පොලිස් දෙපාර්තමේන්තුව සතු නිල සුනඛයන්ගෙන් සිදුවන අමිල මෙහෙවර

අපරාධ පරීක්ෂණය, මත්ද්‍රව්‍ය වැටලීම්, පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ සොයා ගැනීම මෙන්ම විශේෂ ආරක්ෂක රාජකාරී සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව සතු නිල සුනඛයන්ගෙන් සිදුවන මෙහෙවර අමිලය. කකුල් හතරේ රහස් පරීක්ෂකයන් ලෙස හඳුන්වා දෙන තරමට ඔවුන්ගේ රාජකාරිය සවිමත්ය.

ඉකුත් සමයේ සිදු වූ අපරාධ රැසක අපරාධකරුවන් හඳුනා ගැනීම පමණක් නොව අයහපත් කාලගුණය හේතුවෙන් වූ නායයාම් සහ ගංවතුර උවදුරෙන් අතුරුදන්වූවන් සොයා ගොස් ඔවුන් මුදාගැනීමේ ක්‍රියාන්විතයට පවා මේ රහස් පරීක්ෂකයන්ගේ සුවිශේෂී දායකත්වය ලැබු‍ණේය. මේ අතර පසුගිය දිනවලදී සබරගමුව ආශ්‍රිතව රත්නපුරය, ඇහැළියගොඩ, නිවිතිගල – කිරිබත්ගල කන්ද ආදී නායගිය ස්ථානවල අතුරුදන්වූවන් සොයා සිදුකළ ක්‍රියාත්විතය විශිෂ්ට ගණයේ විය.

1948 වසරේදී වැල්ලවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ෆෝක්මන් මහතාගේ අදහසකට අනුව ඔහුගේ මූලිකත්වයෙන් 1949 දී පළමු පොලිස් නිල සුනඛ අංශය අරඹා ඇත්තේ කොළඹ ඇචිලන් චතුරශ්‍රය ආශ්‍රිතවය. සුනඛයන් දෙදෙනකුගෙන් ආරම්භ කළ ඒකකය ඔවුනට ඇවැසි පාරිසරික සාධක හා සෞඛ්‍ය පහසුකම් සලකා මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබීය.

මෙසේ ඇරඹුණු පොලිස් නිල සුනඛ කොට්ඨාසය මහනුවර, කොළඹ, අනුරාධපුරය, යාපනය ආදී ප්‍රදේශවල ස්ථාපිත කෙරුණු අතර මේ වන විට එය දිවයින පුරා පිහිටි ඒකක 55කින් සමන්විතය. එම ඒකකවලට අනුයුක්තව පොලිස් නිල සුනඛයන් 177 දෙනකු සිටින අතර ඔවුන් හා රාජකාරියට නිලධාරීන් 350 දෙනෙක් ද සිටිති.

පොලිස් නිල සුනඛ රාජකාරි සඳහා තවත් සුනඛයන් 50 දෙනකු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවත් පොලීසියේ සුවිශේෂී ඒකකයක් වන මෙහි ඉකුත් 2016 වසරට පමණක් නඩත්තු වියදම ලෙස රුපියල් 92,751,156 ක මුදලක් වැය කර තිබෙන බවත් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉකුත් දිනෙකදී අනාවරණය කළේය. මිනිසුන් හෝ පුහුණුව ලත් විශේෂ නිලධාරීන් අභිබවා අකුරටම සිය රාජකාරිය ඉටු කරන පොලිස් නිල සුනඛයන්ගේ නඩත්තුව සඳහා දරන පිරිවැයට වඩා මෙහෙයක් ඔවුන් විසින් ඉටු කරන බවට සාධක අප්‍රමාණය.

ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත නිල සුනඛයන් සංඛ්‍යාව 15 කි. අගමැති ආරක්ෂක අංශයේ නිරත සුනඛයන් ගණන 5 කි. කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ රාජකාරියේ නිරත සුනඛයන් ගණන 4 කි. කොළඹ වරාය පරිශ්‍රයේද සුනඛයන් 4 දෙනෙක් රාජකාරි කරති. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සුනඛයන් 4 දෙනා බැගින් රාජකාරියේ නිරත වෙති. මේ වන විට අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයට සුනඛයන් 50 දෙනකුගේ අවශ්‍යතාවයක් ඇතත් එහි අමතර කණ්ඩායමේ දැනට සිටින්නේ සුනඛයන් 30 දෙනකු පමණය.

