපස්කන්ධය විනාශ කිරීමකි. ඇතැම් විටක කෙනෙකු නොමරා මැරිය හැක. අනේක වධ හිංසා පීඩා කිරීම නොමරා මැරීමකි. වත්මන් සමාජයේ ඇතැම් දරුවන් දෙමාපියන්ට හොඳින් සළකන බව පෙන්වති.

එහෙත් සැබවින්ම බොහෝ දෙනකු කරන්නේ දෙමාපියන් නොමරා මැරීමකි. ඔවුන්ට ගෞරව නොකිරීම, ආහාර පාන නොදීම, වෙනස්කම් කිරීම, චිත්ත පීඩා ඇති කිරීම, පහර දීම, නිවසින් එලවා දමා දුක් විඳීමට සැළැස්වීම වැනි ක්‍රියාවන් මගින් දෙමාපියනට අනේක විධ දුක් ඇති කිරීම ඔවුන් ඝාතනය කිරීම සේම අකුශලයකි. එවන් පුද්ගලයන්ට ද හිමි විය යුත්තේ ආනන්තර්ය පාප කාර්මයට හිමි දඬුවම් බව පැහැදිලිය. එවැනි පුද්ගලයන්ට දිට්ඨ ධම්මවේදනීය වශයෙන් මේ ආත්මයේදීම විපාක ලැබිය යුතුය. එසේ විපාක ලැබුණ අවස්ථාවන් පිළිබඳ අපට අසන්නට ද ලැබෙයි. එවැනි එක් අවස්ථාවකි. ‘මාග්‍රට්’ නමැති කාන්තාවගේ කතා ප්‍රවෘත්තිය.

‘මාග්‍රට්’ යනු ඇයගේ නියම නව නොවේ. උඩරට ප්‍රදේශයේ වාසය කළ ඇය පවුලේ එකම දියණියයි. දියණිය හදා වඩා ගැනීමට එම දෙමාපියන් ගත් වෙහෙස අප්‍රමාණයි. ඇය ළදරු වියේදීම පියා අසනීපයකට ගොදුරු වීමෙන් මිය ගිය බැවින් මව තවත් අසරණ වූවාය. උත්සාහවන්ත වූ මව බැල මෙහෙවර කරමින් දුවගේ අවශ්‍යතා ඉටු කළාය. ධනවත් නිවෙස්වල ගෙවත්තේ වැඩපල කිරීම, මුළුතැන් ගෙවල වැඩ කිසිදු පැකිළීමක් නොමැතිව කළාය. ලැබෙන සුළු මුදලින් දියණියට අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය ආදිය ලබා දුන්නාය. ඉගෙනීමට දක්ෂ ඇය උසස් අධ්‍යාපනයක් ලබාගෙන රජයේ රැකියාවක් ද ලබා ගත්තාය. මෑණියන් තම සිහින සැබෑ වූවායි සිතමින් සතුටු වූවාය. එනමුදු එම සතුට වැඩි කලක් රැදී පැවතුණේ නැත. මවට නොයෙක් කෙනෙහිලිකම් කරන්නට පටන් ගත් මාග්‍රට් ඇය සමාජය ඉදිරියේ මව වශයෙන් හඳුන්වාදීමට ද අකමැති වූවාය. ඇය ගමනක් බිමනක් යන විට මව සමඟ ගියේ ඇයගේ භාණ්ඩ ඔසවා ගෙන යනු පිණිසය. බොහෝ විට ඇය හඳුන්වා දුන්නේ තම නිවෙසෙහි වැඩකාරිය නොහොත් ​ෙස්විකාව වන ‘චාලට්’ වශයෙන්ය.

ඇය මවට ආමන්ත්‍රණය කළේ ද ‘චාලට්’ යනුවෙන්ය. චාලට් මෙහෙ වරෙන්, මේක ගනින් ආදී වශයෙන් ඉතා පහත් භාෂාවෙනි. වයසට ගිය මව බලවත් අසනීපයට පත් වූවද සියලු වැඩ කළ යුතු විය. එසේ වැඩ නොකළොත් අතින් පයින්, කොසු මිටිවලින් පහර කෑමට ද සිදු වෙයි. බුද්ධ කාලයේ විසූ ‘රජ්ජුමාලා’ නම් සේවිකාවට හිස කෙස් වලින් අල්ලා ගෙන පහර දුන් ස්වාමි දියණිය මෙන් කෙස් වැටියෙන් අල්ලා ගෙන මාග්‍රට් ද ඉතා කෲර ලෙස තම මවට පහර දුන්නාය. මවට ආහාර පාන පවා නොදෙයි. ඉතිරි වෙන යමක් අැත්නම් තිරිසනුන්ට දෙන අයුරින් මවට දුන්නාය.

