කිරිබත්ගොඩදී කාරය ගසක හැපී මියගිය හමුදා නිළධාරියෙකු ගැන ඔබ දන්නවාද?

දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා ලෙස රාගම රෝහලේදී උපත ලද රකිත, දෙඅත් හසුරවමින් දෙතොල් මුමුණනු දක්නට ලැබුණි. සාමාන්‍ය සිඟිති දරුවන්ගේ හැසිරීම් රටාව ලෙස මව සිතුවද රකිතගේ හැසිරීම තරමක් වෙනස් බවක් තිබිණි. දෙතොල් මුමුණමින් ඔහු කිසියම් ප්‍රකාශයක් කිරීමට උත්සාහ ගන්නා බවක් මව නිතර දුටුවාය. වසරක් ගත වන විට ඔහු වචන උච්චාරණය කළේය. රකිතගේ පළමු වදන වූයේ ‘‘අක්කා’’ යනුවෙනි. පොඩි දරුවන් බහ තෝරණ පළමු වදන අම්මා යනුවෙන් කියනු වෙනුවට මෙම දරුවාගේ මුවග රැව් දුන්නේ අක්කා යනුවෙනි. තම පුත්‍රයා මෙලෙස අමතන්නේ ඇයිද යන්න මවටද ප්‍රහේලිකාවක් වී තිබිණි.

මේ අතර සිඟිති දරුවා නින්දේදී තිගැස්සී අවදිවීමද සිරිත විය. අන් දරුවන්ට වඩා රකිතගේ එම තිගැස්සීම තුළද විශේෂත්වයක් දක්නට ලැබිණි. වයස අවුරුදු එකහමාරක් වන විට රකිතට හොඳින් කතා කළ හැකි විය. ඔහු නිතර නිතර පැවසූ තවත් වදනක් වූයේ කිරිබත්ගොඩ යනුවෙනි. ඒ වන විට කිරිබත්ගොඩ ප්‍රදේශය පිළිබඳ ඔහුට අවබෝධයක් ඇති වීමටද හේතුවක් නොතිබිණි. මාපියන් පදිංචිව සිටියේ ගණේමුල්ල ප්‍රදේශයේය.


සිය පුත්‍රයාගේ හැසිරීම් රටා අක්කා සහ කිරිබත්ගොඩ යන ප්‍රකාශත් මාපියන්ගේ අවධානයට යොමුවිය. එහෙත් ඔහු කිසියම් පෙර භවයක් හෙළි කිරීමට උත්සාහ ගන්නා බවක් මාපියෝ නොදත්හ. තවත් සති කීපයක් ගතවිණි. දිනක් මව ඇමතූ රකිත ‘‘ඇක්සිඩන්ට් වෝඩ්’’ යයි තවත් වැදගත් ප්‍රකාශ කළේය. ඒ වන විට ‘ඇක්සිඩන්ට් වෝඩ්’ යන වදන කිසිදු අවස්ථාවක නිවෙසේදී හෝ වෙනත් ස්ථානයක දී හෝ දරුවාට ශ්‍රවණය වී නොතිබිණි.

ඔහු නිතර නිතර අක්කා ගැන හෙළි කරන්නට විය. අක්කා කව්ද යැයි දිනක් මව තම සිඟිති පුත්‍රයාගෙන් විමසීමක් කළාය. ‘‘ගංගා අක්කා’’ රකිතගේ පිළිතුර විය. එවැනි නමක් ඇති අයෙකු  තම පවුලේ නොසිටීම නිසා පුත්‍රයා විසින් අනාවරණය කරනු ලබන්නේ පෙරභවයක තොරතුරු විය හැකියයි මාපියෝ විශ්වාස කළහ. එතැන් සිට රකිත හෙළි කරන තොරතුරු පිළිබඳව මාපියෝ අවධානය යොමු කළහ.

තවත් දවසක් අක්කා ගැන හෙළි කළ රකිත ‘‘ගංගා අක්කයි තාත්තයි ගෙදර හිටියා’’ යයිද කීවේය. ඒ අනුව වරින් වර ඔහු පෙරභව මතක සටහන් හෙළි කරන්නට විය. ‘‘මම ගිය කාර් එක ගහක හැපිලා ගිනිගත්තා’’ යයිද වරක් ඔහු මව සමග කීවේය. මේ වන විට තම පුතා කිසියම් පෙරභවයක තොරතුරු හෙළි කරන බැව් දෙමාපියන්ට ස්ථිර වශයෙන්ම අවබෝධ වී තිබිණි.

