පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබී ආචාර්ය උපාධියට ජපන් ගියපු ආචාර්ය අමිල තිලංග

අපේ රටේ වසරින් වසර නාය යෑම් වැඩි වෙයි. මේ වසරේ හා පසුගිය වසරවල කළුතර, කෑගල්ල, ගාල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල දරුණු නාය යෑම් ගණනාවක් වාර්ථා විය. ඉන් සිදු වූ ජීවිත හා දේපොළ විනාශය අතිවිශාලය. මේ පිළිබඳ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය හා විශ්වවිද්‍යාලවල පර්යේෂණ විද්‍යාඥයෝ නිතරම පර්යේෂණ කරන අතර, ඒ ස්ථානවලින් ජනතාවට ඉවත් වීමටද උපදෙස් දෙයි.

මේ ආපදා හානි අවම කිරීමට නම් නායයෑම් පිළිබඳ නව පර්යේෂණ කිරීම හා ඒවා පිළිබඳ හඳුනාගැනීම ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම කළ යුතුව ඇත. දැනට අපේ රටේ නාය යෑම් හඳුනාගන්නේ පාරම්පරික ක්‍රමවලට ය. ඒ අනුව යම් භූමි ප්‍රදේශයක සිදු වන වැස්ස, ඇතැම් ස්ථානවල පවතින ඉරි තැළීම් ගොඩනැඟිලි ඉරිතැළීම් හා ප්‍රදේශවල ගස්වල චලන පිළිබඳව සලකා බලා නාය යෑම් පිළිබඳ ජනතාව දැනුම්වත් කරනු ලැබේ. පසුව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ පර්යේෂණ නිලධාරීන් වැස්ස පින්න මධ්‍යයේ කඳු පල්ලම් තරණය කර ඒ පිළිබඳව වැඩි විස්තර සොයාගෙන ජනතාව සුරක්ෂිතව ඉවත් කිරීම දැනට සිදු වන ක්‍රමවේදය වේ.

අද ලෝකයේ නාය යෑම් පිළිබඳ පර්යේෂණ කිරීමට දියුණු අධිතාක්ෂණික ක්‍රම තිබුණත් මෙතෙක් කල් එවැනි ක්‍රම අපේ රටේ ආයතන හෝ විශ්වවිද්‍යාල ප්‍රයෝජනයට ගන්නේ නැත. මූල්‍ය ප්‍රතිපාදන ගැටලු හා විද්වත් සහාය අඩුකම ඊට හේතු වන්නට ඇත.

එහෙත් අපේ රටේ වාසනාවට කිලෝමීටර් 4ක් දුරින් සිදු වන නාය යාමක ඉතා කුඩා අංශු විස්ථාපනයක් පවා එකවරටම තත්පර 10ක් ඇතුළත පවා හඳුනාගත හැකි අධිතාක්ෂණික ක්‍රමයක් ශ්‍රී ලාංකිකයකු වන ජපානයේ තෝහොකු විශ්වවිද්‍යාලයේ නාය යෑම් හා රේඩාර් පිළිබඳ විශේෂඥ අමිල තිලංග කරුණාතිලක මහතා ලොවට හඳුන්වා දී තිබේ.

මේ අනුව යම් ප්‍රදේශයක නායයෑම් පිළිබඳ පර්යේෂණ කිරීමට රේඩාර් මත පදනම් වූ දූරස්ථ සන්නිවේදන ක්‍රමයක් ලොවට හඳුන්වා දීමට ඔහුට හැකි වී ඇත. ලොව දැනට ඇති Ground Base Synthetic Aperture Radar නම් අතිදියුණු තාක්ෂණික උපකරණය ඉතා දරුණු කාලගුණ තත්ත්ව යටතේ සහ භූ විෂමතා තත්ත්ව යටතේ නව තාක්ෂණික ක්‍රමයක් අනුව දියුණු කිරීමට ආචාර්ය අමිල තිලංගට හැකිවී ඇත.

“මම ආචාර්ය උපාධියට තෝහොකු සරසවියේ රේඩාර් හා පාරිසරික තත්ව වෙනස්වීම පිළිබඳ හැදෑරීම් සිදු කළා. ඒ අනුව අප කළ පර්යේෂණ අනුව අපට පුළුවන් වුණා යම් තැනක සිට කිලෝ මීටර් 4ක දිශානුගත ප්‍රදේශයක විවිධ කාලගුණ තත්ව යටතේ හා විවිධ භූ විෂමතා ත ත්ත්ව මත සිදු වන ‍නාය යෑම් ද්විමාන රූප සහිතව හා දත්ත ඇතිව මිලිමීටර් 0.8ක නිරවද්‍යතාවකින් යුතුව හඳුනාගන්න පුළුවන්.