ඒකකයට සුනඛයන් බඳවා ගන්නේ පෙළපත පිළිබඳව සලකා බැලීමෙන් පසුවය. ඒ අනුව වැඩ කරන කුලේ සුනඛයන් තෝරාගන්නා අතර ජර්මන් ෂෙපර්ඩ්, ලැබ්රඩෝ, ගෝල්ඩන්, රිට්රිවර්, බෙලිවියම් මැලනෝයි, ඇලස්කොන් මැලමියුට් සහ රොඩේෂියන් රිඩ්බෑග් කුලවලට අයත් සුනඛයෝ තෝරා ගැනෙති. මෙසේ බඳවා ගන්නා සුනඛයන්ට මූලික පුහුණුව මාස 6 කි. එහි පළමු මාස 3 මූලික කීකරැකම උගන්වන අතර සුනඛයාගේ දක්ෂතාව අනුව අදාළ විෂය තෝරා පුහුණුව ලබාදෙයි. මාස 6ක පුහුණුවෙන් අනතුරුව විසිර යාමේ උත්සවයක් පවත්වා සුනඛයන් අදාළ ඒකකවලට යොමු කරයි.

මිලට ගෙන විදේශවලින් ආනයනය කරන සුනඛයන්ට වසරක් පිරීමේදී පුහුණුවට යොමු කරන අතර මෙරට ඉපදෙන සුනඛයෝ මාස 6න් පුහුණුව සඳහා යොදවනු ලැබෙති. එසේ පුහුණුව ලැබ අපරාධ පරීක්ෂණ අංශයේ, මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ සහ විශේෂ ආරක්ෂක සේවා යන අංශවල 15 දෙනා බැගින් සුනඛයන් 45 දෙනෙක් සේවය කරති. මොවුන් අතුරින් සෑම සුනඛයකුටම වසරකට එක් මාසය බැගින් විශේෂිත පුහුණුවක් ලබාදෙයි. ඒ අතරතුර මූලස්ථානයේ අමතර සුනඛයන් 15 දෙනා රාජකාරි සඳහා යොමු කරති.

මේ හැර හදිසියේ අසනීප හෝ මියයාමට ලක්වන සුනඛයන්ගේ පුරප්පාඩු අමතර සුනඛයන්ගෙන් පුරවන අතර හදිසි ආපදා හෝ ව්‍යසනවලදී මුදාගැනීම් සඳහා යොදවන්නේද එම පිරිසය.

සෑම දිනකම පෙරවරු 7ට අස්ගිරිය පොලිස් නිල සුනඛ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ඇරුඹෙයි. ඒ සඳහා උදේ 8.30 දක්වා වෙන් කර ඇති අතර අනතුරුව 9.30 තෙක් උදෑසන ආහාරය සඳහා කාලය වෙන් කෙරේ. උදේ ආහාරය සඳහා කිරි සහ පාන් ලබාදෙන අතර පෙරවරු 9.30 සිට 11.30 දක්වා ක්ෂේත්‍ර පුහුණුවට සුනඛයන් යා යුතුය. අනතුරැව 12.30 දක්වා පැයක් සුනඛයා හිමි නිලධාරියා සමඟ පුහුණුව සිදුකරන අතර පස්වරු 1.30 සිට සත්වයාගේ උත්පත්ති ලක්ෂණ අනුව දුවන පනින ක්‍රියාකාරකම් සඳහා උන් යොදවනු ලැබේ.

පස්වරු 3.30 සිට 4.30 දක්වා සුනඛයන් පිරිසුදු කිරීමේ කාලයයි. කෘමීන් ඉවත් කිරීම, පනාවෙන් පීරීම, සම්බාහනය, නියපොතු කැපීම මෙහිදී සිදු කරයි. අනතුරුව තුවායකින් පිසදමා කූඩුවට යොමු කිරීමෙන් අනතුරුව පස්වරු 4ට ප්‍රධාන ආහාර වේල ලබාදෙයි.