දෙදහස් දහය වසරේ (2010) මාර්තු මාසයේදී උපත ලබා ඇති මෙම දරුවා දැන් සත්වන වියේ පසුවෙයි. පෙරභවයේ මතක සටහන් තවමත් ඉතා හොඳින් හෙළි කරන මෙම දරුවා පිළිබඳව විමර්ශනයක් කිරීමට පසු ගිය දිනෙක අපට අවස්ථාව ලැබිණ. රකිතගේ මව තම පුත්‍රයා අනාවරණය කරන තොරතුරු අප සමග හෙළි කළේ මෙසේය.

‘‘මගේ රකිත පුතා යන්තම් බහ තෝරණ වියේ සිට කිව්වේ ‘‘අක්කා’’ කියලයි. ඒ වදන මට පුදුමයට හේතුවක් වුණා. උපදින කොටම එයාගෙ කකුලෙ සහ පිට පැත්තේ තද කළු පැහැති උපන් ලප දෙකක් දක්නට ලැබුණා. වයස අවුරුදු එකහමාරක් වෙන කොට එයා හොඳට කතා කළා. එයා නිතරම කිව්ව තවත් වදනක් වුණේ කිරිබත්ගොඩ කියන නමයි. සමහර විට එය කොහෙන් හරි ඇහිලා කියනව කියලා අපි හිතුවා. ඊට දවස් කීපයකට පස්සේ මගේ කාර් එක ගහේ හැපිලා ගිනිගත්තා යයි කිව්වා. එයාගේ ගේ ළඟ ලොකු ගලක් තිබුණ බවකුත් කිව්වා. ඒ සමගම එයා හමුද‌ාවෙ හිටපු බවකුත් යුද්දෙට ගිය බවත් කීවා. ඒ කියන ගමන් එයාගෙ කකුලෙ තිබුණු උපන් ලපය පෙන්නලා වෙඩි වැදුණ බවක් කීවා යයි මව අප සමඟ හෙළි කළාය.

නිවෙසින් පිට ප්‍රදේශයකට ගොස් ආහාර ගැනීම සිදු කරන අවස්ථාවලදී රකිත හැඳි ගෑරුප්පු ඉල්ලීමද සිරිත වී තිබූ බැව්ද මව කීවාය.

රකිත හෙළිකරන ප්‍රදේශය වූ කිරිබත්ගොඩටම ඔහු කැඳවාගෙන ගියේ නැද්ද යයි අපි මවගෙන් විමසුවෙමු. අපි පුතාව දවසක් කිරිබත්ගොඩට එක්ක ගියා. දැන් මේ පැත්ත හරි වෙනස් වෙලා’’ කියලා එයා කිව්වා යයිද මව ප්‍රකාශ කළාය.
තවමත් පෙර භවය පිළිබඳව ඉතා හොඳ මතකයක් ඇති රකිත හමුවී ඔහුගෙන් ඒ පිළිබඳව විමසීමටද අපට අවස්ථාව ලැබිණි. එහිදී එම දරුවා සමඟ කළ සාකච්ඡාව ඒ අයුරින්ම මෙසේය.

‘‘ඔයා ඉස්සර හිටියෙ කොහේද?’’ 

‘‘කිරිබත්ගොඩ’’

‘‘කිරිබත්ගොඩ කොහේද?’’  

දැන් ඒ පැත්ත හරි වෙනස් වෙලා ​හොයන්න බැහැ.

  ඔයා එහෙදී මොකද කළේ?  

යුද හමුද‌ාවේ හිටියා

හමුද‌ාවෙ මොකද කළේ?  

යුද්ධ කළා.

කා එක්කද?  

කොටි එක්ක.

එහෙ ගේ මොනවගේද?  

ලොකුයි

ඒ​ ගෙදර කවුද හිටියෙ?  

තාත්තයි අක්කයි

තාත්තගෙ නම මොකක්ද?  

ලලිත්

අක්කගෙ නම මොකක්ද?  

ගංගා

එහෙදී යාළුවො හිටියද?  

ඔව්

කව්ද යාළුවො   ?  

නලින්

වෙන කව්ද හිටියෙ යාළුවො?  