දැනට සිදු වන්නේ ඒ නාය යෑමේ පූර්ව ලක්ෂණ තිබෙන අතිදුෂ්කර ප්‍රදේශවල විවිධ තාක්ෂණික උපකරණ සවි කර දත්ත ලබාගැනීමයි. ඒත් නව තාක්ෂණික ක්‍රමය අනුව ඈත ස්ථානයක සිට රේඩාර් ආධාරයෙන් ක්‍රියාත්මක වන නව අධිතාක්ෂණික උපකරණයක් (Ground Base Synthetic Aperture Radar) ඕනෑම කාලගුණ හා භූ විෂමතා තත්ත්ව යටතේ දියුණු කර එක් කේන්ද්‍රීය ස්ථානයක සිට තොරතුරු ලබාගැනීමයි‍.

“මේ උපකරණය අද ලෝකයේ රටවල් දෙක-තුනක පමණයි පර්යේෂණ සඳහා තිබෙන්නේ. ඒ ඉතාලිය, එංගලන්තය, ජපානය වැනි රටවල පමණයි. මා ජපානයේ තෝහොකු විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියට කළ පර්යේෂණ අනුව මේ උපකරණය මඟින් නිවර්තන රටවලට අදාළ නිවැරැදි නාය යෑම් ඇතුළු පාරිසරික තත්ත්වවලට අදාළ දත්ත ලබාගැනීමට ඉහළ මට්ටමින් දියුණු කරන්න මම පියවර ගත්තා. ඒ අනුව අපිට පුළුවන් වුණා, මේ උපකරණය ශ්‍රී ලංකාව වැනි භූ විෂමතා අධික නිතරම වැස්ස වසින, සුළඟ සහිත කාලගුණ තත්ව යටතේ නිවැරැදිව තොරතුරු ලබාගැනීමට හැකි ආකාරයට දියුණු කරන්න. අපේ රටට සිදු වන ස්ථානයක ආපදා හා නාය යෑම් පිළිබඳ සොයා බැලීමට මේ උපකරණයෙන් ඉමහත් කාර්යභාරයක් කරන්න පුළුවන්. අපි දැනටමත් මේ උපකරණය හා තවත් තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳව රජයේ ආයතන ගණනාවකට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

“මම ශ්‍රී ලංකාවෙන් තමයි මූලික අධ්‍යාපනය හා මුල්ම උපාධිය ලැබුවේ. ඒ අනුව මා අපේ රටට යමක් කළ යුතුයි. ඒ අනුව මේ නව තාක්ෂණ ක්‍රමයෙන් හා උපකරණයෙන් අපේ රටේ ජනතාවට යම් ප්‍රයෝජනයක් දෙන වැඩපිළිවෙළක් සකස් කිරීම මගේ අපේක්ෂාවයි. මේ ක්‍රමය මඟින් ඉතා නිවැරැදිව අපේ රටේ සිදු වන නාය යෑම්වල ස්වභාවය පෙන්වාදෙන්න පුළුවන්‍.

“ජපානයේ අපි මුලින්ම ප්‍රායෝගික පර්යේෂණයක් ලෙස ජපානයේ කුමාමොතෝ ප්‍රදේශයේ අලුතින් සිදු වූ නායයෑමක් පිළිබඳ පර්යේෂණ කළා. ඒ පර්යේෂණ අනුව එය ශ්‍රී ලංකාවට වුවත් ආදේශ කරන්න පුළුවන්. මෙය පර්යේෂණ මට්ටමින් හුඟක් සාර්ථක පර්යේෂණයක්.

“නව තාක්ෂණික ක්‍රමය අනුව අපි යම් ප්‍රදේශයක් පරීක්ෂණය කිරීමට තීරණය කර කිලෝමීටර් 4ක් දුරට වුවත් ස්කෑන් වෙනවා. තත්පර 10ක් ඇතුළත ඒ අනුව මේ සම්පූර්ණ ප්‍රදේශයේ පාංශු විස්ථාපනය කෙසේද යන්න පවා ක්ෂණිකව සොයන්න පුළුවන්.‍ දැනට ඒ වගේ ප්‍රායෝගික තාක්ෂණය අප ළඟ තිබෙනවා. ඒ අනුව මේවාට අදාළ ප්‍රතිචාර දක්වන අපේ රටේ ආයතනවලට අප උදවු කරන්න සූදානම්. අපි දැන් අවුරුදු 5ක් විතර අලුත් පර්යේෂණ සිදු කළා. මේ පර්යේෂණ අනුව අදාළ භූ ප්‍රදේශය ස්කෑන් වෙන කොට ම ඒ එක්කම අදාළ දත්ත දුරස්ථ පාලක මධ්‍යස්ථානයකට යොමු කර ද්විමාන රූප ලෙස පෙන්නුම් කරනවා.