මේ ආහාර වේල සඳහා ලංකාවේ උපන් සුනඛයකුට කටු රහිත ගව මස් කිලෝග්‍රෑම් 1 ක් සහ හාල් ග්‍රෑම් 350ක බත්ද බෝංචි, කැරට් හා පලා වර්ගයක් ඇතුළත් එළවළු ග්‍රෑම් 100ක්ද අඩංගු ආහාර වේලක් ලබාදෙයි. ආහාර ලබාගැනීමෙන් පසුව පැය 2ක් විවේකීව තබන අතර පුහුණුව ලබාදෙන්නේ දිවා කාලයේ පමණය. ඒ අතරතුර ජලය පමණක් ලබාදෙන අතර ආහාර ලබාගැනීමෙන් පසුව සත්වයා නිදහසේ තබයි. ඊට හේතුව වන්නේ සෙසු සත්වයන්ට වඩා සුනඛයන්ගේ ආහාර ජීර්ණ මාර්ග පද්ධතිය දිගින් අඩු නිසාත් ආහාර අනුභවයත් සමඟ මහන්සි වීමෙන් බඩවැල් පෙරළීමට ඉඩ ඇති නිසාත්ය.
විදේශයෙන් ආනයනය කළ සත්වයන්ට විශේෂ වියළි ආහාර ද්‍රව්‍ය ලබාදෙන අතර ඔවුන්ගේ බර අනුව ආහාර ප්‍රමාණය තීරණය කරයි. මේ හැර ඇතැම් සතුන්ගේ ප්‍රධාන ආහාර වේලට බත් හා වියළි ආහාර මිශ්‍රව කිලෝග්‍රෑම් 1ක ප්‍රමාණයක් ලබාදෙනු ලැබේ.

අසනීප තත්ත්වයන්වලදී එවැනි සුනඛයන්ට වෛද්‍ය උපදෙස් මත කැල්සියම් වර්ග, හාල්මැස්සන් හා බිත්තර ලබාදෙන අතර ශරීරය දුර්වල නම් පීකුදු ලබාදීමද නිර්දේශ කරයි. මේ හැර සුනඛයන් සඳහා අනුමත එන්නත් 3ක් අනිවාර්යයෙන් ලබාදෙයි. එමෙන්ම විසබීජනාශක වර්ග භාවිත කොට උන් නෑවීමද, කූඩුව සේදීමද සිදු කරයි. මෙය සතියකට වතාවක් සිදුකරන අතර වර්ෂාව සහිත කාලවලදී සතියකට දෙවතාවක් සිදුකරනු ලබයි.

අව් රශ්මිය අධික ප්‍රදේශවල රාජකාරියේ නිරත සුනඛයන්ට රස්නය අවහිරයක් වන අතර ඒ සඳහා Cooling vest නැමැති අයිස් පිරවූ ඇඳුමක් උන්ට පළඳවනු ලැබේ. අවශ්‍ය ඕනෑම මොහොතක ප්‍රතිකාර ලබාදීම සඳහා සුදුසුකම් ලත් පශු වෛද්‍ය නිලධාරියෙක් යොමුකොට තිබෙන අතර වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ඒකකයට යොමු කරනු ලබයි.

සුනඛයන්ගේ කුලය අනුව පුළුල් පරිශ්‍රයක සිදුකරන රාජකාරී සඳහාත් කුඩා පරිශ්‍රයක සිදුකරන රාජකාරි සඳහාත් උන් යොමු කිරීම සිදු කරයි. ඒ අනුව ගුවන් යානා, රථවාහන, ගමන් මලු පරීක්ෂාව කුඩා පරිශ්‍ර වශයෙන්ද, එළිමහන් පරිශ්‍ර, ගොඩනැගිලි, ක්‍රීඩා භූමි සහ දුරින් පිහිටි ස්ථාන ආදිය විශාල ස්ථාන වශයෙන්ද හඳුන්වයි.

මොවුන් ප්‍රවාහනය සඳහා වායු සමනය කළ බස් රථ දෙකක් සහ වෑන් රථයක් නිල සුනඛ මූලස්ථානය සතුය. ඇතැම් ඒකකවල ඒ සඳහා වූ කැබ් රථ තිබේ. මේ විශේෂිත රථවල ආහාර පිසින උඳුන, ගෑස් ලිප, වතුර ටැංකිය සහ සුනඛ කූඩුවද ඇතුළත්ය. මේ හැර සුනඛයන් 15ක් පමණ ප්‍රවාහනය කරන්නේ නම් ඒ සමඟ වෛද්‍යවරයකුද කැටුව යාම සිරිතකි.

