ලොව අතිබිහිසුණුම ගුවන්තොටුපොළවල් දැනගනිමු

පහසුම වේගවත්ම සහ ආරක්ෂිතම ප්‍රවාහන ක්‍රමය ලෙස අද ලෝකයේ පිළිගැනීමට ලක්ව ඇත්තේ ගුවන් ගමන් සේවාවයි. නවීනතම තාක්ෂණය, අලුත්ම ඉලෙක්ට්‍රොනික ගැජට් බැජට් යොදාගැනීම නිසා අද ගුවන් ගමන් කජු කනවා බඳු ටොයිස් වැඩක් බවට පත්ව තිබේ. එහෙත් මේ කියන ගුවනින් යාමද එපා කරවන්නට සමත් ගුවන් තොටුපොළ රාශියක්ම ලෝකය පුරා දක්නට ලැබෙයි. ඉතා අඩු ඉඩකඩක, කඳුවැටි අතර උස් ගොඩනැගිලි සහිත ජනාකීර්ණ නගර මැද, ඉතා පටු සහ කෙටි ගුවන් ධාවන පථයක් සහිත ගුවන් තොටුපොළ රැසක් ගුවන් ගමන් එපා කරවන ලැයිස්තුවට අයත්ය. ඇඟ කිළිපොලා යන අත්දැකීමක් ලබාදීමට සමත් මේ ගුවන් තොටුපොළ වෙත ළඟාවීමට මගීන්ට හැකිවන්නේ ගුවන් නියමුවන්ගේ වෘත්තීය ප්‍රවීණත්වයට කුසලතාවයට පින් සිදුවන්නටය. 

ටෙන්සින්-හිලරි ගුවන් තොටුපොළ

Tenzing-Hillary-Airport-4
ටෙන්සින්-හිලරි ගුවන් තොටුපොළ

ලෝකයේ උසම මුදුන වන එවරස්ට් නැගීමට යන උදවියට කන්ද නගිනවාටත් වඩා කොන්ද කැඩෙන කාර්යය වන්නේ නේපාලයේ ඒ ආසන්නයේ වූ ප්‍රධාන ගුවන්තොට වෙත ළඟාවීමය. ලූක්ලා ලෙස හඳුන්වන මේ ගුවන්තොට ඇත්තේ උස් කඳුවැටි වලින් වට වූ නිම්නයකය. මේ නිම්නය තුළ එවරස්ට් තරණය කළ මුල්ම දෙදෙනා අනුව යමින් ටෙන්සින්-හිලරි ගුවන් තොටුපොළ ලෙස හැඳින්වෙන මෙහි දක්නට ලැබෙන්නෙත් ලෝකයේ කුඩාම ගුවන් තොටුපොළයි. මේ ගුවන් තොටුපොළ සතුව ගුවන් ගමන් මෙහෙයුම් මැදිරියක් ද නැත. මාර්ගය දක්වන විදුලි ආලෝක සංඥා ද නැත.

ගුවන් පථය කෙළවර වන්නේ ප්‍රපාතයකටය. මේ නිසා මෙතැනට යානයක් ගොඩ බැස්සවිය යුත්තේ මුළුමනින්ම නියමුවාගේ කුසලතාවයත් ප්‍රවීණත්වයත් මතය. ඒ සියල්ලටම වඩා හිමාලයට අරක්ගත් දෙවියන්ගේ ආශිර්වාදය ද සහිතවය. හේතුව මෙතැන නිතර වර්ෂාව සහ තද සුළං පැවැතීමය. මේ නිසා බොහෝ විට ගුවන් තොටුපළ ඇත්තේ වසා දමාය. ගුවන් ගමන් ප්‍රමාදයට ලක්වන අවස්ථාද බහුලය. ලෝකයේ සංචාරකයන් බහුල ගුවන් තොටුපළක් වන මෙය වෙත යාමට මේ හේතූන් නිසා හැකි වන්නේ අතිශය ශූර ගුවන් නියමුවකු හට පමණි.