මෙලෙස අසීමිත දුක් වින්ද මව දැඩිසේ ගිලන් වූවාය. ගිලන් වූ මව නිවස පිටුපස දර මඩුවට දමා ඉඳහිට කෑම ටිකක් දුන්නාය. නැගිට ගත නොහැකිව එක්තැන් වූ මව පිරිසිදු කිරීම පිළිකෙව් කළ ඇය ආහාර බඳුන මඬුවෙහි දොරකඩ තබා ලී කැබැල්ලකින් මව ළඟට තල්ලු කළේ ඉමහත් පිළිකුලෙනි. මෙසේ අනන්ත දුක් විඳ මිය යාමට සිදු වූයේ ඇය ද පෙර ආත්මයක කරන ලද අකුසල කර්මයක් පල දීම නිසා විය යුතුය.

හුදෙකලා ජීවිතයක් ගත කළ මාග්‍රට් ද සොබා දහමට අනුව වියපත් වූවාය. වියපත් වූ මාග්‍රට්ට කිසිවකුගෙන් කිසිදු පිළිසරණක් නොලැබුණි. මව මෙන්ම ඇය ද දැඩිසේ ගිලන් වූවාය. පිළිකා රෝගයට ගොදුරු වූ ඇයගේ කෙස්වැටිය ගැලවී ගොස් හිස මුඩු විය. ගත ද වැහැරිණි. නැගිට ගත නොහැකිව මළ මුත්‍රා ගොඩෙහි දුගඳ හමමින් වැතිර සිටියාය. ඉඳහිට අහල පහළ කාරුණික අයෙක් ආහාර ටිකක් දුන්නත්, එයින් ඇයගේ වේදනාව සහ කුසගින්න සමනය කළ නොහැකි විය. ඇය නගන හඬ අවට පරිසරය පුරා පැතිරිණි. සති ගණනාවක් මෙලෙස දුක් විඳි මාග්‍රට් එක්තරා දිනක අවසන් හුස්ම හෙලන ලදී. ඇගේ මරණය පිළිබඳ ඇසු තතු දත් කව්රුනුත් පැවසුවේ ඇය තම මවට කරන ලද හිරිහැර සහ නොසළකා හැරීමට විපාක මේ ජීවිතයේදීම අත් විඳි බවයි.

බටුගොඩ, ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති, නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවක්
 

රජරට ජීවත්වූ සෝමසිරි මහතා මදුරු මර්දන ව්‍යාපෘතියේ ප්‍රදේශයක් භාරව ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙකි. ඔහු යටතේ සේවය කළ පිරිසට ඇවැසි එදිනෙදා වැඩ රාජකාරී ක්‍රමවත්ව බෙදාදීම ඔහුගේ රාජකාරිය විය. නමුත් මොහු එය නිසි ලෙස ඉටු කිරීමට උනන්දු නොවීය.

ඔහු යටතේ සිටින තම හිතවතුන්ට පමණක් දිනපතා වැඩ ලබාදීමට ඔහු කටයුතු කළේය. ඒ සඳහා ඔහුට තෑගි භෝග, ලාභ ප්‍රයෝජන, ප්‍රශංසා නොඅඩුව ලැබිණි.

අනෙක් සේවකයින් දිනපතාම වැඩපළට ගෙන්වා නැවත ඔවුන්ව “අද වැඩ නැත” ලෙස හරවා යැවීම ඔහුගේ විනෝදාංශයක් විය.

අහිංසකව එදා වේල සරිකර ගැනීමේ දහසක් බලාපොරොත්තු මැද උදෑසනම රුපියල් 350ක දීමනාව ලබාගැනීමේ අරමුණින් බත් පාර්සලයකුත් බැද රැකියාව බලායන සේවකයන්ව ආපසු හරවා එවීම ඔවුනට ජීවිතය පවා එපා කරවන්නක් විය. රැකියාවට ගොස් මදුරු තෙල් ටැංකි සෝදා, පිටි කිරා සියල්ල සූදානම් කරගත් පසු ඔහු මෙලෙස අක්‍රමවත්ව ක්‍රියා කිරීම බොහෝ සේවක පිරිසකගේ අප්‍රසාදයට මෙන්ම කලකිරීමට හේතුවක් විය.

සියලු දෙනාටම සමසේ නිසි ලෙස අවස්ථාව ලබාදීමට ඔහුට හැකියාව තිබුණද ඔහු එලෙස ක්‍රියා කිරීමට උනන්දු නොවීය. නැවත සියලු අපේක්ෂාවන් බිඳ ඔවුන් නිවස බලා පැමිණියේ ඇඩූ කඳුලිනි. නිවසේ බිරිය, දරුවන් පියා හවසට ගෙනෙන හාල්පත පිළිබඳ දකින සිහින සෝමසිරි මහතා එක් වචනයකින් විනාශකර දමයි.