සුනඛයන් සඳහා විශේෂිත කූඩු නිර්මාණය කර ඇති අතර එහි විවේක ගන්නා ස්ථානයක්, සක්මන් මලුවක් හා නිදාගැනීමට ලී වේදිකාවක් ද ඇතුළත්ය. රස්නය අධික ප්‍රදේශවල සුනඛයන්ගේ කූඩුවල සක්මන් මලුව තරමක් විශාලය. ඇතැම් සත්වයන්ට බැරෑරුම් රාජකාරි පැවරෙන අතර ඔවුන් ඒවා සැමවිටම නිසියාකාරව ඉටු කරන්නට ක්‍රියා කරති. දිනය පුරා ආරක්ෂිතව බලාගන්නා මෙම සුනඛයන්ගේ දෛනික ආහාර පාන සඳහා එක සතකුට වියදම රුපියල් 700ක් පමණ වෙයි.
මත්ද්‍රව්‍ය වැටලීමේ නිරත සුනඛයන්ට පුහුණු සමයේ පටන් ස්වල්ප වශයෙන් මත්ද්‍රව්‍ය ශරීරගතවීමත්, පුපුරණ ද්‍රව්‍ය හා වෙඩි බෙහෙත් පිළිබඳ කටයුතු කරන සුනඛයන්ට ඒවා ශරීරගතවීමත් නිසා මේ සුනඛයන්ගේ ආයු කාලය අඩු වීම කනගාටුදායකය. එසේ රෝගවලට ලක් වී මියයන සුනඛයෝද සිටිති. මේ නිසා නිවෙස්වල ඇතිකරන සුනඛයන්ට වඩා පොලිස් රාජකාරියේ නිරත සුනඛයන්ගේ ආයු කාලය අඩුය. එබැවින් ඔවුන් වසර 1 – 10 ත් අතර සේවා කාලයකට පසුව විශ්‍රාම ගන්වති.

යහපත් තත්ත්වයේ පසුවන සුනඛයෝ ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කෙරෙති. සෙසු සුනඛයන්ට මියයන තෙක් පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ රැකවරණය හිමිය. මේ සුනඛයන් කුඩා කල පටන් සමාජශීලී ලෙස පුහුණුව ලබා ඇති නිසා පසු ගැනුම්කරුවන්ට කටයුතු කිරීම අපහසුය. ඔවුන්ට අණ දුන් පසුව පමණක් කටයුතු කිරීම විශේෂිතය.

පොලිස් නිල සුනඛ ඒකකයට අනුමත සුනඛයන් ගණන 300 කි. නමුත් දැනට සිටින සංඛ්‍යාව 177ක් පමණය. මේ සඳහා නිල සුනඛයන් ලබාගන්නා ක්‍රම තුනකි. දේශීය මිලදී ගැනීම, විදේශීය මිලදී ගැනීම හා අභිජනනය ඒ ක්‍රම ත්‍රිත්වයයි. විදේශයෙන් සුනඛයන් මිලට ගන්නේ නම් ඔවුන් තෝරාගැනීම සඳහා පුහුණුව ලත් නිලධාරීවරයෙක් හා පශු වෛද්‍යවරයෙක්ද අදාළ රටට යති. මෙසේ ගෙන්වන සුනඛයකු සඳහා ප්‍රවාහන වියදම්ද ඇතුළත්ව රුපියල් ලක්ෂ 6කට ආසන්න මුදලක් වැය වෙයි. ඒ සඳහා විශේෂිත ගුවන් යානාද ක්‍රියාත්මකය.

මෙසේ මිලට ගන්නා සුනඛයන් බහුතරය යුරෝපීය රටවලට අයත්ය. එම සුනඛයන් ප්‍රමාණයෙන් විශාල අතර වැඩි ප්‍රමාණයක් මිලට ගැනීමට හැකි සුනඛ ගොවිපොළවල්ද එම රටවල පිහිටා ඇත. මෙසේ ගෙන්වන සුනඛයන් ඇසුරෙන් අභිජනන ක්‍රියාවලිය සිදුකරන අතර ඒ සඳහා වන පිරිවැය අධිකය. ඊට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ අඩු වීම නිසා විදේශවලින් ගෙන්වීම ලාභදායකය.

පොලිස් නිල සුනඛ ඒකක 55කින් සමන්විත අතර කොට්ඨාස මට්ටමින් ඒකක 49ක් පිහිටුවා තිබේ. සියලු නිල සුනඛයන්ගේ පරිපාලනය සහ මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා අනුයුක්ත නිලධාරීන් සංඛ්‍යාව 350 කි. මේ සුනඛයන් මෙහෙයවීම සඳහා කාන්තා නිලධාරිනියෝ තිදෙනෙක්ද සහභාගි වෙති. මහනුවර අස්ගිරිය පිහිටි පොලිස් නිල සුනඛ මූලස්ථානය හා පුහුණු පාසලේ අධ්‍යක්ෂවරයෙක්, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම පශු වෛද්‍යවරයෙක්ද සේවය කරති. පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා කටයුතු කරන අතර පොලිස් පරීක්ෂක එල්.එම්.ජේ.ටී. කොළුගල මහතා එහි අධීක්ෂණ කටයුතු සිදු කරයි.

අපගේ ස්තූතිය :- පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතාට සහ පොලිස් නිල සුනඛ මූලස්ථානයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතාට.

 කතාව/ සේයාරූ – සමන්ත ප්‍රදීප් විල්තෙර