මෙහි ගුවන් පථයේ දිග අඩි 1729 ක් තරම් කෙටිවන අතර පළල අඩි 98 ක් පමණ පටුය. කුඩා ඉඩක සිට ඉහළ නැගිය හැකි සැහැල්ලු ගුවන් යානා සහ හෙළිකොප්ටර යානා මේ ගුවන් තොටුපොළ සඳහා භාවිතා වේ. මේ තරම් භයංකර තත්ත්වයක් සහිත මේ ගුවන් තොටුපොළ සම්බන්ධ අපූර්වතම කාරණාව වන්නේ වසර 1973 සිට මේ දක්වා ගුවන් අනතුරු 10 ක් පමණක් වාර්තා වීමය. එසේම, ඒ සියලු අනතුරුවලදීම නියමුවා ඇතුළු ගමන් ගත් මගීන්ද ජීවිත බේරාගෙන තිබීමය.

ප්‍රංශයේ කොර්ඩේවෙල්

Courchevel-airport
ප්‍රංශයේ කොර්ඩේවෙල්

ප්‍රංශයේ කොර්ඩේවෙල් ලෝකයේ කෙටිම ගුවන් පථය සහිත ගුවන් තොටුපොළයි. එහි ගුවන් පථය දිග මීටර් 525කට කෙටිව තිබේ. ඒ මදිවාට මේ ගුවන් පථය මැද සියයට 18.5ක ආතතියකින් යුතු බෑවුමක් ද පවතී. මේ නිසා ගුවන් යානා ඉහළ නැංවීමේ කාර්යය වඩාත් අසීරු වී තිබේ. ඉහළට යන යානා කෙළින්ම ගමන් කරන්නේ උසැති ඇල්ෆ්ස් කඳුවැටිය වෙතය. යම් හෙයකින් යානය ඉහළට ගැනීමට අවශ්‍ය උපරිම වේගය නොලදහොත් සිදුවන්නේ සියල්ලන්ටම දෙවියන්ගේ පිහිට පතා බලා සිටින්නටය.

ටොන්කොන්ටින් ගුවන් තොටුපළ

හොන්ඩුරාස්හි ඇති සිවිල් සහ මිල්ටරි ගුවන් තොටුපළක් වන ටොන්කොන්ටින් ගුවන් තොටුපළ ලෝකයේ භයානකම ගුවන් තොටුපොළ අතින් දෙවැනි තැනට පැමිණ තිබේ. ඉතාලියේ කඳුශිඛර අතර කුඩා ඉඩකඩක පිහිටා ඇති මෙහිද ඇත්තේ කෙටි ධාවන පථයකි. මුලින් මීටර 1863 ක් වූ මෙය පසුව 2011 වන විට මීටර 2021 දක්වා දිගු කරන්නට යෙදුණි. මෙහි අමාරුවෙන් ගොඩබෑ හැකි විශාලතම යානය බෝයිං 7575 පමණි.

සැන්ට් මාර්ටින්හි ගුවන් තොටුපොළ

St-Maarten-airport-tourist-death-Maho-Beach-828103
සැන්ට් මාර්ටින්හි ගුවන් තොටුපොළ

ජුලියානා කුමරියගේ නමින් හඳුන්වා දෙන කැරිබියානු දූපතක් වන සැන්ට් මාර්ටින්හි ගුවන් තොටුපොළ වැඩිපුරම කතාබහට ලක්වන මාධ්‍ය තුළ ප්‍රසිද්ධියක් ලැබූ ගුවන් තොටුපොළයි. මෙයට හේතුව ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා පහත් කිරීමට සිදුව ඇත්තේ දූපත වෙරළේ සිටින සංචාරකයන්ගේ හිස් මතින් අතිශය සමීපව වීමයි. යාන්තම් මීටර 2179 ක් දිගැති ධාවන පථය ඇරඹෙන්නේ වෙරළ තීරයට ඉතා ආසන්නවය. සංචාරකයන්ගේ ඔළු බේරාදෙමින් ගුවන් යානය පහතට ගැනීම මෙහි එන නියමුවන් හට මුහුණ දෙන්නට ඇති විශාලතම අභියෝගයයි.