මතක නෑ

නලින් මොනවගේද?  

මතක නෑ

එහෙදි ඔයාට මොකද වුණේ?   

වෙඩි වැදුණා

කොහේටද වෙඩි වැදුණේ?  

පිටටයි, කකුලටයි.

වෙඩි වැදුනෙ කොහේදිද?  

මතක නෑ.

ඔයා මෙහෙ ආවෙ කොහොමද?  

කාර් එක ගිනිගත්ත

මොන කාර් එකද?  

මගේ කාර් එක

කාර් එක ගිනිගත්තේ කොහොමද?  

ගහේ හැපිලා

කොහේ යන කොටද කාර් එක හැපු​ෙණ්?  

ගෙදර එනකොට

කාර් එක ගිනිගත්තම ඔයාට තුවාල වුණාද?

මතක නෑ

ඉස්පිරිතාලෙකට ගියාද?  

‘‘ඇක්සිඩන්ට් වෝඩ් එකට ගියා’’ යයිද ඔහු මතකයෙන් හෙළි කළේය.

කාර් එක ගිනිගත් අයුරු චිත්‍රයක් ඇදීමට පුළුවන් දැයි රකිතගෙන් විමසූ විට ඔහු එම අනතුර සිදු වූ අයුරු ඉතා පැහැදිලිව චිත්‍රයකට නැගීය. කාරය ගහක වැදී ගිනිගන්නා අයුරු ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.


මෙම දරුවා පවසන පරිදි ඔහුට වෙඩි වැදීමක්ද සිදු වී තිබේ. ඒ බැව් තහවුරු කරන කකුලක සහ පිටපැත්තේ උපන් ලප දෙකක් සාක්කි ලෙස ඔහු පෙන්වා දෙයි. වෙඩි වැදීමත් කාරය ගිනි ගැනීමත් එක්වර සිදුවීද යන්න පැහැදිලි නොමැත. ඔහුට මතකයේ ඇති කරුණු පමණක් පැහැදිලිව ප්‍රකාශ කරන අතර අමතර සිදුවීම් මතක නැතැයි ඔහු ප්‍රකාශ කරයි. පෙර භවයේ ඇසුරු කළ පුද්ගලයන්ගේ නම් පිළිබඳ එතරම් මතකයක් නැත. ඔහුගේ මතකයේ ඇත්තේ නලින් යන මිතුරෙක් ගැනත්. පියාගේ සහ සොයුරියගේ නමත් පමණි. පවුලේ සිටි සාමාජිකයන් ලෙස අක්කා සහ තාත්තා පමණක් සිටි බවක්ද ඔහු පවසයි. අක්කා සමඟ කුඩා කා​ෙලදී කරත්ත පැදීමකට ගොස් කරත්තයකින් වැටුණු සිදුවීමක්ද මෙම දරුවාගේ මතකයේ තිබේ.

ඔහු හෙළි කරන තොරතුරු අනුව අවිවාහක තරුණ හමුද‌ා නිලධාරියකු ලෙස ජීවත්ව සිට ඇති බැව් හෙළිවේ. කොටි ප්‍රහාරයකින් වෙඩි වැදුණ බැව් හෙළි කිරීම නිසා පසුගිය යුද සමයේදී පෙර භවයේදී මරණය සිදුවී ඇතැයි සිතිය හැකිය. කාරය ගසක හැපී ගිනිගෙන මරණය සිදුවී ඇති හමුද‌ා නිලධාරියකු හෝ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කොටි ප්‍රහාරයකින් මියගිය හමුද‌ා නිලධාරියකු විය හැකිය.

මෙම දරුවා හෙළි කරන පෙරභවයට සම්බන්ධ පුද්ගලයන් හෝ නිවෙසක් පිළිබඳව ඔබේ මතකයේ ඇත්නන් අප වෙත ලියා එවන්න. එම තොරතුරු විමර්ශනය කිරීමට එම දරුවාගේ මාපියෝ සූද‌ානමින් සිටිති. පෙර භවයේ නිවෙස සොයා ගැනීමට මෙම දරුවාද මහත් ආශාවකින් සිටින බැව් මාපියෝ පවසති.

තිස්ස ජයවර්ධන ඉරිදා ලංකාදීපයට ලියන ” ​පෙර භවයේ ප්‍රබල සාක්කි”  ලිපි මාලාව ඇසුරිණි