මෙලෙස දිගින් දිගටම ඔහු මෙම රැකියාව තුළ හරි හම්බ කරගත් අකුසල විපාක පල දෙන්නට පටන් ගැනිණි. හොඳට සිටි සෝමසිරි මහතා හිටි හැටියේම ඔත්පොළ වීය. ඒත් සමඟම ඔහුට සිහි විකල් වී ගියේය. අවසානයේ ඔහුගේ උදව්වට කිසිදු නෑසියෙක් නොසිටි අතර ඔහු ලාබ ප්‍රයෝජන තකා උපකාර කළ යහළු මිත්‍රාදීන් ද ඔහු සමඟ සුවදුක් විමසීමට නොපැමිණියහ. ඔහුගේ කෙනෙහිලිකම් මධ්‍යයේ රැකියාව කළ සේවක පිරිසට රජයේ ස්ථීර කම්කරුවන් ලෙස රැකියාව හිමිවිය. කිසිවකුගේ හව්හරණක් නොමැතිව, සිහිකල්පනාවකින් තොරව නගරයේ ලොතරැයි විකුණමින් ජීවත් වීමට ඔහුට සිදුවිය. අහිංසක දුප්පත් ජනතාව හාස්‍යයට ලක් කරමින් නිස්කාරණේ අසීමිත ලෙස රස්තියාදු කළ ඔහු කාගේත් උපහාසයට ලක්ව මුළු නගරය පුරාම සැරි සරමින් ජීවත් වීමට සිදුවීම කළකම් පළදීමක්ම වේ.

කැලණිය, විශ්ව විද්‍යාලයේ  ජන සන්නිවේදන අධ්‍යාපනංශයේ
ආර්.එච්. දිනුෂිකා මදුශානි රත්නායක ලියා එවූ කතාවක්


අලියාගේ ශාපයෙන් කළකම් පලදෙයි  

මෙයට වසර පණහකට පමණ පෙර කඳුරට වතුයායක හිමිකරුවකු වූ ඔහු හමුදාවක මේජර්වරයකු ලෙස සේවය කළ නිසා කවුරුත් හැදින්වූයේ ‘මේජර්’ නමිනි. වතුයායේ වැඩපළට අවශ්‍ය සියලුම වාහන ඔහු සතුව තිබුණි.

පා පැදි, යතුරුපැදි, කාර්, ජීප්, ලොරි, ට්‍රැක්ටර් යනාදියට අමතරව වත්තේ සැරි සැරීමට අශ්වයෙක් සහ අලියෙක්ද ඔහු සතුවිය. දිනක් අශ්වයා පිට යන අතර වත්තේ බෑවුමකට ඇදවැටී අශ්වයාගේ කකුලක් කැඩී එය සුව කළ නොහැකි වූ නිසා මේජර් අශ්වයාට වෙඩි තබා මිහිදන් කළේය.

දිනක් ඔහුගේ සුරතල් අලියා මද කිපී කලබල කරන්නට විය. අලි බලන ‘රන් නයිදේ’ අලියා මෙල්ල කිරීමට යාමේදී අලියා ඔහුව හොඬවැලෙන් ඔසවා වීසි කිරීමෙන් ඔත්පළ විය. අලියා වත්ත පුරාම දුව පනිමින් අවසානයේදී වතු බංගලාව අසලට පැමිණියේය.

මිදුලේ කලබල කරමින් සිටි අලියා බංගලාවට හානි කරතැයි සිතූ මේජර්, ඔහුගේ කාණු දෙකේ තුවක්කුව ජනේලයක් තුළින් දමා අලියාගේ හිසට වෙඩි පහරක් එල්ල කළේය. බිම ඇද වැටුණු අලියාට තවත් වෙඩි පහරක් නළලටම එල්ල කළ මේජර් සිත්තැවුල මකා ගැනීමට මත්පැන් බෝතලයක් හිස් කර ඇඳේ වැතිරුණි.

බිම ඇදවැටුණු අලියා නළලේ තුවාලයෙන් වැගිරෙන ලේ ​හොඬවැලෙන් ගෙන බංගලාවේ බිත්ති වලට ඉසින්නට විය. පැය කීපයක්ම පණ අදිමින් සිටි අලියා මිය ගියේය.

මේජර්ගෛ් බහින කලාව උදාවූයේ ඉන්පසුවයි. වැඩ අතපසු වූ නිසා වතුයායම කැලෑ වැදුණි. කම්කරුවෝ වෙනත් වතුවල රැකියාවට ගියහ. මේජර් සතු වාහන එකින් එක විකිණී බයිසිකලයක් පමණක් ඉතිරි විය. වත්තේ ආදායම අඩු වූ නිසා කොටස් කර විකුණා දැමීමට සිදුවිය. අවසානයේදී ඉතිරි වූ බංගලාවද උගස් කෙරිණි. ඔහු බංකොලොත් වීම නිසා කළකිරුණු ඔහුගේ බිරිය දරු දෙදෙනා ද රැගෙන අගනුවර පදිංචියට ගියාය.

දිනක් නගරයේ දුම්රියපලට ගිය මේජර්, උඩරට දුම්රිය පැමිණෙන තුරු බලා සිට, දුම්රිය පාරට පැන ඉදිරියෙන් එන දුම්රියට හමුදා ආචාරය පවත්වා දුම්රියට ගෙල තබා දිවිනසා ගත්තේය. රැස්වූ සෙනඟ පැවසුවේ ඔහුට කලකම් පළ දුන් බවයි

මහනුවර ආනන්ද සමරකෝන් මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

උපුටාගැනීම ලංකාදීපය