 

භූතානයේ පාරෝ ගුවන් තොටුපොළ

butan
භූතානයේ පාරෝ ගුවන් තොටුපොළ

හිමාලයානු කඳුවැටිය බඳ භූතානයේ පාරෝ ගුවන් තොටුපොළ අතිශය භයානක ගුවන් තොටුපොළ ලෙස කිහිපවරක්ම අංක එකට නම් කෙරුණි. මීටර 5500ට වඩා ඉහළ කඳුවැටි අතරින් යන්තම් මීටර 1981 ක් වූ ගුවන් පථය වෙත යානය ගෙන ඒම අතිශය අසීරු කරුණකි. මේ ගුවන් තොටුපොළ කරා ගුවන් යානා ගෙන ඒමට සුදුසුකම් ලබා දී ඇත්තේ ගුවන් නියමුවන් අට දෙනකුට පමණි.

ජිබ්‍රොල්ටා අන්තර්ජාතික ගුවන් තොටුපොළ

ජිබ්‍රොල්ටා අන්තර්ජාතික ගුවන් තොටුපොළ

ජිබ්‍රොල්ටා අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ගුවන් පථය මැදින් මහා මාර්ගයක් ද තිබේ. එය වින්සන්ට් චර්චිල් මහා මාර්ගයයි. මේ නිසාම මෙතැනට ගුවන් යානයක් ගොඩබෑමද ලෙහෙසි පහසු නොවන අතිශය සීරුවෙන් කළ යුතු දෙයකි. ගුවන් යානා ගොඩබස්සවන විට මෙහි ගුවන් පථය මැදින් දිවෙන මාර්ගයේ වාහන නවතා දැමීමට කටයුතු යොදා තිබේ. එහෙත්, මාර්ග සංඥා නොතකන රියැදුරන් හේතුවෙන් කෙස් ගහෙන් අනතුරු වැළකුණු අවස්ථා ද මේ ගුවන් තොටුපොළ ඉතිහාසයේ සඳහන්ය.

මැඩෙයිරා ගුවන් තොටුපොළ

4z7FdJv
මැඩෙයිරා ගුවන් තොටුපොළ

මැඩෙයිරා ගුවන් තොටුපොළේ ධාවන පථය ඉංජිනේරුවන්ගේ හාස්කම් ලෝකයට හුවා දක්වන අපූරු නිර්මාණයකි. ප්‍රපාතයක බෑවුමේ මුහුදට මායිම්ව ගොඩනගා ඇති මේ අපූරු ගුවන් පථය කොටස් වශයෙන් දිගුකර තනා ඇත්තේ සම මට්ටමේ පිහිටා ඇති උසැති කුලුනු මතය. මීටර 1600 ක් දුරට පෘතුගාලයේ මේ අපූරු ගුවන් පථය පැතිරී තිබේ. කඳුවැටිය අතරින් සීරුමාරුවෙන් ගෙන එන ගුවන් යානය ලොකු වංගුවක් ගත් පසු මේ කියන ගුවන් පථය වෙත ඉලක්ක කර ගැනීම නියමුවන්ට අපහසු වන්නේ මුහුදු දියෙන් එන උණුසුම් වායුවත් කඳුකරයේ සීතල වායුවන් මුණගැසී වායු රික්තක ගොඩනැගෙන හෙයිනි. මේ නිසා වළගොඩැලි සහිත පාරක බර කරත්තයක් යන්නාක් මෙන් වායු රික්තකවල වැටෙමින් අභියෝගවලට මුහුණ දෙමින් කනු මත ඇති ලෝකයේ එකම ගුවන් පථය වෙත කිට්ටු කරනා ගුවන් යානයක රැඳී සිටීමට සිදුවීම කාට කාටත් දෙවියන් සිහිකරවන වැඩකි.

ඇන්ටාර්ක්ටිකාවේ මාක්මුර්ඩෝ මෙන්ම ග්‍රින්ලන්තයේ නර්සාර් සුක් ගුවන් තොටුපොළද අධික හිම පතනය හේතුවෙන් අනතුරුදායකම ගුවන් තොටුෙපාළ අතරට එක්ව තිබේ. ලිස්සා යන හිම තට්ටු, සැනෙක දිසාව වෙනස් කරන තද සුළඟ, වායුවේ තද රික්තක, හිම පතනය නිසා පෙනීමට බාධා ඇතිවීම මෙහිදී නිරතුරුවම මුහුණ දෙන්නට වෙන බාධකයන්ය.

ඡායාරූප අන්තර්ජාලයෙන්