“අපි දැනට ලංකාවේ ස්ථාන කීපයක මෙවැනි පර්යේෂණ සිදු කිරීමට මූලික අධීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. මේ ක්‍රමයේදී සීමාව හරියටම අපිට කියන්න පුළුවන්. ඒ සමඟම මේ නව ක්‍රමය මඟින් මොන ප්‍රදේශයේ වැඩිම නාය යෑම සිදු වන්නේද කියා අපිට ක්ෂණිකව පෙන්වා දෙනවා. පාංශු විස්ථාපනය වන වේගය පවා අපට ඈතක සිට ද්විමාන ඡායාරූප මඟින් දැකගන්න පුළුවන්. මේ අනුව මේ එක් එක් ස්ථානයේ පස් කොච්චර ඉක්මනට ඉවත් වෙනවාද කියලා අපිට තීරණය කළ හැකියි. ඒ අනුව කොයි ප්‍රදේශයෙන් ජනතාව ඉක්මනින්ම ඉවත් කළ යුතු ද කියා ප්‍රාදේශීය බලධාරීන්ට තීරණය කිරීමට හැකියාව තිබෙනවා. මේ ක්‍රමයෙන් ජපානයේ ‘කූමමොතෝ’ ප්‍රදේශයේ කළ පර්යේෂණ අනුව ඒ ප්‍රදේශයේ කොටසක් නාය යන බව පෙන්වා දෙන්න අපට පුළුවන් වුණා.

අපි ප්‍රධාන ලෙස දැනට රටවල් කීපයක පමණක් තිබෙන මේ අධිතාක්ෂණික උපකරණ (Ground Base Synthetic Aperture Radar) තවත් නවීකරණය කර රේඩාර් මඟින් ද්විත්ව සන්නිවේදනයක් ඇති කිරීමයි මේ ක්‍රමයේදී අපි සිදු කළේ. ඒ අනුව විශේෂයෙන් අපි මේ උපකරණය රටේ ආපදා බහුල ප්‍රදේශවල වැස්ස සුළඟ පවතිද්දී පවා කඳු පල්ලම් වැනි භූ විෂමතාව බහුල ප්‍රදේශවලදීත් රටේ සිදු වන නාය යෑම් පිළිබඳ ක්ෂණිකව කියන්න පුළුවන්. ඒ ක්‍රමය මඟින් යම් ප්‍රදේශයක නාය යෑම් සිදු වන පාංශු විස්ථාපනය පිළිබඳ තීව්‍රතාව පෙන්නුම් කරනවා.colpicture3093640406_6237241_31102017_RTW_GRY

“පසුගිය දිනවල කොළොන්නාව කුණු කන්ද නාය ගියා. මේ වගේ වෙලාවකදී මේ අපේ නව ක්‍රමය මඟින් තත්ත්පර 10ක් ඇතුළත මුළු කන්ද විස්ථාපනය වීමට පෙර එහි දිශාව තීව්‍රතාව හා වඩා අනතුරුදායක ප්‍රදේශය ගැන ජනතාවට ක්ෂණිකව දැනුම් දෙන්න පුළුවන්. ඒ සමඟම මේ නව තාක්ෂණික ක්‍රමය මඟින් අපේ රටේ පැරණි පාලම්, ගුවන් පාලම් හා ජලාශ වේලි හා පැරණි ගොඩනැඟිලිවල යෝග්‍යතාව පරීක්ෂා කරන්න පුළුවන්. ජනතාවට බය නැති කරන්න පුළුවන්.”

තමා සොයාගත් නාය යෑම් හඳුනාගැනීමේ අධිතාක්ෂණික ක්‍රමවේදය ආචාර්ය අමිල තිලංග එසේ පැහැදිලි කර දුන්නේය. මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ ආචාර්ය අමිල තිලංග පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහි භෞතික විද්‍යාව සම්බන්ධව ගෞරව උපාධියක් හිමි කරගත්තේ ය. අනතුරුව ඔහු විද්‍යාපති උපාධිය දුරස්ථ සන්නිවේදන පිළිබඳව ලබාගත්තේය. පසුව ආචාර්ය උපාධිය හැදෑරීමට ජපානය බලා පිටත් විය.

ඒ ආචාර්ය උපාධිය හැදෑරීමට ඔහුට ජපාන රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබිණි. මෙහිදී ආචාර්ය උපාධිය සඳහා ක්ෂේත්‍ර තුනක් ඔස්සේ ඔහු සිය නිබන්ධන පර්යේෂණය සිදු කළේය. ඉන් එකක් වූයේ අභ්‍යවකාශයේ සිට රේඩාර් මඟින් පරිසරයේ භෞතික වෙනස්වීම්වලට අදාළ චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණයයි. අනෙක් ක්ෂේත්‍රය වන්නේ නාය යන ප්‍රදේශවල දුර්වල පාලම් බෝක්කුවල දුර්වල බව පිළිබඳව දුරස්ථ සන්නිවේදන ක්‍රම මඟින් ද්විමාන දත්ත ලබාගැනීමයි. මෙහිදී ඊළඟට සිදු වූයේ පොළොව ඇතුළත සි වන ස්වභාවය පිහිටීම පිළිබඳ රේඩාර් දත්ත විශ්ලේෂණයයි.

මේ ඉහත පර්යේෂණ සඳහා ආචාර්ය අමිල තිලංගට 2017 වසරේදී ලොව තරුණ පර්යේෂකයාට හිමි සම්මානය පිරිනමා ඇත. ලොව ප්‍රධානම පෙළේ ජගත් මට්ටමේ විදුලි හා ‍ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ආයතනයක් වන IEEE ආයතනය මඟින් ආචාර්ය අමිල තිලංගට මේ සම්මානය පිරිනමා තිබේ.

නිහාල් පී. අබේසිංහ සිළුමිණ පුවත් පත